සංවිධානය වී සතුටින් සිටින්න
සංවිධානය වී සිටීම දේල් හොඳින් කිරීමට අපට ඉඩ සලස්වයි. කාර්යක්ෂම වීම කාලය සහ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමට අපට උපකාරවත් වෙයි. (ගලාති 6:16; පිලිප්පි 3:16; 1 තිමෝති 3:2) එහෙත් සංවිධානාත්මක බවට සහ කාර්යක්ෂම බවට වඩා වැඩි දෙයක් ජීවිතයට තිබේ. ආනුභාව ලත් ගීතිකාකරු මෙසේ ලීවේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනග වාසනාවන්තයෝය [සන්තෝෂවත් ය NW].” (ගීතාවලිය 144:15) අභියෝගය නම්, අප කරන සියල්ලේ දී සංවිධානය වී සතුටින් සිටීමයි.
සංවිධානය වී සතුටින්
හොඳ සංවිධානාත්මක බවේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය වන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේ ය. තනි සෛලයේ සිට සංකීර්ණ ජීවමාන මැවිලි දක්වා, ඉතා කුඩා පරමාණුවේ සිට අති විශාල චක්‍රාවාට දක්වා, උන් වහන්සේගේ සියලු මැවිලි, පිළිවෙළ සහ ඉතා සියුම් ලෙස නිවැරදි බව පෙන්වයි. උන් වහන්සේගේ විශ්වනීය නීති, නිසැකකමින් යුතු ව අපගේ ජීවිත සැලසුම් කිරීමට අපට ඉඩ ලබා දෙයි. සෑම උදෑසනක ම හිරු උදා වන බව ද, ශීත ඍතුවට පසු ගිම්හානය පැමිණෙන බව ද අපි දනිමු.—උත්පත්ති 8:22; යෙසායා 40:26.
එහෙත් යෙහෝවඃ වහන්සේ පිළිවෙළක දෙවි කෙනෙකුට වඩා වැඩි දෙවි කෙනෙකි. උන් වහන්සේ “සන්තෝෂවත් දෙවියන් වහන්සේ” ද වන සේක. (1 තිමෝති 1:11, NW; 1 කොරින්ති 14:33) උන් වහන්සේගේ සන්තෝෂය උන් වහන්සේගේ මැවිලි තුළ දැකිය හැක. සෙල්ලම් කරන කුඩා පූස්පැටව්, දර්ශනීය හිරු බැසයාමේ දසුන්, රුචිය ඇති කරවන ආහාර, මනබඳින සංගීතය, ප්රබෝධජනක වැඩ, තව ද තවත් බොහෝ දේවලින් පෙන්වන්නේ, අප විසින් ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීම උන් වහන්සේ අදහස් කළ බව ය. උන් වහන්සේගේ නීති විඩාවට පත් කරවන තහංචි නොව, නමුත් ඒවා අපගේ සන්තෝෂය රැක දෙයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශය කොට ගන්නේ සිය පියාණන් වහන්සේ ව ය. උන් වහන්සේ, “ශුභාන්විත [සන්තෝෂවත් NW] එකම අධිපතියාණන්වහන්සේ” වන අතර, සිය පියාණන් කටයුතු කරන ආකාරයට ම හැසිරෙන සේක. (1 තිමෝති 6:15; යොහන් 5:19) උන් වහන්සේ සිය පියාණන් සමඟ මැවීමේ වැඩවල යෙදී සිටින විට, උන් වහන්සේ හුදෙක් කාර්යක්ෂම ‘කර්මාන්තකරුවෙකුට’ වඩා වැඩි කෙනෙකු ව සිටි සේක. තමා කළ දෙය තුළ, උන් වහන්සේ සන්තෝෂවත් වූ සේක. “සෑම කල්හිම [යෙහෝවඃ වහන්සේ] ඉදිරියේ නිතර සන්තෝෂවෙමින් . . . උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි [උන් වහන්සේ] ප්‍රීති” වූ සේක.—හිතෝපදේශ 8:30, 31.
අප කරන සියල්ලේ දී ජනයා හට ඒ හා සමාන කරුණාවක්, තුටුපහටු බවක්, සහ හිතවත්කමක් පිළිබිඹු කිරීමට අපට වුවමනා ය. එනමුත් සමහරක් විට, කාර්යක්ෂම බව ඇති කර ගැනීමේ ලා, ‘[දෙවියන් වහන්සේගේ] ආත්මය මගින් . . . පිළිවෙළකට ගමන් කිරිමට’ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල නිපදවීම ද ඇතුළත් වන බව අපට අමතක වී යා හැකි ය. (ගලාති 5:22-25) අපගේ ම කාරණා කටයුතුවල දී සහ වෙනත් අයගේ කටයුතු මෙහෙය වීමේ දී, සංවිධානය වී, එමෙන් ම සන්තෝෂවත් ව සිටීමට අපට හැක්කේ කෙසේ දැයි විමසා බැලීම හොඳ ය.
ඔබට ම කුරිරු නොවන්න
හිතෝපදේශ 11:17 හි [NW] වාර්තා වී ඇති යහපත් අවවාදය සැලකිල්ලට ගන්න. “ප්‍රේමනීය කරුණාව සහිත මිනිසෙක් තමාගේ ම ආත්මය සමඟ විපාක ගෙන දෙන අයුරින් කටයුතු කරයි” යනුවෙන් ආනුභාව ලත් ලේඛකයා පළමු ව අපට පවසයි. ඊට පටහැනි ලෙස, ඊළඟට ඔහු පවසන්නේ, “නමුත් කුරිරු පුද්ගලයා තමාගේ ම ඉන්ද්‍රියන්ට හානි පමුණුවා ගන්නේ ය.” ද න ඉන්ටර්නැෂනල් වර්ෂන් එය මේ ආකාරයට ගෙන හැර දක්වයි: “කරුණාවන්ත මිනිසා තමාට ම ප්‍රයෝජන සලසා ගනී, නමුත් කුරිරු මිනිසා තමා මත ම හානි පමුණුවා ගනියි.”
අපට හොරා ම අප අපට ම කුරිරු විය හැක්කේ කෙසේ ද? එක් ආකාරයක් නම්, හොඳ චේතනා ඇතුව සිටින නමුත් මුළුමනින් ම වියවුල් වී කිසි පිළිවෙළකින් තොර ව සිටීම ය. ප්‍රතිඵල මොනවා ද? එක් විශාරදයෙක් මෙසේ පවසයි: “සුළු අමතක වීමක්, වැරදි ලෙස ලිපි ගොනු තැන්පත් කිරීමක්, හොඳින් වටහා නොගත් අණක්, වැරදි ලෙස වාර්තා කර ගත් දුරකථන පණිවුඩයක්—මේවා නම් අසමත්වීම්වලට ඇතුළුවන සුළු සුළු දේවල් ය. කාර්යක්ෂම බව නමැති වස්ත්‍රය කා දමන පණුවන් ය. තව ද මේවා හොඳ චේතනාවන් විනාශ කර දමයි.”—ටීච් යෝ සෙල්ෆ් පර්සනල් එෆිෂන්සි.
මෙසේ පැවසූ ආනුභාව ලත් ලේඛකයා සමඟ මෙය එකඟ වෙයි: “තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.” (හිතෝපදේශ 18:9) එසේ ය, සංවිධානාත්මක බවින් තොර ව, අකාර්යක්ෂම මිනිස්සු තමන්ටත් අන්‍යයන්ටත් ආපදා හා විනාශයන් ඇති කරති. මේ හේතුවෙන්, වෙනත් අය බොහෝ විට ඔවුන්ගෙන් වැළකී සිටිති. තමන්ගේ මන්දෝත්සාහී බවේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු තමන් මත ම හානි පමුණුවා ගනිති.
ජීවත් වන බල්ලෙක් ද නැතහොත් මළ සිංහයෙක් ද?
එහෙත් අන්තයට ගිය උසස් ප්‍රමිති පැන වීමෙන් ද අප අපට ම කුරිරු විය හැක. “මුළුමනින් ම අත්කර ගැනීමට නොහැකි පරිපූර්ණත්වයේ ප්‍රමිතියක” අපට ඉලක්ක කර ගත හැකි බව, කාර්යක්ෂම බව සම්බන්ධයෙන් ලියන ඉහත ලේඛකයා පවසයි. මෙහි ප්‍රතිඵලය නම්, “අවසානයේ දී අප අප ව ම සන්තාපයකට හා බලාපොරොත්තු සුන් තත්ත්වයකට පත් කර ගැනීම” යයි ඔහු කියයි. පරිපූර්ණ වීමට සිතන තැනැත්තෙක් හොඳින් සංවිධානය වී කාර්යක්ෂම විය හැකි ය, නමුත් ඔහු කවදාවත් සැබවින් ම සන්තෝෂ වන්නට යන්නේ නැත. ඉක්මනින් හෝ පසුවට හේ නෙලා ගන්නේ සන්තාපය පමණි.
පරිපූර්ණ කෙනෙක් වීමේ ප්‍රවණතාවයක් අපට තිබේ නම්, “මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳය” යන්න අප විසින් මතක තබා ගැනීම වඩා යෙහෙකි. (දේශනාකාරයා 9:4) යථාර්ථවාදී නොවන අයුරින් පරිපූර්ණත්වය කරා හඹා යාමක් තුළින් අප අප ව ම පදගතාර්ථයෙන් මරා නොගන්නවා වන්නට පුළුවන, නමුත් දැඩි සේ වෙහෙස වීමෙන් අප අපට ම බරපතළ හානි පමුණුවා ගන්නවා විය හැක. මෙයට, “ශාරීරික, චිත්ත වේගී, ආත්මික, බුද්ධිමය, සහ පුද්ගලාභ්යන්තර වශයෙන් අධික ලෙස වෙහෙසට පත්වීම” ඇතුළත් වන බව එක් අධිකාරියක් කියා සිටී. (ජොබ් ස්ට්‍රෙස් ඇන්ඩ් බර්න්අවුට්) අත්කර ගත නොහැකි ඉලක්කයන් පසු පස හඹා යාම මගින් අප අප ව ම අධික ලෙස වෙහෙසට පත් කර ගැනීම, ස්ථිර ව ම අප අපට ම කුරිරු වීමක් වන අතර, එමඟින් සන්තෝෂය අපගෙන් අහිමි වී යාම වැළැක්විය නොහැක.
විපාක දායක අන්දමින් ඔබ සමඟ ම කටයුතු කිරීම
“ප්‍රේමනීය කරුණාව සහිත මිනිසෙක් තමාගේ ම ආත්මය සමඟ විපාක ගෙන දෙන අයුරින් කටයුතු කරයි” යන්න මතක තබා ගන්න. (හිතෝපදේශ 11:17, NW) අප යථාර්ථවාදී සාධාරණ ඉලක්කයන් තබා ගෙන, අපගේ සන්තෝෂවත් දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ අපගේ සීමාවන් ගැන දන්නා බව මනසේ තබා ගෙන සිටින විට, අපි අප සමඟ ම විපාක ගෙන දෙන අයුරින් කටයුතු කරන්නෙමු. (ගීතාවලිය 103:8-14) අපි ද එම සීමාවන් හඳුනාගෙන, ඉන් පසු, අපගේ හැකියාවන් ඇතුළත, අපගේ වගකීම් හොඳින් ඉටු කිරීමට ‘අපගේ උපරිමය කරන්නෙමු’ නම්, අපට සැබවින් ම සන්තෝෂයෙන් සිටිය හැක.—හෙබ්‍රෙව් 4:11; 2 තිමෝති 2:15; 2 පේතෘස් 1:10.
ඇත්ත වශයෙන් ම, අනෙක් අන්තයට—එනම් අපට ම ඕනෑවට වඩා කාරුණික වීමේ—අන්තරායක් සෑම විට ම තිබේ. “ස්වාමිනී, ඔබට ම කාරුණික වන්න” යන ප්‍රේරිත පේතෘස්ගේ යෝජනාවට යේසුස් වහන්සේ දුන් පිළිතුර අමතක නොකරන්න. ඇත්තෙන් ම මේ අවස්ථාවේ දී, දැඩි ක්‍රියාවක් අවශ්‍ය විණි. පේතෘස්ගේ කල්පනාව කොතරම් භයානක වූවාද කිවහොත් යේසුස් වහන්සේ පැවසුවේ මෙසේ ය: “සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය, මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණ මිස දෙවියන්වහන්සේගේ කාරණ කල්පනාකරන්නේ නැත.” (මතෙව් 16:22, NW, මතෙ 16:23) අපගේ ම ආත්මය සමඟ විපාක ගෙන දෙන අයුරින් කටයුතු කිරීම, කිසි සැලකිල්ලක් නැති, තමාට රිසි සේ සිත් පිනවා ගන්නා වූ ආකල්පයකට ඉඩ හරින්නේ නැත. එය අපගේ සියලු සන්තෝෂයන් අපගෙන් සොරා ගන්නට ද හැක. අපට අවශ්‍ය වන්නේ සාධාරණකම මිස, අන්තයට යාම නොවේ.—පිලිප්පි 4:5.
විපාක ගෙන දෙන අයුරින් අන්‍යයන් සමඟ කටයුතු කිරීම
පෙනෙන හැටියට, යේසුස් වහන්සේගේ දවස්වල විසූ ලියන්නන් සහ ඵරිසිවරුන් සිතුවේ තමන් ඉතා උසස් කාර්යක්ෂම හා සංවිධානාත්මක අය කියා ය. ඔවුන්ගේ නමස්කාර ක්‍රමය ගැන එ ඩික්ෂනරි ඔෆ් ද බයිබල් මෙසේ පවසයි: “සෑම බයිබල් ආඥාවක් ම වැදගැම්මකට නැති කොන්දේසි මාලාවකින් වට වී තිබිණි. තත්ත්වයන් වෙනස් වීමකට කිසිදු ඉඩ දීමක් නොවී ය; ව්‍යවස්ථාවේ අඩංගු සියලු දේට මුළුමනින් ම කීකරු වීමට කිසි ම බුරුලකින් තොර ව අනුකම්පා විරහිත ලෙස සෑම යුදෙව්වෙකුට ම බල කරනු ලැබිණි. . . . ආගම වෙළෙඳාමක් බවට පත් වන තෙක්, නීතිමය තොරතුරු එකිනෙක ගොඩ ගැසුණු අතර, ජීවිතය ඉවසිය නොහැකි බරක් වූයේ ය. මිනිසුන් සදාචාරමය ස්වයංක්‍රීය යන්ත්‍ර බවට පත් විණි. හෘදය සාක්ෂියේ හඬ බලෙන් ම යටපත් කරන ලදි; දිව්‍ය වචනයේ ජීවමාන බලය උදාසීන කර, නිමක් නැති නීති රාශියක පතුලේ යට සඟවන ලදි.”
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙනිසා ඔවුන් ව හෙළා දැකීම ගැන පුදුම වන්නට දෙයක් නැත. “ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.” (මතෙව් 23:4) කිසි වැදගැම්මකට නැති නීති හා කොන්දේසි ගොඩගසා රැළ මත බර පැටවීමෙන් ප්‍රේමනීය වැඩිමහල්ලෝ වැළකී සිටිති. යේසුස් වහන්සේගේ කරුණාවන්ත, නැවුම් බව ගෙන දෙන ආදර්ශය අනුගමනය කිරීමෙන් ඔවුහු දෙවියන් වහන්සේගේ රැළ සමඟ විපාක ගෙන දෙන අයුරින් කටයුතු කරති.—මතෙව් 11:28-30; පිලිප්පි 2:1-5.
සංවිධානමය වගකීම් වැඩි වන විට පවා, සැලකිල්ල දක්වන වැඩිමහල්ලන් කිසිදා අමතක නොකරන දෙයක් නම්, තමන් කටයුතු කරමින් සිටින්නේ, මිනිසුන්—දෙවියන් වහන්සේ ප්‍රේම කරන මිනිසුන් සමඟ ය යන්නයි. (1 පේතෘස් 5:2, 3, 7; 1 යොහන් 4:8-10) රැළේ එඬේරුන්, රැකවලුන් හා ආරක්ෂකයන් වශයෙන් තමන්ගේ මූලික කාර්ය භාරය අමතක වන පරිදි, ඔවුන් කිසිවිටකත් සංවිධානාත්මක කාරණා හෝ වෙනත් වැඩකටයුතු තුළ එතරම් ම ඇලී ගැලී සිටින්නට යන්නේ නැත.—හිතෝපදේශ 3:3; 19:22; 21:21; යෙසායා 32:1, 2; යෙරෙමියා 23:3, 4.
නිදසුනක් වශයෙන්, කාල සටහන් සහ සංඛ්‍යා ලේඛනවල දැඩි සේ ඇලී ගැලී සිටීම මිනිසුන් කෙරෙහි තිබෙන සැලකිල්ල යටපත් කර දමන්නට පුළුවන. තමන්ගේ ප්‍රධාන රාජකාරිය කුමක් වුවත් තමන්ගේ කාල සටහනට කාර්යක්ෂම ලෙස ඇලී සිටීම යයි සිතන බස් රියැදුරෙක් ගැන සලකා බලන්න. ඔහු නොඉවසිල්ලෙන් සිටින්නේ, තමාගේ කාල සටහනට අනුව, තම මාර්ගයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා නියමිත වේලාවට බසය රැගෙන යාමේ ආශාවෙනි. අභාග්‍යයකට, ඔහුගේ දෘෂ්ටි කෝණයට අනුව, ගමන් කරන මගීන් ඔහුට හිරිහැරයකි. ඔවුන් සෙමින් කිසි පිළිවෙළක් නැති ව බසයට නැගීමට එන අතර, බස් නැවතුම කරා ඔවුන් පැමිණෙන්නේ, ඔහු ඉන් පිටත් වන්නට යනවාත් සමඟ ම ය. තමාගේ රැකියාවේ ප්‍රධාන පරමාර්ථය නම් තම මගීන්ගේ අවශ්‍යතාවලට සේවය කිරීම ය යන කාරණය මතක තබා ගෙන සිටිනවා වෙනුවට, ඔහු ඔවුන් ව දකින්නේ කාර්යක්ෂම බවට බාධාවක් ලෙස ය, ඒ නිසා ඔහු ඔවුන් බස් නැවතුමේ අතරමං කොට බසය පදවා ගෙන යයි.
සෑම පුද්ගලයෙකු කෙරෙහි සැලකිල්ල දක්වන්න
කාර්යක්ෂම බව කෙරෙහි ඇති සිත් පිත් නැති ආශාව, පුද්ගලයන්ගේ අවශ්‍යතා නොසලකා හරී. දුර්වල, කාර්යක්ෂම බවින් අඩු අය ව බාධාවන් හැටියට පෙනී යා හැක. මෙය සිදුවන විට, භයංකර විපාක ඊළඟට ඇති වෙයි. නිදසුනක් වශයෙන්, පැරණි ග්‍රීසියේ ස්පර්තා නගර ජනපදයේ, දුර්වල සහ අසනීපවලින් පෙළෙන දරුවන් ව මිය යාමට ඉඩ හරින ලදි. ඔවුන්, ශක්තිමත්, කාර්යක්ෂම රජයක් ආරක්ෂා කරන ශක්තිමත් කාර්යක්ෂම සොල්දාදුවන් වන්නට යන්නේ නැත. බර්ට්‍රන්ඩ් රසල් නමැති දාර්ශනිකයා ලීවේ මෙසේ ය: “පරීක්ෂා කිරීම සඳහා පියා ඔහු ව තමාගේ පවුලේ වැඩිහිටියන් ඉදිරියට රැගෙන ආවේ ය; ඔහු සෞඛ්‍ය සම්පන්න ව සිටියා නම්, ඇති දැඩි කිරීම සඳහා ඔහු ව ආපසු පියාට භාර දෙනු ලැබිණි; එසේ නොවී නම්, ගැඹුරු වතුර වලකට ඔහු ව විසි කරන ලදි.”—හිස්ටරි ඔෆ් වෙස්ටන් ෆිලොසෆි.
එවන් ආකාරයේ කුරිරු ආණ්ඩුවක ප්‍රධාන ලක්ෂණයක් වූයේ සන්තෝෂය නොව, රළු බව සහ කුරිරු බවයි. (දේශනාකාරයා 8:9 සසඳන්න.) කාර්යක්ෂම බව නිසා තමන්ට ඊට හොඳ හේතුවක් තිබූ බව එම ස්පර්තානු අධිකාරීන්ට හැඟී ගිය බවට කිසිදු සැකයන් නැත, නමුත් ඔවුන්ගේ හැසිරීම සියලු දයානුකම්පාවලින් හෝ කරුණාවන්ගෙන් තොර ව තිබිණි. ඔවුන්ගේ ක්‍රමය දෙවියන් වහන්සේගේ ක්‍රමය නොවී ය. (ගීතාවලිය 41:1; හිතෝපදේශ 14:21) මීට වෙනස් ව, ක්‍රිස්තියානි සභාවල සිටින අවේක්ෂකයන් මතක තබාගන්නා දෙයක් නම්, දෙවියන් වහන්සේගේ බැටළුවන් සියලු දෙනා ම උන් වහන්සේගේ ඇස් හමුවේ අනර්ඝ බව ය, තව ද ඔවුහු ඒ එක් එක්කෙනා සමඟ විපාක ගෙන දෙන අයුරින් කටයුතු කරති. ඔවුන් සැලකිල්ල දක්වන්නේ, සනීපයෙන් සිටින 99 දෙනා ගැන පමණක් නොව, නමුත් දුර්වල ව හෙවත් චිත්ත වේගීය වශයෙන් වියවුල් සහගත ව සිටින එක තැනැත්තා ගැනත් ය.—මතෙව් 18:12-14; ක්‍රියා 20:28; 1 තෙසලෝනික 5:14, 15; 1 පේතෘස් 5:7.
රැළට සමීප වී සිටින්න
වැඩිමහල්ලෝ, තමන් යටතේ රැක බලා ගැනීමට සිටින රැළ වෙත සමීප වී සිටිති. එසේ නමුත්, උපරිම කාර්යක්ෂම බවක් ලබා ගැනීම සඳහා කළමනාකරුවෙක් හෝ අවේක්ෂකයෙක් තම අධීක්ෂණය යටතේ සිටින අයගෙන් ඈත් ව සිටිය යුතු යයි ව්‍යාපාර ක්‍රම සම්බන්ධ නූතන පර්යේෂණයන් විසින් යෝජනා කරනවා විය හැකි ය. එක් ගුවන් හමුදා නිලධාරියෙක්, තමන් යටතේ සිටින අයට ළං ව සිටින විට සහ ඔවුන්ගෙන් ඈත් ව සිටින විට අත්දැක්කා වූ වෙනස් ප්‍රතිඵල ගැන එක් පර්යේෂකයෙක් මෙසේ විස්තර කරයි: “ඔහු [තම] නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සබඳතා ඇති ව සිටි විට, ආරක්ෂාකාරී බවක් ඔවුනට හැඟුණු බවක් පෙනෙන්ට තිබූ අතර, තමන්ගේ ඒකකවල කාර්යක්ෂමතාව පිළිබඳ ව ඕනෑවට වඩා ඔවුන් කරදර වූයේ නැත. ඔහු තමා ව ම වඩාත් වෙන් කර ගෙන තමාගේ සුපිරි තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ විට, ඔහුගේ උප අණ දෙන නිලධාරීන්, යම් දෙයක් නුහුරට ගොස් තිබේ දැයි යන කුකුසෙන් කරදර වන්නට පටන් ගෙන, . . . තමන්ගේ වැඩි කාන්සාවන් තම වැඩ දෙසට වඩාත් යොමු කරන්නට වූහ. ප්‍රතිඵලයක් වශයෙන්, කඳවුරේ කාර්යක්ෂමතාවේ කැපී පෙනෙන වර්ධනයක් ඇති විය.”—අන්ඩස්ටෑන්ඩිං ඕගනයිසේෂන්ස්.
එහෙත්, ක්‍රිස්තියානි සභාව යුද්ධ හමුදා සංවිධානයක් නොවේ. අනෙක් අයගේ වැඩකටයුතු අධීක්ෂණය කරන ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුකරණය කරති. උන් වහන්සේ සෑම විට ම සිය ගෝලයන්ට සමීප ව සිටි සේක. (මතෙව් 12:49, 50; යොහන් 13:34, 35) අමතර කාර්යක්ෂම බවක් අත්කර ගැනීම සඳහා, යමක් කිරීමට ඔවුන් තුළ තිබුණා වූ කාන්සාවෙන් උන් වහන්සේ කිසිවිටෙකත් අයුතු ප්‍රයෝජන ගත්තේ නැත. තම අනුගාමිකයන් හා තමන් අතර අන්‍යෝන්‍ය නිසැක බව හා දැඩි විශ්වාසයක ශක්තිමත් බැමි ගොඩනැංවූ සේක. මුදු මොළොක් සෙනෙහසේ සමීප බැමි උන් වහන්සේගේ ගෝලයන්ගේ ද ගති ලක්ෂණ විය. (1 තෙසලෝනික 2:7, 8) එවන් සමීපතාවයක් පවතින විට, දෙවියන් වහන්සේට තිබෙන ප්‍රේමයෙන් සම්පූර්ණයෙන් ම පෙලඹෙන සන්තෝෂවත් රැළක්, බලකිරීමකින් තොර ව මඟ පෙන්වීමට හොඳින් ප්‍රතිචාර දක්වනු ඇති අතර, උන් වහන්සේට කැමැත්තෙන් ම සේවය කිරීමේ ලා තමන්ගේ උපරිමය කරනවා ඇත.—නික්මයාම 35:21 සසඳන්න.
ශුද්ධ ලියවිලි බොහොමයක, සන්තෝෂය සහ සහෝදරයන් උදෙසා වූ ප්‍රේමය වැනි ක්‍රිස්තියානි ගුණාංග කැපී පෙනෙන්ට සලස්වයි. (මතෙව් 5:3-12; 1 කොරින්ති 13:1-13) සන්සන්දනාත්මක වශයෙන් ගත් කල, කාර්යක්ෂමතාවයේ අවශ්‍යතාවය ගැන කැපී පෙනෙන්ට සලස්වන්නේ ස්වල්පයක් පමණි. හොඳින් සංවිධානය වීමේ අවශ්‍යතාවයක් තිබෙන බව නොකිව මනා ය. දෙවියන් වහන්සේගේ සෙනඟ සෑම විට ම සංවිධානය වී තිබේ. එහෙත්, නිදසුනක් වශයෙන්, ගීතාවලියේ ලේඛකයන්, දෙවියන් වහන්සේගේ සේවකයන් සන්තෝෂවත් අය බවට කොතරම් බොහෝ වාර ගණනක් විස්තර කරනවා ද කියා කල්පනා කර බලන්න. යෙහෝවඃ වහන්සේගේ නීති, සිහි ගැන්වීම්, සහ කොන්දේසි ගැන බොහෝ දේ පවසන්නට තිබෙන ගීතා 119 වෙනි ගීතිකාව ආරම්භ වන්නේ මෙසේ ය: “නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ව්‍යස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය [සන්තෝෂවත් ය NW] උන්වහන්සේගේ ශික්ෂා [සිහිගැන්වීම්] පවත්වන්නාවූ, මුළු [හදින් ම NW] සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය [සන්තෝෂවත් ය NW]” (ගීතාවලිය 119:1, 2) සංවිධානය වී සිටීමේත් සන්තෝෂයෙන් සිටීමේත් අභියෝගයට මුහුණ දීමට ඔබට හැකි ද?
[28වන පිටුවේ පින්තූරය]
ආර්මලරි ගෝලය—අහසේ මහත් චක්රයන් නියෝජනය කිරීම සඳහා වූ මුල් උපක්‍රමයක්
[31වන පිටුවේ පින්තූරය]
ප්‍රේමනීය එඬේරෙකු වශයෙන්, යෙහෝවඃ වහන්සේ, පිළිවෙළක දෙවි කෙනෙකු පමණක් නොව, නමුත් සන්තෝෂයේ දෙවි කෙනෙකු ද වන සේක
[හිමිකම් විස්තර]
Garo Nalbandian