“මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම”
“සැබෑ දෙවිට භය වී ඔහුගේ ආඥා පවත්වන්න. මන්දයත් මෙය මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම වන බැවිනි.”—දේශනාකාරයා 12:13, NW.
1, 2. දෙවි ඉදිරියෙහි අපට තියෙන යුතුකම සැලකිල්ලට ගැනීම යෝග්‍ය ඇයි?
“යෙහෝවා ඔබෙන් ආපසු ඉල්ලන්නේ වෙන කුමක්ද?” පුරාණ ප්‍රොපේතවරයෙක් ඒ ප්රශ්නය ඉදිරිපත් කළා. ඊට පස්සේ යෙහෝවාට ඕනෑ කරන දේ ඔහු පැහැදිලි කළා: යුක්තිය ඉෂ්ට කරන්න, කරුණාවට ප්‍රේම කරන්න සහ දෙවි සමඟ විනීතව ගමන් කරන්න.—මීකා 6:8, NW.
2 පුද්ගලභාවයෙන් හා ස්වාධීනත්වයෙන් යුත් මෙම කාලයේදී, දෙවිට තමාගෙන් යමක් ඕනෑ කරනවා කියන අදහස බොහෝදෙනෙක්ව අපහසුවට ලක් කරනවා. ඔවුන් කැමති නැහැ යුතුකමකට බැඳී සිටින්න. ඒත් දේශනාකාරයා පොතේ සාලමොන් එළඹුණේ මොන නිගමනයටද? “සියල්ල ඇසීමෙන් පසු, කාරණයෙහි නිගමනය මෙයයි: සැබෑ දෙවිට භය වී ඔහුගේ ආඥා පවත්වන්න. මන්දයත් මෙය මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම වන බැවිනි.”—දේශනාකාරයා 12:13, NW.
3. අප දේශනාකාරයා පොත ගැන ගැඹුරින් කල්පනා කර බැලිය යුත්තේ ඇයි?
3 අපේ තත්වයන් හා ජීවිතය පිළිබඳව ආකල්පය මොකක් වුණත්, එම නිගමනයේ පසුබිම සලකා බැලීමෙන් අපට ඉමහත් ප්‍රයෝජන නෙළාගන්න පුළුවන්. දේවානුභාවයෙන් ලියූ මෙම පොතේ ලේඛකයා වූ සාලමොන් රජ, අපේ දෛනික ජීවිතයට අයත් දේවල් සමහරක් සලකා බැලුවා. ඔහුගේ මෙම විග්‍රහය මූලිකවම නිෂේධාත්මකයි කියලා සමහරු ඉක්මන් වී නිගමනය කරන්න පුළුවන්. ඒත් එය දිව්‍යානුභාවයෙන් ලද අතර, අපේ වැඩකටයුතු හා ප්‍රමුඛතා ඇගයීමට උපකාරයක් වෙන්න පුළුවන්; ප්‍රීතිය වැඩිවීම එහි ප්රතිඵලයයි.
ජීවිතයේ සැලකිල්ලට භාජන වන ප්‍රධාන දේවලට මූණපෑම
4. සාලමොන් දේශනාකාරයා පොතේ පරීක්ෂා කළෙත් සාකච්ඡා කළෙත් මොනවා ගැනද?
4 සාලමොන්, ‘මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන වැඩ’ ගැඹුරින් පරීක්ෂා කර බැලුවා. “මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිත යොමුකෙළෙමි.” “වැඩ” කියන එකෙන් සාලමොන් අනිවාර්යයෙන්ම අදහස් කළේ රස්සාවක හෝ සේවාවක නිරත වීම නෙවෙයි; ඒ වෙනුවට පුරුෂයන් හා ස්ත්‍රීන් තම මුළු ජීවිත කාලය පුරා නිරත වී සිටින දේවල සම්පූර්ණ පරාසයයි. (දේශනාකාරයා 1:13) අපි දැන් මූලික සැලකිල්ලට භාජන වන දේවල් හෝ වැඩ කිහිපයක් සලකා බලා, අපේම වැඩකටයුතු හෝ ප්‍රමුඛතා සමඟ ඒවා සසඳා බලමු.
5. මනුෂ්‍යයන්ගේ වැඩ අතරින් ප්‍රධාන එකක් නම් කරන්න.
5 මනුෂ්‍යයන්ගේ සැලකිල්ලට භාජන වන දේ හා වැඩකටයුතු බොහොමයක කේන්ද්‍රය මුදල් වන බවට කිසිම සැකයක් නැහැ. මුදල් ගැන සමහරක් ධනවත් පුද්ගලයන්ට තියෙන නොසැලකිලිමත් මතය සාලමොන්ට තිබුණා කියලා කිසිම කෙනෙකුට සාධාරණව කියන්න බැහැ. මුදල් යම් ප්‍රමාණයකට තිබීමේ අවශ්‍යතාව ඔහු පසුබට වෙන්නේ නැතුව පිළිගත්තා. තාපසයෙක් වගේ ජීවත්වීමට නැත්නම් දුගී ජීවිතයක් ගත කිරීමට සිදු වෙන එකට වඩා, ප්‍රමාණවත්ව මුදල් තිබීම හොඳයි. (දේශනාකාරයා 7:11, 12) ඒත් මුදල් මෙන්ම එයින් මිල දී ගත හැකි වස්තූන්, දුප්පත් මෙන්ම පොහොසත් දෙපිලේම ජීවිතයේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්න පුළුවන් බව ඔබ දැකලා ඇති.
6. යේසුගේ උපහැරණයකින් හා සාලමොන්ගේම අද්දැකීමෙන් මුදල් ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
6 කොහොමටවත් සෑහීමට පත් වෙන්නේ නැතුව, තව තවත් දේ ඉපයීමට වැඩ කළ ධනවත් මනුෂ්‍යයා ගැන යේසු කියූ උපමාව සිහියට නඟන්න. ඔහු අඥානයි කියලා දෙවි තීන්දු කළා. ඇයි? අපේ ‘ජීවිතය අපට තිබෙන දේපොළ මත පිහිටා නැති’ නිසයි. (ලූක් 12:15-21) අපේ අද්දැකීම්වලට වඩා පුළුල් විය හැකි සාලමොන්ගේ අද්දැකීම යේසුගේ වචන සනාථ කරනවා. දේශනාකාරයා 2:4-9හි විස්තරය කියවන්න. යම් කාලයකට සාලමොන් ධනය රැස් කිරීමෙහි නිරත වුණා. ඔහු ඉතා අලංකාර මන්දිර හා වතු පිටි ගොඩනැඟුවා. රූමත් කාන්තාවන් සහකාරියන් හැටියට ලබාගන්න වත්කමක් තිබූ ඔහු, ඒ දේ කළා. ධනයත්, එයින් ඔහුට ඉටු කරන්න පුළුවන් වූ දේවලුත් ඔහුට ගැඹුරු තෘප්තියක්, සමර්ථකමේ හැඟීමක් හෝ ජීවිතයේ අර්ථයක් ගෙන දුන්නාද? ඔහු අවංකව මෙහෙම පිළිතුරු දුන්නා: “මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටුමි.”—දේශනාකාරයා 2:11; 4:8.
7. (අ) අද්දැකීමෙන් පෙන්වන්නේ මුදලේ අගය පිළිබඳව මොන දෙයද? (ආ) සාලමොන් එළඹුණු නිගමනය හරි බව ඒත්තුගන්වන මොන දේවල් ඔබ පෞද්ගලිකව දැක තියෙනවාද?
7 එය යථාර්ථවාදී, ඒ වගේම බොහෝදෙනෙකුගේ ජීවිත තුළින් සනාථ වන සැබෑවක්. වැඩි මුදලක් තිබුණත්, හැම ගැටලුවක්ම විසඳෙන්නේ නැති බව අපට පිළිගන්න සිද්ධ වෙනවා. ආහාර පාන හා ඇඳුම් පැළඳුම් වැනි දේවල් ලබාගැනීම පහසු කරවමින්, සමහරක් ගැටලු විසඳන්න එයට පුළුවන්. ඒත් පුද්ගලයෙක්ට එක පාර අඳින්න පුළුවන් වෙන්නේ එක ඇඳුමක් විතරයි; ඒ වගේම භුක්තිවිඳින්න පුළුවන් වෙන්නෙත් යම් සීමිත ආහාර පාන විතරයි. ඇත්තෙන්ම දික්කසාදයෙන්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයෙන් හා නෑදෑයන් එක්ක ආරවුල්වලින් පීඩිත වූ ජීවිත ගත කරන පොහොසත් මනුෂ්‍යයන් ගැන ඔබ කියවා ඇති. සුපිරි කෝටිපති ජේ. පී. ගෙටි මෙහෙම කිව්වා: “සල්ලි සන්තෝෂයට සම්බන්ධයි කියලා අනිවාර්යයෙන්ම කියන්න බැහැ. අසන්තෝෂයත් එක්ක සම්බන්ධ ඇති.” රිදීවලට ආලය කිරීම නිෂ්ඵල දෙයක් හැටියට සාලමොන් දැක්වූයේ හොඳ හේතු ඇතුවයි. එම කාරණය හා සාලමොන්ගේ මෙම නිරීක්ෂණය අතර වෙනස සෝදිසි කර බලන්න: “වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.”—දේශනාකාරයා 5:10-12.
8. මුදලේ වැදගත්කම අධිතක්සේරු නොකිරීමට තියෙන හේතුව මොකක්ද?
8 අනාගතය ගැන සෑහීමට පත්ව සිටීම පිළිබඳ හැඟීමක්වත් මුදල් හා දේපොළෙන් ලැබෙන්නේ නැහැ. ඔබට මුදල් හා දේපොළ වැඩියෙන් තිබුණොත්, ඒවා ආරක්ෂා කරන එක ඔබට අමතර කනස්සල්ලක් වෙන්න ඉඩ කඩ තියෙන අතර, හෙට දවසේදී මොනව වෙයිද කියන එකත් ඔබ තවම දන්නේ නැහැ. ඔබේ ජීවිතයත් එක්ක ඔබට හැම දෙයක්ම අහිමි වෙලා යයිද? (දේශනාකාරයා 5:13-17; 9:11, 12) මේ නිසා, මුදල් හෝ දේපොළට නොව, අපේ ජීවිතය හෝ වැඩයට වඩා උසස්, කල්පවතින අර්ථයක් තියෙන්න ඕනෑ බව දැකීම එතරම් අමාරු නැහැ.
පවුල, කීර්තිය හා බලය
9. සාලමොන් කළ පරීක්ෂණයේ පවුල් ජීවිතයට නිසි තැනක් හිමි වුණේ ඇයි?
9 පවුලේ කටයුතුවල නිරත වීම සම්බන්ධ කාරණය, ජීවිතය පිළිබඳව සාලමොන්ගේ විග්රහයට ඇතුළත් වුණා. දරුවන් බිහි කිරීමේ හා ඇති දැඩි කිරීමේ ප්‍රීතිය ඇතුළු පවුල් ජීවිතය බයිබලයෙහි විශේෂ කොට දක්වා තියෙනවා. (උත්පත්ති 2:22-24; ගීතාවලිය 127:3-5; හිතෝපදේශ 5:15, 18-20; 6:20; මාර්ක් 10:6-9; එපීස 5:22-33) ඒත් ජීවිතයේ පරම පැත්ත ඒකද? සමහර සංස්කෘතීන්වල විවාහය, දරුවන් හා පවුල් සබඳතා වැදගත් කොට සලකන විදිහ බැලුවොත්, බොහෝදෙනෙක්ට එහෙම හැඟෙනවා කියලා පේනවා. ඒත් දරුවන් සියයක් හිටියත් එය ජීවිතය තුළ තෘප්තියට යතුර නොවන බව දේශනාකාරයා 6:3 පෙන්නුම් කරනවා. තම දරුවන්ට හොඳ ආරම්භයක් දී ජීවිතය පහසු කිරීමට දෙමාපියන් කොපමණ දෙනෙක් පරිත්‍යාග කර තියෙනවාද කියලා හිතලා බලන්න. මෙහෙම කරන එක පැසසුමට ලක් කරන්න ඕනෑ වුණත්, සතුන් සහජයෙන්ම තම වර්ගයා බෝ කරන්නාක් මෙන්, අප නිකම්ම තවත් පරම්පරාවක් බිහි කිරීම අපේ ජීවිතයේ මූලික පරමාර්ථය විය යුතු බවට අපේ මැවුම්කරු අදහස් නොකළ බව සහතිකයි.
10. පවුල කෙරෙහි නුවමනා අවධානය, නිෂ්ඵලකමට හේතු විය හැක්කේ ඇයි?
10 හොඳ ප්රත්යක්ෂ ඥානයක් පාවිච්චි කරමින් සාලමොන් පවුල් ජීවිතයේ යථාර්ථයන් සමහරක් ගෙනහැර දැක්වූවා. උදාහරණයක් හැටියට, තම දරුවන් හා මුනුබුරු මිනිබිරියන්ගේ අවශ්‍යතා සැපයීමට පුරුෂයෙක් අවධානය යොමු කරනවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන් ඥානවන්ත අය බවට පත් වේවිද? එහෙම නැත්නම්, ඔවුන් වෙනුවෙන් එක්රැස් කළ දේවල් ඔවුන් අඥාන විදිහට පාවිච්චි කරයිද? පසුව සඳහන් කළ දේ සිදු වෙනවා නම්, එය මොනතරම් ‘නිෂ්ඵලකමක් හා මහත් නපුරක්’ වේවිද!—දේශනාකාරයා 2: 18-21; 1 රාජාවලිය 12:8; 2 ලේකම් 12:1-4, 9.
11, 12. (අ) සමහරුන් ජීවිතයේ මොන ලුහුබැඳීම්වලටද යොමු වී තියෙන්නේ? (ආ) ප්‍රමුඛත්වය සෙවීම “සුළං රොදක් ඇල්ලීමට කරන වෑයම[ක්]” කියලා කියන්න පුළුවන් වෙන්නේ ඇයි?
11 අනිත් අන්තයේ, අනුන් ඉදිරියේ කීර්තිය හෝ බලය ලබාගැනීමේ අධිෂ්ඨානයෙන් බොහෝදෙනෙක් සාමාන්‍ය පවුල් ජීවිතය යටපත් කරලා තියෙනවා. ඇතැම්විට මේ දුර්වලකම වැඩියෙන් දකින්න තියෙන්නේ පුරුෂයන් අතරයි. ඔබේ පාසැල් මිතුරන්, රැකියාවේ හවුල් වැඩකරුවන් හෝ අසල්වැසියන් තුළ මේක දැකලා තියෙනවාද? යම් ප්‍රසිද්ධියක්, කීර්තියක් ලැබීමට හෝ අනුන් කෙරෙහි අධිකාරයක් හෙබවීමට බොහෝදෙනෙක් වියරු වැටුණු උත්සාහයක යෙදෙනවා. ඒත් මෙය ඇත්තෙන්ම එතරම් අර්ථවත් දෙයක්ද?
12 කුඩා හෝ මහ පරිමාණයකින් හෝ වේවා, ප්‍රසිද්ධ වීමට සමහරුන් පොරබදන ආකාරය ගැන කල්පනා කර බලන්න. අපි එය පාසැලේ, අපේ අසල්වැසි ප්‍රදේශයේ හා විවිධ සමාජ කණ්ඩායම්වල දකිනවා. කලා ක්ෂේත්රයේ, විනෝදාස්වාදයේ හා දේශපාලනයේ නමක් ලබන්න කැමති අයටත් එය බලපවත්වන බලවේගයක්. කොහොම වුණත්, එය මූලිකව නිෂ්ඵල උත්සාහයක් නෙවෙයිද? “සුළං රොදක් ඇල්ලීමට කරන වෑයම[ක්]” හැටියට සාලමොන් එය පැහැදිලිව හඳුන්වා දුන්නා. (දේශනාකාරයා 4:4, නව අනුවාදය) තරුණයෙක් යම් ක්‍රීඩා සමාජයක, ක්‍රීඩා කණ්ඩායමක හෝ සංගීත කණ්ඩායමක කීර්තියක් ලබාගත්තත්, එහෙම නැත්නම් එක්තරා පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් සමාගමක හෝ සමාජයේ ප්‍රසිද්ධියක් ලබාගත්තත්, ඒ ගැන ඇත්තෙන්ම දන්නේ කී දෙනාද? ඒ පුද්ගලයා ඉන්නවා කියලවත් පෘථිවි ගෝලයේ අනිත් පැත්තේ (හෝ ඒ රටේම පවා) ඉන්න වැඩිහරියක් දන්නවාද? එහෙම නැත්නම්, ඒ තැනැත්තාට හෝ තැනැත්තියට තියෙන කීර්තිය මුළුමනින්ම ගණනකට නොගෙන ඔවුන් තමුන්ගේ ජීවිත ගත කරනවාද? ඒ වගේම රැකියාවේ, නගරයේ හෝ කණ්ඩායමක් අතරේ පුද්ගලයෙක්ට ලැබෙන බලය හෝ අධිකාරය ගැනත් ඒ දේම සැබෑවක් වෙනවා.
13. (අ) ප්‍රමුඛත්වය හෝ බලය අත් කරගන්න වෑයම් කිරීම ගැන නිසි දෘෂ්ටියක් ඇතුව සිටීමට දේශනාකාරයා 9:4, 5 අපට උපකාර කරන්නේ කොහොමද? (ආ) තියෙන සියල්ල මේ ජීවිතයට පමණක් සීමා වෙලා නම්, අප මුහුණ දිය යුත්තේ කුමන කාරණාවලටද? (පාදසටහන බලන්න.)
13 එවැනි ප්‍රසිද්ධියක හෝ අධිකාරයක දිගුකාලීන ප්‍රතිඵලය මොකක්ද? එක පරම්පරාවක් පහව ගොස් තවෙකක් පැමිණෙද්දී, ප්‍රසිද්ධ හෝ බලවත් මනුෂ්‍යයන් පහව ගිහිල්ලා, අමතක වී යනවා. දේශපාලනඥයන් හා හමුදා නායකයන් වැඩිදෙනෙක් සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, ගොඩනඟන්නන්, සංගීතඥයන් හා වෙනත් කලාකරුවන්, සමාජයේ ප්රතිසංස්කරණයක් කරන්නන් වැනි අය සම්බන්ධයෙන්ද එය සැබෑවක්. වර්ෂ 1700 හා 1800 අතර ජීවත් වූ ඒ වැඩවල නිරත වූ සුවිශේෂ පුද්ගලයන් කීදෙනෙක් ගැන ඔබ දන්නවාද? සාලමොන් තත්වය නිවැරදිව තක්සේරු කරමින් මෙහෙම කිව්වා: “මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය. මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, . . . ඔවුන් ගැන සිහිවීම නැතිවිය.” (දේශනාකාරයා 9:4, 5) එමෙන්ම තියෙන සියල්ල මේ ජීවිතයට සීමා වෙලා නම්, ප්‍රසිද්ධිය හා බලය ලුහුබැඳීම ඇත්තෙන්ම නිෂ්ඵලකමක්.a
අපේ පරමාර්ථය හා යුතුකම
14. දේශනාකාරයා පොත අපට පෞද්ගලිකව උපකාර කළ යුත්තේ ඇයි?
14 මනුෂ්‍යයන් තම ජීවිත යොමු කරන වැඩකටයුතු, ඉලක්කයන් හා සැප ගොඩක් ගැන සාලමොන් අදහස් දැක්වූයේ නැහැ. ඒත්, ඔහු ලියූ දේ ප්‍රමාණවත්. ඒ පොත පිළිබඳව අප කළ විමර්ශනය අඳුරු හෝ නිෂේධාත්මක එකක් වෙන්න ඕනෙ නැහැ. එයට හේතුව අපේ ප්‍රයෝජනය සඳහා යෙහෝවා දෙවි හිතා මතා තම ආනුභාවයෙන් දුන් බයිබලයේ පොතක් අපි යථාර්ථවාදී සමීප ආකාරයකින් සලකා බලා තියෙන නිසයි. ජීවිතය පිළිබඳ අපේ දෘෂ්ටියත් අපේ පරමාර්ථයත් හරිගැස්සීමට අපි සැමට උපකාර කරන්න එයට පුළුවන්. (දේශනාකාරයා 7:2; 2 තිමෝති 3:16) යෙහෝවා සාලමොන්ට එළඹීමට උපකාර කළ නිගමන සලකන කොට එය විශේෂයෙන්ම සැබෑවක් වෙනවා.
15, 16. (අ) ජීවිතය භුක්තිවිඳීම ගැන සාලමොන්ට තිබුණේ මොන වගේ අදහසක්ද? (ආ) ජීවිතය භුක්තිවිඳීම මතට සාලමොන් දැම්මේ මොන උචිත සීමාවද?
15 සාලමොන් නිතර නිතර ඉස්මතු කළ කාරණයක් තමයි, සැබෑ දෙවිගේ සේවකයන් ඔහු ඉදිරියෙහි කරන වැඩකටයුතුවලදී ප්‍රීතියක් ලබන්න ඕනෙ කියන එක. “ඔවුන් ප්‍රීති වී තම ජීවිතය තුළ යහපත කිරීම තරම් හොඳ දෙයක් නැති බවත්, හැම මනුෂ්‍යයෙක්ම කා බී තම උත්සාහයේ යහපත විඳිය යුතු බවත් මට අවබෝධ වී තිබේ. එය දෙවිගේ දීමනාවකි.” (දේශනාකාරයා 2:24; 3:12, 13, NW; 5:18; 8:15) සාලමොන් සීමාව ඉක්මවා විනෝද වීමට දිරි දෙමින් සිටියේ නැති බව සැලකිල්ලට ගන්න; ‘හෙට මැරෙන නිසා කමු, බොමු, විනෝද වෙමු’ වැනි ආකල්පයකට ඔහු අනුබල දුන්නේවත් නැහැ. (1 කොරින්ති 15:14, 32-34) අපි ‘අපේ ජීවිතය තුළ යහපත කරද්දී,’ කෑම හා බීම වැනි ජීවිතයේ සතුට උපදවන සාමාන්‍ය කටයුතුවල අප ප්‍රීතියක් සොයාගත යුතු බව ඔහු අදහස් කළා. එයින්, සැබවින්ම යහපත් දේ තීරණය කරන මැවුම්කරුගේ කැමැත්ත වෙතට අපේ ජීවිතය කිසිම සැකයක් නැතුව යොමු කරවනවා.—ගීතාවලිය 25:8; දේශනාකාරයා 9:1; මාර්ක් 10:17, 18; රෝම 12:2.
16 සාලමොන් මෙහෙම ලිව්වා: “නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවි . . . නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව” සිටියි. (දේශනාකාරයා 9:7-9) ඔව්, ඇත්තෙන්ම රසවත් මෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කරන පුරුෂයෙක් හෝ ස්ත්‍රියක්, යෙහෝවාගේ සන්තෝෂයට හේතු වන වැඩවල ක්‍රියාශීලීව නිරත වෙනවා. එසේනම්, එයින් අදහස් කරන්නේ අපි ඔහුව නිරන්තරයෙන්ම සැලකිල්ලට ගත යුතු බවයි. මනුෂ්‍ය තර්ක පදනම් කරගෙන ජීවිතයට මුහුණ දෙන ජනයාගෙන් බහුතරයකගේ දෘෂ්ටියට වඩා මෙය මොනතරම් වෙනස්ද!
17, 18. (අ) ජීවිතයේ යථාර්ථයන්ට මනුෂ්‍යයන් වැඩිහරියක් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? (ආ) අප නිතරම මනසෙහි තබාගත යුත්තේ කුමන ප්‍රතිඵලයද?
17 සමහරක් ආගම්වල පරලොවක් ගැන ඉගැන්නුවත්, තමුන්ට විශ්වාසයක් තැබිය හැක්කේ මේ ජීවිතය ගැන පමණක් බව බොහෝ මනුෂ්‍යයන් විශ්වාස කරනවා. සාලමොන් විස්තර කළ පරිදි ඔවුන් ප්‍රතික්‍රියා කරන විදිහ ඔබ දැකලත් ඇති: “නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.” (දේශනාකාරයා 8:11) දූෂිත ක්‍රියාවල ඇලී ගැලී නොසිටින අය පවා පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මූලික සැලකිල්ල වර්තමානයට සීමා වන බවයි. මුදල්, වස්තුව, කීර්තිය, අනුන් කෙරෙහි අධිකාරය, පවුල හෝ උනන්දුවට හේතු වන වෙනත් කටයුතු යනාදිය ඔවුන් වුවමනාවට වඩා වැදගත් කොට සලකන්නේ ඇයි කියන එකට එය එක හේතුවක්. කොහොම වුණත්, සාලමොන් එහෙම කියලා නිහඬ වුණේ නැහැ. ඔහු මෙහෙමත් පැවසුවා: “පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි. නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.” (දේශනාකාරයා 8:12, 13) අපි ‘සැබෑ දෙවිට භයව’ සිටිනවා නම්, අපට යහපතක් වෙයි කියලා සාලමොන්ට ඒත්තු ගිය බව පැහැදිලියි. කොයි තරමකටද? ඔහු දැක්වූ වෙනස තුළින් අපට උත්තරයක් සොයාගන්න පුළුවන්. යෙහෝවාට පුළුවන් ‘අපේ දවස් දීර්ඝ කරන්න.’
18 සාපේක්ෂ වශයෙන් තවමත් තරුණව සිටින අය විශේෂයෙන් සැලකිලිමත්ව කල්පනා කළ යුතු මුළුමනින්ම විශ්වාසවන්ත කාරණය තමයි, ඔවුන් දෙවිට භයව සිටිනවා නම්, ඔවුන්ට යහපතක් වන බව. ධාවන පථයේ වේගවත්ම කෙනා වැටී පැරදී තියෙන විදිහ ඔබ පෞද්ගලිකව දැකලා ඇති. ප්‍රබල සේනාවකට පරාජය අත් වෙන්න පුළුවන්. දක්ෂ ව්‍යාපාරිකයෙක් දුගී වෙන්න පුළුවන්. එමෙන්ම සැක සහිත වෙනත් දේවල් බොහොමයක් ජීවිතය සෑහෙන අවිනිශ්චිත තත්වයකට පත් කරවනවා. ඒත් මේ දේ ගැන ඔබට නිසැක වෙන්න පුළුවන්: දෙවිගේ සදාචාර නීති තුළ හා ඔහුගේ කැමැත්තට එකඟව යහපත කරන අතරතුරේ ජීවිතය භුක්තිවිඳීම, ගත හැකි ඥානවන්තම මෙන්ම ස්ථිරම මාර්ගයයි. (දේශනාකාරයා 9:11) දෙවිගේ කැමැත්ත මොකක්ද කියා බයිබලයෙන් ඉගෙනගෙන, තම ජීවිතය ඔහුට කැප කර, බව්තීස්ම වූ ක්‍රිස්තියානියෙක් වීම මෙයට ඇතුළත් වෙනවා.—මතෙව් 28:19, 20.
19. යෞවනයන්ට තම ජීවිත ගත කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? එහෙත් නුවණට හුරු මාර්ගය මොකක්ද?
19 යෞවනයන්ටවත් වෙන අයටවත් තම මඟ පෙන්වීම අනුගමනය කරන්න කියා මැවුම්කරු බල කර සිටින්නේ නැහැ. ඔවුන්ට පුළුවන් අධ්‍යාපනයෙහි ඇලී ගැලී සිටින්න; සමහරවිට ඔවුන්ට මනුෂ්‍යයන්ගේ හැදෑරීම් අඩංගු කෙළවරක් නැති පොත්වලට වහල් වෙන්නත් පුළුවන්. අවසානයේදී එය මාංසයට වෙහෙසක් වේවි. එහෙම නැත්නම්, ඔවුන්ට පුළුවන් තම අසම්පූර්ණ මනුෂ්‍ය හෘදයේ මඟ පෙන්වීම අනුගමනය කරලා, තම ඇස්වලට ආකර්ෂණය වෙන දේ අනුව යන්න. ඒ වගේ දෙයක් කිරීම ඇත්තෙන්ම වෙහෙසක් වේවි; එමෙන්ම එලෙස වැය කරන ජීවිතයක් නිකම්ම නිෂ්ඵල දෙයක් බවට ඔප්පු වේවි. (දේශනාකාරයා 11:9–12:12; 1 යොහන් 2:15-17) ඒ හින්දා සාලමොන් තරුණයන්ට ආයාචනයක් කරයි; අපේ වයස මොකක් වුණත්, බැරෑරුම් විදිහට සැලකිය යුතු ආයාචනයක් තමයි ඒ: “තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.”—දේශනාකාරයා 12:1.
20. දේශනාකාරයා පොතේ පණිවිඩය පිළිබඳ සමබර දෘෂ්ටිය මොකක්ද?
20 එහෙමනම්, අපි එළඹෙන්නේ මොන නිගමනයටද? හොඳයි, සාලමොන් එළඹුණු නිගමනය ගැන මොනවද කියන්න පුළුවන්? ඔහු “ඉර යට කෙරෙන සියලු කර්මාන්ත” දුටුවා, එහෙම නැත්නම් ඒවා පරීක්ෂා කළා; “ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.” (දේශනාකාරයා 1:14) දේශනාකාරයා පොතේ අපට සම්බ වෙන්නේ, හැම දෙයකම දෝෂ දකින හෝ සෑහීමට පත් නොවූ මනුෂ්‍යයෙක්ගේ වචන නෙවේ. දෙවිගේ ආනුභාවය ලත් වචනයේ කොටසක් වන ඒ අදහස්, අපේ සැලකිල්ලට ගැනීම වටී.
21, 22. (අ) සාලමොන් සැලකිල්ලට ගත්තේ ජීවිතයේ මොන මොන පැති සම්බන්ධයෙන්ද? (ආ) ඔහු එළඹුණේ මොන ඥානවන්ත නිගමනයටද? (ඇ) දේශනාකාරයා පොතේ තොරතුරු පරීක්ෂා කර බැලීම ඔබට බලපා තියෙන්නේ කොහොමද?
21 සාලමොන් මනුෂ්‍යයන්ගේ වෙහෙසවීම්, අරගල හා අභිලාෂයන් නිරීක්ෂණය කළා. සාමාන්‍ය ජීවිතයේ අන්තිමේදී සිදු වන දේ ගැනත්, බොහෝ මනුෂ්‍යයන් අද්දකින බලාපොරොත්තු සුන්වීම් හා හිස් ප්‍රතිඵලය ගැනත් ඔහු කල්පනා කළා. ඔහු මනුෂ්‍ය අසම්පූර්ණත්වයේ යථාර්ථය හා ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන මරණය සැලකිල්ලට ගත්තා. එමෙන්ම මළවුන්ගේ තත්වය ගැනත් ඕනෑම අනාගත ජීවිතයක් ගැන තියෙන බලාපොරොත්තු ගැනත් දෙවි දුන් දැනුම සැලකිල්ලට ගෙන ඔහු ඉදිරිපත් කළා. හැම දෙයක් පිළිබඳවම මේ ඇගයීම කළේ, දිව්‍යමය ලෙස වැඩිදියුණු කළ ප්‍රඥාවක් තිබූ මනුෂ්‍යයෙක්; ඔව් මෙතෙක් ජීවත් වූ ඥානවන්තම මනුෂ්‍යයන් අතරෙන් කෙනෙක්. ඉන්පසු ඔහු එළඹුණු නිගමනය සැබවින් අර්ථවත් ජීවිතයක් ගත කරන්න කැමති සියලුදෙනාගේ ප්‍රයෝජනය සඳහා ශුද්ධ ලියවිල්ලට ඇතුළත් කරනු ලැබුවා. අපි එයට එකඟ විය යුතු නැද්ද?
22 “සියල්ල ඇසීමෙන් පසු, කාරණයෙහි නිගමනය මෙයයි: සැබෑ දෙවිට භය වී ඔහුගේ ආඥා පවත්වන්න. මන්දයත් මෙය මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම වන බැවිනි. මන්දයත් සෑම සැඟවුණු දෙයක් සම්බන්ධයෙන් සෑම ආකාරයේ ක්‍රියාවක්ම යහපතද හෝ නපුරද කියා නිශ්චය කරගැනීමට සැබෑ දෙවිම ඒවා විනිශ්චයට පමුණුවන බැවිනි.”—දේශනාකාරයා 12:13, 14, NW.
[පාදසටහන්වල]
a වරක් ද වොච්ටවර් සඟරාව මෙම තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් අදහස දැක්වූවා: “අපි මේ ජීවිතය නිෂ්ඵල දේවල් සඳහා නාස්ති නොකළ යුතුයි . . . තියෙන සියල්ල මේ ජීවිතයට සීමා වෙලා නම්, වැදගත් කිසිම දෙයක් නැහැ. ජීවිතය කියන්නේ, උඩට විසි කරලා, ඉක්මනින් දූවිලි ගොඩට වැටෙන බෝලයක් වගෙයි. එය පහවයන සෙවණැල්ලක්, පර වී යන මලක්, කපන්න තියෙන ඉන්පසුව ඉක්මනින් මැලවෙන තණකොළ ගහක්. . . . සදාකාලය නමැති තුලාව මත අපේ ආයුෂය හරියට ගණන් ගන්න බැරි දූලි කඩක් වගෙයි. කාලය නමැති දොළ පාරේ එය සැලකිය යුතු දිය බිඳක්වත් නෙවෙයි. ජීවිතයේ, මනුෂ්‍යයන්ගේ සැලකිල්ලට භාජන වන නොයෙක් දේ හා වැඩකටයුතු සලකා බලා, ඒවා නිෂ්ඵලයි කියලා [සාලමොන්] තීන්දු කරන කොට ඔහු හරියටම හරි. අපි ඉක්මනින්ම පහව යනවා; ඇත්තෙන්ම ආපු එකෙන්වත් එතරම් ඵලක් තිබුණේ නැහැ; ඇවිත් යන බිලියන ගණන අතරෙහි අපිත් ඉන්නවා. අපි හිටියා කියලවත් දන්නේ කොපමණ සුළු සංඛ්‍යාවක්ද! මෙම දෘෂ්ටිය නින්දාශීලී හෝ අඳුරු හෝ මූසල හෝ අශෝභන එකක් නොවේ. තියෙන සියල්ල මේ ජීවිතයට සීමා වෙලා නම්, ඒක සැබෑවක්, මුහුණ දෙන්න ඕනෑ කාරණයක්, ප්‍රායෝගික දෘෂ්ටියක්.”—1957 අගෝස්තු 1, 472 පිටුව.
ඔබට මතකද?
◻ ඔබේ ජීවිතයේ වස්තුවලට හිමි විය යුතු තැන ගැන තියෙන ඥානවන්ත ඇගයීම මොකක්ද?
◻ අපි පවුල, කීර්තිය හෝ අනුන් කෙරෙහි අධිකාරය හෙබවීම කෙරෙහි අනවශ්‍ය අවධානයක් නොදිය යුත්තේ ඇයි?
◻ සැප භුක්තිවිඳීම හා සම්බන්ධව සාලමොන් දිරිගැන්වූයේ කුමන දිව්‍ය ආකල්පය දරන හැටියටද?
◻ දේශනාකාරයා පොත සලකා බැලීමෙන් ඔබ ප්‍රයෝජන ලබා ඇත්තේ කොහොමද?
[15වන පිටුවේ පින්තූර]
මුදල් හා වස්තුව තිබූ පමණින් සෑහීමක් ලැබෙන්නේ නැහැ
[17වන පිටුවේ පින්තූරය]
යෞවනයන් දෙවිට භය වෙනවා නම්, ඔවුන්ට යහපතක් අත් වෙයි කියන එක ගැන සහතික වෙන්න පුළුවන්