ආලෝකය දරන්නෝ—කුමන අරමුණක් සඳහා ද?
“මම ඔබ ව ජාතීන්ගේ ආලෝකයක් ලෙස පත් කොට ඇත්තෙමි.”—ක්‍රියා 13:47, NW.
1. ක්‍රියා 13:47 හි යොමු දක්වා ඇති ආඥාව මගින් ප්‍රේරිත පාවුල් හට බලපෑමක් ඇති කළේ කෙසේ ද?
ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේ ය: “යෙහෝවඃ වහන්සේ මෙම වදන්වලින් අපට මෙලෙස අණ කළ සේක: මම ඔබ ව ජාතීන්ගේ ආලෝකයක් ලෙස පත් කොට ඇත්තෙමි, ඔබ පොළොවේ සීමාවන් දක්වා ගැලවීමට සිටින පිණිස ය.” (ක්‍රියා 13:47, NW) ඔහු එය පැවසුවා පමණක් නොව, නමුත් එහි ඇති බැරෑරුම්කම ද ඔහු හඳුනා ගත්තේ ය. ක්‍රිස්තියානියෙකු බවට පත්වීමෙන් පසු, එම ආඥාව ක්‍රියාත්මක කරලීමට ඔහු තම ජීවිතය කැප කළේ ය. (ක්‍රියා 26:14-20) එම ආඥාව අප මතත් පවරා තිබේ ද? එසේ නම්, අපගේ දවස්වල දී එය වැදගත් වන්නේ මන්ද?
මිනිස් වර්ගයා සඳහා වූ ‘ආලෝකය නිවී ගිය’ අවස්ථාව
2. (අ) ලෝකය එහි අවසානයට ඇතුල් වූවාත් සමඟ ම, එහි ආත්මික හා සදාචාර වාතාවරණයට ගැඹුරු බලපෑමක් ඇති කළා වූ කුමන දෙයක් සිදුවී ද? (ආ) බ්‍රිතාන්‍යයේ එක් රාජ්‍ය නිලධාරියෙක් වර්ෂ 1914 අගෝස්තු මාසයේ දී තමා දුටු දෙයට ප්‍රතික්‍රියා කළේ කෙසේ ද?
2 අද දින ජීවත් ව සිටින බොහෝ දෙනෙකු ඉපදෙන්නට පෙර, මෙම ලෝකය එහි අවසාන කාලයට අවතීර්ණ විය. ප්‍රධාන සිද්ධීන් සීඝ්රයෙන් එකිනෙක සිදු වන්නට පටන් ගති. ආත්මික හා සදාචාර අන්ධකාරයට ප්‍රධාන කොට අනුබල දෙන්නා වූ සාතන් වන යක්ෂයා ව, පොළොවට හෙලන ලදි. (එපීස 6:12; එළිදරව් 12:7-12;) මිනිස් වර්ගයා ව එවිටමත් එහි පළමුවෙනි ලෝක යුද්ධයට ඇද දමනු ලැබ තිබිණි. වර්ෂ 1914 මුල් භාගයේ දී, යුද්ධය ස්ථිර ලෙස ම සිදුවෙන්නට තිබිය දී, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්, ශ්‍රීමත් එඩ්වඩ් ග්‍රේ, ලන්ඩනයේ තම කාර්යාලයේ ජනේලය අසල සිටගෙන මෙසේ පැවසී ය: “යුරෝපය පුරා පහන් නිවී යමින් තිබේ; අපගේ ජීවිත කාලයේ දී නම් නැවතත් ඒවා දැල්වීම අපි නොදකින්නෙමු.”
3. මිනිස් වර්ගයාගේ අනාගතය දීප්තිමත් කරලීමට යත්න දැරීමේ ලා, ලෝක නායකයන් හට තිබූ සාර්ථකත්වයන් මොනවා ද?
3 යළි එම ආලෝකයන් දැල්වීමට යත්න දරමින්, 1920 දී ජාතීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන ලදි. එහෙත් ආලෝකය විටින් විට දැල්වුණේ නැති තරම් ය. දෙවන ලෝක යුද්ධය අවසානයේ දී, ලෝක නායකයෝ, මේවතාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ යළිත් උත්සාහ කළෝ ය. මෙවරත්, ආලෝකයන් දීප්තිමත් ව දැල් වූයේ නැත. කෙසේ වෙතත්, වඩාත් මෑත කාලවල සිද්ධීන් දෙස බලන කල, ලෝක නායකයෝ, “නව ලෝක ක්‍රමයක්” ගැන කථා කරමින් සිටිති. එහෙත්, මොවුන් කථා කරන හෝ ඔවුන් විසින් සාදන්නට යන මොනයම් ආකාරයේ හෝ මෙම “නව ලෝකය,” සැබෑ සාමය සහ සුරක්ෂිත භාවය ගෙනැවිත් තිබෙන එකක් බව කීම උගහට ය. මීට පටහැනි ව, අවි සටන්, වාර්ගික අර්බුද, අපරාධ, විරැකියාව, දිළිඳුකම, පරිසර දූෂණය සහ අසනීපයන් දිගින් දිගට ම ජන ජීවිතයන් භුක්ති විඳීමට බාධා කරමින් තිබේ.
4, 5. (අ) මිනිස් පවුල මත අන්ධකාරය වෙලා ගත්තේ කවදා ද, කෙසේ ද? (ආ) සහනය සැපයීම සඳහා අවශ්‍ය වන්නේ කුමක් ද?
4 ඇත්තෙන් ම, මිනිස් වර්ගයාගෙන් පළමුවරට ආලෝකය නිවී ගියේ, 1914ට බොහෝ කලකට පෙර ය. එය සිදුවූයේ මීට අවුරුදු 6,000කට පමණ පෙර, ඒදන් උයනේ, අපගේ පළමු මිනිස් දෙමාපියන්, දෙවියන් වහන්සේගේ ප්‍රකාශිත කැමැත්ත නොසලකා තමන්ගේ ම තීරණ ගැනීමට තෝරා ගත් අවස්ථාවේ දී ය. එතැන් පටන් සිදු වී ඇති මිනිස් ජාතියේ ශෝචනීය අත්දැකීම්, ‘අන්ධකාරයේ බලය’ ලෙස බයිබලයේ යොමු දක්වා ඇති දේ යටතේ වූ හුදෙක් සිද්ධීන් පමණි. (කොලොස්සි 1:13) පළමු මිනිසා වූ ආදම් ලෝකය පාපය තුළට ඇද දැමුවේ සාතන් වන යක්ෂයාගේ බලපෑම යටතේ ය; තව ද ආදම්ගෙන් සියලු මිනිස් වර්ගයා වෙත පාපය හා මරණය පැතිරිණි. (උත්පත්ති 3:1-6; රෝම 5:12) මෙසේ, මිනිස් වර්ගයා, ආලෝකයේ සහ ජීවිතයේ උල්පතාණන් වන යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය අහිමි කර ගත්හ.—ගීතාවලිය 36:9.
5 මිනිස් වර්ගයාගෙන් ඕනෑ ම කෙනෙකු වෙත සැබවින් ම ආලෝකය යළි දැල්වෙන්නට සැලැස්වීමට තිබෙන එක ම මඟ වනු ඇත්තේ, ඔවුන්, මිනිස් වර්ගයාගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ අනුමැතිය දිනා ගත්තා නම් පමණි. එවිට, “සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්ම,” එනම්, පාපය නිසා වූ ශාපය, ඉවත් කළ හැකි ය. මෙය කිරීමට හැකි වනු ඇත්තේ කෙසේ ද?—යෙසායා 25:7.
“ජාතීන්ගේ ආලෝකය ලෙස” දෙනු ලැබූ තැනැත්තාණන්
6. යෙහෝවඃ වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඉටු කර ගැනීමට අප හට හැකි කරවා ඇත්තේ කිනම් උදාර අපේක්ෂාවන් ද?
6 ආදම් සහ ඒව ව පාරාදීසයෙන් නෙරපා දැමීමට පෙර පවා, යෙහෝවඃ වහන්සේ, ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන අයගේ ගැලවුම්කරුවාණන් වනු ඇති “වංශයක්” ගැන පුරෝකථනය කළ සේක. (උත්පත්ති 3:15) එම පොරොන්දු වූ වංශයේ මිනිස් උපත සිදුවූවායින් පසු, “ජාතීන්ගෙන් වසාලන කඩතුරාව ඉවත් කිරීම සඳහා ආලෝකයක්” ලෙස එම තැනැත්තාණන් ව හඳුනා ගැනීමට යෙරුසලම් දේවමාලිගාවේ දී, යෙහෝවඃ වහන්සේ වයසක සීමොන් හට හැකි කර වූ සේක. (ලූක් 2:29-32, NW) යේසුස් වහන්සේගේ ජීවිත පූජාවේ පව් කමා කිරීමේ වටිනාකම කෙරෙහි දක්වන ඇදහිල්ල තුළින්, උරුම වූ පාපයෙන් ප්‍රතිඵල වී ඇති ශාපයෙන් මිදෙන්නට මිනිසුන්ට දැන් හැකි විණි. (යොහන් 3:36) යෙහෝවඃ වහන්සේගේ කැමැත්තට එකඟ ව, ස්වර්ගික රාජ්‍යයේ කොටසක් වශයෙන් හෝ පාරාදීස පොළොවක් මත එම රාජ්‍යයේ යටත් වැසියන් වශයෙන්, පරිපූර්ණත්වයෙන් යුත් සදාකාල ජීවනයක් බලා සිටින්නට දැන් ඔවුනට හැකි විණ. එය මොනතරම් පුදුමාකාර සැපයුමක් ද!
7. යෙසායා 42:1-4 හි සඳහන් පොරොන්දු සහ ඒවායේ පළමු සියවස තුළ ඉටු වීම යන දෙක ම අප ව බලාපොරොත්තුවෙන් පුරවන්නේ මන්ද?
7 මෙම විශිෂ්ට අපේක්ෂාවන්හි සහතිකය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ම ය. දුක් පීඩාවන්ට ලක් වී සිටි ජනයා ව යේසුස් වහන්සේ විසින් සුව කිරීම සම්බන්ධයෙන් යෙසායා 42:1-4 හි ලියා ඇති දේ ප්‍රේරිත මතෙව් උන් වහන්සේට අදාළ කළේ ය. එම ශුද්ධ ලියවිල්ලේ කොටසක මෙසේ පවසයි: “මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය [යුක්තිය NW] ගෙන එන්නේය.” ඇරත්, සියලු ජාතීන්ට අයත් ජනයාට අවශ්‍ය වන්නේ මෙය නොවේ ද? අනාවැකිය තවදුරටත් මෙසේ කියයි: “ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගසන පහන්තිරයක් නොනිවන්නේය.” මෙයට එකඟ ව, ඒ වන විටත් පීඩාවකට ලක් වී සිටි මිනිසුන් හට යේසුස් වහන්සේ රළු ලෙස සැලකුවේ නැත. උන් වහන්සේ ඔවුනට අනුකම්පාව දැක්වූ සේක, යෙහෝවඃ වහන්සේගේ අරමුණු ගැන ඉගැන්වූ සේක, ඔවුන් ව සුව කළ සේක.—මතෙව් 12:15-21.
8. යෙහෝවඃ වහන්සේ විසින් යේසුස් වහන්සේ ව “සෙනගගේ ගිවිසුමක්” හා “ජාතීන්ගේ ආලෝකයක්” වශයෙන් දී තිබෙන්නේ කුමන අර්ථයෙන් ද?
8 මෙම අනාවැකි දුන් තැනැත්තාණන්, 5වන පදයෙහි, තමා ව ම ස්වකීය සේවකයා වන යේසුස් වහන්සේට මෙසේ හඳුන්වා දෙයි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනගගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද [ආලෝකයක් NW] කොට නියමකරන්නෙමි. එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.” (යෙසායා 42:6, 7) එසේ ය, යෙහෝවඃ වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව, “ගිවිසුමක් වශයෙන්,” එනම් උදාර පොරොන්දුවක් සහිත සහතිකයක් වශයෙන් දී ඇත. එය මොනතරම් දිරිගන්වන සුලු ද! මේ පොළොව මත සිටි කල යේසුස් වහන්සේ මිනිස් වර්ගයා කෙරෙහි සැබෑ සැලකිල්ලක් දැක් වූ සේක; උන් වහන්සේ මිනිස් වර්ගයා උදෙසා සිය ජීවිතය පවා දුන් සේක. සියලු ජාතීන් කෙරෙහි පාලනය කිරීම, යෙහෝවඃ වහන්සේ පවරා තිබෙන්නේ මෙම තැනන් වහන්සේට ය. යෙහෝවඃ වහන්සේ, “ජාතීන්ට ආලෝකයක්” යනුවෙන් උන් වහන්සේ ව හැඳින්වීම පුදුමයට කරුණක් නොවේ. යේසුස් වහන්සේ ම මෙසේ පැවසූ සේක: “මම ලෝකයේ ආලෝකයය.”—යොහන් 8:12.
9. එවකට පැවති දේවල පිළිවෙළ වැඩි දියුණු කිරීමට යේසුස් වහන්සේ තමා ව ම කැප නොකළේ මන්ද?
9 යේසුස් වහන්සේ, ලෝකයේ ආලෝකය වශයෙන් සේවය කළේ කුමන අරමුණක් උදෙසා ද? සහතික ව ම, ඒ යම් ලෞකික හෝ ද්‍රව්‍යවාදී අරමුණක් උදෙසා නොවී ය. මේ ලෝකයේ පාලකයා වන සාතන්ගෙන්වත් ජනයාගෙන්වත් රජකම පිළිනොගත් අතර, එවකට පැවතෙමින් තිබූ දේශපාලන පිළිවෙළේ වැරදි සහ විෂමතාවයන් ඉවත් කිරීමට යත්න දැරීම උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. (ලූක් 4:5-8; යොහන් 6:15; 14:30) දුක් පීඩාවන්ට ලක් වී සිටි අයට මහත් දයානුකම්පාවක් දැක් වූ උන් වහන්සේ, වෙනත් අයට හැකි නොවූ ක්‍රමවලින් ඔවුන් හට සහනය ගෙනා සේක. එහෙත්, උරුම වූ පාපය නිසා දිව්‍ය ශාපය යටතේ තිබුණා වූ ද නොපෙනෙන දුෂ්ට ආත්ම බලවේගයන් විසින් මෙහෙය වනු ලැබ තිබුණා වූ ද මිනිස් සමාජයක රාමුව තුළ ස්ථිර සහනයක් ගෙන එන්නට නොහැකි බව උන් වහන්සේ දැන සිටි සේක. දිව්‍ය තීක්ෂ්ණ බුද්ධිය ඇතුව, යේසුස් වහන්සේ සිය මුළු ජීවිතය ම කේන්ද්‍ර ගත කළේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට ය.—හෙබ්‍රෙව් 10:7.
10. යේසුස් වහන්සේ, ලෝකයේ ආලෝකය වශයෙන් සේවය කළේ කුමන මාර්ගවලින් ද, කුමන අරමුණක් උදෙසා ද?
10 එසේ නම්, උන් වහන්සේ “ලෝකයේ ආලෝකය” වශයෙන් සේවය කළේ කිනම් මාර්ගවලින්, කිනම් අරමුණක් උදෙසා ද? උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට තමා ව ම කැප කළ සේක. (ලූක් 4:43; යොහන් 18:37) යෙහෝවඃ වහන්සේගේ අරමුණ පිළිබඳ සත්‍යයට සාක්ෂි දැරීම මගින්, යේසුස් වහන්සේ, සිය ස්වර්ගීය පියාණන්ගේ නාමය ද ගෞරවයට පත් කළ සේක. (යොහන් 17:4, 6) මීට අමතර ව, ලෝකයේ ආලෝකය වශයෙන්, යේසුස් වහන්සේ, ආගමික බොරු හෙළි කොට, එලෙසින්, ආගමික බන්ධනය තුළ තබනු ලැබ සිටි අයට ආත්මික නිදහස සැපයූ සේක. තමන් ව ම යොදා ගැනීමට සාතන්ට ඉඩ දෙන අයගේ නොපෙනෙන රවටන්නා සාතන් බවට හෙළි කළ උන් වහන්සේ, සාතන්ගේ වෙස් මුහුණ ගළවා දැමූ සේක. තව ද උන් වහන්සේ, අන්ධකාරයට අයත් ක්‍රියාවන් පැහැදිලි ව ම හඳුන්වා දුන් සේක. (මතෙව් 15:3-9; යොහන් 3:19-21; 8:44) කැපී පෙනෙන ලෙස, උන් වහන්සේ තමා ලෝකයේ ආලෝකය බව ඔප්පු කළේ, මිදීමේ මිලයක් වශයෙන් සිය මිනිස් ජීවිතය දානය කිරීමෙනි. මේ අයුරින්, මෙම සැපයුම මත ඇදහිල්ල පවත්වන අයට තම පාපවලට කමාව ලබා ගැනීමටත්, දෙවියන් වහන්සේ සමඟ අනුමැතිය ලත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත්, යෙහෝවඃ වහන්සේගේ සර්වලෝක පවුලේ කොටසක් වශයෙන් සදාකාල ජීවනයේ අපේක්ෂාවටත් උන් වහන්සේ මාර්ගය විවෘත කළ සේක. (මතෙව් 20:28; යොහන් 3:16) තව ද අවසාන වශයෙන්, සිය මුළු ජීවිතය පුරා පරිපූර්ණ දිව්‍ය භක්තිය පවත්වා ගැනීම මගින්, යේසුස් වහන්සේ, යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කොට යක්ෂයා බොරුකාරයෙකු බවට ඔප්පු කොට, මේ නයින් ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නන් හට සදාකාලික ප්‍රයෝජන ලබා ගැනීමට හැකි කර වූ සේක. එහෙත්, ආලෝකය දරන්නෙකු වීමට සිටියේ යේසුස් වහන්සේ පමණක් ද?
“නුඹලා ලෝකයේ ආලෝකයය”
11. යේසුස් වහන්සේගේ ගෝලයන් ආලෝකය දරන්නන් වීමට නම්, ඔවුන්ට කරන්නට තිබුණේ කුමක් ද?
11 මතෙව් 5:14 හි, යේසුස් වහන්සේ සිය ගෝලයන්ට මෙසේ වදාළ සේක: “නුඹලා ලෝකයේ ආලෝකයය.” උන් වහන්සේගේ අඩි පාර අනුගමනය කිරීමට ඔවුන්ට තිබිණි. තම ජීවිත මාර්ගය හා තම දේශනා කිරීම යන දෙකෙන් ම, සැබෑ ඥානයේ උල්පතාණන් වශයෙන් යෙහෝවඃ වහන්සේ වෙතට අන්‍යයන්ට මඟ පෙන්වීමට ඔවුන්ට තිබිණි. යේසුස් වහන්සේ ව අනුකරණය කරමින්, යෙහෝවඃ වහන්සේගේ නාමය දැනගැනීමට සැලැස්වීමටත් උන් වහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමටත් ඔවුන්ට තිබිණි. යේසුස් වහන්සේ කළාක් මෙන්, මිනිස් වර්ගයාගේ එක ම බලාපොරොත්තුව වශයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමට ඔවුන්ට තිබිණි. ආගමික බොරු හා අන්ධකාරයට අයත් ක්‍රියා මෙන් ම, එවන් නපුරු දේ පිටුපස සිටින දුෂ්ට තැනැත්තා ව හෙළි කිරීමට ද ඔවුන්ට තිබිණි. ඊට අමතර ව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්, ගැලවීම සඳහා යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය සැපයුම ගැන ද සෑම තැනක ම සිටින ජනයා හට පැවසීමට ඔවුනට තිබිණි. යේසුස් වහන්සේ අණ කොට තිබුණාක් මෙන්, පළමු ව යෙරුසලමෙන් පටන් ගෙන යුදෙයාවටත් ඊළඟට සමාරියටත් යමින් එම පැවරුම ඉටු කිරීමට මුල් ක්‍රිස්තියානින් හට මොනතරම් ජ්වලිතයක් තිබෙන්නට ඇත් ද!—ක්‍රියා 1:8.
12. (අ) ආත්මික ආලෝකය කොතරම් දුරකට විහිදී යාමට නියමිත ව තිබුණි ද? (ආ) යෙසායා 42:6 හි සඳහන් දෙය ගැන කුමක් වටහා ගැනීමට යෙහෝවඃ වහන්සේගේ ආත්මය, පාවුල්ට හැකි කරවූයේ ද, තව ද එම අනාවැකිය අපගේ ජීවිතවලට බල පෑ යුත්තේ කෙසේ ද?
12 කෙසේ වුවද, ශුභාරංචිය දේශනා කිරීම, එම ක්ෂේත්රයට පමණක් සීමා වීමට තිබුණේ නැත. යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට අණ කළේ, “සියලු ජාතීන් ව ගෝලයන් කරන” ලෙසට ය. (මතෙව් 28:19) තාර්සස් හි සාවුල්ගේ හැරීම සිදු වන අවස්ථාවේ දී, ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ඇඟවූයේ, යුදෙව්වන්ට පමණක් නොව නමුත් අන්‍ය ජාතීන්ටත් දේශනා කරන්නට (ප්‍රේරිත පාවුල් බවට පත් වූ) සාවුල්ට තිබෙන බවයි. (ක්‍රියා 9:15) ශුද්ධාත්මයේ උපකාරය ඇතුව, ඊට ඇතුළත් වූ දේ අගය කිරීමට පාවුල්ට හැකි විය. මෙසේ, යේසුස් වහන්සේ තුළ කෙළින් ම ඉටු වන යෙසායා 42:6 හි සඳහන් අනාවැකිය, ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල පවත්වන සියල්ලන් හට ද අඟවා ඇති ආඥාවක් බව පාවුල් වටහා ගත්තේ ය. එමනිසා, යෙසායාගෙන් උපුටා දැක්වූ විට, ක්‍රියා 13:47 හි [NW] පාවුල් මෙසේ කීවේ ය: “යෙහෝවඃ වහන්සේ මෙම වදන්වලින් අපට මෙසේ අණ කළ සේක: ‘මම ඔබ ව ජාතීන්ගේ ආලෝකයක් ලෙස පත්කොට ඇත්තෙමි, ඔබ පොළොවේ සීමාවන් දක්වා ගැලවීමට සිටින පිණිස ය.’ ” ඔබ ගැන කුමක් කිව හැකි ද? ආලෝකය දරන්නෙකු වීමට තිබෙන එම වගකීම ඔබ පුද්ගලික ව හෘදයට ගෙන සිටින්නෙහි ද? යේසුස් වහන්සේ සහ ප්‍රේරිත පාවුල් මෙන්, ඔබ ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා කේන්ද්‍ර ගත කර තිබෙන්නෙහි ද?
අපට මඟ පෙන්වීමට දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආලෝකය සහ සත්‍යය
13. ගීතාවලිය 43:3ට එකඟ ව, අපගේ උනන්දුමත් යාච්ඤාව කුමක් ද, මෙය අප ව ආරක්ෂා කරන්නේ කුමකට එරෙහි ව ද?
13 අප අපගේ ක්‍රමවලින් ම මිනිස් වර්ගයාගේ අනාගතය දීප්තිමත් කිරීමට ‘ආලෝකය යළි මතු කරන්නට’ උත්සාහ කරන්නට ගියා නම්, දෙවියන් වහන්සේගේ ආනුභාවය ලත් වචනයේ මූලික කරුණ අප බැරෑරුම් ලෙස වරද්දා ගත්තා වෙයි. කෙසේ වෙතත්, පොදු ලෝකයා කුමක් කළත් අව්‍යාජ ක්‍රිස්තියානිහු, ආලෝකයේ සැබෑ උල්පතාණන් වශයෙන් යෙහෝවඃ වහන්සේ දෙස බලති. ඔවුන්ගේ යාච්ඤාව ගීතාවලිය 43:3 හි සඳහන් ගීතිකාකරුගේ යාච්ඤාව මෙනි. එය මෙසේ කියයි: “ඔබගේ එළියත් [ආලෝකයත් NW] සැබෑකමත් එවුව මැනව; ඒවා මා ගෙනයෙත්වා. ඒවා ඔබගේ ශුද්ධවූ කන්දටත් ඔබගේ මණ්ඩපවලටත් මා පමුණුවත්වා.”
14, 15. (අ) යෙහෝවඃ වහන්සේ ස්වකීය ආලෝකය සහ සත්‍යය දැන් විහිදුවාලමින් සිටින්නේ කිනම් මාර්ගවලින් ද? (ආ) දෙවියන් වහන්සේගේ ආලෝකය සහ සත්‍යය සැබවින් ම අපට මඟ පෙන්වන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේ ද?
14 යෙහෝවඃ වහන්සේ ස්වකීය පක්ෂපාත සේවකයන්ගේ එම යාච්ඤාවට දිගට ම පිළිතුරු දෙන සේක. ස්වකීය අරමුණ ප්‍රකාශ කරමින්, ස්වකීය සේවකයන්ට එය වටහා ගැනීමට හැකි කරවමින්, තමන් වහන්සේ ප්‍රකාශ කර ඇති දෙය ඉටු කිරීමෙන් උන් වහන්සේ ස්වකීය ආලෝකය විහිදුවන සේක. අප දෙවියන් වහන්සේට යාච්ඤා කරන විට, එය හුදෙක් ශුද්ධත්වයේ පෙනුමක් දීමට කරන නිකම් ම යාන්ත්‍රික වූ සිරිතක් නොවේ. අපගේ උනන්දුමත් ආශාව නම්, ගීතිකාව පවසන්නාක් මෙන්, යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආලෝකය අපට මඟ පෙන්වාවා යන්නයි. දෙවියන් වහන්සේ සපයන ආලෝකය ලැබීමත් සමඟ ම, ඒ හා සමඟ පැමිණෙන වගකීම අපි භාර ගනිමු. ප්‍රේරිත පාවුල් මෙන්, යෙහෝවඃ වහන්සේගේ වචනයේ ඉටුවීම තුළ, ඒ කෙරෙහි ඇදහිල්ල පවත්වන සියල්ලන් හට ආඥාවක් අඟවා තිබෙන බව අපි වටහා ගනිමු. එම අරමුණ උදෙසා දෙවියන් වහන්සේ අප හට පවරා තිබෙන ශුභාරංචිය අප වෙනත් මනුෂ්‍යයන් හට දෙන තෙක්, අපි ඔවුන් හට ණයකාරයන් ව සිටින්නෙමු යයි අපට හැඟේ.—රෝම 1:14, 15.
15 අපගේ දවසේ දී, යෙහෝවඃ වහන්සේ එවා ඇති ආලෝකය සහ සත්‍යය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ස්වර්ගික සිංහාසනයේ සිට ක්‍රියාශීලී ලෙස පාලනය කරමින් සිටින බව පැහැදිලි කරයි. (ගීතාවලිය 2:6-8; එළිදරව් 11:15) යේසුස් වහන්සේගේ රාජකීය පැමිණ සිටීමේ දී, රාජ්‍යය ශුභාරංචිය මුළු ජනාවාස පොළොව පුරා දේශනා කරනු ලබන බව උන් වහන්සේ පුරෝකථනය කළ සේක. (මතෙව් 24:3, 14) එම වැඩය, දැන් ලොව පුරා ප්‍රබල අයුරින් කරනු ලබමින් තිබේ. අපි එම වැඩය අපගේ ජීවිතයේ වඩාත් ම වැදගත් දේ කරගනිමින් සිටින්නෙමු නම්, ඇත්තෙන් ම, එවිට, ගීතිකාකරු පැවසුවාක් මෙන්, දෙවියන් වහන්සේගේ ආලෝකය සහ සත්‍යය අපට මඟ පෙන්වමින් තිබෙයි.
යෙහෝවඃ වහන්සේගේ ම තේජස්ශ්‍රීය බැබළෙමින් තිබේ
16, 17. යෙහෝවඃ වහන්සේ, 1914 දී ස්වකීය ස්ත්‍රියක් බඳු සංවිධානය මත ස්වකීය තේජස උදා කළේ කෙසේ ද, තව ද උන් වහන්සේ ඈට කිනම් ආඥාවක් දුන් සේක් ද?
16 සෑම තැන ම වෙසෙන ජනයාගේ ප්‍රයෝජනය සඳහා දිව්‍ය ආලෝකය විහිදුවමින් තිබෙන අන්දම ශුද්ධ ලියවිල්ලේ ආත්ම කලතන භාෂාවකින් විස්තර කරයි. යෙහෝවඃ වහන්සේගේ “ස්ත්‍රිය ව,” එනම් ස්වකීය පක්ෂපාත සේවකයන්ගෙන් යුත් ස්වර්ගීය සංවිධානය අමතන යෙසායා 60:1-3 මෙසේ පවසයි: “[අහෝ, ස්ත්‍රිය NW] නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදාවනසේක. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීපිතයටද එනවා ඇත.”
17 යෙහෝවඃ වහන්සේගේ ස්ත්‍රියක් බඳු ස්වර්ගික සංවිධානයට උන් වහන්සේගේ තේජසේ ආලෝකය බැබලුණේ, දිගු කලක් මුළුල්ලේ බලා සිටීමෙන් පසු, ඈ විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජාණන් වශයෙන් වූ මෙසියානු ආණ්ඩුවට උපත දුන් 1914 දී ය. (එළිදරව් 12:1-5) මුළු පොළොවට ම නියම අයිතිය ඇති ආණ්ඩුව වශයෙන්, එම ආණ්ඩුව මත දිව්‍ය අනුමැතිය සහිත ව යෙහෝවඃ වහන්සේගේ තේජසේ ආලෝකය බබළයි.
18. (අ) යෙසායා 60:2 හි පුරෝකථනය කර තිබෙන පරිදි, අන්ධකාරයෙන් පොළොව වැසී තිබෙන්නේ මන්ද? (ආ) පුද්ගලයන් ව පොළොවේ අන්ධකාරයෙන් ගලවනු ලැබිය හැක්කේ කෙසේ ද?
18 මීට හාත්පසින් ම වෙනස් ව, පොළොව අන්ධකාරයෙන් ද ජාතීන් තද අන්ධකාරයෙන් ද වැසී තිබේ. මන්ද? මක්නිසාදයත්, මිනිස් පාලනවලට සහයෝගය දෙමින් ජාතීහු දෙවියන් වහන්සේගේ ප්‍රිය පුත්‍රයාණන්ගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරති. එක් ආණ්ඩු ක්‍රමයක් වෙනුවට තව ආණ්ඩු ක්‍රමයක් මාරු කිරීමෙන් තමන්ගේ ප්‍රශ්න ගැටලු විසඳිය හැකි යයි ඔවුහු සිතති. එහෙත්, ඔවුන් බලාපොරොත්තු වන සහනය මේ මගින් ගෙන එන්නේ නැත. ආත්ම විෂයේ සිට ජාතීන් ව කූඨ ලෙස හසුරුවමින් සිද්ධීන් පිටුපස සිටින්නේ කවුද කියා දැකීමට ඔවුහු අසමත් වෙති. (2 කොරින්ති 4:4) ඔවුහු සැබෑ ආලෝකයේ ප්රභවය ප්‍රතික්ෂේප කරති, එමනිසා ඔවුන් සිටින්නේ අන්ධකාරයේ ය. (එපීස 6:12) කෙසේ වුවද, ජාතීන් කුමක් කළත්, පුද්ගලයන්ට එම අන්ධකාරයෙන් ගැලවිය හැක. කුමන මාර්ගයෙන් ද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි සම්පූර්ණ ඇදහිල්ල තබා ඊට යටත්වීමෙනි.
19, 20. (අ) යේසුස් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන් මත යෙහෝවඃ වහන්සේගේ තේජස උදා වී ඇත්තේ මන්ද, කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේ ස්වකීය ආලේප ලත් අය ව ආලෝකය දරන්නන් කර ඇත්තේ කිනම් හේතුවක් උදෙසා ද? (ඇ) පුරෝකථනය කළ පරිදි, “රජවරු” සහ “ජාතීන්” දෙවියන් වහන්සේ විසින් දී ඇති ආලෝකයට ඇදී ගොස් ඇත්තේ කෙසේ ද?
19 ක්‍රිස්තියානි ලෝකය දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි ඇදහිල්ල තබා එයට යටත් වී නැත. එහෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයෙන් ආලේප ලත් අනුගාමිකයන් එසේ කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ දිව්‍ය අනුමැතියේ ආලෝකය උන් වහන්සේගේ ස්වර්ගික ස්ත්‍රියගේ මෙම දෘශ්‍යමාන නියෝජිතයන් මත බැබළී තිබෙන අතර, ඔවුන් මත උන් වහන්සේගේ තේජස විද්‍යමාන වී ඇත. (යෙසායා 60:19-21) ලෝකයේ කිසි ම දේශපාලන හෝ ආර්ථිකමය වෙනසක් මගින් ඉවත ලන්නට නොහැකි ආත්මික ආලෝකයක් ඔවුහු භුක්ති විඳිති. මහා බබිලෝනියෙන් යෙහෝවඃ වහන්සේ ඔවුන් ව ගලවා ගෙන තිබීම ඔවුන් අත්දැක තිබේ. (එළිදරව් 18:4) ඔවුන් යෙහෝවඃ වහන්සේගේ හික්මවීම සහ නිවැරදි කිරීම පිළිගෙන, උන් වහන්සේගේ පරමාධිපත්‍යයට පක්ෂ ව ස්ථිර වී සිට තිබෙන නිසා ඔවුහු උන් වහන්සේගේ අනුමැතියේ මද හස භුක්ති විඳිති. ඔවුන්ට අනාගතය උදෙසා දීප්තිමත් අපේක්ෂාවන් තිබෙන අතර, උන් වහන්සේ ඔවුන් ඉදිරියේ තබා තිබෙන රාජ්‍යය බලාපොරොත්තුව තුළ ඔවුහු ප්‍රීති වෙති.
20 එහෙත් යෙහෝවඃ වහන්සේ මේ ආකාරයෙන් ඔවුන් සමඟ කටයුතු කර ඇත්තේ කිනම් අරමුණක් උදෙසා ද? යෙසායා 60:21 හි උන් වහන්සේ ම ප්‍රකාශ කොට ඇත්තාක් මෙන්, එය එසේ වන්නේ, උන් වහන්සේ, ‘අලංකාර කරනු ලැබීමට’ ය, උන් වහන්සේගේ නාමයට ගෞරව කරනු ලැබීමට ය, එවිට උන් වහන්සේ එක ම සැබෑ දෙවියන් වහන්සේ වශයෙන් ඔවුහු උන් වහන්සේ වෙතට ඇදී එති, එය ඔවුන්ගේ දිගුකාලීන යහපතට හේතු වෙයි. මීට අනුකූල වෙමින්, 1931 දී, සැබෑ දෙවියන් වහන්සේගේ මෙම නමස්කාරකයෝ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ යන නාමය වැළඳ ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙසායා පුරෝකථනය කළාක් මෙන්, ඔවුන් විහිදුවාලූ ආලෝකය වෙතට “රජවරුන්” ඇදී ආවෝ ද? එසේ ය! එහෙත් ඒ පොළොවේ දේශපාලන නායකයන් නොව, ක්‍රිස්තුස් වහන්සේ සමඟ උන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ රජවරුන් වශයෙන් පාලනය කිරීමට පෙළ ගැසී සිටි ඉතිරි සංඛ්‍යාව ය. (එළිදරව් 1:5, 6; 21:24) “ජාතීන්” ගැන කුමක් කිව හැකි ද? ඔවුන් මෙම ආලෝකයට ඇදී ඇවිත් තිබේ ද? සහතික ව ම එසේ ය! ඇදී ගොස් තිබෙන්නේ, කිසියම් තනි දේශපාලනමය ජාතියක් නොවේ, නමුත් මෙම සියලු ජාතීන්ගෙන් පැමිණි “මහත් සමූහයක” ජනයා, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැත්තේ තම ස්ථාවරය ගෙන ඇති අතර, දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළට ගැලවීම ගැන ඔවුහු මහත් උනන්දුවෙන් බලා සිටිත්. එය, ධර්මිෂ්ඨකම පැතිර පවත්නා වූ සැබෑවට ම නව ලොවක් වනවා ඇත.—2 පේතෘස් 3:13; එළිදරව් 7:9, 10.
21. යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත පිළිබඳ ව අවබෝධයක් අප හට දානය කිරීමෙන් උන් වහන්සේ පෙන්වා ඇති ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ අප විසින් වරද්දා ගෙන නොමැති බව පෙන්වීමට අපට හැක්කේ කෙසේ ද?
21 ඔබ එම එක්රැස් වෙමින් සිටින මහත් ආලෝකය දරන්නන්ගෙන් කෙනෙක් ද? යෙහෝවඃ වහන්සේ ස්වකීය කැමැත්ත පිළිබඳ ව වැටහීමක් අපට දී තිබෙන අතර, යේසුස් වහන්සේ මෙන්, අපටත් ආලෝකය දරන්නන් බවට පත් විය හැක. අපගේ කාලයේ දී, යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් හට පවරා ඇති කර්තව්‍ය තුළ ජ්වලිතය විදහා දැක්වීම මගින්, දෙවියන් වහන්සේ අප වෙත විහිදුවා ඇති ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ අප විසින් වරද්දා ගෙන නොමැති බව අපි සියල්ලන් ම පෙන්වමු. (2 කොරින්ති 6:1, 2) අපගේ දවසේ මීට වඩා වැඩි වැදගත්කමක් ඇති කර්තව්‍යයක් නැත. යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන මහිමාන්විත ආලෝකය අන්‍යයන් හට විහිදුවාලමින් උන් වහන්සේ ව ගෞරවයට පත් කිරීම තරම් අපට ලැබිය හැකි වෙන කිසියම් අයුරකටත් වඩා උතුම් වරප්‍රසාදයක් නැත.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ මිනිස් වර්ගයාගේ ශෝකාන්විත ගැටලුවල මූල හේතූන් මොනවා ද?
◻ යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ අනුගාමිකයන් යන දෙකොටස ම “ලෝකයේ ආලෝකය” වන්නේ කිනම් මාර්ගවලින් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ ආලෝකය සහ සත්‍යය අපට මඟ පෙන්වන්නේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ ස්වකීය තේජස උන් වහන්සේගේ සංවිධානය කෙරෙහි උදා කර ඇත්තේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා ව ආලෝකය දරන්නන් කර ඇත්තේ කිනම් අරමුණක් උදෙසා ද?
[9වන පිටුවේ පින්තූර]
අද දින මිනිස් වර්ගයාගේ ශෝකාන්විත ගැටලු වටහා ගැනීමට ඒදන් උයනේ සිද්ධියක් අපට උපකාර කරයි
[හිමිකම් විස්තර]
Tom Haley/Sipa
Paringaux/Sipa