නිර්මාණය කර තිබෙන්නේ සදාකල් ජීවත්වීමටය
මනුෂ්‍ය ශරීරය ආශ්චර්යවත් ලෙස නිර්මාණය කර තිබේ. එහි විකසනය සහ වර්ධනය සැබවින්ම ආශ්චර්යයකි. පුරාණ ලේඛකයෙක් මෙසේ හඬ නඟා කීවේය: “මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි.” (ගීතාවලිය 139:14) මනුෂ්‍ය ශරීරයේ ආශ්චර්යයන් පිළිබඳ හසළ දැනුමක් ඇති සමහර විද්‍යාඥයන්ට වයසට යෑම සහ මරණය ප්රහේලිකාවක්ය. ඔබටත් එසේද?
“වයසට යෑම . . . නිරතුරුවම අප මූණපෑවත් මගේ පුදුමයට හේතුවක් නම්, බොහෝ මිනිසුන් එය ජීව විද්‍යාත්මක අභිරහසක් බව අවබෝධ කර නොගැනීමය,” යනුවෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ස්ටීවන් ඕස්ටැඩ් ලීවේය. සෑම කෙනෙකුම වයසට යනවා යන සිද්ධාන්තය “[වයසට යෑම] එතරම් ව්‍යාකූල නොවන යමක් ලෙස පෙනීමට සලස්වයි,” යනුවෙන් ඕස්ටැඩ් සඳහන් කළේය. කෙසේවෙතත්, ඔබ ඒ ගැන ඇත්තටම සිතන විට, වයසට යෑම සහ මරණයට යම් තේරුමක් තිබේද?
පසුගිය වසරේ, මනුෂ්‍ය ජීවිතයේ සහ වර්ධනයේ ආශ්චර්යයන් ඒත්තුගනිමින් ආචාර්ය ලෙනාර්ඩ් හේෆ්ලික් හව් ඇන්ඩ් වයි වී ඒජ් යන සිය පොතෙහි මෙසේ ලීවේය: “පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වාද අනතුරුව ලිංගික පරිණතභාවය සහ වැඩිහිටි අවදිය දක්වාද අප ගෙන යන්නාවූ ආශ්චර්යයන් සිදු කිරීමෙන් පසු, පෙනෙනාකාරයට එම ආශ්චර්යයන් ඉඳුරාම සදාකාලයටම පවත්වාගැනීම සඳහා වඩාත් මූලික යන්ත්‍රණයක් බිහි කිරීමට ස්වභාවධර්මයා තෝරා නොගත්තේය. මෙම දර්ශනය දශක ගණනාවකට ජීව ජරා විභාග විද්‍යාඥයන්ව [වයසට යෑම පිළිබඳ ජෛව විද්‍යාත්මක අංග අධ්‍යයනය කරන්නාවූ අය] අවුල්සහගත තත්වයකට පත් කර තිබේ.”
වයසට යෑම සහ මරණය සම්බන්ධයෙන් ඔබත් අවුල්සහගත තත්වයක සිටින්නෙහිද? ඒවා කුමන අරමුණක් ඉටු කරයිද? හේෆ්ලික් මෙසේ නිරීක්ෂණය කරයි: “ඇත්තවශයෙන්ම පිළිසිඳ ගැනීමේ සිට පරිණතභාවයට පැමිණීම දක්වා ඇති සෑම ජෛව විද්‍යාත්මක සිදුවීමකටම අරමුණක් තිබෙන බව පෙනේ, නමුත් වයසට යෑමට නොතිබේ. වයසට යෑම සිදු විය යුත්තේ මන්දැයි පැහැදිලි ලෙස නොපෙනේ. වයසට යෑමේ ජෛව විද්‍යා සාධකවලින් අප බොහෝ දේ ඉගෙනගෙන තිබුණද . . . , අරමුණු රහිත වයසට යෑම හා ඉන්පසුව පැමිණෙන මරණයේ අනිවාර්ය ප්‍රතිඵලය සමඟ අපි තවමත් ඉතිරි වී සිටිමු.”
මහලු වී මියයෑමට නොව, නමුත් මිහිපිට සදාකල් ජීවත්වීම අප සඳහා අදහස් කළ බව සිතිය හැකිද?
ජීවත්වීමට ඇති ආශාව
ඇත්තෙන්ම සියලුදෙනාම පාහේ වයසට යෑම සහ මරණයට පත්වීම නුරුස්සන බව ඔබ දන්නවා වෙන්ට පුළුවන. ඇත්තවශයෙන්ම, බොහෝදෙනෙක් ඒ ගැන බලාපොරොත්තු වෙමින් බිය වෙති. හව් වී ඩයි යන සිය පොතේ වෛද්‍ය ෂර්වින් බී. නියූලන්ඩ් මෙසේ ලීවේය: “නිකම්ම කිසිවක් නොමැති—එනම් හිස්බවක් නොමැති නිත්‍ය සිහිනැතිකම පිළිබඳ අදහස සමඟ මරණය නමැති අපගේම තත්වය පිළිබඳ කල්පනාවට මුහුණ දීමට මානසික ලෙස අප කිසිවෙකුට හැකි බව නොපෙනේ.” වයසට ගොස්, ලෙඩ වී මරණයට පත්වීමට අවශ්‍ය කිසිවෙකු ඔබ දැන හඳුනන්නෙහිද?
එහෙත්, වයසට යෑම සහ මරණයට පත්වීම ස්වාභාවික මෙන්ම යම් තීක්ෂ්ණ සැලසුමක කොටසක් නම්, අපි ඒවා සාදරයෙන් පිළි නොගන්නෙමුද? එහෙත් අපි එසේ නොකරන්නෙමු. එසේ නොකරන්නේ මන්ද? අපව සාදා තිබෙන අන්දමින් පිළිතුර සොයාගත හැකිය. බයිබලයේ මෙසේ කියවේ: “[දෙවියන්වහන්සේ] සදාකාලය පවා [අපගේ] මනස්වල තබා තිබේ.” (දේශනාකාරයා 3:11, බයිංටන් ) නිමක් නැති අනාගතයක් සඳහා ඇති මෙම අභිලාෂය නිසා, ප්‍රබන්ධ කරන ලද යෞවනයේ උල්පත සඳහා ජනයා දීර්ඝ කාලයක් පුරා ගවේෂණය කර ඇත. ඔවුන්ට සදාකල් යෞවනව සිටින්ට ඕනෑය. මෙය මෙම ප්රශ්නය පැන නංවයි, වඩාත් දීර්ඝ ජීවිතයක් සඳහා හැකියාව අපට තිබේද?
එයම අලුත්වැඩියා කරගන්නා ආකාරයට නිර්මාණය කර තිබේ
නැචුරල් හිස්ට්‍රි යන සඟරාවේ ලියන ජෛව විද්‍යාඥ ඕස්ටැඩ් මෙම පොදු මතය ඉදිරිපත් කළේය: “අපි යන්ත්‍ර පිළිබඳව සිතන ආකාරයෙන්ම අප පිළිබඳව සහ අනිකුත් සතුන් පිළිබඳව සිතීමට පෙලඹෙමු: එනම් ගෙවීයෑම ඉඳුරාම වැළැක්විය නොහැකිය.” එහෙත් මෙය සත්‍යයක් නොවේ. “ජෛවවේදීය ජීවීන් මූලික ලෙස යන්ත්‍රවලට වඩා වෙනස් වේ,” යනුවෙන් ඕස්ටැඩ් පැවසුවේය. “ඔවුහු ස්වයං-අලුත්වැඩියා කරන්නෝ වෙත්: තුවාල සුව වේ, අස්ථි ප්‍රකෘතිමත් වේ, අසනීප පහව යයි.”
මෙසේ, කුතුහලය ඇති කරවන ප්රශ්නය වන්නේ, අප මහලු වන්නේ මන්ද? යන්නය. ඕස්ටැඩ් ඇසුවාක් මෙන්: “එසේනම්, ජෛවවේදීය ජීවීන් යන්ත්‍ර මෙන් පාවිච්චියත් සමඟම ගෙවීයෑම්වලට යටත් විය යුත්තේ මන්ද?” ශාරීරික පටක නිතැතින්ම ප්‍රතිස්ථාපනය වන බැවින්, එය සදාකාලයටම කිරීමට ඒවාට නොහැකිද?
ශාරීරික ජීවින්ට ඔවුන්වම අලුත්වැඩියා කරගැනීමට තිබෙන පුදුමාකාර හැකියාව සම්බන්ධයෙන් පරිණාමික ජෛව විද්‍යාඥ ජැරඩ් ඩයිමන්ඩ් ඩිස්කවර් සඟරාවේ සාකච්ඡා කළේය. ඔහු මෙසේ ලීවේය: “අපගේ ශරීරවලට අදාළ වන හානි පාලනය කරන වඩාත්ම කැපීපෙනෙන උදාහරණය වන්නේ තුවාල සුවවීමයි, එමගින් අපි අපගේ සමට සිදු වූ හානිය අලුත්වැඩියා කරමු. අපට වඩා දර්ශනීය ප්‍රතිඵල බොහෝ සතුන්ට ඉටු කරගත හැකිය: කටුස්සන්ට වෙන් වූ වලිගද, පසැඟිල්ලාට සහ කකුළුවන්ට ඔවුන්ගේ ගාත්රද, මුහුදු කැකිරින්ට උන්ගේ අන්ත්රයන්ද නැවත උපදවාගත හැකිය.”
දත් ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් ඩයිමන්ඩ් මෙසේ සඳහන් කළේය: “මනුෂ්‍යයන්ට දත් කුට්ටම් දෙකක් හිමි වේ, අලින්ට කුට්ටම් හයක් සහ මෝරුන්ට ජීවිත කාලයටම අනියත සංඛ්‍යාවක්ද හිමි වේ.” ඉන්පසු හේ මෙසේ පැහැදිලි කළේය: “නිතිපතා ප්‍රතිස්ථාපනය වීමද අන්වීක්ෂීය මට්ටමකින් සිදු වේ. අපගේ අන්ත්‍ර ආස්තරණය කරන සෛල දවස් කිහිපයකට වරක්ද, මූත්‍රාශය ආස්තරණය කරන සෛල මාස දෙකකට වරක්ද, අපගේ රතු රුධිරාණු සෛල සිව් මසකට වරක්ද අපි ප්‍රතිස්ථාපනය කරමු.”
“අණුක මට්ටමක අපගේ ප්‍රෝටීන අණු එක් එක් ප්‍රෝටීනයකට විශේෂිත වූ අනුපාතයකට අනුව නිරන්තර විපර්යාසයකට භාජන වේ; එමගින් අපි හානි වූ අණු රාශිභූතවීම වළක්වමු. ඔබගේ ප්රේමනීයයාගේ පෙනුම මසකට පමණ පෙර සහ අදදින සමඟ සසඳා බැලුවහොත්, ඔහු හෝ ඇය පෙනුමෙන් එලෙසම විය හැක, නමුත් එම ප්‍රේමනීය ශරීරය නිර්මාණය කරන්නාවූ බොහෝ තනි අණු වෙනස්ය. ඉංග්‍රීසි ළමා කවිවල කියවෙන වැටී බිඳී ගිය හම්ප්ටි ඩම්ප්ටිව නැවත එක් කිරීමට මුළු සේනාවකට බැරි වුවද, සෑම දිනකම ස්වභාව ධර්මයා අපගේ ශරීරය වෙනස්කම්වලට භාජන කරමින් එය ප්‍රතිස්ථාපනය කරයි.”
ශරීරයේ සෛල බොහොමයක්ම කලින් කලට අලුතින් සෑදෙන ඒවා මගින් ප්‍රතිස්ථාපනය වේ. එහෙත් මොළයේ නියුරෝන වැනි සමහර සෛල කිසිදාක ප්‍රතිස්ථාපනය නොවිය හැක. කෙසේවෙතත්, හේෆ්ලික් මෙසේ පැහැදිලි කළේය: “සෛලයේ සෑම කොටසක්ම ප්‍රතිස්ථාපනය වේ නම්, එය පරණ සෛලයම නොවේ. ඔබ උපදින විට තිබුණු නියුරෝන අදදිනත් එකම සෛල මෙන් පෙනිය හැකි වුවත්, ඔබ ඉපදුණු විට ඒවා සකස් කළ බොහෝ අණු එම ස්වභාවයෙන්ම තිබුණත්, නව අණු මගින් ප්‍රතිස්ථාපනය වී තිබිය හැක. එබැවින්, නොබෙදෙන සෛල ඔබ ඉපදෙන විට තිබුණු එම සෛලම නොවිය හැක!” මෙසේ වන්නේ මන්දයත් සෛලවල අඩංගු දෑ ප්‍රතිස්ථාපනය වන බැවිනි. මෙලෙස, න්‍යායිකව ගත් කල ශරීර ද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය මගින් අපව සදාකල් ජීවත්ව තැබිය හැක!
“පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා අප ගෙන යන්නාවූ ආශ්චර්යයන්” සම්බන්ධයෙන් ආචාර්ය හේෆ්ලික් කතා කළ බව සිහියට නඟන්න. මේවා සමහරක් මොනවාද? ඒවා අපි කෙටියෙන් පරීක්ෂා කරනවාත් සමඟ, “එම ආශ්චර්යයන් පහසුවෙන්ම සදාකාලයටම පවත්වාගැනීම සඳහා වඩාත් මූලික යන්ත්‍රණයක්,” යනුවෙන් ඔහු පැවසූ දෙය ක්‍රියාවට නැංවීමේ සම්භාව්‍යතාව සැලකිල්ලට ගන්න.
සෛලය
වැඩිහිටියෙක් සෛල ට්‍රිලියන 100කින් පමණ සෑදී සිටින අතර, ඒ සෑම එකක්ම සිතාගත නොහැකි තරම් සංකීර්ණය. සංකීර්ණතාව නිදර්ශනය කිරීමට නියුස්වීක් සඟරාව සෛලයක් තාප්පයකින් වට කරන ලද නගරයකට සමාන කළේය. “විදුලි බලාගාර සෛලයේ ශක්තිය ජනිත කරයි,” යනුවෙන් සඟරාව පැවසුවේය. “කර්මාන්ත ශාලා රසායනික වාණිජ්‍යයේ වැදගත් ඒකක වන ප්‍රෝටීන නිෂ්පාදනය කරයි. විශේෂිත රසායනික ද්‍රව්‍ය සෛලය තුළ හා ඉන් ඔබ්බට එක් ලක්ෂයක් සිට තවත් ලක්ෂයක් දක්වා මඟ පෙන්වීමට සංකීර්ණ පරිවහන පද්ධති ක්‍රියා කරයි. බාධක ස්ථානවල සිටින මුරකරුවෝ, අපනයන සහ ආනයන වෙළඳපොළවල් පාලනය කරන අතර, බාහිර ලෝකයේ අනතුරුදායක සංඥා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිත්. හොඳින් පුහුණු වූ ජෛව හමුදා, ආක්‍රමණිකයන් සමඟ පොර බැදීමට සූදානමින් ස්ථාවරව සිටියි. එක් මධ්‍යගත ප්රවේණි ආණ්ඩුවක් පිළිවෙළ පවත්වාගෙන යයි.”
සෛල ට්‍රිලියන 100කින් පමණ සමන්විත ඔබ බිහි වූ අන්දම සලකා බලන්න. ඔබගේ පියාගේ ශුක්‍රාණුවක් ඔබගේ මවගේ ඩිම්බ සෛලයක් සමඟ එකතු වීමෙන් සෑදුණු තනි සෛලයක් ලෙස ඔබ ආරම්භ වූයේය. එම එක්වීමේදී, යථාකාලයේදී ඔබ බවට පත් වන සම්පූර්ණයෙන්ම අලුත් සහ අද්විතීය මිනිසා නිපදවීමට එම අලුතින් සෑදුණු සෛලයේ DNA තුළ (ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය සඳහා කෙටි වදන) සැලසුම් අඳිනු ලැබිණ. DNA තුළ තිබෙන උපදෙස් “ලියනු ලැබුවහොත්, ඒවාට පිටු 600ක පොත් දහසක් පිරවිය හැකි බව” පවසා තිබේ.
කාලයාගේ ඇවෑමෙන්, එම මූලික සෛලය බෙදීමට ආරම්භ වී, දෙකක්, පසුව හතරක්, අටක් ආදි වශයෙන් බෙදීය. අවසානයේදී, දින 270කට පමණ පසුව—එම කාලය අතරතුර ඔබගේ මවගේ කුසෙහි දරුවෙකු සෑදීමට බොහෝ විවිධ වර්ගයේ මිලියන දහස් ගණන් සෛල විකසනය වීමෙන් පසුව—ඔබ උපත ලැබුවේය. හරියටම ඔබව සාදන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තර තොරතුරු සමන්විත පොත්වලින් පිරි විශාල කාමරයක් එම පළමු සෛලයට තිබුණාක් මෙනි. එලෙසම ආශ්චර්යවත් කාරණයක් වන්නේ මෙම සංකීර්ණ උපදෙස් පසුව සෑදෙන සෑම සෛලයකටම දිගටම සපයා දීමයි. එසේය, විස්මයජනක ලෙස, සංසේචනය වූ මූලික ඩිම්බයේ අඩංගු එම තොරතුරුම ඔබගේ ශරීරයේ ඇති සෑම සෛලයකටම තිබේ!
මෙයත් සලකා බලන්න. සෑම සෛලයකම සියලුම වර්ගයේ සෛල නිපදවීමට අවශ්‍ය තොරතුරු තිබෙන බැවින්, හෘද සෛල නිපදවීමට කාලය පැමිණි විට, අනිත් සියලුම සෛල නිපදවීමට අවශ්‍ය තොරතුරු මර්දනය වූයේ කෙසේද? බිළිඳෙකු සෑදීමට අවශ්‍ය සැලසුම් පිටපත් සම්පූර්ණයෙන්ම අඩංගු අල්මාරියක් සහිත කොන්ත්‍රාත්කරුවෙක් ලෙස රඟපාමින්, සෛලයක් ලිපිගොනු අඩංගු අල්මාරියෙන් හෘද සෛල සෑදීමට සැලසුම් පිටපතක් තෝරාගත්තේය. තවත් සෛලයක් ස්නායු සෛල සෑදීමට අවශ්‍ය තොරතුරු රැගත් වෙනත් සැලසුම් පිටපතක් තෝරාගත්තේය, තවත් එකක් අක්මා සෛල සෑදීමට අවශ්‍ය පිටපතක් යනාදි වශයෙන් ගත්තේය. යම් නිශ්චිත සෛල වර්ගයක් නිපදවීමට අවශ්‍ය උපදෙස් තෝරාගන්නා අතරම, අන් සියලු උපදෙස් මර්දනය කිරීමට සෛලයකට තිබෙන තවමත් පැහැදිලි නොකළ මෙම හැකියාව, “පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා අප ගෙන යන්නාවූ ආශ්චර්යයන්” බොහොමයකගෙන් තවත් එකක් බවට සහතිකය.
එහෙත්, එයට වැඩි යමක් තිබේ. එක් උදාහරණයකට, හෘදයේ සෛල ඒවා ස්පන්දනානුකූලව සංකෝචනය වීමට උත්තේජනය වීම අවශ්‍යය. මෙලෙස, ශරීරය යෙදී සිටින ක්‍රියාකාරකමක් දරා සිටීමට රුකුලක් වශයෙන්, හෘදය නිසි වේගයකින් ස්පන්දනය වීමට සැලැස්වීම සඳහා විදුලි ආවේග උපදවන්ට හෘදය තුළ සංකීර්ණ පද්ධතියක් නිර්මාණය කරන ලදි. සැබවින්ම, නිර්මාණශීලිත්වයේ ආශ්චර්යයකි! වෛද්‍යවරුන් හෘදය සම්බන්ධයෙන් මෙසේ පැවසීම පුදුමයක් නොවේ: “මේ වන තෙක් මිනිසා විසින් නිර්මාණය කර ඇති ඕනෑම වර්ගයක ඕනෑම යන්ත්‍රයකට වඩා එය කාර්යක්ෂමතාවකින් යුක්තය.”
මොළය
මිනිස් ආශ්චර්යයේ වඩාත් විස්මයජනක කොටස වන මොළයේ වර්ධනය වඩාත් මවිතකරය. පිළිසිඳ ගැනීමෙන් සති තුනකට පසු, මොළයේ සෛල බිහිවීමට පටන්ගනී. කාලයත් සමඟ, ක්ෂීර පථයේ තිබෙන තරු තරම් බහුල වූ නියුරෝන නමින් හැඳින්වෙන ස්නායු සෛල බිලියන 100ක සංඛ්‍යාවක් මිනිස් මොළය තුළට අසුරනු ලැබේ.
“මේ සෑම එකක්ම මොළයේ ඇති වෙනත් නියුරෝන 10,000කින් පමණ තොරතුරු ප්‍රමාණයක් ලබාගන්නා අතර, තවත් දහසකට පණිවුඩ යවයි,” යනුවෙන් ටයිම් සඟරාව වාර්තා කළේය. සංයෝජනය විය හැකි සම්භාවිතාවන් සැලකිල්ලට ගනිමින් ස්නාස-විද්‍යාඥ ජෙරල්ඩ් එඩෙල්මන් මෙසේ පැවසුවේය: “මොළයේ ගිනි කූරක හිසක තරම් කුඩා කොටසක සම්බන්ධක බිලියනයක් පමණ අඩංගු වන අතර, අතිශයින් අසීමිතයි කියා පමණක් විස්තර කළ හැකි ආකාරවලින් පමණක් ඒවාට සම්බන්ධ විය හැක—එනම් දහයේ ගණයට මිලියන ගණන් බිංදු ප්‍රමාණයක් එකතු කිරීමෙන් ලබන සංඛ්‍යාව මෙනි.”
මෙය කිනම් විභව ධාරිතාවක් මොළයට ලබා දේද? “ලෝකයේ විශාලතම පුස්තකාලවල තිබෙන විශාල පොත් ප්‍රමාණයට සමානව, මිනිස් මොළයට වෙළුම් මිලියන 20ක් පමණ පිරවිය හැකි” තොරතුරු රඳවාගත හැකි බව තාරකා විද්‍යාඥ කාර්ල් සාගන් පැවසුවේය. කර්තෘ ජෝර්ජ් ලෙනාර්ඩ් තවදුරටත් හඬනඟා මෙසේ පැවසුවේය: “සමහරවිට, ඇත්තෙන්ම, දැන් අපට විශ්වාස කළ නොහැකි කල්පිතයක් යෝජනා කළ හැක: මොළයේ පර්යන්ත උත්පාදක ධාරිතාව සැබවින්ම අපරිමිත යමක් විය හැක.”
මෙසේ, මතු සඳහන් ප්‍රකාශයෙන් අප පුදුම විය යුතු නැත: “මේ වන තෙක් අප විශ්වයේ සොයාගෙන ඇති වඩාත්ම සංකීර්ණ දෙය වන්නේ මොළයයි,” යනුවෙන් DNAවල භෞතික ව්‍යූහයේ සහකාර සොයාගන්නා වූ අණුක ජෛව විද්‍යාඥ ජේම්ස් වොට්සන් පැවසුවේය. මොළය පරිගණකයක් හා සන්සන්දනය කිරීම නුරුස්සන ස්නායු වෛද්‍ය රිචඩ් රෙස්ටැක් මෙසේ පැවසුවේය: “දැන සිටින මෙම විශ්වයේ මොළයට සමාන අංගලක්ෂණවත් විදහාපෙන්වන යමක් නොතිබීම යන සිද්ධාන්තයෙන් මොළයේ අද්විතීයභාවය හටගැනේ.”
අපගේ වර්තමාන ආයු කාලය අතරතුර, අප පාවිච්චි කරන්නේ අපගේ මොළයේ විභව ශක්තියෙන් කුඩා කොටසක්, එනම් එක් තක්සේරු කිරීමකට අනුව, 1/10,000ක් හෝ සියයට එකෙන් 1/100ක් පමණක් බව ස්නායු විද්‍යාඥයෝ පවසති. ඒ සම්බන්ධයෙන් සිතන්න. කිසි දිනකවත් සම්පූර්ණයෙන් පාවිච්චි කිරීමට අදහස් කරනු ලැබුවේ නැත්නම්, එවන් ආශ්චර්යවත් හැකියාවන් සමඟ අපට මොළයක් ලබා දීම සාධාරණ වනු ඇද්ද? ඇත්තෙන්ම ඉගෙනගැනීමේ අවසානයක් නොමැති ධාරිතාවක් සහිත මනුෂ්‍යයන්ව නිර්මාණය කර තිබෙන්නේ සදාකාලයටම ජීවත්වීමට බව සිතීම සාධාරණ නොවේද?
එය සැබෑ නම්, අප වයසට යන්නේ මන්ද? වැරදුණේ කුමක්ද? පැහැදිලිවම අපගේ ශරීර සදාකාලිකවම පැවැත්මට නිර්මාණය කර තිබෙන නමුත්, වසර 70කට හෝ 80කට පසුව අප මියයන්නේ මන්ද?
[7වන පිටුවේ රූප සටහන]
(සඟරාව බලන්න)
සෛලය—නිර්මාණයේ ආශ්චර්යයක්
සෛල පටලය
සෛලයට ඇතුල් වන්නේ සහ පිට වන්නේ කුමක්දැයි පාලනය කරන ආවරණය
න්‍යෂ්ටිය
ද්විත්ව පටල කෝෂයකින් වට වී ඇති මෙය, සෛලයේ ක්රියාකාරිත්වයන් යොමු කරන්නාවූ පාලන මධ්‍යස්ථානය වේ
රයිබසෝම
ඇමයිනො අම්ල ප්‍රෝටීනවලට එක්රැස් වන ව්‍යූහයන්ය
වර්ණදේහ
ප්‍රධානතම ප්රවේණි සැලසුම වන සෛලවල DNA එහි අඩංගු වේ
න්‍යෂ්ටිකාව
රයිබසෝම එකලස් කරනු ලබන ස්ථානය වේ
අන්තඃප්ලාස්මීය ජාලිකාව
ඒවාට සවි වී තිබෙන රයිබසෝම මගින් සාදන ලද ප්‍රෝටීන ගබඩා කර තබන හෝ ප්‍රවාහනය කරන පටලවල ප්රස්තර (සමහර රයිබසෝම සෛල තුළ නිදහසේ පාවේ)
මයිටොකොන්ඩ්‍රියා
සෛලයට ශක්තිය සපයන අණු වන ATP නිෂ්පාදන මධ්‍යස්ථාන වේ
ගොල්ජි දේහ
සෛලය මගින් සාදන ලද ප්‍රෝටීන් මිටි බඳින සහ බෙදාහරින පැතලි පටල කෝෂ වේ
කේන්ද්රිකාව
න්‍යෂ්ටිය අසල පිහිටා තිබෙන අතර, සෛල නැවත නිපදවීම සඳහා වැදගත් වේ