සත්‍යය වැලඳගන්න නෑදෑයන්ට උදව් කරමු
යේසුස්ගෙන් සුවය ලබපු කෙනෙක් ඔහු ළඟට ඇවිත් තමාටත් ඔහු එක්ක එන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවා. ඒත් යේසුස් ඔහුට කිව්වේ “ඔබේ ගෙදර ගිහින්, යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ සියලු දේ ගැනත් ඔහු ඔබට පෙන්වූ දයාව ගැනත් ඔබේ නෑදෑයන්ට කියන්න” කියලයි. ඇයි යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ? තමන්ගේ ජීවිතේ වැදගත් දෙයක් සිදු වුණාම ඒක නෑදෑයන්, හිතමිතුරන් එක්ක බෙදාගන්න එක සාමාන්‍ය දෙයක් කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසයි මුලින්ම ගිහින් තමන් අද්දැක්ක දේවල් නෑදෑයන්ට කියන්න කියලා යේසුස් ඒ කෙනාට කිව්වේ.—මාක් 5:19.
ඒ වගේ අදත් කෙනෙක් යෙහෝවා දෙවිව අඳුනගෙන දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තම බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන නෑදෑයන්ට කියන්න ලොකු ආසාවක් ඇති වෙනවා. ඒත් ඒක කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? වෙනත් ආගමක් අදහන නැත්නම් කිසිම ආගමක් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට බයිබලේ තියෙන සත්‍යයන් හිතට දැනෙන විදිහට කියන්නේ කොහොමද?
“අපට මෙසියස්ව හමු වුණා”
පොරොන්දු වුණු ගැලවුම්කරු යේසුස් කියලා මුලින්ම අඳුනගත්ත අයගෙන් කෙනෙක් තමයි අන්දෘ. ඒ ගැන දැනගත්ත ගමන්ම “ඔහු මුලින්ම තම සහෝදරයා වූ සීමොන් ළඟට ගොස්, ‘අපට මෙසියස්ව හමු වුණා’ කියා පැවසුවේය. (මෙසියස් යන වචනයේ අර්ථය ක්‍රිස්තුස්ය.)” ඊටපස්සේ ඔහු පේතෘස්ව යේසුස් ළඟට එක්කගෙන ගියා. ඒකෙන් පේතෘස්ට යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න අවස්ථාව ලැබුණා.—යොහ. 1:35-42.
ඊට අවුරුදු හයකට විතර පස්සේ වුණු සිදුවීමක් බලන්න. හමුදා නිලධාරියෙක් වුණු කොර්නේලියස්ගේ ගෙදරට එන්න කියලා පේතෘස්ට ආරාධනාවක් ලැබුණා. පේතෘස් එහෙට යද්දී ‘කොර්නේලියස් තමාගේ නෑදෑයන්වද කිට්ටු මිත්‍රයන්වද තම නිවසට ආරාධනා කරලා පේතෘස් හා පිරිස එන තුරු බලාගෙන හිටියා.’ ඒකෙන් පැහැදිලි වෙන්නේ පේතෘස් කියන්න යන පණිවිඩයට ඇහුම්කන් දෙන්න කොර්නේලියස් එයාගේ නෑදෑයන්ටත් අවස්ථාව දුන්නා කියන එකයි.—ක්‍රියා 10:22-33.
අන්දෘගෙන් හා කොර්නේලියස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
අන්දෘවත් කොර්නේලියස්වත් තමන්ගේ නෑදෑයන්ට සත්‍ය පණිවිඩය කොහෙන්හරි අහන්න ලැබෙයි කියලා හිතලා ඒ ගැන මොනවත් නොකර හිටියේ නැහැ. අන්දෘ යේසුස් ළඟට පේතෘස්ව එක්කගෙන ගියා. පේතෘස්ගේ කතාව අහන්න කොර්නේලියස් එයාගේ නෑදෑයන්ට ආරාධනා කළා. හැබැයි ඒගොල්ලෝ සත්‍ය පණිවිඩය පිළිගන්න කියලා නෑදෑයන්ට බල කළේ නැහැ. කපටි ක්‍රම පාවිච්චි කරලා නෑදෑයන්ව යේසුස්ගේ අනුගාමිකයන් කරන්න උත්සාහ කළෙත් නැහැ. අපිටත් පුළුවන් බයිබලයෙන් අපි ඉගෙනගත්ත දෙයක් නෑදෑයන් එක්ක බෙදාගන්න. ඒ වගේම බයිබලේ තියෙන තොරතුරුවලට ඇහුම්කන් දෙන්න, සාක්ෂිකරුවන්ව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබෙන විදිහට දේවල් සැලසුම් කරන්න අපිට පුළුවන්. හැබැයි සත්‍යය පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ.
ජර්මනියේ ඉන්න යුර්ගන් හා පෙට්ට්‍රා කියන යුවළගේ අද්දැකීම බලන්න. පෙට්ට්‍රා සාක්ෂිකරුවෙක් වුණ එක ගැන හමුදාවේ සේවය කරපු එයාගේ මහත්තයා මුලින් සතුටු වුණේ නැහැ. ඒත් කාලයක් යද්දී බයිබලේ තියෙන සත්‍යයන් හරියට උගන්නන්නේ සාක්ෂිකරුවන් කියලා යුර්ගන්ටත් තේරුණා. එයාත් යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. දැන් එයා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරනවා. වෙනත් ආගමක් අදහන නෑදෑයෙකුගේ හදවතට සත්‍යය ළං කරන්න උදව් වෙන දේවල් ගැන යුර්ගන් මෙහෙම පැහැදිලි කරනවා.
“නෑදෑයන්ව දකින දකින හැම වෙලාවෙම ඒ අයට සත්‍යය බලෙන් පොවන්න හදන්න එපා. එහෙම කළොත් ඒගොල්ලන්ට ඒක එපා වෙනවා. හැබැයි බයිබලේ තියෙන රසවත් දෙයක් ඉඳලා හිටලා බෙදාගන්නවා නම් එකපාරටම හොඳ ප්‍රතිඵල ලැබුණේ නැතත් කාලයක් යද්දී බයිබලේ ගැන දැනගන්න එයාට ආසාවක් ඇති වෙන්න පුළුවන්. කරන්න පුළුවන් තව හොඳ දෙයක් තමයි එයාගේම වයසේ ඉන්න, එයා කරන්න කැමති දේවලටම කැමති සාක්ෂිකරුවන්ව අඳුන්නලා දෙන එක.”
පේතෘස් වගේම කොර්නේලියස්ගේ නෑදෑයනුත් සත්‍ය පණිවිඩයට ඉක්මනින්ම හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. හැබැයි තවත් සමහරු සත්‍යය පිළිගත්තේ කාලයක් ගියාට පස්සෙයි.
යේසුස්ගේ සහෝදරයන්ගේ ප්‍රතිචාරය
යේසුස්ගේ නෑදෑයන්ගෙන් කීපදෙනෙක්ම ඔහු දේශනා කරපු ශුභාරංචිය පිළි අරගෙන ඔහුගේ අනුගාමිකයන් වුණා. යාකොබ් හා යොහන් යේසුස්ගේ ඥාති සහෝදරයන් කියලා හිතන්න පුළුවන්. ඒ දෙන්නාගේ මව වුණු සලෝමි මරියාගේ සහෝදරියක්. සලෝමිත් “තමන් සතු දේවලින් යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට උපස්ථාන කරමින් සිටි” ස්ත්‍රීන්ගෙන් කෙනෙක් වෙන්න ඇති.—ලූක් 8:1-3.
ඒ වුණත් ඒ කාලයේදී යේසුස්ගේ නෑදෑයන්ගෙන් සමහරදෙනෙක් යේසුස්ගේ පණිවිඩය පිළිගත්තෙවත් ඔහු ගැන විශ්වාසය තිබ්බෙවත් නැහැ. එක අවස්ථාවක විශාල සෙනඟක් යේසුස්ට සවන් දෙන්න ගෙදරකට රැස් වුණා. ඒ වෙලාවේ ‘යේසුස්ගේ නෑදෑයන්ට ඔහු ගැන ආරංචි වී, “ඔහු සිහිවිකල් වී සිටියි” කියා පවසමින් ඔහුව රැගෙන යෑමට පැමිණියා.’ ඒ වෙනකොට යේසුස් බව්තීස්ම වෙලා අවුරුද්දකටත් වැඩි කාලයක් ගෙවිලා තිබුණත් ඔහුගේ නෑදෑයන් ඔහුව පිළි අරගෙන තිබුණේ නැහැ. තවත් අවස්ථාවකදී යේසුස්ගේ සහෝදරයෝ යේසුස් සේවය කරන්න යන ප්‍රදේශ ගැන කතා කරද්දී ඔහු ඒ ගැන මුකුත් කිව්වේ නැහැ. මොකද ‘ඔහුගේ සහෝදරයන්ට ඔහු ගැන විශ්වාසයක් තිබුණේ නැහැ’ කියලා යේසුස් දැනගෙන හිටියා.—මාක් 3:21; යොහ. 7:5.
යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ඔහුගේ සිහිය විකල් වෙලා කියලා නෑදෑයන් කියද්දී යේසුස් ඒ ගැන කේන්ති ගත්තේ නැහැ. යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටුවට පස්සේ ඔහුගේ සහෝදරයා වුණු යාකොබ් ඉදිරියේ පෙනී ඉඳලා ඔහුව දිරිගැන්නුවා. ඒ සිද්ධිය යාකොබ්ට විතරක් නෙවෙයි යේසුස්ගේ අනිත් සහෝදරයන්ටත් උදව් වුණා පොරොන්දු වුණු ගැලවුම්කරු යේසුස් කියලා පිළිගන්න. යෙරුසලමේ උඩුමහල් කාමරයක රැස් වෙලා ඉද්දී දෙවිගේ බලයෙන් අභිෂේක කරපු අය අතරේ යේසුස්ගේ සහෝදරයොත් හිටියා. පසු කාලෙකදී ඔහුගේ සහෝදරයන් වුණු යාකොබ් හා යූද් දෙවි වෙනුවෙන් ලොකු සේවයක් කළා.—ක්‍රියා 1:12-14; 2:1-4; 1 කොරි. 15:7.
කාලයක් ගත වෙයි
අපේ නෑදෑයන්ගෙන් සමහරදෙනෙක්ටත් සත්‍ය මාර්ගයට එන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. රොස්විටාගේ අද්දැකීම බලන්න. එයාගේ මහත්තයා බව්තීස්ම වුණේ 1978දියි. ඒ වෙනකොට රොස්විටා හරිම භක්තියෙන් රෝමානු කතෝලික ආගම අදහමිනුයි හිටියේ. මහත්තයා සාක්ෂිකරුවෙක් වුණ එකට එයා හුඟක් විරුද්ධ වුණා. ඒත් අවුරුදු ගාණක් ගත වෙද්දී එයා කරපු විරුද්ධවාදිකම් ටික ටික අඩු කළා. සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් සත්‍යයයි කියලත් එයාට තේරුණා. 2003දී රොස්විටා බව්තීස්ම වුණා. එයා වෙනස් වුණේ ඇයි? රොස්විටාගෙන් විරුද්ධවාදිකම් ආවත් මහත්තයා කේන්ති ගත්තේ නැහැ. සාක්ෂිකරුවන් ගැන තිබුණු වැරදි අදහස නැති කරගන්න එයා රොස්විටාට කාලය දුන්නා. ඒ ගැන රොස්විටා කියන්නේ මෙහෙමයි. “කොච්චර කාලයක් ගියත් දිගටම ඉවසීමෙන් වැඩ කළොත් කෙනෙක්ට සත්‍යය පිළිගන්න ඒක උදව් වෙයි.”
මොනිකා බව්තීස්ම වුණේ 1974දියි. ඊට අවුරුදු 10කට විතර පස්සේ එයාගේ පුතාලා දෙන්නත් බව්තීස්ම වුණා. එයාගේ මහත්තයා හාන්ස්, ඒගොල්ලන්ට විරුද්ධ වුණේ නැතත් සත්‍යය පිළිගන්න එයාට අවුරුදු ගාණක් ගත වුණා. එයා බව්තීස්ම වුණේ 2006දියි. ඒ පවුලේ අය තේරුම්ගත්ත දෙයක් තමයි අපි කොයිම වෙලාවකදීවත් දෙවිගේ ප්‍රතිපත්ති බාල කරන්නේ නැතුව, දෙවිට විශ්වාසවන්තව හිටියොත් සත්‍යයේ නැති කෙනාට සත්‍යය පිළිගන්න ඒක උදව්වක් වෙන්න පුළුවන් කියන එක. කොච්චර කාලයක් ගත වුණත් හාන්ස්ට ඒගොල්ලෝ ආදරෙයි කියලා නිතරම දැනෙන්න සැලැස්සුවා. එයා කවදා හරි දවසක සත්‍යය පිළිගනියි කියන බලාපොරොත්තුව ඒගොල්ලෝ අත්හැරියෙත් නැහැ.
සත්‍ය පණිවිඩය ප්රබෝධයක්
යේසුස් එක අවස්ථාවකදී සත්‍ය පණිවිඩය සදාකාල ජීවනය ලබා දෙන වතුරට සමානයි කියලා කිව්වා. (යොහ. 4:13, 14) සිසිල්, නැවුම් වතුර බොද්දී කෙනෙක් ප්රබෝධයක් ලබනවා වගේ සත්‍ය පණිවිඩය නිසා අපේ නෑදෑයන් ප්රබෝධයක් ලබනවා දකින්නයි අපි කැමති. හැබැයි සත්‍ය පණිවිඩය බලෙන්, ඉක්මනට ඉක්මනට පොවන්න ගියොත් ඒක දරාගන්න ඒගොල්ලන්ට අමාරු වෙයි. අපේ නෑදෑයන් සත්‍ය පණිවිඩය නිසා ප්රබෝධයක් ලබනවද නැත්නම් අපහසුතාවයට පත් වෙනවද කියන එක බොහෝ දුරට රැඳිලා තියෙන්නේ අපි ඒගොල්ලන්ට ඒක කියන විදිහෙනුයි. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි” කියලා බයිබලේ සඳහන් වෙනවා. ඒ වගේම “ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි. අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි” කියලත් සඳහන් වෙනවා. ඒ උපදෙස් අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?—හිතෝ. 15:28; 16:23.
තමන්ගේ විශ්වාසයන් ගැන මහත්තයාට කියන්න ආසාවෙන් ඉන්න බිරිඳක් ගැන හිතන්න. එයා ‘පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලන’ කෙනෙක් නම් ඉක්මන් වෙලා කතා කරන්නේ නැහැ. පාවිච්චි කරන වචන ගැනත් සැලකිලිමත් වෙනවා. එයා හැම දෙයක්ම දන්නවා කියලා කතාවෙන් අඟවන්නේ නැහැ. එයා මේ පැති ගැනත් හිතනවා. මහත්තයාත් එක්ක පහසුවෙන්ම කතා කරන්න පුළුවන් කොයි වගේ වෙලාවලදීද? එයා කතා කරන්න නැත්නම් කියවන්න කැමති මොන වගේ විෂයන් ගැනද? විද්‍යාව, දේශපාලනය, ක්‍රීඩා වගේ දේවලට එයා කැමතිද? එයාගේ හැඟීම්වලට, එයා දරන මතවලට ගරු කරනවා කියලා පෙන්නන ගමන් බයිබලේ තියෙන යම් කාරණයකට එයාගේ අවධානය යොමු කරන්න පුළුවන් කොහොමද? ඒ විදිහට හොඳට හිතලා බලලා කතා කරනවා නම් සත්‍ය පණිවිඩය ඒ කෙනාට ප්රබෝධයක් ගේන පණිවිඩයක් වෙයි.
සත්‍ය පණිවිඩය කෙනෙක්ගේ හිතට කාවද්දන්න නම් බයිබලේ තියෙන දේවල් ඒ කෙනාට කියලා විතරක් මදි. කියන දේවලට එකඟව අපි ජීවත් වෙනවා කියලා අපේ ආදර්ශයෙන් පෙන්නන්නත් ඕනේ.
ආදර්ශයක් වෙන්න
“එදිනෙදා ජීවිතේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න. කොයිම වෙලාවකදීවත් ඒවා බාල කරන්න එපා. සත්‍යයේ නැති කෙනා ඒ ගැන කතා කළේ නැතත් ඒක එයා දකිනවා.” එහෙම කියන්නේ යුර්ගන්. හාන්ස් මෙහෙම කියනවා. “අපි බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වුණොත් තමයි සත්‍යයේ නැති කෙනෙක්ට තේරෙන්නේ ඒවා කොච්චර වටිනවද කියලා.” අපේ විශ්වාසයන් නිසා අපි අනිත් අයට වඩා වෙනස් කියලත් ඒ වෙනස නිසා අපේ ජීවිත තව හොඳ අතට හැරිලා තියෙනවා කියලත් අපේ නෑදෑයන් දකින්න ඕනේ.
ස්වාමිපුරුෂයා සත්‍යයේ නැති භාර්යාවන්ට පේතෘස් මේ උපදෙස දුන්නා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත. ඔබේ බාහිර අලංකාරයට එනම්, කොණ්ඩය ගෙතීමට, රන් ආභරණවලින් සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න. දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.”—1 පේතෘ. 3:1-4.
පේතෘස් පැහැදිලි කළේ බිරිඳකගේ හොඳ ආදර්ශය නිසා සත්‍යය පිළිගන්න පුරුෂයෙක් පෙලඹෙන්න පුළුවන් කියලයි. 1972 බව්තීස්ම වුණු දා ඉඳන්ම ක්‍රිස්ටා කියන සහෝදරය උත්සාහ කළේ පේතෘස්ගේ ඒ උපදෙස අදාළ කරගන්නයි. කාලෙකට කලින් ක්‍රිස්ටාගේ මහත්තයා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළත් එයා තවමත් ඒ ගැන කිසිම පියවරක් අරගෙන නැහැ. එයා රැස්වීම් කීපයකටම ඇවිත් තියෙනවා විතරක් නෙවෙයි සභාවේ ඉන්න අයත් එක්ක හොඳට කතාබහ කරනවා. හැබැයි ඒගොල්ලෝ එයාට කවදාවත් බල කරන්නේ නැහැ.
ක්‍රිස්ටා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි කියන විදිහට ජීවත් වෙන එකයි මගේ අධිෂ්ඨානේ. මං ඒක අත්හරින්නේ නැහැ. ඒත් එක්කම මං උත්සාහ කරන්නේ ‘වචනයක්වත් කියන්නේ නැතුව’ මගේ ආදර්ශයෙන් මහත්තයාව දිනාගන්නයි. බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැති වෙලාවලදී එයා කැමති විදිහට දේවල් කරන්න මං උපරිම සහයෝගය දෙනවා.”
ක්‍රිස්ටා නමස්කාරය හා සම්බන්ධ දේවල් හොඳින් කරනවා වගේම එයාගේ මහත්තයා වෙනුවෙන් කරන්න ඕන දේවල් අතපසු කරන්නේ නැහැ. ආදරය පෙන්නන්න, එයා වෙනුවෙන් කාලය දෙන්න ක්‍රිස්ටා නිතරම උත්සාහ කරනවා. සත්‍යයේ නැති නෑදෑයන් එක්ක කටයුතු කරද්දී ඒගොල්ලන්ව හොඳින් තේරුම් අරගෙන දේවල් සමබරව කරන එක හරිම වැදගත්. බයිබලේ කියන්නේ “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියලයි. පවුලේ අයත් එක්ක කාලය ගත කරන එකත් ඒකට ඇතුළත්. එහෙම කරද්දී හොඳට කතාබහ කරන්න අවස්ථාව ලැබෙන නිසා සත්‍යයේ නැති කෙනාට තනිකම, ඊර්ෂ්‍යාව, තමාව කොන් කරලා කියන හැඟීම් ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.—දේශ. 3:1.
බලාපොරොත්තු අත්හරින්න එපා
හෝල්ගගේ තාත්තා සත්‍යයට ආවේ පවුලේ හැමෝම සත්‍යයට ඇවිත් අවුරුදු 20කට පස්සෙයි. “අපේ ආදරේ අපි එයාට දිගටම පෙන්නුවා. ඒ වගේම අපි එයා වෙනුවෙන් යාච්ඤා කළා” කියලා හෝල්ග කියනවා. ක්‍රිස්ටා ඉන්නෙත් කවදා හරි දවසක එයාගේ මහත්තයා යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරයි කියන බලාපොරොත්තුවෙන්. අපිත් සත්‍යයේ නැති අපේ නෑදෑයන් කවදා හරි දවසක සත්‍යයට එයි කියන බලාපොරොත්තුවෙන් ඉමු.
අපිට ඕනේ පවුලේ අය එක්ක තියෙන අපේ බැඳීම් දිගටම තියාගන්න අතරතුරේ බයිබලේ තියෙන සත්‍ය පණිවිඩය ගැන ඒගොල්ලන්ට කියලා දීලා ඒ පණිවිඩය ඒගොල්ලන්ගේ හදවතට ළං කරන්නයි. ඒ දේ “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින්” කරමු.—1 පේතෘ. 3:15.