සදාකාල රජාණන්ට ප්‍රශංසා කරන්න!
“යෙහෝවඃවහන්සේ අනන්ත කාලයට, එසේය සදාකාලයටම රජාණෝය.”—ගීතාවලිය 10:16, NW.
1. සදාකාලය සම්බන්ධයෙන් ඉස්මතු වන ප්‍රශ්න කවරේද?
සදාකාලය—ඔබ සිතන හැටියට ඒ කුමක්ද? කාලයට සැබවින්ම සදහටම දිව යා හැකි බව ඔබ සිතන්නෙහිද? හොඳයි, කාලය අනාදිමත් අන්දමකින් අතීතයට දිව යන බවට කිසිදු සැකයක් නැත. එසේනම්, අනාගතයටත් සදාකාලය දිව නොයා යුත්තේ මන්ද? ඇත්තෙන්ම, “අනන්ත කාලයකින් අනන්ත කාලයක් දක්වා” දෙවියන්වහන්සේ ප්‍රශංසාවට ලක් වන බව නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලයෙහි දක්වයි. (ගීතාවලිය 41:13) මෙම යෙදුමෙහි තේරුම කුමක්ද? අප මේ හා සම්බන්ධ විෂයක්—එනම් අවකාශය—වෙත යොමු වනවා නම්, ඇතැම්විට එය තේරුම්ගැනීමට අපට උපකාර ලැබිය හැක.
2, 3. (අ) සදාකාලය අගය කිරීමට අපට උපකාර කරන්නේ අවකාශය හා සම්බන්ධ කුමන ප්‍රශ්නද? (ආ) සදාකාල රජාණන්ට නමස්කාර කිරීමට අපට වුවමනා විය යුත්තේ මන්ද?
2 අවකාශය කෙතරම් දුරට ව්‍යාප්ත වේද? එයට යම් සීමාවක් තිබේද? මීට වසර 400කට පෙර වන තෙක්, අපේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය වූ බවට සලකන ලදි. අනතුරුව ගැලීලියෝ දූරේක්ෂය නිපදවූ අතර, අහස් තළය වඩාත් පුළුල් අන්දමකින් නිරීක්ෂණය කිරීමට ඉන් මං සැලසිණ. තවත් තරු රැසක් දැකගැනීමට හැකි වූ ගැලීලියෝට, පෘථිවිය හා වෙනත් ග්‍රහයන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව පෙන්වීමට හැකි විය. ක්ෂීර පථය තවදුරටත් කිරි පාටින් දිස් වූයේ නැත. එය තරු බිලියන සියයක සංඛ්‍යාවකින් යුත් මන්දාකිණියක් බව ප්රත්යක්ෂ විය. මුළු ජීවිත කාලයකදී පවා, එතරම් තරු ප්‍රමාණයක් ගණන් කිරීමට ඇත්තටම අපට කිසිවිටකත් නොහැකි වනු ඇත. පසුව, තාරකා ශාස්ත්‍රඥයෝ මන්දාකිණි බිලියන ගණනක් සොයාගත්හ. ප්රබලතම දූරේක්ෂවලින් දැකිය හැකි තරමට, මේවා අවකාශය තුළ අසීමිත ලෙස විහිදී තිබේ. අවකාශයට සීමා නැති බව පෙනේ. සදාකාලය සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි—එයට සීමා නැත.
3 සදාකාලය පිළිබඳ සංකල්පය අපේ සීමා සහිත මිනිස් මොළවල තේරුම්ගැනීමේ ශක්තිය අබිබවා යන බව පෙනේ. කෙසේවෙතත්, එය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්නා යමෙක් සිටී. මන්දාකිණි බිලියන ගණනාවක තිබෙන අසීමිත තරු ප්‍රකෝටි සංඛ්‍යාව ගණන් කිරීමට, එසේය නම් කිරීමට පවා උන්වහන්සේට හැක! මේ තැනැන්වහන්සේ මෙසේ පවසනසේක: “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලාපල්ලා, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ. පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසාලා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.” (යෙසායා 40:26, 28) මොනතරම් මහානුභාවසම්පන්න දෙවිකෙනෙක්ද! අපට නමස්කාර කිරීමට වුවමනා විය යුතු දෙවියන්වහන්සේ උන්වහන්සේ බවට කිසිදු සැකයක් නැත!
‘අනන්ත කාලයට රජාණෝ’
4. (අ) සදාකාල රජාණන් සඳහා දාවිත් අගය ප්‍රකාශ කළේ කෙසේද? (ආ) විශ්වයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු නිගමනය කළේ කුමක්ද?
4 “යෙහෝවඃවහන්සේ අනන්ත කාලයට, එසේය සදාකාලයටම රජාණෝ” බව ගීතාවලිය 10:16හි, මැවුම්කාර දෙවියන්වහන්සේ ගැන දාවිත් පවසයි. තවද ගීතාවලිය 29:10හි නැවතත් ඔහු මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් [අනන්ත කාලයට, NW] වැඩහිඳිනසේක.” එසේය, යෙහෝවඃවහන්සේ සදාකාල රජාණෝ වනසේක! තවදුරටත්, අවකාශයෙහි අප දකින සියල්ලෙහි නිර්මාතෘ මෙන්ම සෑදුම්කරු මෙම උත්කෘෂ්ට රජාණන් බව දාවිත් ගීතාවලිය 19:1හි මෙසේ පවසමින් සාක්ෂිදරයි: “අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.” අවුරුදු 2,700කට පමණ පසුව, සුප්‍රසිද්ධ විද්‍යාඥ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්, දාවිත්ට එකඟ වෙමින් මෙසේ ලීවේය: “සූර්යයන්, ග්‍රහලෝක හා වල්ගා තරුවලින් යුත් විශිෂ්ට වූ මෙම පද්ධතිය පැමිණිය හැක්කේ, ඥානාලෝකවත් වූ බලසම්පන්න තැනැත්තෙකුගේ අරමුණ හා පරමාධිපත්‍යය තුළින් පමණි.”
5. ප්‍රඥාවේ ප්රභවය සම්බන්ධයෙන් යෙසායා හා පාවුල් ලීවේ කුමක්ද?
5 බොහෝ ඉඩ කඩ ඇති ‘ස්වර්ගයේද එසේය, ස්වර්ගවල ස්වර්ගයේද, දරන්ට ඉඩ මදි’ වන, පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃවහන්සේ සදාකාලයටම ජීවත් වන බව දැනගැනීම අප තුළ මොනතරම් නිහතමානිකමක් ඇති කළ යුතුද! (1 රාජාවලිය 8:27) යෙසායා 45:18හි “ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා” එය සෑදූ තැනැන්වහන්සේ ලෙස විස්තර කර තිබෙන යෙහෝවඃවහන්සේ, මැරෙනසුලු මිනිසාට ග්‍රහණය කරන්ට බැරි තරම් පුළුල් වූ ප්‍රඥාවේ ප්රභවය වනසේක. පළමුවන කොරින්ති 1:19හි කැපීපෙනෙන්ට සලස්වා ඇති පරිදි, යෙහෝවඃවහන්සේ මෙසේ පැවසූසේක: “මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමි.” මෙයට ප්‍රේරිත පාවුල් 1 කොරි 1:20වන පදයෙහි මේ කාරණය එකතු කළේය: “ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?” එසේය 1 කොරි 3වන පරිච්ඡේදයෙහි 19වන පදයෙහි පාවුල් පැවසූ පරිදි, “මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය.”
6. “අනන්ත කාලය” සම්බන්ධයෙන් දේශනාකාරයා 3:11හි අඟවා තිබෙන්නේ කුමක්ද?
6 සාලමොන් රජු මෙසේ යොමු දැක්වූ මැවිල්ලට ස්වර්ගික වස්තු ඇතුළත්ය: “[දෙවියන්වහන්සේ] සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ [සදාකාලයද] [අනන්ත කාලයද, NW] ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.” (දේශනාකාරයා 3:11) සැබවින්ම, “අනන්ත කාලය” එනම් සදාකාලය යන්නෙහි අර්ථය සොයා බැලීමට වෑයම් කිරීම මිනිසාගේ හෘදයෙහි පැළපදියම් කොට තිබේ. එහෙත් එවන් දැනුමක් අත් කරගැනීමට ඔහුට කවදා හෝ හැකි වේවිද?
පුදුමය දනවන ජීවන අපේක්ෂාවක්
7, 8. (අ) මිනිස්වර්ගයා සඳහා ඉදිරියෙහි තිබෙන්නේ කවර මහිමාන්විත අපේක්ෂාවද, තවද එය අත් කරගත හැක්කේ කෙසේද? (ආ) දිව්‍ය අධ්‍යාපනය සදහටම පවතිනු ඇති බවට වූ කාරණය සම්බන්ධයෙන් අප ප්‍රීතිමත් විය යුත්තේ මන්ද?
7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෙහෝවඃවහන්සේට යාච්ඤා කරද්දී මෙසේ පැවසූසේක: “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ, එනම් එකම සැබෑ දෙවියන් වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) අපට එවන් දැනුමක් අත් කරගත හැක්කේ කෙසේද? දේවවචනය වන ශුද්ධ බයිබලය අධ්‍යයනය කිරීම අපට අවශ්‍යය. මෙනයින්, දෙවියන්වහන්සේගේ උදාර අරමුණු පිළිබඳ ඒකාන්ත දැනුම ලබාගැනීමට අපට හැකි වන අතර, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීම සඳහා ස්වකීය පුත්‍රයා තුළින් කරන ලද සැපයුමද මීට ඇතුළත්ය. පළමුවන තිමෝති 6:19හි සඳහන් “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” එයයි. “අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්රා[ය] [අරමුණ, NW]” ලෙස එපීස 3:10හි විස්තර කරන දෙයට එය අනුකූල වනු ඇත.
8 එසේය, දිව්‍ය අධ්‍යාපනය හා යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීම තුළින් පව්කාර මිනිසුන් වන අපට සදාකාල ජීවනය අත් කරගත හැකිය. මෙම අධ්‍යාපනය කොපමණ කල් පවතීද? මිනිස්වර්ගයා අපේ මැවුම්කරුගේ ප්‍රඥාව සම්බන්ධයෙන් ප්රගතිශීලී ලෙස උපදෙස් ලබන අතර, එය සදාකාලයටම පවතින්නේය. යෙහෝවඃවහන්සේගේ ප්‍රඥාවට සීමා නැත. මෙය පිළිගනිමින්, ප්‍රේරිත පාවුල් මෙසේ ප්‍රකාශ කළේය: “අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!” (රෝම 11:33) ඇත්තෙන්ම, 1 තිමෝති 1:17, NWහි යෙහෝවඃවහන්සේට “සදාකාල රජාණන්” කියා ඇමතීම මොනතරම් යෝග්‍යද!
යෙහෝවඃවහන්සේගේ නිර්මාණශීලී ප්‍රඥාව
9, 10. (අ) මිනිස්වර්ගයාට ස්වකීය තිළිණය වශයෙන් පොළොව සූදානම් කරද්දී, යෙහෝවඃවහන්සේ සිදු කළ උදාර ක්‍රියා කවරේද? (ආ) යෙහෝවඃවහන්සේගේ විශිෂ්ට ප්‍රඥාව ස්වකීය මැවිලි තුළ විදහාපෙන්වනු ලබන්නේ කෙසේද? (කොටුව බලන්න.)
9 මිනිසුන් වන අපට සදාකාල රජාණන් සපයා තිබෙන විශිෂ්ට උරුමය සලකා බලන්න. ගීතාවලිය 115:16 අපට මෙසේ පවසයි: “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.” එය විශ්වාසයෙන් භාර දී තිබෙන පුදුමාකාර දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද? සහතික වශයෙන්ම! අපේ නිවහන හැටියට පොළොව සූදානම් කරද්දී, අපේ මැවුම්කරුවාණන් දැක්වූ කැපීපෙනෙන දූරදර්ශීභාවය අපි කෙතරම් අගය කරන්නෙමුද!—ගීතාවලිය 107:8.
10 උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ සඳහන්, මැවීමේ “දවස්” හයේදී, පුදුමාකාර දේවල් මිහිපිට සිදු විය, ඊට සම්බන්ධ එක් එක් දවස අවුරුදු දහස් ගණනක් දක්වා විහිද ගියේය. අන්තිමේදී දෙවියන්වහන්සේගේ මෙම මැවිලි හේතුකොටගෙන මුළු පොළොවම අලංකාර වනාන්තර, වර්ණවත් මල් හා හරිත වර්ණයෙන් යුත් තණ ඇතිරිල්ලකින් වැසී යනු ඇත. එය “ඒ ඒ වර්ගලෙස” බෝවන, නානාවිධ මුහුදු ජීවීන් රැසකින්ද, පියාසර කරන අලංකාර කුරුලු රංචුවලින්ද, විවිධාකාර හීලෑ සතුන් හා වනසතුන් රැසකින්ද ගහනව පවතිනවා ඇත. පුරුෂයා හා ස්ත්‍රිය මැවීම පිළිබඳ විස්තරයෙන් පසු, උත්පත්ති 1:31 මෙසේ විස්තර කරයි: “දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.” ඒ පළමු මිනිසුන් වටා තිබුණේ මොනතරම් රමණීය පරිසරයක්ද! මේ මැවිලි සියල්ල තුළ ප්‍රේමනීය මැවුම්කරුවෙකුගේ ප්‍රඥාව, දූරදර්ශීභාවය හා සැලකිල්ල අපට අවබෝධ වන්නේ නැද්ද?—යෙසායා 45:11, 12, 18.
11. සාලමොන් යෙහෝවඃවහන්සේගේ නිර්මාණාත්මක ප්‍රඥාව ප්‍රශංසාවට ලක් කළේ කෙසේද?
11 සදාකාල රජාණන්ගේ ප්‍රඥාව ගැන පුදුමයට පත් වූ කෙනෙකි, සාලමොන්. ඔහු මැවුම්කරුගේ ප්‍රඥාවට නැවත නැවත අවධානය යොමු කළේය. (හිතෝපදේශ 1:1, 2; 2:1, 6; 3:13-18) “පොළොව සෑම කල්ම [අනන්ත කාලයටම, NW] පවතින්නේය,” කියා සාලමොන් අපට සහතික කරයි. අපේ පොළොවට නැවුම්බවක් ගෙන දීමට වැහි වලාකුළු කරන කොටස ඇතුළුව, මැවීමෙහි පුදුමයන් බොහොමයක් හෙතෙම අගය කළේය. එබැවින්, ඔහු මෙසේ ලීවේය: “සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.” (දේශනාකාරයා 1:4, 7) මෙසේ, වැසි මෙන්ම ගංගා මගින් පොළොවට නැවුම්බවක් ගෙන දීමෙන් පසු, එහි ජලය සාගරයට ගොස් නැවතත් වළාකුළුවලට ඇදගනු ලැබේ. ජලය මෙලෙස පිරිසිදු කිරීමකට හා පුනර්චක්රීයකරණයකට භාජන වූයේ නැත්නම්, මේ පොළොවේ තත්වය මෙන්ම අපේ තත්වය කෙබඳු එකක් වනු ඇද්ද?
12, 13. දෙවියන්වහන්සේගේ මැවිලි සඳහා අපට අගය පෙන්විය හැක්කේ කෙසේද?
12 සාලමොන් රජු දේශනාකාරයා පොත නිමා කරද්දී සඳහන් කළාක් මෙන්, මැවීමේ සමතුලිතතාව පිළිබඳ අපේ අගය, ක්‍රියාවලින් අනුබල ලැබිය යුතුය: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.” (දේශනාකාරයා 12:13, 14) දෙවියන්වහන්සේව අසතුටු කරවන ඕනෑම දෙයක් කිරීමට අප භය විය යුතුය. ඒ වෙනුවට, ගෞරවාන්විත බියකින් උන්වහන්සේට කීකරු වීම සඳහා අප වෑයම් කළ යුතුය.
13 සදාකාල රජාණන්ගේ තේජාන්විත මැවීමේ ක්‍රියා සඳහා උන්වහන්සේට ප්‍රශංසා කිරීමට අප තුළ ආශාවක් තිබිය යුතු බවට සහතිකය! ගීතාවලිය 104:24 මෙසේ ප්‍රකාශ කරයි: “ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” මෙම ගීතිකාවේ අවසාන පදයට ගීතා 104:35 අනුකූලව, “මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්” කියා අපටත් අනුන්ටත් පවසමින්, අපි ප්‍රීතියෙන් යුක්තව ඊට දායක වෙමු!
විශිෂ්ටතම භූමික මැවිල්ල
14. දෙවියන්වහන්සේ මැවූ මිනිසා සතුන්ට වඩා බෙහෙවින් උත්කෘෂ්ට වන්නේ කවර ආකාරවලින්ද?
14 යෙහෝවඃවහන්සේගේ මැවිලි සියල්ලක්ම විශිෂ්ටය. එහෙත් වඩාත් කැපීපෙනෙන භූමික මැවිල්ල අපය—එනම් මිනිස්වර්ගයාය. යෙහෝවඃවහන්සේගේ හයවන මැවීමේ දවස උච්චාවස්ථාවකට පමුණුවමින්, ආදම්ද ඉන් අනතුරුව ඒවද ජනිත කරන ලදි—ඒ මැවිල්ල මසුන්, පක්ෂීන් හා සතුන්ට වඩා බෙහෙවින් උසස්ය. මේ ජීවීන් බොහොමයකට සහජාස ඥානයක් තිබුණත්, තර්ක කර කාරණා සලකා බැලීමේ ශක්තිය, හරි වැරැද්ද නිශ්චය කළ හැකි හෘදය සාක්ෂියක්, අනාගතය සඳහා සැලසුම් කිරීමට හැකියාව හා නමස්කාර කිරීම සඳහා සහජ ආශාවක් මිනිස්වර්ගයාට දානය කර තිබේ. මේ සියල්ල සිදු වූයේ කෙසේද? තිරිසනුන්ගෙන් පරිණාමය වනවා වෙනුවට, මිනිසාව දෙවියන්වහන්සේගේ ස්වරූපයට අනුව මවන ලදි. එබැවින්, “ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්” හැටියට තමාව විස්තර කළ, අපේ මැවුම්කරුවාණන්ගේ ගුණාංග පිළිබිඹු කිරීමට හැක්කේ මිනිසාට පමණි.—නික්මයාම 34:6.
15. අප නිහතමානී ලෙස යෙහෝවඃවහන්සේ පැසසුමට ලක් කළ යුත්තේ මන්ද?
15 අපේ ශරීරවල පුදුමාකාර නිර්මාණය සම්බන්ධයෙන් අපි යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරමින් ස්තුති පුදමු. ජීවත්වීමට අත්‍යවශ්‍ය වන, අපේ රුධිර ධාරාව සෑම තත්පර 60කට වරක්ම ශරීරය පුරා ගමන් කරයි. ද්විතීය කථාව 12:23 ප්‍රකාශ කරන පරිදි, “ලේ ප්‍රාණයය”—අපේ ජීවිතය වේ—එය දෙවියන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝ දෙයකි. ශක්තිමත් අස්ථි, නම්‍යසුලු පේශි හා වහා ප්‍රතිචාරය දක්වන ස්නායු පද්ධතියක් යන සියල්ල අබිබවා යන්නේ, ඕනෑම සත්ව මොළයකට වඩා උත්කෘෂ්ට වන්නාවූද, ඉතා උස් ගොඩනැඟිල්ලකට පවා දරාගත නොහැකි වූද පරිගණකයක ධාරිතාව ඇති මොළයක් තිබීමය. මෙය ඔබ තුළ නිහතමානිකමක් ඇති කරන්නේ නැද්ද? එසේ ඇති කළ යුතුය. (හිතෝපදේශ 22:4) ඇරත් මෙයද සලකා බලන්න: අපේ පෙණහලු, ස්වරාලය, දිව, දත් හා මුඛය එකිනෙක කෙරෙහි බලපවත්වමින්, භාෂා දහස් ගණනක් අතුරින්, ඕනෑම භාෂාවකින් කතා කිරීමට මිනිසාට අවකාශ සලසයි. දාවිත් මෙසේ පවසමින් යෙහෝවඃවහන්සේට යෝග්‍ය ගීතිකාවක් ගැයීය: “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” (ගීතාවලිය 139:14) අපේ මහිමාන්විත නිර්මාතෘ මෙන්ම දෙවි වන යෙහෝවඃවහන්සේට ස්තුතිපූර්වකව ප්‍රශංසාව පිරිනැමීමේදී අපි දාවිත් හා එක්වෙමු!
16. යෙහෝවඃවහන්සේට ප්‍රශංසා පිරිනැමීමේ අටියෙන් සුප්‍රසිද්ධ සංගීතඥයෙකු රචනා කළේ කවර ගීතයද, එමෙන්ම කුමන බලපවත්වන ඇරයුමට අප ප්‍රතිචාරය දැක්විය යුතුද?
16 යෝසෙෆ් හයිඩන් විසින් රචිත 18වන සියවසේ ශුද්ධ ධර්ම සංගීත කෘතියක ඔපෙරා පෙළ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා පමුණුවමින් මෙසේ ප්‍රකාශ කරයි: “මහිමාන්විත වූ ස්වකීය කර්මාන්තයෝ, උන්වහන්සේට තුති පුද කරත්වා! උන්වහන්සේගේ කීර්තිය ගැන ගායනා කරන්න, උන්වහන්සේගේ ගෞරවය ගැන ගායනා කරන්න, උන්වහන්සේගේ නාමයට ආශීර්වාද කරන්න, එය මහිමයට පත් කරන්න! යෙහෝවඃවහන්සේගේ ප්‍රශංසා සදාකල් පවතීවා, ආමෙන් ආමෙන්!” හරියටම 107වන ගීතිකාවේ සිව් වතාවක් ඉදිරිපත් කරන ලද මතු ඇරයුම මෙන්, ගීතාවලියේ 107: 8, 15, 21, 31 පුන පුනා කියන දේවානුභාවය ලත් ප්‍රකාශයන් ඊටත් වඩා අලංකාරය: “ස්වාමීන්ගේ යහපත්කම [ප්‍රේමනීය කරුණාව, NW] හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.” ඔබ ඒ ප්‍රශංසා ගායනයට එකතු වන්නෙහිද? ඔබ එසේ කළ යුතුය, මන්දයත් සැබවින්ම ප්‍රියමනාප වූ සෑම දෙයකම මූලාශ්‍රය සදාකාල රජාණන් වන යෙහෝවඃවහන්සේ වන බැවිනි.
ඊටත් වඩා බලසම්පන්න ක්‍රියා
17. ‘මෝසෙස්ගේද බැටළුපැටවාණන්ගේද ගීතිකාව’ යෙහෝවඃවහන්සේව පැසසුමට ලක් කරන්නේ කෙසේද?
17 පසුගිය අවුරුදු හයදහස තුළ, සදාකාල රජාණන් ඊටත් වඩා බලසම්පන්න ක්‍රියා සඳහා මූලික පියවර ගෙන ඇත. බයිබලයේ අවසාන පොතේ, එළිදරව් 15:3, 4හි භූතමය සතුරන්ට එරෙහිව ජය අත් කරගෙන තිබෙන ස්වර්ගයේ ඇතමුන් ගැන අපි මෙසේ කියවන්නෙමු: “ඔව්හු දෙවියන් වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ [සදාකාල, NW] රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.” මෙයට ‘මෝසෙස්ගේද බැටළුපැටවාණන්ගේද ගීතිකාව’ කියා පවසන්නේ මන්ද? අපි බලමු.
18. නික්මයාම 15වන පරිච්ඡේදයේ සිහි කරවා ඇත්තේ කවර බලසම්පන්න ක්‍රියාවද?
18 අවුරුදු 3,500කට පමණ පෙර, ඵාරාවෝගේ බලසම්පන්න හමුදාව රතු මුහුදේදී මරණය අද්දුටු විට, ඉශ්රායෙල්වරු ස්තුතිපූර්වකව යෙහෝවඃවහන්සේට ගීයක් ගායනා කරමින් ප්‍රශංසා කළෝය. නික්මයාම 15:1, 18හි අපට මෙසේ කියවීමට තිබේ: “එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගායනාකරමින් මෙසේ කීවෝය: මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක. ස්වාමීන්වහන්සේ සදාකල්ම රජකම් කරනසේක.” ස්වකීය පරමාධිපත්‍යයට විරෝධය පෑ සතුරන් විනිශ්චය කොට විනාශ කිරීමේදී, මෙම සදාකාල රජාණන්ගේ ධර්මිෂ්ඨ නියමයන් මොනවට පැහැදිලි විය.
19, 20. (අ) යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජාතිය බිහි කළේ මන්ද? (ආ) බැටළුපැටවාණන් මෙන්ම වෙනත් අයද සාතන්ගේ අභියෝගයට පිළිතුරු දී තිබෙන්නේ කෙසේද?
19 මෙය අවශ්‍ය යමක් බවට පත් වූයේ මන්ද? කපටි සර්පයා අපේ පළමු දෙමාපියන් පාපයට යොමු කළේ ඒදන් උයනේදීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු මිනිස්වර්ගයාටම පව්කාර අසම්පූර්ණත්වය උරුම විය. කෙසේවෙතත්, සදාකාල රජාණන්, ස්වකීය මුල් අරමුණට එකඟව ක්ෂණික පියවර ගත් අතර, පොළෝ තලයෙන් ස්වකීය සතුරන් සියලුදෙනා තුරන් කිරීමටත් පාරාදීසමය තත්වයන් යළි පිහිටුවීමටත් ඉන් මං සැලසෙනු ඇත. ඉශ්රායෙල් ජාතිය පිහිටෙවූ සදාකාල රජාණෝ, මෙය ඉටු කරන අන්දම පූර්වාදර්ශනය කිරීමට ස්වකීය ව්‍යවස්ථාව සැපයූසේක.—ගලාති 3:24.
20 කෙසේවෙතත්, කල් යත්ම, ඉශ්රායෙල්ම අවිශ්වාසවන්තකම තුළට ගිලී ගියේය, තවද එහි නායකයන් කෲර වධ හිංසා හා මරණය විඳීමට, දෙවියන්වහන්සේගේ ඒක-ජාතක පුත්‍රයා රෝමවරුන්ට පාවා දුන් විට මෙම දුක්ඛදායක තත්වය එහි උච්චාවස්ථාවට පැමිණියේය. (ක්‍රියා 10:39; පිලිප්පි 2:8) කෙසේවෙතත්, පූජනීය වූ ‘දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්’ වශයෙන් මරණය දක්වා යේසුස්වහන්සේ දැක්වූ අඛණ්ඩතාව, ප්‍රබල පරීක්ෂා යටතේ මිහිපිට කිසිම මිනිසෙකු දෙවියන්වහන්සේට විශ්වාසවන්තකම රකින්නේ නැති බවට වූ, දෙවියන්වහන්සේගේ පුරාණ එදිරිවාදියා වන සාතන්ගේ අභියෝගය මනා ලෙස නිෂ්ප්‍රභ කළේය. (යොහන් 1:29, 36; යෝබ් 1:9-12; 27:5) ආදම්ගෙන් අසම්පූර්ණකම උරුම කරගත්තද, දේවභයැති වෙනත් මිනිසුන් මිලියන ගණනක් සාතන්ගේ ප්‍රහාර හමුවේ අඛණ්ඩතාව රැකගැනීමෙන්, යේසුස්වහන්සේගේ අඩිපාර අනුගමනය කර ඇත්තාහ.—1 පේතෘස් 1:18, 19; 2:19, 21.
21. ක්‍රියා 17:29-31ට එකඟව, ඊළඟට සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද?
21 එම විශ්වාසවන්ත අයට විපාක දීමටත්, සැබෑකමටත් ධර්මිෂ්ඨකමටත් සතුරන් වන සියලුදෙනා විනිශ්චය කිරීමටත්, යෙහෝවඃවහන්සේට දැන් දවස පැමිණ තිබේ. (ක්‍රියා 17:29-31) මෙය සිදුවනු ඇත්තේ කෙසේද? අපේ මීළඟ ලිපිය මෙය සාකච්ඡා කරයි.
පුනරීක්ෂණ කොටුව
◻ සුදුසු ලෙස යෙහෝවඃවහන්සේට ‘සදාකාල රජාණන්’ කියා අමතා තිබෙන්නේ මන්ද?
◻ යෙහෝවඃවහන්සේගේ ප්‍රඥාව ස්වකීය මැවිලි තුළ විදහාපෙන්වා තිබෙන්නේ කෙසේද?
◻ මිනිස්වර්ගයා, මැවීමේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන්නේ කවර ආකාරවලින්ද?
◻ ‘මෝසෙස්ගේද බැටළුපැටවාණන්ගේද ගීතිකාව’ ගැයීමට හේතු පාදක වන්නේ කවර ක්‍රියාද?
[12වන පිටුවේ කොටුව]
යෙහෝවඃවහන්සේගේ විශිෂ්ට ප්‍රඥාව
සදාකාල රජාණන්ගේ ප්‍රඥාව නානාවිධ ආකාරවලින් මිහිපිට ස්වකීය කර්මාන්තයන්හි පිළිබිඹු වේ. ආගුර්ගේ වදන් සැලකිල්ලට ගන්න: “දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.” (හිතෝපදේශ 30:5) ඊළඟට දෙවියන්වහන්සේගේ ලොකු කුඩා ජීවමාන මැවිලි කිහිපයකට ආගුර් යොමු දක්වයි. උදාහරණයක් වශයෙන්, 24 සිට 28වන පද දක්වා ඔහු, ‘පොළොවෙහි ඇති’ “කුඩා නුමුත් ඉතා [සහජාසයෙන්, NW] ඥානවත්වූ ජාති සතරක්” විස්තර කරයි. එනම්, කුහුඹුවා, බෙන්හාවා, පළඟැටියා හා හූනාය.
‘සහජාසයෙන් ඥානවත්’—එසේය, එම සතුන්ව සාදා තිබෙන්නේ ඒ අන්දමිනි. මිනිසුන් කරන්නාක් මෙන් උන් දේවල් විමසා බලන්නේ නැතුව, සහජ ප්‍රඥාව මත රඳා සිටිත්. ඔබ කවදා හෝ මේ ගැන පුදුම වී ඇද්ද? උන් මොනතරම් පිළිවෙළකට ක්‍රියා කරන මැවිලි වෙත්ද? නිදසුනක් වශයෙන්, රැජින, වැඩකරුවන් හා පිරිමි සතුන් ඇතුළත් ප්‍රජාවලට කුහුඹුවෝ සංවිධානය වී සිටිත්. ඇතැම් විශේෂවල, වැඩකාර කුහුඹුවෝ කූඩිත්තන් එක්රැස් කොට, තමුන් තනාගත් කොටුවලට පවා පෙරටු කරගෙන යති. එහිදී උන් කූඩිත්තන්ගෙන් කිරි දොවන අතර හමුදා කුහුඹුවෝ, ආක්‍රමණය කරන සතුරන් එළවා දමති. හිතෝපදේශ 6:6හි මෙම අවවාදය දී තිබේ: “අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙයන්න.” “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා” පැවතීමට, අප වැනි මිනිසුන්ට මෙවන් ආදර්ශ පෙලඹීමක් විය යුතු නැද්ද?—1 කොරින්ති 15:58.
මිනිසා දැවැන්ත අහස් යානා තනා ඇත. එහෙත් ග්‍රෑම් 30කටත් වඩා අඩු බරකින් යුත් ගුමන කුරුල්ලා ඇතුළුව, පක්ෂීන් ඊටත් වඩා කෙතරම් බහුශෘත වේද! සාගරයක් හරහා යෑමට බොයිං 747 යානයකට ඉන්ධන ලීටර් 1,80,000ක් අවශ්‍ය වේ, තවද එය පුහුණුව ලැබූ නාවික පිරිසක් විසින් ක්‍රියාත්මක කළ යුතු අතර, සංකීර්ණ අහස් තරණ පද්ධති උපයෝගි කරගත යුතුය. එහෙත් උතුරු අමෙරිකාව සිට, මෙක්සිකානු බොක්ක හරහා දකුණු අමෙරිකාව දක්වා යෑමට, කුඩා ගුමන කුරුල්ලෙක් රඳා සිටින්නේ මේද ඉන්ධන ග්‍රෑමයක් මත පමණි. විශාල ඉන්ධන තොගයක්, අහස් තරණයට පුහුණුව, සංකීර්ණ සිතියම් නැතහොත් පරිගණක කිසිවක් අවශ්‍ය නැත! මෙම හැකියාව ලැබුණේ පරිණාමයේ අහඹු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්ද? කිසිසේත් නැත! සහජාසයෙන් ඥානවන්ත වන මෙම කුඩා කුරුල්ලා, උගේ මැවුම්කරු වන යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් ක්‍රමලේඛන කොට තිබේ.
[10වන පිටුවේ පින්තූරය]
‘සදාකාල රජාණන්ගේ’ නානාවිධ මැවිලි ස්වකීය ගෞරවය පැසසුමට ලක් කරයි
[15වන පිටුවේ පින්තූරය]
රතු මුහුදේදී මෝසෙස් මෙන්ම මුළු ඉශ්‍රායෙල්ද යෙහෝවඃවහන්සේගේ ජයග්‍රහණය ගැන අතිශයින් සතුටු වූවාක් මෙන්, අර්මගෙදොනින් පසු ඉමහත් ප්‍රීති සන්තෝෂ වීමක් තිබෙනු ඇත.