ඔබ දෙවිට ඔබේ සම්පූර්ණ යුතුකම ඉටු කරමින් සිටිනවාද?
“යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද [සැබෑ දෙවි, NW] විනිශ්චයට [පමුණුවන්නේය].”—දේශනාකාරයා 12:14.
1. යෙහෝවා තම සෙනඟ සඳහා පිළියෙළ කර තිබෙන සැපයුම් මොනවාද?
යෙහෝවා, තමන්ගේ උදාර මැවුම්කරු හැටියට ඔහුව සිහි කරන අයට සහය ලබා දෙනවා. ඔහුව පූර්ණ ලෙස සතුටු කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම ඔහුගේ ආනුභාව ලත් වචනය මගින් සපයනවා. දිව්‍ය කැමැත්ත කිරීමේදී හා “සියලු යහපත් ක්‍රියාවලින් [ඵලදැරීමේදී]” දෙවිගේ ශුද්ධාත්මය ඔවුන්ට මඟ පෙන්වනවා. (කොලොස්සි 1:9, 10) එපමණක් නොවෙයි, යෙහෝවා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් ආත්මික ආහාර සහ දිව්‍යාණ්ඩුමය මඟ පෙන්වීම ලබා දෙනවා. (මතෙව් 24:45-47) දෙවිගේ සෙනඟ යෙහෝවාට සේවය කරමින්, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ අතිවැදගත් වැඩය දිගටම කරගෙන යද්දී, ඔවුන් බොහෝ ආකාරවලින් දිව්‍ය ආශීර්වාද ලබනවා.—මාර්ක් 13:10.
2. යෙහෝවාට සේවය කිරීම සම්බන්ධයෙන් පැනනැඟිය හැක්කේ කුමන ප්‍රශ්නද?
2 යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන් සතුටින් සිටිනවා. ඒ වුණත්, සමහරුන් අධෛර්යයට පත්ව, තමන් දරන වෑයම් අපතේ යයිද කියා කල්පනා කළ හැකියි. උදාහරණයක් හැටියට, තමන් අවංකව දරන වෑයම් ඇත්තටම වටිනවාද කියා කැප වූ ක්‍රිස්තියානීන් සමහර අවස්ථාවලදී කල්පනා කරනවා විය හැකියි. පවුලේ පාඩම හා වෙනත් ක්‍රියාකාරකම් ගැන සිතන විට, මේ වගේ ප්‍රශ්න පවුල් මූලිකයෙකු තුළ ඇතිවීමට ඉඩ තිබෙනවා: ‘අපි කරමින් සිටින දෙය ගැන යෙහෝවා ඇත්තටම සතුටු වෙනවාද? අපි දෙවිට අපේ සම්පූර්ණ යුතුකම ඉටු කරමින් සිටිනවාද?’ මෙවන් ප්‍රශ්නවලට උත්තර දීම සඳහා දේශනාකරුගේ නැණවත් වදන් අපිට උපකාරවත් විය හැකියි.
හැම දෙයක්ම නිෂ්ඵලද?
3. දේශනාකාරයා 12:8ට අනුව, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකම කුමක්ද?
3 නැණවත් මිනිසාගේ වචන තරුණ මහලු කාටත් එතරම් දිරිගැන්වීමක් ගෙන දෙන්නේ නැහැ කියා සමහරුන් සිතන්න පුළුවන්. “නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.” (දේශනාකාරයා 12:8) ඇත්තෙන්ම, අතිමහත්ම නිෂ්ඵලකම වන්නේ, යෞවන වයසේදී උදාර මැවුම්කරුව නොසලකා හරිමින් ඔහුට සේවය නොකර වයසට යෑමයි. එමෙන්ම, දීර්ඝ ආයු කාලයක් ජීවත් වූ බව පෙන්වීමට පමණක් වැඩි අවුරුදු ගණනක් ජීවත් වීමයි. එවන් පුද්ගලයෙක් අවසානයේදී මිය යන්නේ, සාතන් නමැති යක්ෂයා වන නපුරාගේ ආධිපත්‍යය යටතේ පවතින මේ ලෝකය තුළ මහත් ධන සම්භාරයක් හා ප්‍රසිද්ධත්වයක් ලබමින් වුණත්, ඔහු සම්බන්ධයෙන් බලද්දී, සියල්ල නිෂ්ඵල හෝ හිස් බවට පත් වී තිබෙනවා.—1 යොහන් 5:19.
4. සෑම දෙයක්ම නිෂ්ඵල නොවන බව පැවසිය හැක්කේ ඇයි?
4 යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් හැටියට, ස්වර්ගයෙහි වස්තු රැස් කර තබන අයට සියල්ලම නිෂ්ඵල වන්නේ නැහැ. (මතෙව් 6:19, 20) ඔවුන්ට ස්වාමීන්ගේ විපාකදායී වැඩයෙහි කිරීමට බොහෝ දේ තිබෙන අතර, ඒ සඳහා දරන වෙහෙස නිෂ්ඵල නොවන බව ස්ථිරයි. (1 කොරින්ති 15:58) නමුත් අපි කැප වූ ක්‍රිස්තියානීන් නම්, මේ අන්තිම දවස්වලදී දෙවි පවරා තිබෙන වැඩයෙහි අපි දිගටම කාර්යබහුලව නියැලෙමින් සිටිනවාද? (2 තිමෝති 3:1) එහෙම නැත්නම්, සාමාන්‍යයෙන් අපේ අසල්වාසීන්ට සමාන ජීවන රටාවකට අපි හැඩගැසෙමින් සිටිනවාද? ඔවුන් විවිධාකාර ආගම්වලට සම්බන්ධ වී සිටින්න පුළුවන්; ඒ වගේම නිතිපතා ඔවුන්ගේ නමස්කාර ස්ථානවලට යමින්, ඔවුන්ගේ නමස්කාර ක්‍රමය මගින් ඉල්ලා සිටින දේවල් කිරීමට වෑයම් කරමින් ඉතාමත් භක්තිවන්ත ජීවිත ගත කරනවා වෙන්න පුළුවන්. ඒ වුණත්, ඔවුන් රාජ්‍ය පණිවිඩය ප්‍රචාරය කරන්නන් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය “අන්තිම කාලය” බවට නිවැරදි දැනුමක් මෙන්ම අපි ජීවත් වෙමින් සිටින දවස් ගැන හදිසිතාවේ හැඟීමක් ඔවුන්ට නැහැ.—දානියෙල් 12:4.
5. ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වලට අපේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙනවා නම් අපි කළ යුත්තේ කුමක්ද?
5 අපි ජීවත් වන අර්බුදකාරි කාලවල් ගැන යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණ සිටීමත්, NW] වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය [ගණනකට නොගෙන සිටියෝය, NW]; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණ සිටීමත්, NW] එලෙසම වන්නේය.” (මතෙව් 24:37-39) අන්තයටම නොයද්දී, කන බොන එකේ කිසිම වරදක් නැති අතර, විවාහය දෙවි විසින් මුලින්ම ඇති කළ විධිවිධානයක් වෙනවා. (උත්පත්ති 2:20-24) ඒ වුණත්, ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වලට මුල් තැනක් හිමි වී තිබෙන බව අපිට පෙනෙනවා නම්, මේ ගැන යාච්ඤා කිරීම හොඳ අදහසක් නොවේද? රාජ්‍ය කාරණාවලට දිගටම පළමු තැන දීමටත්, හරි දෙය කිරීමටත්, ඔහුට තිබෙන අපේ යුතුකම ඉටු කිරීමටත් අපිට උපකාර කරන්න යෙහෝවාට පුළුවන්.—මතෙව් 6:33; රෝම 12:12; 2 කොරින්ති 13:7.
කැපවීම සහ දෙවිට තිබෙන අපේ යුතුකම
6. බව්තීස්ම වී සිටින සමහර අය දෙවිට තමන්ගේ යුතුකම් ඉටු කිරීමට අසමත් වී සිටින්නේ සැලකිය යුතු කිනම් ආකාරයකින්ද?
6 සමහර ක්‍රිස්තියානීන් දෙවිට කැප වන විට බාරගත් දේවසේවකයෙකුගේ යුතුකම්වලට එකඟව ජීවත් නොවන නිසා ඔවුන් ඒ ගැන මහත් ඕනෑකමින් යාච්ඤා කළ යුතුයි. අවුරුදු ගණනාවක සිට 3,00,000කට වැඩි පිරිසක් අවුරුදු පතා බව්තීස්ම වුණත්, යෙහෝවාගේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන්ගේ සාමාන්‍ය ගණන, ඊට අනුකූලව වැඩි වී නැහැ. රාජ්‍ය ප්‍රචාරකයන් සමහරදෙනෙක් ශුභාරංචිය ප්‍රචාරය කිරීම නතර කර දමා තිබෙනවා. නමුත් මේ අය බව්තීස්ම වෙන්න කලින් ක්‍රිස්තියානි දේවසේවයෙහි අර්ථාන්විතව හවුල් වී තිබෙන අය විය යුතුයි. මේ නිසා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් මෙම බලපැවරුම ගැන ඔවුන්ට හොඳ වැටහීමක් තිබෙනවා: “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, [පියාගෙත්, පුත්‍රයාගෙත්, ශුද්ධාත්මයෙත්] නාමයට ඔවුන් බව්තීස්මකරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) සෞඛ්‍යය හෝ තමන්ට පාලනය කළ නොහැකි වෙනත් හේතු නිසා මතු වන විශේෂ සීමාවන් නොමැති බව්තීස්ම වූ අය දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන් හැටියට තවදුරටත් සේවය නොකරනවා නම්, ඔවුන් අපේ උදාර මැවුම්කරු ඉදිරියෙහි තම සම්පූර්ණ යුතුකම ඉටු කරමින් සිටින්නේ නැහැ.—යෙසායා 43:10-12.
7. අපි නමස්කාරය සඳහා නිතිපතා එකට එක්රැස් විය යුත්තේ ඇයි?
7 පුරාණයේ විසූ ඉශ්රායෙල්වරුන් දෙවිට කැප වූ ජාතියක්ව සිටි අතර, ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටි ඔවුන් විසින් යෙහෝවා ඉදිරියෙහි ඉටු කිරීමට අවශ්‍ය වූ යුතුකම් තිබුණා. උදාහරණයක් හැටියට, වාර්ෂිකව පවත්වන මංගල්‍යයන් තුනක් සඳහා සියලුම පිරිමින් එක්රැස් වී සිටිය යුතු වූ අතර, පාස්කුව හිතාමතාම නොපැවැත්වූ කෙනෙකුව මරණයට පත් කිරීමෙන් “සිඳදමනු” ලැබිය යුතුව තිබුණා. (ගණන් කථාව 9:13; ලෙවී කථාව 23:1-43; ද්විතීය කථාව 16:16) දෙවිගේ කැප වූ සෙනඟ හැටියට ඔහු සඳහා තම යුතුකම ඉටු කිරීමක් හැටියට ඉශ්රායෙල්වරුන් නමස්කාරය සඳහා එකට එක්රැස් විය යුතුව තිබුණා. (ද්විතීය කථාව 31:10-13) ‘කරන්න පුළුවන් නම් විතරක් මෙය කරන්න’ කියා ව්‍යවස්ථාවේ කොතැනකවත් පවසා තිබුණේ නැහැ. දැන් යෙහෝවාට කැප වී සිටින අය සම්බන්ධයෙන් සලකා බලද්දී, එම ආඥාව මගින් පාවුල්ගේ මෙම වචනවල තිබෙන බැරෑරුම්කම ඉස්මතු කොට දක්වනවා: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) ඔව්, නිතිපතා සෙසු ඇදහිලිවන්තයන් සමඟ එකට එක්රැස්වීම, කැප වූ ක්‍රිස්තියානියෙකුට දෙවි ඉදිරියෙහි තිබෙන යුතුකම්වල කොටසක් වෙනවා.
ඔබ ගන්නා තීරණ පරෙස්සමින් කිරා මැන බලන්න!
8. කැප වූ යෞවනයෙකු තමාගේ පරිශුද්ධ සේවය ගැන යාච්ඤාපූර්වකව සලකා බැලිය යුත්තේ ඇයි?
8 ඔබ යෙහෝවාට කැප වී සිටින යෞවනයෙක් විය හැකියි. ඔබේ ජීවිතයේ පළමු තැන රාජ්‍ය කාරණාවලට දෙනවා නම්, ඔබ මහඟු ආශීර්වාද භුක්ති විඳින්න යනවා. (හිතෝපදේශ 10:22) යාච්ඤාපූර්වකව සලකා බැලීමෙන් හා පරෙස්සමින් සැලසුම් කිරීමෙන් අඩුම තරමින් ඔබේ ජීවිතයේ යෞවන කාලයවත් පූර්ණ-කාලීන සේවයෙහි යම් අංගයක නිරත වීම සඳහා යොදවන්න ඔබට හැකි වේවි. ඔබේ උදාර මැවුම්කරුව ඔබ සිහි කරන බව පෙන්වීමට මෙය කදිම මාර්ගයක් වෙනවා. එහෙම නැත්නම්, ඔබේ කාලයෙන් හා අවධානයෙන් වැඩි ප්‍රමාණයක් ද්‍රව්‍යමය දේවල් කෙරෙහි යොමු වෙන්න පටන්ගත හැකියි. සාමාන්‍යයෙන් වෙනත් අය කරනවා වගේ ඔබත් ජීවිතයේ මුල් කාලයේදීම විවාහ වී, ද්‍රව්‍යමය දේවල් ලබාගැනීමට ණය බරෙන් මිරිකී සිටිය හැකියි. ඔබේ කාලයෙන් හා ශ්‍රමයෙන් වැඩි ප්‍රමාණයක් ඉහළ වැටුපක් ලබා දෙන රැකියාවක් වෙනුවෙන් වැය විය හැකියි. ඔබට දරුවන් සිටිනවා නම්, දශක ගණනාවක්ම පවුලේ වගකීම්වලට උර දෙන්න ඔබට සිදු වේවි. (1 තිමෝති 5:8) ඔබේ උදාර මැවුම්කරුව ඔබ අමතක නොකරනවා වෙන්න පුළුවන්; ඒ වුණත්, ඔබ වැඩිහිටියෙකු හැටියට ගත කරන්න යන ජීවිත මාර්ගය රඳා පවතින්නේ, ඔබ දේවල් කලින් සැලසුම් කිරීම හෝ එසේ නොකිරීම මත බව තේරුම්ගැනීම නැණවත් දෙයක්. පසුකලක ඔබ ජීවිතය දෙස ආපසු හැරී බලද්දී, අපේ උදාර මැවුම්කරුට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා අඩුම තරමින් යෞවන කාලයවත් වඩාත් පූර්ණ ලෙස යොදවා තිබුණා නම් කියා ඔබට හැඟෙන්න පුළුවන්. ඔබේ යෞවන කාලයේදී යෙහෝවාගේ පරිශුද්ධ සේවයෙහි හවුල් වෙමින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වන ලෙස ඔබේ අනාගත බලාපොරොත්තු ගැන යාච්ඤාපූර්වකව දැන් සලකා බැලීම හොඳ අදහසක් නොවේද?
9. දැන් මහලු වියේ පසු වන, කලක් සභාවේ වගකීම්වලට උර දුන් කෙනෙකුට කළ හැක්කේ කුමක්ද?
9 මීට වෙනස් තත්වයක සිටින, එනම් කලක් ‘දෙවිගේ රැළේ’ එඬේරෙකු හැටියට සේවය කළ කෙනෙකු ගැන සලකා බලන්න. (1 පේතෘස් 5:2, 3) යම් හේතුවක් නිසා ඔහු සිය කැමැත්තෙන්ම එම සේවා වරප්‍රසාදයෙන් ඉවත් වුණා. ඔහු දැන් මහලු බව ඇත්තයි; දෙවිට දිගටම සේවය කිරීම ඔහුට වෙනදාට වඩා අමාරු වෙන්න පුළුවන්. ඒ වුණත්, ඔහුට නැවත වතාවක් දිව්‍යාණ්ඩු වරප්‍රසාද කරා ළඟා වෙන්න පුළුවන්ද? සභාවේ වගකීම්වලට උර දෙන්න ඔහුට හැකි නම්, එවැනි කෙනෙකු සභාවේ සේවය කිරීම අනිත් අයට මොනතරම් ආශීර්වාදයක්ද! කිසිම කෙනෙක් තමා උදෙසාම ජීවත් නොවන නිසා, දෙවිට ප්‍රශංසාව ගෙන එමින් ඔහුට ඔහුගේ සේවය වැඩි කරන්න හැකි නම්, ඔහුගේ මිතුරන් හා ප්‍රේමනීයයන් සතුටු වේවි. (රෝම 14:7, 8) වඩාත්ම වැදගත් දෙය වන්නේ, තමන්ගේ සේවය තුළ කිසිම කෙනෙක් කරන දෙයක් යෙහෝවා අමතක නොකිරීමයි. (හෙබ්‍රෙව් 6:10-12) එනිසා, අපේ උදාර මැවුම්කරුව සිහි කරන්න අපිට උපකාරවත් වන්නේ මොනවාද?
අපේ උදාර මැවුම්කරුව සිහි කිරීමට ආධාරක
10. අපේ උදාර මැවුම්කරුව සිහි කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීම් සැපයීමට දේශනාකරු සුදුසු තත්වයක සිටියේ ඇයි?
10 අපේ උදාර මැවුම්කරුව සිහි කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීම් සැපයීම සඳහා දේශනාකරු සුදුසු තත්වයක සිටියා. අසාමාන්‍ය විදිහට ප්‍රඥාව ලබා දෙමින් යෙහෝවා ඔහුගේ හෘදයාංගම යාච්ඤාවලට උත්තර දී තිබුණා. (1 රාජාවලිය 3:6-12) සාලමොන් හැම මිනිස් කටයුත්තක් ගැනම සම්පූර්ණ විමර්ශනයක් කළා. ඒ විතරක් නොවෙයි, අනිත් අයටද ප්‍රයෝජන ලබාගත හැකි වන ලෙස තමා සොයාගත් දේවල් වාර්තා කර තැබීම සඳහා ඔහුට දෙවිගේ ආනුභාවය ලැබුණා. ඔහු මෙසේ ලිව්වා: “තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනගට තවත් දැනගැන්ම ඉගැන්වුවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය. [දේශනාකාරයා] ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.”—දේශනාකාරයා 12:9, 10.
11. අපි සාලමොන්ගේ නැණවත් උපදේශය පිළිගත යුත්තේ ඇයි?
11 ග්‍රීක් සෙප්ටුඅ’ජින්ට්හි පරිවර්තනය කර තිබෙන එම වචන කියවීමට තිබෙන්නේ මෙසේය: “තවද දේශනාකරු නැණවත්ව සිටි නිසා, ඔහු මනුෂ්‍යවර්ගයාට ප්‍රඥාව ගැන ඉගැන්වුවේය; උපමා යොදාගනිමින් සවනට මිහිරි දෑ පැවසීම සඳහා දේශනාකරු ප්‍රිය උපදවන වදන් සොයාගෙන සත්‍යය වදන්වලින් යුත් නිවැරදි ලියවිල්ලක් සකස් කිරීමට කඩිසර ලෙස ගවේෂණයක නිරත විය.” (චාල්ස් තොම්සන් විසින් පරිවර්තනය කරන ලද ද සෙප්ටුඅ’ජින්ට් බයිබල්) ප්‍රිය උපදවන වදන් හා සැබවින්ම සිත්ගන්නාසුලු මෙන්ම සලකා බැලීමට වටිනා විෂයන් සමඟින් තම පාඨකයන්ගේ හදවත්වලට ළඟාවීමට සාලමොන් වෑයම් කළා. ශුද්ධ ලියවිලිවල සඳහන් ඔහු පැවසූ වදන් ලියා තිබෙන්නේ ශුද්ධාත්මයේ ආනුභාවය යටතේ නිසා, කිසිම සැකයකින් තොරව ඔහුගේ සොයාගැනීම් හා නැණවත් උපදෙස් අපිට පිළිගන්න පුළුවන්.—2 තිමෝති 3:16.
12. දේශනාකාරයා 12:11, 12හි වාර්තා කර තිබෙන ආකාරයට සාලමොන් පැවසූ දෙය ඔබේම වචනවලින් ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
12 නවීන මුද්‍රණ ශිල්ප ක්‍රම නොතිබුණත් සාලමොන්ගේ දවස්වල පොත් පත් ඕන තරම් තිබුණා. එවැනි පොත් පත් සැලකිය යුතුව තිබුණේ කොහොමද? ඔහු මෙසේ පැවසුවා: “ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය. තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න [මේවාට අමතරව තිබෙන සියල්ල සම්බන්ධයෙන් මෙම අවවාදය සැලකිල්ලට ගන්න, NW]. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.”—දේශනාකාරයා 12:11, 12.
13. දිව්‍ය ප්‍රඥාව තිබෙන අයගේ වදන් කෙවිටිවලට සමාන වන්නේ කෙසේද? “ගසා තැබූ ඇණවලට” සමාන වන්නේ කවුද?
13 දිව්‍ය ප්‍රඥාව තිබෙන පුද්ගලයන්ගේ මුවින් නික්මෙන වදන් කෙවිටිවලට සමානයි. ඒ කොහොමද? තමන් කියවන හෝ සවන් දෙන නැණවත් වදන්වලට අනුකූලව ප්‍රගතියක් ලැබීමට කියවන්නාව හෝ සවන්දෙන්නාව එම වදන් මගින් පොලඹවනවා. එපමණක් නොවෙයි, “උපදේශ සංග්‍රහය” නොහොත් සැබවින්ම නැණවත් හා සලකා බැලීමට වටින කියමන් සෝදිසි කර බලන අය “ගසා තැබූ ඇණවලට” සමානයි; නොසැලෙන සේ ස්ථිරව සිටියි. මෙය මෙසේ වන්නේ, එවන් පුද්ගලයන්ගේ කදිම වදන් මගින් යෙහෝවාගේ ප්‍රඥාව පිළිබිඹු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවා කියවන්නන්ට හා ඒවාට සවන්දෙන්නන්ට ස්ථිරව සිටීමට උපකාර කරමින් අනුබලයක් සපයන නිසයි. ඔබ දේවබියැති දෙමාපියෙක් නම්, ඔබේ දරුවාගේ හෘදය තුළට එවන් ප්‍රඥාවක් කාවැද්දවීමට සෑම වෑයමක්ම දැරිය යුතු නැද්ද?—ද්විතීය කථාව 6:4-9.
14. (අ) ‘බොහෝ ඉගෙනගැනීම’ සඳහා යොදාගැනීමට වටින්නේ නැත්තේ කුමන වර්ගයේ පොත්ද? (ආ) අපි මූලික සැලකිල්ල දිය යුත්තේ කුමන පොත් පත්වලටද? ඊට හේතුව කුමක්ද?
14 සාලමොන් පොත් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හේතුව කුමක්ද? ඔව්, යෙහෝවාගේ වචනය සමඟ බලද්දී, මේ ලෝකයේ තිබෙන කෙළවරක් නැති පොත්වල අඩංගු වන්නේ මිනිසුන්ගේ තර්ක විතර්ක පමණයි. මෙම අදහස්වලින් බොහොමයක් සාතන් නමැති යක්ෂයාගේ මනසෙහි තිබෙන දේවල් පිළිබිඹු කරනවා. (2 කොරින්ති 4:4) ඒ නිසා, එම ලෞකික පොත් පත් ‘බොහෝ ඉගෙනගැනීම’ සඳහා යොදාගැනීමෙන් ලැබෙන කල්පවතින ප්‍රයෝජන අල්පයි. ඇත්තෙන්ම, බොහෝ කාලයක් ඒ සඳහා යෙදවීම මගින් ආත්මිකව හානි සිදු විය හැකියි. සාලමොන් වගේ අපිත් ජීවිතය ගැන දෙවිගේ වචනය පවසන දේවල් මෙනෙහි කරමු. මෙසේ කිරීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වන අතර, අපි වඩ වඩා යෙහෝවාට ළං වෙනවා. වෙනත් පොත් පත්වලට හෝ උපදෙස් සපයන මූලාශ්‍රවලට පමණ ඉක්මවා අවධානය දීමෙන් අපි වෙහෙසට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලෞකික චින්තනය මත පදනම් වන එවන් පොත් පත් දේවප්‍රඥාව සමඟ ගැටෙන විට, ඒවා හානිකර වන අතර, දෙවි සහ ඔහුගේ අරමුණු කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල විනාශ කර දමනවා. එනිසා, සාලමොන්ගේ කාලයේ මෙන්ම අපේ කාලයේද තිබෙන ඉතාමත් ප්‍රයෝජනදායක ලියවිලි වන්නේ ‘එකම එඬේරා’ වන යෙහෝවාගේ ප්‍රඥාව පිළිබිඹු කරන ලියවිලි බව මතක තබාගනිමු. ශුද්ධ ලියවිලිවල අඩංගු පොත් 66ක් ඔහු අපිට දී තිබෙනවා. වෙන කිසිම දෙයකට වඩා මෙයට අපේ අවධානය යොමු කළ යුතුයි. බයිබලය සහ ‘විශ්වාසවන්ත දාසයා’ සපයන ආධාරක පොත් පත් “දෙවි පිළිබඳ දැනුම, [NW]” ලබාගැනීමට අපිට හැකියාව ලබා දෙනවා.—හිතෝපදේශ 2:1-6.
දෙවි ඉදිරියෙහි අපේ සම්පූර්ණ යුතුකම
15. (අ) ‘මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම’ ගැන සාලමොන් පැවසූ දෙය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? (ආ) දෙවිට අපේ යුතුකම ඉටු කරන්න නම්, අපි කළ යුත්තේ කුමක්ද?
15 තමා කළ සියලුම විමර්ශනයන් සාරාංශගත කරමින් දේශනාකාර සාලමොන් මෙසේ පවසනවා: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: [දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ [සම්පූර්ණ, NW] යුතුකමය. මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද [දෙවි] විනිශ්චයට [පමුණුවන්නේය].” (දේශනාකාරයා 12:13, 14) අපේ උදාර මැවුම්කරු කෙරෙහි සුවදායී බියක් හා ගෞරවයක් ඇතුව සිටීම මගින් අනුවණ ලෙස නිර්භීත වී ගනු ලබන ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීමෙන් අද්දැකිය හැකි කිව නොහැකි ආකාරයේ කරදරවලින් හා ශෝකයෙන් අපවත් අපේ පවුලේ අයවත් ආරක්ෂා කරන්න යනවා. දෙවි කෙරෙහි තිබෙන සුවදායී බිය නිර්මලයි; එය ප්‍රඥාවේ හා දැනුමේ පටන්ගැන්මයි. (ගීතාවලිය 19:9; හිතෝපදේශ 1:7) දෙවිගේ ආනුභාවය ලත් වචනය මත පදනම් වූ තික්ෂ්ණ බුද්ධියක් අපිට තිබෙනවා නම්, හැම කාරණයකදීම එහි සඳහන් උපදෙස් අදාළ කරගන්නවා නම්, අපි දෙවි ඉදිරියෙහි අපේ ‘සම්පූර්ණ යුතුකම’ ඉටු කරන්න යනවා. ඇත්තෙන්ම එය යුතුකම්වල ලැයිස්තුවක් සකස් කිරීම හා සම්බන්ධ කාරණයක් නොවෙයි. ඒ වෙනුවට අවශ්‍ය කරන්නේ, ජීවිතයේ පැනනඟින ගැටලු විසඳීමේදී ශුද්ධ ලියවිලිවල මඟ පෙන්වීම සොයමින් නිතරම දෙවිගේ ක්‍රමයට දේවල් කිරීමයි.
16. විනිශ්චය කිරීම සම්බන්ධයෙන් යෙහෝවා කරන්න යන්නේ කුමක්ද?
16 අපේ උදාර මැවුම්කරුගේ අවධානයෙන් කිසිවක් ගිලිහී නොයන බව අපි වටහාගත යුතුයි. (හිතෝපදේශ 15:3) ඔහු ‘සියලු ආකාර ක්‍රියා විනිශ්චයට පමුණුවන්න යනවා.’ ඔව්, අතිමහෝත්තම තැනැත්තා මිනිසාගෙන් සැඟවී තිබෙන දේවල් ඇතුළු සියලුම දේවල් විනිශ්චය කරන්න යනවා. මෙම කරුණු පිළිබඳ දැනුම, දෙවිගේ ආඥා පැවැත්වීමට අපි තුළ පෙලඹවීමක් ඇති කළ හැකියි. නමුත් අපව පොලඹවන ප්‍රධානතම දෙය විය යුත්තේ අපේ ස්වර්ගික පියා කෙරෙහි තිබෙන ප්‍රේමයයි; මන්ද ප්‍රේරිත යොහන් මෙසේ ලියා තිබෙනවා: ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.’ (1 යොහන් 5:3) දෙවිගේ ආඥා පිළියෙළ කර තිබෙන්නේ අපේ සදාකාලික ශුභසිද්ධිය පෙරදැරි කරගෙන නිසා, ඒවා පැවැත්වීම යෝග්‍ය දෙය වනවා පමණක් නොව, සැබවින්ම නැණවත් දෙයද වන බවට සැකයක් නැහැ. උදාර මැවුම්කරුට ප්‍රේම කරන අයට මෙය බරක් නොවෙයි. වුවමනා කරන්නේ ඔහුට තිබෙන තමන්ගේ යුතුකම් ඉටු කිරීමයි.
ඔබේ සම්පූර්ණ යුතුකම ඉටු කරන්න
17. දෙවි ඉදිරියෙහි අපේ සම්පූර්ණ යුතුකම ඉටු කරන්න අපිට ඇත්තටම වුවමනා නම්, අපි කරන්න යන්නේ මොනවාද?
17 අපි නැණවත් නම් හා දෙවි ඉදිරියෙහි අපේ සම්පූර්ණ යුතුකම ඉටු කරන්න අවංක ආශාවක් තිබෙනවා නම්, අපි ඔහුගේ ආඥා පවත්වනවා පමණක් නොව, ඔහුව අසතුටු කිරීමට ගෞරවාන්විත බියක්ද අපිට තිබෙන්න යනවා. ඇත්තෙන්ම, “[යෙහෝවා] කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය.” ඔහුගේ ආඥා පවත්වන අයට “යහපත් [තීක්ෂ්ණ] බුද්ධියක්” තිබෙනවා. (ගීතාවලිය 111:10; හිතෝපදේශ 1:7) එනිසා අපි නැණවත්ව කටයුතු කරමු; සියලු කාරණාවලදී යෙහෝවාට කීකරු වෙමු. විශේෂයෙන්ම මේ කාලයේදී මෙසේ කිරීම අතිවැදගත් දෙයක් වන්නේ, රජ වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින නිසයි; ඒවගේම දෙවිගේ පත් කරන ලද විනිසුරු හැටියට ඔහු විසින් කරන විනිශ්චය දවස ළඟ නිසයි.—මතෙව් 24:3; 25:31, 32.
18. අපි යෙහෝවා දෙවි ඉදිරියෙහි අපේ සම්පූර්ණ යුතුකම ඉටු කරනවා නම් අපිට ලැබෙන්න යන විපාකය කුමක්ද?
18 දැන් අපි එක් එක්කෙනා සිටින්නේ දිව්‍ය පරීක්ෂණයකට ලක් වෙමිනුයි. අපි ආත්මික නැඹුරුවාවක් තිබෙන අයද, එහෙම නැත්නම් අපි දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාව දුර්වල කිරීමට ලෞකික බලපෑම්වලට ඉඩහැර තිබෙනවාද? (1 කොරින්ති 2:10-16; 1 යොහන් 2:15-17) අපි තරුණ වුණත්, මහලු වුණත් අපේ උදාර මැවුම්කරුව සතුටට පත් කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරමු. අපි දෙවිට කීකරු වෙමින් ඔහුගේ ආඥා පවත්වනවා නම්, පහ වෙමින් පවතින මේ පරණ ලෝකයේ නිෂ්ඵල දේවල් අපි ප්‍රතික්ෂේප කරන්න යනවා. එසේ නම් අපිට පුළුවන්, දෙවි පොරොන්දු කර තිබෙන දේවල නව පිළිවෙළේ සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටින්න. (2 පේතෘස් 3:13) දෙවි ඉදිරියෙහි තමන්ගේ සම්පූර්ණ යුතුකම ඉටු කරන සියල්ලන් සඳහා එය මොනතරම් උදාර අපේක්ෂාවක්ද!
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
◻ සෑම දෙයක්ම නිෂ්ඵල නැහැ කියා ඔබ කියන්නේ ඇයි?
◻ යෞවන ක්‍රිස්තියානියෙකු තමාගේ පරිශුද්ධ සේවය ගැන යාච්ඤාපූර්වකව සලකා බැලිය යුත්තේ ඇයි?
◻ ‘බොහෝ ඉගෙනගැනීම’ සඳහා යොදාගැනීමට වටින්නේ නැත්තේ කුමන වර්ගයේ පොත්ද?
◻ ‘මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම’ කුමක්ද?
[20වන පිටුවේ පින්තූරය]
යෙහෝවාට සේවය කරන අයට සෑම දෙයක්ම නිෂ්ඵල නොවේ
[23වන පිටුවේ පින්තූරය]
මේ ලෝකයේ තිබෙන බොහෝ පොත් පත් මෙන් නොව දෙවිගේ වචනය ප්රබෝධජනකය, ප්‍රයෝජනදායකය