යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගන්න
‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියා ශ්‍රාවක යාකොබ් ලිව්වා. (යාකොබ් 4:8) ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළා: “යෙහෝවා සමීප සබඳතාවක් පවත්වන්නේ ඔහු කෙරෙහි භය ඇත්තන් සමඟය.” (ගීතාවලිය 25:14, NW) යෙහෝවා දෙවි අපි සමඟ සමීප සබඳතාවක් ඇති කරගන්න කැමැත්තෙන් සිටින බව පැහැදිලියි. ඒ වුණත්, තමන් දෙවි සමඟ සමීප සබඳතාවක් පවත්වන බව ඔහුට නමස්කාර කරමින් ඔහුගේ නීතිවලට කීකරු වන හැමකෙනෙකුටම හැඟෙන්නේ නැහැ.
ඔබ ගැන කියන්න පුළුවන් මොනවාද? ඔබ දෙවි සමඟ සමීප සබඳතාවක් පවත්වමින් සිටිනවාද? දෙවිට ළං වෙන්න ඔබත් කැමති බවට කිසිම සැකයක් නැහැ. අපිට දෙවි සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? මෙයින් අපිට අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ හිතෝපදේශ පොතේ තුන්වන පරිච්ඡේදය මේ ප්‍රශ්නවලට උත්තර සපයනවා.
ප්‍රේමනීය කරුණාව සහ සත්‍යවාදිකම විදහාපෙන්වීම
පුරාණ ඉශ්රායෙලයේ විසූ සාලමොන් රජ හිතෝපදේශ තුන්වන පරිච්ඡේදය ආරම්භ කරන්නේ මෙම වදන් සමඟිනි: “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.” (හිතෝපදේශ 3:1, 2) සාලමොන් මෙම වදන් ලිව්වේ දෙවිගේ ආනුභාවයෙන් නිසා, පියෙකුගෙන් ලැබෙනවා හා සමාන මෙම උපදෙස් පැමිණෙන්නේ යෙහෝවා දෙවිගෙනි. ඒවා සපයන්නේ අපිටයි. බයිබලයේ වාර්තා කර තිබෙන දෙවිගේ නීති, ඉගැන්වීම් හා ආඥා ඇතුළත් ඔහුගේ සිහිගැන්වීම්වලට ඇලී සිටින්න කියා මෙහිදී අපිට උපදෙස් දෙනවා. අපි එම උපදේශය පිළිපදිනවා නම්, “දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද [අපිට වැඩි වෙන්න යනවා].” ඔව්, අද පවා අපිට පුළුවන් සාමකාමී ජීවිතයක් ගත කරමින්, නපුර පස්සේ දුවන මිනිසුන් අද්දකින අකල් මරණවලට ගොදුරු වීමට මඟ පාදන ක්‍රියාවලින් වැළකී සිටින්න. ඒ විතරක් නොවෙයි, සාමකාමී නව ලොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තුළ ප්‍රීති වෙන්නත් අපිට පුළුවන්.—හිතෝපදේශ 1:24-31; 2:21, 22.
සාලමොන් තවදුරටත් මෙසේ පවසනවා: “[ප්‍රේමනීය, NW] කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න, නුඹේ සිත [හෘදය, NW] නමැති පුවරුවේ ඒවා ලියාගන්න. එවිට නුඹ [දෙවිගේ] මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.”—හිතෝපදේශ 3:3, 4.
මුල් භාෂාවේ “ප්‍රේමනීය කරුණාව” සඳහා යොදාගත් වචනය “පක්ෂපාත ප්‍රේමය” ලෙසද පරිවර්තනය කළ හැකි අතර, එයින් විශ්වාසකම, එක්සත්කම හා පක්ෂපාතකම යනාදිය අදහස් වෙනවා. මුහුණ දීමට සිදු වන තත්වයන් මොනවා වුණත්, යෙහෝවා සමඟ තිබෙන සමීප සබඳතාව අත් නොහැරීමට අපි අදිටන් කරගෙන සිටිනවාද? අපි සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රේමනීය කරුණාව විදහාපෙන්වනවාද? ඔවුන්ට සමීප වීමට අපි වෑයම් කරනවාද? අපි ඔවුන් සමඟ එදිනෙදා කටයුතු කරන විට, අසීරු තත්වයන්වලදී පවා ‘අපේ දිව ප්‍රේමනීය කරුණාව නමැති ව්‍යවස්ථාවට’ එකඟව හසුරුවනවාද?—හිතෝපදේශ 31:26, NW.
යෙහෝවා අධිකතර ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණ නිසා ‘කමා වෙන්ට සූදානම්ව සිටිනවා.’ (ගීතාවලිය 86:5) අපි අතීතයේ සිදු කළ පාපවලට පසුතැවිලි වී, කෙළින් මාවත්වල ගමන් කරනවා නම්, යෙහෝවාගෙන් “සැනසිලි කාලයන්” ලැබෙන බව අපිට සහතික කර තිබෙනවා. (ක්‍රියා 3:19, 20) අනිත් අයගේ වැරදිවලට සමාව දීම මගින් අපේ දෙවිව අපි අනුකරණය කළ යුතු නැද්ද?—මතෙව් 6:14, 15.
යෙහෝවා “සැබෑකමේ [දෙවිය].” එනිසා, තමා සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීමට වෑයම් කරන අයගෙන් “සත්‍යවාදිකම” ඔහු බලාපොරොත්තු වෙනවා. (ගීතාවලිය 31:5) ක්‍රිස්තියානි සහෝදරයන් අතරේ සිටින විට එක විදිහකටත්, ඔවුන් නැති තැන වෙනත් විදිහකටත් හැසිරෙමින්, තමන්ගේ සැබෑ ස්වරූපය සඟවන “බොරුකාර මිනිසුන්” වගේ අපි දෙබිඩි ජීවිතයක් ගත කරනවා නම්, යෙහෝවා අපේ මිතුරා වෙයි කියා අපිට සිතන්න පුළුවන්ද? (ගීතාවලිය 26:4) යෙහෝවාගේ “ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී [තිබෙන]” නිසා, එසේ හැසිරීම මොනතරම් අනුවණකමක්ද!—හෙබ්‍රෙව් 4:13.
ප්‍රේමනීය කරුණාව සහ සත්‍යවාදිකම ‘දෙවිගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාව’ ලබාගැනීමට අපිට උපකාරවත් වන නිසා, ඒවා ‘ගෙල වටේ බඳින’ අමිල මාලයක් වැනි අනර්ඝ යමක් සේ සැලකිය යුතුයි. අපි මෙම ගුණාංග පිටතින් විදහාපෙන්වනවා පමණක් නොව, නමුත් ඒවා අපේ පෞද්ගලිකත්වය හා බැඳී පවතින අංගයක් ලෙස ‘අපේ හදවත නමැති පුවරුවේ’ කොටාගැනීමත් අවශ්‍යයි.
යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් වර්ධනය කරගන්න
නැණවත් රජ තවදුරටත් මෙසේ පවසනවා: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න. එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.
යෙහෝවා අපේ පූර්ණ විශ්වාසය ලැබීමට වටිනවා. මැවුම්කරු වශයෙන් ඔහුට ‘මහත් බලයක්’ තිබෙන අතර, ඔහු ‘ශක්තියේ’ උල්පතයි. (යෙසායා 40:26, 29) තමා අරමුණු කර තිබෙන සෑම දෙයක්ම ඉටු කිරීමේ හැකියාව ඔහු සතුයි. “ඔහු සිදුවීමට සලස්වයි; අවශ්‍ය තත්වයට පත්වෙයි” යන ඔහුගේ නමේ තේරුමෙන්ම එය පැහැදිලියි. ඔහු පොරොන්දු කර තිබෙන දේවල් ඉටු කිරීමට ඔහුට තිබෙන හැකියාව කෙරෙහි අපේ විශ්වාසය එමගින් ගොඩනඟනවා. ‘දෙවිට බොරු කිව නොහැක.’ එනිසා ඔහු සත්‍යය පිළිබඳ පරමාදර්ශයයි. (හෙබ්‍රෙව් 6:18) ඔහුගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමයයි. (1 යොහන් 4:8) ඔහු “ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය [පක්ෂපාතය, NW].” (ගීතාවලිය 145:17) අපිට දෙවි කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි නම්, විශ්වාස කරන්න පුළුවන් කාවද? යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් ගොඩනඟාගන්න නම්, අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අපේ පෞද්ගලික ජීවිතයට ආදාළ කරගෙන, එයින් අද්දකින යහපත් ප්‍රතිඵල ගැන මෙනෙහි කිරීමෙන් ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගැනීම’ අවශ්‍යයි.—ගීතාවලිය 34:8.
‘අපේ සියලු මාර්ගවලදී යෙහෝවාව සලකන්න’ පුළුවන් කොහොමද? “ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි” කියා ගීතිකාකරු දේවානුභාවයෙන් පැවසුවා. (ගීතාවලිය 77:12) දෙවි අදෘශ්‍යමාන නිසා ඔහු සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීම සඳහා ඔහුගේ බලවත් ක්‍රියා ගැනත් ඔහුගේ සෙනඟ සමඟ ඔහු කටයුතු කරන ආකාරය ගැනත් මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි.
යෙහෝවාව සැලකිල්ලට ගන්න තවත් වැදගත් මාර්ගයක් වන්නේ යාච්ඤාවයි. දාවිත් රජ “දවස මුළුල්ලේම” යෙහෝවාට යාච්ඤා කළා. (ගීතාවලිය 86:3) දාවිත් පාළුකරයේ පලායන්නෙකුව සිටි කාලයේදී රාත්‍රිය මුළුල්ලේම යෙහෝවාට නිතර යාච්ඤා කළා. (ගීතාවලිය 63:6, 7) “සියලු කාලවලදී [ආත්මය] කරණකොටගෙන යාච්ඤාකරන්න” කියා ප්‍රේරිත පාවුල් උනන්දු කළා. (එපීස 6:18) අපි දවසට කී වරක් යාච්ඤා කරනවාද? පෞද්ගලිකවම යෙහෝවා සමඟ හදපත්ලෙන්ම අදහස් හුවමාරු කරගැනීම අපි ප්‍රීතියක් ලෙස සලකනවාද? අපි ඉතා දුෂ්කර තත්වයන්වලට මුහුණ දෙන විට උපකාරය පතා ඔහුට කන්නලව් කරනවාද? වැදගත් තීරණ ගන්න කලින් අපි යාච්ඤාපූර්වකව ඔහුගේ මඟ පෙන්වීම සොයනවාද? අපි යෙහෝවාට කරන අවංක යාච්ඤා මගින් අපි ඔහුගේ ආදරයට පාත්‍ර වෙනවා. ඔහු අපේ යාච්ඤාවලට සවන් දී ‘අපේ මාවත් සමතලා කරන’ බවට නිසැක විශ්වාසයක් අපිට තිබෙනවා.
අපේ පූර්ණ විශ්වාසය යෙහෝවා කෙරෙහි තැබිය හැකි අවස්ථාවල ‘අපේම නුවණෙහි පිහිටා’ කටයුතු කිරීම හෝ ලෝකයේ ප්රමුඛ පුද්ගලයන් මත රඳා සිටීම මොනතරම් අනුවණකමක්ද! “නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න” කියා සාලමොන් පවසනවා. ඊට වෙනස්ව, ඔහු මෙසේ උපදෙස් සපයනවා: “[යෙහෝවා] කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.” (හිතෝපදේශ 3:7, 8) දෙවිව අසතුටු කිරීම සඳහා තිබෙන සුවදායී බිය මගින් අපේ සියලුම ක්‍රියා, සිතුවිලි හා හැඟීම් පාලනය විය යුතුයි. එවන් ගෞරවනීය බියක් මගින් වැරදි දේවල් කිරීමෙන් අපිව වළක්වන අතර, ආත්මික සුවය හා ප්රබෝධය ගෙන දෙනවා.
යෙහෝවා වෙනුවෙන් ඔබේ උපරිමය කරන්න
අපිට යෙහෝවාට ළං විය හැකි තවත් මාර්ගයක් තිබේද? “නුඹේ සම්පතින්ද [නුඹ සතු වටිනා දේවලින්ද, NW] නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද [යෙහෝවාට] ගෞරව කරන්න” කියා රජ උපදෙස් සපයනවා. (හිතෝපදේශ 3:9) යෙහෝවාව ගෞරවයට පත් කිරීම යනුවෙන් අදහස් කරන්නේ ඔහුව ප්‍රශංසාවට ලක් කිරීමයි. එය කළ හැක්කේ ඔහුගේ නාමය ජනයාට ප්‍රකාශ කිරීමේ වැඩයට හවුල් වීමෙන් හා ඊට සහයෝගය දැක්වීමෙනුයි. මෙසේ යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා යොදාගත හැකි වටිනා දේවල් අතර අප සතු කාලය, හැකියාවන්, ශක්තිය හා ද්‍රව්‍යමය දේවල් තිබෙනවා. මේවා ප්‍රථම ඵල, එනම් අපට දිය හැකි උපරිමය විය යුතුයි. අපේ පෞද්ගලික සම්පත් යොදාගන්න ආකාරයෙන් ‘ඔහුගේ රාජ්‍යය හා ධර්මිෂ්ඨකම දිගටම සෙවීමට’ අපි ගෙන තිබෙන අධිෂ්ඨානය පැහැදිලි විය යුතු නැද්ද?—මතෙව් 6:33.
අප සතු වටිනා දේවලින් යෙහෝවාව ගෞරවයට පත් කරද්දී, ඊට යහපත් විපාක ලැබෙනවා. “එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය” කියා සාලමොන් සහතික කරනවා. (හිතෝපදේශ 3:10) ආත්මික සෞභාග්‍යය මගින් ද්‍රව්‍යමය සෞභාග්‍යයක් ඇති නොකළත්, යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා අපේ සම්පත් නොමසුරුව යෙදවීමෙන් මහඟු ආශීර්වාද අත් වෙනවා. දෙවිගේ කැමැත්ත කිරීම යේසු සැලකුවේ ජීවිතය රැක දෙන “කෑම” හැටියටයි. (යොහන් 4:34) ඒ හා සමානව, යෙහෝවාව ගෞරවයට පත් කරන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි හවුල් වීමෙන් අපි අපව ආත්මිකව පෝෂණය කරගන්නවා. අපි අත්නෑර දිගටම එම වැඩයෙහි හවුල් වෙනවා නම් අපේ ආත්මික ගබඩා පිරී ඉතිරී යාවි. අලුත් මුද්‍රිකපානයෙන් සංකේතවත් කරන අපේ ප්‍රීතිය උතුරා යාවි.
සෑම දවසකම ප්‍රමාණවත් ආහාර සපයාගැනීමේදී අපි යෙහෝවාගේ උපකාරය පතමින් ඔහුට යාච්ඤා කරන්නේ නැද්ද? (මතෙව් 6:11) ඇත්තෙන්ම, අපි සතු හැම දෙයක්ම පැමිණෙන්නේ අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාගෙනුයි. අපි සතු වටිනා දේවල් යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා අපි යොදාගන්නා තරමට ඔහු අපිට වැඩි වැඩියෙන් ආශීර්වාද කරන්න යනවා.—1 කොරින්ති 4:7.
යෙහෝවාගෙන් ලැබෙන හික්මවීම පිළිගන්න
යෙහෝවා සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීමේදී හික්මවීමේ තිබෙන වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉශ්රායෙල්හි රජ අපිට මෙසේ අවවාද කරනවා: ‘මාගේ පුත්‍රය, යෙහෝවාගේ තරවටු කිරීම [හික්මවීම, NW] සුළු කොට නොසිතන්න; ඔහුගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් යෙහෝවා තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන්නේය.’—හිතෝපදේශ 3:11, 12.
කෙසේවෙතත්, හික්මවීම පිළිගැනීම අපිට පහසු දෙයක් නොවිය හැකියි. “කිසි දඬුවමක් [හික්මවීමක්, NW] ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (හෙබ්‍රෙව් 12:11) තරවටුව සහ හික්මවීම, අප යෙහෝවාට වඩාත් සමීප වීමේදී ලබන පුහුණුවේ වැදගත් අංගයක් වෙනවා. අපිට යෙහෝවාගෙන් ලැබෙන නිවැරදි කිරීම ලැබෙන්නේ දෙමාපියන්ගෙන් හෝ වේවා, ක්‍රිස්තියානි සභාව මගින් හෝ වේවා, අපේ පෞද්ගලික අධ්‍යයනයේදී ශුද්ධ ලියවිලි මත මෙනෙහි කිරීමේදී හෝ වේවා, එය අප සඳහා ඔහුගේ ප්‍රේමයේ ප්‍රකාශයක් වෙනවා. නැණවත් දෙය වන්නේ එය පිළිගැනීමයි.
ප්‍රඥාව සහ විචාර බුද්ධිය තදින් අල්ලාගන්න
ඊළඟට සාලමොන් අවධාරණය කරන්නේ දෙවි සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමේදී ප්‍රඥාවේ හා විචාර බුද්ධියේ තිබෙන වැදගත්කමයි. ඔහු මෙසේ පවසනවා: “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය [විචාර බුද්ධිය, NW] ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවත්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. . . . ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.”—හිතෝපදේශ 3:13-18.
යෙහෝවාගේ මවිතකර මැවිල්ලෙහි දක්නට තිබෙන ප්‍රඥාව හා විචාර බුද්ධිය අපිට සිහිගන්වමින් සාලමොන් රජ මෙසේ සඳහන් කරනවා: ‘යෙහෝවා ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබුවේය. ඥානය [විචාර බුද්ධිය, NW] කරණකොටගෙන අහස පිහිටෙව්වේය . . . මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥනයද සිහියද තබාගන්න; එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.’—හිතෝපදේශ 3:19-22.
ප්‍රඥාව සහ විචාර බුද්ධිය දිව්‍යමය ගුණාංග වෙනවා. අපි මෙම ගුණාංග වර්ධනය කරගැනීම පමණක් නොව, ඒවා තදින් අල්ලාගෙන සිටීමත් අවශ්‍යයි. මේ සඳහා අපි ශුද්ධ ලියවිලි කඩිසර ලෙස අධ්‍යයනය කිරීම හා ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීම අතපසු නොකළ යුතුයි. “එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය” කියා සාලමොන් පවසනවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා: “නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.”—හිතෝපදේශ 3:23, 24.
සාතන්ගේ දුෂ්ට ලෝකය මත සොරෙකු මෙන් පැමිණෙන ‘හදිසි විනාශය’ බලා සිටින අතරේදී, අපිට සුවසේ ගමන් කළ හැකියි. මනසේ සාමය ඇතුව නිදාගත හැකියි. (1 තෙසලෝනික 5:2, 3; 1 යොහන් 5:19) ළඟදීම පැමිණෙන මහත් පීඩාවේදී පවා අපිට මෙම සහතිකය ඇතුව සිටින්න පුළුවන්: “හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න. මක්නිසාද [යෙහෝවා] නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස [ආරක්ෂා කරන්නේය].”—හිතෝපදේශ 3:25, 26; මතෙව් 24:21.
යහපත කරන්න
“කරුණාව පෙන්වන්ට [යහපත කරන්න, NW] නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න” කියා සාලමොන් අවවාද කරනවා. (හිතෝපදේශ 3:27) අනුන්ගේ ශුභසිද්ධිය උදෙසා අප සතු සම්පත් නොමසුරුව යෙදවීම අනුන්ට යහපත කිරීමට අයත් වන අතර, මෙයට අදාළ වන පැති බොහොමයක් තිබෙනවා. මේ ‘අන්තිම කාලයේදී’ අනුන් වෙනුවෙන් අපිට කළ හැකි යහපත්ම දෙය වන්නේ සැබෑ දෙවි සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාර කිරීම නොවේද? (දානියෙල් 12:4) රාජ්‍ය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි ජ්වලිතව නිරත විය යුතු කාලය මෙයයි.—මතෙව් 28:19, 20.
නැණවත් රජ මෙසේ පවසමින් වැළකී සිටිය යුතු දේවල් කිහිපයක් සඳහන් කරනවා: “නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න. නුඹේ අසල්වාසියා නුඹ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න. මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමග පොරට නොයන්න. බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.”—හිතෝපදේශ 3:28-31.
එම උපදේශයට හේතුව කැටි කොට දක්වමින් සාලමොන් මෙසේ පවසනවා: “මක්නිසාද වංක තැනැත්තා [යෙහෝවාට] පිළිකුලක්ය. නුමුත් [ඔහුගේ] මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. [යෙහෝවාගේ] ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට [ඔහු ආශීර්වාද කරන්නේය]. නින්දාකරන්නන්ට සැබවින්ම [ඔහු නින්දා කරන්නේය]. යටහතුන්ට නම් කරුණාව [දෙන්නේය]. ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.”—හිතෝපදේශ 3:32-35.
අපි යෙහෝවා සමඟ සමීප සබඳතාවක් පවත්වාගැනීමට නම්, කූට හා හානිකර උපාය මාර්ගයන් සැලසුම් කිරීමෙන් වැළකී සිටිය යුතුයි. (හිතෝපදේශ 6:16-19) අපිට දෙවිගේ අනුග්‍රහය හා ආශීර්වාද ලැබෙන්නේ අපි ඔහුගේ ඇස් ඉදිරියෙහි හරි දෙය කරනවා නම් පමණයි. අපි දිව්‍ය ප්‍රඥාවට එකඟව කටයුතු කරනවා අනිත් අය දකින විට අපිට ඉබේම ගෞරවය ලැබෙනවා. එනිසා, අපි මේ දුෂ්ට සහසික ලෝකයේ කූට මාර්ග ප්‍රතික්ෂේප කරමු. අපි අවංක ක්‍රියාමාර්ගයක් ලුහුබඳිමින් යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගනිමු!
[25වන පිටුවේ පින්තූර]
‘ඔබ සතු වටිනා දේවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න’