සමෘද්ධියට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කළ හැකි ය
හරි දෙයට ඍජු ව සිටින තැනැත්තෙකුගේ ඇදහිල්ල පරීක්ෂා කරන්නට සමෘද්ධියට පුළුවන. ද්‍රව්‍යමය වශයෙන් සමෘද්ධිමත් වීමට වෑයම් දැරීම ඇදහිල්ල නැති ව යාමට මඟ පෑදිය හැක. (1 තිමෝති 6:9, 10) එහෙත් සමෘද්ධියට වෙනත් ආකාරයකින් ද ඇදහිල්ල පරීක්ෂා කරන්නට පුළුවන. තමා වේදනා විඳින අතර අධර්මිෂ්ඨ බොහෝ අය ද්‍රව්‍යමය වශයෙන් සමෘද්ධිමත් වන බව ධර්මිෂ්ඨ තැනැත්තෙක් දකින විට, අභක්තික ක්‍රියාමාර්ගයක් ලුහු බැඳීමට ඔහු පෙලඹීම් ලබන්නට පුළුවන. ඇයි, මෙය ඍජු ජීවිතයක් ලුහු බැඳීමේ වටිනාකම සැක කරන්නට යෙහෝවඃ වහන්සේගේ ඇතැම් සේවකයන්ට පවා මඟ පාදා ඇත!
ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත්ගේ පාලන සමය තුළ ලෙවී සංගීතඥයෙක් වූ ආසාප්ට මෙය සිදු විය. ප්‍රසිද්ධ නමස්කාරයේ භාවිතා කරන ලද ගීතිකා ආසාප් රචනා කළේ ය. හේමාන් හා යෙදුතුන් සමඟ ඔහු අනාවැකි පළ කළ අතර, සංගීත වාදන සමඟින් යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා හා ස්තුති පුද කළේ ය. (1 ලේකම් 25:1; 2 ලේකම් 29:30) ආසාප් වරප්‍රසාද ලත් අයෙක් ව සිටියත්, දුෂ්ටයන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධිය ඔහුගේ ඇදහිල්ලට මහත් පරීක්ෂාවක් වූ බව 73වන ගීතාවලිය පෙන්වයි.
ආසාප්ගේ අන්තරාදායක ආකල්පය
“සැබවින් දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ට, එනම් පිරිසිදු සිත් [හදවත් NW] ඇත්තන්ට, යහපත්ය. එහෙත් මාගේ පාදය ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය.” (ගීතාවලිය 73:1, 2) මෙම වදන් මගින් යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට යහපත් බව ආසාප් ඒත්තු ගත්තේ ය. විශේෂයෙන් එය “පිරිසිදු සිත් [හදවත් NW]” ඇත්තන් සම්බන්ධයෙන් සැබෑ විය. මන්දයත් දෙවියන් වහන්සේට තනි භක්තිය දීමත්, උන් වහන්සේගේ පරිශුද්ධ නාමය විශුද්ධ කිරීමත් ඔවුන්ගේ ආශාව වූ බැවිනි. අපට එම ආකල්පය තිබේ නම්, දුෂ්ටයන්ගේ සමෘද්ධියෙන් හෝ වෙනත් ඕනෑ ම තත්ත්වයකින් අප සහමුලින් ම පීඩාවට ලක්වීමට සිදු වුවත්, යෙහෝවඃ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමෙන් අප උන් වහන්සේට ආශීර්වාද කරනු ඇත.—ගීතාවලිය 145:1, 2.
ආසාප් යෙහෝවඃ වහන්සේගේ යහපත්කම දැන සිටියත්, ඔහුගේ පාද ධර්මිෂ්ඨ මාවතෙන් පසෙකට හැරී තිබුණු තරම් ය. එය හරියට ම වෙහෙසා දුවන මැරතන් තරඟයක දී ඒවා අයිස් බිමක් මත ලිස්සෙමින් සිටියා වැනි ය. ඔහුගේ ඇදහිල්ල එතරම් ම දුර්වල වී තිබුණේ මන්ද? ඔහු මෙසේ පැහැදිලි කළේ ය: “මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි. මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.”—ගීතාවලිය 73:3-5.
අධර්මිෂ්ඨයන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධියට ඊර්ෂ්‍යා කරන්නට ආසාප්ට සැලැස්වී ය. ඔවුන් වංචා සහගත ක්‍රමවලින් වස්තු රැස් කළත්, ඔවුන් සාමකාමී ජීවිතයක් ප්‍රීතියෙන් භූක්ති විඳින්නේ යයි පෙනෙන්නට තිබුණි. (ගීතාවලිය 37:1 සසඳන්න.) ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා තිබුණ ද, බාහිර පෙනීමෙන් ඔවුහු සුරක්ෂිත වූහ. ඇයි, ඔවුන්ගේ ජීවිත දරුණු මරණ වේදනා නොමැති ව අවසන් වන බවක් පෙනුණි! ඔවුහු ආත්මික අවශ්‍යතාවයක් පිළිබඳ කිසිදු දැනීමක් නොමැති ව, ඇතැම් අවස්ථාවන්හි සාමකාමී ව හා ආත්ම විශ්වාසයෙන් යුක්ත ව මිය ගියහ. (මතෙව් 5:3, NW) අනෙක් අතට, දෙවියන් වහන්සේගේ සේවකයන් සමහරෙක් වේදනා සහිත ලෙඩ රෝග හා මරණයට ගොදුරු වී ඇතත්, උන් වහන්සේ ඔවුන් ව උසුලා දරන අතර නැවත නැගිටීමේ ආශ්චර්යවත් බලාපොරොත්තුව ඔවුන්ට ඇත.—ගීතාවලිය 43:1-3; යොහන් 5:28, 29.
බොහෝ දුෂ්ට අයට, තමන්ගේ බහුල ආහාර සැපයුම භුක්ති විඳීම වළක්වන්නා වූ සෞඛ්‍ය ගැටලු කිසිත් නැත. “ඔවුන්ගේ ශක්තිය ස්ථිරය,” ඔවුන්ගේ උදර ඉදිරියට නෙරා ඇත. එපමණක් නොව, “මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත,” මක්නිසා ද මනුෂ්‍ය වර්ගයාගෙන් බහුතරයක් මෙන් ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමට ඔවුන්ට දැඩි වෑයමක් දරන්නට සිදු නොවන නිසා ය. දුෂ්ටයන්ට “වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත” යනුවෙන් ආසාප් නිගමනය කළේ ය. සාතන්ගේ දුෂ්ට ලෝකයේ යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත්වීම නිසා දේව භයැති අය අත්දකින්නා වූ පරීක්ෂාවන්ගෙන් ද විශේෂාකාරයෙන් ඔවුහු ගැලවෙති.—1 යොහන් 5:19.
දුෂ්ටයන් සමෘද්ධිමත් වන බැවින්, ආසාප් ඔවුන් ගැන වැඩිදුරටත් මෙසේ පැවසී ය: “එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත. ඔව්හු ගර්භාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති, [වංචා කිරීම ගැන ඔවුහු පුරසාරම් දොඩති NW] ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරකරයි.”—ගීතාවලිය 73:6-9.
දුෂ්ටයන් උඩඟුකම “මාලාවක්” මෙන් පැළඳගෙන සිටින අතර ඔවුන්ගේ ප්රචණ්ඩ ක්‍රියා කොතරම් විවිධාකාර ද කියතොත්, ඒවා ‘වස්ත්‍රයක් මෙන් ඒවායින් ඔවුන් ව වැසී ඇත.’ තමන්ගේ ක්‍රමය පමණක් තබා ගැනීමට අධිෂ්ඨානයෙන්, ඔව්හු අන්‍යයන්ට පීඩා පමුණුවති. දුෂ්ටයන්ගේ නෙත් පෝෂණය මදකමින් ගිලී නොමැතිමුත් කෑදරකමේ විපාකයක් වශයෙන් ඇතිවන තරබාරුකම නිසා “තරකමින් නෙරා” තිබේ. (හිතෝපදේශ 23:20) ඔවුන්ගේ උපාය මාර්ග කොතරම් සාර්ථක වේ ද කිවහොත්, ඒවා ‘සිය හදවත්වල ප්‍රාර්ථනා’ පවා ඉක්මවා යයි. ඔවුහු තමන්ගේ වංචාව ගැන “උඩඟුලෙස” පුරසාරම් දොඩවති. ඇයි, ‘ඔවුහු තමුන්ගේ මුඛය අහසෙහි තබා ඔවුන්ගේ දිව පොළොවෙහි සංචාරය කරයි’! ස්වර්ගයෙහි හෝ පොළොවෙහි කිසිවෙකුට ගරු නොකර, ඔවුහු දෙවියන් වහන්සේට අපහාස කරති, මනුෂ්‍යයන්ගේ අගුණ කියති.
පෙනෙන හැටියට, තමා දුටු දෙයින් අහිතකර බලපෑම් ලැබුවේ ආසාප් පමණක් නොවේ ය. ඔහු මෙසේ කියා සිටියේ ය: “එබැවින් උන් වහන්සේ [දෙවියන් වහන්සේ] සිය සෙනඟ මෙතැනට හැරී ගෙනෙන සේක. තව ද පූර්ණ ව ඇති දෙයින් ජලය ඔවුන් සඳහා වගුරුවනු ලබන්නේ ය. ඔව්හු කථා කොට: ‘දෙවියන් වහන්සේ කෙසේ දන්නා සේක් ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්ද?’ යයි කියති” (ගීතාවලිය 73:10, 11, NW) දුෂ්ටයන් සමෘද්ධිමත් වන බව පෙනෙන්නට තිබූ නිසා, දෙවියන් වහන්සේගේ ජනයා අතර සමහරෙක් වැරදි දෘෂ්ටියක් ඇති කර ගෙන ‘සිදුවන දේ දෙවියන් වහන්සේ නොදන්නා අතර නොපනත්කමට එරෙහි ව ක්‍රියා නොකරනු ඇත’ යයි පවසමින්, නොපනත් අයගේ තත්ත්වයට ම වැටෙන බව හෙබ්‍රෙව් වගන්තිය අදහස් කරන්නට පුළුවන. අනෙක් අතට, නරක අය දඬුවම් නොලැබ බේරී නොපනත් දේවල් කරනු දැකීම, ඍජු අයට මෙසේ ඇසීමට සලස්වන, තිත්ත පානයක් බීමට තිබෙනවා වැනි ය: ‘දෙවියන් වහන්සේ මේ දේවල් ඉවසා සිටින්නේ කෙසේ ද? සිදුවන දේ උන් වහන්සේට නොපෙනේ ද?’
තමාගේ තත්ත්වය දුෂ්ටයන්ගේ තත්ත්වයත් සමඟ සසඳමින්, ආසාප් මෙසේ පැවසී ය: “බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති. සැබවින් මාගේ සිත [හදවත NW] පවිත්රකරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.” (ගීතාවලිය 73:12-14) හරි දේට ඍජු වූ ජීවිතයක් ගත කිරීම නිෂ්ඵල බව ආසාප්ට හැඟුණි. වංක ක්‍රම මගින් බොහෝ දුරට ‘තමන්ගේ වස්තුව වර්ධනය කර ගනිමින්’ දුෂ්ට අය සමෘද්ධිමත් වූහ. ඉතා දරුණු වැරදි සහගත ක්‍රියා වෙනුවෙන් වූ දඬුවමෙන් ඔවුන් ගැලවෙන බව පෙනෙන්නට තිබුණ ද, ආසාප් “දවස මුළුල්ලේම”—ඔහු අවදි වූ අවස්ථාවේ පටන් රාත්‍රියේ නින්දට ගිය අවස්ථාව දක්වා—හිරිහැර වින්ඳේ ය. යෙහෝවඃ වහන්සේ සෑම උදෑසනක ම තමාට තරවටු කරමින් සිටියේ යයි ඔහුට හැඟුණි. මෙය සාධාරණ යමක් මෙන් දිස් නොවූ නිසා, එය ආසාප්ගේ ඇදහිල්ල පරීක්ෂා කළේ ය.
සිතුවිලිවල යළි සැකසීමක්
අවසානයේ තමාගේ සිතුවිලි වැරදි සහගත බව තේරුම් ගෙන, ආසාප් මෙසේ පැවසී ය: “මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි. මා විසින් දෙවියන්වහන්සේගේ ශුත්ටධස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි. සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය. යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.”—ගීතාවලිය 73:15-20.
ආසාප් චෝදනාවක් ඉදිරිපත් නොකර ඉඳීම හොඳ ව තිබුණි, මන්දයත් යෙහෝවඃ වහන්සේට සේවය කිරීම නිෂ්ඵල බව ප්‍රසිද්ධියේ පැවසීම, සිය පවුලේ සාමාජිකයන් ව නමස්කාරය තුළ අධෛර්යවත් කරන්නට හෝ ඔවුන්ගේ ඇදහිල්ලට රහසින් අනතුරු කරන්නට හෝ ඉඩ තිබුණු හෙයිනි. නිශ්ශබ්ද ව සිට ආසාප් කළ දෙය කිරීම ඊට වඩා කොතරම් හොඳ ද! ඍජු අය වේදනා විඳින අතර දුෂ්ටයන් වැරදි සහගත ක්‍රියාවන් කර බේරෙන්නේ මන්දැයි බැලීමට ඔහු දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගියේ ය. එම පරිසරය යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් අතර සිට සන්සුන් ව මෙනෙහි කිරීමට ආසාප්ට ප්‍රස්තාව ලබා දුන් අතර ඔහුගේ කල්පනාව යළි සකසනු ලැබී ය. එනිසා, අද දින අපි දකින දෙයින් සිත චංචල වූයේ නම්, අප ව වෙන් කර ගනු වෙනුවට අපත් ඒ හා සමාන ව දෙවියන් වහන්සේගේ ජනයා සමඟ ඇසුරු කිරීමෙන් අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමු.—හිතෝපදේශ 18:1.
දුෂ්ටයන් ව ‘ලිස්සන බිම මත’ දෙවියන් වහන්සේ තබා ඇති බව ආසාප් තේරුම් ගන්නට යෙදුණි. ඔවුන්ගේ ජීවිත ද්‍රව්‍යමය දේවල් වටා කේන්ද්‍ර ගත ව තිබූ නිසා, ඔවුහු හදිසි බිඳ වැටීමක් අත්දැකීමේ අනතුරට මුහුණ දී සිටිති. අඩු තරමින්, මරණයවත් ඔවුන් ව මහලු වියේ දී ආක්‍රමණය කරනු ඇති අතර ඔවුන්ගේ අයෝග්‍ය සම්පත් ඔවුන් සඳහා දීර්ඝ ජීවිතයක් තහවුරු කර නොදෙනු ඇත. (ගීතාවලිය 49:6-12) ඔවුන්ගේ සමෘද්ධිය කඩිනමින් පහව යන සිහිනයක් මෙන් වනු ඇත. තමන් වපුරන දේ ඔවුන් නෙලා ගනිත් ම, යුක්තිය ඇතැම් විට ඔවුන් මහලු විය කරා ළඟා වන්නටත් කලින් ඔවුන් කරා පැමිණෙන්නට පුළුවන. (ගලාති 6:7) තමන්ට උපකාර කළ හැකි එක ම තැනැන් වහන්සේ ව ඔවුන් වුවමනාවෙන් ම නොසලකා හැර ඇති නිසා, ඔවුහු අසරණ, බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත් ව සිටින්නාහ. යෙහෝවඃ වහන්සේ ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කරන විට, උන් වහන්සේ ඔවුන්ගේ “රූපාකාරය”—ඔවුන්ගේ ශ්‍රී විභූතිය හා තත්ත්වය—හෙළා දකිනු ඇත.
ඔබගේ ප්‍රතික්‍රියාව ගැන ප්‍රවේසම් වන්න
තමා දුටු දෙයට හොඳින් ප්‍රතික්‍රියා කර නොතිබුණ, ආසාප් මෙසේ පිළිගත්තේ ය: “එහෙත් මාගේ සිත [හදවතට NW] කැලඹුණේය, මාගේ හෘදයට [වකුගඩුවලට NW] ඇන්නාක්මෙන් විය. මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි. එසේ නුමුත් මම නිතරම ඔබ සමගය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.”—ගීතාවලිය 73:21-24.
දුෂ්ටයන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධිය ගැනත්, ඍජු අයගේ වේදනාවන් ගැනත් මෙනෙහි කිරීම පුද්ගලයෙකුගේ හෘදය ඇඹුල් කරන්නට හෝ තමා ව තිත්ත කරන්නට පුළුවන. ආසාප්ගේ වකුගඩුවල සිට—එනම් ගැඹුරු අභ්‍යන්තරයේ සිට මෙම තත්ත්වය සම්බන්ධ ඔහුගේ කලබලය ඔහුට ම මහත් වේදනාවක් ඇති කළේ ය. යෙහෝවඃ වහන්සේගේ කෝණයෙන්, ඔහු කායික හැඟීම් මත පදනම් ව ප්‍රතික්‍රියා කරන්නා වූ අඥාන මෘගයෙක් හා සමාන විය. එහෙත් ආසාප් ‘තමාගේ දකුණත අල්ලා ගත් දෙවියන් වහන්සේ සමඟ නිතර සිටියේ ය.’ අපගේ කල්පනාවෙන් අප වැරදි කළත්, ආසාප් කළාක් මෙන් යෙහෝවඃ වහන්සේගේ උපදෙස් සොයන්නේ නම්, දෙවියන් වහන්සේ අප ව අතින් අල්ලා, අනුග්‍රහ දක්වමින් අපට මඟ පෙන්වනු ඇත. (යෙරෙමියා 10:23 සසඳන්න.) අපට සන්තෝෂවත් අනාගතයකට අප ව ගෙන යා හැක්කේ උන් වහන්සේගේ උපදෙස් අදාළ කර ගැනීමෙන් පමණකි. අප කලකට අවමානය ලබන්නට පුළුවන් වුවත්, ‘අප ව තේජසට’ නැතහොත් ගෞරවයට ගෙන යමින් යෙහෝවඃ වහන්සේ පරිවර්තනයක් සිදුකරන සේක.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි රඳා සිටීමේ අවශ්‍යතාව අගයමින්, ආසාප් තවදුරටත් මෙසේ පැවසී ය: “ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත. මාගේ මාංසයත් [ඉන්ද්රියයන් ද NW] සිතත් [හදවත ද NW] ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ [හදවතේ NW] ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක. මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාර ලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළ සේක. දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස [පරමාධිපති NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මාගේ සරණ කරගතිමි.—ගීතාවලිය 73:25-28.
ආසාප් මෙන්, සැබෑ සුරක්ෂිත භාවය හා සහනය පිණිස රැඳී සිටීමට අපට යෙහෝවඃ වහන්සේ හැර වෙන කිසිවෙකු නැත. (2 කොරින්ති 1:3, 4) එබැවින් යමෙක් සතු භූමික සම්පත්වලට ආශා කරනු වෙනුවට, අපි දෙවියන් වහන්සේට සේවය කර ස්වර්ගයෙහි වස්තු රැස්කර ගනිමු. (මතෙව් 6:19, 20) යෙහෝවඃ වහන්සේ සමඟ අනුමැතිය ලත් තත්ත්වයක් පවත්වා ගැනීම අපගේ උපරිම සතුට විය යුතු ය. අපගේ ඉන්ද්රියයන් හා හෘදය, ක්ෂය වෙතත්, විපත් මධ්‍යයේ අප බලාපොරොත්තුව හා එඩිතරකම නැති කර නොගන්නා ලෙසින් උන් වහන්සේ අප ව ශක්තිමත් කර අපගේ හෘදයන්ට ස්ථිර භාවය දානය කරනු ඇත. යෙහෝවඃ වහන්සේ සමඟ සමීප මිත්‍රත්වය මිල කළ නොහැකි අයිතියකි. එය අත්හැර දැමීම, අපගේත් උන් වහන්සේ ව අත්හරින සියල්ලන්ගේත් ව්‍යාසනයට දායක වනු ඇත. එබැවින්, ආසාප් මෙන්, අපිත් දෙවියන් වහන්සේට සමීප වී අපගේ කාන්සා උන් වහන්සේ පිට තබමු. (1 පේතෘස් 5:6, 7) මෙය අපගේ ආත්මික ශුභසාධනයට අනුබල දෙන අතර යෙහෝවඃ වහන්සේගේ පුදුම සහිත ක්‍රියා ගැන අන්‍යයන්ට කියන්නට අප ව පොලඹවනු ඇත.
යෙහෝවඃ වහන්සේට පක්ෂපාතී ව සිටින්න
ආසාප් සිත් තැවුලට පත් වූයේ, තමාගේ නිජ බිම වූ ඊශ්‍රායෙල් හි දුෂ්ටයන් සමෘද්ධිමත් වන බව ඔහු දුටු නිසා ය. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාතී සේවකයන් අතර, පාරට්ටු කර ගැනීම, අහංකාරකම, බලහත්කාරකම, ගැරහුම් කිරීම, හා ප්‍රෝඩාව යනාදිය වෙනුවෙන් වරදකරුවන් වූ ද, තමන් කරමින් සිටි දෙය දෙවියන් වහන්සේ දැන සිටි බව ප්‍රතික්ෂේප කළා වූ ද “දුෂ්ට” මනුෂ්‍යයෝ සිටියහ. (ගීතාවලිය 73:1-11) මොනතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක් ද! යෙහෝවඃ දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට උඩඟුකම, බලහත්කාරකම, ගැරහුම් කිරීම, හා වංක භාවය වැනි ගති ලක්ෂණ පිළිබිඹු කිරීමෙන් අප වැළකී සිටිය යුතු ය. ආසාප් මෙන්, යෙහෝවඃ වහන්සේගේ සේවකයන් සියලු දෙනා, උන් වහන්සේගේ පක්ෂපාතී නමස්කාරකයන් සමඟ විධිමත් ව එක්රැස් වීමෙන් ‘දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානයට’ පැමිණෙත්වා. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන සියල්ලන්, අන්‍යයන් කරන කියන ඕනෑ ම දෙයක් නොසලකා, වේදනාවන් මධ්‍යයේ තමන් ව උසුලා දැරීමට උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ‘දෙවියන් වහන්සේට ළං වෙත්වා.’—ගීතාවලිය 73:12-28; 3 යොහන් 1-10.
දුෂ්ටයන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධිය ආසාප්ගේ ඇදහිල්ල පරීක්ෂා කළාක් මෙන්, අපගේ ඇදහිල්ල ද පරීක්ෂා කළ හැකි බව සැබෑවකි. එහෙත්, අප අපගේ ජීවිතය යෙහෝවඃ වහන්සේගේ සේවය මත කේන්ද්‍ර ගත කරන්නේ නම්, අපට මෙම පරීක්ෂාව ඉවසා දරා ගත හැකි ය. ‘අපගේ වැඩය ද උන් වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමය ද මතක නැතිකරන්ට දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨ නැති’ බැවින්, මෙසේ කිරීම වෙනුවෙන් අපට විපාක දෙනු ලබනවා ඇත. (හෙබ්‍රෙව් 6:10) අපගේ ත්‍යාගය හා සසඳන කල, අපගේ පරීක්ෂා මොහොතකට ‘පවතින හා සැහැල්ලු’ ඒවා වනු ඇත. (2 කොරින්ති 4:17) යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන්ට පොරොන්දු වන සදාකාලික වූ සන්තෝෂවත් ජීවිතය හා සසඳන කල, අවුරුදු 70ක හෝ 80ක වේදනාවන්, රහසක් කියන විට අපගේ තොල්වලින් නික්මෙන හුස්ම බිඳක් මෙන් වන්නේ ය.—ගීතාවලිය 90:9, 10.
ධර්මිෂ්ඨකම සඳහා වන අපගේ වේදනාවන් සමඟ සසඳන කල වෙනස් වන්නා වූ දුෂ්ටයන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධියට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලයක් වන ඇදහිල්ල විදහා පෙන්වීමෙන් වළක්වාලීමට අපි කිසිකලෙක ඉඩ නාරිමු. (ගලාති 5:22, 23; 1 පේතෘස් 3:13, 14) දුෂ්ටයන් හරි ප්‍රතිපත්තිවලට පටහැනි ව කටයුතු කරන නිසා අප ඔවුන් ආදර්ශයට ගත්තේ නම් සාතන් සතුටු වනු ඇත. ඒ වෙනුවට, ස්වකීය ධර්මිෂ්ඨ ප්‍රමිති අත්හැරීමට වූ පෙලඹීම්වලට විරුද්ධ ව සිටීමෙන්, ඇත්ත වශයෙන් ම, අපි යෙහෝවඃ වහන්සේගේ නාමයට ගෞරව ගෙන දෙමු. (ශෙපනියා 2:3) දුෂ්ටයන්ගේ සාර්ථකත්වය පිළිබඳ ව අපි සිත් තැවුලට පත් නොවී සිටිමු. මන්දයත්, ඔවුන්ට අත්කර ගත හැකි උපරිමය වනුයේ, ද්‍රව්‍යමය සමෘද්ධිය පමණක් වන බැවිනි. තව ද එහි වටිනාකම කුමක් ද? එය අඩු තරමින් පරමාධිපති ස්වාමීන් වන යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල දක්වන්නා වූ අය විසින් භුක්ති විඳින්නා වූ ආත්මික සමෘද්ධිය සමඟ සැසඳීමට පටන් ගන්නටවත් නොහැකි ය.