දේව භය වගා කිරීම
“යෙහෝවඃ වහන්සේට භය වී නපුරෙන් ඉවතට හැරී යන්න.”—හිතෝපදේශ 3:7, NW.
1. හිතෝපදේශ ලියනු ලැබුවේ කා උදෙසා ද?
හිතෝපදේශ නමැති බයිබල් පොතේ වටිනා ආත්මික උපදෙස් සම්භාරයක් අන්තර්ගත වී තිබේ. යෙහෝවඃ වහන්සේ ස්වකීය ඊශ්‍රායෙල් ජාතියට උපදෙස් දීම සඳහා ආරම්භයේ දී ම මෙම ගුරු පොත සැපයූ සේක. අද දින, ‘දේවල පිළිවෙළේ නිමාවට ළඟා වී’ සිටින ස්වකීය ශුද්ධ ක්‍රිස්තියානි ජාතියට ඒවා ප්‍රඥාවන්ත කියමන් සපයයි.—1 කොරින්ති 10:11, NW; හිතෝපදේශ 1:1-5; 1 පේතෘස් 2:9.
2. හිතෝපදේශ 3:7 හි සඳහන් අනතුරු ඇඟවීම අද දිනට බොහෝ සෙයින් කාලෝචිත වන්නේ මන්ද?
2 අප හිතෝපදේශ 3:7 ට [NW] පෙරළන විට අපට මෙසේ කියවීමට තිබේ: “ඔබගේ ම ඇස් හමුවේ ඥානවන්ත නොවන්න. යෙහෝවඃ වහන්සේට භය වී, නපුරෙන් ඉවතට හැරී යන්න.” සර්පයා විසින් ඔවුන්ට “යහපත හා නපුර දැනගැනීමේ” පෙරොන්දුව සමඟින් ඒව ව පොලඹවනු ලැබූ අපගේ මුල් දෙමාපියන්ගේ කාලයේ පටන්, මිනිස් වර්ගයාගේ අවශ්‍යතාවයන්ට පිළිතුරු සැපයීමට හුදෙක් මිනිස් ප්‍රඥාව අසමත් ව තිබේ. (උත්පත්ති 3:4, 5; 1 කොරින්ති 3:19, 20) ඉතිහාසයේ වෙන කිසිඳු කාල පරිච්ඡේදයකට වඩා මෙම 20වන සියවසේ—එනම් මෙම “අන්තිම දවස්වල” මෙය වඩාත් පැහැදිලි වී තිබේ, මන්දයත් අදේවවාදී, පරිණාමවාදී චින්තනයේ ඵල නෙලා ගනිමින් සිටින මිනිස් වර්ගයා, ජාතිවාදය, ප්‍රචණ්ඩතාවය හා සියලු ආකාර දුරාචාරයෙන් පහර වැදී සිටින හෙයිනි. (2 තිමෝති 3:1-5, 13; 2 පේතෘස් 3:3, 4) එය එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් ලෝකයේ භේද භින්න වූ ආගම්වලටවත් බේරුමක් කර දිය නොහැකි ‘නව ලෝක අපිළිවෙළකි’.
3. අපගේ කාලය තුළ දී, සිදුවන බවට පුරෝකථනය කර තිබුණේ කිනම් සිද්ධීන් ද?
3 ‘සර්වපරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට, එනම් හෙබ්‍රෙව් භාෂාවෙන් හර්මගෙදොන් කියන ස්ථානයට, මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස’ භූත බලවේගයන් ගොස් තිබෙන බව දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනය අපට දැනුම් දෙයි. (එළිදරව් 16:14, 16) ඉතා ඉක්මනින් යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙන භීතිය, එම රජුන් ව හෙවත් පාලකයන් ව වසා ගන්නවා ඇත. එය හරියට, යෝෂුවා සහ ඊශ්‍රායෙල්වරුන් විනිශ්චය ඉටු කිරීමට කානානිවරුන් වෙතට පැමිණි විට ඔවුන් මත ඇති වූ ත්‍රාසය මෙන් වනු ඇත. (යෝෂුවා 2:9-11) එහෙත්, වර්තමානයේ “සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස” පළ කිරීමෙහි ලා, ‘ජාතීන්ට පහර දී යදණ්ඩකින් ඔවුන් ව ආණ්ඩු කරනු ඇත්තේ යෝෂුවා මගින් සාදෘෂ්‍ය කරනු ලබන තැනැත්තාණන් වන, ‘රජවරුන්ගේ රජ ද ස්වාමිවරුන්ගේ ස්වාමින් ද’ වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ය.—එළිදරව් 19:15, 16.
4, 5. ගැලවීම ලබනු ඇත්තේ කවරෙක් ද, තව ද ඒ මන්ද?
4 එම අවස්ථාවේ දී ගැලවීම ලබන්නේ කවුරුන් ද? ගලවනු ලබනු ඇත්තේ, ත්‍රාසයේ බලපෑමට හසුවෙන අය නොව, නමුත් යෙහෝවඃ වහන්සේ කෙරෙහි ගෞරවාන්විත බියක් වගා කොට සිටින සියල්ලන් ය. තමන්ගේ ම ඇස් හමුවේ ඥානවන්ත වෙනවා වෙනුවට, මේ අය, ‘නපුරෙන් ඉවතට හැරී යති.’ ඔවුහු යටහත් පහත්කමින් යුතු ව යහපත් දේ මත මනස් පෝෂණය කර ගන්නා අතර, එවිට ඔවුන්ගේ සිතිවිලි තුළ නපුරු දේවල් ගොඩ ගැසීමට ඉඩක් ඉතිරි වන්නේ නැත. නීච සොදොමීයයන් ව සිඳ දමනු ලැබුවාක් මෙන්, නපුරට ඇලී සිටින සෑම කෙනෙකු ව ම විනාශ කිරීමට යන “මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ” වන පරමාධිපති ස්වාමියාණන් වන යෙහෝවඃ වහන්සේ සඳහා ඔවුහු සුවදායක ගෞරවයක් රැක ගනිති. (උත්පත්ති 18:25) ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේගේ ම ජනයා සඳහා, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.”—හිතෝපදේශ 14:27.
5 මෙම දිව්‍ය විනිශ්චමය දවසේ දී, කිසිවිටෙකත් යෙහෝවඃ වහන්සේ ව අසතුටු කිරීමේ භයෙන් යුක්ත ව මුළුමනින් ම පාහේ යෙහෝවඃ වහන්සේට තමන් ව ම කැප කරන අය, හිතෝපදේශ 3:8 හි, සංකේතාත්මක ව සඳහන් කර ඇති සත්‍යය වටහා ගන්නවා ඇත: “[යෙහෝවඃ වහන්සේ කෙරෙහි භය වීම] නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.”
යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීම
6. හිතෝපදේශ 3:9ට අවනත වීමට අප ව පෙලඹවිය යුත්තේ කුමක් ද?
6 යෙහෝවඃ වහන්සේට ප්‍රබල ප්‍රේමයක් සමඟින් උන් වහන්සේට අප දක්වන අගය කිරීමෙන් යුත් භය, හිතෝපදේශ 3:9 හි සඳහන් දෙයට අවනත වීමට අප ව පෙලඹවිය යුතු ය: “නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට, NW] ගෞරව කරපන්න.” අපගේ පඬුරුවලින් යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමට අප ව පීඩනයට පත් කොට නොමැත. ඉපැරණි ඊශ්‍රායෙලයේ පූජා සම්බන්ධයෙන් නික්මයාම 35:29 සිට ද්විතීය කථාව 23:23 දක්වා 12ස් වතාවක් පමණ අඟවා ඇත්තාක් මෙන්, මේවා ස්වේච්ඡාවෙන් පිදිය යුතු ය. යෙහෝවඃ වහන්සේ වෙත පුදන මෙම ප්‍රථම ඵල, අප උන් වහන්සේගේ හස්තයේ භුක්ති විඳ ඇති යහපත්කම හා ප්‍රේමනීය කරුණාව පිළිගැනීමක් වශයෙන් අපට පිදිය හැකි ඉතා හොඳ ම ත්‍යාගයන් විය යුතු ය. (ගීතාවලිය 23:6) ‘පළමුකොට උන් වහන්සේගේ රාජ්‍යය ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ද සෙවීමට’ අපගේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු විය යුතු ය. (මතෙව් 6:33) තව ද අපගේ වටිනා දේවලින් යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය කුමක් ද? “එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.”—හිතෝපදේශ 3:10.
7. අප යෙහෝවඃ වහන්සේට පුද කළ යුතු නාඹුල් ඵල මොනවා ද, තව ද එහි විපාකය කුමක් වේවි ද?
7 යෙහෝවඃ වහන්සේ මූලික වශයෙන් අපට ආශීර්වාද කරන ආකාරය ආත්මික ය. (මලාකී 3:10) මෙබැවින්, අප උන් වහන්සේට පුදන නාඹුල් ඵල මූලික වශයෙන් ආත්මික ඒවා විය යුතු ය. අප අපගේ කාලය, ශක්තිය සහ මුළු වැර උන් වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා යෙදවිය යුතු ය. එවැනි ක්‍රියාකාරකම් යේසුස් වහන්සේ හට “කෑම” වූ අයුරින් ම, අනෙක් අතට, ඒවා අපට පෝෂණයක් ද වෙයි. (යොහන් 4:34) අපගේ ආත්මික ගබඩා පිරී යන අතර, අලුත් මුද්‍රික පානයෙන් සංකේතවත් වන අපගේ ප්‍රීතිය පිටාර ගලා යනවා ඇත. මීට අමතර ව, සෑම දවසක ම අවශ්‍ය කරන ප්‍රමාණවත් ආහාර සඳහා අප දැඩි විශ්වාසයකින් යුතු ව යාච්ඤා කරනවාත් සමඟ ම, ලෝක ව්‍යාප්ත රාජ්‍යය වැඩයට අනුබල දීමෙහි ලා අපගේ වත්කම්වලින් අපට නොමසුරු ලෙස නිරතුරු ව ම දායක කළ හැක. (මතෙව් 6:11) ද්‍රව්‍යමය දේපොළ සම්පත් ඇතුළු අප සතු ව තිබෙන සෑම දෙයක් ම, අප වෙත පැමිණියේ අපගේ ප්‍රේමනීය පියාණන් ගෙනි. අප මෙම වටිනා දේවල් උන් වහන්සේගේ ප්‍රශංසාව සඳහා යොදවන තරමට, උන් වහන්සේ තව තවත් ආශීර්වාද වගුරනවා ඇත.—හිතෝපදේශ 11:4; 1 කොරින්ති 4:7.
ප්‍රේමයේ තරවටු
8, 9. අප තරවටුව හා හික්මවීම සැලකිය යුත්තේ කෙසේ ද?
8 හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 වෙනි පදවල, දේව භක්තික පවුල්වල මෙන් ම, යෙහෝවඃ වහන්සේ සහ පොළොව මත සිටින උන් වහන්සේගේ ප්‍රේමවන්ත ආත්මික දරුවන් අතර පවතින ප්‍රීතිමත් පිය-පුතු සම්බන්ධය ගැනද යළිත් කථා කරයි. අපි මෙසේ කියවමු: “මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් [තරවටු කරන්නාක් මෙන්, NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක [තරවටු කරන සේක, NW].” ලෝකයේ මිනිස්සු තරවටු කිරීම පිළිකුල් කරති. යෙහෝවඃ වහන්සේගේ ජනයා එය සාදරයෙන් පිළිගත යුතු ය. ප්‍රේරිත පාවුල්, හිතෝපදේශයෙන් මෙම වදන් උපුටා දක්වමින් මෙසේ පැවසී ය: “මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] දඬුවම [හික්මවීම, NW] සුළු නොකරන්න. උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක [හික්ම වන සේක, NW]. . . . කිසි දඬුවමක් [හික්මවීමක්, NW] ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.”—හෙබ්‍රෙව් 12:5, 6, 11.
9 එසේ ය, දෙමාපියන්ගෙන් වේවා, සභාව තුළින් වේවා, නොඑසේනම් අපගේ පුද්ගලික අධ්‍යයනය අතරතුරේ දී ශුද්ධ ලියවිලි මත මෙනෙහි කරද්දී වේවා, අපට ලැබෙන තරවටුව හා හික්මවීම අප සෑම කෙනෙකුගේ ම පුහුණුවේ අත්‍යවශ්‍ය කොටසක් ය. හිතෝපදේශ 4:1, 13 හි ද සඳහන් කරන්නාක් මෙන්, හික්මවීමට අවනත වීම ජීවිතය හා මරණය සම්බන්ධ කාරණයකි: “මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරපල්ලා. ගුරුකම [හික්මවීම, NW] තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගනින්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.”
ශ්‍රේෂ්ඨතම සන්තෝෂය
10, 11. හිතෝපදේශ 3:13-18 හි ප්‍රිය උපදවන වචනවල සමහරක් පැති මොනවා ද?
10 ඇත්තෙන් ම, මොනතරම් අලංකාර කියමන්, ‘සත්‍යයේ ප්‍රිය වූ නිවැරදි වචන’ දැන් ගලා එන්නේ ද! (දේශනාකාරයා 12:10) අනුභාවය ලත් සාලමොන්ගේ මෙම වචන සැබෑ සන්තෝෂය විස්තර කරයි. මේවා වනාහි අපගේ හෘදයන්හි අප විසින් කොටා ගත යුතු වචන ය. අපි මෙසේ කියවමු:
11 “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය [විචාර බුද්ධිය, NW] ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය [සන්තෝෂවත් ය, NW]. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දිර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය. ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය. [සන්තෝෂවත් බවට පැවසිය හැක, NW]”—හිතෝපදේශ 3:13-18.
12. ප්‍රඥාව සහ විචාර බුද්ධිය අපට ප්‍රයෝජන ගෙන දිය යුත්තේ කෙසේ ද?
12 ප්‍රඥාව—හිතෝපදේශ පොතේ කොපමණ වාර ගණනක් මෙය සඳහන් වෙනවා ද, මුළු ගණනින් 46 වතාවක්! “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] කෙරෙහි භයවීමය.” සාතන්ගේ ලෝකය තුළ වියරුවෙන් පහර දෙන භයානක චණ්ඩ මාරුත තුළින් තම ජීවිත නමැති නාවික යාත්‍රාව රැකවල් සහිත ව පැදවීමට දෙවියන් වහන්සේගේ ජනයා හට හැකි කරවන්නා වූ, දේව වචනයේ දැනුම මත පදනම් වූ දේව භක්තික ප්‍රායෝගික ප්‍රඥාව එයයි. (හිතෝපදේශ 9:10) හිතෝපදේශයෙහි 19 වතාවක් යොමු දක්වා ඇති, ප්‍රඥාවේ පරිචාරිකාව වන විචාර බුද්ධිය, සාතන්ගේ උපායන් සමඟ සටන් කිරීමට අපට උදව් කරයි. තම සටකපට ක්‍රියා දිගට ම කිරීමෙහි ලා, මහා විරුද්ධකාරයාට වසර දහස් ගණනක අත් දැකීම් තිබේ. එහෙත්, ගුරුවරයෙකු වශයෙන් අප හට අත් දැකීමට බොහෝ සෙයින් වටිනා දෙයක් තිබේ, එය නම්, දේව භක්තික විචාර බුද්ධිය, හෙවත් හරි දේ වැරැද්දෙන් වෙන් කොට හඳුනා ගෙන යා යුතු නිවැරදි මාර්ගය තෝරා ගැනීමට ඇති හැකියාවයි. යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය තුළින් අපට උගන්වන්නේ මෙයයි.—හිතෝපදේශ 2:10-13; එපීස 6:11.
13. ආර්ථිකමය වශයෙන් අසීරුදායක කාලවල දී අප ව රැක ගත හැක්කේ කුමකට ද? එමෙන් ම කෙසේ ද?
13 අද දින ලෝකයේ පවතින ආර්ථික අවුල් ජාලය, එසකියෙල් 7:19 හි සඳහන් අනාවැකිය ඉටු වීමේ පෙර නිමිත්තකි: “ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය.” පොළොව මත තිබෙන ද්‍රව්‍යමය වස්තූන් සියල්ල ම ගත්තත්, ප්‍රඥාව හා විචාර බුද්ධිය සතු ගැලවීමේ බලය හා සැසඳීමක් කළ නොහැකි තරම් ය. ප්‍රඥාවන්ත සාලමොන් රජ තවත් අවස්ථාවක මෙසේ සඳහන් කළේ ය: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) අද දින යෙහෝවඃ වහන්සේගේ ප්‍රියජනක මාවත්වල ගමන් කරන්නා වූ සහ “දීර්ඝායුෂ,” එනම්, යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තබන සෑම කෙනෙකු හට ම දෙවියන් වහන්සේ දානය කරන දීමනාව වන සදාකාල ජීවනය, ප්‍රඥාවන්ත ලෙස තෝරාගන්නා වූ සියල්ලෝ සැබවින් ම සන්තෝෂවත්හු ය!—හිතෝපදේශ 3:16; යොහන් 3:16; 17:3.
සැබෑ ප්‍රඥාව වගා කිරීම
14. යෙහෝවඃ වහන්සේ ආදර්ශවත් අයුරින් ප්‍රඥාව විදහා ඇත්තේ කුමන මාර්ග වලින් ද?
14 දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබ ඇති මනුෂ්‍යයන් වන අප, මැවීමේ පුදුමාකාර ක්‍රියාවලියේ දී යෙහෝවඃ වහන්සේ ම විදහාපාන ගුණාංග වන ප්‍රඥාව සහ විචාර බුද්ධිය වගා කිරීමට වෙර දැරීම සුදුසු ය. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ ම, NW] ප්රඥව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය [විචාර බුද්ධිය, NW] කරණකොටගෙන අහස [ස්ථිර ව, NW] පිහිටෙවූසේක.” (හිතෝපදේශ 3:19, 20) උන් වහන්සේ ජීවමාන මැවිලි සෑදුවේ, විස්තර කළ නොහැකි ගුප්ත යම් පරිණාමීය ක්‍රියාවලියක් මගින් නොව, නමුත් ප්‍රඥාවන්ත අරමුණක් සඳහා “ඒ ඒ වර්ග ලෙස” මැවීමේ ඍජු ක්‍රියාවන් මගින් ය. (උත්පත්ති 1:25) අවසානයේ දී, සතුන්ට වඩා බොහෝ සෙයින් උසස් බුද්ධිමත් බවින් හා හැකියාවන් සමඟින් මිනිසා මවනු ලැබූ විට, දෙවියන් වහන්සේගේ දේව දූතමය පුත්‍රයන්ගේ ප්‍රීතිනාද, ස්වර්ගය හරහා රැව් පිළිරැව් දුන්නා විය යුතු ය. (යෝබ් 38:1, 4, 6, 7 සසඳන්න.) යෙහෝවඃ වහන්සේගේ විචාරාත්මක දූරදර්ශීභාවය, උන් වහන්සේගේ ප්‍රඥාව සහ උන් වහන්සේගේ ප්‍රේමය, පොළොව මත ඇති ස්වකීය සියලු නිපැයුම් තුළ පැහැදිලි ව දක්නට තිබේ.—ගීතාවලිය 104:24.
15. (අ) හුදෙක් ප්‍රඥාව වගා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ මන්ද? (ආ) හිතෝපදේශ 3:25, 26 අප තුළ පුබුදුවාලිය යුතු නිසැකකම කුමක් ද?
15 අප යෙහෝවඃ වහන්සේගේ ප්‍රඥාව සහ විචාර බුද්ධිය නමැති ගුණාංග වගා කළ යුතුවා පමණක් නොව, නමුත් අප උන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙහි ලා කිසිවිටෙකත් මන්දෝත්සාහී නොවී එම ගුණාංගවලට තදින් ඇලී සිටිය යුතු ය. උන් වහන්සේ අපට මෙසේ අනුශාසනා කරන සේක: “මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ [ප්‍රායෝගික, NW] ඥානයද සිහියද [චින්තන හැකියාව ද, NW] තබාගනින්න [රැක ගන්න, NW]; එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.” (හිතෝපදේශ 3:21, 22) සොරෙකු මෙන් පැමිණ, සාතන්ගේ ලෝකය මත කඩා වැටෙන ‘හදිසි විනාශය’ දවසේ දී පවා, මෙසේ අපට මනසේ සාමයෙන් හා සුරක්ෂිතභාවයෙන් පිය මැනිය හැක. (1 තෙසලෝනික 5:2, 3) මහත් පිඩාවේ දී, “[නුඹ, NW] හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ ම, NW] නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.”—හිතෝපදේශ 3:23-26.
යහපත කිරීම සඳහා ප්‍රේමය
16. දේව සේවයේ ජ්වලිත වීමට අමතර ව, ක්රිස්තියානින්ගෙන් අවශ්‍ය කරන ක්‍රියාව කුමක් ද?
16 රාජ්‍යයේ ශුභාරංචිය සියලු ජාතීන් හට සාක්ෂියක් පිණිස දේශනා කිරීමෙහි ලා ජ්වලිතය පෙන්වීමට තිබෙන දවස් මේවා ය. එහෙත්, මෙම සාක්ෂි දැරීමේ වැඩය, හිතෝපදේශ 3:27, 28 හි විස්තර කර ඇති පරිදි වෙනත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලින් අනුබල ලැබිය යුතු ය: “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගනින්න. නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත වරෙන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.” (යාකොබ් 2:14-17 සසඳන්න.) ලෝකයේ සිටින බොහොමයක් දිළිඳුකමේ හා සාගතයේ ග්‍රහණයට හසු වී සිටින අතර, අප අතර සිටින සෙසු ජනයාට, විශේෂයෙන් ම අපගේ ආත්මික සහෝදරයන්ට උපකාර කිරීම සඳහා හදිසි අවශ්‍යතා උද්ගත වී තිබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේ ද?
17-19. (අ) වර්ෂ 1993 දී සපුරාලනු ලැබූ හදිසි අවශ්‍යතාවය කුමක් වී ද, තව ද කිනම් ප්‍රතිචාරයක් ඇතුව ද? (ආ) අවහිර බාධක මැද සිටි අපගේ සහෝදරයන් “අතීශයින් ජයගන්නෝ” බව නිරූපනය වන්නේ කුමකින් ද?
17 එක් නිදසුනක් සැලකිල්ලට ගන්න: පසුගිය වසරේ දී, උපකාරය ඉල්ලා කලින් පැවති යුගෝස්ලාවියාවෙන් හදිසි ඇමතුමක් පැමුණුනි. අවට රටවල සහෝදරත්වය, පුදුමාකාර අන්දමින් ප්‍රතිචාර දැක්වූයේ ය. පසුගිය ශීත සමයේ දැඩි ශීත මාසවල දී, හිඟකම්වලින් පෙළී සිටියා වූ සාක්ෂිකරුවන්ට වත්මන් පොත් පත්, උණුසුම් ඇඳුම් පැළඳුම්, ආහාර හා බෙහෙත්හේත් ප්‍රවාහනය කරමින් යුද්ධ කලාපය තුළට ගමන් කිරීමට සහනාධාර කණ්ඩායම් කිහිපයකට ම හැකි විණි. එක් අවස්ථාවක, සහෝදරයෝ, සහනාධාර ටොන් 15ක් රැගෙන යාමට අවසර ඉල්ලූ නමුත් ඔවුන්ට එය ලැබුණු විට, ඒ ටොන් 30ක් රැගෙන යාම සඳහා විය! ඕස්ට්‍රියාවේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තවත් ට්‍රක් රථ තුනක් සැණෙකින් පිටත් කර හැරියෝ ය. මුළුමනින් ම, නියමිත ගමනාන්තයට ටොන් 25ක් ළඟා විය. මෙම බහුල ආත්මික හා ද්‍රව්‍යමය සැපයුම් ලැබීම ගැන අපගේ සහෝදරයන් කොතරම් සතුටු වූවා ද!
18 ඒවා ලබා ගත් අය ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? මෙම වසරේ මුල් භාගයේ, එක් වැඩිමහල්ලෙක් මෙසේ ලීවේ ය: “සරායේවෝ හි සිටින සහෝදර සහෝදරියෝ මෙහි හොඳින් සිටිනවා, ඇරත් වඩා වැදගත් වන්නේ, අප මෙම පිස්සු යුද්ධය විඳදරා ගැනීමට තවමත් ආත්මික ලෙස ශක්තිමත් ව සිටිනවා. ආහාර සම්බන්ධයෙන් නම් තත්ත්වය ඉතා දුෂ්කර වූවා. ඔබ අප උදෙසා ගත් පරිශ්රමය නිසා යෙහෝවඃ වහන්සේ ඔබට ආශීර්වාද කොට විපාක දෙන සේක්වා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආදර්ශවත් ජීවන මාර්ගය නිසා හා ඔවුන් බලධාරීන් වෙත දක්වන ගෞරවය නිසා, බලධාරීන් තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි විශේෂ ගෞරවයක් තිබෙනවා. ඔබ අප වෙත ගෙන ආත්මික ආහාරවලට ද අප කෘතඥ වෙනවා.”—ගීතාවලිය 145:18 සසඳන්න.
19 විපතට ගොදුරු වූ මෙම සහෝදරයෝ, ජ්වලිතවත් ක්ෂේත්‍ර සේවයේ යෙදීමෙන්, තම අගය කිරීම පළ කොට ඇත. බොහෝ අසල්වාසීහු, නිවාස බයිබල් පාඩම් ඉල්ලමින් ඔවුන් වෙතට පැමිණෙති. සහනාධාර ආහාර ටොන් පහක් යවනු ලැබූ ටූස්ලා නම් නගරයේ, ප්‍රචාරකයන් 40 දෙනෙක්, සභාවේ පුරෝගාමින් නව දෙනෙකුට කදිම අනුබලයක් දෙමින්, එක් අයෙකු මාසයකට සාමාන්‍ය පැය 25ක් සේවයේ වාර්තා කළහ. යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමට පැමිණ සිටි සංඛ්‍යාව 243ක් වීම කැපී පෙනෙන්නක් විය. මෙම ප්‍රිය සහෝදරයන් ඇත්තෙන් ම, “අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන . . . අතිශයින්ම ජයගන්නෝ” වෙති.—රෝම 8:37.
20. කලින් සෝවියට් සංගමයේ කිනම් “සමකමක්” සිදුවී තිබේ ද?
20 කලින් සෝවියට් සංගමය වෙත නැව් ගත කරනු ලැබූ ආහාර හා උණුසුම් ඇඳුම් සහනාධාර එවීමේ දී දක්වන ලද ත්‍යාගශීලීභාවය, එහි සහෝදරයන්ගේ ජ්වලිතය හා සමතැන් ගනී. නිදසුනක් වශයෙන්, මෙම වසරේ මොස්කව් නගරයේ සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව, පසුගිය වසරේ පැමිණි 3,500 සමඟ සසඳන විට, 7,549ක් විය. එම කාල පරිච්ඡේදය තුළ දී ම, එම නගරයේ සභාවන් 12 සිට 16 දක්වා වැඩි විය. මුළු සෝවියට් සංගමයේ (බෝල්ටික් ජනපදයන් හැර), රාජ්‍යය ප්‍රචාරකයන් සියයට 25ක් ද, පුරෝගාමින් සියයට 74ක් ද ඇතුළු ව සභාවල වර්ධනය සියයට 14ක් විය. ජ්වලිතයේ හා ආත්ම-පරිත්‍යාගයේ මොනතරම් ස්ප්‍රීතුවක් ද! පළමු සියවසේ දී, එයට “සමකමක්” තිබූ එක් සභාවක් ගැන ඉන් සිහිගැන්වෙයි. ආත්මික හා ද්‍රව්‍යමය වත්කම් සතු ව තිබූ ක්‍රිස්තියානිහු, තත්ත්වයන් එතරම් හිතකර නොමැති පෙදෙස්වල විසූ අයට නොමසුරු දීමනා දුන් අතර, පීඩාවට පත් ව සිටි මේ අයගේ ජ්වලිතය, පරිත්‍යාගීන් හට ප්‍රීතියක් හා දිරිගැන්වීමක් විය.—2 කොරින්ති 8:14.
නපුරට වෛර කරන්න!
21. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ අවසාන වදන් තුළ, ප්‍රඥාවන්තයන් හා අඥානයන් වෙන් කොට දක්වා ඇත්තේ කෙසේ ද?
21 ඊළඟට, හිතෝපදේශයේ තුන් වෙනි පරිච්ඡේදය, එකිනෙකට අසමාන අරුත්වලින් යුත් අනුශාසනා මාලාවක් ඉදිරිපත් කරමින් මෙම අනුශාසනාවෙන් අවසන් වෙයි: “බලාත්කාරකරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගනින්න. මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට, NW] පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක. නින්දාකරන්නට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට [මොළොක් ගුණ ඇත්තන්ට, NW] නම් කරුණාව [අනුග්‍රහය, NW] දෙනසේක. ඥාණවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.”—හිතෝපදේශ 3:29-35.
22. (අ) අඥානයන්ගේ ඉරණමින් වැළකීමට අපට හැක්කේ කෙසේ ද? (ආ) ප්‍රඥාවන්තයන් වෛර කරන්නේ කුමට ද, තව ද ඔවුන් වගා කරන්නේ කුමක් ද, කිනම් විපාකය සහිත ව ද?
22 අඥානයන් අතර ගණන් ගනු ලැබීමෙන් අපට වැළකී සිටිය හැක්කේ කෙසේ ද? අප නරක දේට ද්වේෂ කිරීමට ඉගෙන ගත යුතු ය, එසේ ය යෙහෝවඃ වහන්සේ පිළිකුල් කරන දේට—එනම්, මෙම සාපරාධි, ලේවරද සහිත ලෝකයේ කුටීල මාර්ග සියල්ලට ම—පිළිකුල් කිරීමට අප ඉගෙන ගත යුතු ය. (හිතෝපදේශ 6:16-19 ද බලන්න.) ඊට පටහැනි ව, ඍජුකම, ධර්මිෂ්ඨකම සහ මොළොක්ගුණය යන යහපත් දේ අප වගා කළ යුතු ය, එවිට යටහත් පහත්කමින් හා යෙහෝවඃ වහන්සේ කෙරෙහි භය ඇති ව අපට “වස්තුවත් ගෞරවයත් ජීවතයත්” ලබා ගත හැකි වෙයි. (හිතෝපදේශ 22:4) “ඔබේ මුළු හදින් යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න” යන මෙම අවවාදය පක්ෂපාත ලෙස අදාළ කර ගන්නා අප සියල්ලන්ගේ ම විපාකය වනු ඇත්තේ මෙයයි.
ඔබ පවසන්නේ කුමක් ද?
◻ මෙම පාඩමේ තේමා පාඨය අද දිනට අදාළ වන්නේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමට අපට හැක්කේ කෙසේ ද?
◻ අප හික්මවීම සුළුකොට තක්සේරු නොකළ යුත්තේ මන්ද?
◻ අතිශය සන්තෝෂය සොයා ගැනීමට තිබෙන්නේ කොතැන ද?
◻ යහපතට ප්‍රේම කොට නපුරට වෛර කිරීමට අපට හැක්කේ කෙසේ ද?
[18වන පිටුවේ පින්තූරය]
තමන් සතු හොඳ ම දේ යෙහෝවඃ වහන්සේට පුද කරන අය බහුල ලෙස ආශීර්වාද ලබනවා ඇත