අදදින ‘දේවමාළිගාව’ සහ “අධිපතියා”
“ඔවුන් ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය.”—එසකියෙල් 46:10.
1, 2. එසකියෙල්ගේ දේවමාළිගා දර්ශනයේ අර්ථය සෑහෙන දුරට අනාවරණය කිරීමට අපට උපකාර කරන්නේ කිනම් මූලික සත්‍යයද?
එසකියෙල්ගේ පොත සමහර යුදෙව් රබ්බිවරුන්ව සෑහෙන අමාරුවේ හෙළුවා. ඔවුන්ගෙන් සමහරෙක් ශුද්ධ ලියවිල්ලේ පොත් පෙළෙන් මේ පොත ඉවත් කරන්න පවා කල්පනා කළා කියා තල්මුඩය පවසනවා. දේවමාළිගා දර්ශනය තේරුම්ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි අපහසුතාවක් තිබූ අතර, එය මිනිස් අවබෝධයෙන් ඔබ්බට තිබූ දෙයක් බව ප්‍රකාශ කළා. යෙහෝවාගේ මාළිගාව ගැන එසකියෙල්ගේ දර්ශනය මගින්, වෙනත් බයිබල් විශාරදයන් ව්‍යාකූල වී සිටිනවා. අප ගැන කියන්න පුළුවන් මොනවාද?
2 නිර්මල නමස්කාරය නැවත පිහිටෙවූ අවස්ථාවේ ඉඳලා, යෙහෝවා ඔහුගේ සෙනඟට ආත්මික තීක්ෂ්ණ බුද්ධියේ ආලෝකයෙන් බොහෝ සේ ආශීර්වාද කර තිබෙනවා; එයට, දෙවිගේ ආත්මික දේවමාළිගාව වන නිර්මල නමස්කාරය සඳහා යෙහෝවාගේ දේවමාළිගා විධිවිධානය පිළිබඳ වටහාගැන්මද ඇතුළත් වෙනවා.a එසකියෙල්ගේ දේවමාළිගා දර්ශනයේ අර්ථය සෑහෙන දුරට අනාවරණය කිරීමට මේ මූලික සත්‍යය අපිට උපකාර කරනවා. මේ දර්ශනයේ අංග හතර අපි වඩා සමීපව සලකා බලමු; ඒවා නම්: දේවමාළිගාව, පූජක තන්ත්රය, අධිපතියා සහ දේශයයි. මේවායින් අදදින අර්ථවත් වන්නේ මොනවාද?
දේවමාළිගාව සහ ඔබ
3. දේවමාළිගාවට ඇතුල් වන ස්ථානයේ ඇති උස සිවිලිමෙන් සහ බිත්තියේ කොටා ඇති දේවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
3 දර්ශනයෙන් දුටු දේවමාළිගාව තුළ අපි සංචාරයක යෙදෙනවා කියා හිතේ මවාගන්න. විශාල දොරටුවක් කරා පියවර හතක් අපි ඉහළට නඟිනවා. ඇතුල් වන ස්ථානයේ සිට අපි පුදුමයෙන් හිස ඔසවා බලනවා. සිවිලිම තියෙන්නේ අපිට වඩා අඩි 100ක් ඉහළින්! මෙසේ නමස්කාරය සඳහා යෙහෝවාගේ විධිවිධානයට ඇතුල් වීමට තිබෙන ප්‍රමිති ඉතා උසස් බව අපිට මතක් කර තිබෙනවා. ජනේලයෙන් ඇතුල් වන ආලෝක කදම්බ බිත්තියේ කොටා ඇති තාල වර්ගයේ ගස් ආලෝකවත් කරනවා. ශුද්ධ ලියවිලිවල මේවා පාවිච්චි කරන්නේ ඍජුභාවය සංකේතවත් කිරීමටයි. (ගීතාවලිය 92:12; එසකියෙල් 40:14, 16, 22) මේ ශුද්ධ වූ ස්ථානය සදාචාරමයව සහ ආත්මිකව ඍජු අය සඳහා පමණයි. මේ අනුව, අපේ නමස්කාරය යෙහෝවාට පිළිගත හැකි එකක් වීම සඳහා අප ඍජුව කටයුතු කරන්න ඕනෙ.—ගීතාවලිය 11:7.
4. දේවමාළිගාවට ඇතුල් විය නොහැක්කේ කාටද? එමෙන්ම, එයින් අපට උගන්වන පාඩම කුමක්ද?
4 පටු මඟ දෙපැත්තේ මුර කුටි තුනක් තිබෙනවා. දේවමාළිගාව ඇතුළට යන්න මුරකරුවන් අපිට අවසර දෙයිද? “අචර්මඡේදිත සිතක් [හෘදයක්, NW]” ඇති කිසි විදේශිකයෙක් ඇතුල් නොවිය යුතු බව යෙහෝවා එසකියෙල්ට කියනවා. (එසකියෙල් 40:10; 44:9) එයින් අදහස් කරන්නේ කුමක්ද? නමස්කාරකයන් හැටියට දෙවි පිළිගන්නේ ඔහුගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන සහ ඒවාට එකඟව ජීවත් වන අයව විතරයි කියන එකයි. (යෙරෙමියා 4:4; රෝම 2:29) එවැනි අයව යෙහෝවා ඔහුගේ ආත්මික මණ්ඩපයට, ඒ කියන්නේ ඔහුගේ නමස්කාර ගෘහයට පිළිගන්නවා. (ගීතාවලිය 15:1-5) වර්ෂ 1919දී නිර්මල නමස්කාරය නැවත පිහිටෙවූ දා සිට, යෙහෝවාගේ භූමික සංවිධානය ඔහුගේ සදාචාර නීති තහවුරු කර ඇති අතර, ඒවා ප්රගතිශීලී ලෙස පැහැදිලි කර තිබෙනවා. කීකරු වීම කැමැත්තෙන්ම ප්‍රතික්ෂේප කරන අයව, තවදුරටත් ඔහුගේ සෙනඟ සමඟ ආශ්‍රය කිරීමට පිළිගන්න යන්නේ නැහැ. අදදින, පසුතැවිලි නොවන වැරදිකරුවන්ව සභා ඇසුරෙන් කපාහැරීමේ බයිබලය මත පදනම් ක්‍රියාව, අපේ නමස්කාරය පවිත්‍රව සහ නිර්මලව තබාගැනීමට දායක වී තිබෙනවා.—1 කොරින්ති 5:13.
5. (අ) එසකියෙල්ගේ දර්ශනයත් එළිදරව් 7:9-15 දක්වා වාර්තා කර ඇති යොහන්ගේ දර්ශනයත් අතර ඇති සමානකම් මොනවාද? (ආ) එසකියෙල්ගේ දර්ශනයේ, පිට මළුවේ සිට නමස්කාර කරන ගෝත්‍ර 12න් නියෝජනය කරන්නේ කාවද?
5 පටු මඟ විවෘත වෙන්නේ ජනයා යෙහෝවාට නමස්කාර සහ ප්‍රශංසා කරන පිට මළුව වෙතටයි. “මහත් සමූහය” යෙහෝවාට ‘ඔහුගේ මාළිගාවේ රෑ දාවල් සේවය’ කිරීම පිළිබඳ ප්‍රේරිත යොහන්ගේ දර්ශනය මෙය අපිට මතක් කරනවා. දර්ශන දෙකේදීම තාල වර්ගයේ ගස් පෙනෙන්න තිබෙනවා. ඒවා එසකියෙල්ගේ දර්ශනයේදී ඇතුල් වෙන තැන පවුරු අලංකාර කරනවා. යොහන්ගේ දර්ශනයේදී නමස්කාරකයන්ගේ අත්වල තාලපත්‍ර ඇති අතර, එයින් සංකේතවත් වන්නේ යෙහෝවාට සේවය කිරීමේ සහ ඔවුන්ගේ රජු හැටියට යේසුස්ව පිළිගැනීමේ ප්‍රීතියයි. (එළිදරව් 7:9-15) එසකියෙල්ගේ දර්ශනයේ පද සම්බන්ධය තුළ ඉශ්රායෙල්හි ගෝත්‍ර 12 ‘වෙනත් බැටළුවන්ව’ පූර්වාදර්ශනය කරනවා. (යොහන් 10:16; සසඳන්න ලූක් 22:28-30.) ඔබත් යෙහෝවාගේ රාජ්‍යය ප්‍රචාරය කිරීමෙන් ඔහුට ප්‍රශංසාව ගෙන ඒම මගින් ප්‍රීතිය සොයාගන්නා අයගෙන් කෙනෙක්ද?
6. පිට මළුවේ කෑම කාමර තිබුණේ කිනම් අරමුණක් සඳහාද? එමෙන්ම, මෙය වෙනත් බැටළුවන්ගේ කිනම් වරප්‍රසාදයක් මතක් කරනවා විය හැකිද?
6 අපි පිට මළුවේ සංචාරය කරද්දී, ජනයාට තම ස්වේච්ඡා පූජාවන්වලට පංගුකාරයන් වීම සඳහා ඇති කෑම කාමර 30ක් දැකබලා ගන්න පුළුවන්. (එසකියෙල් 40:17) අදදින, වෙනත් බැටළුවෝ සත්ව යාග පූජා කරන්නේ නැහැ. එහෙත්, ඔවුන් ආත්මික දේවමාළිගාවට හිස් අතින් එන්නේ නැහැ. (නික්මයාම 23:15 සසඳන්න.) ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවිගේ නාමයට ස්තුති කරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව ඔහුම කරණකොටගෙන නිතරම දෙවිට ඔප්පු කරමු. නුමුත් යහපත්කම් කරන්ටත් අනුන්ට බෙදා දෙන්ටත් මතක නැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවි ප්‍රසන්න වන්නේය.’ (හෙබ්‍රෙව් 13:15, 16; හොෂෙයා 14:2) යෙහෝවාට එවැනි පූජාවක් ඔප්පු කිරීමට ලැබෙන එක මහත් වරප්‍රසාදයක්.—හිතෝපදේශ 3:9, 27.
7. දේවමාළිගාව මැනීමෙන් අපට කුමක් ගැන සහතිකයක් ලැබෙනවාද?
7 දර්ශනයෙන් දුටු මේ දේවමාළිගාව දේවදූතයෙක් විසින් මනිද්දී එසකියෙල් බලාගෙන සිටිනවා. (එසකියෙල් 40:3) ඒ හා සමානව, “නැගිට [දෙවිගේ] මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න” කියා ප්‍රේරිත යොහන්ට කිව්වා. (එළිදරව් 11:1) මේ මැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද? පෙනෙන විදිහට මේ අවස්ථා දෙකේදීම මේ මැනීම, නිර්මල නමස්කාරය සම්බන්ධ තම අරමුණු ඉටු කිරීමෙන් යෙහෝවාව නවත්වන්න කිසිම දෙයකට නොහැකි බවට සහතිකයක් හෝ සලකුණක් ලෙස ක්‍රියා කළා. ඒ වගේ අදත්, ප්‍රබල ආණ්ඩුවලින් පැමිණෙන බිහිසුණු විරුද්ධවාදිකම් තියා කිසිම දෙයකට, නිර්මල නමස්කාරය නැවත පිහිටුවීම නවත්වන්න හැකි වන්නේ නැති බවට ස්ථිර වෙන්න අපිට පුළුවන්.
8. ඇතුල් මළුවේ දොරටුවෙන් ඇතුල් වන්නේ කවුද? එමෙන්ම, මේ දොරටු අපට මතක් කර දෙන්නේ කුමක්ද?
8 අපි පිට මළුව හරහා ඇවිදගෙන යද්දී, ඇතුල් මළුවට මඟ පෙන්වන දොරටු තුනක් තිබෙන බව දකින්න ලැබෙනවා; මේ ඇතුල් දොරටු, පිටත දොරටුවලට මුහුණලා තිබෙන අතර, ප්‍රමාණයෙන් එක හා සමානයි. (එසකියෙල් 40:6, 20, 23, 24, 27) ඇතුල් මළුවට යන්න පුළුවන් පූජකයන්ට විතරයි. ආලේප ලත් අය විසින් දිව්‍ය ප්‍රමිති සහ නීතිවලට එකඟව ජීවත් විය යුතු අතර, සෑම සැබෑ ක්රිස්තියානියෙකුවමද එම ප්‍රමිති සහ නීති මගින් මඟ පෙන්වනු ලබන බව ඇතුල් දොරටු අපිට සිහිගන්වනවා. එහෙත්, පූජකයන්ගේ වැඩය කුමක්ද, එය අදට ලබා දෙන්නේ කිනම් අර්ථයක්ද?
විශ්වාසවන්ත පූජක තන්ත්රයක්
9, 10. එසකියෙල්ගේ දර්ශනයේ පූජක පංතියෙන් පූර්වාදර්ශනය කෙරෙන ‘රාජකීය පූජක තන්ත්රය,’ ආත්මික උපදෙස් සපයා ඇත්තේ කෙසේද?
9 පූර්ව-ක්‍රිස්තියානි කාලවල, පූජකයන් දේවමාළිගාවේ දුෂ්කර වැඩවල යෙදුණා. පූජා සඳහා සතුන් මැරීම, පූජාසනය මත ඒවා ඔප්පු කිරීම සහ සෙසු පූජකයන්ට මෙන්ම ජනයාට සේවය කිරීම ශාරීරිකව වෙහෙසකර වුණා. නමුත් ඔවුන්ට තවත් වැදගත් වැඩක් තිබුණා. පූජකයන් සම්බන්ධයෙන් යෙහෝවා මෙසේ අණ කළා: “ශුද්ධ වූ එක සහ ශුද්ධ නැති [කෙලෙසුණු, NW] එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.”—එසකියෙල් 44:23; මලාකී 2:7.
10 නිර්මල නමස්කාරය උදෙසා ආලේප ලත් අය, මණ්ඩලයක් හෙවත් ‘රාජකීය පූජක තන්ත්රයක්’ හැටියට කර තිබෙන දුෂ්කර වැඩය සහ නිහතමානී සේවය ඔබ අගය කරනවාද? (1 පේතෘස් 2:9) පුරාණයේ සිටි ලෙවී පූජක තන්ත්රය වගේ, ආත්මික උපදෙස් දීම සඳහා ඔවුන් මූලිකත්වය ගෙන ඇති අතර, පවිත්‍ර සහ දෙවිගේ ඇස් ඉදිරියේ පිළිගත හැකි දෙය සහ පිළිගත නොහැකි දෙය තේරුම්ගන්න ජනයාට උපකාර කරනවා. (මතෙව් 24:45) බයිබලය මත පදනම් ප්‍රකාශන, ක්‍රිස්තියානි රැස්වීම් සහ සමුළු මාර්ගයෙන් පැමිණෙන එවැනි උපදෙස්, දෙවි සමඟ සමගි වීමට මිලියන ගණනකට උපකාර කර තිබෙනවා.—2 කොරින්ති 5:20.
11. (අ) පූජකයන්ගේ පවිත්‍රත්වයේ වැදගත්කම ගැන එසකියෙල්ගේ දර්ශනය කාවැද්දුවේ කෙසේද? (ආ) අන්තිම දවස්වලදී, ආලේප ලත් අයව ආත්මික අර්ථයකින් පවිත්‍ර කර ඇත්තේ කෙසේද?
11 කෙසේවෙතත්, පවිත්‍රව සිටින්න අනිත් අයට උගන්වනවාට වඩා දෙයක් පූජකයන් කළ යුතුයි; ඔවුන්ම පවිත්‍රව සිටිය යුතුයි. මෙසේ, ඉශ්රායෙල් පූජක තනතුර පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියක් යටතට ගෙන ඒම එසකියෙල් කලින් දුටුවා. (එසකියෙල් 44:10-16) සමානාකාරයෙන්, 1918දී යෙහෝවා ආලේප ලත් පූජක පංතිය පරීක්ෂා කරමින්, “පිරිසිදුකරන කෙනෙක් මෙන්” ඔහුගේ ආත්මික දේවමාළිගාවේ වාඩි වූ බව ඉතිහාසයෙන් පෙන්වනවා. (මලාකී 3:1-5) ආත්මිකව පවිත්‍රයි කියා සැලකූ, කලින් කළාවූ පිළිම නමස්කාරය සම්බන්ධයෙන් පසුතැවිලි වූ අයට ඔහුගේ ආත්මික දේවමාළිගාවේ සේවා වරප්රසාදවල නොකඩවාම යෙදෙන්න ඉඩහැරියා. එහෙත්, අනිත් අය වගේ, සෑම ආලේප ලත් තැනැත්තෙක්ම ආත්මිකව සහ සදාචාරමයව අපවිත්‍ර වෙන්න පුළුවන්. (එසකියෙල් 44:22, 25-27) ඔවුන්ට, “ලෝකයෙන් කැළැල් නොවී” සිටීම සඳහා වෙහෙසී වැඩ කරන්න සිදු වෙනවා.—යාකොබ් 1:27, NW; සසඳන්න මාර්ක් 7:20-23.
12. ආලේප ලත් අයගේ වැඩය අප අගය කළ යුත්තේ මන්ද?
12 අපි එක් එක්කෙනා අපෙන්ම මෙසේ අසන්න ඉඩ තිබෙනවා: ‘ආලේප ලත් අය අවුරුදු ගණනාවක් පුරා ඇදහිලිවන්ත සේවය තුළ තබා තිබෙන ආදර්ශය මම අගය කරනවාද? ඔවුන්ගේ ඇදහිල්ල මම ආදර්ශයට ගන්නවාද?’ ආලේප ලත් අය හැමදාම තමන් සමඟ පොළොවේ නොසිටින බව මහත් සමූහයේ අය මතක තබාගැනීම අවශ්‍යයි. පූජකයන් සම්බන්ධයෙන් එසකියෙල්ගේ දර්ශනයේදී යෙහෝවා මෙසේ කිව්වා: “නුඹලා ඔවුන්ට ඉශ්රායෙල්වරුන් අතරෙහි කොටසක් නොදිය යුතුය; ඔවුන්ගේ කොටස මමය.” (එසකියෙල් 44:28) ඊට සමානව, ආලේප ලත් අයට පොළොව මත සදාකාලික ස්ථානයක් නැහැ. ඔවුන්ට ඇත්තේ ස්වර්ගීය උරුමයක් වන අතර, ඔවුන් මේ පොළොව මත සිටිද්දී ඔවුන්ට සහය වීම සහ ඔවුන්ව දිරිගැන්වීම මහත් සමූහයේ අය වරප්‍රසාදයක් ලෙස සලකනවා.—මතෙව් 25:34-40; 1 පේතෘස් 1:3, 4.
අධිපතියා—ඔහු කවුද?
13, 14. (අ) අධිපතියා වෙනත් බැටළුවෙක් විය යුත්තේ මන්ද? (ආ) අධිපතියාගෙන් සංකේතවත් කරන්නේ කාවද?
13 දැන් කුතුහලය අවුස්සන ප්‍රශ්නයක් පැනනඟිනවා. එහෙම නම්, කාවද අධිපතියාගෙන් නියෝජනය වන්නේ? ඔහු පුද්ගලයෙක් සහ කණ්ඩායමක් හැටියට කතා කරන නිසා, ඔහු මිනිස් පංතියක් නියෝජනය කරනවා කියල අපිට හිතන්න පුළුවන්. (එසකියෙල් 44:3; 45:8, 9) ඒත්, ඒ කව්ද? නිසැකවම ආලේප ලත් අය නම් නෙවෙයි. දර්ශනයේදී, ඔහු පූජක තන්ත්රය සමඟ ඉතා සමීපව වැඩ කළත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙක් නෙවෙයි. පූජක පංතියට වෙනස්ව, ඔහුට දේශයේ උරුමයක් දුන් අතර, ඒ අනුව ඔහුට ඇත්තේ පොළොව මත මිස ස්වර්ගීය අනාගතයක් නෙවෙයි. (එසකියෙල් 48:21) තවදුරටත්, එසකියෙල් 46:10 මෙසේ කියනවා: “ඔවුන් [පූජක නොවූ ගෝත්‍ර] [දේවමාළිගාවේ පිට මළුවට] ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය.” ඔහු ඇතුල් මළුවට ඇතුල් වන්නේ නැති වුණත්, සෙනඟ සමඟ දේවමාළිගාවට ඇතුල් වී පිට මළුවේ සිට නමස්කාරයේ යෙදී පිට වී යනවා. මෙසේ, අධිපතියා වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය අතරේ සිටින බවට මේ කාරණා ස්ථිර කරනවා.
14 පැහැදිලිවම, අධිපතියාට යෙහෝවාගේ සෙනඟ අතරේ යම් වගකීමක් තිබෙනවා. ඔහු පිට මළුවේ නැඟෙනහිර දොරටු ශාලාවේ වාඩි වෙලයි ඉන්නේ. (එසකියෙල් 44:2, 3) නුවර දොරටුවේ ඉඳගෙන විනිශ්චය කරමින් සිටි ඉශ්රායෙල්හි වැඩිමහල්ලන්ට සමාන අධීක්ෂණ තනතුරක් මෙයින් අඟවනවා. (රූත් 4:1-12; හිතෝපදේශ 22:22) මහත් සමූහය අතරේ අදදින අධීක්ෂණ කටයුතු හොබවන්නේ කවුද? භූමික බලාපොරොත්තුවක් ඇති වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ, ශුද්ධාත්මයෙන්. (ක්‍රියා 20:28) මේ අනුව ඉදිරියේදී නව ලෝකයේ පරිපාලන සේවාවන්හි කටයුතු කිරීම සඳහා අධිපති පංතියව දැන් සූදානම් කරමින් තිබෙනවා.
15. (අ) මහත් සමූහයට සහ ආලේප ලත් පූජක පංතියට අයිති වැඩිමහල්ලන් අතර ඇති සම්බන්ධය මත එසකියෙල්ගේ දර්ශනය ආලෝකය හෙළන්නේ කෙසේද? (ආ) දෙවිගේ භූමික සංවිධානය තුළ ආලේප ලත් වැඩිමහල්ලන් ගෙන තිබෙන මූලිකත්වය කුමක්ද?
15 කෙසේවෙතත්, අදදින ආලේප ලත් පූජක පංතිය සහ මහත් සමූහයේ කොටසක් වන අධීක්ෂණ කටයුතුවල සේවය කරන වැඩිමහල්ලන් අතර ඇති සම්බන්ධය කුමක්ද? ආලේප ලත් අය ආත්මික කාරණාවල පෙරමුණ ගනිද්දී, මහත් සමූහයේ සාමාජිකයන් වන වැඩිමහල්ලන් ඔවුන්ට යටත් වන අතර, සහයෝගීතාවේ කාර්යභාරයක් උසුලන බව එසකියෙල්ගේ දර්ශනය යෝජනා කරනවා. ඒ කෙසේද? දර්ශනයේදී ආත්මික කාරණා ගැන සෙනඟට ඉගැන්වීමේ වගකීම පූජකයන්ට දී තිබූ බව මතක තබාගන්න. නීතික කටයුතුවලදී විනිශ්චයකාරයන් හැටියට ක්‍රියා කරන්න කියාත් ඔවුන්ට කිව්වා. අමතරව, ලෙවීවරුන්ව දේවමාළිගාවේ දොරටුවල “රැකවල්ලු” හැටියටත් පත් කළා. (එසකියෙල් 44:11, 23, 24) පැහැදිලිවම, පූජකයන්ගේ ආත්මික සේවාවන්ට සහ මූලිකත්වයට යටත් වෙන්න අධිපතියාට නියමිතව තිබුණා. ඒ නිසා, වර්තමාන කාලවල ආලේප ලත් අය නිර්මල නමස්කාරයේ මූලිකත්වය ගෙන තිබීම උචිතයි. උදාහරණයක් හැටියට, ඔවුන් අතරෙන්මයි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ව තෝරාගෙන තියෙන්නේ. එවැනි විශ්වාසවන්ත ආලේප ලත් වැඩිමහල්ලන් විසින්, වැඩි වෙමින් පවතින අධිපති පංතිය දශක ගණනාවක් තිස්සේ පුහුණු කරනු ලබමින් සිටිනවා; පැමිණෙන්න යන දෙවිගේ නව ලෝකයේදී අධිපති පංතියට පූර්ණ අධිකාරය හොබවන්න පැවරුම් ලැබෙන දවස සඳහා, මේ පංතියේ සිටින අපේක්ෂිත සාමාජිකයන්ව ඔවුන් සූදානම් කරමින් සිටිනවා.
16. යෙසායා 32:1, 2ට අනුව, සෑම වැඩිමහල්ලෙක්ම ක්‍රියා කළ යුත්තේ කෙසේද?
16 අධිපති පංතිය හැටියට වඩා විශාල වගකීම් සම්භාරයක් ලැබීමට තරම් සුදුසු මේ අපේක්ෂිත සාමාජිකයන් කොයි ආකාරයේ අවේක්ෂකයන්ද? යෙසායා 32:1, 2හි දැකීමට තිබෙන අනාවැකිය මෙසේ කියනවා: “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද [කුමාරවරුන්ද, NW] දැහැමින් අධිපතිකම් [පාලනය, NW] කරන්නෝය. මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් අතර සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් මාර්ගයෙන් මේ අනාවැකිය අදදින ඉටු වෙමින් පවතිනවා. පීඩා සහ අධෛර්යය වීම් වැනි ‘කුණාටුවලින්’ රැළ රැකගන්න වෑයම් කිරීමෙන් ඔවුන් එසේ කර තිබෙනවා.
17. ක්‍රිස්තියානි එඬේරුන් තමන්ව සැලකිය යුත්තේ කෙසේද? එමෙන්ම, රැළ ඔවුන්ව සැලකිය යුත්තේ කෙසේද?
17 ‘කුමාරයා’ සහ “අධිපතියා” යන වචනවලට හෙබ්‍රෙව් භාෂාවෙන් සමාන අර්ථ ඇති අතර, ඒවා මනුෂ්‍යයන්ව උසස් කර දක්වන පදවි නාම ලෙස පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට, දෙවිගේ බැටළුවන්ව බලාගැනීමේ ඔවුන්ගේ වගකීම විස්තර කරනවා. යෙහෝවා දැඩි සේ අනතුරු අඟවන්නේ, “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද” කරන්න කියායි. (එසකියෙල් 45:9) අදදින සිටින සියලුම වැඩිමහල්ලන් විසින් මෙය හෘදයට ගැනීම හොඳයි. (1 පේතෘස් 5:2, 3) අනිත් අතට, එඬේරුන්ව යේසුස් සපයා තියෙන්නේ “තෑගි වශයෙන් වූ මනුෂ්‍යයන්” හැටියට බව රැළ තේරුම්ගන්නවා. (එපීස 4:8, NW) දෙවිගේ ආනුභාවය ලත් වචනය තුළ ඔවුන්ගේ සුදුසුකම් දක්වා තිබෙනවා. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) එමනිසා ක්‍රිස්තියානීන් වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරනවා.—හෙබ්‍රෙව් 13:7.
18. අපේක්ෂිත අධිපති පංතියට දැන් තිබෙන වගකීම් සමහරක් මොනවාද? එමෙන්ම, එහි අනාගත වගකීම වීමට යන්නේ කුමක්ද?
18 බයිබල් කාලවල සමහර අධිපතීන්ට වැඩි අධිකාරයකුත් අනිත් අයට අඩු අධිකාරයකුත් තිබුණා. අදදිනත්, මහත් සමූහයට අයිති වැඩිමහල්ලන්ටද විවිධාකාර වගකීම් තිබෙනවා. සමහර අය එක සභාවක සේවය කරනවා; තවත් අය සංචාරක අවේක්ෂකයන් හැටියට බොහෝ සභාවල සේවය කරනවා; වෙනත් අය ශාඛා කමිටු සාමාජිකයන් හැටියට මුළු රටටම සේවය කරනවා; එමෙන්ම තවත් අය පාලක මණ්ඩලයේ විවිධ කමිටුවලට කෙළින්ම සහය වෙනවා. නව ලෝකයේදී, පොළොව මත සිටින යෙහෝවාගේ නමස්කාරකයන් අතරේ පෙරමුණගෙන කටයුතු කිරීමට යේසුස් “මුළු පොළොවේ කුමාරවරුන්” පත් කරන්න යනවා. (ගීතාවලිය 45:16, NW) යේසුස් මොවුන්ගෙන් බොහෝදෙනෙක්ව අදදින සිටින විශ්වාසවන්ත වැඩිමහල්ලන් අතරෙන් තෝරාගන්නා බවට කිසිම සැකයක් නැහැ. මේ මනුෂ්‍යයන් තමන්ව ඒ සඳහා සුදුස්සන් බව දැන් ඔප්පු කරන නිසා, අලුත් ලොවේදී අධිපති පංතියේ කාර්යභාරය හෙළි කරද්දී, විශාල වරප්‍රසාද විශ්වාසයෙන් බාර දීම සඳහා අනාගතයේදී ඔහු මේ අයව තෝරාගන්න යනවා.
අදදින දෙවිගේ ජනයාගේ දේශය
19. එසකියෙල්ගේ දර්ශනයේ දේශයෙන් නියෝජනය කරන්නේ කුමක්ද?
19 එසකියෙල්ගේ දර්ශනය, ඉශ්රායෙල්හි නැවත පිහිටුවන ලද දේශයත් පිළිබිඹු කරනවා. දර්ශනයේ මෙම අංගයෙන් නියෝජනය කරන්නේ කුමක්ද? නැවත පිහිටුවීම සම්බන්ධ අනිකුත් අනාවැකි දේශය එනම් ඉශ්රායෙලය, ඒදන් උයන මෙන් පාරාදීසයක් වන බව පුරෝකථනය කළා. (එසකියෙල් 36:34, 35) අදදින, අපි නැවත පිහිටුවන ලද ‘දේශයක්’ භුක්ති විඳින අතර, එය එක් අර්ථයකින් ඒදන් උයන හා සමානයි. ඊට සමානව, අපි අපේ ආත්මික පාරාදීසය ගැන බොහෝවිට කතා කරනවා. මුරටැඹ සඟරාව, අපේ “දේශය” විස්තර කර තියෙන්නේ, දෙවිගේ තෝරාගත් සෙනඟගේ “ක්‍රියාකාරකම්වල ක්ෂේත්රයක්” හැටියටයි.b යෙහෝවාගේ සේවකයෙක් කොහේ සිටියත්, ක්‍රිස්තුස් යේසුස්ගේ අඩි පාරේ ගමන් කිරීමෙන් සැබෑ නමස්කාරය තහවුරු කිරීමට උත්සාහ කරන තාක් කල්, ඔහු සිටින්නේ එම නැවත පිහිටුවන ලද දේශයෙයි.—1 පේතෘස් 2:21.
20. එසකියෙල්ගේ දර්ශනයේ ‘ශුද්ධ වූ උපහාරය’ කියන බිම් කොටසෙන් කිනම් ප්‍රතිපත්තියක් අපට ඉගෙනගැනීමට හැකි වේද? එමෙන්ම, මෙම ප්‍රතිපත්තිය අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
20 ‘ශුද්ධ වූ උපහාරය’ කියන බිම් කොටස ගැන කිව හැක්කේ කුමක්ද? මෙය පූජක තන්ත්රය සහ නුවරට උපකාරයක් වශයෙන් සෙනඟ විසින් සම්මාදම් කිරීමට නියමිත වූ කොටසයි. ඒ හා සමානව, ඉඩමෙන් කොටසක් අධිපතියාට සම්මාදම් කරන්න “දේශයේ මුළු [සෙනඟට]” සිදු වුණා. අදදින එයින් අදහස් කරන්නේ කුමක්ද? ඇත්තෙන්ම පඩි ගෙවන පූජක පංතියක් හේතුවෙන් දෙවිගේ ජනයා මත බර පටවා නැහැ. (2 තෙසලෝනික 3:8) ඒ වෙනුවට, ඔවුන් වැඩිමහල්ලන්ට දෙන සහයෝගය මූලිකව ආත්මික එකක්. පවරා ඇති වැඩයට සහය වීමත්, සහයෝගී සහ යටහත් ස්ප්‍රීතුවක් පෙන්වීමත් ඊට ඇතුළත් වෙනවා. ඒත් එසකියෙල්ගේ දවසේදී මෙන්, මේ සම්මාදම දෙනු ලබන්නේ ‘යෙහෝවාට’ මිස කිසිම මනුෂ්‍යයෙකුට නෙවෙයි.—එසකියෙල් 45:1, 7, 16.
21. එසකියෙල්ගේ දර්ශනයේ දේශය බෙදීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
21 නැවත පිහිටුවන ලද මේ දේශයේ, ස්ථාන පවරා තිබුණේ අධිපතියාට සහ පූජකයන්ට පමණක් නෙවෙයි. ගෝත්‍ර 12 සියලුමදෙනාට සුරක්ෂිත උරුමයක් තිබෙන බව දේශය බෙදීම මගින් පෙන්වනවා. (එසකියෙල් 47:13, 22, 23) ඉතින්, මහත් සමූහයට අයිති අයට අදදින ආත්මික පාරාදීසයේ ස්ථානයක් තිබෙනවා පමණක් නෙවෙයි, ඔවුන්ට දෙවිගේ රාජ්‍යයේ භූමික විෂයේ ස්ථානයක් උරුම කරගත්තාම දේශය තුළ බිම් කොටසක් නියම කරනු ලබනවා.
22. (අ) එසකියෙල්ගේ දර්ශනයේ නුවරෙන් නියෝජනය කරන්නේ කුමක්ද? (ආ) නුවරෙහි සෑම පැත්තෙන්ම දොරටු තිබීමෙන් අපට කුමක් උගත හැකිද?
22 අන්තිම වශයෙන්, දර්ශනයේ ඇති නුවරින් නියෝජනය කරන්නේ කුමක්ද? එය ස්වර්ගීය එකක් නොවන අතර, එය පිහිටා තියෙන්නේ “කෙලෙසුණු” [NW] (ශුද්ධ නොවූ) දේශයක් මධ්‍යයේයි. (එසකියෙල් 48:15-17) එසේනම් එය භූමික එකක් විය යුතුයි. හොඳයි, නුවරක් කියන්නේ කුමක්ද? ජනයා කණ්ඩායමක් හැටියට එක් වී ව්‍යූහගත වීම සහ සංවිධානාත්මක යමක් සෑදීම කියන අදහස එයින් දෙන්නේ නැද්ද? ඔව්. මේ අනුව, නුවර භූමික පරිපාලනය සංකේතවත් කරන බව පෙනෙන අතර, ධර්මිෂ්ඨ භූමික සමාජයට අයිති සියලුදෙනාම ඉන් ප්‍රයෝජන ලබන්න යනවා. පැමිණීමට තිබෙන ‘අලුත් පොළොවේදී’ එය පූර්ණ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න යනවා. (2 පේතෘස් 3:13) සෑම ගෝත්‍රයක් සඳහාම එක බැගින් නුවරෙහි සෑම පැත්තේම දොරටු තිබීම, විවෘතභාවය අඟවනවා. අදදින, දෙවිගේ සෙනඟ සිටින්නේ, ගුප්ත, රහසිගත පරිපාලනයක් යටතේ නෙවෙයි. වගකීම් දරන සහෝදරයන් එළඹිය හැකි අය වේයයි බලාපොරොත්තු වන අතර, ඔවුන්ව මඟ පෙන්වන ප්‍රතිපත්ති සියලුදෙනාම දන්නා ඒවායි. ලෝක ව්‍යාප්ත දෙවිගේ ජනයා වෙනුවෙන් සකස් කර ඇති පරිපාලන විධිවිධානවලට වෙනත් බැටළුවන් ද්‍රව්‍යමය අතින් පවා සහය වීම, සියලුම ගෝත්‍රවල ජනයා දේශය වගා කර නුවරට සහය වීමෙන් අපිට මතක් කරනවා.—එසකියෙල් 48:19, 30-34.
23. මීළඟ ලිපියෙන් අප සලකන්න යන්නේ කුමක්ද?
23 කෙසේවෙතත්, දේවමාළිගා ශුද්ධස්ථානයෙන් ගලන්නාවූ ගංගාව ගැන කියන්න පුළුවන් මොනවාද? අදදිනට සහ අනාගතයට එය නියෝජනය කරන්නේ කුමක්ද යන්න මේ ලිපි මාලාවේ තුන්වන සහ අවසාන ලිපියේ විෂයයි.
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පොතේ, 64වන පිටුවේ 22වන ඡේදය බලන්න.
b මුරටැඹ 1995 ජූලි 1, 20වන පිටුව බලන්න.
පුනරීක්ෂණය සඳහා
◻ එසකියෙල්ගේ දර්ශනයේ දේවමාළිගාවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
◻ දේවමාළිගාවේ සේවය කරන පූජකයන්ගෙන් සංකේතවත් කරන්නේ කාවද?
◻ අධිපති පංතිය කුමක්ද? එමෙන්ම, එහි වගකීම් සමහරක් මොනවාද?
◻ එසකියෙල්ගේ දර්ශනයේ දේශය කුමක්ද? එමෙන්ම, එය ගෝත්‍ර 12කට වෙන් කර ඇත්තේ කිනම් අර්ථයෙන්ද?
◻ නුවරෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
[15වන පිටුවේ රූප සටහන⁄සිතියම]
(සඟරාව බලන්න)
එසකියෙල්ගේ දර්ශනයෙන් පෙන්වන දේශයේ බිම් කට්ටි
ගෝත්‍ර දොළහ
මධ්‍යධරණී මුහුද
ගලීල මුහුද
යොර්දාන් ගඟ
ලුණු මුහුද
දාන්
ආෂෙර්
නප්තලී
මනස්සේ
එප්‍රායිම්
රූබෙන්
යූදා
අධිපතියා
බෙන්යමින්
සිමියොන්
ඉස්සාකර්
සාබුලොන්
ගාද්
[රූප සටහන]
ශුද්ධ වූ උපහාරය යන කොටස විශාල කර
අ. “යෙහෝවා එහිය” (යෙහෝවා ෂාමා); ආ. නුවරෙහි සරුසාර භූමිය
ලෙවීවරුන්ගේ කොටස
යෙහෝවාගේ ශුද්ධස්ථානය
පූජකයන්ගේ කොටස
ආ අ ආ