“කඳුවලට පළමුවෙන්”
“සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක. කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.” (ගීතාවලිය 90:1, 2) එම වදන්වලින් අපගේ මැවුම්කරුවාණන් හට අමතා තිබූ අතර, ඒවා—විශේෂයෙන් අද දින, කිසිවක් ස්ථිර ස්ථාවරයක් නැති තත්ත්වයක පවතින විට—කොතරම් සහනදායී වන්නේ ද!
පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වයක් මධ්‍යයෙහි, අනාගතය දෙස නිසැක ව බලන අය නැති තරම් ය. අපරාධ හා මත් ද්‍රව්‍ය ඇබ්බැහියේ තියුණු වර්ධනය, ඇතැම් නගර යුද්ධ කලාප බවට වෙනස් කර ඇත. යුග ගණනාවක් පුරා පැවති ආයතනයක් වන පවුල පවා, අස්ථිර ව පවතී. සමලිංගික පවුල් වැනි නවීන පන්නයේ දේවල් ගැන අපි අසන්නෙමු. තනි-මාපිය පවුල් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර මෙහි දී බොහෝ විට එක් මව්පියෙකුට මහත් ආයාසයක් දරා කටයුතු හසුරු වන්නට සිදු වේ. පවුලේ එක් කලත්‍රයෙක් අනෙක් තැනැත්තාට පහර දීම හා දරුවන් අනිසි ලෙස යොදා ගැනීම වැනි, පිළිකුල් සහගත ක්‍රියාවන්ගෙන් බොහෝ පවුල්වල සාමය බිඳ වැටෙමින් පවතී.
මේ අන්තරා සහිත කාලවල් තුළින් අප ව මඟ පෙන්වනු ඇත්තේ කවරෙක් ද? ඇත්තෙන් ම, මනෝවිද්‍යාඥයන්, අධ්‍යාපනඥයන් හා වෙනත් අයගෙන් අසීමිත අවවාද ලැබුණත්, ඉන් වැඩි ප්‍රමාණයක් පරස්පර විරෝධී ව පවතී. ආචාර්ය බෙන්ජමින් ස්පොක් බටහිර වෙසෙන මුළු පරම්පරාවකට ම, දරුවන්ට ඉගැන්වීම පිළිබඳ විෂයෙහි ප්‍රමුඛතම උපදේශකයෙක් ව සිටියේ ය. පසු ව ඔහු පිළිගත්තේ තමාගේ උපදෙස් වැරදි සහගත ව තිබූ බව ය!
දෙවියන් වහන්සේ අපගේ “වාසස්ථානය” ලෙස තබා ගැනීම ඊටත් වඩා කොතරම් ඥානවන්ත ද! පීඩාකාරී වූ මෙම කාලයේ, උන් වහන්සේ “සදාකාලයෙන් සදාකාලයටම” පවතින ස්ථිරත්වයේ පර්වතයකි. දිවැස්වර මලාකී තුළින් උන් වහන්සේ තමන් වහන්සේ ගැන ම මෙසේ වදාළ සේක: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මම වෙනස් නොවෙමි.” (මලාකී 3:6) බයිබලයේ වාර්තා කර ඇති ලෙසින්, දෙවියන් වහන්සේගේ ප්‍රමිති සම්පූර්ණයෙන් ම විශ්වාස කළ හැකි ය. උන් වහන්සේ ‘කඳුවලට පළමුවෙන්’ පැවති අතර ශුද්ධ ලියවිලි ආශ්රිත ව පවතින උන් වහන්සේගේ උපදෙස්, උන් වහන්සේගේ සදාතනික ප්‍රඥාව මත පදනම් ව ඇත. සන්තෝෂය හා සාර්ථකත්වය ලැබීමට අපට හරියට ම ඕනෑ කරන්නේ එයයි.
එනිසා, දේව වචනය වන බයිබලය කෙරෙහි නිසැක වීම ඥානවන්ත ය. දේව ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් එය අධ්‍යයනය කරන්න. ඔබ ඉගෙන ගන්නා දෙය විශ්වාස කරමින් ජීවන මාර්ගයේ මඟ පෙන්වීමට එය ආලෝකය කර ගන්න. (ගීතාවලිය 119:105) අනාගතය ගැන නිසැක ව, මනසේ අව්‍යාජ සාමය ඇති ව සිටින්නට හේතු ඇත්තේ එය කරන්නන්ට පමණි.