අනාවැකිවලින් යුත් පොතක්
මිනිස්සු අනාගතය ගැන උනන්දුවක් දක්වනවා. ඔවුන් කාලගුණ වාර්තාවල සිට ආර්ථිකය පිළිබඳ ඉඟි දක්වා බොහෝ විෂයන් ගැන විශ්වාසකටයුතු වූ කලින් පැවසූ දෑ සොයනවා. කෙසේවෙතත්, ඔවුන් ඒ කලින් සිතාගත් දෙයට අනුව ක්‍රියා කළාට පස්සේ, බොහෝවිට බලාපොරොත්තු සුන් කරගන්නවා. මතු සිදු වන දේවල් හෝ අනාවැකි ගැන බයිබලයේ සඳහන් වීම් බොහොමයක් තියෙනවා. එවැනි අනාවැකි කොතරම් නිවැරදිද? ඒවා කල්තියාම ලියන ලද ඉතිහාසයද? එහෙමත් නැත්නම්, අනාවැකියක් වගේ වංචනීකව පෙනෙන්න සලස්වා, දෙයක් සිදු වුණාට පස්සෙද ඒවා ලිව්වේ?
රෝමානු දේශපාලන විශාරද කේටෝ (පො.යු. පෙ. 234-149) වාර්තාගත ලෙස මෙහෙම කිව්වා: “එක් ශාස්ත්රකාරයෙක් තවත් ශාස්ත්රකාරයෙක්ව දකින ඕනෙම අවස්ථාවක සිනහා නොවීම මට පුදුමයි.”1 ඇත්තෙන්ම අද දවස දක්වා, බොහෝ මිනිස්සු දෛවඥයන්, ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන් සහ වෙනත් ශාස්ත්‍රකාරයන් ගැන සැක පහළ කරනවා. බොහෝවිට ඔවුන්ගේ අනාවැකි පළ කිරීම් අපැහැදිලි අදහස්වලින් පිරී ඇති අතර, ඒවා අනේකවිධ අර්ථකථනවලට භාජන වෙනවා.
කෙසේවෙතත්, බයිබල් අනාවැකි ගැන කියන්න පුළුවන් මොනවාද? සැක කරන්න හේතු තියෙනවාද? එහෙමත් නැත්නම් විශ්වාස කරන්න පදනමක් තියෙනවාද?
නිකම්ම උගත් අනුමාන කිරීම් නොවේ
නුවණක්කාරයෝ, දකින ප්රවණතාවන් උපයෝගි කරගෙන අනාගතය ගැන නිවැරදි අනුමානයන් ඉදිරිපත් කරන්න වෑයම් කළත්, ඔවුන් හැම වෙලේම නිවැරදි නැහැ. ෆියුච’ ෂොක් (අනාගත කම්පනය) කියන පොතේ, මෙහෙම සඳහන් වෙනවා: “හැම සමාජයක්ම එක පෙළටම එන, විය යුතු සේ සැලකිය හැකි අනාගතවලට විතරක් නොව, නමුත් විය හැකි අනාගත පරාසයකටත්, මනාප අනාගත පිළිබඳ ඝට්ටනයකටත් මුහුණ දෙනවා.” එය තවදුරටත් මෙහෙම එකතු කරනවා: “ඇත්තවශයෙන්ම, අනාගතය මුළුමනින්ම ‘දැනගන්න’ කිසිම කෙනෙකුට බැරි බව කියන්න අවශ්‍ය නැහැ. අපිට කළ හැක්කේ යම් පිළිවෙළකට දත්තයන් සකස් කරලා, අපේ උපකල්පනයන් වඩාත් අර්ථවත් කොට, ඒවා විය යුතු සේ සැලකිය හැකි ඒවා වශයෙන් නියම කිරීමට තැත් කරන එක විතරයි.”2
ඒත් බයිබල් ලේඛකයන්, “උපකල්පන” නිකම්ම “විය යුතු සේ සැලකිය හැකි ඒවා වශයෙන් නියම” කළේ නැහැ. ඇරත් ඔවුන්ගේ පුරෝකථනයන්, විවිධාකාර අර්ථ දැක්වීම්වලට ඉඩ කඩ සලසන අපැහැදිලි ප්‍රකාශයන් හැටියට පසෙක තබන්නත් බැහැ. ඊට වෙනස්ව ඔවුන්ගේ අනාවැකිවලින් බොහොමයක් පුදුමාකාර පැහැදිලිකමකින් පළ වූ අතර, අසාමාන්‍ය ලෙස සුවිශේෂී ස්වභාවයක් දැරුවා; බොහෝවිට අපේක්ෂා කළ හැකි දෙයට හරියටම ප්‍රතිවිරුද්ධ දේ තමයි පුරෝකථනය කරන්නේ. උදාහරණයක් හැටියට, පුරාණ නගරය වූ බබිලෝනිය ගැන බයිබලය කල් ඇතුව කීවේ මොකක්ද කියල බලන්න.
‘විනාශය නමැති මුස්නෙන් අතුගා දැමීමට’ තිබෙයි
පුරාණ බබිලෝනිය, “රාජ්‍යවල අලංකාරය” බවට පත් වුණා. (යෙසායා 13:19) පුළුල්ව විහිදී තිබූ මේ නගරය පිහිටා තිබුණේ, යුද්ධය සඳහා වැදගත් පර්සියානු බොක්කේ සිට මධ්‍යධරණී මුහුද දක්වා වෙළඳ මාර්ගයේ වාසිදායක ස්ථානයකයි. මෙය බටහිරත් පෙරදිගත් අතර ගොඩ සහ මුහුදු වෙළඳාම සඳහා වාණිජ්‍ය මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා.
පොදු යුගයට පෙර 7වන සියවස වෙනකොට, බබිලෝනිය, පෙනෙන විදිහට බබිලෝනීය අධිරාජ්‍යයේ අපරාජිත වූ අගනුවරව තිබුණා. නගරය යුප්‍රටීස් ගඟ දෙපැත්තටම විහිදී තිබුණා; ගඟේ ජල කඳ පළල්, ගැඹුරු අගලක් සහ ඇළ මාර්ග ජාලයක් සෑදීමට යොදාගනු ලැබුවා. ඊට අමතරව, බොහෝ ආරක්ෂක ටැඹවලින් ශක්තිමත් වූ සුවිසල් ද්විත්ව පවුරු පද්ධතියකින් නගරය ආරක්ෂා වී තිබුණා. ඉතිං, එහි වැසියන්ට සුරක්ෂිතභාවයක් දැනීම පුදුමයක් නෙවෙයි.
කොහොම වුණත්, පො.යු.පෙ. 8වන සියවසේදී, බබිලෝනිය එහි තේජසේ හිනිපෙත්තට නඟින්න කලින්, අනාගතවක්තෘ යෙසායා බබිලෝනිය ‘විනාශය නමැති මුස්නෙන් අතුගා දැමීමට’ යනවා කියල පුරෝකථනය කළා. (යෙසායා 13:19; 14:22, 23) බබිලෝනිය වැටෙන්නේ හරියටම මොන විදිහටද කියලත් යෙසායා විස්තර කළා. ආක්‍රමණිකයන් විසින් පහසුවෙන් පහර දිය හැකි ලෙසින්, නුවර ආරක්ෂාවට තැනූ දිය අගල්වලට ජලය සැපයූ ගංගා ඔවුන් ‘හිඳවන්න’ හිටියා. යෙසායා ජයග්රාහකයාගේ නම පවා දුන්නා—පර්සියානුවන්ගේ මහා රජෙක් වන “කෝරෙෂ්;” ඔහු ඉදිරියෙහි ‘දොරටු නොවසන ලෙස දොරවල් ඇරෙනවා.’—යෙසායා 44:27–45:2.
මේවා එඩිතර පුරෝකථනයන්. එහෙත් ඒවා සැබෑ වුණාද? ඉතිහාසය උත්තර දෙනවා.
“සටනක් නොකරම”
යෙසායා තම අනාවැකිය වාර්තා කර සියවස් දෙකකට පසුව, එනම්, පො.යු.පෙ. 539, ඔක්තෝබර් 5වනදා, මහා කෝරෙෂ්ගේ ආඥාව යටතේ මේද-පර්සියානු යුද හමුදාව බබිලෝනිය අද්දර කඳවුරු බැඳ සිටියා. නමුත් බබිලෝනිවරුන් විශ්වාසයකින් හිටියා. ග්‍රීක් ඉතිහාසඥ හෙරොඩෝටස්ට (පො.යු.පෙ. 5වන සියවස) අනුව, ඔවුන් අවුරුදු ගණනාවකට ඇති තරම් අවශ්‍ය දේවල් ගබඩා කරලයි තිබුණේ.3 ඔවුන්ව ආරක්ෂා කරන්න, යුප්‍රටීස් ගඟත් බබිලෝනියේ බලසම්පන්න පවුරුත් තිබුණා. කෙසේවෙතත්, නෙබෝනීඩස්ගේ පුරාවෘත්තයට අනුව, එදා රෑම, “කෝරෙෂ්ගේ යුද හමුදාව සටනක් නොකරම බබිලෝනියට ඇතුල් වුණා.”4 ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද?
නුවර ඇතුළේ සිටි සෙනඟ ගැන හෙරොඩෝටස් විස්තර කරන්නේ, ඔවුන් “උත්සවයක නටමින් විනෝද වෙමින් සිටියා” කියලයි.5 කෙසේවෙතත් පිටතින් සිටි කෝරෙෂ්, යුප්‍රටීස්හි වතුර වෙනත් දිශාවකට හරවා තිබුණා. වතුර මට්ටම පහත බසිද්දී, ඔහුගේ හමුදාව ඔවුන්ගේ කළව මට්ටමට වතුර තියෙද්දී, මඩ සහිත ගංපත්ල හරහා ගමන් කළා. ඔවුන් එසේ මුරටැඹවල් සහිත පවුරු පසු කරගෙන ගමන් කර, “ගඟ දෙසට ඇරුණාවූ දොරවල්” ලෙස හෙරොඩෝටස් හැඳින්වූ නොසැලකිලිමත් ලෙස ඇර තිබූ දොරවල්වලින් ඇතුල් වුණා.6 (සසඳන්න දානියෙල් 5:1-4; යෙරෙමියා 50:24; 51:31, 32.) සෙනෆෝන් (පො.යු.පෙ. 431-352 පමණ) ඇතුළු අනිත් පුරාවිද්‍යාඥයන් සොයාගත් කීලාකාර පුවරු කෝරෙෂ් අතට බබිලෝනියේ හදිසි වැටීම ස්ථිර කරනවා.7
මෙලෙස බබිලෝනිය සම්බන්ධ යෙසායාගේ අනාවැකිය ඉටු වුණා. ඇත්තටම ඒක ඉෂ්ට වුණාද? මේක පුරෝකථනයක් නෙවෙයි, නමුත් ඇත්තෙන්ම සිද්ධීන් වුණාට පසුව ලියවුණු එකක් වෙන්න බැරිද? ඇත්තටම, බයිබලයේ ඇති අනිත් අනාවැකි ගැනත් ඒ විදිහටම අහන්න පුළුවන්.
අනාවැකි හැටියට බොරුවට පෙනී සිටින ඉතිහාසයද?
යෙසායා ඇතුළු බයිබල් අනාගතවක්තෘවරු, අනාවැකි කියා පෙනෙන්න සලස්සන්න නිකං ඉතිහාසය ආයෙත් ලිව්වා නම්, ඒ අය කපටි ප්‍රෝඩාකාරයන්ට වඩා වෙනස් නැහැ. නමුත් ඔවුන්ගේ එවැනි වංචා කිරීමක අරමුණ මොකක් විය හැකිද? තමන්ව අල්ලස් දීමෙන් පහසුවෙන්ම හසු කරගන්න බැරි අය බව සැබෑ අනාගතවක්තෘවරු ප්‍රසිද්ධියේ කියා සිටියා. (1 සාමුවෙල් 12:3; දානියෙල් 5:17) එමෙන්ම බයිබල් ලේඛකයන් (ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අනාගතවක්තෘවරු) විශ්වාසවන්ත බවටත් තමන්ව අපහසුතාවට පත් කළ තමන්ගේම වැරදි හෙළි කරන්න පවා කැමැත්තෙන් සිටි බවටත් ඇති ප්‍රබල සාක්ෂි අපි දැනටමත් සලකා බලා තියෙනවා. පෙනෙන විදිහට, මේ ආකාරයේ මිනිසුන් ඉතිහාසය අනාවැකි ලෙස දක්වමින්, සංකීර්ණ ප්‍රෝඩාවන් කරන්න නැඹුරු වෙයි කියලා හිතන්න අමාරුයි.
සලකා බලන්න තවත් දෙයක් තියෙනවා. බොහෝ බයිබල් අනාවැකිවල, පූජකයන් සහ අධිපතීන් ඇතුළත් අනාගතවක්තෘවරුන්ගේම ජාතියේ සෙනඟට විරුද්ධව ප්‍රසිද්ධියේ නැඟුණු තිත්ත හෙළා දැකීම් අඩංගු වුණා. උදාහරණයක් හැටියට, යෙසායා—ඔහුගේ කාලයේ සිටි ඉශ්රායෙල් අධිපතීන්ගේ සහ සෙනඟගේ දුඃඛිත සදාචාර තත්වය හෙළා දුටුවා. (යෙසායා 1:2-10) අනිත් අනාගතවක්තෘවරු ප්‍රබල ලෙස පූජකයන්ගේ පව් හෙළි කළා. (ශෙපනියා 3:4; මලාකී 2:1-9) තම සෙනඟට හිතාගත හැකි දැඩිම තරවටු කිරීම් අන්තර්ගත අනාවැකි ගොතන්නේ ඇයි කියාත්, එවැනි කූටෝපායකට පූජකයන් සහයෝගය දක්වන්න ඇතැයි කියාත් සිතාගැනීම අමාරුයි.
මීට අමතරව, මේ අනාගතවක්තෘවරු නිකම්ම බොරුකාරයෝව සිටියා නම්, ඒ වගේ බොරුවක් එළි වෙන්නේ නැතුව කරගෙන ගියේ කොහොමද? ඉශ්රායෙල්හි සාක්ෂරතාව සඳහා දිරිගැන්වූවා. කුඩා අවධියේ ඉඳලම කියවන්න සහ ලියන්න දරුවන්ට උගන්වනු ලැබුවා. (ද්විතීය කථාව 6:6-9) ශුද්ධ ලියවිල්ල පෞද්ගලිකව කියවීම අවධාරණය කරනු ලැබුවා. (ගීතාවලිය 1:2) සතිපතා සබත් දිනයේදී සිනගෝගයෙහි ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිල්ල කියවීම සිදු කළා. (ක්‍රියා 15:21) උගත් මෙන්ම ශුද්ධ ලියවිල්ල හොඳින් දැන සිටි මුළු ජාතියක්ම ප්‍රෝඩාවට හසු වුණා කියලා සිතන්න බැහැ.
මීට අමතරව, බබිලෝනියේ වැටීම ගැන යෙසායාගේ අනාවැකියට තව බොහෝ දේ තියෙනවා. ඉටු වුණාට පස්සේ ලියන්න බැරි දෙයක්ද ඊට ඇතුළත් වෙනවා.
“එහි කවදාවත් වැසියෙක් නොවන්නේය”
බබිලෝනියේ වැටීමෙන් පස්සේ එයට මොනව වේවිද? යෙසායා මෙහෙම පුරෝකථනය කළා: “එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කූඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත.” (යෙසායා 13:20) එපමණ හොඳට වැජඹුණු නුවරක් සදාකාලයටම ජන ශුන්‍ය තැනක් බවට පත් වෙනවා කියල කියන එක අමුතු දෙයක් වගේ පෙනෙන්න ඇති. යෙසායාගේ වදන් ලියනු ලැබුවේ ඔහු බබිලෝනිය පාළු වෙනවා දැක්කට පස්සෙද?
කෝරෙෂ්ගේ බලය යටතට පත් වුණායින් පස්සේ බබිලෝනිය පිරිහුණත්, එම නගරය සියවස් ගණනාවක්ම ජනාකීර්ණව පැවතුණා. මළ මුහුදේ ලියවිල්ලේ, පො.යු.පෙ. 2වන සියවසට දිවෙන යෙසායාගේ සම්පූර්ණ පොතේ පිටපතක් තිබුණු බව මතක් කරගන්න. මේ ලියවිල්ල පිටපත් කළ කාලය විතර වෙනකොට, පාතියන්වරු බබිලෝනිය තමන් අතට ගත්තා. පොදු යුගයේ මුල් සියවසේදී බබිලෝනියෙහි යුදෙව්වන් ප්‍රජාවක් පදිංචි වී සිටි අතර, බයිබල් ලේඛක පේතෘස් එය බැහැදකින්න ගියා. (1 පේතෘස් 5:13) එම කාලය වෙනකොට යෙසායාගේ මළ මුහුදේ ලියවිලි සියවස් දෙකකට විතර පැවත තිබුණා. ඉතින්, පො.යු. පළමු සියවස වෙද්දී, බබිලෝනිය ඒ වන විටත් සහමුලින්ම පාළු වූ තත්වයක පැවතුණේ නැහැ; ඒත් එයට බොහෝ කාලයකට කලින් යෙසායාගේ පොත නිම කරලයි තිබුණේ.a
පුරෝකථනය කළ පරිදි බබිලෝනිය කාලයාගේ ඇවෑමෙන් “ජරාවාස ගොඩවල්” බවට පත් වුණා. (යෙරෙමියා 51:37) හෙබ්‍රෙව් විශාරද ජෙරෝම්ට (පො.යු. හතරවන සියවස) අනුව, ඔහුගේ දවස වන විට, බබිලෝනිය “විවිධ වර්ගයේ සතුන්” ලැග්ග දඩ බිමක්ව තිබුණා.9 බබිලෝනිය මේ දක්වා පාළුව පවතිනවා.
බබිලෝනිය ශුන්‍ය බවට පත් වෙනවා දකින්න යෙසායා ජීවත් වුණේ නැහැ. නමුත් වර්තමාන ඉරාකයේ බැග්ඩෑඩ්වල සිට කිලෝමීටර් 80ක් විතර දකුණින් පිහිටි, වරක් බලවත්ව තිබූ මේ නුවරෙහි නටබුන් ඔහුගේ වචන සැබෑවීමට නිහඬ සාක්ෂියක් සපයනවා: “එහි කවදාවත් වැසියෙක් නොවන්නේය.” විදේශීන් ආකර්ෂණය කරන තැනක් ලෙස බබිලෝනිය යළි ප්‍රතිසංස්කරණය කළත්, බබිලෝනියෙන් “නාම මාත්‍රයද ඉතිරි අයද” සදහටම නැති වී ගිහින්.—යෙසායා 13:20; 14:22, 23.
මෙසේ, අනාගතයෙහි ඕනෙම දෙයකට හරි යන විදිහට සකසාගත හැකි අපැහැදිලි පුරෝකථනයන් අනාගතවක්තෘ යෙසායා ප්‍රකාශ කළේ නැහැ. ඒ වගේම, අනාවැකියක් සේ පෙනෙන්න සලස්වන්න ඉතිහාසය ඔහු යළිත් ලිව්වෙත් නැහැ. ඒ ගැන හිතන්න: බොරුකාරයෙක් තමන්ට කොහෙත්ම බලයක් නැති දෙයකට—ඒ කියන්නේ බලවත් බබිලෝනිය ආයෙ කිසිදා ජනාවාස වන්නේ නැහැ කියන “අනාවැකිය” කීමේ අවදානමට ලක් වෙන්නේ මොකටද?
බබිලෝනියේ වැටීම පිළිබඳව මේ අනාවැකිය, බයිබලයේ සඳහන් අනාවැකිවලින් එකක් විතරයි.b බයිබලය මිනිසාට වඩා උසස් උල්පතකින් පැමිණිය යුතු බව එහි අනාවැකි ඉටුවීම දකින බොහෝදෙනෙකුට පෙනී යනවා. සමහරවිට අඩු තරමින් මේ අනාවැකි පොත පරීක්ෂා කර බැලීම වටින බවට ඔබ එකඟ වෙයි. එකක් ස්ථිරයි: ඒ තමයි, අදදින සිටින ශාස්ත්රකාරයන්ගේ අපැහැදිලි නැත්නම් කලඹන්නාවූ අනාවැකි හා බයිබලයේ ඇති පැහැදිලි, නිකැළැල් සහ නිශ්චිත අනාවැකි අතර විශාල වෙනසක් තියෙනවා කියන එක.
[පාදසටහන්වල]
a යෙසායාගේ ලියවිල්ල ඇතුළු හෙබ්‍රෙව් ලියවිල්ලේ පොත් ලියවුණේ පො.යු. පළමු සියවසට බොහෝ කලකට පෙර බවට ප්‍රබල සාක්ෂි තියෙනවා. හෙබ්‍රෙව් ලියවිල්ලේ සම්මත ග්රන්ථ පෙළ මොනවාද කියලා, ඔහුගේ කාලයට බොහෝ කලින් සකස් කර තිබූ බව (පො.යු. පළමු සියවසේ) ඉතිහාසඥ ජොසීෆස් සඳහන් කරනවා.8 ඊට අමතරව, හෙබ්‍රෙව් ලියවිල්ලේ ග්‍රීක් පරිවර්තනයක් වන ග්‍රීක් සෙප්ටුඅජින්ට් පො.යු.පෙ. තුන්වන සියවසේ ඇරඹී පො.යු.පෙ. දෙවන සියවසේදී සම්පූර්ණ කළා.
b බයිබල් අනාවැකි සහ ඒවායෙහි ඉටුවීම දක්වන ඓතිහාසික කාරණා ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? පොතේ 117-33 දක්වා පිටු බලන්න.
[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බයිබල් ලේඛකයෝ නිවැරදි අනාගතවක්තෘවරුද නැත්නම් දක්ෂ ප්රෝඩාකාරයෝද?
[29වන පිටුවේ පින්තූරය]
ඉපැරණි බබිලෝනියේ නටබුන්