අපේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීම
“ඔබේ සිතින් ක්‍රිස්තුස්ට ස්වාමී ලෙස ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට, ඊට පක්ෂව කතා කරන පිණිස නිතර සූදානම්ව සිටින්න.”—1 පේතෘස් 3:15, NW.
1, 2. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විරුද්ධවාදිකම් ගැන පුදුම නොවන්නේ ඇයි? නමුත් ඔවුන් ආශා වන්නේ කුමකටද?
බොහෝ රටවල, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුනාගෙන ඇත්තේ අවංක හා සදාචාරමය වශයෙන් පිරිසිදු ජීවිත ගත කරන පුද්ගලයන් වශයෙනි. බොහෝ අය ඔවුන්ව තකන්නේ කාටවත් කරදරයක් නොකරන හොඳ අසල්වැසියන් හැටියටයි. එහෙත් පුදුමසහගත ලෙස, සමාදානයට ප්‍රේම කරන මෙම ක්‍රිස්තියානීන්, යුද්ධය හා සාමය ඇති කාලයන් දෙකේදිම අයුක්තිසහගත අයුරින් පීඩා විඳ තිබෙනවා. ඔවුන් එවැනි විරුද්ධවාදිකමක් ගැන පුදුම වන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන් එය අපේක්ෂා කරනවා. පොදු යුගයේ පළවන ශතවර්ෂයේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට ‘වෛර කරනු ලැබුවාය’ කියා ඔවුන් දන්නවා; එසේනම් අදදින ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් වීමට වෙර දරන අයට ලැබෙන සැලකිල්ල ඊට වෙනස් වෙයි කියා ඔවුන් අපේක්ෂා කළ යුත්තේ ඇයි? (මතෙව් 10:22) ඇරත්, බයිබලය මෙසේ පවසයි: “ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.”—2 තිමෝති 3:12.
2 යෙහෝවාගේ සාක්ෂිකරුවන් පීඩා ලුහුබඳින්නේ නැති අතර, අමාරුකම් හා එයත් සමඟම එන දුෂ්කරතා, එනම් දඩ ගෙවීම්, සිරඅඩස්සි වීම් හෝ කෲර ආකාරයට සලකනු ලැබීමෙන් ඔවුන් ආස්වාදයක් ලබන්නේද නැහැ. කිසිම බාධාවකින් තොරව, දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට හැකි වන පරිද්දෙන් ඔවුන් ‘සන්සුන් හා නිශ්චල ජීවිතයක් ගත කිරීමට’ ආශා කරයි. (1 තිමෝති 2:1, 2) රටවල් වැඩි හරියක තම නමස්කාරය කරගෙන යෑමට ඇති නිදහස ඔවුන් අගය කරන අතර, මනුෂ්‍ය ආණ්ඩුවල පාලකයන් ඇතුළු “සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන්” සිටීමට පූර්ණ වෑයමක් දරයි. (රෝම 12:18; 13:1-7) එසේනම් ඇයි ඔවුන්ට ‘වෛර කරනු ලබන්නේ?’
3. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අයුක්තිසහගත ලෙස වෛර කර ඇති එක් හේතුවක් කුමක්ද?
3 මූලික වශයෙන් ගතහොත්, මුල් ක්‍රිස්තියානීන්ට පීඩා කර ඇත්තේ යම් හේතුවක් නිසාද, එම හේතු නිසාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද අයුක්තිසහගත ලෙස වෛර කරනු ලැබ තිබෙනවා. මුලින්ම ගත්තොත්, තම ආගමික විශ්වාසයන් ක්‍රියාවට නංවන ආකාරය හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමහරුන් අතරේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා. උදාහරණයක් හැටියට, ඔවුන් දෙවිගේ රාජ්‍ය ශුභාරංචිය ජ්වලිතව දේශනා කරන නමුත්, මිනිසුන් බොහෝදුරට ඔවුන්ගේ දේශනා කිරීම “බලහත්කාරකමින් ආගමට හරවාගැනීමක්” හැටියට දකියි. (ක්‍රියා 4:19, 20 සසඳන්න.) සාක්ෂිකරුවන් ජාතීන්ගේ දේශපාලනමය කටයුතු හා යුද්ධ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් දැරීම හේතුවෙන් ඔවුන් අපක්ෂපාති පුරවැසියන්ය කියා වරදවා තේරුම්ගෙන තිබෙනවා.—මීකා 4:3, 4.
4, 5. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොරු චෝදනාවල ඉලක්ක වී ඇත්තේ කොහොමද? (ආ) බොහෝවිට, යෙහෝවාගේ සේවකයන්ට ඇති කරන පීඩා පිටුපස සිටින ප්‍රධාන අය වී ඇත්තේ කවුද?
4 දෙවනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොරු චෝදනාවල ඉලක්කය වී තිබෙනවා; ඔවුන් ගැන අමූලික බොරු කීම හා ඔවුන්ගේ විශ්වාසයන් කනපිට පෙරළා ඉදිරිපත් කිරීම මෙයට අයත් වෙයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, සමහර දේශවලදී ඔවුන්ව අසාධාරණ ප්‍රහාරවලට ලක් වී තිබෙනවා. තවදුරටත්, ‘ලෙයින් වළකින්න’ යයි පවසන බයිබල් ආඥාවට කීකරු වීමක් වශයෙන් ඔවුන් රුධිර රහිත වෛද්‍යමය ප්‍රතිකාර ලබාගැනීමට උත්සුක වන හෙයින්, “ළමා ඝාතකයන්” හා “සියදිවි නසාගැනීමේ කල්ලියක්” හැටියට ඔවුන්ව හංවඩු ගසා තිබෙනවා. (ක්‍රියා 15:28) නමුත් කාරණය වී ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජීවිතය අගනා එකක් සේ සලකන අතර, තමන් සඳහාත් තමන්ගේ දරුවන් සඳහාත් ඔවුන් ලබාගත හැකි හොඳම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට උත්සාහ කිරීමයි. රුධිර ප්‍රවේශනයන් ප්‍රතික්ෂේප කිරීම නිසා යෙහෝවාගේ සාක්ෂිකාර දරුවන් රැසක් වාර්ෂිකව මිය යනවාය යන ප්‍රකාශයේ මොනයම් සත්යතාවක්වත් නැහැ. ඒ සඳහා සාක්ෂිද සොයාගත නොහැකියි. සියලුම පවුල් සාමාජිකයන් කෙරෙහි බයිබල් සත්‍යයන් එක සේ බලපෑම් නොකරන බැවින්, පවුල් දෙකඩ කිරීමේ දෝෂාරෝපණයටද යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලක් වී තිබෙනවා. එහෙත්, ඔවුන් පවුල් ජීවිතය උසස් කොට තකන බවත්, තම විශ්වාසයට අයත්ව සිටියත් නැතත්, පුරුෂයා හා භාර්යාව එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය පෙන්වීමට වූ බයිබල් ආඥාව පිළිපැදීමට යත්න දරන අතර දරුවන්ද තම දෙමාපියන්ට කීකරු වන බවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන අය දන්නා කරුණකි.—එපීස 5:21–6:3.
5 බොහෝ අවස්ථාවලදී, යෙහෝවාගේ සෙනඟට ඇති කරන පීඩා පිටුපස ප්‍රධාන වශයෙන් සිටින අය වන්නේ ආගමික විරුද්ධවාදීනුයි; තවද ඔවුන් දේශපාලනමය අධිකාරීන් හා ජනසන්නිවේදන මාධ්‍ය කෙරෙහි තමන්ට ඇති බලපෑම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු මැඩපැවැත්වීමට යොදාගෙන තිබෙනවා. එසේනම් අපේ විශ්වාසයන් හා අපේ ක්‍රියාකාරකම් නිසා හෝ බොරු චෝදනාවල ප්‍රතිඵලයක් නිසා හෝ ඇති වන එවන් විරුද්ධවාදිකම්වලට යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි කෙලෙසද ප්‍රතිචාරය දැක්විය යුත්තේ?
“ඔබේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා”
6. ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අය ගැන සමබර ආකල්පයක් ඇතුව සිටීම වැදගත් වන්නේ ඇයි?
6 මුලින්ම වැදගත් වන්නේ, අපේ ආගමික විශ්වාසයන් හා සමඟ එකඟ නොවන අය ගැන නිවැරදි ආකල්පයක්, එනම් යෙහෝවාගේ ආකල්පය තිබීමයි. එසේ නොවුණොතින් අප අනවශ්‍ය ආකාරයකට විරුද්ධවාදිකම් පෑමකට හෝ අවමන් කිරීමකට අන්‍යයන්ට ආරාධනා කරනවා විය හැකියි. “ඔබේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා” කියා ප්‍රේරිත පාවුල් සඳහන් කළා. (පිලිප්පි 4:5, NW) මෙලෙස, ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින්නන් ගැන සමබර ආකල්පයක් තබාගන්නා හැටියට බයිබලය දිරිගන්වයි.
7. “ලෝකයෙන් කැළැල් රහිතව” සිටීමට අයත් වන්නේ කුමක්ද?
7 අනික් අතට, ශුද්ධ ලියවිලි අපට පැහැදිලිවම පවසන්නේ “ලෝකයෙන් [අපව] කැළැල් රහිතව තබාගන්නා” හැටියටයි. (යාකොබ් 1:27, NW; 4:4) වෙනත් ස්ථාන රැසක මෙන් මෙහිදීද, ‘ලෝකය’ යන වචනයෙන් සැබෑ ක්‍රිස්තියානීන් හැර අන් මුළු මහත් මනුෂ්‍යවර්ගයාටම යොමු දක්වයි. අප ජීවත් වන්නේ මේ මනුෂ්‍ය සමාජය අතරෙහියි; රැකියාවේදී, පාසැලේදී හා වටාපිටාවේදී අපට ඔවුන්ව මුණ ගැසෙයි. (යොහන් 17:11, 15; 1 කොරින්ති 5:9, 10) එහෙත්, අප ලෝකයෙන් අපව කැළැල් රහිතව තබාගන්නේ, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති හා ගැටෙන ආකල්ප, කතාව හා හැසිරීම එපා කිරීමෙනුයි. තවද මේ ලෝකයේ අය සමඟ, විශේෂයෙන්ම යෙහෝවාගේ ප්‍රමිති ගැන කිසිදු තැකීමක් නොදක්වන අය සමඟ කිට්ටු ඇසුරක් තබාගැනීමේ අන්තරාව අප හඳුනාගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.—හිතෝපදේශ 13:20.
8. ලෝකයෙන් කැළැල් රහිතව සිටීමට වූ උපදෙසින්, අන්‍යයන්ව සුළු කිරීම සඳහා අපට කිසිම පදනමක් සපයන්නේ නැත්තේ ඇයි?
8 කොහොම වුණත්, ලෝකයෙන් කැළැල් රහිතව සිටීමට වූ උපදෙසින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන අයව මුළුමනින්ම සුළු කිරීම සඳහා අපට පදනමක් සපයන්නේ නැහැ. (හිතෝපදේශ 8:13) කලින් ලිපියේ සඳහන් කළ යුදෙව් ආගමික නායකයන්ගේ ආදර්ශය සලකා බලන්න. ඔවුන් බිහි කළ නමස්කාර ක්‍රමය යෙහෝවාගේ අනුමැතිය දිනාගත්තේ නැහැ; තවද එය යුදෙව් නොවන්නන් සමඟ යහපත් සබඳතාවලට දායක වූයේද නැහැ. (මතෙව් 21:43, 45) ආත්ම-ධර්මිෂ්ඨකමේ උත්කෘෂ්ටබවකින් යුතුව මෙම උන්මත්තක වූ මිනිසුන් අන්‍ය ජාතිකයන් දෙස පහත් ආකාරයකිනුයි බැලුවේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන අයව පහත් ආකාරයකට සලකමින්, අප එවැනි පටු දෘෂ්ටියකින් යුතුව කටයුතු කරන්න යන්නේ නැහැ. ප්‍රේරිත පාවුල් මෙන් අපේ පැතුම වන්නේද බයිබලයේ සත්‍ය පණිවිඩයට කන් දෙන සැමදෙනම දෙවිගේ අනුමැතිය ලබාගන්නවා දැකගැනීමයි.—ක්‍රියා 26:29; 1 තිමෝති 2:3, 4.
9. ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ සමබර ආකල්පයක්, අපේ විශ්වාසයන් බෙදා නොගන්නාවූ අය ගැන කතා කරන ආකාරයට කෙබඳු බලපෑමක් කළ යුතුද?
9 ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ සමබර ආකල්පයක්, සාක්ෂිකරුවන් නොවන අය ගැන කතා කරන ආකාරයට බලපෑමක් කළ යුතුයි. පාවුල් තීතස්ට උපදෙස් දුන්නේ, ක්‍රීතයේ සිටි ක්‍රිස්තියානීන්ට “කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද” සිහි කරවන හැටියටයි. (තීතස් 3:2) “කිසිවෙකු ගැන” එනම් බොරුකීම, කෑදරකම හා කම්මැළිකම වැනි දේවල් ගැන අපකීර්තියක් දැරූ, ක්‍රීතයේ සිටි ක්‍රිස්තියානි නොවන අය ගැන පවා අගුණ නොකියන හැටියට ක්‍රිස්තියානීන්ට පවසා තිබූ බව සැලකිල්ලට ගන්න. (තීතස් 1:12) එසේනම්, අපේ විශ්වාසයන් බෙදා නොගන්නා අය ගැන කතා කිරීමේදී අවමන්සහගත ප්‍රකාශ භාවිත කිරීම ශුද්ධ ලියවිලිවලට එකඟ වෙන්න යන්නේ නැහැ. තමාවම උසස් කරගැනීමේ ආකල්පය, වෙනත් අයව යෙහෝවාගේ නමස්කාරය වෙතට ආකර්ෂණය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, යෙහෝවාගේ වචනයේ සඳහන් සාධාරණ ප්‍රතිපත්තිවලට එකඟ වන ආකාරයකට අප අන්‍යයන්ව දකින හා සලකන විට, අප ‘දෙවිගේ ධර්මය අලංකාර’ කරන්න යනවා.—තීතස් 2:9.
නිශ්ශබ්දව සිටිය යුත්තේ හා කතා කළ යුත්තේ කොයි අවස්ථාවේදීද?
10, 11. තමා “නිශ්ශබ්දව සිටින්ට කාලය” හා (ආ) “කථාකරන්ට කාලය” දැන සිටි බව යේසුස් නිරූපණය කළේ කොහොමද?
10 “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” තිබෙනවා කියා දේශනාකාරයා 3:7 පවසයි. එසේනම් දැන් අප ඉදිරියේ අභියෝගයක් ඇත: එනම් විරුද්ධවාදිකම් පෙන්වන්නන්ව මඟහරින්නේ කොයි අවස්ථාවේද මෙන්ම අපේ ඇදහිල්ලට පක්ෂව කතා කළ යුත්තේ කොයි අවස්ථාවේදීද යන්න තීරණය කිරීමයි. විචක්ෂණ නුවණ සම්බන්ධයෙන් සැමවිටම සම්පූර්ණත්වය විදහා පෑ පුද්ගලයාගේ ආදර්ශය, එනම් යේසුස්ගෙන් අපට දේවල් රැසක් උගත හැකියි. (1 පේතෘස් 2:21) ‘නිශ්ශබ්දව සිටිය යුත්තේ කුමන අවස්ථාවේදීදැයි’ ඔහු දැන සිටියා. උදාහරණයක් හැටියට, උත්තම පූජකයෝ හා වැඩිමහල්ලෝ පිලාත් ඉදිරියේ යේසුස්ව වැරදි ආකාරයට චෝදනාවට ලක් කළ විට, යේසුස් “කිසි උත්තරයක් දුන්නේ නැත.” (මතෙව් 27:11-14) තමා සම්බන්ධයෙන් වූ දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට බාධා ඇති කළ හැකි මොනම දෙයක්වත් පැවසීමට ඔහු කැමති වූයේ නැහැ. ඒ වෙනුවට, ඔහු සාක්ෂි සැපයීම සඳහා තමාගේ ක්‍රියාවලට ඉඩ දුන්නා. සත්‍යයට පවා ඔවුන්ගේ උඩඟු සිත් හා හෘදයන් වෙනස් කළ නොහැකි බව ඔහු දැන සිටියා. එහෙයින් තම අරමුණුසහගත නිහැඬියාව බිඳදැමීමට නොහැකි වන පිණිස ඔහු ඔවුන්ගේ චෝදනාව ගණනකට නොගෙන සිටියා.—යෙසායා 53:7.
11 කොහොම වුණත්, ‘කතා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද’ කියා යේසුස් දැන සිටියා. අවස්ථාව එළඹුණු විට, ඔවුන්ගේ බොරු චෝදනා නිෂ්ප්‍රභ කරමින්, ඔහු ඔහුගේ විවේචකයන්ට නොවළහා ඍජුව කතා කළා. උදාහරණයක් හැටියට, බෙල්සෙබුබ්ගේ ආධාරයෙන් භූතයන් දුරු කරනවාය කියා චෝදනා කරමින් සමූහයා ඉදිරියේ ඔහුව පාච්චල් කිරීමට ලියන්නන් හා ඵරිසිවරුන් උත්සාහ කළ විට, බොරු චෝදනාවලට ඉඩ දීමට යේසුස් තෝරාගත්තේ නැහැ. තර්ක බිඳ දමන හේතු සාධනයෙන් හා බලගතු උපමාවෙන් ඔහු බොරුව නිෂ්ප්‍රභ කළා. (මාර්ක් 3:20-30; එසේම මතෙව් 15:1-11; 22:17-21; යොහන් 18:37ද බලන්න.) එයාකාරයෙන්ම, යේසුස්ව පාවා දීමෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් පසුව, සැන්හීඩ්රිනය වෙතට ඇදගෙන ගිය අවස්ථාවේදී, උත්තම පූජක කායාඵස් කූට අන්දමින් මෙසේ තරයේ කියා සිටියා: ‘ඔබ දෙවිගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්ද කියා අපට කියන මෙන් ජීවමාන දෙවිගේ නාමයෙන් මම ඔබ දිවුරවන්නෙමි.’ මෙයද “කථාකරන්ට කාලයක්” වුණා; මන්දයත් නිශ්ශබ්දව සිටීමෙන් තමා ක්‍රිස්තුස් බව ප්‍රතික්ෂේප කිරීම ඇඟවිය හැකි නිසයි. එහෙයින් යේසුස් මෙසේ පිළිතුරු දුන්නා: “එසේය.”—මතෙව් 26:63, 64; මාර්ක් 14:61, 62.
12. ඉකෝනියේදී නිර්භීතකමින් යුතුව කතා කිරීමට පාවුල්ට හා බාර්ණබස්ට මඟ පෑදූ තත්වයන් මොනවාද?
12 පාවුල් හා බාර්ණබස්ගේ ආදර්ශයද සලකා බලන්න. ක්‍රියා 14:1, 2 මෙසේ ප්‍රකාශ කරයි: “තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය. නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍යජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.” නව ඉංග්‍රීසි බයිබලය මෙසේ පවසයි: “හරවා නොගත් යුදෙව්වරු අන්‍යජාතීන්ගේ සිත් කලඹා, ක්‍රිස්තියානීන්ට විරුද්ධ වන හැටියට ඔවුන්ගේ මනස්වලට වස පෙව්වෝය.” තමන් පණිවිඩය ප්‍රතික්ෂේප කිරීම පමණකින් සෑහීමට පත් නොවී, යුදෙව් විරුද්ධවාදීන් අන්‍ය ජාතිකයන් තුළ ක්‍රිස්තියානීන් ගැන අගතිසහගත හැඟීම් ඇති කිරීමට උත්සාහ කරමින්, බොරු දෝෂාරෝපණ ව්‍යාපාරයක නියැලුණා.a ක්‍රිස්තියානි ධර්මය සඳහා ඔවුන්ට තිබූ වෛරය කොතරම් ගැඹුරට මුල්බැස ගත් එකක් වන්ට ඇද්ද! (ක්‍රියා 10:28 සසඳන්න.) මහජන අවමානයෙන් නව ගෝලයන්ගේ සිත කලකිරීමට පත් නොවීම සඳහා මෙය “කථාකරන්ට කාලයක්” බව පාවුල් හා බාර්ණබස්ට වැටහුණා. “එහෙයින් ඔව්හු [පාවුල් හා බාර්ණබස් යෙහෝවා] තුළ නිර්භීතලෙස කථාකරමින් බොහෝ කලක් නැවතී සිටියෝය.” තවද ආශ්චර්යයන් කිරීමට ඔවුන්ට බලය දීමෙන් යෙහෝවා ඔහුගේ අනුමැතිය පිළිබිඹු කළා. මෙහි ප්‍රතිඵලය වූයේ “සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද” සිටීමයි.—ක්‍රියා 14:3, 4.
13. අවමන්සහගත ප්‍රකාශයන් සම්බන්ධයෙන් කටයුතු කරන විට, “නිශ්ශබ්දව සිටින්ට” සුදුසු කාලය වන්නේ කුමක්ද?
13 එසේනම් අපව අවමානයට ලක් වන විට අප කෙසේ ප්‍රතිචාරය දැක්විය යුතුද? ඒ සියල්ල රඳා පවතින්නේ අපේ තත්වයන් මතයි. සමහරක් අවස්ථාවලදී ‘නිශ්ශබ්දව සිටීම’ යන ප්‍රතිපත්තිය අදාළ කළ යුතු වන අවස්ථා පැනනඟිනවා. මෙය විශේෂයෙන්ම සැබෑවක් වන්නේ අධිෂ්ඨානපූර්වක විරුද්ධවාදීන් අපව තේරුමක් නැති විවාදවලට පටලවාගැනීමට උත්සාහ කරන අවස්ථාවකදීයි. සමහර මිනිසුන් සත්‍යය දැනගැනීමට ඇත්තෙන්ම කැමති නැති බව අප අමතක නොකළ යුතුයි. (2 තෙසලෝනික 2:9-12) අවිශ්වාසය මත තම හෘද දැඩි ලෙස පදනම් කරගෙන තිබෙන අයට හේතු සාධක පෙන්වීමට යෑම ඵල රහිතයි. එපමණක්ද නොවෙයි, අපට බොරු චෝදනා එල්ල කරන සෑම කෙනෙකු සමඟම වාද කිරීමට අප තැත් කෙරුවොත්, වඩා වැදගත් හා විපාකදායී ක්‍රියාකාරකමක් වන බයිබල් සත්‍යය දැනගැනීමට ඇත්තෙන්ම උවමනාවක් තියෙන අවංක හදවත් ඇති අයට උපකාර කිරීමේ වැඩයෙන් අපව වෙනතකට හරවන්න යනවා. එසේනම්, අප ගැන බොරු පැතිරවීමට උත්සුක වන විරුද්ධවාදීන් අපට හමු වන විට, දේවානුභාව ලත් උපදේශය වන්නේ “ඔවුන්ව මඟහරින්න” යන්නයි.—රෝම 16:17, 18, NW; මතෙව් 7:6.
14. අන්‍යයන් ඉදිරියේ අපේ ඇදහිල්ලට පක්ෂව අපට කතා කළ හැකි වන්නේ කුමන මාර්ගයන්ගෙන්ද?
14 හැබැයි ඇත්තෙන්ම මෙයින් අදහස් කරන්නේ නැහැ, අප අපේ ඇදහිල්ලට පක්ෂව කතා කරන්නේ නැති බව. මන්දයත් ‘කතා කරන්ටත් කාලයක්’ තිබෙනවා. අප ගැන පවසන අවලාදාත්මක තොරතුරුවලට නිරාවරණය වූ අවංක හදවත් ඇති මිනිසුන් ගැන අප සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක්. අපේ හෘදයෙන්ම එන විශ්වාසයන් ගැන අන්‍යයන්ට පැහැදිලි කර දීමට අප කැමතියි; ඒ සඳහා ලැබෙන ඕනෑම අවස්ථාවක් අප ඇත්තෙන්ම සතුටින් භාරගන්නවා. පේතෘස් මෙසේ ලිව්වා: “ඔබේ සිතින් ක්‍රිස්තුස්ට ස්වාමී ලෙස ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට, ඊට පක්ෂව කතා කරන පිණිස නිතර සූදානම්ව සිටින්න. නමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුයි.” (1 පේතෘස් 3:15, NW) අව්‍යාජ උනන්දුවක් දක්වන පුද්ගලයන්, අප අගනා කොට සලකන විශ්වාසයන් සඳහා සාක්ෂි ඉල්ලා සිටින විට, විරුද්ධවාදීන් විසින් කර ඇති බොරු චෝදනා ගැන ඔවුන් ප්‍රශ්න කරන විට, අපේ ඇදහිල්ලට පක්ෂව කතා කරමින්, බයිබලය මත පදනම් වූ පිළිතුරු සැපයීම අපේ වගකීමයි. ඊට අමතරව, අපගේ කදිම හැසිරීමද මහත් සාක්ෂියක් දරයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට අප ඇත්තෙන්ම උත්සාහ කරන බව විවෘත මනස් ඇති අය නිරීක්ෂණය කරන විට, අපට විරුද්ධව කර ඇති චෝදනා අසත්‍ය ඒවා බව ඔවුන්ට නිරායාසයෙන්ම වැටහෙයි.—1 පේතෘස් 2:12-15.
අවමන් සහගත ප්‍රචාරයන් ගැන කුමක් කිව හැකිද?
15. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජන සන්නිවේදන මාධ්‍යයේ විකෘති කොට දක්වන ලද තොරතුරුවල ඉලක්කයක් වී ඇතැයි යන්න සනාථ කරන උදාහරණයක් දෙන්න.
15 සමහර අවස්ථාවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජන සන්නිවේදන මාධ්‍යයේ විකෘති කොට දක්වන ලද තොරතුරුවල ඉලක්කය බවට පත් වී තිබෙනවා. උදාහරණයක් හැටියට, වෙනත් දේවලට අමතරව සාක්ෂිකරුවන් ‘තම ඇදහිල්ලට අයත් නොවන මෙන්ම එය තේරුම් නොගන්නා භාර්යාවන්, ස්වාමිපුරුෂයන් හා දෙමාපියන්ව’ ප්‍රතික්ෂේප කිරීමට තම සාමාජිකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බව සඳහන් කරන අවමන්සහගත ලිපියක්, 1997 අගෝස්තු 1වනදා රුසියානු පුවත්පතක මුද්‍රණය කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හොඳින් දන්නා ඕනෑම කෙනෙක් මෙම චෝදනාව අසත්‍යයක් කියා දන්නවා. නොඇදහිලිවන්ත පවුල් සාමාජිකයන්ට ප්‍රේමයෙන් හා ගෞරවයෙන් යුතුව සැලකිය යුතු බව බයිබලය ක්‍රිස්තියානීන්ට පෙන්නුම් කරන අතර, එම මඟ පෙන්වීම අනුගමනය කිරීමට සාක්ෂිකරුවන් වෙර දරයි. (1 කොරින්ති 7:12-16; 1 පේතෘස් 3:1-4) ඒ වුණත්, ලිපිය මුද්‍රණය කළ අතර, පාඨකයන් රැසක් නොමඟ යවනු ලැබුවා. එසේ නම් අපට, අවමන්සහගත ප්‍රකාශ එල්ල වන විට, අපේ ඇදහිල්ලට පක්ෂව අපට කතා කළ හැක්කේ කෙසේද?
16, 17 හා 16වන පිටුවේ ඇති කොටුව. (අ) ජන සන්නිවේදන මාධ්‍යයේ අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාරය දැක්වීම සම්බන්ධයෙන් මුරටැඹ එක් අවස්ථාවක පැවසුවේ කුමක්ද? (ආ) ජන සන්නිවේදන මාධ්‍යයේ නිෂේධාත්මක වාර්තාවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිචාරය දැක්විය හැක්කේ කුමන තත්වයන් යටතේද?
16 මෙහිදීත්, “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” ඇත. මුරටැඹ එක් අවස්ථාවක එය මෙසේ ඉදිරිපත් කළා: “අප ජන සන්නිවේදන මාධ්‍යයේ අසත්‍ය වාර්තා නොතකා හරිනවාද, නැතිනම් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමෙන් සත්‍යයට පක්ෂව කතා කරනවාද යන්න තීරණය වන්නේ තත්වයන්, විවේචනය උසිගන්වා ඇති අය හා ඒ අයගේ පරමාර්ථය සැලකිල්ලට ගැනීම මතයි.” සමහර අවස්ථාවලදී යම් නිෂේධාත්මක වාර්තා මඟහැරීම වඩාත්ම සුදුසු දෙය විය හැකියි; මන්දයත් ඒ මාර්ගයෙන් අප තවදුරටත් බොරුවලට ප්‍රසිද්ධියක් සපයන්න යන්නේ නැහැ.
17 තවත් අවස්ථාවලදී, එය “කථාකරන්ට කාලය” විය හැකියි. විශ්වාස කටයුතු පුවත්පත් කලාවේදියෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳ වැරදි තොරතුරුවලින් මුළාව ගොස් සිටිනවා විය හැකි අතර, අප ගැන සත්‍ය තොරතුරු ලබාගැනීමට සතුටු විය හැකියි. (“වරදවා වටහාගැනීමක් නිවැරදි කරගැනීම” යන කොටුව බලන්න.) ජන සන්නිවේදන මාධ්‍යය ඉදිරිපත් කර ඇති නිෂේධාත්මක වාර්තාවලින් අපේ දේශනා සේවයට බාධා කරවන කලහකාරි තත්වයක් හටගැන්වී ඇත්නම්, මුරටැඹ සමිතියේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන් යම් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙන් සත්‍යයට පක්ෂව කතා කිරීම සඳහා මුලපුරා කටයුතු කළ හැකියි.b උදාහරණයක් හැටියට, යම් රූපවාහිනි වැඩසටහනක පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලත් වැඩිමහල්ලන්ට පැවරුම් ලැබිය හැකියි; තවද එවැන්නක පෙනී සිටීමට අසමත් වීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට උත්තරයක් දීමට නොහැකිය යන අදහස දිය හැකියි. සාක්ෂිකරුවන් පෞද්ගලික වශයෙන්, එවැනි කාරණා සම්බන්ධයෙන් මුරටැඹ සමිතිය හා එහි නියෝජිතයන් සපයන මඟ පෙන්වීමට නැණවත් ආකාරයකින් සහයෝගය දක්වයි.—හෙබ්‍රෙව් 13:17.
ශුභාරංචියට පක්ෂව නීතිමය පියවර ගැනීමෙන්
18. (අ) දේශනා කිරීම සඳහා අපට මනුෂ්‍ය ආණ්ඩුවල අවසරය අවශ්‍ය නොවන්නේ ඇයි? (ආ) දේශනා කිරීමේ අවසරය අහෝසි කළ විට අප ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
18 දේවරාජ්‍යය දේශනා කිරීමට අපට අධිකාරිය ලැබී ඇත්තේ ස්වර්ගයෙන්. මෙම වැඩය කිරීමට අපට විධාන කොට ඇති යේසුස්ට “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” දී ඇත. (මතෙව් 28:18-20; පිලිප්පි 2:9-11) එහෙයින්, දේශනා කිරීම සඳහා අපට මනුෂ්‍ය ආණ්ඩුවල අවසරය අවශ්‍ය නැහැ. ඒ වුණත්, ආගමික නිදහස ඇතුව සිටීම රාජ්‍ය පණිවිඩය බෙදාහැරීමට ඉවහල් වන බව අපට වැටහෙන කරුණක්. අපේ නමස්කාරය දිගටම කරගෙන යෑමට නිදහස ඇති රටවල, එය ආරක්ෂා කිරීම සඳහා අප එහි නීතිමය ක්‍රමය දිගටම භාවිත කිරීමට යනවා. එවැනි නිදහසකින් අපව වළක්වා ඇති තැන්වල, නීතිමය සැකැස්මට එකඟව එය ලබාගැනීමට තැත් කරනවා. අපේ ඉලක්කය වන්නේ සමාජීය ප්රතිසංස්කරණයක් නොව, “ශුභාරංචියට පක්ෂව කතා කිරීමත් එය නීතිමයව ස්ථිර කිරීමත්ය.”c—පිලිප්පි 1:7, NW.
19. (අ) ‘දෙවිගේ දේ දෙවිට දීමෙන්’ ඇති විය හැකි ප්‍රතිඵලය කුමක්ද? (ආ) අපේ අධිෂ්ඨානය වී ඇත්තේ කුමක් කිරීමද?
19 යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අප යෙහෝවාව විශ්වනීය පරමාධිපති හැටියට පිළිගනියි. ඔහුගේ නීතිය ශ්‍රේෂ්ඨතම එක වෙයි. අප සාවධානී ලෙස මනුෂ්‍ය ආණ්ඩුවලට කීකරු වන අතර, එතුළින් ‘කායිසර්ගේ දේ කායිසර්ට දෙයි.’ නමුත් අපේ වැදගත්ම වගකීම වන ‘දෙවිගේ දේ දෙවිට දීම’ බාධාවට පත් කිරීමට අප කිසිවකටවත් ඉඩ දෙන්නේ නැහැ. (මතෙව් 22:21) මෙසේ කිරීමෙන් ජාතීන් අපට ‘වෛර කරනු ලැබීමට’ යන බව අප හොඳින්ම දන්නා නමුත්, මෙය ගෝලත්ව වියදමේ කොටසක් හැටියට අපි පිළිගන්නෙමු. විසිවන සියවසේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳ ඇති නීතිමය වාර්තාව අප අපේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීම පිළිබඳ වූ අපේ අධිෂ්ඨානය සඳහා කදිම නිදසුනකි. තවද යෙහෝවාගේ උදව් උපකාර ඇතුව, අප ‘නොනැවතී ශුභාරංචිය දේශනා කිරීමේ’ හවුල් වන්න යනවා.—ක්‍රියා 5:42.
[පාදසටහන්වල]
a යුදෙව් විරුද්ධවාදීන් “තමන් දැන සිටි [අන්‍ය ජාතිකයන්ව] උවමනාවෙන්ම මුණගැසී, ක්‍රිස්තියානි ධර්මය ගැන ද්වේෂසහගත මෙන්ම අහිතකර ආකල්පයක් ඇති කිරීම සඳහා තම මනසට ආ ගෙතිය හැකි ඕනෑම බොරුවක් ඔවුන්ට පැවසීම තමන්ගේ පුරුද්දක් කරගත්” බව මැතිව් හෙන්රිගේ සමස්ථ බයිබලය පිළිබඳ විචාරය (ඉංග්‍රීසියෙන්) පැහැදිලි කරයි.
b (පහළොස්වන ඡේදයේ සඳහන්) රුසියානු පුවත්පතේ දක්නට ලැබුණු අවමන්සහගත ලිපිය මුද්‍රණය කිරීමෙන් පසු, ලිපියේ සඳහන් බොරු චෝදනා යළි සලකා බලන හැටියට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුසියානු සමූහාණ්ඩුවේ සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති විනිශ්චමය මණ්ඩලයට අභියාචනා කළා. මෑතකදී ලිඛිත අපහාසයන් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් පුවත්පතට දැඩි දඬුවම් පැනෙව්වා.—1998 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 25-6 පිටු බලන්න.
c දහනවයේ සිට විසිදෙක දක්වා පිටුවල ඇති “ශුභාරංචිය නීතිමය ලෙස සුරැකීම” යන ලිපිය බලන්න.
ඔබට මතකද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ‘වෛර කරනු ලබන්නේ’ ඇයි?
◻ අපේ ආගමික විශ්වාසයන් බෙදා නොගන්නා අයව අප කෙසේද සැලකිය යුත්තේ?
◻ විරුද්ධවාදීන් සමඟ කටයුතු කිරීමේදී, යේසුස් තබාගිය සමබර ආදර්ශය කුමක්ද?
◻ අපව අවමානයට ලක් වන විට, “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” යන ප්‍රතිපත්තිය අදාළ කළ හැක්කේ කෙසේද?
[16වන පිටුවේ කොටුව]
වරදවා වටහාගැනීමක් නිවැරදි කරගැනීම
“බොලීවියාවේ යාක්වීබාහි, ඇදහිල්ල අතහැරගියවුන් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් රූපවාහිනියේ තිරගත කිරීමට එරටේ එවැන්ජලිස්ත කණ්ඩායමක් කටයුතු සූදානම් කළා. එම වැඩසටහනේ ඇති නරක බලපෑම සැලකිල්ලට ගනිමින්, වැඩිමහල්ලන් රූපවාහිනි සංස්ථා දෙකකට ගොස් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—නාමය පිටුපස තිබෙන සංවිධානය හා බයිබලය—සත්‍යතාවන් හා අනාවැකි ඇතුළත් ග්රන්ථයක් යන වීඩියෝ පට දෙක රූපවාහිනිය ඔස්සේ පෙන්වීම සඳහා ගෙවීමක් කිරීමට ඉදිරිපත් වුණා. සමිතියේ වීඩියෝ පට දෙක දැකීමෙන් පසු, ඇදහිල්ල අතහැරගියවුන් ඉදිරිපත් කළ වැඩසටහනින් වූ වරදවා වටහා දීම ගැන කුපිත වූ එක් ගුවන් විදුලි විකාශනාගාරයක අයිතිකරුවෙක්, වැඩසටහන් අතරේදී ඔවුන්ගේ එළඹෙන දිස්ත්‍රික් සමුළුව ගැන නොමිලේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඉල්ලා සිටියා. පැමිණීම සාමාන්‍යයට වඩා වැඩි වූ අතර, සාක්ෂිකරුවන් ක්ෂේත්‍ර සේවයේදී මිනිසුන්ව බැහැදැක්ක විට, අවංක හදවත් ඇති අය ඔවුන්ගෙන් ප්‍රශ්නද විමසුවා.”—1997 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්), 61-2 පිටු.
[17වන පිටුවේ පින්තූරය]
අවස්ථාව පැමිණි විට, යේසුස් ඔහුගේ විවේචකයන්ගේ බොරු චෝදනා ඍජුව නිෂ්ප්‍රභ කළා