අපගේ ඇදහිල්ලට ගුණය සපයා ගැනීමට අපට හැක්කේ කෙසේ ද?
“ඔබගේ ඇදහිල්ලට ගුණය සපයා ගන්න.”—2 පේතෘස් 1:5, NW.
1, 2. ගුණවත් දේ කිරීම අප යෙහෝවඃ වහන්සේගේ ජනයාගෙන් අපේක්ෂා කළ යුත්තේ මන්ද?
යෙහෝවඃ වහන්සේ සෑම විටක ම ක්‍රියා කරන්නේ ගුණවත් ආකාරයකිනි. උන් වහන්සේ ධර්මිෂ්ඨ දේ සහ යහපත් දේ කරන සේක. එමනිසා, ‘ස්වකීය තේජස හා ගුණවත්කම කරණ කොට ගෙන’ ආලේප ලත් ක්‍රිස්තියානින් ව කැඳ වූ තැනැන් වහන්සේ ලෙස දෙවියන් වහන්සේ ගැන කථා කරන්නට ප්‍රේරිත පේතෘස්ට හැකි විණි. තමන්ගේ ගුණවත් ස්වර්ගික පියාණන් පිළිබඳ හරි දැනුම, සැබෑ දේව භක්තික ජීවිතයක් ලුහුබැඳීමට කුමක් අවශ්‍ය ද කියා ඔවුන් හට පෙන්වා දී තිබුණි.—2 පේතෘස් 1:2, 3.
2 ප්‍රේරිත පාවුල්, “ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා” යයි ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (එපීස 5:1) තමන්ගේ ස්වර්ගික පියාණන් මෙන්, යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් ඕනෑ ම අවස්ථාවක දී ගුණවත් දේ කළ යුතු ය. එහෙත් ගුණය යනු කුමක් ද?
ගුණය යනු
3. “ගුණය” අර්ථ දක්වා තිබෙන්නේ කෙසේ ද?
3 නවීන දින ශබ්දකෝෂ, “ගුණය” යන්න “සදාචාරාත්මක උත්කෘෂ්ට භාවය; යහපත්කම” යනුවෙන් නිර්වචනය කරයි. එය, “ක්‍රියාවෙන් හා කල්පනාවෙන් හරි ස්වභාවයක්; චරිතයෙන් යහපත්කම දැක්වීම ය.” ගුණවත් පුද්ගලයෙක් ධර්මිෂ්ඨ පුද්ගලයෙකි. ගුණය යන්න “නිවැරදි භාවයේ ප්‍රමිතියකට අනුකූල වීම” යනුවෙන් ද නිර්වචනය කර තිබේ. ඇත්ත වශයෙන් ම, ක්‍රිස්තියානින් උදෙසා, “නිවැරදි භාවයේ ප්‍රමිතිය” දෙවියන් වහන්සේ විසින් නිර්ණය කෙරෙන අතර, උන් වහන්සේගේ පරිශුද්ධ වචනය වන බයිබලයේ එය පැහැදිලි කොට තිබේ.
4. ක්‍රිස්තියානින් විසින් වැඩි දියුණු කර ගැනීමට මහන්සි ගත යුත්තේ 2 පේතෘස් 1:5-7 හි සඳහන් කිනම් ගුණාංග ද?
4 සැබෑ ක්‍රිස්තියානින් යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ප්රමිතීන්වලට අනුකූල වන අතර, ඇදහිල්ල ක්‍රියාවට නැංවීම මගින් ඔවුහු උන් වහන්සේගේ අනගි පොරොන්දුවලට ප්‍රතිචාර දක්වත්. ඔවුහු පේතෘස්ගේ මෙම උපදෙසට ද අවනත වෙත්: “මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද, දැනගැන්ම සමග පමණ දැන ක්‍රියාකිරීමද [ආත්ම දමනය ද NW], පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම දමනය NW] සමග ඉවසිල්ලද [විඳදරා ගැනීම ද NW], ඉවසිල්ල [විඳදරා ගැනීම NW] සමග දේවභක්තියද, දේවභක්තිය සමග සහෝදර ස්නේහය ද, සහෝදර ස්නේහය සමග ප්‍රේමයද සපයා ගනිල්ලා.” (2 පේතෘස් 1:5-7) ක්‍රිස්තියානියෙක් මෙම ගුණාංග වර්ධනය කර ගැනීමට දැඩි ප්රයත්නයක් ගත යුතුයි. මෙය ස්වල්ප දවසකින් හෝ වසර කිහිපයකින් කෙරෙන දෙයක් නොවේ, නමුත් නොකඩවා ගන්නා වූ ජීවිත කාලීන ප්රයත්නයක් මීට අවශ්‍ය කරවයි. ඇයි, අපගේ ඇදහිල්ලට ගුණය සපයා ගැනීම ම අභියෝගයකි!
5. ශුද්ධ ලියවිලිමය කෝණයකින් බලන කල, ගුණය යනු කුමක් ද?
5 “ගුණය” යන්න පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනයේ මූලික සාහිත්‍යමය අර්ථය “ඕනෑ ම ආකාරයක උත්කෘෂ්ට භාවයක්” ඇඟ වූ බව ශබ්දකෝෂ කර්තෘ එම්. ආර්. වින්සන්ට් පවසයි. ක්‍රිස්තියානින් විසින් දෙවියන් වහන්සේගේ “උත්කෘෂ්ටතාවයන්” හෙවත් ගුණයන් ප්‍රකාශ කිරීමට තිබෙන බව පැවසූ විට පේතෘස් එහි බහුවචන ස්වරූපය යොදා ගත්තේ ය. (1 පේතෘස් 2:9) ශුද්ධ ලියවිලිමය කෝණයෙන් බලන කල, ගුණය යන්න විස්තර කොට තිබෙන්නේ, අක්‍රීය යමක් ලෙස නොව, නමුත් “සදාචාරාත්මක බලය, සදාචාරාත්මක ශක්තිය, ආත්මයේ ප්‍රාණවත්කම” යනුවෙනි. ගුණය ගැන සඳහන් කිරීමේ දී, පේතෘස්ගේ මනසේ තිබුණේ, දෙවියන් වහන්සේගේ සේවකයන් විසින් විදහා පෑමටත් පවත්වා ගැනීමටත් අපේක්ෂා කරනු ලබන ධෛර්යය සම්පන්න සදාචාරාත්මක උත්කෘෂ්ට භාවයයි. කෙසේ වෙතත්, අප අසම්පූර්ණ බැවින්, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ගුණවත් දේ කිරීමට ඇත්තට ම අපට හැකි ද?
අසම්පූර්ණ නමුත් ගුණවත්
6. අප දිගට ම අසම්පූර්ණ වුවත්, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ගුණවත් දේ කිරීමට අපට හැකි යයි පැවසිය හැක්කේ මන්ද?
6 උරුම වූ අසම්පූර්ණකම හා පාපය අපට තිබේ, එහෙයින් දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ගුණවත් දේ කිරීමට ඇත්තෙන් ම අපට හැක්කේ කෙසේ දැයි අප කල්පනා කරන්නට පුළුවන. (රෝම 5:12) ගුණවත් සිතුවිලි, වචන, සහ ක්‍රියාවන් නික්මිය හැකි නිර්මල හෘදයන් අපට තිබීමට නම් ස්ථිර වශයෙන් ම යෙහෝවඃ වහන්සේගේ උපකාරය අපට අවශ්‍ය ය. (ලූක් 6:45 සසඳන්න.) බැත්-ෂෙබා සම්බන්ධ පාපයෙන් පසු, පසුතැවිලි වූ ගීතිකාකාර දාවිත් අයැද සිටියේ මෙසේ ය: “[අහෝ NW] දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් [නිර්මල හදවතක් NW] මා තුළ මැවුව මැනව, ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.” (ගීතාවලිය 51:10) දෙවියන් වහන්සේගේ කමාව සහ ගුණවත් ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීම සඳහා අවශ්‍ය වන උපකාරය ඔහුට ලැබිණි. මෙබැවින්, අපි බරපතළ ලෙස වැරදි කර ඇති නමුත්, පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ සහ සභා වැඩිමහල්ලන්ගේ උපකාරය ලබා ගෙන ඇත්තෙමු නම්, ගුණවත් මාවතකට ආපසු හැරී එහි රැඳී සිටීමට අපට හැකි ය.—ගීතාවලිය 103:1-3, 10-14; යාකොබ් 5:13-15.
7, 8. (අ) අප ගුණවන්ත ව සිටීමට නම්, අවශ්‍ය වන්නේ කුමක් ද? (ආ) ගුණවත්වීමට ක්‍රිස්තියානින්ට තිබෙන උපකාරය කුමක් ද?
7 උරුම වූ පව්කාරකම නිසා, ගුණවත් ක්‍රියා මාර්ගය අපෙන් ඉල්ලා සිටින දේ කිරීමට අප නිරතුරු ව ම අභ්‍යන්තර යුද්ධයක් කළ යුතු ය. අප ගුණවත් අය ව සිටීමට නම්, අප පාපයේ වහලුන් බවට පත්වීමට කිසිවිටෙකත් ඉඩ නොහැරිය යුතු ය. ඒ වෙනුවට, සෑම විට ම, ගුණවත් අයුරකින් සිතමින්, කථා කරමින්, සහ ක්‍රියා කරමින් අප ‘ධර්මිෂ්ඨකමේ වහලුන්’ විය යුතු ය. (රෝම 6:16-23) ඇත්ත වශයෙන් ම, අපගේ මාංසික ආශාවන් සහ පව්කාර නැඹුරුවාවන් ප්‍රබල ව තිබෙන අතර, මෙම දේවල් සහ දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලා සිටින ගුණවත් දේවල් අතර ගැටුමකට මුහුණ දීමට අපට තිබේ. ඉතින්, කුමක් කළ යුතු ව තිබේ ද?
8 එක් දෙයක් නම්, යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මයේ හෙවත් ක්‍රියාකාරික බලයේ මඟ පෙන්වීම අනුගමනය කිරීම අපට අවශ්‍ය ය. එමනිසා අප පාවුල්ගේ මෙම උපදෙසට අවනත විය යුතු ය: “නුමුත් ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සපුර්ණකරන්නේ නැතැයි කියමි. මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට [ආත්මයට NW] විරුද්ධවද ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමති වන දේ නොකරන ලෙස මොව්හු [මේවා NW] එකිනෙකාට විරුද්ධවෙති.” (ගලාති 5:16, 17) එසේ ය, ධර්මිෂ්ඨකම උදෙසා බලයක් වශයෙන් අපට දෙවියන් වහන්සේගේ ආත්මය තිබේ, තව ද හරි හැසිරීමට මඟ පෙන්වීමක් වශයෙන් අපට උන් වහන්සේගේ වචනය තිබේ. තව ද යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ ප්‍රේමනීය උපකාරය ද “විශ්වාසවූ නුවණ ඇති දාසයාගේ” උපදෙස් ද අපට ඇත. (මතෙව් 24:45-47) මෙසේ, පව්කාර නැඹුරුවාවන්ට එරෙහි ව අපට සාර්ථක ලෙස සටන් කළ හැකි වේ. (රෝම 7:15-25) ඇත්තෙන් ම, යම් අපිරිසිදු සිතුවිලි අපගේ මනසට පැමිණෙනවා නම්, අප සැනෙකින් ඒවා ඉවත් කළ යුතු අතර, ගුණයෙන් හීන යම් අයුරකින් ක්‍රියා කිරීමට ඇති වන ඕනෑ ම ආකාර පරීක්ෂාවකට එරෙහි වීමට දෙවියන් වහන්සේගේ උපකාරය පතා අප යාච්ඤා කළ යුතු ය.—මතෙව් 6:13.
ගුණවත්කම සහ අපගේ සිතුවිලි
9. ගුණවත් හැසිරීමට කුමන ආකාරයේ සිතුවිලි අවශ්‍ය වේ ද?
9 ගුණවත්කම ආරම්භ වන්නේ පුද්ගලයෙක් සිතන ආකාරය සමඟ ය. දිව්‍ය අනුමැතිය භුක්ති විඳීමට නම්, අප ධර්මිෂ්ඨ, යහපත්, ගුණවත් දේවල් ගැන සිතිය යුතු ය. පාවුල් මෙසේ පැවසුවේ ය: “සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද [ධර්මිෂ්ඨ ද NW], යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරපල්ලා.” (පිලිප්පි 4:8) අප අපගේ මනස් ධර්මිෂ්ඨ, පිරිසිදු දේවල් මත තබා ගත යුතු අතර, ගුණයෙන් හීන යමක් අපගේ සිත් ඇද නොගත යුතුයි. පාවුල්ට මෙසේ කීමට හැකි විය: “නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරපල්ලා.” අප පාවුල් මෙන්, සිතුවිලිවලින්, කථාවෙන් සහ ක්‍රියාවෙන් ගුණවත් නම්, අප හොඳ ආශ්‍රිතයන් වනු ඇති අතර, ක්‍රිස්තියානි ජීවිතයේ කදිම ආදර්ශයන් වනු ඇත, එමෙන් ම ‘සමාදානයේ දෙවියන් වහන්සේ අප සමඟ සිටිනවා ඇත.’—පිලිප්පි 4:9.
10. පළමු කොරින්ති 14:20 හි සඳහන් දේ පුද්ගලික ව අදාළ කර ගැනීම ගුණවන්ත ව සිටීමට අපට උපකාර කරනු ඇත්තේ කෙසේ ද?
10 අපගේ ආශාව, සිතුවිලිවලින් ගුණවත් ව සිට, එසේ අපගේ ස්වර්ගික පියාණන් ව සතුටු කිරීමට නම්, අප පාවුල්ගේ උපදෙස් අදාළ කර ගැනීම අවශ්‍ය ය: “නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙල්ලා; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙයල්ලා, බුද්ධියෙන් පුරුෂයෝ වෙයල්ලා.” (1 කොරින්ති 14:20) මින් අදහස් කරන්නේ, අප ක්‍රිස්තියානින් වශයෙන් දුෂ්ටකම පිළිබඳ දැනුම හෝ අත්දැකීම නොසොයන බව ය. අප මේ අයුරින් අපගේ මනස් දූෂණය වීමට ඉඩ හරිනවා වෙනුවට, අපි මේ සම්බන්ධයෙන් බාල දරුවන් මෙන් අත්දැකීම් නොමැති ව අහිංසක ව සිටීමට ඥානවන්ත ලෙස තෝරා ගන්නෙමු. ඒ අතර ම, දුරාචාරය සහ වැරදි ක්‍රියාවන් යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ පාපතර බව අපි සම්පූර්ණයෙන් වටහා ගනිමු. ගුණවත් වීමෙන් උන් වහන්සේ සතුටු කිරීමට අප තුළ තිබෙන තියුණු හෘදයාංගම ආශාව අපට ප්‍රයෝජන ලබා දෙනු ඇත්තේ මන්දයත්, අපිරිසිදු ආකාරයේ විනෝදාස්වාදවලින් සහ සාතන්ගේ බලය තුළ රැඳී තිබෙන මේ ලෝකයේ මනස දූෂණය කරන වෙනත් බලපෑම්වලින් වැළකී සිටීමට එය අප ව පොලඹවන නිසා ය.—1 යොහන් 5:19.
ගුණවත්කම සහ අපගේ කථාව
11. ගුණවන්ත ව සිටීමට කුමන ආකාරයේ කථාව අවශ්‍ය වේ ද, තව ද මේ සම්බන්ධයෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට කිනම් ආදර්ශ ගත හැකි ද?
11 අපගේ සිතුවිලි ගුණවත් නම්, මෙය අප පවසන දේට ගැඹුරු බලපෑමක් ඇති කළ යුතු ය. ගුණවත්වීම යන්නට පිරිසිදු, සනීපදායක, සත්‍යවාදි සහ ගොඩනංවන සුලු කථාව අවශ්‍ය කරයි. (2 කොරින්ති 6:3, 4, 7) යෙහෝවඃ වහන්සේ වනාහි “සත්‍යතාවයේ දෙවියන් වහන්සේ ය.” (ගීතාවලිය 31:5, NW) උන් වහන්සේ කටයුතු කරන සියල්ලේ දී විශ්වාසවන්ත වන සේක, තව ද උන් වහන්සේගේ පොරොන්දු ස්ථිර ය, මක්නිසා ද උන් වහන්සේට බොරු කියන්නට බැරි නිසා ය. (ගණන් කථාව 23:19; 1 සාමුවෙල් 15:29; තීතස් 1:1) දෙවියන් වහන්සේගේ පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, “ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණ” ය. පොළොව මත සිටින විට, තම පියාණන්ගෙන් ලැබූ ලෙස ම උන් වහන්සේ සැමවිට ම සත්‍යය කථා කළ සේක. (යොහන් 1:14, NW; යොහ 8:40) ඊටත් වඩා, යේසුස් වහන්සේ, “කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත.” (1 පේතෘස් 2:22) අප දෙවියන් වහන්සේගේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සේවකයන් නම්, “සත්‍යතාවය පැළඳ ගෙන සිටිනවාක්” මෙන්, අපි අපගේ කථාවේ දී සත්‍යවාදි වෙමු, හැසිරීමේ දී ඍජු වෙමු.—එපීස 5:9; 6:14.
12. අප ගුණවන්ත අය වීමට නම්, කුමන ආකාරයේ කථාවලින් අප වැළකිය යුතු ද?
12 අප ගුණවත් නම්, අප වැළකිය යුතු ආකාරයේ කථාවන් තිබේ. අපි පාවුල්ගේ උපදේශය මගින් පාලනය වන්නෙමු: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.” “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වාපල්ලා.” (එපීස 4:31; 5:3, 4) අපගේ ධර්මිෂ්ඨ හෘදයන් ක්‍රිස්තියානින්ට නුසුදුසු කථාවෙන් වැළකී සිටීමට අප ව පොලඹවන හෙයින්, අන්‍යයන් අපගේ ආශ්‍රය තුළ නැවුම් බවක් ලබනවා ඇත.
13. ක්‍රිස්තියානින් දිව පාලනය කර ගත යුත්තේ මන්ද?
13 දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට සහ ගුණවත් දේ පැවසීමට අපට තිබෙන ආශාව, අපගේ දිව පාලනය කර ගැනීමට අපට මහෝපකාරී වෙයි. පව්කාර නැඹුරුවාවන් නිසා, අපි සියලු දෙනා ම යම් අවස්ථාවල දී වචනයෙන් පැකිළෙන්නෙමු. එහෙත්, ශ්‍රාවක යාකොබ් පවසන පරිදි, “අප අශ්වයන්ගේ කටවල කටකලියා දමනවා නම්,” අප ඔවුන් ව හසුරුවන දිසාවට ඔවුහු කීකරුව යති. එබැවින් අප අපගේ දිව පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු අතර, එය ගුණවත් ආකාරයෙන් පමණක් භාවිතා කිරීමට උත්සාහ කළ යුතු ය. පාලනය නොකරන ලද දිවක්, “අධර්මිෂ්ඨකමේ ලෝකයක්” බඳු ය. (යාකොබ් 3:1-7) මෙම අභක්තික ලෝකයේ සෑම ආකාරයක ම නපුරු ලක්ෂණ පාලනය නොකරන ලද දිව සමඟ සම්බන්ධ වී තිබේ. බොරු සාක්ෂි, අපහාස සහ නින්දාව වැනි හානිකර දේවල් සඳහා එය වග කිව යුතු ය. (යෙසායා 5:20; මතෙව් 15:18-20) ඇරත් පාලනය නොකරන ලද දිවක්, අපවාදාත්මක, කැපී යන හෝ ද්වේෂ සහගත දේවල් පවසන විට, එය මරණීය විසකින් පිරී තිබේ.—ගීතාවලිය 140:3; රෝම 3:13; යාකොබ් 3:8.
14. ක්‍රිස්තියානින් කුමන දෙයාකාර කථාවෙන් වැළකිය යුතු ද?
14 යාකොබ් අඟවන්නාක් මෙන්, දෙවියන් වහන්සේ ගැන හොඳ දේ කථා කරමින්, ‘යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා’ කරන මුත්, නපුර සිදු වේවා යනුවෙන් “මිනිසුන්ට ශාප කිරීම” ගැලපෙන දෙයක් නොවේ. රැස්වීම්වල දී දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී ගයා, ඉන් පසු පිටතට ගොස් සෙසු ඇදහිලිවන්තයන් ගැන නපුරු දේවල් කථා කිරීම මොනතරම් පව්කාරකමක් ද! මිහිරි සහ තික්ත වතුර යන දෙවර්ගය ම එක ම උල්පතකින් නික්මෙන්ට බැරි ය. අප යෙහෝවඃ වහන්සේට සේවය කරනවා නම්, පිළිකුල් සහගත දේවල් කථා කරනවා වෙනුවට, අප විසින් ගුණවත් දේවල් කථා කිරීම අපගෙන් අපේක්ෂා කිරීමට අන්‍යයන් හට අයිතියක් තිබේ. එමනිසා, අපි නපුරු කථාවෙන් වැළකී, අපගේ ආශ්‍රිතයන්ට ප්‍රයෝජන ලැබෙන සහ ආත්මික ව ගොඩනංවන සුලු දේවල් පැවසීමට උත්සාහ කරමු.—යාකොබ් 3:9-12.
ගුණවත්කම සහ අපගේ ක්‍රියා
15. කපටි ක්‍රම යෙදීමෙන් වැළකී සිටීම එතරම් වැදගත් වන්නේ මන්ද?
15 ක්‍රිස්තියානි සිතුවිලි සහ කථාව ගුණවත් විය යුතු හෙයින්, අපගේ ක්‍රියා සම්බන්ධ ව කුමක් කිව හැකි ද? හැසිරීමේ දී ගුණවත්වීම දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට තිබෙන එක ම මඟයි. ගුණවත්කම අත්හැර දමා, කපටි වී, රැවටිලිකාර වී, එවැනි දේවල් දෙවියන් වහන්සේ පිළිගනීවි කියා සිතන්නට යෙහෝවඃ වහන්සේගේ කිසි ම සේවකයෙකුට නොහැක. හිතෝපදේශ 3:32 මෙසේ කියයි: “මක්නිසාද වංක [කපටි NW] තැනැත්තා ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක [ඍජු NW] අය සමග ඇත්තේය.” අපි යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ තිබෙන සම්බන්ධය ආදරයෙන් රකිමු නම්, සිතුවිලි කළතන එම වදන්, හානිදායක උගුල් ඇටවීමෙන් හෝ කපටි ඕනෑ ම දෙයක් කිරීමෙන් අප ව වළක්වාලිය යුතු ය. ඇයි, යෙහෝවඃ වහන්සේගේ ආත්මයට පිළිකුල් දේවල් හත අතර, “දුෂ්ට උපා යොදන සිත [හෘදය NW]” ද තිබේ! (හිතෝපදේශ 6:16-19) ඒ හේතුවෙන්, අපි එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී, අපගේ සෙසු අයගේ ප්‍රයෝජනය සඳහා සහ අපගේ ස්වර්ගික පියාණන්ගේ මහිමය උදෙසා ගුණවත් දේ කරමු.
16. ක්‍රිස්තියානින් ඕනෑ ම ආකාරයක කුහක ක්‍රියාවන්හි නියැලිය නොයුත්තේ මන්ද?
16 අප ගුණවත්කම විදහා පෑමට අවංක වීම අවශ්‍ය කෙරේ. (හෙබ්‍රෙව් 13:18) තමන්ගේ වචනවලට අනුකූල ව ක්‍රියා නොකරන කුහක පුද්ගලයෙක් ගුණවත් අයෙක් නොවේ. “කුහක” (හයි·පො·ක්රියි·ටීස්ʹ) යන වචනය ගෙන හැර දක්වා ඇති ග්‍රීක් වචනයෙහි අදහස, “පිළිතුරු දෙන තැනැත්තා” වන අතර, වේදිකා නළුවෙකු ද ඉන් අඟවයි. ග්‍රීක් හා රෝම නළුවන් වෙස් මුහුණු පැළඳ සිටි බැවින්, මෙම වචනය, බොරු මවා පෑමක් කරන තැනැත්තෙකුට යොමු දැක් වූ සංකේත ස්වරූපයකින් යෙදේ. කුහකයන් වනාහි “අවිශ්වාසවන්ත අය” ය. (ලූක් 12:46 සමඟ මතෙව් 24:50, 51 සසඳන්න.) කුහකකම (හයි·පොʹක්රියි·සිස්) යන්න දුෂ්ටකම හා කපටිකම ද ඇඟවිය හැක. (මතෙව් 22:18; මාර්ක් 12:15; ලූක් 20:23) විශ්වාසය තබන පුද්ගලයෙකු, සිනහවෙන්, ඉච්චා බසින් සහ බොරුවට පමණක් අඟවන ක්‍රියාවලින් ගොදුරු වන කල්හි මෙය කොතරම් කනගාටුදායක ද! එහෙත්, අනෙක් අතට, අප විශ්වාසය තැබිය හැකි පුද්ගලයන් සමඟ කටයුතු කරනවා දැනගැනීම කොතරම් හද උණුසුම් කරවන සුලු ද! තව ද, අප ගුණවත්වීම ගැන සහ කුහක නොවීම ගැන දෙවියන් වහන්සේ අපට ආශීර්වාද කරන සේක. උන් වහන්සේගේ අනුමැතිය රැඳී තිබෙන්නේ “කුහක නොවූ සහෝදර ස්නේහය” සහ “කුහකකමින් තොර ඇදහිල්ල” තිබෙන අය මත ය.—1 පේතෘස් 1:22, NW; 1 තිමෝති 1:5, NW.
ගුණය යනු ක්‍රියාකාරි යහපත්කමයි
17, 18. අප යහපත්කම නමැති ආත්මයේ ඵලය විදහා පානවාත් සමඟ ම, අප අන්‍යයන් සමඟ කටයුතු කරනු ඇත්තේ කෙසේ ද?
17 අපි අපගේ ඇදහිල්ලට ගුණවත්කම සපයා දෙන්නෙමු නම්, දෙවියන් වහන්සේට පිළිගත නොහැකි සිතුවිලි, කියමන් සහ දේවල් කිරීමෙන් වැළකීමට අපි දැඩි ප්රයත්න දරන්නෙමු. කෙසේ වුවද, ක්‍රිස්තියානි ගුණවත්කම විදහාපෑමට අප විසින් ක්‍රියාශීලී යහපත්කම දැක්වීම ද අවශ්‍ය කරයි. ඇත්තෙන් ම, ගුණවත්කම අර්ථ දක්වා ඇත්තේ යහපත්කම හැටියට ය. එමෙන් ම, යහපත්කම යනු යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලයක් මිස, හුදෙක් මිනිස් ප්රයත්නයේ නිපැයුමක් නොවේ. (ගලාති 5:22, 23) අප යහපත්කම නමැති ආත්මයේ ඵලය විදහා පානවාත් සමඟ ම, අපි අන්‍යයන් ගැන හොඳ කීමටත්, ඔවුන්ගේ අසම්පූර්ණකම් තිබුණත් ඔවුන්ගේ හොඳ ගුණාංග නිසා ඔවුන්ට ප්‍රශංසා කිරීමටත් පෙලඹෙන්නෙමු. ඔවුන් ඇදහිලිවන්ත ව යෙහෝවඃ වහන්සේට වසර ගණනාවක් සේවය කර තිබේ ද? එසේ නම්, අප ඔවුන්ට ගෞරව දැක්විය යුතු අතර, අප ඔවුන් ගැන හොඳ පවසා ඔවුන් දෙවියන් වහන්සේට කරන සේවය ගැන කථා කළ යුතු ය. අපගේ ස්වර්ගික පියාණෝ ස්වකීය නාමයට ඔවුන් පෙන්වන ප්‍රේමය සහ ඔවුන්ගේ ඇදහිල්ලේ ගුණවත් ක්‍රියා සැලකිල්ලට ගන්නා සේක, එසේ නම් අපත් එසේ ම කළ යුතු ය.—නෙහෙමියා 13:31ආ; හෙබ්‍රෙව් 6:10.
18 ගුණවත්කම අප ව ඉවසිලිවන්ත, අවබෝධාත්මක, දයානුකම්පිත කරවයි. යෙහෝවඃ වහන්සේගේ සෙසු නමස්කාරකයෙක් දොම්නසින් හෝ විෂාදයෙන්, හෙවත් කලකිරීමෙන් දුක් විඳින්නේ නම්, අප සැනසුම් දායක ලෙස කථා කර, අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් අප ව සනසනවාක් මෙන්, ඔහුට යම් සැනසිල්ලක් දීමට අපි උත්සාහ කරන්නෙමු. (2 කොරින්ති 1:3, 4; 1 තෙසලෝනික 5:14) සමහරවිට මරණයෙන් තම ප්‍රේමනීයයෙකු ව අහිමි වී සිටින දුක් වෙන අයට අපි දයානුකම්පා කරන්නෙමු. දුක් විඳීම ලිහිල් කිරීමට අපට යමක් කළ හැකි නම්, අපි එය කරමු, මන්ද ගුණවත් ස්වභාවය ප්‍රේමනීය සත්ගුණවත් ක්‍රියාවන්ට පොලඹවන හෙයිනි.
19. අප සිතුවිලිවලින්, වචනයෙන් හා ක්‍රියාවන්ගෙන් ගුණවත් නම්, අනෙක් අය අපට කෙසේ සලකනු ඇත්තේ ද?
19 අප යෙහෝවඃ වහන්සේ ගැන හොඳ කථා කිරීමෙන් උන් වහන්සේට ප්‍රශංසා කරනවාක් මෙන් ම, අප සිතුවිලිවලින්, වචනයෙන් සහ ක්‍රියාවෙන් ගුණවත් නම්, අනෙක් අයත් අපට ආශීර්වාද කරනවා විය හැක. (ගීතාවලිය 145:10) නුවණින් සපිරි හිතෝපදේශයක් මෙසේ කියයි: “ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.” (හිතෝපදේශ 10:6) දුෂ්ට හා කලහකාරී පුද්ගලයෙක් ව අන්‍යයන්ට සිත් ඇදගන්නා සුලු ගුණයෙන් හීන ව සිටී. ඔහු වපුරන දේ ඔහු කපා ගනී, මන්දයත් ඔහුගේ හොඳ කථා කිරීමෙන් තමන්ගේ ආශීර්වාදය අවංක ලෙස ඔහුට දෙන්නට ඔවුන්ට නොහැකි බැවිනි. (ගලාති 6:7) යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන් ගුණවත් අයුරින් සිතන, කථා කරන සහ ක්‍රියා කරන අය සඳහා තත්ත්වය ඊට වඩා මොනතරම් හොඳ වේ ද! ඔවුන්ට ආශීර්වාද කරන සහ ඔවුන් ගැන හොඳ කථා කරන අන් අයගේ ප්‍රේමය, විශ්වාසය සහ ගෞරවය ඔවුහු දිනා ගනිති. එපමණක් ද නොව, ඔවුන්ගේ දේව ගුණවත්කමේ ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවඃ වහන්සේගේ මිල කළ නොහැකි ආශීර්වාද ඔවුහු ලබති.—හිතෝපදේශ 10:22.
20. ගුණවත් සිතුවිලි, කථාව සහ ක්‍රියාවන් යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සභාවකට කෙසේ බලපාන්නට හැකි ද?
20 ගුණවත් සිතුවිලි, කථාවන් සහ ක්‍රියාවන් ස්ථිර වශයෙන් ම යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සභාවකට ප්‍රයෝජන ගෙන දෙයි. සෙසු ඇදහිලිවන්තයන් එකිනෙකා කෙරෙහි ස්නේහවන්ත, ගෞරවනීය සිතුවිලි ඇති විට, ඔවුන් අතර සහෝදර ප්‍රේමය උතුරා යයි. (යොහන් 13:34, 35) අවංක ප්‍රශංසාව සහ දිරිගැන්වීම ඇතුළු ගුණවත් කථාව සහයෝගයේ සහ එක්සත්කමේ උණුසුම් හැඟීමක් පෝෂ්‍ය කරයි. (ගීතාවලිය 133:1-3) තව ද හද උණුසුම් කරවන, ගුණවත් ක්‍රියා අන්‍යයන් ව ඒ සමාන ලෙස ප්‍රතිචාරය දැක්වීමට පොලඹවයි. සියල්ලට ම වඩා, ක්‍රිස්තියානි ගුණවත්කම ක්‍රියාවට නැංවීම, අපගේ ගුණවත් ස්වර්ගික පියාණන් වන යෙහෝවඃ වහන්සේගේ අනුමැතියට හා ආශීර්වාදවලට තුඩු දෙයි. එමනිසා, ඇදහිල්ල ක්‍රියාවට නැංවීම මගින් දෙවියන් වහන්සේගේ අනර්ඝ පොරොන්දුවලට ප්‍රතිචාරය දැක්වීම අපි අපගේ ඉලක්කය කර ගනිමු. එමෙන් ම, සෑම අයුරකින් ම, අපගේ ඇදහිල්ලට ගුණවත්කම සපයා ගැනීමට අපි ප්‍රබල උත්සාහයක් දරමු.
ඔබගේ පිළිතුරු මොනවා ද?
◻ “ගුණවත්කම” ඔබ අර්ථ දක්වන්නේ කෙසේ ද, තව ද අසම්පූර්ණ මිනිසුන්ට ගුණවත් විය හැක්කේ මන්ද?
◻ ගුණවත්කමට කිනම් ආකාරයේ සිතුවිලි අවශ්‍ය කෙරේ ද?
◻ ගුණවත්කම අපගේ කථාවට බලපෑ යුත්තේ කෙසේ ද?
◻ ගුණවත්කම අපගේ ක්‍රියා මත කිනම් බලපෑමක් කළ යුතු ද?
◻ ගුණවත්කමේ සමහරක් ප්‍රයෝජන මොනවා ද?
[21වන පිටුවේ පින්තූරය]
එක ම උල්පතකින් මිහිරි සහ තිත්ත වතුර නික්මෙන්නට නොහැකි හෙයින් යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ගුණවත් දේවල් පමණක් කීම අන්‍යයන් විසින් අපේක්ෂා කිරීම යුක්ති සහගත ය