මැසිවිලි කියන්නෙකුගේ තත්ත්වය සන්තෝෂවත් එකක් නොවීමට හේතුව
අධික සන්තෝෂය, බලාපොරොත්තු විරහිත භාවයකට හැරී ගොස් තිබුණේ යන්තම් සති කිහිපයක් ඇතුළත ය. මිසරයේ වහල්කමෙන් ඊශ්‍රායෙලිතයන් අලුත ලැබූ නිදහස හේතුවෙන් ඔවුන් තුළ තිබූ මුල් ප්‍රීති ඝෝෂාව ආහාර සම්බන්ධයෙන් නොවැදගත් මැසිවිලි කීමක් බවට පිරිහිණ. තමන් මිසරයෙන් ඉවත් වූ දෙවන මාසය තුළ, අමනාපයෙන් සිටි මෙම ජාතිය, තමන් වනාන්තරයේ දුෂ්කර ජීවිතයක් ගත කිරීමට වඩා වහලෙක් ව සිටීමට කැමැත්තක් දක්වන බව පැවසී ය. ඊට පසු මාසයන්හි, මෙම මැසිවිලි කියන ස්වභාවය යෙහෝවඃ වහන්සේට කීකරු වීමට තිබූ ඔවුන්ගේ අධිෂ්ඨානය දුර්වල කළ අතර පොරොන්දු දේශයට ඇතුල් වීම සඳහා එම පරම්පරාවට තිබූ බලාපොරොත්තුව විනාශ කර දැමී ය.—නික්මයාම 16:1-3; ගණන් කථාව 14:26-30.
මැසිවිලි කීම, ඇත්ත වශයෙන් ම, කිසිකලෙක එක් පරම්පරාවකට හෝ තනි මිනිස් කොටසකට සීමා වී නොමැත. විටින් විට රැකියාව, ආහාර, කාලගුණය, දරුවන්, අසල්වැසියන්, නැතහොත් ජීවන වියදම ගැන මැසිවිලි නොකියන්නේ කවරෙක් ද? මනුෂ්‍ය අසම්පූර්ණත්වය කෙනෙක් ව මැසිවිලි කීමට නැඹුරු කරවන බව පෙනේ.—රෝම 5:12; යාකොබ් 3:2.
එතරම් පහසුවෙන් ම අප මැසිවිලි කියන්නේ මන්ද? ඇතැම්විට අපට අධෛර්යය, කලකිරීම, හෝ රෝගාතුර හැඟීමක් දැනෙනවා වන්නට පුළුවන. මැසිවිලි කීම අපගේ කලකිරීමේ බාහිර ප්‍රකාශයක් වන්නට, නැතහොත් එය, “මට එම ක්‍රියාව ඊට වඩා හොඳින් කළ හැක!” යයි කියා පෑමේ අනියම් ක්‍රමයක් වන්නට පුළුවන. ඇතැම් අවස්ථාවන්හි මැසිවිලි, ජනයාගේ පුද්ගලිකත්වයන්හි වෙනස්කම් නිසා ඇති වන ගැටීම් මගින් පෝෂණය ලබන්නට ද පුළුවන. මීට අමතර ව, සැබෑ දුක්ගැනවිලි ද ඇත.
හේතු සාධකය කුමක් වෙතත්, ඊශ්‍රායෙලිතයන් පිළිබඳ කලින් සඳහන් කළ නිදර්ශනය පෙන්වන ආකාරයට, මැසිවිලි කීම දිගට ම පවතින්නේ නම්, එය විනාශකාරී වන්නට පුළුවන. යම් පුද්ගලයෙක් යෙහෝවඃ වහන්සේ දේවල් කරන ආකාරය ගැන පවා මැසිවිලි කියමින්, නිදන්ගත මැසිවිලි කියන්නෙක් විය හැක. එය එතරම් අන්තරාදායක වනුයේ මන්ද? එමෙන් ම යුක්ති සහගත පැමිණිලි සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?
යුක්ති සහගත පැමිණිලි
දුක්ගැනවිල්ල බරපතළ එකක් නොවේ නම්, අප මුලින් ම ඇසිය යුතු ප්රශ්නය වන්නේ, මට එය ප්‍රේමයෙන් නොසලකා හැරිය හැකි ද? යන්න ය. යමෙකුට, ඇතැම් විට සෙසු ඇදහිලිවන්තයෙකුට පවා විරුද්ධ ව පැමිණිලි කරන්නට අපට වලංගු හේතුවක් තිබිය හැකි බව සැබෑවකි. ඔහු අපට අකාරුණික හෝ අයුක්ති සහගත ආකාරයකට සලකා තිබෙන්නට පුළුවන. එහෙත්, අසාධාරණ සැලකිල්ල ගැන අන්‍යයන්ට පැමිණිලි කිරීම කාරණා වැඩි දියුණු කරාවි ද? අප ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය ගැන බයිබලය නිර්දේශ කරන්නේ කුමක් ද? කොලොස්සි 3:13 [නව අනුවාදය] පවසන්නේ මෙසේ ය: “එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් [මැසිවිල්ලක් NW] ඇත්නම්, එකිනෙකාට [නොමසුරු ව NW] කමා කරන්න [කරමින් සිටින්න NW]. ස්වාමීන් වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔබට [නොමසුරු ව NW] කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය.” එනිසා පැමිණිල්ලක් යුක්ති සහගත තත්ත්වයක තිබෙන විට පවා, පැමිණිලි කිරීමේ ස්වභාවයක් ඇති ව සිටීමට වඩා සමාව දීමේ ආකල්පයක් ඇති ව සිටීමට ශුද්ධ ලියවිල්ල නිර්දේශ කරයි.—මතෙව් 18:21, 22.
කාරණය නොසලකා හැරිය නොහැකි තරමට වඩාත් බරපතළ නම්, කුමක් කළ යුතු ද? පැමිණිලි කිරීමට හොඳ හේතු තිබෙන්නට පුළුවන. සොදොම හා ගොමොරාව සම්බන්ධයෙන් වලංගු ‘පැමිණිල්ලක්’ යෙහෝවඃ වහන්සේ වෙත ඉදිරිපත් වූ කල, උන් වහන්සේ එම පිරිහීමට පත් නගරවල නින්දා සහගත තත්ත්වයන් සමඟ ක්‍රියා කරන්නට පියවර ගත් සේක. (උත්පත්ති 18:20, 21, නව අනුවාදය) පොදු යුගයේ 33 පෙන්තකොස්තයෙන් පසු තවත් යුක්ති සහගත පැමිණිල්ලක් ඉදිරිපත් විය. දිළිඳු වැන්දඹුවන්ට ආහාර බෙදා දෙනු ලැබූ විට, හෙබ්‍රෙව් භාෂාව කථා කළ ස්ත්‍රීන් හට පක්ෂපාතිත්වය පෙන්වනු ලැබී ය. මෙය ග්‍රීක් භාෂාව කථා කරන කාන්තාවන් අතර අමනාපයට හේතුවක් වූ බව තේරුම් ගත හැකි ය. අවසානයේ, එම පැමිණිලි ප්‍රේරිතයන්ගේ අවධානයට යොමු වූ අතර, ඔවුහු වහා ම එම ගැටලුව නිරාකරණය කිරීමට වගකිව යුතු අයගෙන් සමන්විත කණ්ඩායමක් සංවිධානය කළහ.—ක්‍රියා 6:1-6.
බරපතළ කාරණා තමන්ගේ අවධානයට යොමු කරනු ලැබූ විට අද දින පත් කර සිටින වැඩිමහල්ලන් සමානාකාරයෙන් සුදුසු පියවර ගැනීමට පමා නොවිය යුතු ය. හිතෝපදේශ 21:13 මෙසේ පවසයි: “දුප්පතාගේ කන්නලව්වට [මැසිවිල්ලට NW] කන් වසා ගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.” යුක්ති සහගත පැමිණිල්ලක් නොසලකා හරිනවා වෙනුවට, වැඩිමහල්ලන් අනුකම්පා සහගත ව සවන් දිය යුතු ය. අනෙක් අතට, සවන් දෙන සෑම කෙනෙකුට ම එම පැමිණිලි කියමින් යනවා වෙනුවට, බරපතළ පැමිණිලි වැඩිමහල්ලන් වෙත යොමු කිරීමෙන් අප සියල්ලන්ට සහයෝගය පෙන්විය හැකි ය.
එහෙත්, මනුෂ්‍ය අසම්පූර්ණත්වය නුවුවමනා ලෙස මැසිවිලි කීමට අපට සලස්වන අවස්ථා ඇති බව අපෙන් වැඩි දෙනෙක් අවංක ව පිළිගනු ඇත. වනාන්තරයේ සිටි ඊශ්‍රායෙලිතයන් වෙත සමීප බැල්මක් හෙළීම, කලාතුරකින් ඇති වන කෙඳිරීමක් මැසිවිලි කියන ස්වභාවයක් බවට වැඩි වර්ධනය වීමට ඉඩ හැරීමේ අන්තරාය බැලීමට අපට උපකාර කරනු ඇත.
මැසිවිලි කියන්නන් දෙස දෙවියන් වහන්සේ බලන ආකාරය
ආහාර සැපයුම් පිළිබඳ ව ඊශ්‍රායෙලිතයන්ගේ කෙඳිරිල්ල මැසිවිලි කියන්නන් තුළ පවතින සහජ අන්තරායන් දෙකක් හෙළි කරයි. පළමුව, මැසිවිලි කීම බෝවන සුලු ය. “ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුත්ටධව කොඳුළෝය” යයි වාර්තාව පවසයි. (නික්මයාම 16:2) ඇතැම්විට, ආහාර හිඟය පිළිබඳ ව කීපදෙනෙක් මැසිවිලි කියන්නට පටන් ගත් අතර වැඩි කල් නොගොස් සෑම කෙනෙක් ම කොඳුරන්නට වූහ.
දෙවනුව, මැසිවිලි කියන්නෙක් බොහෝ විට ගැටලුව වැඩි කොට දක්වයි. මෙම සිද්ධියේ දී, ඊශ්‍රායෙලිතයෝ, තමන්ට රිසි සේ මස් හා රොටි අනුභව කළ හැකි මිසරයේ, තම තත්ත්වය වඩාත් සතුටුදායක වනු ඇතැයි කියා සිටියහ. තමන් ව කාන්තාරයට ගෙනෙනු ලැබුවේ සාගින්නෙන් මිය යන්නට පමණක් බව ඔවුහු මැසිවිලි කීහ.—නික්මයාම 16:3.
එම ඊශ්‍රායෙලිතයන්ගේ තත්ත්වය එතරම් ම අර්බුදකාරී වූයේ ද? බොහෝ දුරට ඔවුන්ගේ ආහාර තොග අඩු වන්නට ඇතිමුත්, යෙහෝවඃ වහන්සේ එම ගැටලුව කලින් දැක, යුතු අවස්ථාවේ දී ඔවුන්ගේ කායික අවශ්‍යතා තෘප්තිමත් කරලීමට උන් වහන්සේ මන්නා සැපයූ සේක. ඔවුන්ගේ පමණ ඉක්මවූ පැමිණිලිවලින් හෙළි වූයේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ පූර්ණ අඩුවක් තිබූ බවයි. මිසරයේ සිටි කාලයේ ඔවුන් යුක්ති සහගත ලෙස කර්කශ තත්ත්වයන් ගැන චෝදනා කර තිබුණි. (නික්මයාම 2:23) එහෙත් යෙහෝවඃ වහන්සේ ඔවුන් ව වහල්කමෙන් නිදහස් කළ විට, ඔවුහු ආහාර ගැන මැසිවිලි කියන්නට පටන් ගත්හ. එය නුවුවමනා කෙඳිරිල්ලකි. “නුඹලාගේ කෙඳිරීම් අපට විරුත්ටධව නොව ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] විරුත්ටධව” යයි මෝසෙස් අනතුරු ඇඟවී ය.—නික්මයාම 16:8.
ඊශ්‍රායෙලිතයන්ගේ මෙම මැසිවිලි කියන ස්වභාවය නැවත නැවතත් පිළිබිඹු විය. වසරක් ඇතුළත මන්නා පවා මැසිවිලි කීමට හේතු සාධකයක් විය. (ගණන් කථාව 11:4-6) ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් ඊශ්‍රායෙල් ඔත්තුකාරයන් 12 දෙනාගෙන් 10 දෙනෙක් දුන් නරක වාර්තාවක්, පොරොන්දු දේශය ආක්‍රමණය කිරීම හා සම්බන්ධයෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳ උද්ඝෝෂණයක් ඇති කළේ ය. ජනයා “අපි මිසර දේශයෙහි මෙළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මෙළෙමුනම් යහපත” යයි පවසන තරම් අන්තයට ගියහ. (ගණන් කථාව 14:2) අගය පෙන්වීමේ මොනතරම් විශාල ඌනතාවයක් ද! “මේ සෙනග කොපමණ කල් මා හෙළාදකින්නෝද? . . . කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?” යයි යෙහෝවඃ වහන්සේ මෝසෙස්ට පැවසීම, පුදුමයක් නොවේ. (ගණන් කථාව 14:11) එම පරම්පරාව පහවන තුරු, වසර 40කට, එම කෘතඥතාවය නොදැක් වූ මැසිවිලි කියන්නන්ට කාන්තාරයේ මංමුළා වන්නට දඬුවම් නියම කරනු ලැබී ය.
ප්‍රේරිත පාවුල් මෙම උදාහරණය ගැන අපට මතක් කරයි. කොඳුරන්නන් බවට පත් වූ එම ඊශ්‍රායෙලිතයන් මෙන් කිසිවිටෙකත් නොවන්නැයි ඔහු සෙසු ක්‍රිස්තියානින්ට අනතුරු අඟවයි. (1 කොරින්ති 10:10, 11) පැහැදිලි ව ම, අයුක්ති සහගත කෙඳිරීම් හා මැසිවිලි කියන ස්වභාවයක් අපගේ ඇදහිල්ල යටපත් කරමින් යෙහෝවඃ වහන්සේ ව අප්‍රසන්න කිරීමට මඟ පෑදිය හැකි ය.
එහෙත්, අධෛර්යයට පත් කරවන තත්ත්වයන් හේතුවෙන් කලාතුරකින් මැසිවිලි කියන්නා වූ ස්වකීය සේවකයන් සමඟ යෙහෝවඃ වහන්සේ ඉවසීමෙන් කටයුතු කරන සේක. දුෂ්ට රැජින වූ යෙසෙබෙල්ගේ පීඩා නිසා එලියා, හොරෙබ් කන්දට පලා ගිය විට, දිවැස්වරයෙක් හැටියට තමාගේ වැඩය නිමාවකට පැමිණ තිබුණේ යයි ඔහු විශ්වාස කළේ ය. ඉතිරි ව සිටින යෙහෝවඃ වහන්සේගේ එක ම නමස්කාරකයා තමා යයි ඔහු වැරදි සහගත ලෙස කල්පනා කළේ ය. එලියාගේ ඇදහිල්ල ශක්තිමත් කරනු පිණිස, දෙවියන් වහන්සේ පළමු ව ස්වකීය දිව්‍ය බලයේ නිරූපනයක් ඔහුට දුන් සේක. ඊශ්‍රායෙලය තුළ යෙහෝවඃ වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන් තවත් 7,000ක් සිටින බවත්, කරන්නට තවත් බොහෝ දේවල් ඔහු හට ඇති බවත් අනතුරුව දිවැස්වරයාට කියනු ලැබී ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එලියා තමාගේ මැසිවිලි අමතක කර අලුත් කරන ලද ශක්තියකින් තමාගේ ඉදිරි කටයුතු සඳහා ඉවත් ව ගියේ ය. (1 රාජාවලිය 19:4, 10-12, 15-18) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් විචාර බුද්ධිය ක්‍රියාවට නගත් ම, ඒ හා සමාන ව දෙවියන් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කිරීමෙහි ලා ඇදහිලිවන්තයන්ගේ කාර්ය භාරය දැකීමට ඔවුන්ට උපකාර කරමින්, සමානාකාරයෙන් ඔවුන්ට සහනය ගෙන දෙන අයුරින් කථා කරන්නට පුළුවන.—1 තෙසලෝනික 5:14.
මැසිවිලි කීමේ ස්වභාවයක් යටපත් කිරීම
මැසිවිලි කීමේ ස්වභාවයක් යටපත් කළ හැක්කේ කෙසේ ද? සැබවින් ම, දුම්කොළ ශරීරයට කරන්නා වූ හානිය පිළිබඳ ව තහවුරුවක් ලබා සිටින අය දුම්පානය කිරීම නැවැත්වීමට ප්‍රබල හේතුවක් ඇති ව සිටිති. සමානාකාරයෙන්, මැසිවිලි කියන ස්වභාවයක් එතරම් හානිදායක වන්නේ මන්දැයි තේරුම් ගැනීම මැසිවිලි කීමේ යම් පුරුද්දක් නැවැත්වීමට අප ව පෙලඹවිය හැකි ය.
මැසිවිලි කියන ස්වභාවයක් යටපත් කරන්නා වූ අයට ලැබෙන ප්‍රයෝජන මොනවා ද? මැසිවිලි කීම වළක්වන අය භුක්ති විඳින එක් වැදගත් ප්‍රයෝජනයක් වනුයේ ඔවුන්ට කාරණා දෙස ශුද්ධ ලියවිල්ලට එකඟ ව හා වඩාත් යථාර්ථානුරූපී ව බැලිය හැකි වීම ය. මැසිවිලි කියන්නෙක් නැවතී, ගැටලුවක් දෙස යෙහෝවඃ වහන්සේ බලන ආකාරයෙන් කල්පනා කරන්නේ කලාතුරකිනි. මැසිවිලි කියන ඊශ්‍රායෙලිතයෝ යෙහෝවඃ දෙවියන් වහන්සේ තමන් ව වහල්කමෙන් නිදහස් කළ බවත්, රතු මුහුදේ ජලය ආශ්චර්යවත් ලෙස වෙන් කළ බවත් අමතක කළහ. ඔවුන්ගේ නිෂේධාත්මක කල්පනාව දෙවියන් වහන්සේගේ බලයට ඔවුන් ව අන්ධ කළ අතර සිය ප්‍රීතිය එමගින් අහිමි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ කෙරෙහි තිබූ ඔවුන්ගේ නිසැකකම වාෂ්ප වී ගියේ ය.
එපමණක් ද නොව, තමාගේ ගැටලු පිළිබඳ ව යථාර්ථානුරූපී තක්සේරුවක් කළ හැකි කෙනෙක්, තමාගේ ම වැරදි තමාගේ දුෂ්කරත්වයන්හි ප්‍රධාන හේතු සාධකය ව තිබූ අවස්ථා තේරුම් ගනී. ඔහු බොහෝ දුරට එම වැරැද්ද යළිත් නොකරන්නට ඉඩ තිබේ. යෙරුසලමේ විනාශයෙන් පසු තමන් අත්දකිමින් සිටි දුෂ්කරත්වයන් ගැන කොඳුරන්න එපා යයි යෙරෙමියා සෙසු ඊශ්‍රායෙලිතයන් හට අනතුරු ඇඟවී ය. ඔවුන්ගේ දුක් විඳීම තමන්ගේ ම පාපයන්හි ඍජු ප්‍රතිඵලයක් වූ අතර එය වනාහි පසුතැවිලි වනු පිණිසත් යෙහෝවඃ වහන්සේ වෙත හැරී එනු පිණිසත් ඔවුන් අවබෝධ කර ගත යුතු යමක් ව තිබිණ. (විලාප ගී 3:39, 40) සමානාකාරයෙන්, යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරමින් “ජීවිතයේ තමන්ගේ කොටස ගැන” දීර්ඝ කාලයක් පුරා “කොඳුරන්නන්” ව සිටි “අභක්තික මනුෂ්‍යයන්” ව ශ්‍රාවක යූද් දෝෂාරෝපණයට ලක් කළේ ය.—යූද් 3, 4, 16, NW.
ප්‍රඥාවන්ත සාලමොන් රජ වරක් නිරීක්ෂණය කළ ලෙසින්, “තුෂ්ටිමත් සිත [ප්‍රීතිමත් හදක් NW] හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.” (හිතෝපදේශ 17:22) මැසිවිලි කියන ස්වභාවය චිත්ත වේගාත්මක වශයෙන් අපට හානි සිදු කළ හැකි අතර අපගේ ප්‍රීතිය අපෙන් ඉවත් කරයි. එය සෑම දෙයක ම හොඳ පැත්ත බැලීම නොව අසුභ පැත්ත පමණක් දැකීමට සලස්වයි. එහෙත් ‘ගරු කටයුතු දේවල්’ ගැන කල්පනා කිරීමටත් කථා කිරීමටත් ඉගෙන ගන්නා අයට, වඩාත් හොඳ තත්ත්වයක්, තමන්ට දනවන ප්‍රීතිමත් හෘදයක් තිබේ.—පිලිප්පි 4:8.
අප ජනයාගේ වැරදි වෙනුවට යහපත්කම් දකින්නේ නම් අපගේ ජීවිතය වඩාත් සමෘද්ධිමත් වනු නිසැක ය. අප දුෂ්කර අවස්ථා පිළිගෙන අපගේ පසුබැසීම් ගැන මැසිවිලි කියනවා වෙනුවට ප්‍රීතියෙන් සිටින්නේ නම් අප දියුණුවනු ඇත. පරීක්ෂාවන් අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත්, අපගේ විඳදරා ගැනීම ආරක්ෂා කිරීමටත් ප්‍රස්තාවක් හැටියට අප සලකන්නේ නම්, ඒවා පවා ප්‍රීතියට හේතු සාධකයක් විය හැකි ය.—යාකොබ් 1:2, 3.
අප කොඳුරන විට අප හානි සිදු කර ගන්නේ අපට පමණක් නොවන බව ද මතක තබා ගැනීම ද වැදගත් ය. නිතර මැසිවිලි කීමෙන්, අප බොහෝ දුරට අන්‍යයන්ගේ ඇදහිල්ලට රහසින් අනතුරු පමුණුවන්නට පුළුවන. ඊශ්‍රායෙල් ඔත්තුකාරයන් දස දෙනාගේ නරක වාර්තාව, මුළු ජාතියට ම, පොරොන්දු දේශය ආක්‍රමණය කිරීම නිෂ්ඵල වූ අනුමාන ක්‍රියාවක් හැටියට කල්පනා කරන්නට සැලැස් වී ය. (ගණන් කථාව 13:25–14:4) වෙනත් අවස්ථාවක, ජනයාගේ නිරන්තර කෙඳිරිල්ල නිසා මෝසෙස් කොතරම් අධෛර්යයට පත් වූයේදයත්, තමාගේ ප්‍රාණය ගන්නා ලෙස ඔහු යෙහෝවඃ වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. (ගණන් කථාව 11:4, 13-15) අනෙක් අතට, අප වර්ධනය දෙන ආකාරයකට කාරණා ගැන කථා කරන්නේ නම්, අපට අන්‍යයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නටත් ඔවුන්ගේ ප්‍රීතියට දායක වන්නටත් පුළුවන් විය හැකි ය.—ක්‍රියා 14:21, 22.
අපගේ සෙසු වැඩකරුවන්, අපගේ මිත්‍රයන්, අපගේ පවුල් සාමාජිකයන්, නැතහොත් ඇතැම් විට සභාවේ වැඩිමහල්ලන් ගැන මැසිවිලි කීමට අප පෙලඹීම් ලැබිය හැකි වුවත්, “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව” සිටීම යෙහෝවඃ වහන්සේට ස්වකීය සේවකයන්ගෙන් වුවමනා වෙයි. එවන් ප්‍රේමයක් අන්‍යයන්ගේ වැරදි ගෙනහැර දක්වනවාට වඩා ඒවා වසාලීමට අප ව පොලඹවනු ඇත. (1 පේතෘස් 4:8) අප දූවිලි බව යෙහෝවඃ වහන්සේ මතක තබාගෙන සිටින අතර අපගේ වැරදි ගණනට නොගැනීම ගැන කෘතඥ විය හැක. (ගීතාවලිය 103:13, 14; 130:3) අප සියල්ලන් ම උන් වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට වෑයම් කළේ නම්, නිසැක ව ම අප වඩාත් අඩුවෙන් මැසිවිලි කියනු ඇත.
මනුෂ්‍ය වර්ගයා ව යළිත් පරිපූර්ණත්වයට පමුණුවනු ලැබූ විට, කිසිවෙකුට ජීවිතයේ තමාගේ තත්ත්වය පිළිබඳ ව මැසිවිලි කියන්නට හේතුවක් නොතිබෙනු ඇත. ඒ අවස්ථාව එන තෙක්, අප අන්‍යයන් ගැන හෝ අපගේ ම පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව මැසිවිලි කියන්නට ලැබෙන පෙලඹීම් මැඩපැවැත්විය යුතු ය. අප යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාස කරන බවත්, සෙසු ඇදහිලිවන්තයන්ට සැබවින් ම ප්‍රේම කරන බවත් පෙන්වීමට, අපි “කෙඳිරීම් . . . නැතුව සියල්ල” කරමින් සිටිමු. (පිලිප්පි 2:14) මෙය යෙහෝවඃ වහන්සේ ව ප්‍රසන්න කරනු ඇති අතර අපට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. එසේ නම්, අපගේත් අන්‍යයන්ගේත් සුභසාධනය පිණිස, මැසිවිලි කියන්නෙකුගේ තත්ත්වය සන්තෝෂදායක එකක් නොවන බව අපි අමතක නොකරමු.
[20වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ ආශ්චර්යවත් සැපයුමක් වූ මන්නා පවා මැසිවිලි කීමට හේතු සාධකයක් විය