‘මාගේ ප්‍රාණය, යෙහෝවාට ප්‍රශංසා කරව’
“ළඟදී ඉඳන් මගේ සේවය හරිම නීරස එකක් වෙලා. ඒ වගේම කිසිම සන්තෝෂයක් නැති තත්වෙට පත් වෙලා” කියා නැන්සි පවසනවා.a ඇය අවුරුදු දහයක් පමණ පුරෝගාමියෙක් එනම් පූර්ණ කාලීන ශුභාරංචිය ප්‍රකාශ කරන්නියක ලෙස සේවය කර තිබෙනවා. ඒ වුණත් ඇය තවදුරටත් මෙසේ පවසනවා: “මට සිද්ධ වේගන යන දේට මම කැමති නැහැ. මම රාජ්‍ය පණිවිඩය ඉදිරිපත් කරන්නේ කිසිම උද්යෝගයක් නැතුවයි. ඒක මගේ හෘදයෙන්ම එන දෙයක් නෙවෙයි. මම මොනවා කරන්නද?”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක සිටින කීත් නමැති වැඩිමහල්ලාගේ තත්වය ගැනත් සලකා බලන්න. ඔහුගේ භාර්යාව පැවසූ මේ දේ ඇසීමෙන් ඔහු කොයිතරම් පුදුමයට පත් වුණාද: “ඔයාගේ ඔළුවේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා කරපු යාච්ඤාවේදී, මේක කෑම වෙලාවක් නොවුණත්, ඔයා ආහාර සඳහා ස්තුති කෙරුවා!” කීත් මෙසේ පිළිගන්නවා: “මට තේරෙනවා මගේ යාච්ඤා යාන්ත්‍රික වෙලා තියෙන බව.”
යෙහෝවා දෙවිට කරන ඔබේ ස්තුති දීමේ ප්‍රකාශයන් උණුසුම්භාවයකින් තොරව නිකම්ම යාන්ත්‍රිකව කිරීමට ඔබට අවශ්‍ය නැති බවට කිසිම සැකයක් නැහැ. ඊට වෙනස්ව, ඒවා හෘදයාංගම යාච්ඤා වීමත්, කෘතඥතාවේ හැඟීම්වලින් නික්මෙන යාච්ඤා වීමත් ඔබට අවශ්‍යයි. කොහොමවුණත්, හැඟීම් ඇඳුමක් වගේ පැළඳගන්නවත්, ගළවා දමන්නවත් බැහැ. එය පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයෙන්ම නික්මිය යුතු දෙයක්. කෙනෙක්ට හෘදයෙන්ම කෘතඥතාවක් හැඟෙන්න පුළුවන් කොහොමද? මේ සම්බන්ධයෙන් 103වන ගීතිකාව අපට තීක්ෂ්ණ බුද්ධිය සපයනවා.
පුරාණ ඉශ්රායෙලයේ දාවිත් රජ විසින් 103වන ගීතිකාව රචනා කරනු ලැබුවා. ඔහු එය මෙම වචනවලින් ආරම්භ කරනවා: ‘මාගේ [ප්‍රාණය, NW] යෙහෝවාට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල ඔහුගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව.’ (ගීතාවලිය 103:1) “දෙවිට අදාළ කර තිබෙන ප්‍රශංසා කරව යන වචනයෙන් ආශීර්වාද කිරීම අර්ථවත් වන අතර, නිතරම කෘතඥතාවේ හැඟීමක් මෙන්ම බලවත් ස්නේහයක්ද අඟවන බව” එක් ආශ්‍රේය ග්රන්ථයක් පවසනවා. හෘද පූර්ණ ප්‍රේමයකින් සහ අගය කිරීමකින් යුතුව යෙහෝවාට ප්‍රශංසා කිරීමට තිබෙන ආශාව නිසා දාවිත් තමාගේම ප්‍රාණයට, එනම් තමාටම අවවාද කරගත්තා, ‘යෙහෝවාට ප්‍රශංසා කරව’ කියා. නමුත් දාවිත්ගේ හෘදයේ තමා නමස්කාර කරන දෙවි කෙරෙහි මෙම උණුසුම් හැඟීම් ජනිත කරලීමට සැලැස්වූයේ කුමක්ද?
දාවිත් තවදුරටත් මෙසේ පවසනවා: ‘[යෙහෝවාගේ] උපකාර සියල්ල සිහි නැති නොකරව.’ (ගීතාවලිය 103:2) යෙහෝවාට කෘතඥපූර්වක වීමේ හැඟීම පැහැදිලිවම ‘ඔහුගේ උපකාර’ ගැන අගය කිරීමෙන් යුතුව මෙනෙහි කිරීම හා සම්බන්ධයි. හරියටම දාවිත්ගේ මනසේ තිබෙන්නේ යෙහෝවාගේ කිනම් ක්‍රියාද? පැහැදිලි රාත්‍රියක තරුවලින් ගහන අහසක් වැනි යෙහෝවා දෙවිගේ මැවිල්ල දෙස බලන විට, ඇත්තෙන්ම මැවුම්කරු සඳහා කෘතඥතාවෙන් හදවත් උතුරා යා හැකියි. තරු සහිත අහස දාවිත්ගේ හැඟීම්වලට තදින් බලපෑවා. (ගීතාවලිය 8:3, 4; 19:1) ඒත් 103වන ගීතිකාවේදී දාවිත් යෙහෝවාගේ තවත් ආකාරයක ක්‍රියාවක් මතක් කරනවා.
යෙහෝවා ‘නුඹේ සියලු අයුතුකම් කමා කරන්නේය’
දාවිත් මේ ගීතිකාවේදී දෙවිගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියාවන් විස්තර කරනවා. මේ අතරින් පළමු සහ ප්‍රධානතම දෙයට යොමු දක්වමින් ඔහු මෙසේ ගායනා කරනවා: ‘යෙහෝවා නුඹේ සියලු අයුතුකම් කමා කරන්නේය.’ (ගීතාවලිය 103:3) දාවිත් නියත වශයෙන්ම තමාගේ පව්කාර තත්වය ගැන දැන සිටියා. බැත්ෂෙබා සමඟ පැවැත්වූ ඔහුගේ කාමමිථ්‍යාචාරික සම්බන්ධය ගැන අනාගතවක්තෘ නාතාන් පැවසීමෙන් පසු, දාවිත් එය පිළිගත්තේ මෙලෙසයි: “[යෙහෝවා] ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි.” (ගීතාවලිය 51:4) බිඳුණු හෘදයකින් යුතුව ඔහු මෙසේ ආයාචනා කළා: ‘දෙවියනි, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයා වෙන්න. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මකන්න. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සෝදන්න, මාගේ පාපයෙන් මා පිරිසිදු කරන්න.’ (ගීතාවලිය 51:1, 2) කමා කරනු ලැබීම ගැන දාවිත්ට කොයිතරම් කෘතඥතාවක් හැඟෙන්න ඇද්ද! අසම්පූර්ණ මනුෂ්‍යයෙක් වීම හේතුවෙන් ඔහුගේ ජීවිත කාලයේදී තවදුරටත් ඔහු පව් කළ නමුත්, ඔහු කිසිවිටකත් පසුතැවිලි වීමට, තරවටු පිළිගැනීමට සහ තම මාර්ග නිවැරදි කරගැනීමට පසුබට වූයේ නැහැ. ඔහු කෙරෙහි විදහාපෙන්වූ කරුණාවේ මවිතකර ක්‍රියාවන්, යෙහෝවාට ප්‍රශංසා කිරීමට දාවිත්ව පෙලඹෙව්වා.
අපත් සිටින්නේ පව්කාර තත්වයක නොවේද? (රෝම 5:12) ප්‍රේරිත පාවුල් පවා මෙලෙස ශෝකයෙන් පැවසුවා: “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?” (රෝම 7:22-24) යෙහෝවා අපේ පව් ගණන් තබා නොගන්න එක ගැන අපට කොයිතරම් කෘතඥපූර්වක විය හැකිද! අප පසුතැවිලි වී සමාව අයැදින විට, ඔහු සතුටින් ඒවා මකා දමනවා.
දාවිත් තමාටම මෙසේ මතක් කරගන්නවා: “[යෙහෝවා] නුඹේ සියලු රෝග [සුව කරන්නේය].” (ගීතාවලිය 103:3) සුව කිරීම, යළි ප්‍රකෘතිමත් තත්වයකට ගෙන ඒමේ ක්‍රියාවක් නිසා, වැරදිසහගත ක්‍රියාවලට සමාව දීමට වඩා වැඩි යමක් එයට ඇතුළත් වෙනවා. “රෝග” එනම් අපේ ජීවිතයේ සිදු වන වැරදිවල නරක ප්‍රතිඵල ඉවත් කිරීම එයට අයත් වෙනවා. තමා සාදන්න යන නව ලොව තුළදී යෙහෝවා නිසැකවම අසනීප සහ මරණය වැනි පාපයේ ශාරීරික ප්‍රතිඵල මුලිනුපුටා දමන්න යනවා. (යෙසායා 25:8; එළිදරව් 21:1-4) කොහොමවුණත්, අද පවා දෙවි අපේ ආත්මික රෝග සුව කරමින් සිටිනවා. සමහරුන් සඳහා, දොස් නඟන හෘද සාක්ෂියක් සහ ඔහුත් සමඟ තිබෙන පලුදු වූ සම්බන්ධතාවක් මේවාට අයත් වෙනවා. යෙහෝවා දැනටමත් මේ සම්බන්ධයෙන් අප එක් එක්කෙනා සඳහා පෞද්ගලිකව කර තිබෙන දේවල් ‘සිහි නැති කරන්න එපා.’
ඔහු ‘ඔබේ ජීවිතය මුදන්නේය’
‘යෙහෝවා ඔබේ ජීවිතය විනාශයෙන් මුදන්නේය’ කියා දාවිත් ගායනා කරනවා. (ගීතාවලිය 103:4) ‘විනාශය’ කියන්නේ මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ එනම් ෂෙයෝලය හෝ හේදීසයයි. ඉශ්රායෙල් කෙරෙහි රජවීමට ප්‍රථමයෙන් දාවිත් පවා මරණ කටේ ඉඳ තිබෙනවා. උදාහරණයකට ඉශ්රායෙලයේ සාවුල් රජ දාවිත් කෙරෙහි මිනීමරු බද්ධ වෛරයක් වර්ධනය කළ අතර ඔහුව විවිධ අවස්ථාවලදී මරන්න උත්සාහ කළා. (1 සාමුවෙල් 18:9-29; 19:10; 23:6-29) පිලිස්තිවරුන්ටත් දාවිත්ව මරන්න අවශ්‍ය වුණා. (1 සාමුවෙල් 21:10-15) නමුත් සෑම අවස්ථාවකදීම යෙහෝවා ඔහුව “විනාශයෙන්” බේරාගත්තා. යෙහෝවා සිදු කළ මේ දේවල් මතක් කරන විට දාවිත්ට කොයිතරම් කෘතඥතාවක් හැඟෙන්න ඇද්ද!
ඔබ සම්බන්ධයෙන් තත්වය කුමක්ද? කලකිරීම් තිබෙන අවස්ථාවලදී හෝ කෙනෙක් අහිමි වී ගිය අවස්ථාවලදී යෙහෝවා ඔබව උසුලා තිබෙනවාද? එසේත් නැතිනම් අපේ කාලයේදී ඔහු තම විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ව ෂෙයෝලයේ විනාශයෙන් බේරගෙන තිබෙන අවස්ථාවන් ගැන ඔබ දන්නවාද? ඇතැම්විට මේ සඟරාවේ තිබෙන ඔහුගේ ගැළවීමේ ක්‍රියා ඇතුළත් වාර්තාවන් කියවීම තුළින් ඔබේ හෘදයට ඒවා කාවැදී තිබෙන්න පුළුවන්. සැබෑ දෙවිගේ මෙම ක්‍රියාවන්වලට අගය දැක්වීම ප්‍රකාශ කරන්න කාලය නොගන්නේ ඇයි? එමෙන්ම නැවත නැඟිටීමේ බලාපොරොත්තුව වෙනුවෙන් යෙහෝවාට කෘතඥපූර්වක වීමට අප සියලුදෙනාටම හේතු තිබෙන බව නොකිවමනායි.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.
යෙහෝවා අපට ජීවිතයත්, එය සන්තෝෂවත් සහ ජීවත් වීමට වටිනා යමක් කරවන දේවලුත් දී තිබෙනවා. දෙවි “කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ [සරසන්නේය]” කියා ගීතිකාකරු ප්‍රකාශ කරනවා. (ගීතාවලිය 103:4) අවශ්‍යතාවක් තිබෙන අවස්ථාවලදී යෙහෝවා අපව අත් නොහැර, ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය තුළින් සහ සභාවේ සිටින පත් කළ වැඩිමහල්ලන් හෝ එඬේරුන් තුළින් අපේ උපකාරයට පැමිණෙනවා. එවැනි උපකාර, අසීරු අවස්ථාවකදී අපේ ආත්ම-ගරුත්වය නැති කරගන්නේ නැතුව කටයුතු කිරීමට අපට හැකි කරවනවා. ක්‍රිස්තියානි එඬේරුන් බැටළුවන් සඳහා බොහෝ සැලකිල්ල දක්වනවා. අසනීපවලින් සහ කනස්සල්ලෙන් සිටින අයව ධෛර්යවත් කරන අතර එලෙස වැටී සිටින අයව නඟා සිටුවීමට කළ හැකි සෑම දෙයක්ම ඔවුන් කරනවා. (යෙසායා 32:1, 2; 1 පේතෘස් 5:2, 3; යූද් 22, 23) රැළ කෙරෙහි අනුකම්පාසහගත වීමට සහ ප්‍රේමනීය වීමට යෙහෝවාගේ ආත්මය මෙම එඬේරුන්ව පොලඹවනවා. ඇත්තවශයෙන්ම ඔහුගේ “කරුණාගුණය සහ දයාව” හරියට අපව සරසවන හා අපට ආත්ම-ගරුත්වයක් හිමි කර දෙන ඔටුන්නක් බඳුය! කිසිවිටකත් ඔහුගේ ක්‍රියාවන් මතක නැති නොකරමින් යෙහෝවාටත් ඔහුගේ ශුද්ධ නාමයටත් ප්‍රශංසා කරමු.
දිගටම තමාටම අවවාද කරගනිමින් ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කරනවා: “රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් [යෙහෝවා] මා යහපත් දෙයින් තෘප්තියට [පමුණුවන්නේය].” (ගීතාවලිය 103:5, නව අනුවාදය) යෙහෝවා දෙන ජීවිතය තෘප්තිමත් වගේම සන්තෝෂවත් එකක්. ඇයි, සත්‍යය ගැන දැනගැනීම පමණක්ම වෙන කිසිම දෙයකට සැසඳිය නොහැකි වස්තුවක් වන අතර, අතිමහත් ප්‍රීතියක උල්පතක් වෙනවා! එමෙන්ම යෙහෝවා අපට දී තිබෙන දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩය කොතරම් තෘප්තිමත් කරවන දෙයක්ද කියා සිතා බලන්න. සැබෑ දෙවි ගැන ඉගෙනගන්න උනන්දුව දක්වන කෙනෙක්ව සොයාගැනීම සහ යෙහෝවාව දැනගෙන ඔහුට ප්‍රශංසා කිරීම සඳහා එම තැනැත්තාට උපකාර කිරීමට ලැබීම කොයිතරම් සතුටක්ද! අපගේ ප්‍රදේශයේ සිටින කිසිම කෙනෙක් ඇසුවත් නෑසුවත් යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම සහ ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම හා බැඳී කාර්යයෙහි හවුල් වීමට ලැබීම මහඟු වරප්‍රසාදයක්.
දෙවිගේ රාජ්‍ය ප්‍රකාශ කිරීමේ කාර්යය නොකඩවා කරගෙන යද්දී, විඩාවට හෝ වෙහෙසකාරි තත්වයට පත් නොවන්නේ කවුද? නමුත් ඔවුන්ව, බලවත් පිහාටු ඇති අහස් කුසෙහි හිණි පෙත්තටම පියාසර කරන “රාජාලීන් මෙන්” කරමින් යෙහෝවා තම සේවකයන්ගේ ශක්තිය නැවතත් ප්‍රාණවත් කරමින් සිටිනවා. අපගේ ස්වර්ගික පියා එවැනි “මහත් බලයක්” [NW] සපයන නිසා අපේ සේවය දවසක් දවසක් පාසා ඇදහිලිවන්තව කරගෙන යෑමට හැකිවීම ගැන අපට මොනතරම් කෘතඥපූර්වක විය හැකිද!—යෙසායා 40:29-31.
එය මෙසේ නිදර්ශනය කළ හැකියි: ක්ලාරා පූර්ණ කාලීන ලෞකික රැකියාවක් කරන අතර, සෑම මාසයකම ක්ෂේත්‍ර සේවය සඳහාත් පැය 50ක් පමණ ගත කරනවා. ඇය මෙසේ පවසනවා: “සමහර වෙලාවට මට හරි මහන්සියි. එතකොට මම ක්ෂේත්‍ර සේවයේ යන්න මටම බල කරගන්නේ කවුරු හරි එක්ක වැඩ කරන්න මම සැලැස්මක් දාගෙන තිබුණු හින්දයි. ඒත් මම සේවයට ගියාම, මට හැම වෙලේම ප්‍රාණවත් ගතියක් දැනෙනවා.” ක්‍රිස්තියානි සේවයේදී දිව්‍ය උපකාරයේ ප්‍රතිඵල හැටියට ලැබෙන ශක්තිය ඔබත් අද්දැක තිබෙනවා විය හැකියි. මෙම ගීතිකාවේ ආරම්භක වදන්වලින් දාවිත් පැවසුවාක් මෙන් ඔබත් මෙසේ පැවසීමට පෙලඹෙයි කියා පතමු. ‘මාගේ ප්‍රාණය, යෙහෝවාට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල ඔහුගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව.’
යෙහෝවා ඔහුගේ සෙනඟව ගළවයි
ගීතිකාකරු මෙසේද ගායනා කරනවා: ‘යෙහෝවා පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ට කරන්නේය. ඔහු ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්රායෙල් පුත්‍රයන්ටත් දැන්වූයේය.’ (ගීතාවලිය 103:6, 7) මෝසෙස්ගේ කාලයේදී මිසර විරුද්ධවාදීන් යටතේ සිටි ඉශ්රායෙල්වරුන්ගේ ‘පීඩා විඳීම’ ගැන දාවිත් කල්පනා කරමින් සිටිනවා වෙන්න පුළුවන්. යෙහෝවා, මෝසෙස්ට ඔහුගේ ගැළවීමේ මාර්ග දැන්වූ ආකාරය මෙනෙහි කිරීමෙන් දාවිත්ගේ හෘදයේ කෘතඥතාවේ හැඟීමක් උපදවා තිබෙන්න ඇති.
ඉශ්රායෙල්වරුන් සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරය ගැන ගැඹුරින් සිතා බැලීම තුළින් ඒ හා සමාන කෘතඥතාවක් පෙන්වීමට අපව පෙලඹවිය හැකියි. නමුත් අප, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකරන්නෝ (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 29වන සහ 30වන පරිච්ඡේදවල සඳහන් කර තිබෙන ආකාරයට යෙහෝවාගේ නූතන දින සේවකයන්ගේ අද්දැකීම් ගැන සිතා බැලීමට අතපසු නොකළ යුතුයි. එහි වාර්තා කර තිබෙන වාර්තාවලින් සහ වොච් ටවර් සමිතියේ අනිකුත් ප්‍රකාශනවලින්, යෙහෝවා තම නූතන දින සේවකයන්ට සිරගත වීම්, කලහකාරි පිරිස් විසින් සිදු කරන ක්‍රියාවන්, තහනම් කිරීම්, ගාල් කඳවුරු මෙන්ම වහල් ශ්‍රම කඳවුරුවලදී විඳදරාගැනීමට උපකාර කර තිබෙන ආකාරය දැකීමට අපට හැකි වෙනවා. බුරුන්ඩි, රුවන්ඩා, කලින් යුගොස්ලාවියාව සහ ලයිබීරියාව, වැනි යුද්ධයෙන් දෙදරුම්කන රටවල්වලට පරීක්ෂණවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. පීඩා හටගත් ඕනෑම අවස්ථාවකදී, සැමවිටම යෙහෝවාගේ හස්තය තම ඇදහිලිවන්ත සේවකයන්ව දරාගෙන තිබෙනවා. අපේ උදාර යෙහෝවා දෙවිගේ මෙම ක්‍රියාවන් ගැන මෙනෙහි කිරීම තුළින්, මිසරයෙන් ගැළවීම පිළිබඳ වාර්තාව ගැන ඕනෑකමින් සිතා බැලූ දාවිත්ට හැඟුණු ආකාරයටම අපටත් හැඟීමට සලස්වන්න පුළුවන්.
යෙහෝවා, කොතරම් දයාන්විතව පාපයේ බරින් අපව මුදාගන්නවාද කියාත් සැලකිල්ලට ගන්න. ‘මළ ක්‍රියාවලින් අපේ හෘදය සාක්ෂි පිරිසිදු කරනු ලැබීම’ සඳහා ඔහු ‘ක්‍රිස්තුස්ගේ ලෙය’ සපයා දී තිබෙනවා. (හෙබ්‍රෙව් 9:14) අපේ පව් ගැන අප පසුතැවිලි වන විට සහ ක්‍රිස්තුස් වැගිරවූ රුධිරයේ පදනම මත සමාව අයැදින විට, “නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන්” දෙවි අපේ පාප අපෙන් දුරු කර ඔහුගේ අනුග්‍රහයට අපව යළි ගෙන එන්න යනවා. එමෙන්ම ක්‍රිස්තියානි රැස්වීම් මාර්ගයෙන්, ගොඩනංවනසුලු ආශ්‍රය තුළින්, සභාවේ සිටින එඬේරුන් තුළින් සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපට ලැබෙන බයිබලය මත පදනම් වූ ප්‍රකාශන තුළින් ලබා දෙන යෙහෝවාගේ සැපයුම් ගැන සිතන්න. (මතෙව් 24:45) යෙහෝවා කර තිබෙන මේ සියල්ල, ඔහුත් සමඟ තිබෙන අපගේ සබඳතාව ශක්තිමත් කරන්නේ නැද්ද? දාවිත් මෙසේ ප්‍රකාශ කරනවා: ‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. ඔහු අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළේය, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්නේය.’ (ගීතාවලිය 103:8-14) යෙහෝවාගේ ප්‍රේමනීය සැලකිල්ල ගැන මෙනෙහි කිරීම, ඔහුව ගෞරවයට පත් කිරීම සඳහාත් ඔහුගේ ශුද්ධ නාමය මහිමවත් කිරීම සඳහාත් නිසැකවම අපව පොලඹවන්න පුළුවන්.
‘ඔහුගේ සියලු කර්මාන්තයෙනි, යෙහෝවාට ප්‍රශංසා කරව්’
“සදාකාල දෙවිවූ” යෙහෝවාගේ අමරණීයත්වය හා සසඳද්දී “[මැරෙනසුලු, NW] මනුෂ්‍යයාගේ දවස්” ඇත්තෙන්ම “තණකොළ මෙන්” කෙටියි. නමුත් දාවිත් අගය කිරීමකින් යුතුව මෙසේ පවසනවා: ‘යෙහෝවාගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, ඔහුගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය. එනම් ඔහුගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් ඔහුගේ ශික්ෂා ඉෂ්ට කිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.’ (උත්පත්ති 21:33; ගීතාවලිය 103:15-18) තමාට භය වන අයව යෙහෝවා අමතක කරන්නේ නැහැ. ඔහු නියමිත කාලයේදී ඔවුන්ට සදාතනික ජීවිතය ලබා දෙනවා.—යොහන් 3:16; 17:3.
යෙහෝවාගේ රාජ්‍යතන්ත්‍රය කෙරෙහි තම අගය දැක්වීම දාවිත් ප්‍රකාශ කරමින් සිටියේ මෙසේයි: ‘තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුවේය; ඔහුගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.’ (ගීතාවලිය 103:19) ඉශ්රායෙල් රාජ්‍යය තුළදී යෙහෝවාගේ රාජ්‍යතන්ත්‍රය කාලයකට දෘශ්‍යමානව ප්‍රකාශ වුණත්, ඔහුගේ සිංහාසනය ඇත්තටම තිබෙන්නේ ස්වර්ගයේයි. යෙහෝවා මැවුම්කරු වන නිසා ඔහු විශ්වයේ පරමාධිපති පාලකයා වන අතර, දිව්‍ය කැමැත්ත ස්වර්ගයේ හා පොළොවේ ඔහුගේම අරමුණුවලට එකඟව ක්‍රියාත්මක කරනවා.
දාවිත් ස්වර්ගික දේවදූතමය මැවිලි ගැන පවා සඳහන් කරනවා. ඔහු මෙසේ ගායනා කරනවා: ‘ඔහුගේ වාග් ශබ්දය අසා ඔහුගේ වචන ඉෂ්ට කරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, යෙහෝවාගේ දූතයෙනි, යෙහෝවාට ප්‍රශංසා කරව්. යෙහෝවාගේ සේනා සියල්ලෙනි, එනම් ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරන්නාවූ ඔහුගේ මෙහෙකරුවෙනි, යෙහෝවාට ප්‍රශංසා කරව්. යෙහෝවාගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන ඔහුගේ සියලු කර්මාන්තයෙනි, යෙහෝවාට ප්‍රශංසා කරව්. මාගේ [ප්‍රාණය, NW] යෙහෝවාට ප්‍රශංසා කරව්.’ (ගීතාවලිය 103:20-22) අප වෙනුවෙන් කර තිබෙන යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියා ගැන සිතා බැලීමෙන් අපවත් ඔහුට ප්‍රශංසා කිරීමට පෙලඹවිය යුතු නැද්ද? නිසැකවම එසේ වෙනවා! දෙවිට කරන අපේ පෞද්ගලික ප්රශංසාවේ හඬ, ධර්මිෂ්ඨ දේවදූතයන් පවා ඇතුළත් ප්‍රශංසා කරන්නන්ගේ මහත් සමූහ ගායනය අතරෙහි ඇසීමට තිබෙයි කියා අපට නිසැක විය හැකියි. සැමවිටම ඔහුගේ ගුණ කියමින් අපේ ස්වර්ගික පියාට අපි මුළු හෘදයෙන්ම ප්‍රශංසා කරමු. ‘මාගේ ප්‍රාණය, යෙහෝවාට ප්‍රශංසා කරව’ කියා පැවසූ දාවිත්ගේ වදන් අපි ඇත්තෙන්ම අපේ හෘදයට ගනිමු.
[පාදසටහන]
a සමහර නම් වෙනස් කර ඇත.
[23වන පිටුවේ පින්තූරය]
දාවිත් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියා මෙනෙහි කළා. ඔබත් එසේ කරනවාද?