26වන පරිච්ඡේදය
“සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
1-3. (අ) ඉසිලීමට අපහසු වූ කිනම් බරක්ද ගීතිකාකාර දාවිත් ඉසිලුවේ? තවද ඔහු තම කැලඹුණු, පීඩිත හදවතට සහනයක් සොයාගත්තේ කොහොමද? (ආ) අප පව් කරන විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් කිනම් බරක් අප උසුලාගෙන සිටිනවා විය හැකිද? නමුත් යෙහෝවා අපට සහතික වන්නේ කුමක් ගැනද?
“මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය” කියා ගීතිකාකාර දාවිත් ලීවා. “ඒවා අධික බරක් මෙන් මට ඉතා බර වෙයි. මම ක්ලාන්තව බොහෝ සෙයින් තැළී සිටිමි.” (ගීතාවලිය 38:4, 8) දොස් නඟන හෘදය සාක්ෂියක් මගින් ඇති කරන පීඩාකාරි බර කොතරම්දැයි දාවිත් දැන සිටියා. නමුත් තම කැලඹුණු, පීඩිත හදවතට සහනයක්ද ඔහු සොයාගත්තා. යෙහෝවා පාපයට ද්වේෂ කළද, පව්කාරයා තම පාපතර ක්‍රියාමාර්ගය ගැන සැබවින්ම පසුතැවිලි වී එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔහු එම පව්කාරයාට ද්වේෂ නොකරන බව දාවිත් වටහාගත්තා. පසුතැවිලි වෙන්නන්ට දයාව දැක්වීමට යෙහෝවා තුළ වූ කැමැත්ත කෙරෙහි පූර්ණ ඇදහිල්ලකින් යුතුව දාවිත් පැවසුවේ මෙයයි. “අහෝ යෙහෝවා, ඔබ . . . සමාව දීමට සූදානම්ය.”—ගීතාවලිය 86:5, NW.
2 අප පව් කරන විට, වේදනාකාරි හෘදය සාක්ෂියකින් හටගන්න තැළුණු පොඩි වූ පීඩාකාරි බර අප උසුලනවා විය හැකියි. මෙවන් වික්ෂෝප හැඟීම් ප්‍රයෝජනදායකයි. අපගේ වැරදි හදාගැනීම සඳහා අවශ්‍ය ධනාත්මක පියවර ගැනීමට එය අපව පෙලඹවිය හැකියි. කෙසේවෙතත්, කළ වරද නිසා ශෝකාන්විත හැඟීම්වලින් යටපත් වීම අන්තරාදායකයි. අප කොතරම් පසුතැවිලි වුණත් යෙහෝවා අපට සමාව නොදෙනු ඇත කියා අපවම හෙළා දකිමින් අපගේ හදවත අපට කරදර කරන්නට පිළිවන්. මෙලෙස අපි වරදසහිතභාවයේ හැඟීම්වලින් “ගිලී” සිටින්නෙමු නම්, සාතන්ට මින් අවස්ථාවක් උදා වන්නට පුළුවන්. ඔහු කරන්නේ එවැනි හැඟීම් අපට තිබෙන නිසා, අප යෙහෝවාට සේවය කිරීමට නුසුදුසු අය බවත් යෙහෝවා අපව කිසි වටිනාකමක් නැති අය හැටියට සලකන බවත් අපට දැනෙන්නට සලස්වා අප ලවාම අප කරන සේවය අත්හැර දැමීමට සැලැස්වීමයි.—2 කොරින්ති 2:5-11.
3 යෙහෝවා කාරණා දෙස බලන්නේ ඒ ආකාරයටද? කොහෙත්ම නැහැ! සමාව දීම යනු යෙහෝවාගේ අතිමහත් ප්‍රේමයේ එක් පැත්තක්. අප අව්‍යාජ වූ, හෘදයාංගම පසුතැවිල්ලක් පෙන්වන විට අපට සමාව දීමට කැමැත්තෙන් සිටින බව සිය වචනය තුළින් ඔහු අපට සහතික කරනවා. (හිතෝපදේශ 28:13) අපට යෙහෝවාගෙන් සමාව ලැබෙන්නේ නැහැ යන හැඟීම අප තුළ ඇතිවීම වළක්වාලීමට, ඔහු සමාව දෙන්නේ මන්ද හා කෙසේද කියා දැන් අපි පරීක්ෂා කර බලමු.
යෙහෝවා “සමාව දීමට සූදානම්” හේතු
4. අපගේ ස්වභාවය ගැන යෙහෝවා මතක තබාගන්නේ කුමක්ද? ඔහු අපට සලකන ආකාරයට මෙය බලපාන්නේ කොහොමද?
4 යෙහෝවා අපගේ සීමාවන් ගැන අවබෝධයෙන් සිටී. “ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය” යයි ගීතාවලිය 103:14 පවසනවා. අසම්පූර්ණකමේ ප්‍රතිඵලයක් වශයෙන් අප සහජ දුර්වලකම් ඇති දූවිල්ලෙන් සෑදී සිටින අය බව ඔහු අමතක කරන්නේ නැහැ. “අපේ ස්වභාවය” ඔහු දන්නේය යන ප්‍රකාශයෙන් අපට සිහිගන්වන්නේ, බයිබලයේ යෙහෝවාව කුඹල්කරුවෙකුටත් අපව ඔහු තනන මැටි භාජනවලටත් සමාන කර තිබීමයි.a (යෙරෙමියා 18:2-6) අපගේ පව්කාර ස්වභාවයේ සහජ දුර්වලකම්වලට අනුවද, අප ඔහුගේ මඟ පෙන්වීමට ප්‍රතිචාර දැක්වීමට සමත් හෝ අසමත් වන අන්දම අනුවද සකස් වෙමින් මෙම ශ්‍රේෂ්ඨ කුඹල්කරුවාණන් අප හා කටයුතු කරනවා.
5. පාපයේ ප්‍රබල ග්‍රහණය රෝම පොතේ විස්තර කරන්නේ කොහොමද?
5 පාපය කොතරම් ප්‍රබලද කියා යෙහෝවා තේරුම්ගන්නවා. ඔහුගේ වචනය තුළ පාපය ගැන විස්තර කරන්නේ මිනිසුන්ව මාරාන්තික ග්‍රහණයක තබාගෙන ඇති ප්‍රබල බලවේගයක් ලෙසටයි. ඇත්තටම, පාපයේ ග්‍රහණය කොතරම් ප්‍රබලද? රෝම පොතෙහි ප්‍රේරිත පාවුල් ඒ ගැන පැහැදිලි කරන්නේ මෙලෙසයි. හමුදාවක අණ දෙන නිලධාරියෙක් යටතේ සිටින සොල්දාදුවන් මෙන් අපි “පාපයට යටත්ව” සිටිමු (රෝම 3:9); පාපය රජෙකු මෙන් මනුෂ්‍ය සංහතිය කෙරෙහි “රජකම්” කොට තිබෙනවා (රෝම 5:20); එය අප තුළ “වාසය” කරනවා (රෝම 7:17, 20); එහි “ව්‍යවස්ථාව” අප තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙනවා. එනයින් මුළුමනින්ම පාහේ පාපය අපේ ක්‍රියා මාර්ග පාලනය කරන්ට යත්න දරනවා. (රෝම 7:23, 25) ඇත්තෙන්ම, පාපය අපගේ පහත වැටුණු මාංසය කොතරම් ප්‍රබල ලෙස ග්‍රහණය කරගෙන තිබෙනවාද!—රෝම 7:21, 24.
6, 7. (අ) දුක් මනස්තාප වෙන හදකින් යුතුව තම දයාව සොයන අය දෙස යෙහෝවා බලන්නේ කොහොමද? (ආ) අප දෙවිගේ දයාවෙන් අයුතු ප්‍රයෝජන නොගත යුත්තේ ඇයි?
6 මෙබැවින්, අප යෙහෝවාට පූර්ණ ලෙස කීකරු වීමට කොතරම් ප්රයත්න දැරුවත් එසේ කිරීමට අපට බැරි බව යෙහෝවා දන්නවා. අප දුක් මනස්තාපයෙන් යුත් හදකින් යුතුව ඔහුගේ දයාව අයදින විට ඔහු අපට සමාව දෙන බව අපට සහතික ලෙස කියා සිටින්නේ ඉතා ප්‍රේමනීය විදිහටයි. ගීතාවලිය 51:17 මෙසේ කියනවා. “දෙවිට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවි, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළු කොට නොසිතන්නේය.” මේ අනුව, වරදේ බරින් “බිඳුණාවූ තැළුණාවූ” සිතක් යෙහෝවා කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේවත් ඉන් අහක්ව හෝ ඉවත්ව යන්නේවත් නැහැ.
7 එහෙත් මින් අදහස් කරන්නේ, අපගේ පව්කාර ස්වභාවය පව් කිරීමට නිදහසට කරුණක් කරගෙන දෙවිගේ දයාවෙන් අපට අයුතු ප්‍රයෝජන ගත හැකි බවද? කොහෙත්ම නැහැ! යෙහෝවා නිකම්ම චිත්තවේගී හැඟීම්වලින් පාලනය වන කෙනෙක් නොවෙයි. ඔහුගේ දයාවට සීමා තිබෙනවා. කිසිදු පසුතැවීමකින් තොරව පුරුද්දක් හැටියට හිතා මතා පව් කරන තද හිත් ඇති අයට ඔහු කොහෙත්ම සමාව දෙන්නේ නැහැ. (හෙබ්‍රෙව් 10:26, 27) අනෙක් අතට, දුක් මනස්තාප වෙන හදවතක් දුටු විට, ඔහු සමාව දීමට සූදානමින් සිටිනවා. දැන් අපි, යෙහෝවාගේ ප්‍රේමයේ මෙම පුදුමාකාර මුහුණත පිළිබඳව බයිබලයේ විස්තර කෙරෙන්නාවූ විවිධ ප්‍රකාශ කිහිපයක් ගැන සලකා බලමු.
යෙහෝවා සමාව දෙන්නේ කොතරම් සම්පූර්ණ ලෙසද?
8. යෙහෝවා අපගේ පව් කමා කරන විට, කරන්නේ කුමක්ද? මෙය අපට ලබා දෙන්නේ කිනම් නිසැකකමක්ද?
8 පසුතැවිලි වෙමින් දාවිත් මෙසේ පැවසුවා. “මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. මාගේ අයුතුකම නොසැඟවීමි. . . ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළේය.” (ගීතාවලිය 32:5, අකුරු ඇල කළේ අපය.) “කමා කළේය” යනුවෙන් පරිවර්තන කර ඇති යෙදුම හෙබ්‍රෙව් බසින් මූලිකව අරුත් ගන්නේ, “ඉහළට එසවීම” හෙවත් “උසුලාගෙන යෑම” යනුවෙනුයි. එය මෙහි භාවිත කර ඇති ආකාරයෙන් අඟවන්නේ, “වරද, පාපය, අයුතුකම” ඉවතට ගෙන යෑමක්. මේ අනුව යෙහෝවා දාවිත්ගේ පාපය මුළුමනින්ම පාහේ ඉහළට ඔසවා උසුලාගෙන ගියා. දාවිත් තනිවම රැගෙන යමින් තිබූ වරද සහිත හැඟීම්වල බර සැහැල්ලු කිරීමට මෙය හේතු වූ බවට කිසිදු සැකයක් නැහැ. (ගීතාවලිය 32:3) එලෙසම, යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමේ පදනම මත තම පාපවලට සමාව ඉල්ලමින් සිටින්නන්ගේ පව් ඉවතට ගෙන යන දෙවි කෙරෙහි පූර්ණ නිසැකකමක් ඇතුව සිටීමට අපටත් පුළුවන්.—මතෙව් 20:28.
9. යෙහෝවා අපේ පාප අපෙන් කොතරම් දුරස්ව තබනවාද?
9 යෙහෝවාගේ සමාව දීම විස්තර කිරීමට දාවිත් තවත් විචිත්‍රවත් ප්‍රකාශයක් යොදාගත්තා. “නැඟෙනහිරෙන් බටහිර ඈත්ව තිබෙන්නාක් මෙන් [ඔහු] අපේ පාප අපෙන් දුරු කළේය.” (ගීතාවලිය 103:12, නව අනුවාදය; අකුරු ඇල කළේ අපය.) නැඟෙනහිර සිට බටහිරට දුර කොපමණද? එක්තරා අර්ථයකින් ගත් කල, නැඟෙනහිර යනු සෑමවිටම බටහිර සිට සිතාගත හැකි උපරිම දුරයි. මේ දෙක කිසිදා එකිනෙකට හමු නොවෙයි. මෙම ප්‍රකාශයෙන්, “හැකි තරම් දුරක්, අපට සිතාගත හැකි වූ උපරිම දුරක්” අදහස් කරන බව එක්තරා විශාරදයෙක් සඳහන් කරනවා. දාවිත්ගේ දේවානුභාව ලත් වචනවලින් අපට කියන්නේ, යෙහෝවා අපට සමාව දෙන විට, අපට සිතාගත හැකි උපරිම දුරකින් ඔහු අපේ පාප දුරස්ව තබන බවයි.
10. යෙහෝවා අපේ පව්වලට සමාව දෙන විට, එවන් පාපවල කැළැල් අපගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම තිබෙන බව අපට හැඟී නොයා යුත්තේ ඇයි?
10 ඔබ සතු ළා පාට ඇඳුමක තැවරී ඇති පැල්ලමක් ඉවත් කිරීමට ඔබ කවදා හෝ උත්සාහ කර තිබෙනවාද? සමහරවිට ඔබ කොතරම් උත්සාහ කළද, ඒ පැල්ලම දිගටම තිබෙන්නට පුළුවන්. සමාව දීමට තමාට තිබෙන පුළුල් හැකියාව ගැන යෙහෝවා විස්තර කරන ආකාරය සැලකිල්ලට ගන්න. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය. තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේය.” (යෙසායා 1:18, න. අ.; අකුරු ඇල කළේ අපය.) මෙහි “රතට රතේ” යන වචනයෙන් දීප්තිමත් රතු වර්ණයක් (ලෝහිත වර්ණය) අදහස් කරයි.b තද “රතු” හෙවත් ලේ පැහැති රන් රතු පාට, සායම් දැමීමට භාවිත කළ තද වර්ණවලින් එක් වර්ණයක් වුණා. (නාහුම් 2:3) අපට කවදාවත් අපගේම ප්‍රයත්නවලින් පාපයේ කැළැල් මකා ඉවත් කරන්නට බැහැ. නමුත් තද රතු හෝ ලේ පැහැති රන් රතු පාට වැනි පව්, හිම මෙන් හෝ සායම් නොදැමූ ලොම් මෙන් සුදු කරන්නට යෙහෝවාට හැකියි. එමනිසා, යෙහෝවා අපේ පව්වලට සමාව දෙන විට, අපගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා එම පාපවල කැළැල් තිබෙනවා කියා අපට හැඟෙන්නට අවශ්‍ය නැහැ.
11. යෙහෝවා අපගේ පව් තමාගේ පිටුපසට විසි කර දමන්නේ කිනම් අර්ථයෙන්ද?
11 මාරාන්තික අසනීපයකින් තමාගේ ජීවිතය ගළවාගැනීමෙන් පසුව හෙසකියා ගැඹුරු චිත්තවේගීය හැඟීම්වලින් යුතුව තම කෘතඥතාව පළ කරමින් රචනා කරන ලද ගීතයේදී, ඔහු යෙහෝවාට මෙසේ පැවසුවා. “ඔබ මාගේ පව් සියල්ල ඔබගේ පිටිපස්සට දැමුවේය.” (යෙසායා 38:17, අකුරු ඇල කළේ අපය.) යෙහෝවා විසින් පසුතැවිලි වෙන වැරදිකරුවෙකුගේ පව් තමාගේ පිටුපසට විසි කර දමනවා. එවිට යෙහෝවාට ඒවා පෙනෙන්නේවත් ඔහු තවත් ඒවා ගැන කිසිදු තැකීමක් කරන්නේවත් නැහැ. අන්න ඒ විදිහටයි ඒ ගීතය තුළ ඔහු යෙහෝවා ගැන අපූරු අන්දමකට විස්තර කළේ. එක් මූලාශ්‍රයකට අනුව, මෙම අදහස මෙලෙස ප්‍රකාශ කළ හැකියි. “ඔබ [මාගේ පාප], ඒවා සිදු නොවුණාක් මෙන් කළේය.” එය අපට මහත් අස්වැසිල්ලක් නොවේද?
12. යෙහෝවා සමාව දෙන විට, ඔහු අපගේ පාපයන් සදහටම ඉවත් කරන බව අනාගතවක්තෘ මීකා පෙන්නුම් කරන්නේ කොහොමද?
12 යළි පිහිටුවීම පිළිබඳ පොරොන්දුවක් දෙමින්, යෙහෝවා පසුතැවිලි වෙන තම ජනයාට සමාව දෙනු ඇති බවට අනාගතවක්තෘ මීකා තම ස්ථිර විශ්වාසය පළ කළේ මෙලෙසයි. “ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබ සමාන දෙවිකෙනෙක් කවුද? . . . ඔබ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළන්නේය.” (මීකා 7:18, 19, අකුරු ඇල කළේ අපය.) බයිබල් කාලවල විසූ අයට එම වචනවලින් අදහස් කළ දෙය ගැන සිතා බලන්න. ‘මුහුදේ ගැඹුරට හෙළනු ලැබූ’ කිසිවක් නැවත ගොඩට ගැනීමට කිසිම හැකියාවක් තිබුණාද? මෙසේ මීකාගේ වචනවලින් පෙන්නුම් කරන්නේ, යෙහෝවා සමාව දෙන විට, ඔහු අපගේ පව් සදහටම ඉවත් කරන බවයි.
13. “අපේ ණයත් අපට කමා කළ මැනව” යනුවෙන් යේසුස් කී වචනවල අර්ථය කුමක්ද?
13 යෙහෝවාගේ සමාව දීම නිදර්ශනය කිරීමට යේසුස් ණයකාරයන් හා ණය හිමියන් අතර සම්බන්ධය ගෙනහැර දැක්වූවා. යේසුස් අපගෙන් උදක්ම ඉල්ලා සිටියේ “අපේ ණයත් අපට කමා කළ මැනව” කියා යාච්ඤා කරන ලෙසයි. (මතෙව් 6:12, අකුරු ඇල කළේ අපය.) මෙසේ යේසුස් පාප, ණය හා සම්බන්ධ කළා. (ලූක් 11:4) අප පව් කරන විට, අප යෙහෝවාගේ “ණයකාරයන්” බවට පත් වෙනවා. “සමාව දෙනවා” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් භාෂාවේ ක්‍රියා පදයේ අර්ථය සම්බන්ධව එක් මූලාශ්‍රයක් පවසන්නේ මෙලෙසයි. “ණයක් බලෙන් ඉල්ලා සිටින්නේ නැතුව යන්ට හරින්න, අතහරින්න.” යෙහෝවා අපට සමාව දෙන විට, එක්තරා අර්ථයකින් ඔහු කරන්නේ අපගේ ගිණුමෙන් අය කළ යුතු ණයක් කපාහැර දැමීමයි. මෙසේ, පසුතැවිලි වෙන පව්කාරයන්ට සැනසීමක් ලැබිය හැකියි. ඔව්, යෙහෝවා තමා විසින් කපාහැරිය ණයක් ගෙවන ලෙස කවදාවත් අපට බල කර ඉල්ලා සිටින්නේ නැහැ.—ගීතාවලිය 32:1, 2.
14. “නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිස” යන යෙදුම අපේ සිත් තුළ මවන්නේ කෙබඳු චිත්‍රයක්ද?
14 යෙහෝවාගේ සමාව දීම ගැන ක්‍රියා 3:19, 20හි තවදුරටත් මෙසේ විස්තර කර තිබෙනවා. ‘එබැවින් නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිස, පශ්චාත්තාපව හැරෙන්න.’ (අකුරු ඇල කළේ අපය.) ඇල අකුරින් මෙහි පරිවර්තනය කර ඇති ග්‍රීක් ක්‍රියා පදයෙහි අරුත “පිස දැමීම, . . . අවලංගු කිරීම හෝ විනාශ කිරීම” විය හැකියි. ඇතැම් විශාරදයන් පවසන හැටියට, මෙහිදී අපේ සිතේ මැවෙන චිත්‍රය නම් අතින් ලියන ලද යමක් මකා දැමීමක්. මෙවැන්නක් කළ හැකි වූයේ කොහොමද? ඉපැරණි කාලවල සාමාන්‍යයෙන් භාවිත කරන ලද තීන්ත සාදා තිබුණේ කාබන්, මැලියම් සහ වතුර අඩංගු වූ සංයෝගයකින්. එවන් තීන්තවලින් ලියා අවසන් වූ වහාම යමෙකුට හැකියි, තෙත ස්පොන්ජි කැබැල්ලක් ගෙන ලියූ දෙය මුළුමනින්ම පිස දමන්න. අන්න, ඒ තුළ යෙහෝවාගේ දයාව පිළිබඳ පියකරු චිත්‍රයක් දකින්ට පුළුවන්. ඔහු අපට සමාව දෙන විට, එය හරියට ඔහු තෙත ස්පොන්ජි කැබැල්ලක් ගෙන ඒවා පිස දමනවා වගෙයි.
15. යෙහෝවාට වුවමනා වන්නේ අප ඔහු ගැන කුමක් දැනගන්නවාටද?
15 මේ වචන අනුසාරයෙන් දක්වා ඇති මේ විචිත්‍රවත් නිදර්ශන ගැන අප කල්පනා කර බලන විට, අපට යමක් පැහැදිලිව පෙනී යනවා. ඒ අප අවංක ලෙස පසුතැවිලි වන බව යෙහෝවා විසින් දකින විට සමාව දීමට තමා සැබවින්ම සූදානම්ව සිටින්නේය යන කාරණය අප දැනගන්නවාට යෙහෝවා කැමති බවයි. එය එසේ නොවේද? අප කළ එවන් පව් ඔහු අපට එරෙහිව ඉදිරියටත් තබාගනීවිය කියා අපට භය වන්නට අවශ්‍ය නැහැ. මෙය, යෙහෝවාගේ ඉමහත් දයාව පිළිබඳව බයිබලයේ හෙළි කරන වෙනත් දෙයක් තුළද පෙන්නුම් කර තිබෙනවා. ඔහු පව්වලට සමාව දෙන විට, එම පව් අමතක කර දමනවා.
‘ඔවුන්ගේ පාපය තවත් සිහි නොකරන්නෙමි’
16, 17. යෙහෝවා අපගේ පව් අමතක කරන බව බයිබලය පවසන විට, ඉන් අදහස් කරන්නේ කුමක්ද? තවද ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි?
16 නව ගිවිසුම තුළ සිටින අය සම්බන්ධයෙන් යෙහෝවා පොරොන්දු වූයේ මෙයයි. “මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි.” (යෙරෙමියා 31:34) මින් අදහස් කරන්නේ යෙහෝවා සමාව දෙන විට, තවදුරටත් එම පාප සිහි කිරීමට ඔහුට නොහැකි බවක්ද? එය නම් කොහොමටත් වෙන්නට බැහැ. යෙහෝවා විසින් සමාව දෙනු ලැබූ, දාවිත් ඇතුළු වෙනත් බොහෝ අය කළ පව් ගැන බයිබලය අපට කියනවා. (2 සාමුවෙල් 11:1-17; 12:13) ඔවුන් කළ මේ වැරදි ගැන යෙහෝවාට තවමත් මතක තිබෙන බව නිසැකයි. ඔවුන් කළ පාප සහ ඔවුන්ගේ පසුතැවිල්ල මෙන්ම දෙවි විසින් දුන් සමාව පිළිබඳ වාර්තා ආරක්ෂා කර ඇත්තේ අපගේ ප්‍රයෝජනයටයි. (රෝම 15:4) එසේ නම්, යෙහෝවා සමාව දෙන අයගේ වැරදි තවදුරටත් ‘සිහි නොකරන’ බව බයිබලයේ පවසන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද?
17 ‘මම සිහි කරන්නෙමි’ ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන් අඟවන්නේ අතීතය මතක් කිරීමට ඇති හැකියාවට වඩා වැඩි යමක්. එක් ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන් කරන අන්දමට, “සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවාය යන අමතර අදහසක්” ඊට ඇතුළත් වෙනවා. (තියොලොජිකල් වර්ඩ්බුක් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට්) එමනිසා, මේ අර්ථයෙන් බලන කල, පව් ‘සිහි කරනවා’ යන්නට ඇතුළත් වන්නේ පව්කාරයන්ට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගනු ලබන බවයි. (හොෂෙයා 9:9) එහෙත්, ‘ඔවුන්ගේ පාපය තවත් සිහි නොකරන්නෙමි’ කියා දෙවි පවසද්දී, ඔහු අපට සහතිකව කියා සිටින්නේ, වරක් ඔහු පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දුන් විට, ඔවුන්ගේ පව් නිසා අනාගතයේ මතු යම් දවසක ඔවුන්ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් නොගනු ඇති බවයි. (එසකියෙල් 18:21, 22) මේ අනුව, යෙහෝවා පව් අමතක කරනවා යන්නෙන් අදහස් කරන්නේ, අපගේ පව් යළි යළිත් මතක් කර කර, යළි යළිත් ඒවා ගැන අපට චෝදනා කරන්නේවත් අපට දඬුවම් කරන්නේවත් නැති බවයි. මෙනයින්, අපගේ දෙවි සමාව දෙනවා වගේම ඒවා අමතක කර දමන දෙවි කෙනෙකු බව දැනගැනීම සහනයක් නොවේද?
පාපයේ ඵල විපාක ගැන කුමක් කිව හැකිද?
18. සමාව දෙනවා කීමේදී පසුතැවිලි වූ පව්කාරයාට තම වැරදි ක්‍රියා මාර්ගයේ සියලු ඵල විපාකවලින් ගැළවී යා හැකිය යන්න අදහස් නොකරන්නේ ඇයි?
18 යෙහෝවා සමාව දීමට සූදානමින් සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ, පසුතැවිලි වෙන පව්කාරයා තමාගේ වැරදි ක්‍රියා මාර්ගයේ සියලුම ඵල විපාකවලින් නිදහස් වන බවද? කොහෙත්ම නැහැ. පව් කර ඒවායේ ඵල විපාකවලින් අපට ගැළවී යා හැකියි කියා සිතීමට බැහැ. පාවුල් ලීවේ මෙසේයි. “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය.” (ගලාති 6:7) අපගේ ක්‍රියාවන්හි යම් යම් ඵල විපාකවලට මුහුණ දීමට අපට සිදු විය හැකියි. මින් අදහස් කරන්නේ සමාව දානය කිරීමෙන් පසු යෙහෝවා අප මත විපත් පැමිණවීමට සලස්වනවා යන්න නොවේ. කරදර එක පිට එක එන විට, ‘සමහරවිට යෙහෝවා මගේ පරණ පව්වලට දඬුවම් කරනවා වෙන්න ඇති’ කියා ක්‍රිස්තියානියෙකුට හැඟී නොයා යුතුයි. (යාකොබ් 1:13) අනෙක් අතට, යෙහෝවා අපගේ වැරදි ක්‍රියාවල සියලු බලපෑම්වලින් අපව ආරක්ෂා කරන්නේ නැහැ. දික්කසාදය, අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගිකව බෝවන රෝග, විශ්වාසය හෝ ගෞරවය නැති වී යෑම වැනි මේ සියල්ලම ඉතා දුක්ඛිත වූ පාපයේ වැළැක්විය නොහැකි ඵල විපාකයි. බැත්-ෂෙබා සහ උරියා සම්බන්ධ දාවිත්ගේ පාපවලට සමාව දුන්නද, ඉන් පසු දාවිත් මතට කඩා වැටුණු දරුණු ඵල විපාකවලින් යෙහෝවා ඔහුව ආරක්ෂා නොකළ බව මතකයට ගන්න.—2 සාමුවෙල් 12:9-12.
19-21. (අ) ලෙවී කථාව 6:1-7හි වාර්තා කර ඇති නීතිය වරදකට ගොදුරු වූ තැනැත්තාටත් වරද කළ තැනැත්තාටත් ප්‍රයෝජන ගෙන දුන්නේ කොහොමද? (ආ) අපගේ පව් නිසා වෙනත් අයගේ සිත් රිදී තිබේ නම්, යෙහෝවා සතුටු වන්නේ අප කුමන ක්‍රියා මාර්ගය ගන්නා විටද?
19 අපගේ පව් නිසා අමතර ඵල විපාකවලටද මුහුණ දෙන්නට අපට සිදු වේවි. විශේෂයෙන්ම අපගේ ක්‍රියාවලින් වෙනත් අයගේ සිත් රිදී තිබේ නම් මෙය විශේෂයෙන් සත්‍යයක් වෙනවා. නිදසුනක් වශයෙන්, ලෙවී කථාව 6වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාව සලකා බලන්න. මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව මෙහිදී යොමු දක්වන්නේ, යම් පුද්ගලයෙක් සොරකම් කිරීමෙන්, පැහැරගැනීමෙන් හෝ වංචා කිරීමෙන් සෙසු ඉශ්රායෙලිතයෙකුගේ යම් භාණ්ඩයක් අත් කරගැනීමෙන් කරන බරපතළ වරදක් ගැනයි. පව්කාරයා තමා වරදක් කළ බව ප්‍රතික්ෂේප කරයි. එසේ කරන්නේ බොරුවට දිවුරමින් විය හැකියි. එමගින් සිදු වන්නේ එක පුද්ගලයෙකු පැවසූ දෙයකට හාත්පසින් විරුද්ධ යමක් අනෙක් තැනැත්තා පැවසීමයි. කෙසේ වුවද, පසුව ඒ ගැන තම හෘදය සාක්ෂිය තුළ දැඩි කම්පාවකට පත් වන වැරදිකරු තමාගේ වරද ගැන පාපොච්චාරණය කරනවා. දෙවිගෙන් පව් සමාව ලබාගැනීමට, ඔහුට තවත් දේවල් තුනක් කරන්නට තිබෙනවා. ගත් දේ නැවත දීම, සොරකම් කළ දෙයෙහි වටිනාකමින් සියයට 20ක දඩයක් අයිතිකරුට ගෙවීම, ඉන්පසුව, පාප පූජාවක් වශයෙන් බැටළුවෙකු පූජා කිරීම. එහි ප්‍රතිඵලය ගැන ව්‍යවස්ථාවේ පවසා තිබුණේ මෙයයි. “පූජකයාද යෙහෝවා ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය. . . . ඒ ගැන ක්ෂමා කරනු ලබන්නේය.”—ලෙවී කථාව 6:1-7.
20 මෙම ව්‍යවස්ථාව දෙවිගෙන් පැමිණි දයාන්විත සැපයුමක් වුණා. එය වරදට ගොදුරු වූ තැනැත්තාට ප්‍රයෝජන ගෙන දුන්නා. ඔහුගේ නැති වූ දේපළ නැවත ඔහුට ලැබුණු නිසා සහ වැරදිකරුවා අන්තිමේදී තමන්ගේ වරද පිළිගත් නිසා ඔහුට මහත් සහනයක් දැනුණා. ඒ අතරම, ව්‍යවස්ථාව වරද කළ තැනැත්තාටත් ප්‍රයෝජන ගෙන දුන්නා. මන්ද, තමාගේම වරද පිළිගෙන තමන්ගේ වැරදි ක්‍රියාව නිවැරදි කරන්නට ඔහුගේ හෘදය සාක්ෂිය පෙලඹුණේ ඒ පියවර ගැනීම නිසයි. ඇත්ත වශයෙන්ම, ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළා නම්, දෙවිගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ.
21 අප මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, යෙහෝවාගේ මනස විනිවිද දකින්නට එය අපට හැකියාව ලබා දෙනවා. ඒ වගේම සමාව දීම ගැන ඔහු සිතන විදිහත් ඒ තුළ අපට දැකගන්නට පිළිවන්. (කොලොස්සි 2:13, 14) අපගේ පව් නිසා අනික් අයගේ සිත් රිදී තිබේ නම්, වැරදි දෙය හරිගැස්සීමට අපට කළ හැකි දෙය කරන විට දෙවි සතුටු වෙනවා. (මතෙව් 5:23, 24) අපගේ පව් පිළිගෙන, වරද භාරගෙන, වරදට ගොදුරු වූ තැනැත්තාගෙන් සමාව ඉල්ලීම පවා මීට ඇතුළත් විය හැකියි. ඉන් පසු, යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ පදනම මත අපට යෙහෝවාගෙන් සමාව ඉල්ලිය හැකි අතර, එමගින් දෙවි විසින් සමාව දී තිබෙන බවට සහතිකය අපට අද්දැකිය හැකියි.—හෙබ්‍රෙව් 10:21, 22.
22. යෙහෝවාගේ සමාව දීමට කුමක් ඇතුළත් විය හැකිද?
22 ඕනෑම ආදරණීය තාත්තා කෙනෙකු මෙන්, යෙහෝවාද අපට සමාව දෙන්නේ යම් පමණක හික්මවීමක්ද ඊට මුසු කරමිනුයි. (හිතෝපදේශ 3:11, 12) පසුතැවිලි වෙන ක්‍රිස්තියානියෙකුට වැඩිමහල්ලෙකු, සභා සේවකයෙකු හෝ පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකු ලෙස තමන් භුක්ති විඳින වරප්‍රසාදවලින් ඉවත් වීමට සිදු විය හැකියි. තමන් යම් කලකට ඉතා අනගි කොට සලකමින් භුක්ති විඳි වරප්‍රසාද අහිමි වීම වේදනාකාරි දෙයක් වන්නට පුළුවන්. කෙසේ වුවද, එවැනි හික්මවීමක් ලැබීමෙන් අදහස් කරන්නේ යෙහෝවා ඔහුට සමාව නොදී සිටිනවා යන්න නම් නොවෙයි. යෙහෝවාගෙන් ලැබෙන හික්මවීම අප උදෙසා ඔහුගේ ප්‍රේමයේ සාක්ෂියක් බව අපි මතක තබාගත යුතුයි. එය භාරගෙන අදාළ කරගැනීම අපගේම යහපතට හේතු වෙනවා.—හෙබ්‍රෙව් 12:5-11.
23. අපට යෙහෝවාගේ දයාවෙන් ප්‍රයෝජන ගන්නට බැහැ කියා අප කවරදාකවත් නිගමනය නොකළ යුත්තේ ඇයි? අප ඔහුගේ සමාව දීමේ ස්වභාවය අනුකරණය කළ යුත්තේ ඇයි?
23 අපගේ දෙවි “සමාව දීමට සූදානම්” බව දැනගැනීම කොතරම් ප්රබෝධයක් ගෙන දෙයිද! අප කර තිබෙන වැරදි මොනවා වුවත්, අපට යෙහෝවාගේ දයාව ලබාගන්නට බැහැ කියා අප කවරදාකවත් නිගමනය නොකළ යුතුයි. අප සැබවින්ම පසුතැවිලි වෙනවා නම්, වැරදි දේ හරිගැස්සවීමට පියවර ගන්නවා නම්, යේසුස් වැගිරෙවූ රුධිරයේ පදනම මත සමාව ඉල්ලා උනන්දුවෙන් යාච්ඤා කරනවා නම්, එවිට යෙහෝවා අපට සමාව දෙනු ඇති බවට පූර්ණ නිසැකකමක් ඇතිව සිටිය හැකියි. (1 යොහන් 1:9) අප එකිනෙකා සමඟ කටයුතු කරන විට, ඔහුගේ සමාව දීමේ ස්වභාවය අනුකරණය කරමු. මේ සියල්ල ගැන සලකා බලන විට, පව් නොකරන යෙහෝවාට මෙතරම් ප්‍රේමනීය ලෙස අපට සමාව දෙන්නට පුළුවන් නම්, පව්කාර මිනිසුන් වන අප, එකිනෙකාට සමාව දීමට අපේ උපරිමය කළ යුතු නොවේද?
[පාදසටහන්වල]
a “අපේ ස්වභාවය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය, කුඹල්කරුවෙකු විසින් අඹන ලද මැටි බඳුන් සම්බන්ධවද යොදාගෙන තිබෙනවා.—යෙසායා 29:16.
b තද රතු හෙවත් ලෝහිත වර්ණය “ලෙහෙසියෙන්ම සායම් නොයන කල්පවතින වර්ණයක්. පිනිවලටවත්, වැස්සටවත්, සේදීමෙන්වත්, දිගු කලක් පුරා පාවිච්චි කිරීමෙන්වත් එම වර්ණය ඉවත් කරන්නට හැකි වූයේ නැතැයි” එක් විශාරදයෙක් පවසනවා.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
2 ලේකම් 33:1-13 යෙහෝවා මනස්සේට සමාව දුන්නේ ඇයි? ඔහුගේ දයාව ගැන අපට මින් උගන්වන්නේ කුමක්ද?
මතෙව් 6:12, 14, 15 අනුන්ට සමාව දීමට හොඳ පදනමක් අපට තිබෙන විට, අප එසේ කළ යුත්තේ ඇයි?
ලූක් 15:11-32 සමාව දීමට යෙහෝවා දක්වන කැමැත්ත පිළිබඳව මෙම උපමාවෙන් අපට උගන්වන්නේ කුමක්ද? මේ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?
2 කොරින්ති 7:8-11 දිව්‍ය සමාව ලැබීමට අප කුමක් කළ යුතුද?
[263වන පිටුවේ පින්තූරය]
“නුඹලාගේ පව් . . . හිම මෙන් සුදු වන්නේය”
[266වන පිටුවේ පින්තූරය]
තමා “සමාව දීමට සූදානම්” බව අප දැනගන්නවාට යෙහෝවා කැමතියි