බයිබලයේ දෘෂ්ටිකෝණය
සූදුව ක්‍රිස්තියානීන්ට සුදුසුද?
සූදුව මිල අධික පුරුද්දකි. බොහෝ විට කෙනෙකුගේ ආදායමෙන් අඩක් විනාශ කර, අධික ණයවීමකට මඟ පෑදිය හැක. මෙම පුරුද්ද විවාහ හා වෘත්තීන් විනාශ කර දැමිය හැකි අතර ඇතැමෙකුට අපරාධයේ නියැලීමට පවා සැලැස්විය හැක. එයට ගොදුරු වූවන් ඇබ්බැහි වී සිටින අතර වෙනත් දෑට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි අප්‍රසන්න ප්‍රතිවිපාක විඳිය හැක.
සූදුව කෙතරම් සාමාන්‍ය දෙයක් වී තිබෙනවාද කිවහොත් ඇතැම් රටවල් එය සලකන්නේ “ජාතික විනෝදයක්,” ලෙසය. කෙසේවුවද, ඇත්තෙන්ම සූදුව යනු කුමක්ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සඳහන් කරන්නේ, සූදුව වනාහි “අනාගත සිද්ධියක ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් කරන ඔට්ටු ඇල්ලීමක්” වශයෙනි. “සූදුවේ නියැලෙන්නෝ තමන් කලින් සිතාගන්නා ප්‍රතිඵල මත සාමාන්‍යයෙන්ම මුදල් හෝ වෙනත් වටිනා යමක් ඔට්ටු අල්ලති. ප්‍රතිඵලය දැනගත් විට, ජයග්රාහකයාට පැරදුණු අයගේ ඔට්ටු සියල්ල ලැබේ.”
සූදුව අලුත් ආශ්චර්යයක් නොවේ. මධ්‍යම අමෙරිකාවේ පැරණි මායාහි වතාවක පොක්ටාටොක් නමැති ජනප්‍රිය බෝල ක්‍රීඩාවක් සෙල්ලම් කරන ලදි—ඇස්ටෙක්වරුන් මෙය හඳුන්වන්නේ ට්ලාෂ්ට්ලි වශයෙනි—මෙහිදි [ඔට්ටු ඇල්ලීම හේතුවෙන්] තමුන්ගේ සියලු ධනය අහිමි කරගැනීමෙන් පසු, සමහරුන් තමන්ගේ ජීවිතද ඔට්ටු වශයෙන් පරදුවට තැබූ බව ආමෙරිකාස් සඟරාව පවසයි. මෙම පෞරාණිකයන් ඔට්ටු ඇල්ලීමේ පිස්සුවට අසු විය, ඇතැම් විට “රබර් බෝල සෙල්ලමක අස්ථිර ප්‍රතිඵලයක් මත වහලෙකු ලෙස ජීවත් වීමේ අවදානමට පවා ඔවුහු අවනත වූහ.”
බොහෝ දෙනෙකු සූදුවේ පිස්සුවට අසුවී ඇත්තේ මන්ද? එක්සත් ජනපදයේ පොදු ජන සූදු පර්යේෂණ ආයතනයේ සභාපති ඩ්වෙන් බර්ක් පවසන පරිදි, “වැඩි වැඩියෙන් ජනයා සූදුව සලකන්නේ විවේක කාලය ගත කිරීමට පිළිගත හැකි ක්‍රියාකාරකමක් ලෙසය.” ඇතැම් ආගමික සංවිධාන පවා අරමුදල් රැස්කරගැනීමේ මාධ්‍යයක් වශයෙන් සූදුව අනුමත කරති.
සූදුවට ජනප්‍රියත්වයක් හා දිගු ඉතිහාසයක් තිබුණත්, ක්‍රිස්තියානීන් සඳහා එය අහිංසක විනෝදයක් පමණක් විය හැකිද? නැතහොත් ඊට වඩා යමක් සම්බන්ධ වී තිබේද?
ජනයා සූදුවේ නියැලෙන්නේ මන්ද?
කෙටියෙන් කියනවා නම්, දිනීමටය. සූදුවේ නියැලෙන්නන්ට, බාහිර රැකියාවක යෙදීමේදී දරන්ට සිදුවන වෑයම හා හික්මවීම නොමැතිව ක්ෂණිකව මුදල් හම්බ කිරීමේ ප්‍රබෝධවත් මාර්ගයක් මෙන් සූදුව පෙනෙන්ට තිබේ. ලැබෙන්න යන “ලොකු ජයමල්ල” ගැනත් එම ත්‍යාග මුදල මගින් ඔවුන්ට ලබාගත හැකි ප්‍රසිද්ධිය සහ භාණ්ඩ ගැනත් සිතේ මවා ගනිමින් බොහෝ කාලයක් වැය කරනු ලැබේ.
එහෙත් සූදුවේ නියැලෙන්නාට වාසියට වඩා අවාසි සිදුවීම වැඩිය. උදාහරණයක් වශයෙන්, සංඛ්‍යාලේඛනඥයෙකු වූ රාල්ෆ් ලිෂ් පවසන්නේ, “වසරකදී [ජර්මනියේ ලොතරැයියෙන්] මුදල් [දිනීමට] වඩා” ජර්මනියේදී “හතර ගුණයකින් හෙණයක් වැදීමට තිබෙන ඉඩකඩ වැඩි,” බවය. එය ඒත්තු යන්නේ නැත්නම්, ඔහු පහත දැක්වෙන සැසඳීමද එකතු කරයි: “ඔබ මිනිසෙකු නම්, ඔබට අවුරුදු 100ක [වයස දක්වා] ජීවත් වීමට තිබෙන ඉඩකඩ [ලොතරැයියකින් දිනනවාට] වඩා 7,000 වාරයකින් වැඩිය.” ඇත්තෙන්ම, සූදුවේ නියැලෙන්නා මෙය දැන සිටිනවා විය හැකියි. එබැවින්, ඔහුට සූදුවේ දිගටම නියැලීමට සලසන්නේ කුමක්ද?
වෛද්‍ය. රොබට් කස්ටර්, වෙන් ලක් රන්ස් අවුට් [වාසනාව නැතිවන විට] නමැති සිය පොත පවසන පරිදි, සූදුවේ නියැලෙන සමහරුන්ට, “මුදල් ලැබීම දිනීමේ එක පැත්තක් පමණි. . . . මුදල් දිනීමෙන් තමා වෙත එල්ලවන ඊර්ෂ්‍යාව, ගෞරවය, ප්‍රශංසනීය සැලකිල්ල, ඉච්චාව භුක්ති විඳීම ඔවුන්ට වැදගත් දෙයයි.” ඔහු තවදුරටත් පවසන පරිදි, “තම මුදල් නෝට්ටු අහංකාරව ප්‍රසිද්ධ කිරීමත් හෝ නිකම් ‘මං ලක්ෂ ගණනක් දිනුවා’ යයි කීමට හැකිවීමත් ඉන් ලැබෙන කීර්තියෙන් වැජඹීමට අවස්ථාව ලැබීමත් ඔවුන්හට මහත් සතුට ගෙන දෙන්නකි.”
අනෙක් අතට, ජයගැනීමත්—ඒ සමඟම ඇතිවන බලවත් සතුටත්—සූදුවේ නියැලෙන බොහෝ දෙනෙකුට තවදුරටත් ප්‍රමාණවත් නොවේ. සූදුවේ නියැලීමට පෙලඹවීම කෙතරම් බලවත් විය හැකිද කිවහොත් ඔවුහු සූදුවට ඇබ්බැහිවූවෝ බවට පත්වෙති. ගැම්බ්ලර්ස් ඇනොනිමස් සංවිධානයේ සාමාජිකයන් සමඟ වෛද්‍ය. කස්ටර් විසින් පැවැත්වූ අධ්‍යයනයකදී, සමීක්ෂණයට පාත්‍ර කළ අයගෙන් සියයට 75ක් පැවසුවේ තමන් පැරදෙමින් සිටිනවා වුවත් ජය අත්කරගැනීම ගැන පාරට්ටු කරගන්නා බවයි! එසේය, සූදුවේ නියැලීම මත්පැන්වලට හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවීම තරම්ම දරුණු හා විනාශකාරි යමක් විය හැක. විනෝදයට පටන්ගත් දෙයින් සූදුවේ නියැලෙන්නන්ගෙන් කොපමණ දෙනෙකු වහල් තත්ත්වයට පත්වී සිටිනවාද? ඒ ගැන නොදැන පවා කොපමණ දෙනෙක් එසේ කර තිබෙනවාද?
දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණය
බයිබලය සවිස්තරාත්මකව සූදුව ගැන සාකච්ඡා කරන්නේ නැත. කෙසේ නමුත්, දෙවියන්වහන්සේ සූදුව ගැන සලකන්නේ කෙසේද කියා තීරණය කිරීමට අපට උපකාර වන ප්‍රතිපත්ති එය අපට සපයයි.
සූදුව කෑදරකම පිළිබිඹු කරන බවට අද්දැකීම් පෙන්නුම් කර තිබේ. ‘කෑදර කෙනෙකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නොලැබෙන’ බවට අවවාද කරමින් බයිබලය බලවත් සේ කෑදරකම හෙළාදකියි. (එපීස 5:5) සූදුවේ නියැලෙන්නන් පරදින විට පවා කෑදරකම දකින්ට ලැබේ. එක් අධිකාරයෙක් පවසන පරිදි, සූදුවේ නියැලෙන්නා ‘ලොකු දිනුමක්’ ලබාගැනීමට බලමින් ඔහුට අහිමි වූ මුදල නැවත දිනාගැනීමට වෑයම් කරනවා. ඔහුට ලොකු දිනුමක් ඇදුනත්, වඩා වැඩියෙන් ඔට්ටු අල්ලන අතර අවසානයේදී ඔහුගේ ‘ලොකු දිනුම’ අහිමි වී යනවා.” එසේය, ඇත්තෙන්ම කෑදරකම සූදුවේ කොටසකි.
ඇතැමෙක් සූදුව තම අහංකාරත්වය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් වශයෙන් යොදා ගනිති. අනිවාර්යයෙන්ම සූදුවේ නියැලෙන්නන් සම්බන්ධයෙන් පැවැත්වූ සමීක්ෂණයකදී සියයට 94ක් සූදුව සැලකුවේ “ආත්මාර්ථය වර්ධනය කරන ක්‍රියාකාරකමක්,” බවත්, සියයට 92ක් පැවසුවේ, තමන් සූදුවේ නියැලුණු විට තමන් “වැදගත් කෙනෙකු” යයි හැඟුණ බවත්ය. එහෙත්, දෙවියන්වහන්සේ මෙසේ පවසනසේක: “උඩඟුකමටත් අහංකාරයටත් . . . ද්වේෂකරමි.” මෙබැවින්, ක්‍රිස්තියානීන්ගෙන් නිරහංකාරකම හා නිහතමානිකම වර්ධනය කරගැනීමට උදක්ම ඉල්ලා සිටිනු ලැබේ.—හිතෝපදේශ 8:13; 22:4; මීකා 6:8.
වැඩ කිරීමේදී දැරිය යුතු පරිශ්රමය නොමැතිව මුදල් හම්බ කිරීමට පහසු මාර්ගයක් මෙන් පෙනෙන්ට තිබෙන බැවින්, සූදුව අලසකමටද මඟ පෑදිය හැක. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය ක්‍රිස්තියානීන්ව පැහැදිලිවම පොලඹවන්නේ උද්යෝගීව, මහන්සි වී වැඩ කිරීමටය.—එපීස 4:28.
ඊටත් වඩා, ඇතැම් සූදුවේ නියැලෙන්නන්ට වාසනාව යයි ඔවුන් හඳුන්වන දේ කෙතරම් වැදගත්ද කිවහොත් ඔවුහු එය තමන්ගේ දෙවියන් කරගනිමින් එයට වහල් වෙති. “ශ්‍රීකාන්තාවට [වාසනාවේ දෙවියාට, NW ] මේසයක් පිළියෙළ කරන්නාවූ” මිනිසුන් ගැන බයිබල් වාර්තාවට මෙය සමානය. ඔවුන්ගේ රූප වන්දනාත්මක ක්‍රියා පිළිවෙළ නිසා ඔවුන් “කඩුවට” නියම කරනු ලැබීය.—යෙසායා 65:11, 12.
කෙනෙකුට නොමිලේ ලොතරැයි පතක් හෝ සූදුව සඳහා යෙදවීමට මුදල් ඉදිරිපත් කළොත් කුමක්ද? අවස්ථා දෙකේදීම, එවන් ඉදිරිපත් කිරීමක් පිළිගැනීම තවදුරටත් දේව ප්‍රතිපත්තිවලට එකඟ නොවන ක්‍රියාවකට—එනම් සූදු ක්‍රියාවකට—සහාය දීමක්ය.
නැත, සූදුව ක්‍රිස්තියානීන් සඳහා නොවේ. එක් සඟරා සංස්කාරකයෙක් ප්‍රකාශ කරන පරිදි, ‘සූදුව වැරදි දෙයක් පමණක් නොව නමුත් එය අනුවණ ඔට්ටු ඇල්ලීමක්ද වන බවයි.’ g94 8/8
[14 පිටුවෙහි හිමිකම් වගන්තිය]
Valentin/The Cheaters, Giraudon/Art Resource