හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කරන්න
“මේ සියලු ශාප නුඹ පිටට පැමි [ණෙන්නේ] . . . නුඹ ප්‍රීතියෙන්ද සිත් [හෘදයේ, NW] සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] සේවය නොකළ නිසා [ය].”—ද්විතීය කථාව 28:45-47.
1. යෙහෝවඃවහන්සේට සේවය කරන්නන් කොතැනක සේවය කළත්, ඔවුන් ප්‍රීතිමත් බවට තිබෙන සාක්ෂි මොනවාද?
ස්වර්ගයේ වේවා, පොළොව මත වේවා, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කරන උන්වහන්සේගේ සේවකයෝ ප්රීතිමත්හුය. දේවදූත “පහන් තාරකා” පොළොවේ අත්තිවාරම දමද්දී ප්‍රීති ඝෝෂා නැඟූ අතර, ස්වර්ගික දේවදූත දස දහස් ගණන් ‘දෙවියන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන්නේ’ ප්‍රීතිය ඇතුව බවට කිසිදු සැකයක් නැත. (යෝබ් 38:4-7; ගීතාවලිය 103:20) යෙහෝවඃවහන්සේගේ ඒක-ජාතක පුත්‍රයා ස්වර්ගයේ ප්‍රීතිමත් ‘ප්‍රධාන කර්මාන්තකාරයෙකු’ වූ අතර, පොළොව මත මිනිස්බවගත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වශයෙන් දිව්‍ය කැමැත්ත කිරීමෙහිලා මහත් සතුටක් ලැබූසේක. එපමණක්ද නොව, “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වධ කණුව, NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.”—හිතෝපදේශ 8:30, 31; හෙබ්‍රෙව් 10:5-10; 12:2.
2. ඉශ්රායල්වරුන් ආශීර්වාද හෝ ශාප අද්දුටු බව තීරණය කළේ කුමකින්ද?
2 ඉශ්රායෙල්වරු දෙවියන්වහන්සේව සතුටු කළ විට ප්‍රීතිය අද්දුටහ. එහෙත්, ඔවුන් උන්වහන්සේට අකීකරු වූවානම්, කුමක්ද? ඔවුන්ට මෙසේ අනතුරු අඟවන ලදි: “[ශාප] ලකුණක් හා පුදුමයක් පිණිස නුඹ පිටත් නුඹේ වංශය පිටත් සදාකාලයටම වන්නේය. සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් [හෘදයේ, NW] සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] සේවය නොකළ නිසා, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.” (ද්විතීය කථාව 28:45-48) ශාප හා ආශීර්වාද මගින් යෙහෝවඃවහන්සේගේ සේවකයන් වූයේ කවුරුන්ද, එසේ නොවූයේ කවුරුන්ද යන්න පැහැදිලිව පෙන්වන ලදි. දෙවියන්වහන්සේගේ ප්‍රතිපත්ති සහ අරමුණු සුළු කොට නොතැකිය හැකි බවත්, ඒවාට අවමන් කළ නොහැකි බවත්, එවැනි ශාප මගින් සහතික කරන ලදි. පාළුකරනු ලැබීම සහ වහල්භාවයට ගෙනයනු ලැබීම පිළිබඳව යෙහෝවඃවහන්සේගේ අනතුරු ඇඟවීමට අවනත වීමට ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ නිසා යෙරුසලම, “පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක්” බවට පත්විණි. (යෙරෙමියා 26:6) එමනිසා අපි දෙවියන්වහන්සේට කීකරු වී, උන්වහන්සේගේ අනුමැතිය භුක්ති විඳිමු. ප්‍රීතිය වනාහි දේව භක්තිකයන් විසින් අද්දකිනු ලබන දිව්‍යමය ආශීර්වාද බොහොමයෙන් එකකි.
“හෘදයේ ප්‍රීතියෙන්” යුතුව සේවය කරන ආකාරය
3. උපහැරණාත්මක හෘදය කුමක්ද?
3 ඉශ්රායෙල්වරුන් යෙහෝවඃවහන්සේට සේවය කළ යුතුව තිබුණේ “ප්‍රීතියෙන්ද සිත් [හෘදයේ, NW] සන්තෝෂයෙන්ද” යුතුවය. දෙවියන්වහන්සේගේ නවීන-දින සේවකයන්ද එසේම විය යුතුය. ප්‍රීතිවීම යනු, “සතුටුවීමය; ප්‍රීතියෙන් පිරී යෑමය.” ශුද්ධ ලියවිලිවල භෞතික හෘදය ගැන සඳහන් වී තිබුණද, එය පදගතාර්ථමය වශයෙන් සිතන්නේ හෝ කල්පනා කරන්නේ හෝ නැත. (නික්මයාම 28:30) එහි ප්‍රධාන කාර්යය වනුයේ, ශරීරයේ සෛල පෝෂණය කරන රුධිරය පොම්ප කිරීමය. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවන්හිදී, බයිබලය යොමු දක්වන්නේ, ස්නේහයේ, පෙලඹීමේ හා බුද්ධිමත්භාවයේ කේන්ද්‍රස්ථානයට වඩා දෙයක් වන උපහැරණාත්මක හෘදයටය. එය “සාමාන්‍යයෙන් ගත් කල, අභ්‍යන්තරයේ මධ්‍යම කොටස වශයෙන්ද, ඇතුළාන්තය, එමෙන්ම තම විවිධ සියලු ක්‍රියාකාරකම්වලදී, තම ආශාවන්, ස්නේහයන්, චිත්තවේගයන්, රාගයන්, අරමුණු, තම සිතිවිලි, වටහාගැනීම්, කල්පිතයන්, තම ප්‍රඥාව, දැනුම, කුසලතා, තම විශ්වාසයන් සහ තම තර්කයන්, තම මතකයන් සහ තම සිහිකල්පනාවන් යන මේ සියල්ලෙහිදීම පිළිබිඹු වන අභ්‍යන්තර මනුෂ්‍යයා” නියෝජනය කරන බව කියැවේ. (ජර්නල් ඔෆ් ද සොසයටි ඔෆ් බිබ්ලිකල් ලිට්රෙචර් ඇන්ඩ් එක්සජිසිස්, 1882, පිටුව 67) අපගේ උපහැරණාත්මක හෘදයට, ප්‍රීතිය ඇතුළු අපගේ හැඟීම් සහ චිත්තවේගයන්ද ඇතුළත් වේ.—යොහන් 16:22.
4. හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපට උපකාර කිරීමට කුමකට හැකිද?
4 හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද? අපගේ ආශීර්වාද සහ දෙවියන්වහන්සේ විසින් දානය කරන ලද වරප්‍රසාද කෙරෙහි ඒකාන්ත, අගය කරනසුලු දෘෂ්ටියක් උපකාරවත් වේ. නිදසුනක් වශයෙන්, සැබෑ දෙවියන්වහන්සේට “පරිශුද්ධ සේවය” [NW] පිරිනැමීමේ අපගේ වරප්‍රසාදය ගැන අපට ප්‍රීතියෙන් යුතුව සිතා බැලිය හැක. (ලූක් 1:72අ, 73) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් උන්වහන්සේගේ නාමය දැරීමේ වරප්‍රසාදයද මීට සම්බන්ධය. (යෙසායා 43:10-12) දේව වචනය අනුගමනය කිරීමෙන් අප උන්වහන්සේව සතුටු කරමින් සිටින බව දැනගැනීමේ ප්‍රීතියද මීට ඇතුළත් කිරීමට අපට හැක. එමෙන්ම, ආත්මික ආලෝකය පිළිබිඹු කරමින්, එමගින් අන්ධකාරයෙන් පිටතට පැමිණීමට බොහෝදෙනෙකුට උපකාර කිරීම මොනතරම් ප්‍රීතියක්ද!—මතෙව් 5:14-16; සසඳන්න 1 පේතෘස් 2:9.
5. දේව භක්තික ප්‍රීතියේ උල්පත කුමක්ද?
5 එහෙත්, හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීම, හුදෙක් ඒකාන්ත සිතිවිලිවලට සම්බන්ධ කාරණයක් නොවේ. එය දේවල් දෙස බලන ආකාරය සම්බන්ධයෙන් ඒකාන්ත වීමට ප්රයෝජනවත්ය. එහෙත්, දේවභක්තික ප්‍රීතිය යනු චරිත වර්ධනය තුළින් අප නිපදවන යමක් නොවේ. එය වනාහි දෙවියන්වහන්සේගේ ආත්මයේ ඵලයකි. (ගලාති 5:22, 23) අපට එවැනි ප්‍රීතියක් නොතිබේ නම්, දෙවියන්වහන්සේගේ ආත්මයට දුක් දිය හැකි යම් ශුද්ධ ලියවිලිමය නොවන ආකාරයකට සිතීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් වැළකී සිටීම පිණිස යම් සැකසීම් කිරීමට අපට අවශ්‍ය විය හැක. (එපීස 4:30) කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේට කැපවූවන් වශයෙන්, ඇතැම් අවස්ථාවලදී අපට ඇති වන හෘදයංගම ප්‍රීතියේ ඌනතාව දිව්‍ය අප්‍රසාදයේ ලකුණක් යයි සිතා අපි භය නොවෙමු. අප අසම්පූර්ණය, වේදනාවට, දුකට සහ ඇතැම් විට මානසික පීඩනයටද ගොදුරු වනසුලුය, නමුත් යෙහෝවඃවහන්සේ අපව තේරුම්ගන්නාසේක. (ගීතාවලිය 103:10-14) එමනිසා, ප්‍රීතිය නමැති ශුද්ධාත්ම ඵලය දෙවියන්වහන්සේ දානය කරන බව මතක තබාගෙන, අපි උන්වහන්සේගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරමු. අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් එවැනි යාච්ඤාවලට සවන් දෙනු ඇති අතර, හෘදයේ ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ අපට හැකි කරවනවා ඇත.—ලූක් 11:13.
ප්‍රීතිය නැති විට
6. දෙවියන්වහන්සේට අප කරන සේවය තුළ, අපට ප්‍රීතිය අහිමි වී ඇත්නම්, අප කුමක් කළ යුතුද?
6 අපට අපගේ සේවය තුළ ප්‍රීතිය අහිමිවෙමින් පවතී නම්, අප අවසානයේදී යෙහෝවඃවහන්සේට සේවය කිරීමේදී මන්දගාමී විය හැක. නැතහොත් උන්වහන්සේට අවිශ්වාසවන්ත පවා විය හැක. මෙබැවින්, අපගේ චේතනාවන් නිහතමානීව සහ යාච්ඤාපූර්වකව සැලකිල්ලටගෙන, අවශ්‍ය වෙනස්කම් කිරීම ඥානවන්ත වනු ඇත. දෙවියන්වහන්සේ විසින් දානය කරන ලද ප්‍රීතිය ලබාගැනීම පිණිස, අපේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද මනසින්ද යුතුව ප්‍රේමයෙන් පෙලඹී යෙහෝවඃවහන්සේට අප සේවය කළ යුතුය. (මතෙව් 22:37) අප තරඟකාරි ආකල්පයකින් යුතුව සේවය නොකළ යුතුය, මන්ද, පාවුල් මෙසේ ලීවේය: “අපි ආත්මය කරණකොටගෙන ජීවත් වන්නෙමු නම්, ආත්මය කරණකොටගෙන පිළිවෙළකට දිගටම ගමන් කරමින් සිටිමු. අපි අහංකාරකමින් පිරුණු අය නොවෙමු. එකිනෙකා සමඟ තරඟය අවුස්සන්නේ නැතිව සිටිමු, එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.” (ගලාති 5:25, 26, NW) අප අන්‍යයන්ට වඩා කැපී පෙනීමට වුවමනා නිසා හෝ ප්‍රශංසාව ලැබීමට වුවමනා නිසා සේවය කරනවා නම්, අපට සැබෑ ප්‍රීතිය තිබෙන්නේ නැත.
7. අපගේ හෘදයේ ප්‍රීතිය යළි දැල්වීමට අපට හැක්කේ කෙසේද?
7 යෙහෝවඃවහන්සේට අප කරන ලද කැපවීම ඉටු කිරීම තුළ ප්‍රීතිය තිබේ. අප දෙවියන්වහන්සේට අලුතෙන් කැප වූ අවස්ථාවේ, අපි ක්‍රිස්තියානි ජීවන මාර්ගය ජ්වලිතව ආරම්භ කළෙමු. අපි ශුද්ධ ලියවිලි පාඩම් කළෙමු, නිතිපතා රැස්වීම්වලදී සහභාගි වූයෙමු. (හෙබ්‍රෙව් 10:24, 25) එය අපට දේව සේවයේ හවුල්වීමේ ප්‍රීතිය ලබා දුණි. එහෙත්, අපගේ ප්‍රීතිය නිවී ගොස් ඇත්නම් තත්ත්වය කුමක්ද? බයිබල් පාඩම, රැස්වීම්වලට පැමිණීම, දේව සේවයේ සහභාගි වීම—ඇත්තෙන්ම, ක්‍රිස්තියානි ධර්මයේ සෑම අංගයක් තුළම මුළුමනින්ම සහභාගි වීම—අපගේ ජීවිතවලට ආත්මික ස්ථාවරත්වයක් ලබා දිය යුතු අතර, අපට පළමුව තිබූ ප්‍රේමය සහ අපට මීට පෙර තිබූ හෘදයේ ප්‍රීතිය යන දෙකම යළි දල්වාලිය යුතුය. (එළිදරව් 2:4) එවිට අප, තරමක් ප්‍රීතිය රහිතව සිටින හා බොහෝ විට ආත්මික උපකාර අවශ්‍යව සිටින ඇතැම් අය මෙන් නොවනු ඇත. උපකාර කිරීමට වැඩිමහල්ලෝ සතුටෙන් සිටිති, නමුත් අප දෙවියන්වහන්සේට වූ අපගේ කැපවීම පුද්ගලයන් වශයෙන් ඉටු කළ යුතුය. අප සඳහා මෙය කිරීමට වෙන කිසිවෙකුට නොහැක. එමනිසා, යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීම ඉටු කිරීමට හා සැබෑ ප්‍රීතිය ලැබීමට, සාමාන්‍ය ක්‍රිස්තියානි දිනචර්යාව අනුගමනය කිරීම අපි අපේ ඉලක්කය කරගනිමු.
8. ප්‍රීතිවීමට අපට වුවමනා නම්, පිරිසිදු හෘදය සාක්ෂියක් වැදගත් වන්නේ මන්ද?
8 දෙවියන්වහන්සේගේ ආත්මයේ ඵලයක් වන ප්‍රීතිය අප විසින් ලැබීමට නම්, අපට පිරිසිදු හෘදය සාක්ෂියක් තිබීම අවශ්‍යය. ඉශ්‍රායලයේ දාවිත් රජ තම පාපය වසං කිරීමට උත්සාහ කළ තාක් කල්, ඔහු සිටියේ දුක්ඛිත තත්ත්වයකය. ඇත්තෙන්ම, ඔහුගේ ඕජස් ගතිය (ජීව ශක්තිය) වාෂ්ප වී යන බවක් පෙනෙන්ට තිබූ අතර, ඔහු කායික වශයෙන් අසනීප වූවා විය හැක. පසුතැවිල්ල සහ පව් කියාදීම සිදුවූ විට ඔහුට ලැබුණු සහනය කොතරම් මහත්වීද! (ගීතාවලිය 32:1-5) අප යම් බරපතළ පාපයක් සඟවන්නේ නම්, අපට ප්‍රීතිවීමට බැරිය. මෙය අපට ගැටලුසහගත ජීවිතයක් ගත කිරීමට හේතු කරවන්ට පුළුවන. ස්ථිර වශයෙන්ම, මෙය වනාහි ප්‍රීතිය අද්දැකීමේ මාර්ගය නොවේ. එහෙත්, පව් කියාදීම සහ පසුතැවිල්ල, සහනයද ප්‍රීතිමත් ස්වභාවයක් නැවත ගෙන ඒමද සිදුකරයි.—හිතෝපදේශ 28:13.
ප්‍රීතියෙන් යුතුව බලා සිටීම
9, 10. (අ) ආබ්‍රහම් ලබාගත්තේ කිනම් පොරොන්දුවද, නමුත් ඔහුගේ ඇදහිල්ල සහ ප්‍රීතිය කෙසේ පරීක්ෂාවූවා විය හැකිද? (ආ) ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගේ ආදර්ශවලින් ප්‍රයෝජනගැනීමට අපට හැක්කේ කෙසේද?
9 අප පළමු වතාවට දිව්‍ය අරමුණ පිළිබඳව ඉගෙනගත් විට ප්‍රීතිය ලැබීම එක් දෙයකි, නමුත් අවුරුදු ගත වන විට ප්‍රීතිය තුළ රැඳී සිටීම තව දෙයකි. ඇදහිලිවන්ත ආබ්‍රහම් සම්බන්ධ සිද්ධිය තුළ මෙය උපහැරණය කළ හැකිය. දෙවියන්වහන්සේගේ අණ ප්‍රකාර, ඔහුගේ පුත් ඊසාක්ව පූජා කිරීමට තැත්කළායින් පසු, දේවදූතයෙක් මෙම පණිවුඩය රැගෙන ආවේය: “නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.” (උත්පත්ති 22:15-18) ආබ්‍රහම් මෙම පොරොන්දුව කෙරෙහි ප්‍රීතියෙන් ඉපිළ ගිය බවට කිසිදු සැකයක් නැත.
10 ඊසාක් වනාහි පොරොන්දු වූ ආශීර්වාද පැමිණෙනු ඇති “වංශය” වනු ඇති බවට ආබ්‍රහම් අපේක්ෂා කළා විය හැක. එහෙත්, වසර ගණනාවක් ගත වීමත් සමඟම, ඊසාක් තුළින් ආශ්චර්යමය වශයෙන් කිසිදු යමක් සිදු නොවූ නිසා, ආබ්‍රහම් සහ ඔහුගේ පවුලේ ඇදහිල්ල සහ ප්‍රීතිය පරීක්ෂණයට භාජන වූවා විය හැක. ඊසාක්ටද ඉන්පසුව ඔහුගේ පුත් යාකොබ්ටද පොරොන්දුව පිළිබඳව දෙවියන්වහන්සේ කළ සනාථ කිරීම වංශයේ පැමිණීම තවමත් අනාගතයේ සිදුවන බවට සහතිකයක් වූ අතර, මෙය ඔවුන්ට උපකාර කළේ සිය ඇදහිල්ල සහ ප්‍රීතිය දිගටම පවත්වාගැනීම සඳහාය. කෙසේවෙතත් ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්, දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් පොරොන්දුවල කිසිදු ඉටුවීමක් නොදැක මිය ගියෝය. නමුත් ඔවුන් යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිමත් නොවූ සේවකයන් වූයේ නැත. (හෙබ්‍රෙව් 11:13) යෙහෝවඃවහන්සේගේ පොරොන්දුවල ඉටුවීම දෙස බලා සිටිමින්, ඇදහිල්ලෙන් සහ ප්‍රීතියෙන් යුතුව දිගටම උන්වහන්සේට සේවය කිරීමට අපටත් හැක.
පීඩා අභිබවා ප්‍රීතිය
11. පීඩා අභිබවා ප්‍රීතිවීමට අපට හැක්කේ මන්ද?
11 යෙහෝවඃවහන්සේගේ සේවකයන් වශයෙන්, අප පීඩාවලින් දුක්වින්දත්, හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපට හැකියි. යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ, තමන්වහන්සේගේ නාමයෙන් පීඩා විඳින අය සන්තෝෂවත් කියාය, තවද ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසුවේය: “ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්රීතිවෙයල්ලා. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා නින්දාකරනු ලබන්නහු නම් නුඹලා ආශීර්වාදලද්දහුය [සන්තෝෂවත්හුය, NW]; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] නුඹලා කෙරෙහි රඳනසේක [රඳා සිටී, NW].” (1 පේතෘස් 4:13, 14; මතෙව් 5:11, 12) ඔබ ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා දුක්වේදනා විඳදරාගනිමින් සිටින්නේ නම්, ඔබට යෙහෝවඃවහන්සේගේ ආත්මය සහ අනුමැතිය ඇත, තවද එය සහතිකවම ප්‍රීතිය වැඩි දියුණු කරයි.
12. (අ) ඇදහිල්ලේ පරීක්ෂාවලට ප්‍රීතියෙන් මුහුණ දීමට අපට හැක්කේ මන්ද? (ආ) වහල්භාවයේ සිටි එක්තරා ලෙවීවරයෙකුගේ සිද්ධියෙන් කිනම් මූලික පාඩම උගත හැකිද?
12 අපට ඇදහිල්ලේ පරීක්ෂණවලට ප්‍රීතියෙන් යුතුව මුහුණ දිය හැක, මන්ද දෙවියන්වහන්සේ අපේ බලකොටුව වනසේක. මෙය ගීතාවලිය 42 සහ 43හි පැහැදිලිව දැකීමට සලස්වා තිබේ. යම් හේතුවක් නිසා, එක්තරා ලෙවීවරයෙක් වහල්භාවයේ සිටියේය. දෙවියන්වහන්සේගේ මණ්ඩපයේ නමස්කාරය සඳහා ඔහුට යෑමට නොහැකි වීම ගැන ඔහු කොතරම් කනගාටු වූවාද යත්, ඔහුට හැඟුණේ, වියළි නිසරු ප්‍රදේශයක වතුර බීමට ආශාවෙන් පිපාසිතව සිටින මුවැත්තියක මෙන්ය. ඔහු යෙහෝවඃවහන්සේ උදෙසා සහ උන්වහන්සේගේ මණ්ඩපයේ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ වරප්‍රසාදය උදෙසා ‘පිපාසවුණේය,’ නැතහොත් දැඩි සේ ආශා වූයේය. (ගීතාවලිය 42:1, 2) මෙම වහල්භාවයේ සිටි තැනැත්තාගේ අද්දැකීම, යෙහෝවඃවහන්සේගේ ජනයා සමඟ අප භුක්ති විඳින ආශ්‍රය කෙරෙහි අපගේ කෘතඥතාව පෙන්වීමට අපව පෙලඹවිය යුතුය. පීඩා හේතුවෙන් අප එවන් තත්ත්වයක් තුළ සිරවී සිටීම නිසා, ඔවුන් සමඟ සිටීමෙන් තාවකාලිකව අපව වළක්වා තිබේ නම්, පරිශුද්ධ සේවය තුළ අතීතයේ එකට සිටීමෙන් ලද ප්‍රීතිය ගැන මෙනෙහි කර, උන්වහන්සේට නමස්කාර කරන්නන් සමඟ නිතිපතා ක්‍රියාකාරකම්වලට අපව නැවත පමුණුවන හැටියට, ‘දෙවියන්වහන්සේ කෙරෙහි බලාසිටින’ අතරතුර, විඳදරාගැනීම සඳහා අපි යාච්ඤා කරමු.—ගීතාවලිය 42:4, 5, 11; 43:3-5.
‘යෙහෝවඃවහන්සේට ප්‍රීතියෙන් මෙහෙකරව්’
13. ප්‍රීතිය වනාහි දෙවියන්වහන්සේට අප කරන සේවය තුළ ප්‍රධාන අංගයක් විය යුතු බව ගීතාවලිය 100:1, 2 පෙන්වන්නේ කෙසේද?
13 ප්‍රීතිය වනාහි අප දෙවියන්වහන්සේට කරන සේවයේ විශේෂ අංගයක් විය යුතුය. ගීතිකාකරු ගායනා කළ ස්තුති දීමේ ගීයක මෙය පෙන්නුම් කරන ලදි: “පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට [යෙහෝවඃවහන්සේට, NW] ප්‍රීතිනාද පවත්වව්. ස්වාමීන්ට [යෙහෝවඃවහන්සේට, NW] ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් [ප්‍රීතිමත් නාදයකින් යුතුව, NW] උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.” (ගීතාවලිය 100:1, 2) යෙහෝවඃවහන්සේ “සන්තෝෂවත් දෙවියන්වහන්සේ” වනසේක, එමෙන්ම ස්වකීය සේවකයන් තමන්වහන්සේට කර ඇති කැපවීම ඉටු කිරීමේදී ඔවුන් ප්‍රීතිය ලබනවා දැකීමට උන්වහන්සේට වුවමනාය. (1 තිමෝති 1:11, NW) සියලු ජාතීන්ගේ ජනයන් යෙහෝවඃවහන්සේ තුළ ප්‍රීතියෙන් උද්දාම විය යුතු අතර, අපගේ ප්‍රශංසා ප්‍රකාශ, ජයග්‍රාහී හමුදාවක ‘ප්‍රීති ඝෝෂා නාදයක්’ මෙන් ප්රබලව තිබිය යුතුය. දෙවියන්වහන්සේට සේවය කිරීම නැවුම්බවක් ගෙන දෙන හෙයින්, එය ප්‍රීතියෙන් යුතුව කළ යුතුයි. මෙබැවින්, “ප්‍රීතිමත් නාදයකින් යුතුව” [NW] දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණෙන මෙන් ගීතිකාකරු ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටියේය.
14, 15. ගීතාවලිය 100:3-5, අදදින යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිමත් ජනයාට අදාළ වන්නේ කෙසේද?
14 ගීතිකාකරු මෙසේද එකතු කළේය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දෙවියන්වහන්සේ බව දැනගනිව් [හඳුනාගනිව්, පිළිගනිව්]. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.” (ගීතාවලිය 100:3) යෙහෝවඃවහන්සේ අපගේ දෙවියන්වහන්සේ බැවින්, උන්වහන්සේට අප අයිති වන්නේ, එඬේරෙකුට බැටළුවන් අයත්ව සිටින්නාක් මෙනි. දෙවියන්වහන්සේ කොතරම් හොඳින් අපව රැකබලාගන්නේද යත්, අපි කෘතඥපූර්වකව උන්වහන්සේට ප්‍රශංසා කරමු. (ගීතාවලිය 23) යෙහෝවඃවහන්සේ සම්බන්ධව, ගීතිකාකරු මෙසේද ගායනා කළේය: “ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] යහපත්ය; උන්වහන්සේගේ [ප්‍රේමනීය, NW] කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.”—ගීතාවලිය 100:4, 5.
15 අදදින, සියලු ජාතීන්ට අයත් ප්‍රීතිමත් ජනයෝ, ස්තුතිදීම සහ ප්‍රශංසාව පුදකිරීම පිණිස යෙහෝවඃවහන්සේගේ මණ්ඩපයේ මළුවට ඇතුල්වෙමින් සිටිති. සෑමවිටම යෙහෝවඃවහන්සේ ගැන හොඳ කථා කිරීම මගින් අපි ප්‍රීතිමත්ව දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන අතර, උන්වහන්සේගේ උදාර ගුණාංග උන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා අපව පොලඹවයි. උන්වහන්සේ අතිශයින් යහපත්ය, තවද උන්වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව හෙවත් උන්වහන්සේගේ සේවකයන් සඳහා වූ දයානුකම්පිත සැලකිල්ල කෙරෙහි සෑමවිටම රඳාපැවතිය හැක, මන්ද, එය අනන්ත කාලය දක්වා දිගටම පවතින්නේය. ස්වකීය කැමැත්ත කරමින් සිටින අයට ප්‍රේමය පෙන්වීමෙහිලා යෙහෝවඃවහන්සේ “සියලු පරම්පරාවලට” විශ්වාසවන්තව සිටිනසේක. (රෝම 8:38, 39) එසේ නම්, ‘ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට’ අපට හොඳ හේතු ඇත.
ඔබගේ බලාපොරොත්තුව තුළ ප්‍රීතිවන්න
16. ක්‍රිස්තියානීන්ට ප්රීතිවිය හැක්කේ කිනම් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තුළද?
16 පාවුල් මෙසේ ලීවේය: “බලාපොරොත්තුවෙහි ප්රීතිවෙයල්ලා.” (රෝම 12:12) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අභිෂේක ලත් අනුගාමිකයෝ, දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් තුළින් ඔවුන් සඳහා විවෘත කළ අරමණීය ස්වර්ගික ජීවිතයේ මහිමාන්විත බලාපොරොත්තුව තුළ ප්‍රීතිවෙති. (රෝම 8:16, 17; පිලිප්පි 3:20, 21) පොළොව මත පාරාදීසයේ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සහිත ක්‍රිස්තියානීන්ට ප්‍රීතිවීම සඳහා පදනමක් ඇත. (ලූක් 23:43) යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන් සියල්ලන්ටම, රාජ්‍යය බලාපොරොත්තුව තුළ ප්‍රීතිවීමට හේතු තිබේ, මන්ද, ඔවුන් එම ස්වර්ගික ආණ්ඩුවේ කොටසක් වෙනවා ඇත, නැත්නම්, එහි භූමික විෂය තුළ ජීවත්වෙනවා ඇත. මොනතරම් ප්‍රීතිමත් ආශීර්වාදයක්ද!—මතෙව් 6:9, 10; රෝම 8:18-21.
17, 18. (අ) යෙසායා 25:6-8හි පුරෝකථනය කරන ලද්දේ කුමක්ද? (ආ) යෙසායාගේ මෙම අනාවැකිය දැන් ඉටුවෙමින් තිබෙන්නේ කෙසේද, තවද අනාගතයේ එහි ඉටුවීම ගැන කුමක් කිව හැකිද?
17 කීකරු මිනිස්වර්ගයා උදෙසා ඇති ප්‍රීතිමත් අනාගතයක් ගැන යෙසායාද පුරෝකථනය කළේය. ඔහු මෙසේ ලීවේය: “සේනාවල ස්වාමීන්වහන්සේද [යෙහෝවඃවහන්සේද, NW] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [මංගල භෝජනයක්, NW] සාදනසේක. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලද[මන]සේක; [පරමාධිපති, NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඒක කීසේක.”—යෙසායා 25:6-8.
18 අප යෙහෝවඃවහන්සේගේ සේවකයන් වශයෙන් අදදින හවුල් වන ආත්මික මංගල්‍ය ඇත්තෙන්ම ප්‍රීතිමත් මංගල භෝජනයකි. ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේ නව ලෝකය උදෙසා පොරොන්දු වී ඇති නියම යහපත් දේවල මංගල භෝජනයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් අප ජ්වලිතව උන්වහන්සේට සේවය කරත්ම, අපගේ ප්‍රීතිය උතුරා යනු ඇත. (2 පේතෘස් 3:13) යේසුස්වහන්සේගේ යාගයේ පදනම මත, යෙහෝවඃවහන්සේ, ආදම්ගේ පාපය නිසා මිනිස්වර්ගයාව වසා සිටින “අතුරා තිබෙන තිරය” ඉවත් කරනවා ඇත. පාපය හා මරණය ඉවත් කරනු ලබනවා දැකීම මොනතරම් ප්‍රීතියක්ද! නැවත නැගිටුවනු ලබන ප්‍රේමනීයයන්ව නැවත පිළිගැනීම, කඳුළු පහව ගොස් තිබෙනවා දැකීම, එමෙන්ම පාරාදීස පොළොවක ජීවත්වීම මොනතරම් ප්‍රීතියක්ද! මෙහි යෙහෝවඃවහන්සේගේ ජනයා නින්දා කරනු නොලබන නමුත්, මහත් නින්දාකරන්නා වන සාතන් වන යක්ෂයාට පිළිතුරු දෙන පිණිස දෙවියන්වහන්සේට එම පිළිතුරු ඔවුන් විසින් දී තිබෙනවා ඇත.—හිතෝපදේශ 27:11.
19. යෙහෝවඃවහන්සේ ස්වකීය සාක්ෂිකරුවන් වශයෙන් අප ඉදිරියේ තබා ඇති අපේක්ෂාවන්ට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ මන්ද?
19 යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් සඳහා කරනු ඇති දෙය දැනගැනීම ඔබව ප්‍රීතියෙන් හා කෘතඥතාවෙන් පුරවන්නේ නැද්ද? ඇත්තවශයෙන්ම එවැනි උදාර අපේක්ෂාවන් අපගේ ප්‍රීතියට දායක වෙයි! එපමණක්ද නොව, අපගේ ආශීර්වාද ලත් බලාපොරොත්තුව, අපගේ සන්තෝෂවත්, ප්‍රේමනීය, ත්‍යාගශීලී දෙවියන්වහන්සේ කෙරෙහි මෙවැනි හැඟීම්වලින් බලා සිටීමට අපව පොලඹවයි: “බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනැන්වහන්සේ ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW]; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.” (යෙසායා 25:9) එම තේජස්බරිත බලාපොරොත්තුව අපගේ මනසේ ස්ථිර ලෙස තබාගෙන, හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපි බලවත් පරිශ්‍රමයක් දරමු.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ “හෘදයේ ප්‍රීතියෙන් යුතුව” යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපට හැක්කේ කෙසේද?
◻ අප දෙවියන්වහන්සේට කරන සේවය තුළ ප්‍රීතිය අහිමි වී ඇත්නම්, අපට කුමක් කළ හැකිද?
◻ යෙහෝවඃවහන්සේගේ ජනයාට පීඩා අභිබවා ප්රීතිවිය හැක්කේ මන්ද?
◻ අපගේ බලාපොරොත්තුව තුළ ප්‍රීතිවීමට අපට තිබෙන හේතු මොනවාද?
[17වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි ජීවිතයේ සියලු අංගවල හවුල්වීම අපගේ ප්‍රීතිය වැඩි කරනු ඇත