දිගින් දිගට ම දැනුමෙන් වර්ධනය වන්න
“ඔබගේ ඇදහිල්ලට දැනුම සපයා ගන්න”—2 පේතෘස් 1:5.
1, 2. (අ) අහස දෙස බැලීමෙන් ඔබට කුමක් ගැන ඉගෙන ගත හැකි ද? (රෝම 1:20) (ආ) දැනුම සම්බන්ධයෙන් මිනිසාගේ වර්ධනයේ නියම තරම කුමක් ද?
පැහැදිලි අඳුරු රාත්‍රියක පිටතට ගොස් දීප්තිමත් චන්ද්‍රයා සහ අසංඛ්‍යාත තරු දෙස ඔබ බලා සිටියහොත් ඔබට ඉන් උගත හැක්කේ කුමක් ද? මේ සියල්ල මැවූ තැනැන් වහන්සේ ගැන යමක් ඔබට උගත හැකි ය.—ගීතාවලිය 19:1-6; 69:34.
2 එම දැනුම වැඩි කර ගන්නට ඔබට වුවමනා වූවා නම්, ඔබගේ නිවසේ වහලට නැඟ එහි සිට ඔබ බලන්නට යනවා ද? සමහර විට එසේ නොවේ. විද්‍යාඥයන් විසින් විශ්වය පිළිබඳ දැනුම ඇත්තට ම බොහෝ සෙයින් වර්ධනය කර ගෙන නැති බවත්, එය මැවූ තැනැන් වහන්සේ ගැන සහතික වශයෙන් ම දන්නේ ඉතා ස්වල්පයක් බවත් ඒත්තුගැන්වීමට වරෙක ඇල්බට් අයින්ස්ටයින්, එවැනි උපහැරණයක් යොදා ගත්තේ ය.aආචාර්ය. ලුවිස් ටොමස් ලීවේ මෙසේ ය: “විද්‍යාත්මක අතින් වඩාත් ඵලදායී වූ මෙම සියවසේ විද්‍යාවේ එක ම ශ්‍රේෂ්ඨතම අත්කර ගැනීම නම්, අප බෙහෙවින් නොදැනුවත්කමින් පෙළෙන බව සොයා ගැනීමයි; අප ස්වභාව ධර්මය ගැන දන්නේ ඉතා ස්වල්පයක් පමණි, අපට ඒවා වැටහෙන්නේ වඩාත් අඩුවෙනි.”
3. දැනුම වැඩි කිරීම වේදනාව වැඩි කරවන්නේ කිනම් අර්ථයෙන් ද?
3 ඔබ ඔබගේ ජීවිතයේ මුළු ඉතිරි කාලය ම එවැනි දැනුම සොයමින් ගත කළ ද, ජීවිතය මොනතරම් කෙටි එකක් ද කියා ඔබ වඩාත් දැන ගනු ඇති අතර, මිනිසාගේ දැනුමේ භාවිතයත්, අසම්පූර්ණත්වයත් එමෙන් ම මේ ලෝකයේ ‘ඇද සහිත බවින්’ සීමා වී ඇති බවත් ඔබ වඩාත් පැහැදිලි ව දකිනු ඇත. සාලමොන් මෙසේ ලියන විට මෙම කරුණ ගෙන හැර දැක්වූයේ ය: “බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකරගන්නා ශෝකය වැඩිකරගන්නේය.” (දේශනාකාරයා 1:15, 18) එසේ ය, දෙවියන් වහන්සේගේ අරමුණුවල යම් පමණක හෝ සම්බන්ධයක් නැති දැනුම හා ප්‍රඥාව ලබා ගැනීම සාමාන්‍යයෙන් වේදනාව හා ශෝකය ගෙන දෙයි.—දේශනාකාරයා 1:13, 14; 12:12; 1 තිමෝති 6:20.
4. අපට ලබා ගැනීමට වුවමනා විය යුත්තේ කිනම් දැනුම ද?
4 බයිබලය නිර්දේශ කරන්නේ අප විසින් දැනුම වැඩි කර ගැනීම ගැන උනන්දු නොවිය යුතු ය කියා ද? ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේ ය: “එහෙත් [නැත NW] අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ [ලබන්ට නොවටිනා තරම් වූ NW] කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙයල්ලා. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා.” (2 පේතෘස් 3:18) දැනුමෙන් වර්ධනය වන ලෙසට අප අපගෙන් උදක් ම ඉල්ලා සිටිමින්, එම අනුශාසනාව අපට අදාළ වනවා ය කියා අප පිළිගත යුතු ය. එහෙත් කුමන ආකාරයේ දැනුමක් ද? අපට එය වැඩි වර්ධනය කළ හැක්කේ කෙසේ ද? අප ඇත්තට ම එසේ කරමින් සිටිනවා ද?
5, 6. දැනුම ලබා ගැනීම අපට අවශ්‍ය ය යන කරුණ පේතෘස් විසින් කාවද්දනු ලැබුවේ කෙසේ ද?
5 විශ්වයේ මැවුම්කරුවාණන් හා යේසුස් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත දැනුම තුළ වර්ධනය වීම වනාහි පේතෘස්ගේ දෙවෙනි ලිපියේ ප්‍රධාන අදහස විය. එය ආරම්භයේ දී ඔහු ලීවේ මෙසේ ය: “දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද [ඒකාන්ත NW] දැනගැනීමෙන් අනුග්‍රහයත් [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවෙත් NW] සමාදානයත් නුඹලාට වැඩිවේවා. මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ [ඒකාන්ත NW] දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.” (2 පේතෘස් 1:2, 3) එබැවින්, ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව හා සමාදානය ලැබීම අප විසින් දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳ දැනුම ලැබීම සමඟ ඔහු සම්බන්ධ කරයි. නියම දැනුමේ මූලික කේන්ද්‍රය මැවුම්කරුවාණන් වන යෙහෝවඃ වහන්සේ වන හෙයින් එය සාධාරණ ය. දෙවියන් වහන්සේට භය වන පුද්ගලයාට කාරණා දෙස හරි විදිහට බලන්නට හැකි අතර, වලංගු නිගමනයන්ට එළැඹෙන්නට පුළුවන.—හිතෝපදේශ 1:7.
6 ඉන් පසු පේතෘස් මෙසේ උදක් ම ඉල්ලා සිටී: “එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද, දැනගැන්ම සමග පමණ දැන ක්‍රියාකිරීමද [ආත්ම දමනය ද NW], පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම දමනය NW] සමග ඉවසිල්ලද [විඳදරා ගැනීම ද NW], ඉවසිල්ල [විඳදරා ගැනීම NW] සමග දේවභක්තියද, දේවභක්තිය සමග සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමග ප්‍රේමයද සපයාගනිල්ලා. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමේ කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.” (2 පේතෘස් 1:5-8)b දැනුම ලබා ගැනීම, ලෝකයේ කිලුටුකම්වලින් බේරී සිටීමට ජනයාට උපකාර කරන බව ඊළඟ පරිච්ඡේදයෙන් අපි කියවමු. (2 පේතෘස් 2:20) පේතෘස් මෙසේ පැහැදිලි කරන්නේ, දැනටමත් යෙහෝවඃ වහන්සේට සේවය කරමින් සිටින අයට දැනුම අවශ්‍ය වන්නාක් මෙන්, ක්‍රිස්තියානින් බවට පත් වෙමින් සිටින අයට ද දැනුම අවශ්‍ය බවයි. ඔබ මෙම පංතිවලින් එකකට අයත් වී සිටින්නෙහි ද?
ඉගෙන ගන්න, නැවත ඉගෙන ගන්න, භාවිතා කරන්න
7. බොහෝ දෙනෙක් මූලික බයිබල් සත්‍යයන් පිළිබඳ ව ඒකාන්ත දැනුම ලබා ගෙන ඇත්තේ කිනම් මාර්ගයෙන් ද?
7 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පණිවුඩයේ ඇති සත්‍යතාවයේ හරය ඔබ විසින් හඳුනාගෙන තිබෙන නිසා, ඔබ ඔවුන් සමඟ බයිබල් පාඩමක් කරමින් සිටිනවා විය හැක. සතියකට වරක්, පැයක් හෝ එවැනි කාලයක් තුළ, ඔබ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක වැනි ආධාරකයක් යොදා ගනිමින් බයිබල් විෂයක් සාකච්ඡා කරන්නෙහි ය. එය කදිමයි! යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ එවැනි පාඩමක් තිබූ බොහෝ දෙනෙක් ඒකාන්ත දැනුම ලබා ගෙන තිබේ. එනමුත්, ඔබ පුද්ගලික ව ඉගෙන ගනිමින් තිබෙන ප්‍රමාණය වැඩි කිරීමට ඔබට කුමක් කළ හැකි ද? යෝජනා සමහරක් මෙන්න.c
8. පාඩමකට සූදානම් වන අතරේ දී, වඩාත් වැඩියෙන් ඉගෙන ගැනීමට ශිෂ්‍යයෙකුට කුමක් කළ හැකි ද?
8 සියල්ලට ම කලින්, එනම් ඔබ ඔබේ පාඩම සඳහා සූදානම් වන විට, පියවීමට තිබෙන කාරණා සමීක්ෂණය කරන්න. මින් අදහස් කරන්නේ, පරිච්ඡේදයේ තේමාව, උප මාතෘකා සහ කාරණා විචිත්‍රණය කිරීමට යොදා ගන්නා යම් පින්තූර දෙස බැලීමයි. ඉන් පසු, ප්රකාශනයේ ඡේදයකින් හෝ කොටසකින් ඔබ කියවනවාත් සමඟ ම, මූලික අදහස් සහ අනුබල දෙන ශුද්ධ ලියවිලි සොයා ගෙන ඒවාට යටින් ඉරි ගසන්න, නැතහොත් කැපී පෙනෙන්ට සලස්වන්න. පියවනු ලැබූ සත්‍යයන් ඔබ විසින් ඉගෙන ගත්තා ද කියා බැලීමට, විවිධ ඡේදවලට සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරන්න. මෙසේ කිරීමෙන්, පිළිතුරු ඔබගේ ම වචනවලින් සකස් කර ගැනීමට වෙර දරන්න. අවසානයේ දී, ප්‍රධාන කරුණු හා අනුබල දෙන තර්කයන් සිහියට නංවා ගැනීමට උත්සාහ කරමින් පාඩම පුනරීක්ෂණය කරන්න.
9. අධ්‍යයනය පිළිබඳ ව යෝජනා ආදාළ කර ගැනීම, ඉගෙන ගැනීමට යමෙකුට උපකාර කරනු ඇත්තේ කෙසේ ද?
9 ඔබ මෙම යෝජනා අදාළ කර ගන්නවා නම්, දැනුමෙන් වර්ධනය වීම ඔබට අපේක්ෂා කළ හැක. ඒ මන්ද? එක හේතුවක් නම්, හරියට පස සකස් කර ගන්නවාක් මෙන්, ඔබ තොරතුරු වෙතට එළැඹෙන්නට යන්නේ ඉගෙන ගැනීමට දැඩි ආශාවක් ඇතුවයි. මූලික අදහස ගෙන ඉන් පසු ප්‍රධාන කරුණු සහ තර්ක කරන ක්‍රම ගැන සලකා බැලීම මගින්, විස්තරාත්මක තොරතුරු තේමාවට හෝ අවසානයට සම්බන්ධ වන්නේ කෙසේ ද කියා ඔබ දකිනු ඇත. අවසානයේ දී කරන පුනරීක්ෂණය ඔබ අධ්‍යයනය කළ දේ මතක තබා ගැනීමට ඔබට උපකාර කරනවා ඇත. මින් පසු ව එනම්, ඔබගේ බයිබල් අධ්‍යයනය කරන අවස්ථාව ගැන කුමක් කිව හැකි ද?
10. (අ) කාරණා හෝ නව තොරුතුරු නිකම් ම යළි යළි උච්චාරණය කිරීම සීමිත අගයක් ගන්නේ ඇයි? (ආ) “ක්රමාංකික කාලාන්තර මතකයට නැගීම”ට ඇතුළත් වන්නේ කුමක් ද? (ඇ) ඊශ්‍රායෙල් දරුවන් යළි උච්චාරණය කිරීමෙන් ප්‍රයෝජන ගත්තේ කෙසේ ද?
10 අධ්‍යාපන ක්ෂේත්රයේ සිටින ප්‍රවීණයෝ කාලීන සහ අරමුණු සහිත පුනරුක්තියේ හෙවත් නැවත උච්චාරණය කිරීමේ අගය දනිති. මෙය, ඔබ පාසලේ ඉගෙන ගනිමින් සිටින විට, යම් නමක්, කාරණයක් හෝ අදහසක් කට පාඩමෙන් ඉගෙන ගත් පසු, එම වදන් නිකම් ම ගිරවෙකු මෙන් වචන උච්චාරණය කිරීමක් නොවේ. එසේ නමුත්, ඔබ කට පාඩමින් හඬ නගා කී දේ ඉක්මනින් ම අමතක වී ගිය බවක්, එය ඔබගේ මතකයෙන් සැනෙකින් අතුරුදහන් වී ගිය බවක් ඔබට දැනුනා ද? මන්ද? අලුත් වචනයක් හෝ කාරණයක් නිකම් ම ගිරවෙකු මෙන් උච්චාරණය කිරීම නීරස එකක් විය හැකි ය, ඇරත් ප්‍රතිඵල කෙටි කාලීන විය හැක. එය වෙනස් කළ හැක්කේ කුමකට ද? ඔබට ඇත්තට ම ඉගෙන ගැනීමට වුවමනා වීම මීට උපකාර වත් වනු ඇත. අනෙක් ප්‍රධාන කරුණ නම් අරමුණකින් යුතු ව යළි යළි උච්චාරණය කිරීමයි. ඔබ යම් කරුණක් ඉගෙන ගෙන විනාඩි කිහිපයකට පසු, එය ඔබගේ මතකයෙන් අතුරුදහන් වන්නට පෙර, ඔබ ඉගෙන ගත් දේ ඔබ තුළින් ම ඇද ගැනීමට උත්සාහ කරන්න. මෙය, “ක්රමාංකික කාලාන්තර මතකයට නැගීම” යනුවෙන් හඳුන්වා ඇත. ඔබගේ මතකය අතුරුදහන් වන්නට පෙර එය උද්දීපනය කිරීම මගින් ඔබ ඔබගේ මතකය දරා ගැනීමේ පරාසය දීර්ඝ කර ගන්නෙහි ය. ඊශ්‍රායෙලයේ, දේව අණපනත් තම දරුවන් තුළ කාවද්දවන්නට හෙවත් පැළ පදියම් කරන්නට පියවරුන් හට තිබුණි. (ද්විතීය කථාව 6:6, 7) “කාවැද්දවීම [inculcate]” යන්නෙහි අදහස නම්, යළි යළි උච්චාරණය කිරීම මගින් ඉගැන්වීමයි. බොහෝ විට, එම පියවරුන්ගෙන් බොහෝ දෙනෙක් පළමුවෙන් තම දරුවන් හට නීති ඉදිරිපත් කළහ; පසු ව, ඔවුහු එම තොරතුරු නැවත නැවත කියා දුන්නෝ ය; ඉන් පසු ඉගෙන ගත් දේ ගැන ඔවුහු තම දරුවන්ගෙන් ප්‍රශ්න කළහ.
11. ඉගෙන ගැනීම වැඩි කර ගැනීමට බයිබල් පාඩමක දී කුමක් කළ හැකි ද?
11 යම් සාක්ෂිකරුවෙක් ඔබ සමඟ බයිබල් පාඩමක් පවත්වමින් සිටින්නේ නම්, පාඩම් කරන කාල පරිච්ඡේදය අතරතුර යම් යම් අවස්ථාවල දී, කලින් කලට පුනරීක්ෂණයන් කිරීම මගින් ඉගෙන ගන්නට ඔහු හෝ ඈ ඔබට උපකාර කරනවා විය හැක. මෙය බාල වැඩක් නොවේ. එය ඉගෙන ගැනීම දියුණු කරන්නා වූ ශිල්පයකි, එමනිසා කලින් කලට කරන එම පුනරීක්ෂණයන්හි ප්‍රීතියෙන් හවුල් වන්න. ඉන් පසු, පාඩම අවසානයේ දී, අවසාන පුනරීක්ෂණය තුළ හවුල් වී ඔබගේ මතකයෙන් පිළිතුරු දෙන්න. ඔබ වෙනත් පුද්ගලයෙකුට උගන්වනවාක් මෙන් කාරණා ඔබගේ ම වචනවලින් පැහැදිලි කරන්නට ඔබට හැකි වෙයි. (1 පේතෘස් 3:15) මෙය, ඔබ ඉගෙන ගත් දෙය ඔබගේ දිගු කාලීන මතකයේ කොටසක් කර ගන්නට ඔබට උපකාර කරනවා ඇත.—සසඳන්න ගීතාවලිය 119:1, 2, 125; 2 පේතෘස් 3:1.
12. තම මතකය වැඩි දියුණු කර ගැනීමට ශිෂ්‍යයෙකුට ම කුමක් කළ හැකි ද?
12 ඔබ සඳහා උපකාරවත් වන දවසකින් හෝ දෙකකින් ඔබට ගත හැකි තවත් පියවරක් නම්, ඔබ ඉගෙන ගත් දේ වෙනත් කෙනෙකුට, එනම් පාසලේ ළමයෙකුට හෝ එකට වැඩ කරන කෙනෙකුට හෝ අසල් වැසියෙකුට පැවසීමයි. තේමාව සඳහන් කරන්නට ඔබට හැකි අතර, තර්ක කරන ප්‍රධාන රටාව හෝ බයිබලයෙන් අනුබල දෙන පාඨයන් මතකයට නංවා ගන්නට ඔබට හැකි ද කියා බැලීමට ඔබට වුවමනා බව පැවසිය හැක. අනෙක් පුද්ගලයාගේ උනන්දුව සැනෙකින් පුබුදුවාලීමට එයට හැක. එය එසේ නොවූවත්, එම අලුත් තොරතුරු දවසක හෝ දෙකක කාල පරිච්ඡේදයකට පසු ව යළි යළි පැවසීමේ එම ක්‍රියාවලිය, එය ඔබගේ මතකයේ ධාරණය කර ගන්නට හැකි කරවනවා ඇත. එවිට ඔබ 2 පේතෘස් 3:18 හි ඉල්ලා සිටින දේ කිරීමෙන් ඔබ එය සැබවින් ම ඉගෙන ගත්තා වෙනවා ඇත.
ක්‍රියාශීලී ලෙස ඉගෙන ගැනීම
13, 14. තොරතුරු ලබා ගැනීමට සහ මතක් කර ගැනීමට වඩා ඔබ්බට යාමට අපට වුවමනා විය යුත්තේ මන්ද?
13 ඉගෙන ගැනීම යනු, තොරතුරු උරා ගැනීම හෝ ඒවා යළි සිහිගැන්වීමට තිබෙන හැකියාව ම නොවේ. යේසුස් වහන්සේගේ දවස්වල සිටි ජනයා තම පුනරුක්ති යාච්ඤාවන් මගින් කළේ එයයි. (මතෙව් 6:5-7) එහෙත් එම තොරතුරු මගින් ඔවුන් කොතරම් බලපෑමට ලක් වූවා ද? ඔවුන් ධර්මිෂ්ඨ ඵල නිපදවමින් සිටියා ද? නැති තරම් ය. (මතෙව් 7:15-17; ලූක් 3:7, 8) ගැටලුවේ කොටසක් වූයේ එම දැනුම ඔවුන්ගේ හදවත්වලට කිඳා නොබැස ඔවුන්ගේ යහපත සඳහා ඉන් බලපෑමක් නොකිරීමයි.
14 පේතෘස් පවසන පරිදි, එදත් අදත් සිටින ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් එය එසේ නොවිය යුතු ය. අක්‍රියාශීලී වීමෙන් හෝ ඵල රහිත වීමෙන් වැළකීමට අපට උපකාරවත් වන දැනුම අපගේ ඇදහිල්ලට සපයා ගන්නා මෙන් ඔහු අපගෙන් උදක් ම ඉල්ලා සිටී. (2 පේතෘස් 1:5, 8) මෙය අප සම්බන්ධයෙන් සැබෑවක් බව ඔප්පු වීම පිණිස, එම දැනුම තුළ වර්ධනය වීමට අපට වුවමනා වන අතර, එය අපගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ව ස්පර්ශ කරමින්, අපට ගැඹුරින් බලපෑමක් කිරීමට වුවමනා විය යුතු ය. එය සෑම විට ම සිදු නොවෙන්නට පුළුවන.
15. ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානින් සම්බන්ධ ව කිනම් ගැටලුව වර්ධනය වූයේ ද?
15 පාවුල්ගේ දවසේ දී, හෙබ්‍රෙව් ක්‍රිස්තියානින් හට මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබිණි. යුදෙව්වන් වීම නිසා, ඔවුන්ට ශුද්ධ ලියවිලි සම්බන්ධ යම් දැනුමක් තිබිණි. ඔවුහු යෙහෝවඃ වහන්සේ ගැනත් උන් වහන්සේ ඉල්ලා සිටින ඇතැම් දේ ගැනත් දැන සිටියහ. පසු ව, ඔවුහු මෙසියස් වහන්සේ ගැන දැනුම එකතු කර ගෙන, ඇදහිල්ල ක්‍රියාවට නංවා, ක්‍රිස්තියානින් වශයෙන් බව්තීස්ම වූහ. (ක්‍රියා 2:22, 37-41; 8:26-36) ශුද්ධ ලියවිලි කියවීමේ හා ඒ ගැන කථා කිරීමේ ලා ඔවුන්ට හවුල්වීමට හැකි වූ ක්‍රිස්තියානි රැස්වීම්වලට මාස සහ අවුරුදු ගණනක් පුරා ඔවුන් පැමිණියා විය යුතු ය. එහෙත්, ඇතැම් අය දැනුම තුළ වර්ධනය වූයේ නැත. පාවුල් ලීවේ මෙසේ ය: “කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා දැඩි ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.” (හෙබ්‍රෙව් 5:12) ඒ කෙසේ වී ද? එය අපටත් සිදුවිය හැකි ද?
16. නිත්‍ය තුහින යනු කුමක් ද, තව ද එය පැළෑටිවලට බලපාන්නේ කෙසේ ද?
16 උපහැරණයක් වශයෙන්, නිත්‍ය තුහින [permafrost] නමින් හැඳින්වෙන, අයිස් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින ආක්ටික් හා වෙනත් ප්‍රදේශවල තිබෙන නිරන්තරයෙන් ම අයිස් මිදී තිබෙන භූමිය ගැන සලකා බලන්න. පස්, ගල් සහ භූගත ජලය මිදුණු ඝන ස්කන්ධයක් බවට පත් වී, ඇතැම් විට, එහි ගැඹුර අඩි 3,000ක් පමණට විහිදී යයි. ග්‍රීෂ්ම ඍතුවේ දී, එහි මතු පිට පසේ (සක්‍රීය තට්ටුව නමින් හැඳින්වේ) හිම දිය විය හැක. කෙසේ වෙතත්, හිම මිදුණු පසින් යුත් මෙම සිහින් ස්ථරය සාමාන්‍යයෙන් මඩවලින් යුක්ත ය, මන්දයත් තෙතමනයට නිත්‍ය තුහිනය යටට ගලා යන්නට බැරි නිසා ය. එම මතුපිට සිහින් ස්ථරයේ පැළවෙන පැළෑටි බොහෝ විට කුඩා ය නැතහොත් අඟුටු ය. ඒවායේ මුල්වලට නිත්‍ය තුහිනය විනිවිද යන්නට නොහැක. ‘බයිබල් සත්‍යය තුළ මා දැනුමින් වර්ධනය වනවා ද නැද්ද යන්නට මේ නිත්‍ය තුහිනයේ ඇති සම්බන්ධය කුමක් ද?’ කියා ඔබ කල්පනා කරනවා විය හැක.
17, 18. නිත්‍ය තුහින සහ එහි මතුපිට සක්‍රීය ස්ථරය, ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානින් සම්බන්ධ ව උද්ගත වූ දෙය උපහැරණය කිරීමට යොදා ගත හැක්කේ කෙසේ ද?
17 ඒකාන්ත දැනුම ලබා ගැනීමේ, මතක් කිරීමේ සහ භාවිතා කිරීමේ ලා මානසික බලයන් ක්‍රියාශීලී ලෙස යොදා ගෙන නොමැති අයෙකුගේ තත්ත්වය මෙම නිත්‍ය තුහින මගින් කදිමට නිරූපනය වෙයි. (මතෙව් 13:5, 20, 21 සසඳන්න.) එම පුද්ගලයාට බයිබල් සත්‍යය ඇතුළු විවිධ විෂයන් ගැන ඉගෙන ගැනීමට මානසික ධාරිතාවයක් තිබෙනවා විය හැක. ඔහු “දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම්” ඉගෙන ගත් අතර, එම හෙබ්‍රෙව් ක්‍රිස්තියානින් මෙන් බව්තීස්ම වීමට සුදුසුකම් ලැබුවා විය හැක. එනමුත්, “ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ප්‍රධාන මූල ධර්ම” පසු කරමින් ඉන් ඔබ්බට තිබෙන දේවල් උරා ගැනීමට එනම් “මේරූ භාවය කරා ඇදී” නොයනවා විය හැක.—හෙබ්‍රෙව් 5:12; 6:1, NW.
18 එවකට පැවති රැස්වීම්වලට පැමිණ සිටි ඇතැම් ක්‍රිස්තියානින් පිළිබඳ ව මනසින් චිත්‍රයක් ඇඳ ගන්න. ඔවුහු එහි පැමිණ අවදියෙන් සිටියහ, නමුත් ඔවුන්ගේ මනස් ඉගෙන ගැනීම තුළ යෙදී තිබුණා ද? ඔවුන් ක්‍රියාශීලී ලෙස සහ මහත් උනන්දුවෙන් දැනුමේ වර්ධනය වෙමින් සිටියා ද? සමහරවිට නැත. නොමේරූ අය සම්බන්ධයෙන් බලන කල, ඔවුන්ට රැස්වීමේ යම් සහභාගිත්වයක් තිබුණා නම්, එය හරියට ඉගෙන ගත් දේ පහත ගැඹුරින් අයිස් මිදුණු පතුලක් තිබෙන්නා වූ සිහින් මතුපිට සක්‍රීය ස්තරයකට වැටුණාක් වැන්න. වඩාත් ස්ථිර හෝ සංකීර්ණ සත්යතාවයන්ගේ මුල්වලට, මනසේ මෙම නිත්‍ය තුහින ප්‍රදේශය කරා විනිවිද යන්නට නොහැකි විය.—යෙසායා 40:24 සසඳන්න.
19. අද දින සිටින අත්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් හෙබ්‍රෙව් ක්‍රිස්තියානින්ට සමාන විය හැක්කේ කිනම් ආකාරයෙන් ද?
19 අද දින ක්‍රිස්තියානියෙකුගේ තත්ත්වය ඒ හා සමාන වන්නට පුළුවන. රැස්වීමට පැමිණ සිටින අතරේ දී, ඔහු එම අවස්ථාවන් දැනුම තුළ වර්ධනය වන්නට යොදා නොගන්නවා විය හැක. ඒවායේ ක්‍රියාශීලී ලෙස සහභාගි වීම ගැන කුමක් කිව හැකි ද? නවකයෙක් හෝ ළමයෙක් යම් ශුද්ධ ලියවිලි පාඨයක් කියවන්නට ඉදිරිපත්වීම හෝ ඡේදයේ සඳහන් වචනවලට අනුව ම පිළිතුරක් දීම සඳහා සැලකිය යුතු ප්රයත්නයක් දැරීමට සිදුවනවා විය හැකි අතර, මින් ඔහුගේ හැකියාවේ මාහැඟි, ප්‍රශංසා කටයුතු අභ්‍යාස කිරීමක් පිළිබිඹු වෙයි. එය කදිම ය, ප්‍රශංසා කටයුතු ය. එහෙත් පාවුල් පෙන්වන්නේ, අනෙක් අය, ඔවුන් ක්‍රිස්තියානින් වශයෙන් සත්‍යය තුළ සිට තිබෙන කාලය ගැන බලන කල, දැනුම තුළ වර්ධනය වෙමින් සිටින්නට ඔවුන්ට වුවමනා නම්, ඔවුන් ඒවායේ සහභාගි වූ මුල් අදියරට වඩා ඔබ්බට දියුණු වී සිටිය යුතු බවයි.—හෙබ්‍රෙව් 5:14.
20. අප එක් එක්කෙනා කුමන ආත්ම සෝදිසියක් කළ යුතු ද?
20 අත්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක්, නිකම් ම බයිබල් පදයක් කියවීම හෝ කෙළින් ම ඡේදයෙන් කියවා මූලික පිළිතුරක් දීමට වඩා ඔබ්බට කිසිවිටෙකත් ප්‍රගතියක් ඇති කර නැත්නම්, පෙනෙන විදිහට, ඔහුගේ සහභාගිත්වය පැමිණියේ ඔහුගේ මනසේ මතුපිට සක්‍රීය “ස්ථරයෙනි.” නිත්‍ය තුහින පිළිබඳ අපගේ උපහැරණය වෙත නැවත අප අවධානය යොමු කළොත්, රැස්වීමක් පාසා රැස්වීමක් හමාර වන්නේ ඔහුගේ මානසික හැකියාවන්ගේ ගැඹුරු තැන් අයිස් මිදුණු තත්ත්වයකින් යුක්ත ව පැවතීමෙනි. අප අපගෙන් ම මෙසේ ඇසිය යුතු ය: ‘මා සම්බන්ධයෙනුත් තත්ත්වය එසේ ම ද? මා තුළත් යම් ආකාරයක මානසික නිත්‍ය තුහිනයක් පවතින්නට මා ඉඩ හැර තිබෙනවා ද? මම ඉගෙන ගැනීමට මනසින් කොතරම් සාවධාන ව උනන්දුවෙන් සිටින්නෙමි ද?’ අපගේ අවංක පිළිතුරුවලින් අපට අපහසුවක් දැනෙනවා වුවත්, දැනුම තුළ වර්ධනය වීම සඳහා දැන් අපට පියවර ගැනීමට පටන් ගත හැකි ය.
21. රැස්වීම්වලට සූදානම් වීමේ දී හෝ පැමිණීමේ දී ඔබට අදාළ කර ගත හැකි කලින් සාකච්ඡා කරනු ලැබූ පියවරවල් මොනවා ද?
21 අට වෙනි ඡේදයේ සඳහන් යෝජනා අපට පුද්ගලික ව ම අදාළ කර ගත හැකි ය. අප සභාව සමඟ කොතරම් කාලයක් ආශ්‍රය කර තිබුණත්, මේරූ භාවය සහ වඩාත් දැනුම ලබා ගැනීම කරා ඇදී යාමට අධිෂ්ඨාන කර ගැනීමට අපට හැකි ය. ඇතැම් අය හට ඉන් අදහස් වනු ඇත්තේ රැස්වීම්වලට වඩාත් දැඩි පරිශ්‍රමයක් දරා සූදානම් වීමයි, සමහරවිට මෙහි දී මීට වසර ගණනකට පෙර අනුගමනය කළා වූ නමුත් දැන් පහව ගොස් ඇති පුරුදුවලට යළි පුනර්ජීවයක් දීමට හැක. ඔබ සූදානම් වන විට, ප්‍රධාන කරුණු මොනවා ද යන්න නිශ්චය කර ගැනීමටත්, තර්ක කරන රටාව දියුණු කිරීමට යොදා ගෙන ඇති නුහුරු නුපුරුදු ශුද්ධ ලියවිලි පද වටහා ගැනීමටත් උත්සාහ කරන්න. අධ්‍යයනය කෙරෙන විෂය තුළ යම් නව කෝණයන් හෝ පැති දෙස බලන්න. ඒ හා සමාන ව, රැස්වීම්වල දී, 10 සහ 11 වෙනි ඡේදවල සඳහන් යෝජනා ඔබ තුළ ම අදාළ කර ගැනීමට යත්න දරන්න. ඔබගේ මනසේ උෂ්ණත්වය ඉහළින් පවත්වා ගන්නාක් මෙන්, මනසින් සාවධාන ව සිටීමට දැඩි ප්රයත්නයක් ගන්න. එය, මනස තුළ ඇති විය හැකි “නිත්‍ය තුහින” තත්ත්වයකට තුඩු දෙන ඕනෑ ම නැඹුරුවාවකට විරුද්ධ ව සටන් කරනු ඇත; මෙම සාවධාන ප්රයත්නය, මීට කලින් වර්ධනය වී තිබුණා විය හැකි මනසේ යම් “අයිස් මිදුණු” තත්ත්වයක් තුරන් කර දමනවා ද ඇත.—හිතෝපදේශ 8:12, 32-34.
දැනුම, හොඳින් ඵලදැරීම සඳහා ආධාරකයකි
22. අපගේ දැනුම වර්ධනය කර ගැනීමෙහි ලා අප ක්‍රියා කරන විට අප කෙසේ ප්‍රයෝජන ගනු ඇත් ද?
22 අපගේ ස්වාමි වූ සහ ගැළවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනුමේ සහ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව සම්බන්ධ මෙම කාරණයේ දී අප ක්‍රියාත්මක වනවා නම් අප පුද්ගලික ව කෙසේ ප්‍රයෝජන ලබනවා ඇත් ද? අපගේ මානසික බලයන් පුබුදුවා තබා ගැනීමට සාවධාන ප්රයත්නයක් ගැනීම මගින්, දැනුම ලබා ගැනීමට සූදානම් වීමෙන්, අලුත් සහ වඩාත් සංකීර්ණ බයිබල් සත්යතාවයන්හි බීජවලින් ගැඹුරට මුල් ඇදී යන අතර, අපගේ අවබෝධය වැඩි වී එය ස්ථිර එකක් බවට පත් වනු ඇත. එය, හෘදයන් සම්බන්ධ වෙනත් උපහැරණයක යේසුස් වහන්සේ වදාළ දේට සැසඳිය හැකි වෙනවා ඇත. (ලූක් 8:5-12) ඵල නිපදවා දැරිය හැකි පැළෑටි දරා සිටින්නට හැකි ශක්තිමත් මුල් වඩන්නට කදිම පස් මත වැටෙන බීජවලට හැකි ය.—මතෙව් 13:8, 23.
23. අප 2 පේතෘස් 3:18 අපගේ හෘදයට ගන්නා විට කිනම් ප්‍රතිඵල ඇති විය හැකි ද? (කොලොස්සි 1:9-12)
23 යේසුස් වහන්සේගේ උපහැරණය තරමක් වෙනස් විය, එහෙත් එම යහපත් ප්‍රතිඵල පේතෘස් පොරොන්දු වූ දේට සමාන ය: “එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද, . . . සපයාගනිල්ලා. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමේ කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.” (2 පේතෘස් 1:5-8) එසේ ය, අප දැනුම තුළ වර්ධනය වීම, අප විසින් ඵල දැරීමට උපකාරවත් වනු ඇත. තව තවත් දැනුම ලැබීම ඊටත් වඩා ආස්වාදයක් ගෙන දෙනු ඇති බව අප සොයා ගන්නවා ඇත. (හිතෝපදේශ 2:2-5) ඔබ ඉගෙන ගන්නා දේ වඩාත් පහසුවෙන් ඔබ තුළ රැඳෙන අතර, ගෝලයන් බවට පත්වීමට ඔබ වෙනත් අයට උගන්වන විට එය ප්‍රයෝජන දායක විය හැක. එමනිසා, මේ අයුරින්, ඔබ වඩාත් ඵලදායී වනු ඇති අතර, දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ පුත්‍රයාණන්ට මහිමය ගෙන දෙනවා ඇත. පේතෘස් ඔහුගේ දෙවෙනි ලිපිය අවසන් කළේ මෙසේ ය: “අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ [ලබන්ට නොවටිනා තරම් වූ NW] කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙයල්ලා. දැනටත් සදාකාලටයත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.”—2 පේතෘස් 3:18.
[පාදසටහන්වල]
a “[එය] හරියට, සඳ ගැන වඩාත් ඉගෙන ගැනීමට උනන්දුවෙන් සිටින පුද්ගලයෙක්, තමාගේ නිවසේ වහලයට නැග එම ප්‍රදීපකය ගැන නෙත් අයා බලා සිටිනවාක් වැනි ය.”
b මෙම ඡේදයේ සඳහන් පළමු ගුණාංග දෙක වන, ඇදහිල්ල සහ ගුණය අපගේ 1993 ජූලි 15 කලාපයේ සාකච්ඡා කොට ඇත.
c මෙම යෝජනා, දිගු කලක් ක්‍රිස්තියානින් ව සිටින අය හට ද තම පුද්ගලික පාඩමේ දී හා රැස්වීම්වලට සූදානම් වීමේ දී වැඩි ප්‍රයෝජන ගැනීමට උපකාරවත් විය හැක.
ඔබට මතක ද?
◻ ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම සම්බන්ධ ව ඔබ උනන්දු විය යුත්තේ ඇයි?
◻ නවක බයිබල් ශිෂ්‍යයෙකුට තම පාඩමෙන් වඩාත් වැඩියෙන් ප්‍රයෝජන ලබා ගත හැක්කේ කෙසේ ද?
◻ නිත්‍ය තුහින මගින් උපහැරණය වන්නාක් මෙන්, ඔබට කුමන අන්තරායකින් වැළකීමට වුවමනා වන්නේ ද?
◻ දැනුම වර්ධනය කර ගැනීමට, ඔබගේ හැකියාව දියුණු කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුත්තේ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
මට මනසේ නිත්‍ය තුහිනයක් සම්බන්ධ ව ගැටලුවක් තිබෙනවා ද?