17වන පරිච්ඡේදය
‘අහෝ, දෙවිගේ ප්‍රඥාව . . . කොපමණ ගැඹුරුද!’
1, 2. සත්වෙනි දවස උදෙසා යෙහෝවාගේ අරමුණ වූයේ කුමක්ද? මෙම දවස ආරම්භයේදීම දිව්‍ය ප්‍රඥාව පරීක්ෂණයට ලක් කෙරුණේ කෙසේද?
විනාශයි! මැවීමේ හයවෙනි දවසේ උච්චාවස්ථාව වූ මිනිසාව මැවීමේ උදාර මහිමාන්විත අවස්ථාවේ සිට එකවරම මිනිස් සංහතිය පහතම අඩියට රූරා වැටුණා. මිනිස් සංහතිය ඇතුළු “තමන් සෑදූ සියල්ලම . . . ඉතා යහපත්” බවයි යෙහෝවා ප්‍රකාශ කර තිබුණේ. (උත්පත්ති 1:31) නමුත් සත්වෙනි දවස ආරම්භයේදීම ආදම් සහ ඒව තීරණය කළේ සාතන්ව අනුගමනය කරමින් කැරලි ගැසීමටයි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් පාපයටත්, අසම්පූර්ණකමටත්, අනතුරුව මරණයටත් ගොදුරු වීමයි.
2 මෙම තත්වය නිසා, සත්වෙනි දවස උදෙසා යෙහෝවා අරමුණු කර තිබූ දෙය, කිසිම බලාපොරොත්තුවක් ඉතිරි නොකර සුනු විසුනු වී ගිය බවක් පෙනී යන්නට ඇති. ඊට පෙර ගෙවුණු සයවෙනි දවස මෙන් සත්වෙනි දවසද අවුරුදු දහස් ගණනක් දිගුවීමට නියමිතව තිබුණා. යෙහෝවා විසින් එය ප්‍රකාශයට පත් කොට තිබුණේ ශුද්ධය කියායි. එමනිසා එම දවස අවසන් වනු ඇත්තේ මිනිස් සංහතියෙන් සමන්විත පරිපූර්ණ පවුලකින් යුත් පාරාදීසයක් බවට පොළොව පරිවර්තනය කරන්නට සැලැස්වීමත් සමඟයි. (උත්පත්ති 1:28; 2:3) නමුත් එම මහා විනාශකාරි කැරැල්ලෙන් පසුව, කවදා හෝ එවැන්නක් ඉටු කරගන්නේ කොහොමද? දෙවි කරනු ඇත්තේ කුමක්ද? මෙය යෙහෝවාගේ ප්‍රඥාව පිළිබඳ සුවිශේෂ පරීක්ෂණයක් වුණා. සමහරවිට එය විය හැකි උපරිම පරීක්ෂණය වෙන්නට ඇති.
3, 4. (අ) ඒදන් උයනේ කැරැල්ලට යෙහෝවා දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ ප්‍රඥාව පිළිබඳව ගරුබිය දනවන ආදර්ශයක් වන්නේ මන්ද? (ආ) අප යෙහෝවාගේ ප්‍රඥාව ගැන අධ්‍යයනය කරත්ම අපේ යටහත් පහත්කම අපව පෙලඹවිය යුත්තේ කිනම් සත්‍යය මනසේ තබාගැනීමටද?
3 යෙහෝවා විගස ක්‍රියාත්මක වී ප්‍රතිචාරය දැක්වූවා. ඒදන් උයනේ කැරලිකරුවන් කෙරෙහි දඬුවම් ප්‍රකාශයට පත් කළ ඔහු, ඒ අතරතුරම, අතිවිශේෂ වූ යමක පෙරනිමිත්තක් පහළ කළා. එය නම් මේ දැන් සිදු වූ කැරැල්ලෙන් ප්‍රතිඵල වන සියලු කරදර හා ගැටලු සමනය කිරීමට වූ සිය අරමුණයි. (උත්පත්ති 3:15) ඒදන් උයනේ පටන් මිනිස් ඉතිහාසයේ අවුරුදු දහස් ගණන පුරාමත් ඒ වගේම අනාගතයේ ඈත ඉදිරියටත් යෙහෝවාගේ දූරදර්ශී අරමුණ විහිදෙනවා. එය ඉතා රමණීය සරල වූ දෙයක්. නමුත් එය ඉතා ගැඹුරුයි. එය කොතරම් ගැඹුරුද කියතොත් බයිබල් පාඨකයෙකුට තම ජීවිත කාලය පුරාම ඒ ගැන ඉගෙනගැනීමත් ඒ ගැන කල්පනා කරමින් සිටීමත් කාලයේ අපතේ යෑමක් යයි කියන්නට බැහැ. එපමණක්ද නොවෙයි, යෙහෝවාගේ අරමුණු අනිවාර්යයෙන්ම, ඔව්, අනිවාර්යයෙන්ම සාර්ථක වනු ඇති බවට කිසිම සැකයක් නැහැ. එය සියලු දුෂ්ටකම්වලට, පාපයට හා මරණයට නැවතීමේ තිතක් තබාවි. එය විශ්වාසවන්ත මිනිස් සංහතිය පරිපූර්ණත්වයට ගෙන එනවාමයි. මේ සියල්ල සිදු වනු ඇත්තේ සත්වෙනි දවසේ අවසානයට පෙරාතුවයි. ඒ අතරතුර කුමක් සිදු වුවත්, පොළොව සහ මිනිස් සංහතිය උදෙසා වූ යෙහෝවාගේ අරමුණ ඔහුගේ නියමිත කාලයේදී ඉටු වී තිබෙනවා නිසැකයි.
4 එවන් ප්‍රඥාවක් අප තුළ ගරුබියක් ජනිත කරවන්නේ නැද්ද? ප්‍රේරිත පාවුල් මෙසේ ලිවීමට පෙලඹුණා. ‘අහෝ, දෙවිගේ ප්‍රඥාව . . . කොපමණ ගැඹුරුද!’ (රෝම 11:33) අප මෙම දිව්‍ය ගුණාංගයේ විවිධ පැති ගැන අධ්‍යයනය කරනවාත් සමඟම, එක්තරා අතිශයින් වැදගත් වූ සත්‍යයක් මනසේ තබාගැනීමට යටහත් පහත්කම අපව පෙලඹවිය යුතුයි. එය නම්, යෙහෝවාගේ අති මහත්වූ ප්‍රඥාවෙන් අපට දැනගත හැක්කේ අබමල් රේණුවක තරම් ප්‍රමාණයක් පමණක් බවයි. (යෝබ් 26:14) පළමුව, මේ ගරුබිය දනවන ගුණාංගය නිර්වචනය කරමු.
දිව්‍ය ප්‍රඥාව යනු කුමක්ද?
5, 6. දැනුම හා ප්‍රඥාව අතර තිබෙන සම්බන්ධය කුමක්ද? යෙහෝවාගේ දැනුම කොතරම් මහත් වූ, පුළුල් වූ දැනුමක්ද?
5 ප්‍රඥාව යනු දැනුම හා සමානම දෙයක් නොවෙයි. ඉතා මහත් වූ, පුළුල් දැනුම් සම්භාරයක් ගබඩා කරගැනීමට පරිගණකවලට හැකියි. නමුත් යමෙක් එවැනි යන්ත්‍රවලට ප්‍රඥාවන්තයයි කියනවා අපට සිතාගන්ටවත් බැහැ. ඒ කෙසේවෙතත්, දැනුම හා ප්‍රඥාව එකිනෙකට බැඳී තිබෙනවා. (හිතෝපදේශ 10:14) නිදසුනක් වශයෙන්, බරපතළ සෞඛ්‍ය ගැටලුවකට ප්‍රතිකාර කරන්නට ඔබට ප්‍රඥාවන්ත උපදෙස් අවශ්‍ය නම්, ඔබ උපදෙස් ගන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගැන අඩු දැනුමක් ඇති හෝ කිසිම දැනුමක් නැති පුද්ගලයෙකුගෙන්ද? එසේ සිතීම උගහටයි! එමනිසා සැබෑ ප්‍රඥාවට නිවැරදි දැනුම අනිවාර්යයෙන්ම ඇතුළත්.
6 අසීමිත දැනුම් සම්භාරයක් යෙහෝවා සතුයි. “සදාකාල රජු” වශයෙන්, සදාකාලයටම ජීවත් වී ඇත්තේ ඔහු පමණයි. (1 තිමෝති 1:17) ඇරත්, දැනට ගත වී ඇති ගණනය කළ නොහැකි අතීත කාල වකවානු පුරාම සිදු වී ඇති සියලු දේ ගැන ඔහු දන්නවා. බයිබලය පවසන්නේ මෙසේයි. “ඔහු ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. ඔහුගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ ඔහුය.” (හෙබ්‍රෙව් 4:13; හිතෝපදේශ 15:3) මැවුම්කරුවාණන් වශයෙන්, තමා සෑදූ සියලු දේ ගැන පූර්ණ අවබෝධයක් ඔහුට තිබෙන අතර, ආරම්භයේ පටන්ම මිනිසාගේ සියලු කටයුතු ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. සෑම මිනිසෙකුගේම හදවත ඔහු පරීක්ෂා කරන අතර, ඉන් කිසිවක් ඔහුට නොපෙනී යන්නේ නැහැ. (1 ලේකම් 28:9) අප සතු නිදහස් කැමැත්ත අපේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට අයිතියක් ඇති පුද්ගලයන් ලෙස අපව ඔහු මවා තිබෙන නිසා, අප අපේ ජීවිතයේ ප්‍රඥාවන්ත තීරණ ගන්නවා දකින විට ඔහු ඒ ගැන සතුටු වෙනවා. “යාච්ඤා අසන තැනැත්තා” ලෙස, අසංඛ්‍යාත වූ යාච්ඤාවලට එකවර සවන් දෙන්නට ඔහුට පුළුවන්! (ගීතාවලිය 65:2) ඇරත්, යෙහෝවාට පූර්ණ මතකයක් තිබෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
7, 8. යෙහෝවා අවබෝධය, විචාර බුද්ධිය හා ප්‍රඥාව විදහාපාන්නේ කොහොමද?
7 දැනුමට වඩා වැඩි යමක් යෙහෝවා සතුයි. සැබෑ දත්තයන් හෙවත් කාරණා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය දකින ඔහු, අසංඛ්‍යාත තොරතුරුවලින් මැවෙන සමස්ත පින්තූරය තේරුම්ගන්නවා. කාරණා විශ්ලේෂණය කර විනිශ්චය කරන ඔහු, යහපත හා නපුර අතරද, වැදගත් දේ සහ වැදගත්කමින් අඩු දෙය අතරද ඇති වෙනස වටහාගන්නවා. එපමණක්ද නොවේ, මතුපිටින් තිබෙන දේට ඔබ්බෙන් බලා හදවත තුළට කිඳා බැස පතුලේ තිබෙන දෙය බලන්නටත් ඔහුට හැකියි. (1 සාමුවෙල් 16:7) මෙසේ, අවබෝධය හා විචාර බුද්ධිය යෙහෝවා සතුයි. එම ගුණාංග දැනුමට වඩා අති ශ්‍රේෂ්ඨයි. නමුත් ප්‍රඥාව යනු ඊටත් වඩා ඉහළ තලයක තිබෙන ගුණාංගයක්.
8 ප්‍රඥාවෙන් සිදු වෙන්නේ දැනුම, විචාර බුද්ධිය හා අවබෝධය එකට ගැටගසා ඒවා ක්‍රියාත්මක කරවීමයි. ඇත්තෙන්ම, “ප්‍රඥාව” ලෙස පරිවර්තනය කර ඇති සමහරක් ප්රාරම්භක බයිබල් වචනවල පදගතාර්ථය නම්, “නිසි ඵල දෙන අයුරින් ක්‍රියා කිරීමේ විධිය” හෙවත් “ප්‍රායෝගික ප්‍රඥාව” යන්නයි. මේ අනුව, යෙහෝවාගේ ප්‍රඥාව යනු හුදු න්‍යායක් නොවෙයි. එය ප්‍රායෝගිකයි. එය ඵල දෙනසුලුයි. සාර්ථකයි. ඔහු සතු මහත් පුළුල් දැනුම් සම්භාරයෙන්ද ඔහුගේ ගැඹුරු අවබෝධයෙන්ද දේවල් උකහාගෙන සෑම විටම හොඳම තීරණ ගැනීමට ඔහුට හැකියි. අනතුරුව ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ගෙන තීරණය ක්‍රියාත්මක කළ හැකියි. එයයි සැබෑ ප්‍රඥාව! යේසුස් කළ ප්‍රකාශයක සත්‍යතාව යෙහෝවා විසින් නිරූපණය කර තිබෙනවා. එය නම්, “ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පු වී තිබේ” යන්නයි. (මතෙව් 11:19) මුළු විශ්වය සිසාරා තිබෙන යෙහෝවාගේ කර්මාන්තයන් ඔහුගේ ප්‍රඥාවට ප්‍රබල ලෙස සාක්ෂි දරනවා.
දිව්‍ය ප්‍රඥාවේ සාක්ෂි
9, 10. (අ) යෙහෝවා නිරූපණය කරන්නේ කිනම් ආකාරයේ ප්‍රඥාවක්ද? ඔහු එය නිරූපණය කර ඇත්තේ කෙසේද? (ආ) සෛලය සාදා ඇති ආකාරයෙන් යෙහෝවාගේ ප්‍රඥාව පිළිබිඹු වන්නේ කොහොමද?
9 ඉතා මැනවින් ක්‍රියාත්මක වන නිර්මාණ බිහි කරන නිර්මාණ ශිල්පියෙකුගේ පිරිපුන් කුසලතා දෙස බලා ඔබ කෙදිනක හෝ පුදුම වී තිබෙනවාද? එය ප්‍රඥාවේ එක්තරා චමත්කාරජනක පැත්තක්. (නික්මයාම 31:1-3) එවන් ප්‍රඥාවක අතිඋත්කෘෂ්ටතම පරම උල්පත යෙහෝවායි. දාවිත් රජ යෙහෝවා ගැන පැවසුවේ මෙලෙසයි. “මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” (ගීතාවලිය 139:14) ඇත්තෙන්ම, අප මිනිස් සිරුර ගැන වඩ වඩාත් උගනිත්ම, අප තව තවත් පුදුමයෙන් ගරුබියෙන් ඇළලී යන්නේ යෙහෝවාගේ ප්‍රඥාව ගැනයි.
10 මෙය උපහැරණය කරමු. ඔබේ ජීවිතය ආරම්භ වුණේ කොහොමද? ඔව්, ඒ ඉතා කුඩා සෛලයකින්. ඒ සෛලය නිර්මාණය වුණේ ඔබේ මවගේ ඩිම්බ සෛලයක් ඔබේ පියාගේ ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වීමෙනුයි. එම සෛලය ඉතා ඉක්මනින් බෙදෙන්නට පටන්ගත්තා. එහි අවසාන නිර්මාණය වන ඔබව සෑදී ඇත්තේ සෛල ට්‍රිලියන 100ක් පමණ එක්වීමෙනුයි. ඒවා ඉතාමත්ම කුඩායි. සාමාන්‍ය ප්‍රමාණයේ සෛල 10,000ක් පමණ වසාගන්නේ අල්පෙනෙත්ති තුඩක් තරම් ප්‍රමාණයක් පමණයි. එහෙත්, මේ සෑම සෛලයකම සංකීර්ණත්වය ගැන කල්පනා කළහොත් අපට එය අදහාගැනීමට බැරි තරමට පුදුමයි. මෙම සෛලය මිනිසුන් විසින් සාදන ලද ඕනෑම යන්ත්‍රයකට හෝ කර්මාන්ත ශාලාවකට වඩා අතිශයින් සංකීර්ණයි. විද්‍යාඥයන් පවසන විදිහට සෛලයක් යනු හරියට පවුරුවලින් වට වූ නුවරක් වගෙයි. මෙහි මනා ලෙස පාලනය කරන ලද ඇතුල් වීමේ හා පිටවීමේ තැන් තිබෙනවා. ඒ වගේම ප්‍රවාහණ පද්ධතියක්, සන්නිවේදන ජාලයක්, බලාගාරයක්, ආහාර නිපදවන කර්මාන්ත ශාලා, අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රම හා ප්‍රතිචක්‍රීකරණ පහසුකම්, ආරක්ෂක විධිවිධාන සහ එහි න්‍යෂ්ටියේ එක්තරා විදිහක මධ්‍යම ආණ්ඩුවක්ද පිහිටුවා තිබෙනවා. එපමණක්ද නොවෙයි, මේ සෛලයකට පුළුවන් පැය කිහිපයක් ඇතුළත තමන් වගේම සංකීර්ණ ප්‍රතිරූපයක් සාදන්න!
11, 12. (අ) වැඩෙන භෲණයක් තුළ තිබෙන සෛල එකිනෙකට වෙනස් වීමට සලස්වන්නේ කුමක්ද? තවද මෙය ගීතාවලිය 139:16 සමඟ එකඟ වන්නේ කොහොමද? (ආ) අපව “පුදුම ලෙස” සාදා ඇති බව මිනිස් මොළයෙන් ඔප්පු වන්නේ කිනම් ආකාරවලින්ද?
11 ඇත්ත වශයෙන්ම, සියලුම සෛලයන් එක සමාන නැහැ. භෲණයක ඇති සෛල බෙදීමට පටන්ගන්නවාත් සමඟම, ඒවා එකිනෙකට වෙනස් කර්තව්‍යයන් කිරීමට පටන්ගන්නවා. ඇතැම් ඒවා ස්නායු සෛල, වෙනත් ඒවා අස්ථි, මාංස පේශී, රුධිර හෝ ඇස්වල සෛල බවට පත් වනවා ඇති. මෙවැනි වෙනස්කම් සෛලයේ ජානමය පිටපතක් හෙවත් “පුස්තකාලයක්” තුළ ක්‍රමලේඛනය කර ඇති අතර, එය හැඳින්වෙන්නේ DNA යනුවෙන්. යෙහෝවා හට මෙසේ කියන්නට දාවිත් පෙලඹීම මෙහිදී උනන්දුව ගෙන දෙන්නක්. “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය. ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය.”—ගීතාවලිය 139:16.
12 ඇතැම් ශරීර කොටස් සංකීර්ණබවින් අතිමහත්. නිදසුනක් වශයෙන්, මිනිස් මොළය ගැන සලකා බලන්න. ඇතමුන් එය හඳුන්වා තිබෙන්නේ විශ්වයේ සොයාගෙන ඇති වඩාත් සංකීර්ණතම වස්තුව යනුවෙනුයි. එහි බිලියන 100ක් පමණ නියුරෝන සෛල අන්තර්ගතයි. එය අපගේ මන්දාකිණියේ ඇති තාරකා සංඛ්‍යාවට සමානයි. මේ එක් එක් සෛලයෙන් දහස් ගණනක් සම්බන්ධක වෙනත් සෛලවලට විහිදී යනවා. විද්‍යාඥයන් පවසන අන්දමට මිනිස් මොළයක් තුළට ලොවේ සියලුම පුස්තකාලවල ඇති සියලුම පොත්වල තොරතුරු පිරවිය හැකි අතර, ඊට තොරතුරු ගබඩා කළ හැකි ධාරිතාව ගණනය කළ නොහැකියි. “පුදුම ලෙස” සාදා ඇති මේ ඉන්ද්රිය දශක ගණනාවක් පුරා අධ්‍යයනයට ලක් කර තිබුණද, එය ක්‍රියාත්මක වන ආකාරය තමන්ට කවදාවත් තේරුම්ගැනීමට නොහැකි බවට විද්‍යාඥයන් එකඟ වෙනවා.
13, 14. (අ) කුහුඹුවන් සහ වෙනත් මැවිලි “සහජයෙන්ම ඥානවන්ත” බව පෙන්නුම් කරන්නේ කොහොමද? ඒවායින් එහි මැවුම්කරුවාණන් ගැන උගන්වන්නේ මොනවාද? (ආ) මකුළු දැල් වැනි එවන් මැවිලි “ප්‍රඥාවෙන්” සාදා ඇති බව අපට කිව හැක්කේ ඇයි?
13 කෙසේවෙතත්, මිනිස් මොළය යනු යෙහෝවාගේ මැවීමේ ප්‍රඥාවේ එක් නිදසුනක් පමණයි. ගීතාවලිය 104:24 පවසන්නේ මෙසේයි. “යෙහෝවා, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” යෙහෝවාගේ ප්‍රඥාව අප අවට තිබෙන සෑම මැවිල්ලකම දිස් වෙනවා. නිදසුනක් වශයෙන් “සහජයෙන්ම ඥානවන්ත” කුහුඹුවා ගැන සිතා බලන්න. (හිතෝපදේශ 30:24, NW) ඇත්ත වශයෙන්ම, කුහුඹු ගුල් සංවිධානය කර තිබෙන්නේ ඉතා දක්ෂ අන්දමකටයි. ඇතැම් කුහුඹු ගුල් ආරක්ෂා වී පෝෂණය වන්නේ කූඩිත්තා යනුවෙන් නම් කර ඇති එක්තරා කෘමි විශේෂයක් නිසයි. ජීවත් වීම සඳහා කුහුඹුවන් මෙම කෘමියා මත රඳා සිටිනවා. ඇතැම් කුහුඹු ගුල්වල කුහුඹු රංචුව කූඩිත්තන් බලාගෙන, උන්ට වාසස්ථානයක් දෙමින්, උන්ගෙන් පෝෂණයක් ලබනවා. එය හරියට උන් සත්ව පාලනයෙහි නිරත වෙනවා වගෙයි. වෙනත් බොහොමයක් මැවිලි ක්‍රමලේඛනය කර තිබෙන්නේ ඉවෙන් සුවිශේෂී දේවල් කිරීමටයි. ගෙමැස්සෙකු කරණම් ගසමින් පියාසර කරන විලාසයට මිනිසා නිපදවා ඇති කිසිම ගුවන් යානයකට පියාසර කරන්නට බැහැ. සංක්‍රමණය වන කුරුල්ලන් එසේ කරන්නේ තරුවල ආධාරයෙන්, නැත්නම් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයේ පිහිටීම ආධාරයෙන්, නැතහොත් එක්තරා ආකාරයක අභ්‍යන්තර සිතියමක් මගිනුයි. මෙම මැවිලි තුළ ක්‍රමලේඛනය කර ඇති ඉතා දක්ෂ චර්යා රටාවන් අධ්‍යයන කර බැලීමට ජීව විද්‍යාඥයන් වසර ගණන් ගත කරනවා. එසේ නම්, ඒ දිව්‍ය ක්‍රමලේඛකයා කොතරම් ප්‍රඥාවන්ත විය යුතුද!
14 යෙහෝවාගේ මැවීමේ ප්‍රඥාවෙන් බොහොමයක් දේවල් ඉගෙනගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. ජෛව අනුකාරි විද්‍යාව යනුවෙන් හැඳින්වෙන ඉංජිනේරු ක්ෂේත්රයක්ද දැන් තිබෙනවා. එහිදී උත්සාහයක් දරන්නේ ස්වභාවධර්මයේ දකින නිර්මාණයන් අනුකරණය කිරීමටයි. නිදසුනක් හැටියට, මකුළු දැලක ඇති අලංකාරය දෙස ඔබ සෑහෙන වේලාවක් ඕනෑකමින් බලා සිට ඇති. නමුත් ඉංජිනේරුවෙකු එය දකින්නේ නිර්මාණයේ අරුමයක් ලෙසටයි. ඉතා පහසුවෙන් කැඩෙන බවට පෙනී යන මකුළු දැලක ඇතැම් කෙඳි, වෙඩි උණ්ඩවලින් ආරක්ෂා වීමට පළඳින වස්ත්‍රයක කෙඳිවලටත් වඩා ශක්තිමත්. එය කොතරම් ශක්තිමත්දැයි දැනගැනීම සඳහා, මකුළු දැලක් ධීවර බෝට්ටුවක භාවිත වන මාළු දැලක තරමට විශාල කළා යයි සිතන්න. එවන් මකුළු දැලකට අහසේ පියාසර කරන මගී ගුවන් යානයක් අල්ලා ගන්නට පිළිවන් බව ඔබ දන්නවාද? ඔව්, යෙහෝවා එවන් සියලු දේවල් සාදා තිබෙන්නේ “ප්‍රඥාවෙන්.”
පෘථිවියෙන් එපිට ප්‍රඥාව
15, 16. (අ) තරුවලින් ගහන අහස යෙහෝවාගේ ප්‍රඥාව පිළිබඳව දෙන සාක්ෂිය කුමක්ද? (ආ) අතිමහත් දේවදූත සංඛ්‍යාවක පරම සේනාධිපති හැටියට යෙහෝවා හොබවන තත්වය, ඔවුන්ගේ පරිපාලකයා වශයෙන් ඔහුගේ ප්‍රඥාවට සාක්ෂියක් වෙන්නේ කොහොමද?
15 විශ්වය පුරාම යෙහෝවාගේ ක්‍රියාවල ඔහුගේ ප්‍රඥාව දක්නට ලැබෙනවා. අප 5වන පරිච්ඡේදය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාවූ, අහස් තාරකා මණ්ඩලය අභ්‍යවකාශයේ තැනින් තැනට නිකම්ම විසිරී තිබෙනවා නොවේ. යෙහෝවාගේ “අහසේ නියෝග” හා සම්බන්ධ ප්‍රඥාවට ස්තුතිවන්ත වන්නට, මෙම තාරකා ඉතා රමණීය ලෙස මන්දාකිණිවලට සංවිධානය කර තිබෙන අතර, ඒවා මන්දාකිණි පොකුරුවලටත් ඒවා සුපිරි පොකුරුවලටත් කාණ්ඩ ගත කර තිබෙනවා. (යෝබ් 38:33) මේ ස්වර්ගික මැවිලි යෙහෝවා විසින් ‘සේනාවක්’ ලෙස හඳුන්වා තිබීම ගැන පුදුම වන්නට දෙයක් නැහැ. (යෙසායා 40:26) එහෙත්, යෙහෝවාගේ ප්‍රඥාව මීටත් වඩා චමත්කාරජනක අන්දමින් නිරූපණය වන තවත් සේනාවක් තිබෙනවා.
16 අප 4වන පරිච්ඡේදයේ දුටුවාක් මෙන්, දෙවි “සේනාවල යෙහෝවා” යන පදවි නාමය හොබවනවා. මන්දයත් මිලියන සිය ගණනකින් යුත් ආත්ම මැවිලිවලින් සමන්විත අතිවිශාල සේනාවක පරම සේනාධිපති ඔහුයි. මෙය යෙහෝවාගේ බලය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. එහෙත් ඔහුගේ ප්‍රඥාව මෙතැනට සම්බන්ධ වන්නේ කොහොමද? මේ ගැන සලකා බලන්න. යෙහෝවා සහ යේසුස් කිසිවිටෙකත් වැඩ කිරීම නවත්වන්නේ නැහැ. (යොහන් 5:17) එසේනම්, මහෝත්තමයාණන්ගේ දේවදූතමය මෙහෙකරුවන්ද ඒ හා සමානව සෑමවිටම කාර්ය බහුලව සිටින බවට තර්කයක් නැහැ. තවද මෙයත් මතක තබාගනිමු. ඔවුන් මිනිසුන්ට වඩා උසස්. අතිශයින් බුද්ධිමත් වගේම අති බලවත්. (හෙබ්‍රෙව් 1:7; 2:7) එහෙත්, එම දේවදූතයන්ට කිරීමට බොහෝ වැඩ දී තිබෙන්නේ යෙහෝවාමයි. ඒවා නම්, වසර බිලියන සංඛ්‍යාතයක් පුරා ‘ඔහුගේ වචන ඉෂ්ට කිරීමයි,’ නැතහොත් ‘ඔහුගේ කැමැත්ත ඉෂ්ට කිරීමයි.’ (ගීතාවලිය 103:20, 21) දේවදූතයන්ගේ මෙම පරිපාලකයාගේ ප්‍රඥාව කොතරම් ගරුබිය උපදවිය යුතුද!
‘එකම ප්‍රඥාවන්ත වූ තැනැත්තා’ යෙහෝවා
17, 18. යෙහෝවා ‘එකම ප්‍රඥාවන්ත වූ තැනැත්තා’ බව බයිබලය පවසන්නේ ඇයි? තවද ඔහුගේ ප්‍රඥාව අපව ගරුබියෙන් පුරවාලිය යුත්තේ ඇයි?
17 මෙවන් සාක්ෂි දෙස බලන කල, යෙහෝවාගේ ප්‍රඥාව අති උත්තරීතරම ප්‍රඥාව බව බයිබලයේ පෙන්වා තිබීම ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ. නිදසුනක් හැටියට, එහි පවසන්නේ ‘එකම ප්‍රඥාවන්ත වූ තැනැත්තා’ යෙහෝවා බවයි. (රෝම 16:27) ඒ වගේම ප්‍රඥාව යන ගුණාංගය පරිපූර්ණ අර්ථයකින් සතුව තිබෙන්නේ යෙහෝවාට පමණයි. සියලු සැබෑ ප්‍රඥාවේ උල්පත ඔහුයි. (හිතෝපදේශ 2:6) යෙහෝවාගේ මැවිලිවල ප්රඥාවත්ම පුද්ගලයා වූ යේසුස් තමාගේම ප්‍රඥාව මත රඳා නොසිට සිය පියාණන්ගේ මඟ පෙන්වීමට එකඟව කතා කළේ ඒ නිසයි.—යොහන් 12:48-50.
18 යෙහෝවාගේ ප්‍රඥාවේ අද්විතීයභාවය ගැන ප්‍රේරිත පාවුල් පළ කළ අදහස් සැලකිල්ලට ගන්න. “අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් ඔහුගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!” (රෝම 11:33) “අහෝ” යන විස්ම ප්‍රකාශයත් සමඟ පාවුල් පෙන්වූයේ ඉතා දැඩි චිත්තවේගී හැඟීමක්. මේ අවස්ථාවේදී එය ගරුබියෙන් ඇළලී ගිය හැඟීමක්. මෙහි “ගැඹුර” යන වචනය සඳහා ග්‍රීක් භාෂාවෙන් යොදාගත් වචනය “පාතාලය” යන වචනයට කිට්ටුවෙන් නෑකම් කියන වචනයක්. මෙබැවින්, ඔහුගේ වචනවලින් විචිත්‍රවත් පින්තූරයක් මනසේ ඇඳ තබනවා. අප යෙහෝවාගේ ප්‍රඥාව ගැන කල්පනා කරන විට, එය හරියට අප විසින් සීමාවක්, පරක් තෙරක් පතුලක් නොපෙනෙන ඉතා ගැඹුරු පාතාලයක් හෙවත් ආගාධයක් දෙස බලනවාක් වැනියි. එහි තරම හා එහි තොරතුරු අපට මනසින් ග්‍රහණය කරගත නොහැකියි. (ගීතාවලිය 92:5) එය යටහත් පහත් සිතිවිල්ලක් නොවේද!
19, 20. (අ) රාජාලියා දිව්‍ය ප්‍රඥාවේ සුදුසු සංකේතයක් වන්නේ ඇයි? (ආ) අනාගතයේ ඈත දුර දැකීමට තිබෙන තම හැකියාව යෙහෝවා නිරූපණය කර ඇත්තේ කොහොමද?
19 තවත් අර්ථයකින් යෙහෝවා පමණක් ‘එකම ප්‍රඥාවන්ත තැනැත්තා’ වෙනවා. එයට හේතුව අනාගතයට එබී බැලීමට හැකියාවක් ඇත්තේ ඔහුට පමණක් වීමයි. දිව්‍ය ප්‍රඥාව සංකේතවත් කිරීමට බොහෝ දුර දැකිය හැකි රාජාලියාව යොදාගෙන ඇති බව සිහියට නඟන්න. රන් රාජාලියෙකුගේ බර කිලෝග්‍රෑම් පහක් පමණ විය හැකියි. නමුත් උගේ ඇස් හොඳින් වැඩුණු මිනිසෙකුගේ ඇස්වලට වඩා විශාලයි. රාජාලියාගේ දෘෂ්ටිය පුදුමසහගත අන්දමින් ඉතා තියුණුයි. මීටර් සිය ගණනක් උසක සිට හෝ කිලෝමීටර් ගණනක් ඈතක සිට ඉතා කුඩා ගොදුරක් පැහැදිලිව දැකගන්නට ඌට හැකියාව තිබෙනවා! යෙහෝවාම වරක් රාජාලියා ගැන කීවේ මෙසේයි. “දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.” (යෝබ් 39:29) ඒ හා සමාන අර්ථයෙන්ම, යෙහෝවාටද කාලයේ හෙවත් අනාගතයේ ඈත “දුර” දැකිය හැකියි!
20 මෙම කාරණය සත්‍යයක් බවට බයිබලය පුරාම තිබෙන සාක්ෂි එමටයි. අනාවැකි නැතහොත් කලින් ලියන ලද ඉතිහාස වාර්තා සිය ගණනක් එහි අඩංගු වෙනවා. යුද්ධවල ප්‍රතිඵල, ලෝක බලවේගයන්ගේ නැඟීම හා වැටීම, සේනාධිපතීන්ගේ සටන්වලදී යොදාගන්නා සුවිශේෂී හමුදා උපක්‍රම යන මේ සියල්ල බයිබලයේ පුරෝකථනය කර තිබුණා. ඇතැම් අවස්ථාවලදී මේවා වාර්තා කර තිබුණේ අවුරුදු සිය ගණනකට කලිනුයි.—යෙසායා 44:25–45:4; දානියෙල් 8:2-8, 20-22.
21, 22. (අ) ඔබ ජීවිතයේ කරන්නාවූ සෑම තේරීමක්ම යෙහෝවා කලින් දැක ඇතිය යන නිගමනයට පදනමක් නැත්තේ ඇයි? නිදර්ශනය කරන්න. (ආ) යෙහෝවාගේ ප්‍රඥාව කිසිම හැඟීමක් නැති දයා විරහිත එකක් නොවන බව අප දන්නේ කොහොමද?
21 එහෙත් මින් අදහස් කරන්නේ ඔබ ජීවිතයේ කරන්නා වූ තේරීම් දෙවි දැනටමත් දන්නවා හෝ කලින්ම දැක තිබෙන බවද? “දේව නියමය” හෙවත් “පූර්ව නියමය” යන අදහස ගැන දේශනා කරන ඇතමුන් ඊට දෙන පිළිතුර නම් ඔව් යන්නයි. කෙසේවුවද, මෙම සංකල්පය යෙහෝවාගේ ප්‍රඥාව සුළු කරනවා. මන්ද අනාගතය දෙස බැලීමට ඔහුට තිබෙන හැකියාව පාලනය කරගැනීමට ඔහුට බැරිය යන අදහසක් එයින් ඇඟවෙන නිසයි. අපි මෙය මෙසේ නිදර්ශනය කරමු. ඔබට ගීත හොඳින් ගායනා කළ හැකි මිහිරි කටහඬක් තිබුණා නම්, ඉන් අදහස් කරන්නේ ඔබට වෙන කිසිවක් කරන්නට බැරි බවත් සෑම මොහොතකම ඔබ ගීත ගායනා කළ යුතු බවත්ද? එවැනි අදහසක් හෝ සංකල්පයක් නිකම්ම හාස්‍යයක් විතරයි. ඒ හා සමානව, අනාගතය ගැන කලින් දැනගැනීමට යෙහෝවාට හැකියාව තිබෙනවා. නමුත් ඔහු එම හැකියාව සෑමවිටකම යොදාගන්නේ නැහැ. එසේ කරනවා නම් අපට යෙහෝවා විසින් දී තිබෙන අපෙන් කවදාවත් නොගන්නා වටිනා දීමනාවක් වන නිදහස් කැමැත්ත උදුරාගැනීමක් වෙනවා.—ද්විතීය කථාව 30:19, 20.
22 එහෙත්, ඊටත් වඩා බරපතළ කාරණයක් මෙතැන තිබෙනවා. ඒ තමයි, එවැනි දේව නියමය හෝ පූර්ව නියමය යන සංකල්පයකින්, යෙහෝවාගේ ප්‍රඥාව කිසි හැඟීමක් නැති දයා විරහිත එකක් බව ඇඟවීම. නමුත් මේවා කිසිවක් සත්‍යය වන්නට බැරි බව ඔබට හොඳින් පෙනෙනවා ඇති! බයිබලයේ උගන්වන්නේ යෙහෝවා “සිතින් ප්‍රඥාවන්තය” කියායි. (යෝබ් 9:4, අකුරු ඇල කළේ අපය.) ඔහුට පදගතාර්ථමය ලෙස සිතක් තිබෙන බව මෙහිදී අදහස් නොකරන බව සැලකිල්ලට ගන්න. නමුත් බොහෝ විට බයිබලය එම යෙදුම සහ හදවත, හෘදය වැනි යෙදුම් භාවිත කරන්නේ චේතනාවන් සහ ප්‍රේමය වැනි හැඟීම්වලින් යුත් අභ්‍යන්තර පුද්ගලයා දැක්වීමටයි. මෙසේ යෙහෝවාගේ වෙනත් ගුණාංග මෙන් ප්‍රඥාවද පාලනය වන්නේ ප්‍රේමය මගිනුයි.—1 යොහන් 4:8.
23. යෙහෝවාගේ ප්‍රඥාවේ උත්තරීතර බව අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?
23 යථාර්ථවාදීව ගත් කල, යෙහෝවාගේ ප්‍රඥාව යනු පරිපූර්ණ වශයෙන්ම දැඩි සේ විශ්වාසය තැබිය හැකි යමක්. එය අපගේම ප්‍රඥාවට වඩා කොතරම් උසස්ව තිබෙනවාද කියනවා නම්, දේවවචනයේ අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙයයි. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) අපි දැන් යෙහෝවාගේ ප්‍රඥාව ගැන තවත් ගැඹුරට හාරා බලමු. එවිට අප තව තවත් අපගේ සර්ව ප්‍රඥාවන්ත දෙවිට ළං වෙනවා නොඅනුමානයි.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
යෝබ් 28:11-28 දිව්‍ය ප්‍රඥාව කොතරම් අගනේද? මෙම විෂය ගැන මෙනෙහි කිරීමෙන් කිනම් යහපත් ප්‍රතිඵල ලැබිය හැකිද?
ගීතාවලිය 104:1-25 යෙහෝවාගේ ප්‍රඥාව මැවිල්ල තුළ පිළිබිඹු වන්නේ කොහොමද? තවද එය ඔබ තුළ පහළ කරන්නේ කිනම් හැඟීම්ද?
හිතෝපදේශ 3:19-26 අප යෙහෝවාගේ ප්‍රඥාව ගැන හොඳින් කල්පනා කර එය අදාළ කරගන්නවා නම්, අපගේ එදිනෙදා ජීවිතයට එය කුමන බලපෑමක් ඇති කළ හැකිද?
දානියෙල් 2:19-28 යෙහෝවා රහස් එළිදරව් කරන තැනැත්තා යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ඇයි? ඔහුගේ වචනයේ සොයාගත හැකි අනාවැකිමය ප්‍රඥාවට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
[174වන පිටුවේ පින්තූර]
පෘථිවියේ මැවිලි “සහජයෙන්ම ඥානවන්ත” වීමට ක්‍රමලේඛනය කළේ කවුද?