බයිබලයේ දෘෂ්ටිකෝණය
අධික වෙහෙස සමඟ කටයුතු කිරීමට ඔබට උපකාර කළ හැක්කේ කුමකටද?
ඔබ අධික වෙහෙසට ගොදුරුවන පුද්ගලයෙක්ද? එසේ නම් ඔබ වැනි බොහෝ අය සිටිනවා. මේවා “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” වේ, එනිසා සියලු වයස්වල මෙන්ම ජීවන මට්ටම්වල සිටින මනුෂ්‍යයෝ අධික වෙහෙස අද්දකිමින් සිටිත්. (2 තිමෝති 3:1, NW) ඇතැම් ප්‍රවීණයෝ කියා සිටින්නේ මනුෂ්‍යයන් වෛද්‍යවරයන් හමුවීමට යන වාර සියල්ලෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට හේතුව අධික වෙහෙස-සම්බන්ධ ගැටලු වන බවය.
එසේ වුවත්, අධික වෙහෙස ඉඳුරාම නරක දෙයක් වන්නේ නැත. අධික වෙහෙස-සායනාගාරයක අධ්යක්ෂකයෙකු පවසන්නේ “ඇත්ත වශයෙන්ම, එයින් අපට ප්රබෝධය, ජීවත්වීම සඳහා උද්යෝගය සහ දේවල් කර ගැනීම සඳහා ශක්තිය ලැබෙන” බවයි.
අනෙක් අතට, අධික වෙහෙස කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයක් ඇති කරන, විනාශකාරි දෙයක් විය හැකිය. එසේ නම්, අධික වෙහෙස නිසා ඔබට ගැටලු මතු වෙනවා නම් තත්ත්වය කුමක්ද? එහි විනාශකාරි බලපෑම් හැකි තාක් දුරට අඩු කළ හැකි බයිබලයේ ප්‍රඥාව මත පදනම් වූ යෝජනා සමහරක් මෙන්න.
අසාධාරණ බලාපොරොත්තුවලින් වළකින්න
“පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත [හෘදය, NW] කලකිරෙන්නේය,” යයි බයිබලය පවසයි. (හිතෝපදේශ 13:12) බලාපොරොත්තු කිසිකලක ඉටු නොවන විට, ඉන් ඇති වන අධික වෙහෙස මැඩලිය නොහැකි දෙයක් විය හැකිය. අප අපගේ බලාපොරොත්තු යථාර්ථානුරූපී නොවන තරම් උසස් මට්ටමක තබන විට මෙය බොහෝ දුරට සිදුවිය හැකිය.
නිදසුනක් වශයෙන් තමන්ගේ සන්තෝෂය රඳාපවතින්නේ ද්‍රව්‍යමය දේවල් අයිති කරගැනීම මත යයි බොහෝ දෙනෙකු විශ්වාස කිරීමට වෙළඳ දැන්වීම් මාධ්‍යය ඔවුන්ව රවටා තිබේ. තමාගේ වත්පොහොසත්කම ඉක්මවා යන දේවල්වලට කෙනෙකු දැඩි ආශාවක් දක්වන විට, ඉන් ඇති වන විපාකය අධික වෙහෙස සහ කලකිරීම විය හැකිය. එබැවින් බයිබලය මෙම උපදේශය ඉදිරිපත් කරයි: “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු.” (1 තිමෝති 6:8) එසේය, ඔබ අයිති කරගෙන සිටීමට කැමති මෝටර් රථය, නිවස හෝ ගෘහ භාණ්ඩ ඔබට නොතිබුණත්, ඔබට තිබෙන දේ අගය කරන්න. ද්‍රව්‍යමය අපේක්ෂා ප්‍රමාණවත් මට්ටමක තබාගන්න.
පුද්ගලයන් සම්බන්ධයෙන් අසාධාරණ අපේක්ෂාද අධික වෙහෙස ඇති වීමට හේතුවක් විය හැකිය. නිදසුනක් වශයෙන්, තමා යටතේ සිටින අයගෙන් සාධාරණ මට්ටමක වැඩකොටසක් ඉටු කරනු ලැබීම බලාපොරොත්තුවීමට පරිපාලකයෙකුට අයිතිය තිබෙන නමුත්, ඔවුන්ගෙන් සම්පූර්ණකම බලාපොරොත්තුවීම අඥාන දෙයකි. බ්රසීලියාවෙහි කර්මාන්තයක පරිපාලකයෙක් වන කාර්ලොස් මෙසේ පවසයි: “මනුෂ්‍යයන් සිටින ආකාරයටම ඔබ ඔවුන්ව පිළිගත යුතුය. ඔවුන්ට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වුවහොත්, එමගින් අධික වෙහෙසේ මට්ටම වැඩි වනු ඇති අතර, සියලු දෙනාම අසන්තෝෂවත් තත්ත්වයකට පත්වනවා ඇත.”—යෙරෙමියා 17:5-8 සසඳන්න.
යමක් මුදුන් පමුණුවා ගැනීමට ඇතිවන අධික වෙහෙස පාලනය කරන්න
ද ලැටින් අමෙරිකන් ඩේලි පෝස්ට් නමැති පුවත්පත අධික වෙහෙසේ තවත් ප්‍රභවයක් හෙළි කරයි, ‘යමක් මුදුන් පමුණුවා ගැනීම වටා ගෙතුණු, තරඟකාරී හැසිරීම හෘද රෝග ඇතිවීමේ අවදානමට දායකවන පැහැදිලි සාධකයකි,’ යයි එහි ප්‍රකාශ වේ. තරුණ ගණකාධිකාරවරයෙක් මෙය පිළිගනියි: “කාර්යාලයේදී ඕනෑම දුර්වලකමක් හෙළි කිරීමට මා අතිශයින් බිය වනවා. මා අධික ලෙස වෙහෙස වී වැඩ කරන අතර අන් අයගෙන් යම් පිළිගැනීමක් නොලබන හෙයින් බලාපොරොත්තු සුන් තත්ත්වයක් මට දැනෙයි.”
අන්‍යයන් ඉදිරියේ පිළිගනු ලැබීම සහ යමක් මුදුන් පමුණුවා ගැනීම සඳහා වූ එබඳු ලුහුබැඳීම් සම්බන්ධයෙන් සාලමොන් මෙසේ පැවසුවේය: “සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.”—දේශනාකාරයා 4:4.
රැකියාවෙහි දියුණු වීම හෝ පිළිගනු ලැබීම සම්බන්ධයෙන් සත්‍ය සාධකයක් වනුයේ ‘දිවීමේ දිනුම හැමවිටම ශීඝ්‍ර අයට ලැබෙන්නේ නැත’ යන්නය. (දේශනාකාරයා 9:11) බ්‍රසීලියාවේ කාර්යාලයක වැඩ කරන මාරිආ, එය මෙසේ සඳහන් කළාය: “පුද්ගලයෙකුට දක්ෂතාව තිබිය හැකිය, එහෙත් තත්ත්වයන් සහ අනිසි පක්ෂපාතිත්වය පවා, උසස්වීමට බාධා එල්ල කළ හැක.”—සසඳන්න දේශනාකාරයා 2:21; 10:6.
ඔබගේ බලාපොරොත්තු ප්‍රමාණවත්ව තබාගෙන, ඔබගේ සීමාවන් පිළිගන්න. දියුණුවීම උදෙසා පමණක් වැඩ කිරීම වෙනුවට වැඩකින් ලබා ගත හැකි ප්‍රීතිය උදෙසා වැඩ කරන්න. (දේශනාකාරයා 2:24) සැබවින්ම, යමක් මුදුන් පමුණුවා ගැනීම ගැන වුවමනාවට වැඩියෙන් සිතන පුද්ගලයාට ජීවිතයෙන් ලබාගත හැකි ප්‍රීතියෙන් විශාල කොටසක් අහිමිවනවා පමණක් නොව, ඔහු කොතරම් පීඩිත ස්වභාවයකට පත්විය හැකිද කිවහොත් සාර්ථක වීමට ඔහුම ගන්නා උත්සාහයන් අනතුරට ලක්වනවා ඇත. එබැවින් වෛද්‍ය ආර්නල්ඩ් ෆොක්ස් මෙසේ උපදෙස් දුන්නේය: “ඔබගේ ක්ෂේත්රය තුළ හොඳම පුද්ගලයා වීමට ආශා වීම අගය කළ හැකි ඉලක්කයකි, එහෙත් එම එක සිතුවිල්ලෙන්ම ඔබගේ ජීවිතය පාලනය වීමට ඉඩ නොහරින්න. ප්‍රේමයේ, සිනහවීමේ සහ ජීවිතයෙන් ලැබෙන ප්‍රීතියේ සිතුවිලි ඔබ නොසලකා හැරියහොත්, නැතහොත් ජීවිතය භුක්ති විඳීම අමතක කොට සාර්ථකත්වය අත්කරගැනීමේ සිතුවිල්ලේම ඔබ සිත යොමු කරගෙන සිටිනවා නම්, ඔබ ඔබවම අධික වෙහෙසට පත් කරනවා ඇත.”
ඔබට කළ හැකි දේවල්
දෛනික පීඩාවල කලබලකාරි ස්වභාවයට (ආතතියට) එරෙහිව සටන් කළ හැකි තවත් ක්‍රමයක් වනුයේ හාස්‍යජනක ස්වභාවයක් වර්ධනය කිරීමය. (දේශනාකාරයා 3:4) ප්‍රසන්න ආකල්පයක් ඇතුව සිටීමට විකටයෙකු වීමට ඔබට අවශ්‍ය නැත. “තුෂ්ටිමත් සිත [ප්‍රීතිමත් හෘදයක්, NW] හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.
හෙට දක්වා දේවල් කල්දැමීමේ පුරුද්ද ඔබට තිබෙනවාද? දිගු කාලීනව ගත් කල, කල් දැමීම අධික වෙහෙස අඩු කරනවා වෙනුවට එය වැඩි කරයි. බයිබලය මෙසේ උපදෙස් දෙයි: “උත්සාහවන්තකමේදී [ඔබේ කටයුතුවලදී, NW] මැළි නොවෙල්ලා.” (රෝම 12:11) ඔබ කළ යුතුව තිබෙන දේවල ලිඛිත හෝ මානසික ලැස්තුවක් සකස් කරගන්න. (හිතෝපදේශ 21:5) පසුව ප්‍රථමයෙන් කළ යුත්තේ කුමන දේද කියා තීරණය කරන්න—ඉන්පසුව ඒවා කිරීමට පටන් ගන්න.
කෙසේවෙතත්, ඔබ උපරිම වෑයමක් දරන නමුත්, ඔබට තවමත් කලබලකාරි හෝ අධික වෙහෙසේ ස්වභාවයක් තිබෙනවා නම් තත්ත්වය කුමක්ද? ඔබගේ කල්පනා කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට ඔබ විසින් අධිෂ්ඨානපූර්වක වෑයමක් දැරීමට අවශ්‍ය විය හැකිය. අතීතයේ වැරදි ගැන දිගටම කල්පනා කිරීමෙන් වළකින්න. එසේ කිරීම වර්තමානයට අධික වෙහෙස බොහෝ සෙයින් එකතු කළ හැකිය. දහනවවන ශතවර්ෂයේ දර්ශනවාදියෙක් මෙසේ ලීවේය: “ජීවිතය වටහාගත හැකි වනුයේ ආපස්සට කල්පනා කරන විට පමණි; නමුත් ජීවත් විය යුත්තේ ඉදිරිය මනසේ තබාගෙනයි.” අපට අසාර්ථකවීම්වලින් ඉගෙන ගත හැකි නමුත්, අපගේ වර්තමාන ක්‍රියා අපගේ අනාගතය සකස් කරයි.
“මාගේ සිතේ [හදවතේ, NW] දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් [අධික වෙහෙසීම්වලින්, NW] මා මුදාගත මැනව,” යනුවෙන් දාවිත් යෙහෝවඃවහන්සේට යාච්ඤා කළ විට අධික වෙහෙසට තිබෙන හොඳම පිළියම වෙතට හේ අවධානය යොමු කළේය. (ගීතාවලිය 25:17) එසේය, තමාගේ කාන්සාවන්ට සහනයක් සැපයීම සඳහා දාවිත් දෙවියන්වහන්සේ දෙස බැලුවේය. දෙවියන්වහන්සේගේ වචනය කියවීමටත් ඒ ගැන මෙනෙහි කිරීමටත් ඔබ කාලය ගන්නෙහි නම්, දෙවියන්වහන්සේට වඩාත් සමීපභාවයක් දැනෙන බව ඔබට හැඟෙනු ඇත. ඔබ දෙවියන්වහන්සේගේ අරමුණු අගය කරනවාත් සමඟම, ඔබගේ ජීවිතයේදී උන්වහන්සේගේ දේවලට මුල් තැන දීමට ඔබ පොලඹවනු ලබනවා ඇත, මෙය ඔබට අනවශ්‍ය කාන්සාවන් බොහොමයකින් නිදහස ගෙන දෙනු ඇත. (මතෙව් 6:31, 33) වරකට එක දවසක් ගැන පමණක් සැලකිල්ල යොමු කිරීමට ඉගෙන ගන්න. අද දවසේ කාන්සාවන්ට හෙට දවසේ ඒවාත් එකතු කරගන්නේ කුමටද? යේසුස්වහන්සේ එය මෙසේ සඳහන් කළසේක: “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.”—මතෙව් 6:34. g94 9/8
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“පුද්ගලයෙකුට දක්ෂතාව තිබිය හැකිය, එහෙත් තත්ත්වයන් සහ අනිසි පක්ෂපාතිත්වය පවා, උසස්වීමට බාධා එල්ල කළ හැකිය.”
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Metropolitan Museum of Art, Funds given by the Josephine Bay Paul and C. Michael Paul Foundation, Inc., and the Charles Ulrick and Josephine Bay Foundation, Inc., and the Fletcher Fund, 1967.