“සිංහයෙකුගේ සිත මෙන් සිතක්” ඔබ සතු කරගත හැක
ධෛර්යය සහ නිසැකකම සඳහා සංකේතයක් වශයෙන් බයිබලය සමහර අවස්ථාවලදී සිංහයාව භාවිත කරයි. වික්රමාන්විත නැතහොත් ධෛර්යසම්පන්න පුරුෂයන්ව “සිංහයෙකුගේ සිත මෙන් සිතක්” සතුවූවන් ලෙස විස්තර කර තිබෙන අතර, ධර්මිෂ්ඨයන් “සිංහයෙකු මෙන් නිර්භීතව” සිටින බව පවසා තිබේ. (2 සාමුවෙල් 17:10; හිතෝපදේශ 28:1) විශේෂයෙන්ම අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවකදී, “මෘගයන් අතරෙන් ඉතා බලවන්තයා” ලෙස සිංහයා, ඌට උගේ කීර්තිය ලැබිය යුතු බව පෙන්වයි.—හිතෝපදේශ 30:30.
යෙහෝවඃ දෙවියන්වහන්සේ, ස්වකීය ජනතාව ආරක්ෂා කිරීමට වූ සිය අධිෂ්ඨානය සිංහයෙකුගේ නිර්භීතකමට සමාන කරනසේක. යෙසායා 31:4, 5 මෙසේ ප්රකාශ කරයි: “සිංහයා වුවත් තරුණ සිංහයා වුවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්ද . . . පිට සටන්කරන්ට බසිනසේක . . . ඒක ආරක්ෂාකොට ගළවනසේක, එය මතුපිට හැසිරෙමින් ප්රවේසම්කරනසේක.” මෙලෙස විශේෂයෙන්ම විපත්ති හමුවේ, යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට උන්වහන්සේගේ ක්රියාකාරි සැලකිල්ල සහතික කරනසේක.
බයිබලය, මිනිස්වර්ගයාගේ දරුණුතම විරුද්ධකාරයා වන සාතන් නමැති යක්ෂයාව, ගොරවන කෑදර සිංහයෙකු හා සසඳයි. ඔහුගේ ගොදුර බවට පත්වීමෙන් වැළැක්වීම සඳහා අපට ශුද්ධ ලියවිලිවල මෙසේ පවසා තිබේ: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා.” (1 පේතෘස් 5:8) මෙය කළ හැකි එක් ක්රමයක් වන්නේ, මාරාන්තික ආත්මික නිදිබරගතිය මඟහැරීමයි. මේ සම්බන්ධයෙන් යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගනිල්ලා.” (ලූක් 21:34-36) එසේය, මෙම “අන්තිම දවස්වලදී” ආත්මිකව අවදිව සිටීමෙන්, “සිංහයෙකුගේ සිත මෙන් සිතක්” එනම් ‘යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තබා ස්ථිරව’ පවතින සිතක් අප සතු කරගත හැක.—2 තිමෝති 3:1; ගීතාවලිය 112:7, 8.