සත්වන පරිච්ඡේදය
මැවුම්කරු ගැන පොතකින් ඔබට උගත හැක්කේ කුමක්ද?
වටිනා තොරතුරු ඇති, සිත්ගන්නා පොතකට සැබෑ වටිනාකමක් තිබෙනවා යන කාරණයට ඔබ එකඟ වෙනවාට සැකයක් නැහැ. බයිබලය එවැනි පොතකි. උසස් සදාචාර ප්‍රමිති ඉදිරිපත් කරන්නාවූ අවධානය අල්ලාගන්නා සැබෑ ජීවිත කතා එහි අන්තර්ගතයි. බයිබල් සත්‍යතාවන් විචිත්‍රවත් ලෙස නිදර්ශනය කර ඇති ආකාරයත් ඔබ දකී. තමා සතු ප්‍රඥාව සඳහා නම් දැරූ එක් බයිබල් ලේඛකයෙක් පැවසුවේ තමා “ප්‍රිය වචනද සත්‍යය වූ හරි වචනද ලිවීමට සෙවූ” බවයි.—දේශනාකාරයා 12:10, NW.
“බයිබලය” ලෙස අප හඳුන්වන පොත, ඇත්තෙන්ම අවුරුදු 1,500කට වැඩි කාලපරිච්ඡේදයක් පුරා ලියන ලද කුඩා පොත් 66ක එකතුවකි. නිදසුනක් ලෙස, පො.යු.පෙ. 1513 සහ 1473 අතර කාලයේදී, උත්පත්ති පොතෙන් ආරම්භ කර, මෝසෙස් මුල් පොත් පහ ලිව්වා. යේසුස්ගේ ප්‍රේරිතයෙක් වූ යොහන්, බයිබලයෙහි අවසාන ලේඛකයා වුණා. ඔහු යේසුස්ගේ ජීවිතය පිළිබඳ ඉතිහාසයක්ද (යොහන්ගේ සුවිශේෂය), කෙටි ලිපි කිහිපයක්ද, බොහෝ බයිබල්වල අවසාන පොත වශයෙන් දකින එළිදරව් පොතද ලිව්වා.
මෝසෙස් සිට යොහන් දක්වා දිවගිය අවුරුදු 1,500 අතරතුර, බයිබලය ලිවීමට පුද්ගලයන් 40දෙනෙක් පමණ හවුල් වුණා. මොවුන් අවංක, ඇදහිලිවන්ත, වෙනත් අයට අපේ මැවුම්කරු ගැන ඉගෙනගැනීමට උපකාර කරන්න වුවමනාවක් තිබූ පුරුෂයන් වුණා. ඔවුන්ගේ ලියවිලිවලින් දෙවිගේ පෞද්ගලිකත්වය ගැන අපට තියුණු අවබෝධයක් ලබාගත හැකි අතරම, ඔහුව සතුටු කළ හැකි ආකාරය ගැනද ඉගෙනගත හැකියි. දුෂ්ටකම පවතින්නේ මන්ද, එය අවසානයකට ගෙනෙනු ලබන්නේ කෙසේද යන්න තේරුම්ගන්නත් බයිබලය අපට උපකාර කරනවා. මනුෂ්‍යවර්ගයා කෙළින්ම දෙවිගේ පාලනතන්ත්‍රය යටතේ ජීවත් වන කාලයකට මෙම බයිබල් ලේඛකයන් යොමු දැක්වූ අතර, එදාට අපට භුක්ති විඳිය හැකි චමත්කාරජනක තත්වයන් ඔවුන් විස්තර කළා.—ගීතාවලිය 37:10, 11; යෙසායා 2:2-4; 65:17-25; එළිදරව් 21:3-5.
බොහෝදෙනෙක් බයිබලය මිනිස් ප්‍රඥාව ඇතුළත් පැරණි පොතක් ලෙස සලකා එය පසෙක දමන බව ඔබ දන්නවා ඇති. කෙසේවෙතත්, එහි සැබෑ කර්තෘ දෙවි බව, එනම් එහි ලේඛකයන්ගේ සිතුවිලි ඔහු මෙහෙයවූ බව දශලක්ෂ ගණන්දෙනා ඒකාන්ත ලෙස විශ්වාස කරනවා. (2 පේතෘස් 1:19, 21) බයිබල් ලේඛකයන් ලියූ දේ ඇත්තටම දෙවිගෙන්ද කියා නිශ්චය කරගැනීමට ඔබට හැක්කේ කෙසේද?
ඇත්තෙන්ම, ඔබට සලකා බැලිය හැකි එකිනෙක හා බැඳි සාක්ෂි රැසක් තිබෙනවා. බයිබලය නිකම්ම මිනිසාගේ කෘතියක් නොවන බව, එනම් එය මනුෂ්‍යත්වය ඉක්මවූ ප්‍රභවයකින් පැමිණි බව නිගමනය කිරීමට පෙර, බොහෝදෙනෙක් එවැනි සෝදිසියක් කර තිබෙනවා. තිබෙන සාක්ෂි රැස අතුරින් එක සාක්ෂියක් පමණක් යොදාගෙන මෙය නිදර්ශනය කරමු. මෙසේ කිරීමෙන්, මිනිස් ජීවිතයේ උල්පත වන අපේ විශ්වයේ මැවුම්කරු ගැන වැඩියෙන් ඉගෙනගැනීමට අපට හැකි වෙයි.
සැබෑ වූ පුරෝකථනයන්
බයිබල් ලේඛකයන් කිහිපදෙනෙක්ම අනාවැකි වාර්තා කළා. තමන්ට පෞද්ගලිකව අනාගතය ගැන පුරෝකථනය කරන්න පුළුවන් බව නොකියා, මෙම ලේඛකයන් සම්පූර්ණ ගෞරවය මැවුම්කරුට දුන්නා. උදාහරණයකට, දෙවිව යෙසායා හඳුන්වන්නේ, ‘අන්තිමය මුල පටන් කියන්නාවූ තැනැත්තා’ ලෙසයි. (යෙසායා 1:1; 42:8, 9; 46:8-11) දශක හෝ සියවස් ගණන් පවා මතුවට සිදු වන දේවල් පුරෝකථනය කිරීමට තිබෙන හැකියාවෙන්, යෙසායාගේ දෙවි අද්විතීය කෙනෙක් බව සනිටුහන් වෙනවා. ඔහු අනාදිමත් කාලයක සිට ජනයාගේ ගරු බුහුමන්වලට ලක්ව ඇති නිකම්ම මැටි රූපයක් නොවෙයි. බයිබලයේ කර්තෘ මිනිසෙකු නොවන බව එහි අනාවැකිවලින් අපට ඒත්තුගන්වනසුලු සාක්ෂි ලැබෙයි. යෙසායාගේ පොතෙන් මෙය සනාථ වන ආකාරය සලකා බලන්න.
යෙසායාහි අඩංගු දේ සහ ඓතිහාසික දත්ත සැසඳීමෙන් මෙම පොත පො.යු.පෙ. 732දී පමණ ලියනු ලැබූ බව පැහැදිලි වෙනවා. යෙරුසලමෙහි සහ යූදාහි වැසියන් ලේ වරදට සහ රූප නමස්කාරයට වැටී සිටි නිසා, ඔවුන් පිටට විපත්තියක් පැමිණෙන බව යෙසායා පුරෝකථනය කළා. එම දේශය වනසා දමනු ලබන බවටත්, යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කරනු ලබන බවටත්, බේරෙන අය වහලුන් ලෙස බබිලෝනියට ගෙන යනු ලබන බවටත් යෙසායා අනාවැකි පළ කළා. එනමුත් දෙවි එම වහල් ජාතිය අමතක නොකරන බවත් යෙසායා පුරෝකථනය කළා. කෝරෙෂ් නමැති විදේශීය රජෙක් බබිලෝනිය පරාජය කොට, තම නිජබිම කරා නැවත පැමිණීම සඳහා යුදෙව්වන්ට නිදහස දෙන බවටත් යෙසායා අනාවැකි පළ කළා. ඇත්තෙන්ම යෙසායා දෙවිව විස්තර කරන්නේ, “කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්—යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන [තැනැත්තා]” ලෙසටයි.—යෙසායා 2:8; 24:1; 39:5-7; 43:14; 44:24-28; 45:1.
පොදු යුගයට පෙර අටවන සියවසේ, එනම් යෙසායාගේ කාලයේදී, එවැනි පුරෝකථනයන් ඇදහිය නොහැකි ඒවා මෙන් පෙනෙන්න ඇති. ඒ වෙද්දී, බබිලෝනිය, යම්කිසි හමුදා බලයක් හෙබවූ රාජ්‍යයක් බවටවත් පත් වී තිබුණේ නැහැ. එකල පැවති සැබෑ ලෝක බලය වන අෂූරිය අධිරාජ්‍යයටයි එය යටත්ව තිබුණේ. දුර රටකට වහලුන් ලෙස ගෙන ගොස් යටත් කරනු ලැබූ ජනතාවකට නිදහස ලැබී, ඔවුන්ගේ දේශය ආපසු ලබාගනී කියන අදහසද ඒ හා සමානවම පුදුමයක් වන්න ඇති. යෙසායා ලිව්වේ: “මෙබඳු දෙයක් ඇසුවේ කවුද” කියායි.—යෙසායා 66:8.
එනමුත්, සියවස් දෙකකට පසුව කුමක්ද අපි දකින්නේ? ඉන්පසුව දිගහැරුණු ඉතිහාස වාර්තාවෙන් සනාථ වන්නේ, යෙසායාගේ අනාවැකිය අකුරටම ඉටු වූ බවයි. බබිලෝනිය බලවත් වී, යෙරුසලම විනාශ කළා. පර්සියානු රජුගේ නම (කෝරෙෂ්), ඔහු අනතුරුව බබිලෝනිය පරාජය කළ හැටි සහ යුදෙව්වන් තම මව්බිමට ආපසු පැමිණි හැටි යන සියල්ල ඉතිහාසයෙහි පිළිගත් සත්‍යයන් වෙනවා. පුරෝකථනය කළ තොරතුරු කොතරම් නිවැරදිව ඉටු වුණාද කිවහොත්, 19වන සියවසේදී විවේචකයන් කියා සිටියේ යෙසායාගේ පොත වංචනික දෙයක් කියායි. ඔවුන් අඟවමින් සිටියේ: ‘යෙසායා මුල් පරිච්ඡේද කිහිපය ලියන්න ඇති. නමුත් පොතේ ඊළඟ ටික අනාවැකියක් ලෙස දැක්වීමේ අදහසින් කෝරෙෂ් රජුගේ කාලයේ සිටි ලේඛකයෙක් එය ප්‍රබන්ධ කළ’ බවයි. ඇතැම් අය එවැනි හෙළාදකිනසුලු ප්‍රකාශයන් කළත්, සැබෑ කාරණාවලින් කුමක්ද හෙළි වන්නේ?
සැබෑ පුරෝකථනයන්ද?
යෙසායා පොතෙහි පළ වී තිබෙන අනාවැකි කෝරෙෂ් සහ යුදෙව් වහලුන් හා සම්බන්ධ සිදුවීම්වලට පමණක් සීමා වී නැහැ. යෙසායා බබිලෝනියට අත් වන අවසාන ඉරණම පුරෝකථනය කළා පමණක් නොව, දුක් වින්දායින් පසු මහිමවත් කරනු ලබන, මතු පැමිණෙන මෙසියස් කෙනෙකු හෙවත් මිදුම්කාරයෙකු ගැනත් ඔහුගේ පොතෙහි තොරතුරු රාශියක් ඇතුළත් වුණා. මෙවැනි පුරෝකථනයන් කල්තියාම ලියා තිබුණු බවත්, ඒ හේතුවෙන් ඒවා ඉටුවීමට තිබූ අනාවැකි බවත් සනාථ කිරීමට අපට පුළුවන්ද?
මෙම කාරණය සලකා බලන්න: බබිලෝනියට අත් වන අවසාන ඉරණම ගැන යෙසායා මෙසේ ලිව්වා: “රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනිය [දෙවි] විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය. එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.” (යෙසායා 13:19, 20; 47වන පරිච්ඡේදය) ඇත්තටම මේ සම්බන්ධව අන්තිමට කුමක්ද සිදු වුණේ?
ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මගින් පෝෂණය වූ වේලි සහ ඇළ දොළවලින් සමන්විත සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් මත බබිලෝනිය රඳා සිටි බවට සාක්ෂි ඇත. පොදු යුගයට පෙර 140දී පමණ, පාතියන්වරුන්ගේ විනාශකාරි ආක්‍රමණයේදී මෙම වාරිමාර්ග පද්ධතියට අලාභ හානි සිදු වී, එය සහමුලින්ම පාහේ විනාශ වී ගිය බව පෙනී යනවා. කුමන ප්‍රතිඵලයක් සමඟින්ද? අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කරයි: “පස ඛනිජ ලවණවලින් සන්තෘප්ත වූ අතර, මතුපිටෙහි ක්ෂාර තට්ටුවක් බැඳුණු නිසා, එය වගාව සඳහා යොදාගත නොහැකි විය.” අවුරුදු 200කට පමණ පසු, බබිලෝනිය ජනාකීර්ණ නගරයක්ව පැවතුණත්, එය වැඩි කාලයකට නොවෙයි. (1 පේතෘස් 5:13 සසඳන්න.) පොදු යුගයේ තුන්වන සියවස වෙද්දී, ඩිඕ කැස්යස් නමැති ඉතිහාසඥවරයා (පො.යු. 150 පමණ-235) බබිලෝනිය බැහැදැකීමට යමෙක් පැමිණියොත්, ඔහු දකින්නේ “පස් ගොඩවල්, ගල් බොරළු සහ නටබුන්” පමණක් බව සඳහන් කළා. (LXVIII, 30) වැදගත් දේ නම්, ඒ වන විටත් යෙසායා මියගොස් සිටියද, ඔහුගේ සම්පූර්ණ පොත සියවස් ගණනාවක් තිස්සේ බෙදාහැර තිබීමයි. ඇත්තෙන්ම ඔබ දැන් බබිලෝනියට ගියොත්, වරක් තේජශ්‍රීයෙන් පිරුණු එම නුවරෙහි නටබුන් පමණයි ඔබ දකින්නේ. රෝමය, යෙරුසලම සහ ඇතන්ස් වැනි ඉපැරණි නුවරවල් අපේ දවස දක්වා පැවතුණත්, යෙසායා පුරෝකථනය කළ පරිද්දෙන්ම බබිලෝනිය පාළු, ජනශුන්‍ය, වැනසුණු ස්ථානයකි. එම අනාවැකිය සැබෑ වුණා.
පැමිණෙන මෙසියස් පිළිබඳ යෙසායාගේ විස්තරයට අපි දැන් යොමු වෙමු. යෙසායා 52:13ට අනුව, දෙවිගේ මෙම විශේෂ සේවකයා, අන්තිමේදී ‘උසස් වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.’ කෙසේවෙතත්, උත්කෘෂ්ට වීමට කලින් පුදුමසහගත එමෙන්ම ඊට හාත්පසින්ම වෙනස් අද්දැකීමකට මෙසියස් මුහුණ දෙන බව ඊළඟ පරිච්ඡේදය මගින් (යෙසායා 53) අනාවැකි පළ කළා. පොදුවේ මෙසියස් පිළිබඳ අනාවැකියක් ලෙස පිළිගන්නා එම පරිච්ඡේදයෙහි වාර්තා වී ඇති නිශ්චිත තොරතුරු දැක ඔබ පුදුමයට පත් විය හැකියි.
මෙසියස්ව තමාගේ රටේ වැසියන් විසින් පිළිකුල් කරනු ලබන බව ඔබට මෙහිදී කියවිය හැකියි. මෙය සිදු වන බවට නිසැකව සිටි යෙසායා, ඒ ගැන ලිව්වේ එය ඒ වන විටත් සිදු වී ඇත්තාක් මෙනි: ‘ඔහු මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය.’ (3 පදය) මෙසියස් ජනයා සඳහා යහපත්කම් කළ නිසා මෙම වධ හිංසාව සහමුලින්ම අසාධාරණ යමක් වුණා. මෙසියස් ගෙන දෙන සුවය යෙසායා විස්තර කළේ මෙලෙසයි: ‘ඔහු උසුලාගත්තේ අපේ දුක්ය [රෝගයන්ය, NW].’ (4 පදය) එසේ වුවත්, චෝදනා කරන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින අතරතුර, මෙසියස්ව විනිශ්චය කොට අයුක්තිසහගත ලෙස මරණයට නියම කරනු ලබනවා. (7, 8 පද) අපරාධකරුවන් සමඟ මරණයක් විඳීමට ඔහු විරුද්ධ නොවන අතර, ඔහුගේ මරණයේදී, ශරීරයට තුවාල කරනු ලබනවා. (5, 12 පද) අපරාධකරුවෙකු සේ මියගියත්, පොහොසතෙකු මෙන් සොහොන්ගත කරනු ලබනවා. (9 පදය) තවද වෙනත් මනුෂ්‍යයන්ගේ පාප පහ කරමින්, වරද සමා කිරීමේ බලයක්, මෙසියස් ලක් වූ අයුක්තිසහගත මරණයට ඇති බව යෙසායා පුන පුනා සඳහන් කළා.—5, 8, 11, 12 පද.
ඒ සියල්ල සැබෑ වුණා. යෙසායා පුරෝකථනය කර තිබූ දෑ ඇත්තටම සිදු වූ බව යේසුස්ගේ සමකාලීනයන් වූ මතෙව්, මාර්ක්, ලූක් සහ යොහන්ගේ ඉතිහාස වාර්තාවන් සනාථ කරයි. මෙම සිදුවීම්වලින් සමහරක් යේසුස්ගේ මරණයෙන් පසුව සිදු වූ නිසා, ඒවා ඔහුට මෙහෙයවන්න පුළුවන් වූ තත්වයන් නොවෙයි. (මතෙව් 8:16, 17; 26:67; 27:14, 39-44, 57-60; යොහන් 19:1, 34) මෙසියස් පිළිබඳ යෙසායාගේ අනාවැකියේ සම්පූර්ණ ඉටුවීම, කලින් යේසුස්ව පිළි නොගත් සමහරදෙනෙකු ඇතුළුව, සියවස් ගණනාවක් පුරා ඉඳ ඇති අවංක බයිබල් පාඨකයන්ට ගැඹුරින් බලපා තිබෙනවා. විශාරද විලියම් අ’වික් මෙසේ පවසයි: “බොහෝ යුදෙව්වන්, තමන් ක්‍රිස්තු ධර්මයට හැරුණේ මන්දැයි ලියද්දී ඔවුන් පිළිගත්තේ, පුරාණ ඇදහිලි සහ ගුරුවරුන් කෙරෙහි තිබූ තම ඇදහිල්ල සසල කිරීමට හේතු වූයේ මෙම පරිච්ඡේදය [යෙසායා 53] පරීක්ෂා කිරීම බවයි.”—යෙහෝවාගේ සේවකයා, ඉංග්‍රීසියෙන්.a
අ’වික් මෙම අදහස දැක්වූයේ 1800ගණන්වල අග භාගයේදියි. ඒ කාලයේදී යෙසායා 53වන පරිච්ඡේදය යේසුස්ගේ උපතට සියවස් ගණනාවකට කලින්ද ලියවුණේ යන්න ගැන ඇතමුන් තුළ සැකයක් තිබෙන්න ඇති. කෙසේවෙතත්, එවක් පටන් කර ඇති සොයාගැනීම්වලින් එම සැකය සම්පූර්ණයෙන්ම වාගේ දුරලා ඇත. වර්ෂ 1947දී, මළ මුහුද අසල විසූ බෙඩුවින් ජාතික එඬේරෙක් සම්පූර්ණ යෙසායා පොතම අඩංගු ඉපැරණි ලියවිල්ලක් සොයාගත්තා. එම ලියවිල්ල පො.යු.පෙ. 125 සහ 100 අතර කාලයේදී ලියවී ඇති බව පුරාණ ලියවිලි හදාරන ප්‍රවීණයන් කියා සිටියා. ඊළඟට 1990දී, එම ලියවිල්ල කාබන් 14 පරීක්ෂණයකට භාජන කළ විට, එය පො.යු.පෙ. 202 සහ 107 අතර ලියවුණු බව සඳහන් වුණා. ඔව්, යේසුස් උපත ලබද්දී, මෙම සුප්‍රසිද්ධ යෙසායා ලියවිල්ල සෑහෙන කාලයක් පුරා පැවත තිබුණා. නූතන බයිබල් සමඟ එය සැසඳීමෙන් හෙළි වන්නේ කුමක්ද?
ඔබ යෙරුසලමට ගියොත්, මළ මුහුදේ ලියවිලිවල කැබලි ඔබට දැකබලා ගත හැකියි. පුරාවිද්‍යාඥ මහාචාර්ය යිගඑල් යාඩින් කළ පටිගත කිරීමක මෙසේ පැහැදිලි කර තිබේ: “යෙසායාහි සඳහන් වදන් ප්‍රකාශ කළ දා සිට, ක්‍රි.පූ. 2වන සියවසෙහි මෙම ලියවිල්ල පිටපත් කළ දා දක්වා සියවස් පහක් හයක් ඉකුත්ව ගිය බව පැවසිය හැකියි. කෞතුකාගාරයෙහි තිබෙන මුල් ලියවිල්ල අවුරුදු 2,000කට වඩා පැරණි වුවත්, හෙබ්‍රෙව් බසින් හෝ වේවා, මුල් පිටපතින් කළ පරිවර්තනයකින් හෝ වේවා, අද අප කියවන බයිබලයට එය කොතරම් සමීපද කියා දැකීම පුදුමයට හේතුවක්.”
පැහැදිලිවම මෙය අපේ දෘෂ්ටියට බලපෑ යුතුයි. කුමක් පිළිබඳ දෘෂ්ටියටද? යෙසායා පොත කියන්නේ සිද්ධීන් සිදු වූවායින් පසු ලියවුණු අනාවැකි ඇතුළත් පොතක් බවට කරන විවේචනාත්මක සැකයන් මෙම සාක්ෂි හේතුවෙන් දුරු විය යුතුයි. යේසුස් ඉපදෙන්න අවුරුදු සියයකටත් වැඩිය කලින්, තවද බබිලෝනිය පාළුවීමට බොහෝ කලකට මත්තෙන් යෙසායාගේ ලියවිල්ලේ පිටපතක් කළ බවට දැන් විද්‍යානුකූල සාක්ෂි අප සතුයි. එසේ නම්, යෙසායාගේ ලියවිලිවලින් බබිලෝනියට අත් වන අවසාන ඉරණමද, මෙසියස්ට විඳින්න සිදු වන අයුක්තිසහගත වධහිංසාද, ඔහු මැරෙන ආකාරයද, ඔහුට අනිසි ලෙස සලකන ආකාරයද පුරෝකථනය කළ බවට සැකයක් තිබිය හැක්කේ කෙසේද? තවද යෙසායා යුදෙව්වන්ගේ වහල්භාවයද, බබිලෝනියෙන් ඔවුන්ගේ නිදහස් වීමද නිවැරදිව පුරෝකථනය කළ බව විවාද කිරීමට ඇති පදනම, ලැබී තිබෙන ඓතිහාසික සාක්ෂිවලින් බිඳී යනවා. ඉටු වූ මෙවැනි අනාවැකි, බයිබලයෙහි සැබෑ කර්තෘ මැවුම්කරු බවත්, බයිබලය “දේවානුභාවයෙන්” ලියන ලද්දක් බවත් සනාථ කිරීමට තිබෙන සාක්ෂි රැස අතුරින් එකක් පමණයි.—2 තිමෝති 3:16.
බයිබලයට දිව්‍යමය කර්තෘත්වයක් ඇති බවට තවත් බොහෝ සාක්ෂි ඇත. තාරකා විද්‍යා, භූ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රවලදී බයිබලයෙහි නිරවද්‍යතාව; සියවස් ගණනාවක් පුරා පුරුෂයන් රැසක් විසින් ලියන ලද එහි පොත්වල අභ්‍යන්තර එකඟත්වය; ලෞකික ඉතිහාසයෙහි සහ පුරාවිද්‍යාවේ සොයාගැනීම් රාශිය සමඟ එහි එකඟත්වය සහ ඒ කාලයේදී අවට සිටි ජනයාගේ සදාචාර නීති සංග්රහයන්ට වඩා උසස් වූ, තවමත් අද්විතීය යමක් ලෙස පිළිගැනීමක් උසුලන එහි ඇති සදාචාර නීති සංග්‍රහය යනාදිය මේවාට ඇතුළත් වෙනවා. මෙම සාක්ෂි මෙන්ම වෙනත් ඒවා, බයිබලය සහතිකවම අපේ මැවුම්කරුගෙන් ලද පොතක් බව උනන්දුමත් අවංක වූ අසංඛ්‍යාත ජන පිරිසකට ඒත්තුගන්වා තිබෙනවා.b
මැවුම්කරුගේ ගුණාංග දැකගැනීමට අපට උදව් වෙමින් ඔහු ගැන යම් වලංගු නිගමනවලට එළඹෙන්නත් අපට උපකාර කරන්න මෙයට හැකියි. මනුෂ්‍යයන් වන අපට වඩා දුර දක්නා ඥානයක් ඔහුට ඇති බව, ඉදිරියට සිදු වන දේ කල්තියාම දැනගැනීමට තිබෙන ඔහු සතු හැකියාවෙන් අපට පැහැදිලි වන්නේ නැද්ද? ඈත අනාගතයෙහි සිදු වන දේ මනුෂ්‍යයන් නොදැන සිටිනවා පමණක් නොව, ඒවා පාලනය කරන්නත් ඔවුන්ට බැහැ. මැවුම්කරුට නම් එසේ කළ හැකියි. අනාගතය කල්තියාම දැකීමට පමණක් නොව, ඔහුගේ කැමැත්ත සිදු වන ආකාරයට සිදුවීම් සකස් කිරීමටද ඔහුට පුළුවන්. යෝග්‍ය ලෙස යෙසායා මැවුම්කරුව විස්තර කරන්නේ, “අන්තිමය මුල පටන්ද තවමත් සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ [තැනැත්තා]” ලෙසයි.—යෙසායා 46:10; 55:11.
කර්තෘව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීම
පුද්ගලයෙක් සමඟ අදහස් හුවමාරු කිරීමෙන් සහ විවිධ තත්වයන්වලදී ඔහු ප්‍රතික්‍රියා කරන අන්දම නිරීක්ෂණය කිරීමෙන් ඔහුව හඳුනාගැනීමට අපට හැකි වෙනවා. මනුෂ්‍යයන්ව දැනහඳුනා ගැනීමට මෙම දේවල් දෙකම කළ හැකියි. එනමුත් මැවුම්කරුව දැනහඳුනා ගන්නේ කෙසේද? ඔහු සමඟ කෙළින්ම සංවාදයක් පවත්වන්න අපට කොහෙත්ම බැහැ. කෙසේවෙතත්, දැනටමත් පැහැදිලි වී ඇති පරිදි, ඔහු කළ කී දේ පිළිබඳව බයිබලයෙහි වාර්තා වී ඇති දෙයින් ඔහු තමා ගැන බොහෝ දේවල් හෙළි කරනවා. ඇත්තෙන්ම, මැවුම්කරු සමඟ සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට පවා මෙම අද්විතීය පොත අපට ඇරයුම් කරනවා. ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියා එය අපට උනන්දු කරනවා.—යාකොබ් 2:23; 4:8.
මූලික පියවරක් සලකා බලමු: කෙනෙකුගේ මිතුරෙක් වන්න ඔබ කැමති නම්, ඔබ නිසැකවම ඔහුගේ නම දැනගත යුතුයි. එසේ නම්, මැවුම්කරුගේ නම කුමක්ද? තවද ඔහුගේ නාමය ඔහු ගැන කුමක්ද හෙළි කරන්නේ?
මැවුම්කරුගේ අද්විතීය නාමය බයිබලයෙහි (බොහෝවිට පරණ ගිවිසුම ලෙස නම් කෙරෙන) හෙබ්‍රෙව් බසින් ලියන ලද කොටසෙහි සඳහන්ව තිබෙනවා. ඉපැරණි අත් පිටපත්වල එය නියෝජනය කර තිබෙන්නේ හෙබ්‍රෙව් ව්‍යංජන අක්ෂර සතරකිනුයි. ඒවා ය්හ්ව්හ් හෝ ජ්හ්ව්හ් ලෙස සිංහලෙන් දැක්විය හැකියි. මැවුම්කරුගේ නාමය, දෙවි නැතහොත් ස්වාමීන් වැනි පදවි නාමවලට වඩා බෙහෙවින් වැඩි වතාවක් දැකගත හැකියි. එනම්, 7,000 වතාවක් පමණ. සියවස් ගණනාවක් පුරා හෙබ්‍රෙව් බයිබලය පාවිච්චි කළ අය එම පෞද්ගලික නාමය භාවිත කළා. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන්, දිව්‍ය නාමය උච්චාරණය නොකළ යුතුයි යන මිථ්‍යා විශ්වාසයක් යුදෙව්වන් ප්‍රබන්ධ කළ අතර, ඒ හේතුවෙන් එහි නියම උච්චාරණය රැකගැනීමට ඔවුන් අසමත් වුණා.
නික්මයාම පොතේ යුදෙව් අටුවාවක මෙසේ පැවසේ: “කාලයාගේ ඇවෑමෙන් මුල් උච්චාරණය යටපත් විය; මුල් උච්චාරණය කුමක්දැයි නිශ්චය කරගැනීමට වර්තමානයේ දරා ඇති උත්සාහයන් අනුමාන සහිතයි.” ඇත්තෙන්ම, නික්මයාම 3:16හි [NW] සහ 6:3හි සොයාගත හැකි දිව්‍ය නාමය මෝසෙස් කෙසේ ශබ්ද කළාද යන්න අපට ස්ථිරව පැවසිය නොහැකි බව පිළිගත යුතුයි. කෙසේවෙතත්, මෝසෙස් සහ යේසුස් මිහිපිට විසූ වකවානුවේදී, ඔවුන්ගේ නම් ශබ්ද කළ ආකාරයට ඒවා උච්චාරණය කිරීමට අදදින බැඳීමක් දැනෙන්නේ කාටද යන ප්‍රශ්නයට අප අවංකව උත්තර දිය යුතුයි. මෝසෙස් සහ යේසුස්ව නමින් සඳහන් කිරීමට අප මැළි වන්නේ නැහැ. කාරණය මේකයි: වෙනත් භාෂාවක් කතා කළ පුරාණ ජනතාවක් දෙවිගේ නාමය උච්චාරණය කළ ආකාරය ගැන අනවශ්‍ය ලෙස කලබල වන්නේ නැතුව, අපේ භාෂාවට පොදු උච්චාරණය යොදා නොගන්නේ මන්ද? නිදසුනක් ලෙස, අවුරුදු 400ක් පුරා ඉංග්‍රීසි බසින් “ජෙහෝවා” යන්න භාවිත කර ඇති අතර, ඉංග්‍රීසි බසින් එය මැවුම්කරුගේ නාමය හැටියට තවමත් පොදුවේ පිළිගැනේ.
එනමුත් නාමය උච්චාරණය කිරීම සම්බන්ධයෙන් ඇති සුළු සුළු කාරණාවලට වඩා වැදගත් යමක් සැලකිල්ලට ගත යුතුයි. ඒ තමයි එම නාමයෙහි අර්ථය. හෙබ්‍රෙව් බසින් එම නාමය හා·වාහ්ʹ යන ක්‍රියා පදයෙහි ප්රයෝජ්ය ස්වරූපයක් ගනී. එහි තේරුම, “සලස්වනවා” හෝ “බවට පත්වීම” යන්නයි. (උත්පත්ති 27:29; දේශනාකාරයා 11:3; NW) “ ‘ඔහු පත් වෙයි සහ ඔහු සිදු කරයි’ නැතහොත්, ‘පත් වන්නේය සහ සිදු කරන්නේය’ ” යන අර්ථය ඔක්ස්ෆඩ් බයිබල් ආධාරකය (ඉංග්‍රීසියෙන්) ඉදිරිපත් කරයි. මේ අනුව, මැවුම්කරුගේ පෞද්ගලික නාමය වචනයේ පරිසමාප්තියෙන් ගත් කල, “ඔහු යමක් බවට පත් වෙයි සහ ඔහු සිදුවීමට සලස්වයි” යන අරුත් එහි ගැබ්ව පවතී. “මුල් හේතුව” යන යෙදුම යොදද්දී මැවුම්කරු ඈත අතීතයෙහි සිදු කළ ක්‍රියාකාරකම් ඇතැම් අයගේ මතකයට නැඟෙනවා ඇති. කෙසේවෙතත්, මෙම යෙදුමෙන් අවධාරණය කරන අදහස වැරදිසහගත බව සැලකිල්ලට ගන්න. එසේ නොවන්නේ මන්ද?
මැවුම්කරු සිදු කිරීමට අදහස් කරමින් සිටින දෙයට දිව්‍ය නාමය සම්බන්ධව පවතින නිසයි. හෙබ්‍රෙව් ක්‍රියාපදවලට මූලිකව තිබෙන්නේ කාලාර්ථ දෙකක් පමණයි. තවද මැවුම්කරුගේ නාමයට සම්බන්ධ එක, “වර්ධනය වෙමින් පවතින . . . ක්‍රියාකාරකම් වෙතට යොමු දක්වයි. යම් ක්‍රියාකාරකමක් නිකම්ම දිගටම පවතිනවාය යන්න පමණක් නොවෙයි එයින් ප්‍රකාශ වන්නේ. . . . එනමුත් එහි ආරම්භයේ පටන් එහි නිමාව දක්වා විකාශනය වන ආකාරයයි.” (හෙබ්‍රෙව් කාල ප්රභේදයන් පිළිබඳ කෙටි විස්තරයක්, [ඉංග්‍රීසියෙන්]) ඔව්, යෙහෝවා අරමුණුකරන්නෙකු ලෙස ක්‍රියාශීලීව සිටින බව ඔහුගේ නාමයෙන් එළිදරව් කරනවා. මේ අනුව, ප්රගතිශීලී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින්, ඔහු පොරොන්දුවල ඉටුකරන්නා බවට පත් වන බව අපට දැනගන්න ලැබෙනවා. මැවුම්කරු හැමවිටම තම අරමුණු ඉටු කරන බව දැනගැනීමෙන් බොහෝදෙනා සතුටු වන අතර, ඉන් ඔවුන්ගේ බිය සැක දුරු වෙනවා.
ඔහුගේ අරමුණ—ඔබේ අරමුණ
දෙවිගේ නාමයෙන් ඔහු අරමුණුසහගත කෙනෙක් බව පිළිබිඹු වුණත්, බොහෝදෙනෙකුට තම ජීවිතයෙහි සැබෑ අරමුණක් තිබෙනවා කියා දැකගැනීම අසීරුයි. යුද්ධ, ස්වාභාවික ආපදා, වසංගත, දුගීකම සහ අපරාධ වැනි දිගට හරහට පහර දෙන අර්බුද වැළක් හමුවේ මිනිසා අසරණ වී ඇති ආකාරය ඔවුන් නිරීක්ෂණය කරමින් සිටිනවා. මෙවැනි හානිකර දේවල බලපෑමෙන් යන්තම් හරි බේරෙන අතළොස්ස පවා පිළිගන්නේ, අනාගතය ගැනත් ජීවිතයෙහි අර්ථය ගැනත් ඔවුන්ට යටපත් කළ නොහැකි සැකයන් ඇති බවයි.
බයිබලයෙහි මෙම අදහස පළ වෙනවා: “භෞතික ලෝකය අපේක්ෂා භංගත්වයට යටත් කරන ලද්දේ, එහි කැමැත්තෙන් නොව, නමුත් මැවුම්කරුගේ කැමැත්තෙනි. එසේ කිරීමෙන්, ඔහු මතුවට මිදීමේ බලාපොරොත්තුවක් දුන් අතර . . . දෙවිගේ දරුවන්ගේ මහිමාන්විත විමුක්තියේ පංගුකාරයන් වීමේ ප්‍රස්තාව සලසා දුන්නේය.” (රෝම 8:20, 21, ජේ. ඩබ්. සී. වොන්ඩ් රචිත, අලුත් ගිවිසුමේ හසුන්, [ඉංග්‍රීසියෙන්]) වරක් මනුෂ්‍යයන් තම මැවුම්කරු සමඟ සමාදානයෙන් සිටි බව උත්පත්ති වාර්තාව පෙන්නුම් කරනවා. මිනිසාගේ අවකල් ක්‍රියා හේතුවෙන්, මැවුම්කරු යම් ආකාරයකින් අපේක්ෂා භංගත්වයක් ගෙනා තත්වයකට මිනිසාව යටත් කළා. මෙය සිදු වුණේ කොහොමද? මැවුම්කරු ගැන ඉන් පෙන්නුම් කරන්නේ කුමක්ද? තවද අනාගතය සඳහා අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද යන්න සලකා බලමු.
බොහෝ ආකාරවලින් සැබෑ බව ඔප්පු කළ හැකි ලිඛිත ඉතිහාසයට අනුව, මවනු ලැබූ මුල් මනුෂ්‍යයන් දෙදෙනාට ආදම් සහ ඒව යන නම් තබනු ලැබුවා. කිසිදු අරමුණක් නැතුව හෝ දෙවිගේ කැමැත්ත ගැන කිසිදු උපදෙසක් නැතුව ඉබාගාතේ යෑමට ඔවුන්ට ඉඩහැරියේ නැති බව එම වාර්තාවෙන් පෙනී යනවා. ඕනෑම ප්‍රේමනීය, සැලකිලිමත් මිනිස් පියෙක් තම දරු දැරියන් වෙනුවෙන් කරන්නාක් මෙන්, මැවුම්කරු මනුෂ්‍යවර්ගයාට ප්‍රයෝජනදායක මඟ පෙන්වීම් දුන්නා. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.”—උත්පත්ති 1:28.
මේ අනුව, මුල් මනුෂ්‍යයන්ට අර්ථවත්, අරමුණුසහගත ජීවිතයක් තිබුණා. පෘථිවියේ පරිසරය රැකබලා ගැනීම සහ වගකීමේ හැඟීමකින් කටයුතු කරන ජනගහනයක් බිහි කිරීම ඊට ඇතුළත්ව තිබුණා. (යෙසායා 11:9 සසඳන්න.) වර්තමානයේ අපේ දූෂිත වූ පෘථිවි ග්‍රහයාට අත් වී ඇති ඉරණමට මැවුම්කරු වගකිව යුතුයි කියා කිසිවෙකුට සාධාරණව දොස් නැඟිය නොහැකියි. මිනිසාට පොළොවෙන් අයුතු ප්‍රයෝජන ගෙන එය වනසා දැමීමට මැවුම්කරු ඉඩ කඩ දුන්නා යන මතය වැරදියි. “යටත් කර ගන්න” යන යෙදුම අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා අවකාශ සලසන්නේ නැහැ. පරිපාලනය කිරීමට මිනිසාහට භාර දුන් පොළොව වගා කිරීමත් රැකබලා ගැනීමත් ඉන් ඇඟෙව්වා. (උත්පත්ති 2:15) තවද එම අර්ථවත් කාර්යය ඉටු කිරීමට නිමක් නැති අනාගතයක් ඔවුන් ඉදිරියේ තිබුණා. මිනිස් මොළය ගත් කල, අවුරුදු 70ක, 80ක හෝ 100ක පවා ජීවිත කාලයකදී සම්පූර්ණයෙන්ම උපයෝගි කළ නොහැකි ධාරිතාවක් එයට තිබෙනවා. මේ අනුව ඔවුන්ගේ මිය නොයෑමේ අපේක්ෂාව ඒ හා ගැළපෙනවා. මොළය සාදා දුන්නේ සදහටම පාවිච්චි කරන්නයි.
මැවිල්ලේ සම්පාදක මෙන්ම මෙහෙයවන්නා ලෙස යෙහෝවා දෙවි, පොළොව සහ මනුෂ්‍යවර්ගයා සඳහා ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය සම්බන්ධයෙන් මිනිසාට නිදහස දුන්නා. ඔහු සතුටු කිරීමට අමාරු කෙනෙකු ලෙසවත්, අධික සීමා තහංචි පනවන කෙනෙකු ලෙසවත් කටයුතු කළේ නැහැ. නිදසුනකට, සත්ව විද්‍යාඥයෙකුගේ ඉමහත් සතුටට හේතුවක් වන පැවරුමක් ඔහු ආදම්ට දුන්නා. එනම්, සතුන් අධ්‍යයනය කොට උන්ට නම් තැබීමයි. ආදම් උන්ගේ ගති ලක්ෂණ නිරීක්ෂණය කොට උන්ට නම් තැබුවා. ඉන් බොහොමයක්ම සෑහෙන විස්තරාත්මක ඒවා වුණා. (උත්පත්ති 2:19) එනමුත් දෙවිගේ අරමුණට එකඟව තම කුසලතා සහ හැකියාවන් යොදාගැනීමට මිනිසාට හැකි ආකාරය විස්තර කිරීමට මෙය එක් උදාහරණයක් පමණයි.
මනුෂ්‍යයන් අඥාන හෝ හානිකර මාර්ගයක් තෝරාගත්තත්, ඇත්තෙන්ම පොළොව මත ඕනෑම තත්වයක් ඉස්මතු වුවත්, මුළු විශ්වයේ ප්‍රඥාවන්ත මැවුම්කරුට එය පහසුවෙන් හසුරුවාගත හැකි බව තේරුම්ගත හැකියි. දෙවි ආදම්ට දුන්නේ නිදහස සීමා කරවන එක ආඥාවක් පමණයි කියා ඓතිහාසික වාර්තාව අපට දැනුම් දෙනවා: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.”—උත්පත්ති 2:16, 17.
එම ආඥාවේ අරමුණ වූයේ මිනිසාගේ කීකරුකම ලබාගැනීමට දෙවිට අයිතියක් ඇති බව මනුෂ්‍යවර්ගයාට පිළිගැනීමට සැලැස්වීමයි. ගුරුත්ව නියමය පිළිගෙන, ඊට එකඟව ජීවත් වීමට ආදම්ගේ කාලයේ පටන් වර්තමානය දක්වා ජීවත් වී ඇති මනුෂ්‍යයන්ට සිදු වී ඇත. ඊට පටහැනිව ක්‍රියා කිරීම අඥාන මෙන්ම හානිකර දෙයක් වෙයි. එසේ නම්, ත්‍යාගශීලී ගුණවත් මැවුම්කරුගෙන් ලද තවත් නියමයක් හෝ ආඥාවකට එකඟව ජීවත් වීමට මනුෂ්‍යයන් විරුද්ධ වීමෙහි ඵලක් තිබෙනවාද? තම නීතිය ප්‍රතික්ෂේප කිරීමේ ඵල විපාකය කුමක්ද කියා මැවුම්කරු පැහැදිලිව ඉදිරිපත් කළද, සිය කැමැත්තෙන්ම කීකරු වීමේ අයිතිය ඔහු ආදම්ට සහ ඒවට දුන්නා. මැවුම්කරු මනුෂ්‍යයන්ට තෝරාගැනීමේ නිදහස දෙන බව මිනිසාගේ මුල් ඉතිහාස වාර්තාවෙන් දැකගැනීම අපහසු නැහැ. එනමුත් තම මැවිලි උපරිම සන්තෝෂයක් භුක්ති විඳිනවා දැකීම ඔහුගේ ආශාවයි. ඇත්තෙන්ම ඔහු දෙන යහපත් නීතිවලට එකඟව ජීවත් වීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එවැනි සන්තෝෂයකි.
මැවුම්කරු අදෘශ්‍යමාන ස්වර්ගික මැවිලි බිහි කළ බව අප කලින් පරිච්ඡේදයක සඳහන් කළා. මෙම අදෘශ්‍යමාන අයගෙන් කෙනෙක් දෙවිට හිමි තත්වය තමාටම ලබාගැනීමේ තෘෂ්ණාවෙන් යටපත් වූ බව මිනිසාගේ ආරම්භය පිළිබඳ ඉතිහාස වාර්තාවෙහි හෙළි වෙනවා. (එසකියෙල් 28:13-15 සසඳන්න.) දෙවි දෙන තෝරාගැනීමේ නිදහස අනිසි ලෙස යොදාගත් ඔහු, ප්‍රසිද්ධ කැරැල්ලක් ලෙස සැලකිය යුතු ක්‍රියාවකට මුල් මිනිස් යුවළව කැමති කරවාගත්තා. “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” කෑම හේතුවෙන් මුරණ්ඩු ලෙස අකීකරු වීමෙන්, මුල් යුවළ දෙවිගේ පාලනයෙන් ස්වාධීනව සිටින්න ඕනෑ බව පෙන්වූවා. එනමුත් ඊට වැඩි යමක් සම්බන්ධ වුණා. මැවුම්කරු මිනිසාට යහපත් යමක් දීමෙන් වැළකී සිටියා යන චෝදනාවට ඔවුන් එකඟ වූ බව ඔවුන් ගත් ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි වුණා. යහපත සහ නපුර සම්බන්ධයෙන් මැවුම්කරුගේ මිම්ම මොනව වුණත් කමක් නැහැ, යහපත සහ නපුර තීරණය කිරීමේ අයිතිය ආදම් සහ ඒව බලෙන්ම ඉල්ලමින් සිටියා වගෙයි.
පුරුෂයන් සහ ස්ත්‍රීන් තමුන් ගුරුත්ව නියමයට අකමැති බව තීරණය කළොත් එය කොතරම් අනුවණ දෙයක් වනු ඇද්ද! ආදම් සහ ඒව විසින් මැවුම්කරුගේ සදාචාර ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීම ඒ හා සමාන අනුවණ දෙයක් වනු ඇත. ගුරුත්ව නියමය නොසලකා හරින කෙනෙකුට හානිකර ප්‍රතිඵල අද්දකින්න සිදු වන්නාක් මෙන්, කීකරුකම අවශ්‍ය කළ දෙවිගේ ඒ සරල නීතිය උල්ලංගනය කිරීමෙන් අහිතකර ප්‍රතිඵල අද්දකින්න සිදු වන බව මනුෂ්‍යයන් අපේක්ෂා කළ යුතු නැද්ද?
යෙහෝවා ඊළඟට යම් ක්‍රියාමාර්ගයක් ගත් බව ඉතිහාසය අපට කියයි. ආදම් සහ ඒව මැවුම්කරුගේ කැමැත්ත ප්‍රතික්ෂේප කළ ‘දවසේදීම,’ දෙවි කල්තියාම අනතුරු අඟවා තිබුණාක් මෙන්, තම මරණය කරා ඔවුන් ප්‍රපාතාකාර ගමනකට පිවිසුණා. (2 පේතෘස් 3:8 සසඳන්න.) මැවුම්කරුගේ පෞද්ගලිකත්වයේ තවත් අංගයක් මෙයින් හෙළි වෙනවා. ඔහු යුක්තියේ දෙවිකෙනෙක්. ඔහු නින්දිත අකීකරුකම දුර්වල ලෙස නොසලකා හරින කෙනෙක් නොවෙයි. ඔහුට ප්‍රඥාවන්ත සහ යුක්තිසහගත ප්‍රමිති ඇති අතර, ඒවා අඛණ්ඩව පවත්වාගනිමින් සිටිනවා.
ඔහු දයාන්විතව මිනිස් ජීවිතය ඒ මොහොතේදීම සිඳ දැමුවේ නැහැ. එනිසා තමා සතු කැපීපෙනෙන ගුණාංගවලට පටහැනිව ඔහු ක්‍රියා නොකළ බව පැහැදිලියි. ඒ මන්ද? මතුවට බිහි වෙන්න සිටි, තම මුතුන්මිත්තන්ගේ පව්කාර ගමන් මාර්ගයට කෙළින්ම වගකිව යුතු නැති ආදම් සහ ඒවගේ අනාගත පරපුර සඳහා දැක්වූ සැලකිල්ල නිසයි. මතුවට බිහි වෙන්න සිටි ජීවිත ගැන දෙවි දක්වන සැලකිල්ල, මැවුම්කරු මොන වගේ කෙනෙක්ද යන්න ගැන විශිෂ්ට සාක්ෂියකි. ඔහු සිත් පිත් නැති, අනුකම්පා විරහිත විනිසුරුවෙක් නොවෙයි. ඔහු සාධාරණයි, සියලුදෙනාටම ජීවත් වීමට ප්‍රස්තාවක් දීමට කැමති, මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවයට ගෞරවය දක්වන කෙනෙක්.
මුල් යුවළගේ අනාගත පරපුර එක සමාන ප්‍රියමනාප තත්වයන් යටතේ ජීවිතය භුක්ති විඳියි කියා අප අදහස් කරනවා නොවෙයි. මැවුම්කරු ආදම්ට පරම්පරාවක් බිහි කිරීමට ඉඩ දීමෙන්, ‘භෞතික ලෝකය අපේක්ෂා භංගත්වයට යටත් කරනු ලැබුවා.’ කෙසේවෙතත්, එය සම්පූර්ණ අපේක්ෂා භංග වීමක් හෝ බලාපොරොත්තු සුන්වීමක් නොවෙයි. මැවුම්කරු මැවිල්ලට “මතුවට මිදීමේ බලාපොරොත්තුවක් දුන්” බවත් රෝම 8:20, 21හි සඳහන් බව ඔබට මතකද? ඒ ගැන නම් අප වැඩි විස්තර දැනගත යුතුයි.
ඔබට ඔහුව සොයාගත හැකිද?
මුල් මිනිස් යුවළගේ කැරලිගැසීම පිටුපස සිටි සතුරාව බයිබලයෙහි නම් කර ඇත්තේ සාතන් නමැති යක්ෂයා ලෙසයි. එම නම්වල අරුත පිළිවෙළින් “එදිරිවාදයා” සහ “අපහාසකරන්නා” යන්නයි. කැරැල්ල දියත් කිරීමට මුල් වූ ඔහුට එරෙහිව ප්‍රකාශ කළ දණ්ඩනයේදී, දෙවි ඔහුව සතුරෙකු හැටියට හංවඩු ගැසුවද, අනාගත මිනිස් පරපුරට බලාපොරොත්තු තබාගැනීම සඳහා පදනමක් දැමුවා. දෙවි මෙසේ පැවසුවා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) යොදා ඇති භාෂාව, උපමාලංකාර හෝ සංකේතමය එකක් බවට සැකයක් නැහැ. යම් ‘වංශයක්’ පැමිණෙන බව පවසද්දී, ඉන් අදහස් කරන්නේ කුමක්ද?
කුතුහලය අවුස්සන මෙම පදයෙහි තේරුම එළිදරව් කිරීමට බයිබලයෙහි වෙනත් කොටස් උපකාරවත් වෙනවා. යෙහෝවා තම නාමයට එකඟව කටයුතු කිරීම හා මිහිපිට මිනිසා සඳහා තම අරමුණ ඉටු කරගැනීමට තමා අවශ්‍ය දෙය ‘බවට පත්වීමද’ ඊට සම්බන්ධ බව ඒවායින් පැහැදිලි වෙනවා. එසේ කරද්දී, ඔහු විශේෂයෙන් එක ජාතියක් යොදාගත් අතර, බයිබලයෙහි සෑහෙන කොටසක එම පුරාණ ජාතිය සමඟ ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳ ඉතිහාස වාර්තාව ඇතුළත් වෙනවා. එම අතිවැදගත් ඉතිහාසය ලුහුඬින් සලකා බලමු. එමගින්, අපේ මැවුම්කරුගේ ගුණාංග ගැන වැඩි යමක් අපට උගත හැකියි. ඇත්තවශයෙන්ම, මනුෂ්‍යවර්ගයා සඳහා ඔහු සපයා ඇති පොත වන බයිබලය මේ අන්දමින් තවත් පරීක්ෂා කර බැලීමෙන්, ඔහු ගැන අමිල දේවල් රාශියක් ඉගෙනගන්න අපට හැකියි.
[පාදසටහන්වල]
a යෙසායා 53:7, 8 උපුටා දක්වා ඇති ක්‍රියා 8:26-38 සසඳන්න.
b බයිබලයෙහි මූලාරම්භය ගැන තවත් තොරතුරු ලබාගැනීමට, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාවද, බයිබලය දෙවිගේ වචනයද? නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) යන පොතද බලන්න.
[107වන පිටුවේ පින්තූරය]
බලවත් බබිලෝනිය පාළු වූ නටබුන් බවට පත් වූයේ බයිබලය එය පුරෝකථනය කළ දා සිට සියවස් ගණනාවක් ගෙවුණායින් පසුවයි. අදදිනත් තිබෙන්නේ නටබුන් පමණි
[110වන පිටුවේ පින්තූර]
පොදු යුගයට පෙර දෙවන සියවසේ පිටපත් කළ යෙසායා පොතේ මෙම ලියවිල්ල, මළ මුහුද අසල ගුහාවකින් සොයාගනු ලැබුවා. එය ලියා අවුරුදු සියගණනක් ගත වූ පසු සිදු වූ සිද්ධීන් එහි සවිස්තරව පුරෝකථනය කර තිබුණා
[115වන පිටුවේ පින්තූරය]
වළං කැබැල්ලක පුරාණ හෙබ්‍රෙව්වලින් ලිවූ මෙම ලිපිය ලාකීෂ්හිදී කණිණ ලද්දකි. දෙවිගේ නාමය (ඊතල බලන්න) දෙවරක් සඳහන්ව තිබේ. මැවුම්කරුගේ නාමය ප්‍රචලිතව පැවති බවත්, සාමාන්‍ය භාවිතයෙහි පැවති බවත් මින් පෙන්නුම් කෙරේ
[117වන පිටුවේ පින්තූරය]
අයිසැක් නියුටන් ගුරුත්ව නියමය විධිමත්ව සකස් කළා. මැවුම්කරුගේ නීති සාධාරණයි, ඒවාට සහයෝගය දැක්වීම අපේ යහපතටයි