“සමාදානයට කාලයක්” අතළඟය!
“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. . . . යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.”—දේශනාකාරයා 3:1, NW, 8.
1. යුද්ධය සහ සාමය ගත් කල, මේ 20වන සියවසේ පවතින්නේ කවර හාස්‍යජනක තත්වයක්ද?
බොහෝදෙනෙකු සාමයට ප්‍රිය කරන්නේ හොඳ හේතු ඇතුවය. ඉතිහාසයේ වෙනත් කිසිම සියවසකට වඩා මේ 20වන සියවස සාමයේ ඌනතාවකින් පෙළී ඇත. කෙසේවෙතත්, මේ සියවසේම සාමය උදෙසා පෙර නොවූ විරූ උත්සාහයක් දරා තිබීම හාස්‍යයට කරුණක්. වර්ෂ 1920දී ජාතීන්ගේ සංගමය පිහිටෙව්වා. වර්ෂ 1928දී “ලෝකයේ හැම ජාතියක්ම පාහේ” කෙලොග්-බ්රියාන් ගිවිසුම ස්ථිර කළේ “රජයේ ප්‍රතිපත්තියට යුද්ධය මෙවලමක් හැටියට යොදා නොගැනීමට එකඟ වෙමින්.” මෙම ගිවිසුම එක් ආශ්‍රේය ග්‍රන්ථයක හඳුන්වා දුන්නේ “පළමුවන ලෝක සංග්රාමයෙන් පසු සාම සාධක ප්රයත්න මාලාව අතුරින් ශ්‍රේෂ්ඨතම ප්රයත්නය” ලෙසයි. ඊළඟට, ක්‍රියා විරහිත වූ ජාතීන්ගේ සංගමයේ තැන ගැනීමට 1945දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවනු ලැබුවා.
2. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිත ඉලක්කය කුමක්ද? එය කොතරම් දුරකටද සාර්ථක වී ඇත්තේ?
2 ජාතීන්ගේ සංගමයට සමානව, එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිත ඉලක්කය වූයේත් ලෝක සාමය අත් කරගැනීමයි. එනමුත් එහි සාර්ථකත්වය සීමිත එකක් වී තිබෙනවා. ලෝක යුද්ධ දෙකේ පරිමාණයෙන්ම ලෝකය යුධ බිමට පිවිසී නැති බව පිළිගත යුත්තක්. කෙසේවෙතත්, ඊටත් වඩා කුඩා පරිමාණයේ ගැටුම් රැසක් දශලක්ෂ ගණනකගේ මනසින් සාමයද, ඔවුන්ගේ දේපොළද, ඇතැම් විට ඔවුන්ගේ ජීවිතද සොරාගනිමින් තිබෙනවා. එක්සත් ජාතීන්ට 21වන සියවස සාමයේ නොහොත් ‘සමාදානයේ කාලයක්’ දක්වා පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියා අපට සිතන්නවත් පුළුවන්ද?
සැබෑ සාමය සඳහා පදනම
3. වෛරය පවතින ගමන්ම සැබෑ සමාදානයක් පැවතිය නොහැක්කේ මන්ද?
3 ජාතීන් සහ ගෝත්‍ර අතර සාමයක් පවතින්න නම්, නිකම්ම එකිනෙකා කෙරෙහි ඉවසීම විදහාපානවාට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. වෛරයක් බැඳගත් කෙනෙකු සමඟ යමෙකුට ඇත්තටම සමාදානයෙන් සිටිය හැකිද? පළමුවන යොහන් 3:15ට අනුව නම් එසේ කළ නොහැකියි: “තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය.” මෑත ඉතිහාසයෙන් පැහැදිලි වන ආකාරයට, ගැඹුරින් මුල්බැසගත් වෛරය පහසුවෙන්ම සාහසිකකම දක්වා ඇවිළෙනවා.
4. සමාදානය අද්දැකිය හැක්කේ කාට පමණක්ද? ඒ මන්ද?
4 යෙහෝවා “සමාදානය දෙන දෙවි” වන නිසා, ඔහු සඳහා ප්‍රේමයක්ද, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සඳහා ගැඹුරු ගෞරවයක්ද ඇති අයට පමණයි සමාදානය අද්දැකිය හැක්කේ. මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවා සියලුදෙනාටම සමාදානය දානය නොකරන බවයි. ‘දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවි කියයි.’ මෙයට හේතුව, සමාදානය නමැති ඵලයෙන් යුත් දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට දුෂ්ටයන් පිටුපෑමයි.—රෝම 15:33, NW; යෙසායා 57:21; ගලාති 5:22.
5. සැබෑ ක්‍රිස්තියානීන්ට හීනෙකින්වත් සිතිය නොහැකි දෙය කුමක්ද?
5 විශේෂයෙන්ම 20වන සියවසේදී නමට විතරක් පෙනී සිටින ක්‍රිස්තියානීන් කර ඇත්තාක් මෙන්, සෙසු මනුෂ්‍යයන් සමඟ සටන් වැදීම සැබෑ ක්‍රිස්තියානීන් හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක්. (යාකොබ් 4:1-4) සැබෑ ක්‍රිස්තියානීන් දෙවි ගැන වැරදි වැටහීමක් දෙන ඉගැන්වීම්වලට එරෙහිව සටන් කරන බව ඇත්තයි. එනමුත්, මෙවැනි සටනක අරමුණ පුද්ගලයන්ට හානි කිරීම නොව ඔවුන්ට උපකාර කිරීමයි. ආගමික අතින් යම් වෙනසක් තිබෙන නිසා වෙනත් අයට පීඩා කිරීම එසේ නැතහොත් ජාතිවාදී හේතු මත කෙනෙකුට ශාරීරිකව අඩන්තේට්ටම් කිරීම සැබෑ ක්‍රිස්තියානි ධර්මයට සහමුලින්ම පටහැනිව දිවයන දෙයක්. පාවුල් රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ මෙසේයි: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:17-19; 2 තිමෝති 2:24-26.
6. අදදින සැබෑ සමාදානය සොයාගත හැකි එකම තැන කුමක්ද?
6 අදදින, දිව්‍ය අනුග්‍රහයෙන් ලද සමාදානය දක්නට ලැබෙන්නේ යෙහෝවා දෙවිගේ සැබෑ නමස්කාරකයන් අතර පමණයි. (ගීතාවලිය 119:165; යෙසායා 48:18) ඔවුන් කොතැනක සිටියත් දේශපාලනය අතින් මධ්‍යස්ථව සිටින නිසා, දේශපාලනික ආරවුල් ඔවුන්ගේ සමඟියට බාධාවක් වන්නේ නැහැ. (යොහන් 15:19; 17:14) ඔවුන් “එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින” බැවින් ආගමික විෂමතාවන් ඔවුන්ගේ සමාදානයට තර්ජනයක් එල්ල නොකරයි. (1 කොරින්ති 1:10) යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැන් භුක්ති විඳින සමාදානය නවීන දින ප්රාතිහාර්යයකි. මෙය දෙවි විසින් සිදු කර ඇත්තේ “නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි” යන ඔහුගේ පොරොන්දුවට එකඟවයි.—යෙසායා 60:17; හෙබ්‍රෙව් 8:10.
ඇයි මේ “යුද්ධයට කාලයක්”?
7, 8. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සමාදානයට නැඹුරු ස්ථාවරයක් තිබුණද, ඔවුන් වර්තමානය දෙස බලන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානියෙකුගේ යුද්ධයේ ප්‍රධාන ආයුධය කුමක්ද?
7 යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමාදානයට නැඹුරුවන ස්ථාවරයක සිටියත්, වර්තමානය මූලිකවම “යුද්ධයට කාලයක්” ලෙස ඔවුන් සලකනවා. හැබැයි, මෙතැනදී සඳහන් වන්නේ සැබෑ යුද්ධ කිරීමක් ගැන නොවේ. මන්ද අපි බයිබලයේ පණිවිඩය අන්‍යයන්ට කඩුවේ බලය යොදා පොවන්න උත්සාහ කළොත්, එය “කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා” යන දෙවිගේ ඇරයුමට පටහැනිව දිවයනවා. (එළිදරව් 22:17, ඇල අකුරු අපගේය.) මෙහිදී බලෙන් කවුරුත් හරවන්නේ නැහැ! යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරත වන්නේ ආත්මික යුද්ධයක පමණයි. පාවුල් මෙසේ ලිව්වා: “අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු [ගැඹුරින් මුල් බැසගත් දේ, NW] බිඳහෙළීමට [දෙවි] ඉදිරිපිට බලසම්පන්නය.”—2 කොරින්ති 10:4; 1 තිමෝති 1:18, 19.
8 “අපේ යුද්ධායුධ” අතුරින් ප්‍රධාන තැන ගන්නේ ‘දෙවිගේ වචනය නමැති ආත්මයේ කඩුවයි.’ (එපීස 6:17) මෙම කඩුව බලසම්පන්නයි. “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ [හෘදයේ, NW] සිතිවිලිද අදහස්ද විමසන්නේය.” (හෙබ්‍රෙව් 4:12) මෙම කඩුව යොදාගැනීමෙන්, “[දෙවි] ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා” දැමීමට ක්‍රිස්තියානීන් සමත් වෙනවා. (2 කොරින්ති 10:5) දිව්‍ය ප්‍රඥාව වෙනුවට මිනිස් මතිමතාන්තර පිළිබිඹු කරන බොරු ඉගැන්වීම්, හානිකර ව්‍යවහාරයන් සහ දර්ශනයන් හෙළි කිරීමේ හැකියාව එයින් ඔවුන්ට ලැබෙයි.—1 කොරින්ති 2:6-8; එපීස 6:11-13.
9. පව්කාර මාංසයට එරෙහිව අප කරන සටන අත් නොහැරිය යුත්තේ මන්ද?
9 අප නිරත වන ආත්මික යුද්ධයේ තවත් පැත්තකි, පව්කාර මාංසයට එරෙහිව කරන සටන. මෙසේ පිළිගත් පාවුල්ගේ ආදර්ශය ක්‍රිස්තියානීන් අනුගමනය කරනවා: “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.” (1 කොරින්ති 9:27) “පොළොවේ තිබෙන [තම] අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත්” නැසීමට කොලොස්සියේ විසූ ක්‍රිස්තියානීන්ට අවවාද කරනු ලැබුවා. (කොලොස්සි 3:5) තවද බයිබල් ලේඛක යූද් ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ “එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් [පොර අල්ලන්න]” කියායි. (යූද් 3) අප එසේ කළ යුත්තේ මන්ද? පාවුල් මෙසේ පිළිතුරු දෙයි: “නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.” (රෝම 8:13) මෙවැනි ඍජු ප්‍රකාශයක් හමුවෙහි වැරදි නැඹුරුවාවන්ට එරෙහිව කරන අපගේ සටන අත්හැරිය නොහැකි එකක් බව පැහැදිලියි.
10. වර්ෂ 1914දී සිදු වූයේ කුමක්ද? නුදුරු අනාගතයේදී එය කුමකට මඟ පාදයිද?
10 වර්තමානය යුද්ධයට කාලයක් ලෙස සැලකිය හැකි තවත් හේතුවක් තිබෙනවා. එනම් ‘අපගේ දෙවිගේ පළිගැනීමේ දවස’ අප සමීපයටම පැමිණ තිබීමයි. (යෙසායා 61:1, 2) වර්ෂ 1914දී, මෙසියානු රාජ්‍යය පිහිටුවීමටත්, සාතන්ගේ පිළිවෙළට එරෙහිව එළිපිට යුද්ධයක් ආරම්භ කිරීම සඳහා එයට බලතල දීමටත් යෙහෝවාගේ නියමිත කාලය පැමිණියා. දෙවිගේ මැදිහත් වීමකින් තොරව මිනිස් පාලනය අත්හදා බැලීම සඳහා වූ නියමිත කාලපරිච්ඡේදය ඒ අවස්ථාවේදී ඉකුත්ව ගියා. මුල් සියවසේ බහුතරයක් කළාක් මෙන්, බොහෝදෙනා දෙවිගේ මෙසියානු පාලකයාව පිළිගන්නවා වෙනුවට ඔහුව එක හෙළා ප්‍රතික්ෂේප කරනවා. (ක්‍රියා 28:27) එබැවින්, රාජ්‍යයට මෙවැනි විරුද්ධවාදිකම් එල්ල වෙද්දී, තම “සතුරන් මැද ආණ්ඩු” කිරීමට ක්‍රිස්තුස්ට සිදු වී තිබෙනවා. (ගීතාවලිය 110:2) එළිදරව් 6:2හි ඔහු “ජයගන්න” යන බව පොරොන්දු වීම ඇත්තෙන්ම සන්තෝෂයට කරුණක්. ඔහු මෙය සිදු කරන්නේ ‘හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන’ ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදියි.’—එළිදරව් 16:14, 16.
දැන් “කථාකරන්ට කාලයක්”
11. යෙහෝවා අතිශයින්ම ඉවසිලිවන්ත වී ඇත්තේ මන්ද? කෙසේවෙතත් අන්තිමේදී පැමිණෙන්නේ කුමක්ද?
11 මිනිස් කටයුතුවල සන්ධිස්ථානය වූ 1914 පටන් දැන් අවුරුදු 85ක් ගෙවී ගොසිනි. යෙහෝවා මිනිස් සංහතිය කෙරෙහි දක්වා ඇත්තේ පුදුම ඉවසීමක්. ඔහු තම සාක්ෂිකරුවන්ට කාලයේ හදිසිතාව හොඳට අවබෝධ කර දී තිබෙනවා. දශලක්ෂ ගණනාවක් ජීවිතයත් මරණයත් අතර පටු බිම් තීරයකයි සිටින්නේ. යෙහෝවා “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට . . . නොකැමැති” නිසා මේ මහත් ජන සමූහයාට අනතුරු ඇඟවිය යුතුයි. (2 පේතෘස් 3:9) කෙසේවෙතත්, ‘ස්වාමි වූ යේසුස් තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ එළිදරව්’ වෙද්දී ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙයි. එදාට දෙවිගේ රාජ්‍යය පිළිබඳ පණිවිඩය හිතාමතාම ප්‍රතික්ෂේප කළ සැමදෙනාම ‘දෙවි නාඳුන්නන්ටත් අපගේ ස්වාමි වූ යේසුස්ගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත්’ දෙන “ප්‍රතිඵල” අද්දකින්න යනවා.—2 තෙසලෝනික 1:6-8, 10.
12. (අ) මහත් පීඩාව කවදා සිදු වෙයිද කියා අනුමාන කිරීම නිරර්ථක උත්සාහයක් වන්නේ මන්ද? (ආ) මේ සම්බන්ධයෙන් යේසුස් දුන්නේ කුමන අනතුරු ඇඟවීමද?
12 යෙහෝවාගේ ඉවසීමේ සීමාව අන්තිමේදී ඉක්මවා යන්නේ කවදාද? “මහත් පීඩාව” කවදා පැමිණෙයිද කියා අනුමාන කිරීමෙන් කිසිම ඵලක් නැහැ. යේසුස් පැහැදිලිවම මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය . . . දන්නා කෙනෙක් නැත.” අනිත් අතට ඔහු මෙසේද අවවාද කළා: “එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ [එන්නේදැයි] නුඹලා දන්නේ නැත. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා [එන්නේය.]” (මතෙව් 24:21, 36, 42, 44) සරලව කියනවා නම්, අප හැමදාම ලෝක සිදුවීම් සම්බන්ධයෙන් සාවධානව සිට, මහත් පීඩාවේ ආරම්භය ළඟා වෙමින් පවතින බව සැලකිල්ලට ගත යුතුයි. (1 තෙසලෝනික 5:1-5) අපගේ ගමනේ වේගය අඩාල කර, සාමාන්‍යයයි සැලකෙන ජීවිතයක් ගත කරමින්, ඉදිරියට මොනවා සිදු වෙයිද කියා නිකම් ඔහේ බලාගෙන හිටියාට කමක් නැහැ කියා සිතීම කොතරම් අනතුරුදායකද! යේසුස් මෙසේ පැවසුවා: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.” (ලූක් 21:34, 35) අපට එක දෙයක් ගැන නම් සහතික විය හැකියි: ඒ තමයි දැනට යෙහෝවාගේ “දේවදූතයන් සතර දෙනෙක්” විසින් අල්ලාගෙන සිටින විනාශයේ “සතරදිග හුළඟ” සදහටම අල්ලාගෙන සිටින්න යන්නේ නැහැ කියන කාරණය.—එළිදරව් 7:1-3.
13. දශලක්ෂ හයකට ආසන්න පිරිසක් තේරුම්ගෙන ඇත්තේ කුමක්ද?
13 මෙම පළිගැනීමේ දවස ශීඝ්‍රයෙන් අප අබියසට පැමිණෙන නිසා, “කථාකරන්ට කාලයක්” සම්බන්ධයෙන් සාලමොන් පැවසූ වදන්වලට විශේෂ අරුතක් ඇති බව පෙනී යනවා. (දේශනාකාරයා 3:7) ඇත්තටම දැන් කතා කිරීමට කාලයක් බව තේරුම්ගෙන ඇති දශලක්ෂ හයකට ආසන්න වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, දෙවිගේ පාලන තන්ත්රයේ තේජෝමහිමය ගැන කතා කරමින්, ඔහුගේ පළිගැනීමේ දවස ගැන අනතුරු අඟවමින් සිටිනවා. ක්‍රිස්තුස්ගේ පරාක්‍රමයේ මෙම දවසෙහි ඔවුන් එසේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.—ගීතාවලිය 110:3; 145:10-12.
“සමාදානය නැති කල්හි සමාදානයයයි” කියන උදවිය
14. පොදු යුගයට පෙර හත්වන සියවසේදී සිටියේ කුමන බොරු අනාගතවක්තෲන්ද?
14 පොදු යුගයට පෙර හත්වන සියවසේදී, යෙරුසලම දෙවිට අකීකරු වෙමින් ගත් හිතුවක්කාර ක්‍රියාමාර්ගය හේතුවෙන් දෙවිගේ අනාගතවක්තෲන් වූ යෙරෙමියා සහ එසකියෙල් දිව්‍යමය විනිශ්චයේ පණිවිඩ ප්‍රකාශ කළා. එවකට සිටි ප්රමුඛ, බලපුළුවන්කාර ආගමික නායකයන් ඔවුන්ව බොරුකාරයන් ලෙස හංවඩු ගැසුවත්, ඔවුන් පුරෝකථනය කළ විනාශය පො.යු.පෙ. 607දී සිදු වුණා. මෙම ආගමික නායකයන් “සමාදානය නැති කල්හි සමාදානයයයි කියා . . . [දෙවිගේ] සෙනඟ මුළාකෙරෙවු” ‘මෝඩ අනාගතවක්තෘවරුන්’ බවට ඔප්පු වුණා.—එසකියෙල් 13:1-16; යෙරෙමියා 6:14, 15; 8:8-12.
15. ඒ හා සමාන බොරු අනාගතවක්තෲන් අදත් සිටීද? පැහැදිලි කරන්න.
15 එවකට විසූ ‘මෝඩ අනාගතවක්තෘවරුන්’ මෙන්, අදදින සිටින ආගමික නායකයන්ගෙන් බහුතරයද දෙවිගේ පැමිණෙන විනිශ්චය දිනය ගැන ජනයාට අනතුරු අඟවන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වෙනුවට, දේශපාලන කණ්ඩායම් එකතු වී අවසානයේදී සාමය සහ සුරක්ෂිතභාවය අත් කරගන්නා බව කියමින් ඔවුන් ව්‍යාජ වූ පින්තූරයක් මවාපානවා. දෙවිට වඩා මනුෂ්‍යයන්ව සතුටු කිරීමේ ආශාවෙන්, ඔවුන් තම බැතිමතුන් පිරිසට කියන්නේ ඔවුන්ගේ සිත්ගන්නා දේවල් පමණයි. ඇත්තවශයෙන්ම ඔවුන්ට පැවසිය යුතු දේ වන්නේ, දෙවිගේ රාජ්‍යය පිහිටුවා ඇති බවත්, මෙසියානු රජ නොබෝ කලකින් සම්පූර්ණයෙන්ම ජය අත් කරගන්නා බවත්ය. (දානියෙල් 2:44, 45; 2 තිමෝති 4:3, 4; එළිදරව් 6:2) බොරු අනාගතවක්තෲන් වශයෙන් ඔවුන්ද “සමාදානය නැති කල්හි සමාදානයයයි” කියනවා. කෙසේවෙතත්, යෙහෝවා සම්බන්ධයෙන් ජනයාට වැරදි වැටහීමක් දෙමින් ඔහුගේ නාමය පිටට මහත් කැළලක් ගෙනැවිත් ඇති මොවුන්ගේ නිසැකකම, ක්ෂණික භීතියක් දක්වා මාරු වෙන්න යන්නේ යෙහෝවාගේ උදහස ඔවුන් හමුවට පැමිණෙද්දීයි. බයිබලයෙහි වේශ්‍යා ස්ත්‍රියක් ලෙස දක්වා ඇති සමස්ත ලෝක බොරු ආගමික අධිරාජ්‍යයේ නායකයන් විනාශ වී යන්නේ සිය මුළා කරවනසුලු සාම මොරගැසීම් මුවින් පිට වෙද්දීමයි.—එළිදරව් 18:7, 8.
16. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වී ඇත්තේ කවර සෙනඟක් වශයෙන්ද? (ආ) “සමාදානය නැති කල්හි සමාදානයයයි” මොරගසන අයට වඩා ඔවුන් වෙනස් වෙන්නේ කෙසේද?
16 ප්රමුඛ බලපුළුවන්කාර නායකයන්ගෙන් බහුතරයක් සාමය ගැන හිස් පොරොන්දු දිගටම පළ කළත්, සැබෑ සාමය පිළිබඳ දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල දක්වන අයගේ විශ්වාසය සැලෙන්නේ නැහැ. දැන් සියවසකටත් වැඩි කාලයක් පුරා, දෙවිගේ වචනයට පක්ෂව කටයුතු කරන්නන් වශයෙන්ද, බොරු ආගමට එඩිතරව විරුද්ධවන්නන් වශයෙන්ද, දෙවිගේ රාජ්‍යයට නොසැලී අතහිත දෙන්නන් වශයෙන්ද, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වී ඇත. සාමය ගැන මිහිරි නමුත් නිස්සාර වූ කතා දොඩවමින් ජනයාව නිදි කරවනවා වෙනුවට, වර්තමානය යුද්ධය සඳහා කාලයක් බවට වූ යථාර්ථයට ඔවුන්ව අවදි කිරීමට ඔවුන් දරන්නේ නොමද උත්සාහයක්.—යෙසායා 56:10-12; රෝම 13:11, 12; 1 තෙසලෝනික 5:6.
යෙහෝවා තම නිශ්ශබ්දතාව බිඳදමයි
17. යෙහෝවා ළඟදීම තම නිශ්ශබ්දතාව බිඳින බව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
17 සාලමොන් මෙසේද කිව්වා: ‘[සැබෑ, NW] දෙවි ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චය කරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණේ.’ (දේශනාකාරයා 3:17) ඔව්, බොරු ආගමට විරුද්ධවත්, ‘යෙහෝවාට සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව සැරසී සිටින පොළොවේ රජවරුන්ට’ විරුද්ධවත්, විනිශ්චය ඉටු කිරීම සඳහා යෙහෝවාට නියමිත කාලයක් ඇත. (ගීතාවලිය 2:1-6; එළිදරව් 16:13-16) ඒ කාලය පැමිණි වහාම, යෙහෝවාගේ “නිශ්ශබ්දව” සිටීමේ කාලය නිම වෙයි. (ගීතාවලිය 83:1; යෙසායා 62:1; යෙරෙමියා 47:6, 7) යෙහෝවා තම සිංහාසනාරූඪ වූ මෙසියානු රජ වන යේසුස් ක්‍රිස්තුස් තුළින් “කථාකරන්ට” යන්නේ පෙනෙන විදිහට ඔහුගේ විරුද්ධවාදීන්ට තේරෙන එකම භාෂාවෙනි: ‘යෙහෝවා බලවන්තයෙකු මෙන් නික්ම එන්නේය; ඔහු යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවන්නේය; ඔහු කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරන්නේය. මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කතා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියක මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හති දමන්නෙමි. මම කඳු සහ හෙල් පාළු කර, ඒවායේ සියලු පලා ජාති වියළවන්නෙමි; ගංගා ගොඩ කර, පොකුණු හින්දවන්නෙමි. අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.’—යෙසායා 42:13-16, ඇල අකුරු අපේය.
18. දෙවිගේ සෙනඟ ළඟදීම “නිශ්ශබ්දව සිටින්ට” යන්නේ කුමක් සම්බන්ධයෙන්ද?
18 යෙහෝවා තම දේවත්වයට පක්ෂව ‘එළිපිට කතා කරද්දී,’ ඔහුගේ සෙනඟට තම ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එවිට ඔවුන්ට “නිශ්ශබ්දව සිටින්ට” සිදු වෙයි. අතීතයේ දෙවිගේ සේවකයන්ට අදාළ වුණාක් මෙන්, මතු දැක්වෙන වදන් ඔවුන්ටද අදාළ වෙයි: “මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට [යෙහෝවා] නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න.”—2 ලේකම් 20:17.
19. ක්‍රිස්තුස්ගේ ආත්මික සහෝදරයන්ට නොබෝ කලකින් ලැබෙන්නේ කුමන වරප්‍රසාදයද?
19 සාතන්ට මෙන්ම ඔහුගේ සංවිධානයට මොනතරම් අන්ත පරාජයක් අත් වේවිද! ‘සමාදානයේ දෙවි නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩි කරන්නේය’ යන පොරොන්දුවට එකඟව ධර්මිෂ්ඨකම උදෙසා මෙම අද්විතීය ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රිස්තුස්ගේ තේජසට පත් සහෝදරයන්ද සහභාගි වෙයි. (රෝම 16:20) මෙතරම් කාලයක් පුරා බලා සිට ඇති සමාදානය සඳහා කාලය දැන් අතළඟයි.
20. ළඟදීම කුමක් සඳහා කාලය එළඹ තිබේවිද?
20 යෙහෝවාගේ බලයේ මෙම අතිශ්‍රේෂ්ඨ ප්‍රකාශ වීමෙන් මිහිපිට ගැළවෙන සියල්ලන්ට මොනතරම් ආශීර්වාද රැසක් අත් වෙන්න යනවාද! අනතුරුව, නැවත-නැඟිටීම සඳහා නියමිත කාලය පැමිණෙද්දී අතීතයේ විසූ විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් ඔවුන්ට එකතු වෙයි. සැබෑවටම, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය “සිටුවන්ට කාලයක් . . . සුවකරන්ට කාලයක් . . . ගොඩනගන්ට කාලයක් . . . සිනාසෙන්ට කාලයක් . . . නටන්ට කාලයක් . . . වැලඳගන්ට කාලයක් සහ . . . ප්‍රේමකරන්ට කාලයක්” වෙයි. ඔව්, එය සදහටම “සමාදානයට කාලයක්” වේවි!—දේශනාකාරයා 3:1-8; ගීතාවලිය 29:11; 37:11; 72:7.
කුමක්ද ඔබේ පිළිතුර?
◻ කල්පවතින සාමය සඳහා පදනම කුමක්ද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන් වර්තමානය “යුද්ධයට කාලයක්” ලෙස සලකන්නේ මන්ද?
◻ දෙවිගේ සෙනඟ ‘කතා කළ’ යුත්තේ මොන අවස්ථාවේදීද? “නිශ්ශබ්දව” සිටිය යුත්තේ මොන අවස්ථාවේදීද?
◻ යෙහෝවා තම නිශ්ශබ්දතාව බිඳින්නේ කෙසේද? කවදාද?
[13වන පිටුවේ කොටුව⁄පින්තූර]
යෙහෝවාට නියමිත කාලයක් ඇති දේවල්
◻ දෙවිගේ සෙනඟට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට ගොග්ව පොලඹවාගැනීම.—එසකියෙල් 38:3, 4, 10-12;
◻ මහ බබිලෝනිය විනාශ කර දැමීමේ අදහස මිනිස් පාලකයන්ගේ සිතට දැමීම.—එළිදරව් 17:15-17; 19:2;
◻ බැටළුපැටවාගේ විවාහ මංගල්‍යය සිදු කිරීම. —එළිදරව් 19:6, 7;
◻ හර්–මගෙදොන් යුද්ධය ආරම්භ කිරීම.—එළිදරව් 19:11-16, 19-21;
◻ යේසුස්ගේ දහස් අවුරුදු පාලනය ඇරඹීමට සාතන්ව බැඳ තැබීම.—එළිදරව් 20:1-3.
මෙහි සඳහන් සිදුවීම් මෙලෙස ලැයිස්තුගත කර තිබෙන්නේ ශුද්ධ ලියවිලිවල සඳහන් අනුපිළිවෙළටයි. මෙම සිදුවීම් පහම යෙහෝවා තීරණය කරන අනුපිළිවෙළට සහ ඔහු තීරණය කරන කාලයට අනුව සිදු වෙයි කියා අපට නිසැක විය හැකියි.
[15වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය සැබවින්ම . . .
සිනාසෙන්ට . . .
වැලඳගන්ට . . .
ප්‍රේම කරන්ට . . .
සිටුවන්ට . . .
නටන්ට . . .
ගොඩනඟන්ට . . . කාලයක් වේවි