යෞවන අය අසති . . .
මගේ හොඳම යාළුවා පදිංචිය මාරු කළේ ඇයි?
‘ඔයාගේ හොඳම යාළුවා ඔයාව දාල ගිහිල්ලා වගෙයි.’ කෙනෙක්, ටිකක් දුකින් නැත්නම් කලකිරිලා වගේ ඉන්න කොට මිනිස්සු එහෙම කියනවා. එහෙත් ඔබට ඔබේ හොඳම යාළුවාව ඇත්තෙන්ම නැති වූ විට, ඒකේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
මොනවා කිව්වත්, සැබෑ මිත්‍රත්වය කියන්නේ, විශේෂ සහ වටිනා යමක්. බයිබලය මෙහෙම කියනවා: “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.” (හිතෝපදේශ 17:17) හොඳ මිතුරෝ අපට ආශ්‍රය සහ මිත්‍රත්වය සපයයි. චිත්තවේගීයව සහ ආත්මිකව වැඩෙන්ට ඔවුන් අපට උපකාර කරයි. සාමාන්‍ය හෝ හඳුනන මිතුරෝ කොච්චර සිටියත්, ඇත්තෙන්ම විශ්වාසය තැබිය හැකි මෙන්ම, අපගේ රහස් කිව හැකි අය සාමාන්‍යයෙන් හරිම විරලයි.
ඉතින්, ඔබේ හොඳම මිතුරා පදිංචිය මාරු කර ගිහින් නම්, ඔබහට ඇති විය හැකි බලාපොරොත්තු සුන් වූ ගතිය තේරුම්ගත හැකියි. තම හොඳම යාළුවා පදිංචිය මාරු කර ගිය විට තමන්ට හැඟුණු ආකාරය මතක් කරමින් බ්‍රයන් කියන තරුණයා මෙහෙම කියනවා. “මට භයක්, තනිකමක් වගේම මාව රිදවන ගතියක් දැනුණා.” සමහරවිට, ඔබටත් ඒ විදිහටම හැඟෙනවා ඇති.
යථාර්ථයට මුහුණ දීම
ඔබේ මිතුරා පදිංචිය මාරු කිරීමට හේතු ගැන කල්පනා කර බැලීම, උපකාරවත් විය හැකියි. ස්ථිරවම එය ඔබේ මිතුදමේ අගය අඩු කොට තක්සේරු කළ නිසා නොවෙයි. පදිංචිය මාරු කිරීම, නූතන ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. සෑම වසරකම එක්සත් ජනපදයේ විතරක්, තමන්ගේ පදිංචිය මාරු කරන සංඛ්‍යාව මිලියන 36කට වැඩියි! එක්සත් ජනපද සංගණන මණ්ඩලයට අනුව, තමන්ගේ ජීවිත කාලය පුරා සාමාන්‍ය අමෙරිකානුවෙක් 12 වතාවක් තමන්ගේ පදිංචිය මාරු කරයි.
මෙපමණ පදිංචිය මාරු කිරීම් ඇයි? හේතු විවිධාකාරයි. බොහෝ පවුල් වඩා හොඳ ගෙවල් හෝ රැකියා ලබාගැනීමට මාරු වෙනවා. දියුණු වන දේශවල, යුද්ධය සහ දිළිඳුභාවය නිසා මිලියන ගණන් පවුල්වලට ප්‍රදේශ අතහැර යෑමට සිදු වී තිබෙනවා. එමෙන්ම යෞවනයන් තරුණ වැඩිහිටියන් බවට පත් වන විට, බොහෝදෙනෙක් තනිව ජීවත්වීමට ස්ථාන මාරු කරනවා. සමහරු විවාහ වෙන්නත් ගෙදර අත්හැර යනවා. (උත්පත්ති 2:24) එහෙත් අන් අය ආත්මික ක්‍රියාකාරකම් ලුහුබැඳීම සඳහා වෙනත් ප්‍රදේශවලට මාරු වී ගොස් සිටින්න පුළුවන්. (මතෙව් 19:29) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතරින් බොහෝදෙනෙකු තමන්ගේ සැපපහසු සහ හුරුපුරුදු වටපිටාව අතහැර ක්‍රිස්තියානි දේවගැතියන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල, විදේශවල පවා සේවය කිරීමට යනවා. සමහරක් තමන් උපන් රටේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩය අධීක්ෂණය පහසු කරවන ස්ථානයේ සේවය කිරීම හෙවත් බෙතෙල්හි සේවය කිරීම සඳහා පදිංචිය වෙනස් කරනවා. ඔව්, අපි අපේ මිතුරන්ට ආදරය කළත්, අප එය සැලකිය යුත්තේ, කාලයක් යන විට වෙනස් විය හැකි ජීවිතයේ අංගයක් ලෙසයි.
ඔබේ මිතුරා පදිංචිය අතහැර යන්ට හේතුව කුමක් වුවත්, ඒ පාළුවෙන් ගොඩ එන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරාවි. ටිකක් තනිකමක් වගේම කලකිරුණු ස්වභාවයක් ඇතුව ඉන්න එක ස්වභාවික වුණත්, ගෙදෙට්ට වෙලා දුක සේ බලාගත්තු අතේ බලාගෙන ඉඳීමෙන්, දේවල් කොහෙත්ම යථා තත්වයට පත් වෙන්න යන්නේ නැහැ කියලා ඔබට පෙනී යනවා ඇති. (හිතෝපදේශ 18:1) එබැවින් අපිට උපකාර විය හැකි සමහර දේවල් සලකා බලමු.
අදහස් හුවමාරුව පවත්වාගන්න
“ඔබේ මිත්‍රත්වය අවසන් වී නැති බව වටහාගන්න” කියා තරුණ බ්‍රයන් උපදෙස් දුන්නා. ඔව්, ඔබේ හොඳම මිතුරාගේ පදිංචිය මාරු කිරීම ස්ථිරවම ඔබගේ සම්බන්ධකමේ වෙනස්කම් සිදු කළත්, ඔබේ මිත්‍රත්වය අවසන් කළ යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. නහඹරයන්ගේ උපදේශකයෙකු වන වෛද්‍ය රෝස්මරී වයිට් මෙසේ පැවසුවා: “අහිමි වීම, ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී වුව දැරීමට අපහසු එකක්; ඒත් ඒ සමඟ සාර්ථකව කටයුතු කිරීමට නම්, එය ජීවිතයට බලපෑ වෙනසක් ලෙස මිස, වැසුණු දොරක් ලෙස නොසිතිය යුතුයි.”
මිත්‍රත්වයේ දොර පියන් ඇර තැබීමට ඔබට කුමක් කළ හැකිද? දාවිත් සහ යොනාතාන් සම්බන්ධ බයිබල් වාර්තාව සලකා බලන්න. සැලකිය යුතු වයස් පරතරයක් තිබුණත්, මිතුරන් අතරින් ඔවුන් කිට්ටුම මිතුරන් වුණා. තම රටින් පලායෑමට තත්වයන් දාවිත්ට බල කර සිටි විටදී, වචනයක්වත් නොදොඩා ඔවුන් වෙන්ව ගියේ නැහැ. ඊට වෙනස්ව, ඔවුන්ගේ අමරණීය මිත්‍රත්වය, දිගටම පවත්වාගැනීම සඳහා ගිවිසුමකට නැතහොත් එකඟත්වයකට පවා පැමිණියා.—1 සාමුවෙල් 20:42
සමානව, ඔබේ මිතුරා හෝ මිතුරිය වෙන් වී යන්ට කලින් ඔහු හෝ ඇය සමඟ කතා කළ හැකියි. මිත්‍රත්වය ඔබට කොපමණ වටිනවාද, කතා බහ විවෘතව තබාගන්ට ඔබට කොපමණ වුවමනාද යන වග ඔබේ මිතුරාට දැනගන්ට සලස්වන්න. දැන් කිලෝමීටර් 8,000ක් පමණ ගොඩ බිමෙන් සහ මුහුදෙන් දුරස්ව සිටින, හොඳම මිතුරන් දෙදෙනෙක් වූ පැටී සහ මෙලීනා කළේද හරියටම ඒ දෙයයි. “අපගේ සම්බන්ධකම් දිගටම පවත්වාගන්න අපි සැලසුම් කළා” පැටී පැහැදිලි කළා. කෙසේවෙතත්, ඔබ ස්ථිර විධිවිධාන නොයෙදුවොත්, මෙවැනි සැලසුම් කැඩී බිඳී යා හැකියි.—ආමොස් 3:3, සසඳන්න.
ප්‍රේරිත යොහන් තම මිතුරා වූ ගායස්ව දකින්ට නොලැබුණු බැවින් ‘තීන්තෙන් හා පිහාට්ටෙන්’ අදහස් හුවමාරුව පවත්වාගත් බව බයිබලය අපිට කියයි. (3 යොහන් 13) සමහරවිට සතියකට හෝ මාසයකට වතාවක්, නිතිපතා එකිනෙකාට කාඩ්පතක් හෝ ලිපියක් ලිවීමට එකඟ විය හැකියි. දිගු දුරකථන ඇමතුම් බිලක් ලැබීම ඔබේ දෙමව්පියන්ට එතරම් ප්‍රශ්නයක් නැත්නම්, විටින් විට එකිනෙකාව දුරකථනයෙන් අමතා ජීවිතයේ ආගිය තොරතුරු ගැන කතා කිරීමටද හැකියි. එහෙමත් නැත්නම් එකිනෙකා වෙනුවෙන් පටිගත කළ පණිවුඩ ඇති ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය කැසට් පටද යැවිය හැකියි. ඉදිරියේදී, සති අන්ත බැහැදැකීමක් හෝ එකට නිවාඩුවක් ගත කිරීමට සැලසුම් පවා යෙදිය හැකියි. එවිට මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙයි.
හිස්කම පිරවීම
ඒ කොහොමවුවත්, හොඳම මිතුරාගේ පිටවීම ඔබේ ජීවිතයේ හිස්බවක් ඇති කරවනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට බොහෝ කාලයක් ඉතිරිව ඇති බව සොයාගත හැකියි. දැං ඉතිං කාලය නිකම්ම අපතේ යෑමට ඉඩ දෙන්න එපා. (එපීස 5:16) යම් ඵලදායී දෙයක් කරන්ට ඒක පාවිච්චි කරන්න; සමහරවිට සංගීත භාණ්ඩයක් වැයීමට ඉගෙනගන්න, අලුත් භාෂාවක් පුහුණු වෙන්න එහෙමත් නැත්නම් විනෝදාංශයක නියැලෙන්න. කාලය ඵලදායී ලෙස පාවිච්චි කිරීමට තවත් ක්‍රමයක් නම් අවශ්‍යතාව ඇති අය වෙනුවෙන් දේවල් කිරීමයි. ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, ප්‍රසිද්ධ දේශනා වැඩයෙහි හවුල් වීම වැඩි කරගත හැකියි. (මතෙව් 24:14) නැතහොත් ඔබේ උනන්දුවට හේතු වන විෂයක් ගැන පෞද්ගලිකව පාඩම් කිරීමට පටන්ගත හැකියි.
තවදුරටත්, ප්‍රේරිත පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ, “විශාලවෙන්න”—එනම් ඔවුන්ගේ මිතුරු කැලට අන් අයවත් ඇතුළත් කරගන්නා ලෙසයි. (2 කොරින්ති 6:13) සමහරවිට, තව මිත්‍රත්වයන් ඇති කරගැනීමට හැකියාවන් තියෙද්දීත් එය නොසලකා එකම මිත්‍රයෙකු වෙනුවෙන් වැඩි කාලයක් ගත කර තිබුණා විය හැකියි. තමන්ගේ ප්‍රාදේශීය සභාව තුළම මිත්‍රත්වයන් ආරම්භ කිරීමට ප්‍රස්තා බහුලව තිබෙන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාර යෞවනයන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා සභා රැස්වීම්වලට වේලාසනින් පැමිණෙන්ටත් අවසන් වී ටික වේලාවක් රැඳී සිටින්ටත් උත්සාහ කරන්න. මෙය අන් අයව දැනහඳුනා ගැනීමට වැඩි වේලාවක් ලබා දෙයි. ක්‍රිස්තියානි සමුළු සහ කුඩා සමාජ එක්රැස්වීම් අලුත් මිතුරන් ඇති කරගැනීමට තවත් මං උදා කරයි.
කෙසේවෙතත්, මෙන්න ඔබින අවවාදයක්: ඔබගේ ආත්මික ඉලක්ක සහ සාරධර්ම පවත්වන්නේ නැති අය එක්ක මිත්‍රත්වයන් ඇති කරගන්ට ඉක්මන් වෙන්න එපා. එවන් අය ඔබට අහිතකර විදිහට බලපෑ හැකි අතර, යහපතක් සිදු වෙනවාට වඩා අයහපතක් සිදු විය හැකියි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) යහපත් හැසිරීම සම්බන්ධව හොඳ නමක් ඇති ආත්මික මනසක් ඇති යෞවනයන් සමඟ විතරක් ආශ්‍රය කරන්න.
එවැනි කෙනෙකු හමු වූ විට, මිත්‍රත්වය අරඹා, එකට යමක් කිරීමට සැලසුම් කරන්න. එකට ආහාරයක් ගන්න. කෞතුකාගාරයක් බලන්න යන්න. එකට ඇවිදින්න යන්න. දේවරාජ්‍යයේ ශුභාරංචිය සමඟින් මනුෂ්‍යයන්ව හමුවීම සඳහා ක්‍රිස්තියානි සේවය තුළ දවසක් ගත කිරීමට විධිවිධාන යොදන්න. ගත කරන කාලයත් වෑයමත් සමඟ, අලුත් මිත්‍රත්වය ගොඩනැඟෙයි. ක්‍රිස්තියානි ප්‍රේමය පුළුල් වනසුලු නිසා, අන් අයවත් ඊට ඇතුල් කරගැනීම සඳහා එය විශාල වෙයි; ඔබ අලුත් මිතුරන්ව ඇති කරගන්නා විට, ඔබේ පරණ මිතුරාට අපක්ෂපාතී වේයයි හැඟීමට අවශ්‍යතාවක් නැහැ.
ඔබට වැඩියෙන්ම ප්‍රේම කරන අයට—එනම් ඔබේ දෙමව්පියන්ට කිට්ටු වීමට ප්‍රස්තාව අල්ලාගන්ටත් හැකියි. ඔවුන් සමඟ එකට සිටීම මුලින්ම නුහුරු නුපුරුදු දෙයක් ලෙස පෙනුණත්, ඔවුන් මහත් උපකාරයක් විය හැකියි. ජොෂ් නම් යෞවනයා මෙහෙම කියනවා: “ඒ දවස්වල මම අම්මටයි තාත්තටයි, කිට්ටු වෙලා හිටියේ නැති හින්දා ඒගොල්ලො එක්ක ආශ්‍රය කරන්න මට මාවම බල කරවන්න සිද්ධ වුණා. ඒත් දැන් ඒගොල්ලො මගේ හොඳම යාළුවෝ!”
ඔබට තවමත් ස්වර්ගයේ මිතුරෙකු සිටින බවත් අමතක කරන්න එපා. දහතුන් වියැති ඩෑන් කියන විදිහට, “ඔයා ඇත්තටම තනි වෙලා නැහැ, මොකද කිව්වොත්, ඔයාට තවමත් යෙහෝවඃවහන්සේ ඉන්නවානේ.” අපගේ ස්වර්ගික පියාණන්ගෙන් ඕනෑම වේලාවක යාච්ඤාව තුළින් උපකාර පැතිය හැකියි. ඔබ උන්වහන්සේ මත විශ්වාසය තැබුවොත්, මෙම දුෂ්කර තත්වයට උර දීමට උන්වහන්සේ ඔබට උපකාර කරයි.—ගීතාවලිය 55:22
ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න
ප්‍රඥාවන්ත සාලමොන් රජු මෙම උපදේශය දුන්නේය: “පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න.” (දේශනාකාරයා 7:10) වෙනත් වචනවලින් කියතොත්, අතීතයේ එල්බගෙන ඉන්නේ නැතුව වර්තමානයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැන් වයස අවුරුදු විසි ගණන්වල මුල් කාලය ගෙවන බිල්, තම හොඳම මිතුරා නැති වූ විට කළේද හරියටම ඒ දෙයයි. ඔහු මතකයට නැඟුවේ මෙහෙමයි: “කාලයාගේ ඇවෑමෙන් මම අලුත් යාළුවන් ඇති කරගන්න පටන්ගත්ත හින්දා, අතීතයට වෙලා කාලෙ ගත කළේ නෑ. අනාගතයට සූදානම් වෙමින් වර්තමානයේ ජීවත් වෙන්න වෑයම් කළා.”
මෙම යෝජනා උපකාරි විය හැකි වුවත්, ඔබේ හොඳම මිතුරාගේ වෙන් වී යෑම කනගාටුදායක සිදුවීමක්. එකට භුක්තිවින්දාවූ ඒ සුන්දර මතකයන් සිහියට නැඟීම වේදනාවක් ගෙන දීමට හේතුවක් නොවීමට යම් කාලයක් ගත වේවි. වෙනස කියන්නේ ජීවිතයේ කොටසක් විතරයි. එය ඔබට මේරු කෙනෙක් වීමට සහ වර්ධනය වීමට මඟ පාදන බව මතක තබාගන්න. විශේෂ මිතුරෙකුගේ තැන ගන්න කවුරුත් ඉන්න බව කොහෙත්ම නොපෙනුණත්, ‘යෙහෝවඃවහන්සේ ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව සිටීම’ සඳහා අවශ්‍ය කරවන ගුණාංග ඔබට දියුණු කරගනිමින් සිටින්ට පුළුවනි. (1 සාමුවෙල් 2:26) ඔබ එසේ කරන විට, ඔබේ මිතුරායයි අමතන්ට කොයිවෙලේත් කෙනෙක් සිටියි!
[15වන පිටුවේ පින්තූරය]
හොඳම මිතුරාට ආයුබෝවන් කීම වේදනාකාරි අද්දැකීමකි