අපේ දවස් ගණින්න යෙහෝවා අපට උගන්වයි
“ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.”—ගීතාවලිය 90:12.
1. “අපේ දවස් ගණින්ට” අපට උගන්වන්න කියා යෙහෝවාගෙන් ඉල්ලා සිටීම යෝග්‍ය වන්නේ මන්ද?
යෙහෝවා දෙවි අපේ මැවුම්කරුය. අපට ජීවිතය දී තිබෙන්නේ ඔහුය. (ගීතාවලිය 36:9; එළිදරව් 4:11) එනිසා අප ජීවත් වන අවුරුදු ගණන ඥානවන්තව ගත කරන්නේ කෙසේද කියා ඔහු තරම් හොඳින් අපට ඉගැන්විය හැකි වෙන කිසිවෙකු නැත. එසේ නම්, ගීතිකාකරු මහත් ඕනෑකමින් දෙවිගෙන් මෙසේ ඉල්ලා සිටීම කොතරම් යෝග්‍යද! “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 90:12) මෙම ආයාචනය සඳහන් 90වන ගීතිකාව හොඳ අවධානයකින් විමසුමට ලක් කිරීම වටී. මුලින්ම අපි දේවානුභාවයෙන් ලියවී තිබෙන මෙම ගීතිකාවේ සමස්ත අදහස කෙටියෙන් සලකා බලමු.
2. (අ) අනූවන ගීතිකාවේ රචකයා ලෙස නම් කර තිබෙන්නේ කාවද? පෙනෙන විදිහට මෙය ලියා තිබෙන්නේ කුමන කාලයේද? (ආ) අනූවන ගීතිකාව අප ජීවිතය දෙස බලන ආකාරයට බලපෑ යුත්තේ කෙසේද?
2 අනූවන ගීතිකාව “සැබෑ දෙවිගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ යාච්ඤාවක්” [NW] කියා එහි ශීර්ෂ පාඨයේ සඳහන් වේ. මිනිස් ජීවිතය කොතරම් කෙටිද කියා මෙම ගීතිකාවෙන් අවධාරණය කෙරේ. මෙයින් පෙනී යන්නේ මෙම ගීතිකාව ඇතැම්විට රචනා කර තිබෙන්නේ ඉශ්රායෙල්වරුන් මිසරයේ වහල්භාවයෙන් නිදහස ලැබීමෙන් පසු, පාළුකරයේ දුෂ්කර ගමනක යෙදුණු අවුරුදු 40 තුළදී බවයි. මේ කාලයේදී ඉශ්රායෙල්වරුන් අතර සිටි ඇදහිල්ල එපා කළ පරම්පරාවකට අයත් දහස් ගණනක් මියගියහ. (ගණන් කථාව 32:9-13) මෙම ගීතිකාව රචනා කළ ස්ථානය කුමක් වුවත්, එයින් පෙන්වා දෙන්නේ අසම්පූර්ණ මිනිසුන්ගේ ජීවිතය කෙටි බවයි. එනිසා අප ජීවත් වන වටිනා දවස් ගණන ගත කළ යුත්තේ නැණවත් ලෙසය.
3. අනූවන ගීතිකාවේ මූලිකව අඩංගු වන්නේ මොනවාද?
3 අනූවන ගීතිකාවේ ගීතා 90 1 සිට 6 දක්වා වගන්තිවල යෙහෝවාව අපේ සදාකාලික වාසස්ථානය ලෙස හඳුන්වයි. වේගයෙන් ගෙවී යන අපේ ජීවිතයේ අවුරුදු ගණන දෙවිට පිළිගත හැකි අයුරින් ගත කිරීම සඳහා අප කළ යුතු දේවල් ගැන ගීතා 90 7 සිට 12 දක්වා වගන්තිවල පෙන්වා දෙයි. ගීතා 90 දහතුනේ සිට 17 දක්වා වගන්තිවල සඳහන් වන්නාක් මෙන් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව හා ආශීර්වාද ලැබීමට අපි මහත් ආශාවෙන් බලා සිටින්නෙමු. යෙහෝවාගේ සේවකයන් වශයෙන් අප එක් එක්කෙනා පෞද්ගලිකව අද්දකින දේවල් මෙම ගීතිකාවෙහි පුරෝකථනය කර නැති බව පැහැදිලිය. කෙසේවෙතත්, යාච්ඤාවක් ලෙස ගැයෙන මෙම ගීතිකාවෙහි සඳහන් අදහස් අප එක් එක්කෙනා හොඳින් සිතට ගත යුතුය. එනිසා දෙවිට කැප වී සිටින අය වශයෙන් මෙම 90වන ගීතිකාවෙන් කියවෙන දේවල් හොඳින් පරීක්ෂා කර බලමු.
අපේ “සැබෑ වාසස්ථානය” වන යෙහෝවා
4-6. යෙහෝවා අපට ‘සැබෑ වාසස්ථානයක්’ වන්නේ කෙසේද?
4 ගීතිකාකරු තම ගීතය පටන්ගන්නේ මෙම වදන් සමඟිනි. ‘යෙහෝවා, සියලු පරම්පරාවල ඔබ අපේ [සැබෑ, NW] වාසස්ථානය වූයේය. කඳුවල උත්පත්තියටත් [ප්‍රසව වේදනාව අද්දකින්නාක් මෙන්, NW] ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවිය [නැතහොත්, දිව්‍ය තැනැත්තාය].’—ගීතාවලිය 90:1, 2. (මෙම ලිපියේ බයිබල් පදවල අකුරු ඇල කළේ අපය.)
5 ‘සදාකාලික දෙවි’ වන යෙහෝවා අපට ‘සැබෑ වාසස්ථානයක්’ නොහොත් ආත්මික අර්ථයෙන් රක්ෂස්ථානයක් වේ. (රෝම 16:25) “යාච්ඤා අසන [තැනැත්තා]” වශයෙන් ඔහු අපට උපකාර කිරීමට නිතරම සූදානම්ව සිටින නිසා අප සුරක්ෂිතව සිටින බව අපට දැනෙයි. (ගීතාවලිය 65:2) අපේ ස්වර්ගික පියාගේ ප්‍රේමනීය පුත්‍රයා වන යේසුස් මාර්ගයෙන් අපේ දුක් කරදර අප ඔහු මත තබන නිසා, ‘සියලු සිතුවිලි අභිභවා යන දෙවිගේ සමාදානය අපගේ හදවත් හා කල්පනා ශක්තීන් ආරක්ෂා කරයි.’—පිලිප්පි 4:6, 7, NW; මතෙව් 6:9; යොහන් 14:6, 14.
6 සංකේතමය අර්ථයෙන් බලන කල යෙහෝවා අපට ‘සැබෑ වාසස්ථානයක්’ වේ. එනිසා අපි ආත්මික සුරක්ෂිතභාවයක් භුක්ති විඳින්නෙමු. ඔහු අපට ‘ඇතුල් කාමරද,’ [NW] සපයා දී තිබේ. මෙම ඇතුල් කාමර හා දෙවිට නමස්කාර කරන අයගෙන් සමන්විත සභාවල් අතර සමීප සම්බන්ධයක් තිබෙන බව පෙනෙයි. ආත්මික රක්ෂස්ථානයක් බඳු මෙම ඇතුල් කාමරවල අප තුළ සුරක්ෂිතබවේ හැඟීමක් ඇති කිරීම සඳහා බෙහෙවින් දායක වන ප්‍රේමනීය එඬේරු සේවය කරති. (යෙසායා 26:20; 32:1, 2; ක්‍රියා 20:28, 29) එපමණක්ද නොව, දෙවි ‘සියලු පරම්පරාවලට සැබෑ වාසස්ථානයක්’ වී තිබෙන ආකාරය දිගු කාලයක සිට ඔහුට සේවය කරන පවුල්වලට අයත් අප අතර සිටින සමහරුන් පෞද්ගලිකව අද්දැක තිබේ.
7. කඳු ‘උපත’ ලැබුවේ හා පොළොව “ප්‍රසව වේදනාව” අද්දකින්නාක් මෙන් බිහි වූයේ කිනම් අර්ථයෙන්ද?
7 කඳුවල “උත්පත්තියට” හා [ප්‍රසව වේදනාව අද්දකින්නාක් මෙන්, NW] පොළොව බිහි කිරීමට කලින් සිටම යෙහෝවා සිටියේය. විවිධ ලක්ෂණ, ව්‍යූහයන් හා ක්‍රියාවලියන් ඇතුළත් සංකීර්ණ පද්ධතිවලින් යුත් පොළොව බිහි කිරීම, මනුෂ්‍ය මිම්මෙන් බලන කල මහත් ආයාසයක් දැරීමට සිදු වන දෙයකි. පොළොව බිහි කිරීම ගැන පවසද්දී, කඳුවල “උත්පත්තිය” හා “ප්‍රසව වේදනාව” අද්දකින්නාක් මෙන් යන යෙදුම් භාවිත කිරීමෙන් යෙහෝවා මැවීමේදී සිදු කළ මහත් වැඩකොටස සඳහා ගීතිකාකරු ගැඹුරු ගෞරවයක් පෙන්වයි. මැවුම්කරුගේ නිර්මාණ සඳහා එවන් ගෞරවයක් හා අගය කිරීමක් අපත් පෙන්විය යුතු නැද්ද?
අපට උපකාර කරන්න යෙහෝවා සැමවිටම සූදානම්
8. යෙහෝවා “සදාකාලයෙන් සදාකාලයටම” දෙවි බවට කර තිබෙන ප්‍රකාශයෙන් අදහස් වන්නේ කුමක්ද?
8 “සදාකාලයෙන් සදාකාලයටම ඔබ [දෙවිය]” කියා ගීතිකාකරු ගායනා කළේය. අවසානයක් තිබුණත්, කාල සීමාව නිශ්චිතව දක්වා නොමැති දේවල්, “සදාකාලය” යනුවෙන් පරිවර්තනය කර තිබෙන මුල් භාෂාවේ සඳහන් වචනයෙන් අදහස් විය හැක. (නික්මයාම 31:16, 17; හෙබ්‍රෙව් 9:15) කෙසේවෙතත්, ගීතාවලිය 90:2හි හා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ඇතැම් තැන්වල සඳහන් “සදාකාලය” යන වදනින් අදහස් වන්නේ අවසානයක් නොමැත යන්නයි. (දේශනාකාරයා 1:4) දෙවි අනන්ත කාලයක් ජීවත් වී තිබෙන්නේ කෙසේද කියා අපේ මනස්වලට තේරුම්ගත නොහැක. යෙහෝවාට පටන්ගැන්මක් මෙන්ම අවසානයක්ද නැත. (හබක්කුක් 1:12, NW) සෑමදාම ජීවත් වන ඔහු අපට උපකාර කරන්න නිතරම සූදානමින් සිටියි.
9. මිනිස් පැවැත්මෙන් අවුරුදු දහසක් ගීතිකාකරු සමාන කළේ කුමකටද?
9 මිනිසාගේ ආරම්භයේ සිට ගෙවී ගොස් තිබෙන අවුරුදු දහස් ගණන සදාකාලයටම ජීවත් වන මැවුම්කරුට ඉතා කෙටි කාලයක් බව ගීතිකාකරු දේවානුභාවයෙන් ලීවේය. දෙවිව අමතමින් ඔහු මෙසේ ලීවේය. ‘ඔබ [මියයනසුලු, NW] මිනිසාව යළි දූවිල්ලට හරවයි. “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ පවසයි. ඔබගේ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනිය. රැයේ එක යාමයක් වැනිය.’—ගීතාවලිය 90:3, 4, නව අනුවාදය.
10. දෙවි ‘මිනිසාව යළි දූවිල්ලට හරවන්නේ’ කෙසේද?
10 දෙවි මියයනසුලු මිනිසාව ‘දූවිල්ලට හරවයි.’ ඉන් අදහස් වන්නේ මිනිසා මියගිය පසු කෙමෙන් කෙමෙන් දිරාපත් වී, දූවිලි අංශු බවට පත් වන බවයි. ‘නුඹ දූවිලිය, දූවිල්ලට ආපසු හැරී යන්න’ කියා යෙහෝවා පැවසූ ලෙසම සිදු වේ. (උත්පත්ති 2:7; 3:19) දුප්පතෙකු හෝ පොහොසතෙකු වේවා බලවතෙකු හෝ දුබලයෙකු වේවා සියලුදෙනාටම එය එක සේ අදාළ වේ. මන්ද ‘තමාගේ සහෝදරයා සදාකල් ජීවත් වන පිණිස ඔහුව නිදහස් කරගැනීම සඳහා ඔහු වෙනුවෙන් දෙවිට මිදීමේ මිලයක් දෙන්ට’ කිසිම අසම්පූර්ණ මිනිසෙකුට නොහැක. (ගීතාවලිය 49:6-9) එනමුත් ‘ස්වකීය ඒකජාතක පුත්‍රයා කෙරෙහි අදහාගන්න සෑමදෙනාම සදාකාල ජීවනය ලබන පිණිස දෙවි ඔහුව දීම’ ගැන අපි දෙවිට කොපමණ ස්තුතිවන්ත විය යුතුද!—යොහන් 3:16; රෝම 6:23.
11. අපට දිගු කාලයක් දෙවිට ඉතාමත් කෙටි කාලයක් බව පැවසිය හැක්කේ මන්ද?
11 යෙහෝවාගේ මිම්මෙන් බලන කල වයස අවුරුදු 969දී මියගිය මෙතුසෙලා පවා ජීවත් වූයේ දවසකට වඩා අඩු කාලයකි. (උත්පත්ති 5:27) අවුරුදු දහසක් යෙහෝවා ඉදිරියෙහි ඊයේ දවසට, එනම් ගෙවී ගිය පැය 24කට සමානය. දෙවිට අවුරුදු දහසක් රාත්‍රි කාලයේදී කඳවුරක් මුරකරන්නෙකුගේ පැය හතරක මුර කාල සීමාවට සමාන බවත් ගීතිකාකරු සඳහන් කරයි. (විනිශ්චයකාරයන්ගේ පොත 7:19) මෙයින් පැහැදිලි වන්නේ අපට දිගු කාලයක් සදාකාලික දෙවි යෙහෝවාට ඉතාමත් කෙටි කාලයක් බවයි.
12. දෙවි මිනිසුන්ව ‘ගසාගෙන යෑමට’ සලස්වන්නේ කෙසේද?
12 දෙවිගේ සදාකාලික පැවැත්ම සමඟ බලන කල ඇත්තෙන්ම වර්තමානයේ මිනිසාගේ ජීවිතය කෙටිය. මේ ගැන ගීතිකාකරු මෙසේ පවසයි. ‘ඔබ සැඩපහරකින් මෙන් ඔවුන්ව ගෙන යයි [ගසාගෙන යන්න සලස්වයි, NW]. ඔවුන් නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔවුහු වැඩෙන්නාවූ තණකොළ හා සමාන වෙති. උදයේ ඒවා සශ්‍රීක වෙමින් වැඩෙයි. සවස කපනු ලැබ වියළී යයි.’ (ගීතාවලිය 90:5, 6) ඉශ්රායෙල්වරුන් දහස් ගණනක් පාළුකරයේ මියගිය සැටි මෝසෙස් දුටුවේය. සැඩපහරකින් ගසාගෙන යන්නාක් මෙන් දෙවි ඔවුන්ව ගසාගෙන යන්නට සැලැස්සුවේය. මෙම කොටස එක් පරිවර්තනයක මෙසේ සඳහන් වේ. “මරණය නමැති නින්දේදී ඔබ ඔවුන් ගසාගෙන යෑමට සලස්වන්නේය.” (නියූ ඉන්ටර්නැෂනල් වර්ෂන්) අනිත් අතට අසම්පූර්ණ මිනිසුන්ගේ ආයු කාලය “නින්දක්” වැනි කෙටි කාල සීමාවකට සමාන කළ හැක.
13. අප ‘තණකොළ හා සමාන’ වන්නේ කෙසේද? මෙය අප සිතන ආකාරයට බලපෑ යුත්තේ කෙසේද?
13 අප ‘උදය කාලයේදී වැඩෙන්නාවූ තණකොළ හා සමානය.’ ඒවා දැඩි හිරු රශ්මිය නිසා සවස් කාලයේදී මැලවී යයි. දවසක් ඇතුළත මැලවී යන තණකොළ මෙන් අපේ ජීවිතද තාවකාලිකය. එනිසා අප සතු වටිනාම වස්තුව වන ජීවිතය නිකරුණේ ගෙවී යෑමට ඉඩ නොහරිමු. මේ ක්‍රමය තුළ අපට ජීවත් වීමට ඉතිරි වී තිබෙන අවුරුදු ගණන ගත කරන ආකාරය සම්බන්ධයෙන් දෙවිගේ මඟ පෙන්වීම් අප පැතිය යුතුය.
“අපේ දවස් ගණින්ට” යෙහෝවා අපට උපකාර කරයි
14, 15. ගීතාවලිය 90:7-9 දක්වා සඳහන් දෙය ඉශ්රායෙල්වරුන් සම්න්ධයෙන් ඉටු වූයේ කෙසේද?
14 දෙවි ගැන ගීතිකාකරු මෙසේ පවසයි. “ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව. ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහි [තැබුවේය]. මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් [සුසුමක්, න. අ.] මෙන් කෙළවරකරමුව.”—ගීතාවලිය 90:7-9.
15 ඇදහිල්ල එපා කළ ඉශ්රායෙල්වරු ‘දෙවිගේ කෝපයෙන් විනාශ වූහ.’ ඔවුන් ‘ඔහුගේ උදහසින් කැලඹීමට පත් විය.’ වෙනත් වචනවලින් පවසනවා නම් ඔවුහු ‘ඔහුගේ කෝපයෙන් ඉමහත් සේ බියට පත් වූහ.’ (නියූ ඉන්ටර්නැෂනල් වර්ෂන්) දෙවිගේ විනිශ්චයට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගෙන් සමහරු “කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.” (1 කොරින්ති 10:5) යෙහෝවා ‘ඔවුන්ගේ අයුතුකම් තමන් ඉදිරියෙහි තැබුවේය.’ ඔවුන් ප්‍රසිද්ධියේ කළ වැරදි සම්බන්ධයෙන් දෙවි ඔවුන්ව විනිශ්චයට ලක් කළේය. එනමුත් ඔවුන් ‘රහසින් කළ පව්’ පවා ‘ඔහුගේ [දීප්තිමත්, NW] මුහුණ ඉදිරියෙහි’ විය. (හිතෝපදේශ 15:3) දෙවිගේ උදහසට ගොදුරු වූ පසුතැවිලි නොවූ ඉශ්රායෙල්වරු ‘ඔවුන්ගේ අවුරුදු සුසුමක් මෙන් කෙළවර කළහ.’ ඇත්තෙන්ම අපේ කෙටි ආයු කාලයද අපේ මුවින් පිට වන සුසුමක් වැනිය.
16. සමහරුන් රහසින් පව් කරනවා නම්, ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
16 අපගෙන් යම් කෙනෙක් රහසින් පව් කිරීමට පුරුදු වුවහොත්, අනිත් අයගෙන් එය සැඟවිය හැක්කේ යම් කාලයකට පමණි. එනමුත් අප රහසින් කරන වැරදි ‘යෙහෝවාගේ දීප්තිමත් මුහුණ ඉදිරියෙහි’ සැඟවිය නොහැක. අප කරන වැරදි නිසා ඔහු සමඟ තිබෙන අපේ සබඳතාව පලුදු වෙයි. නැවත ඔහු සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනඟා ගැනීමට නම් අප ඔහුගෙන් සමාව ඉල්ලා යාච්ඤා කර, අපේ වැරදි අත්හැරිය යුතුය. එමෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සපයන ආත්මික උපකාරය කෘතඥපූර්වකව පිළිගත යුතුය. (හිතෝපදේශ 28:13; යාකොබ් 5:14, 15) අප සතු සදාකාල ජීවනයේ බලාපොරොත්තුව අනතුරේ හෙළමින් ‘සුසුමක් මෙන් අපේ අවුරුදු කෙළවර’ වීමට ඉඩහරිනවා වෙනුවට එම ක්‍රියාමාර්ගය ගැනීම කොතරම් හොඳද!
17. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය කොපමණද? අපේ ජීවිතයේ අවුරුදු ගණන පිරී තිබෙන්නේ කුමන දේවලින්ද?
17 අසම්පූර්ණ මිනිසුන්ගේ ආයු කාලය ගැන ගීතිකාකරු මෙසේ පවසයි. “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.” (ගීතාවලිය 90:10) මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70කි. වයස අවුරුදු 85දී කාලෙබ් තමා සතු අසාමාන්‍ය ශක්තිය ගැන සඳහන් කළේය. ආරොන් (123), මෝසෙස් (120), යෝෂුවා (110) වැනි අය සාමාන්‍යයට වඩා වැඩි ආයු කාලයක් ජීවත් වූහ. (ගණන් කථාව 33:39; ද්විතීය කථාව 34:7; යෝෂුවා 14:6, 10, 11; 24:29) එහෙත් මිසරයෙන් පිටත්ව පැමිණි ඇදහිල්ල එපා කළ පරම්පරාවට අයත් වූ වයස අවුරුදු 20 හා ඊට වඩා වැඩි අය අවුරුදු 40ක් ඇතුළත මියගියහ. (ගණන් කථාව 14:29-34) අද බොහෝ රටවල සාමාන්‍ය ආයු කාලය ගීතිකාකරු පැවසූ වයස් සීමාව අතර පවතී. අප ජීවත් වන අවුරුදු ගණන ‘වෙහෙස හා දුක් කරදරවලින්’ පිරී තිබේ. ඒවා ඉක්මනින් ගෙවී යයි. “අපිද ඉගිලී යමු.”—යෝබ් 14:1, 2.
18, 19. (අ) “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් [ගණන් කිරීම]” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අප ප්‍රඥාවන්තව කටයුතු කරන්නේ නම්, අප පෙලඹෙන්නේ කුමක් කිරීමටද?
18 ඊළඟට ගීතිකාකරු මෙසේ ගායනා කරයි. “ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද? ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 90:11, 12) අපගෙන් කිසිවෙකු දෙවිගේ කෝපයේ ප්‍රබලත්වය හා ඔහුගේ උදහසේ තරම ගැන සම්පූර්ණයෙන් දන්නේ නැත. මෙය යෙහෝවා කෙරෙහි තිබෙන අපේ ගෞරවාන්විත බිය තව වැඩිවීමට බලපෑ යුතුය. ‘ඥානවන්ත සිතක් ලබාගැනීම සඳහා අපේ දවස් ගණින්ට අපට උගන්වන්න’ කියා ඔහුගෙන් ඉල්ලීමට එය අප තුළ පෙලඹීමක් ඇති කළ යුතුය.
19 ගීතිකාකරු පවසන වදන් තමන්ගේ ජීවිතයේ ඉතිරි දවස් දෙවිට පිළිගත හැකි අයුරින් ගත කිරීමට අවශ්‍ය ප්‍රඥාව ලබාගන්න ආකාරය ගැන තම සෙනඟට උගන්වන්න කියා යෙහෝවාට කරන යාච්ඤාවක කොටසකි. අවුරුදු 70ක් පිරුණු පුද්ගලයෙක් ජීවත් වී තිබෙන්නේ දවස් 25,500ක් පමණ කාලයකි. අප කුමන වයස් මට්ටමක සිටියත්, ‘හෙට මක්වේද කියා අප දන්නේ නැත. අප වනාහි ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්’ වැනිය. (යාකොබ් 4:13-15) ‘කාලයත් හදිසි කාරණාත් අප පිට පැමිණිය හැකි’ නිසා අප කොතරම් කාලයක් ජීවත් වෙනවාද කියා අපට පැවසිය නොහැක. එනිසා පීඩා පැමිණෙන විට ඒවාට සාර්ථකව මුහුණ දීමටත්, අනිත් අයට නිසි ලෙස සැලකීමටත්, යෙහෝවාගේ සේවයෙහි අපට හැකි උපරිමය කල් නොදමා අදම කිරීමටත් හැකි වන ලෙස ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරමු. (දේශනාකාරයා 9:11; යාකොබ් 1:5-8) යෙහෝවා ඔහුගේ වචනය, ආත්මය හා සංවිධානය මාර්ගයෙන් අපට මඟ පෙන්වීම සපයයි. (මතෙව් 24:45-47; 1 කොරින්ති 2:10; 2 තිමෝති 3:16) අප ප්‍රඥාවට අනුකූලව ක්‍රියා කරන විට, ‘පළමුකොට දෙවිගේ රාජ්‍යය සොයන්නෙමු.’ එමෙන්ම යෙහෝවාව ගෞරවයට පත් කරමින් ඔහුගේ හදවත සතුටු කරන ආකාරයෙන් අපේ ජීවිතයේ ඉතිරි දවස් ගත කරන්නෙමු. (මතෙව් 6:25-33; හිතෝපදේශ 27:11) යෙහෝවාට අපේ මුළු හදින් නමස්කාර කිරීමෙන් අපේ සෑම ගැටලුවක්ම ඉවත් නොවුවත්, අපට මහත් ප්‍රීතියක් එයින් භුක්ති විඳිය හැකියි.
අපට ප්‍රීතිය ගෙනෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදයි
20. (අ) දෙවි ‘තැවෙන්නේ’ කුමන අර්ථයකින්ද? (ආ) අප බරපතළ වැරදි කළත්, සැබෑ පසුතැවිල්ලක් පෙන්වනවා නම්, යෙහෝවා අප සමඟ කටයුතු කරන්නේ කෙසේද?
20 අපේ ජීවිතයේ ඉතිරි දවස් පුරාම ප්‍රීතියෙන් සිටින්න හැකි නම් එය මොනතරම් අපූර්ව අද්දැකීමක් වේවිද! මේ ගැන මෝසෙස් මෙසේ ආයාචනා කළේය. “[යෙහෝවා] හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව. අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් [නැතහොත් “පක්ෂපාත ප්‍රේමයෙන්,” NW පාදසටහන] අප තෘප්තියට පැමිණෙවුව මැනව.” (ගීතාවලිය 90:13, 14) දෙවි අතින් වැරදි සිදු වන්නේ නැත. එහෙත් වැරදි කරන අය ඔහුගේ අනතුරු ඇඟවීම් පිළිගෙන, පසුතැවිලි වී ඔවුන්ගේ ආකල්ප හා හැසිරීම වෙනස් කරගන්නේ නම්, ඔහු ‘තැවී’ ඔවුන්ට දඬුවම් නොකර ‘හැරී එයි.’ (ද්විතීය කථාව 13:17, 18) එනිසා අප බරපතළ වැරදි කළත්, සැබෑ පසුතැවිල්ලක් පෙන්වනවා නම්, යෙහෝවා ‘ඔහුගේ කරුණාවෙන් අපව තෘප්තියට පමුණුවයි.’ මෙය අපට ‘ප්‍රීතිවීමට’ හේතුවකි. (ගීතාවලිය 32:1-5) අප ධර්මිෂ්ඨකම ලුහුබඳිනවා නම්, දෙවි පෙන්වන පක්ෂපාත ප්‍රේමය අද්දැකීමට අපට පුළුවන. එමෙන්ම “අපේ සියලු දවස්වලදී,” ඔව්, අපේ ජීවිතයේ ඉතිරී වී තිබෙන කාලය පුරාම අපට ‘ප්‍රීතියෙන්’ සිටිය හැක.
21. ගීතාවලිය 90:15, 16හි සඳහන් වදන්වලින් මෝසෙස් ඉල්ලමින් සිටියේ කුමක් විය හැකිද?
21 ගීතිකාකරු මෙසේ මහත් උනන්දුවෙන් යාච්ඤා කරයි. “ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව. ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා.” (ගීතාවලිය 90:15, 16) මෙහිදී මෝසෙස් දෙවිගෙන් ඉල්ලමින් සිටිනවා විය හැක්කේ, ඉශ්රායෙල්වරුන් පීඩා හා විපත්ති අද්දුටු දවස් ගණනට සමාන දවස් ගණනක් ඔවුන්ට ප්‍රීතියෙන් සිටීමට හැකි වන ලෙස ආශීර්වාද කරන්න කියාය. ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමේ දෙවිගේ “ක්‍රියාව” ඔහුගේ සේවකයන්ට පෙන්වන්න කියාත් ඔහුගේ තේජස ඔවුන්ගේ දූ දරුවන්ට දැකගැනීමට සලස්වන්න කියාත් ගීතිකාකරු දෙවිගෙන් ඉල්ලා සිටියේය. දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවේදී කීකරු මිනිසුන්ට ආශීර්වාද වගුරුවන්න කියා යාච්ඤා කිරීමට අපටත් හොඳ හේතු තිබේ.—2 පේතෘස් 3:13.
22. ගීතාවලිය 90:17හි සඳහන් වන පරිදි අපට යෝග්‍ය ලෙස කුමක් ගැන යාච්ඤා කළ හැකිද?
22 අනූවන ගීතිකාව නිමාවට පත් වන්නේ මෙම ආයාචනය සමඟිනි. “අපේ දෙවිවූ [යෙහෝවාගේ] අලංකාරය [ප්‍රසන්නකම, NW] අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිරකළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව.” (ගීතාවලිය 90:17) දෙවිට සේවය කිරීම සඳහා අප දරන වෑයම්වලට ආශීර්වාද කරන්න කියා යාච්ඤා කිරීම යෝග්‍ය බව එම වදන්වලින් පැහැදිලි වේ. ආලේප ලත් ක්‍රිස්තියානීන් හෝ ඔවුන්ගේ කිට්ටු ආශ්‍රිතයන් වන ‘වෙනත් බැටළුවන්’ වශයෙන් “යෙහෝවාගේ ප්‍රසන්නකම” අප කෙරෙහි තිබීම ගැන අපි ප්‍රීති වන්නෙමු. (යොහන් 10:16) දෙවි රාජ්‍ය ප්‍රකාශකයන් වන ‘අපේ අත්වල වැඩ ස්ථිර කර’ තිබීම ගැන අප මොනතරම් සතුටු වෙනවාද!
අත්නෑර අපේ දවස් ගණන් කරමු
23, 24. අනූවන ගීතිකාව ගැන මෙනෙහි කිරීමෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?
23 අනූවන ගීතිකාව මෙනෙහි කරද්දී අපේ “සැබෑ වාසස්ථානය” වන යෙහෝවා මත අප රඳා සිටීම තව තවත් ස්ථිර කරගැනීමේ අවශ්‍යතාව අපට පෙනී යා යුතුයි. ජීවිතය මොනතරම් කෙටිද කියා පවසන එහි වදන් ගැන සිතන විට, අපේ දවස් ගණන් කරමින් ජීවත් වෙද්දී දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් වීමේ අවශ්‍යතාව වඩාත් හොඳින් තේරුම්ගත යුතුය. අප දිගටම දෙවි සපයන ප්‍රඥාව අත් කරගැනීමට වෑයම් කරමින්, ඊට එකඟව ක්‍රියා කරනවා නම් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව හා ආශීර්වාද අපට ලැබෙන බව නිසැකයි.
24 අපේ දවස් ගණන් කරන ආකාරය යෙහෝවා දිගටම අපට උගන්වයි. ඔහුගේ උපදෙස් පිළිපදිනවා නම්, අපේ ජීවිතයේ දවස් සදහටම ගණින්ට අපට හැකි වනු ඇත. (යොහන් 17:3) කෙසේවෙතත්, සදාකාල ජීවනය අපේක්ෂාවෙන් සිටීමට නම් යෙහෝවාව අපේ රක්ෂස්ථානය කරගත යුතුය. (යූද් 20, 21) අනූඑක්වන ගීතිකාවේ සඳහන් දිරිගන්වනසුලු වදන් මගින් එම කාරණය හොඳින් පැහැදිලි කරන බව ඊළඟ ලිපියෙන් අපට තේරුම්ගත හැක.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• යෙහෝවා අපට “සැබෑ වාසස්ථානයක්” වන්නේ කෙසේද?
• අපට උපකාර කරන්න යෙහෝවා සැමවිටම සූදානම් කියා පැවසිය හැක්කේ මන්ද?
• “අපේ දවස් ගණින්ට” යෙහෝවා අපට උපකාර කරන්නේ කෙසේද?
• “අපේ සියලු දවස්වලදී [ප්‍රීතිවීමට]” අපට උපකාරවත් වන්නේ කුමක්ද?
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවා ‘කඳුවල උත්පත්තියට කලින් සිටම’ දෙවිව සිටියේය
[12වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ මිම්මෙන් බලන කල වයස අවුරුදු 969දී මියගිය මෙතුසෙලා ජීවත් වූයේද දවසකටත් වඩා අඩු කාලයකි
[14වන පිටුවේ පින්තූර]
යෙහෝවා ‘අපේ අත්වල වැඩ ස්ථිර කර’ තිබේ