දැනුත් සදහටත් ප්‍රීතිමත්ව
“මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්රීතිවෙයල්ලා. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්දකොට මවමි.”—යෙසායා 65:18.
1. ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා සැබෑ නමස්කාරය පුද්ගලයන්ට බලපා තිබෙන්නේ කෙසේද?
ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා, සැබෑ දෙවි වූ යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් අසංඛ්‍යාත සමූහයක් ඉමහත් ප්‍රීතියක් අද්දැක ඇත. සැබෑ නමස්කාරයෙහි ප්‍රීතිමත් වූ ඉන් එක් අයෙකි, දාවිත්. ගිවිසුම් පෙට්ටිය යෙරුසලම වෙත ගෙනෙනු ලැබූ විට, “දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය,” කියා බයිබලය විස්තර කරයි. (2 සාමුවෙල් 6:15) යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් ලද එවන් ප්‍රීතියක් නිකම්ම අතීතයට සීමා වූ යමක් නොවේ. ඔබටත් එයට සහභාගි විය හැක. තවද ඔබට ළඟදීම අලුත් ආකාරවලින් පවා ප්‍රීතියට පංගුකාරයෙකු විය හැක!
2. ආපසු පැමිණි යුදෙව්වන් සම්බන්ධ යෙසායා 35වන පරිච්ඡේදයෙහි මුල් ඉටුවීමට අමතරව, තවත් ඉටුවීමක් තුළ අදදින සම්බන්ධ වී සිටින්නෝ කවරහුද?
2 කලින් ලිපියෙහි, යෙසායා 35වන පරිච්ඡේදයෙහි වාර්තා කර තිබෙන පොලඹවනසුලු අනාවැකියේ මුල් ඉටුවීම අපි පිරික්සා බැලුවෙමු. අපට නිවැරදිව එය ප්‍රතිසංස්කරණ අනාවැකියක් ලෙස හැඳින්විය හැක, මන්දයත් අතීතයේ යුදෙව්වන්ට එවන් යමක් සිදු වූ බැවිනි. එයට අපේ කාලයේද සමාන ඉටුවීමක් තිබේ. ඒ කෙසේද? හොඳයි, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, මුලින් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් හා වෙනත් අය සමඟින් පටන්ගෙන, යෙහෝවඃවහන්සේ ආත්මික ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කර ඇත. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් අභිෂේක ලත් මිනිසුන් වන මොවුහු, ප්‍රේරිත පාවුල් විසින් හඳුන්වනු ලබන “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්[හි]” කොටසක් බවට පත් වෙති. (ගලාති 6:16; රෝම 8:15-17) එමෙන්ම, 1 පේතෘස් 2:9හි මෙම ක්‍රිස්තියානීන්ව “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද” වශයෙන් හඳුන්වා ඇති බව සිහියට නඟන්න. පේතෘස් ආත්මික ඉශ්රායෙල් වෙත පිරිනමන ලද පැවරුම මෙසේ හඳුන්වා දෙයි: “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන්” දැක්විය යුතුය.
අපේ කාලයේදී ඉටුවීමක්
3, 4. නවීන කාලයේදී යෙසායා 34වන පරිච්ඡේදය ඉටු වූ විට තත්වය කුමක් වීද?
3 මිහිපිට ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි කොටස, එවන් පණිවිඩයක් ප්‍රකාශ කිරීමෙහි අඛණ්ඩව ක්‍රියාශීලී නොවූ අවධියක් මෙම සියවසේ මුලදී දක්නට ලැබිණ. ඔවුහු දෙවියන්වහන්සේගේ විස්මපත් ආලෝකය තුළ සම්පූර්ණයෙන්ම ප්‍රීතිවෙමින් නොසිටියහ. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන් සිටියේ සෑහෙන අන්ධකාරයක් තුළය. ඒ කවදාද? තවද යෙහෝවඃ දෙවියන්වහන්සේ ඒ ගැන කළේ කුමක්ද?
4 වර්ෂ 1914, දෙවියන්වහන්සේගේ මෙසියානු රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටුවීමෙන් වැඩි කලක් යන්ට මත්තෙන්, පළමු ලෝක සංග්රාම සමයේදී එය සිදු විය. විවිධ දේශවල පල්ලිවල පූජක පක්ෂයේ අනුබලය ඇතුව, ජාතීහු එකිනෙකාට විරුද්ධව උදහස් වූවෝය. (එළිදරව් 11:17, 18) දෙවියන්වහන්සේ උඩඟු ඒදොම් ජාතියට විරුද්ධ වූවාක් මෙන්, උසස් වූ පූජක පංතියෙන් සමන්විත ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකයටද විරුද්ධ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින්, ප්‍රතිරූපක ඒදොම් වන ක්‍රිස්තියානි ලෝකය, යෙසායා 34වන පරිච්ඡේදයේ නවීන දින ඉටුවීම අද්දැකීමට ආසන්න තත්වයක සිටී. ඉපැරණි ඒදොම්ට එරෙහිව සිදු වූ මුල් ඉටුවීම මෙන්, නිත්‍ය විනාශයක් මගින් සිදු වන මෙම ඉටුවීම ගැනද කිසිදු සැකයක් නැත.—එළිදරව් 18:4-8, 19-21.
5. අපේ කාලයේදී යෙසායා 35වන පරිච්ඡේදය ඉටු වී ඇත්තේ කෙසේද?
5 ප්‍රීතිය අවධාරණය කරන යෙසායාගේ 35වන පරිච්ඡේදය ගැන කුමක් කිව හැකිද? එයද අපේ කාලය තුළදී ඉටු වී ඇත. ඒ කෙසේද? යම් ආකාරයක වහල්භාවයකින් ආත්මික ඉශ්‍රායෙල්ව යළි පිහිටුවීම තුළින් එය ඉටු වී තිබේ. තවමත් ජීවත්ව සිටින බොහෝදෙනෙකුගේ ජීවිත කාලය තුළදී සිදු වූ, සැබවින්ම මෑත දිව්‍යාණ්ඩු ඉතිහාසය ලෙස හැඳින්විය හැකි කාලයකට අදාළ කාරණා අපි පිරික්සා බලමු.
6. ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි කොටස වහල් තත්වයක සිටි බව පැවසිය හැක්කේ මන්ද?
6 පළමු ලෝක සංග්‍රාමය අතරතුර සාපේක්ෂ වශයෙන් කෙටි කාලය තුළදී, ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි කොටස මුළුමනින්ම පිරිසිදුව හා දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව කටයුතු කර නොතිබිණ. ඉගැන්වීම් පිළිබඳ දෝෂවලින් කැළැල් වූ ඉන් සමහරෙක්, යුද්ධයට සහභාගි වූ ජාතීන්ට අනුබල දීම සඳහා පීඩන යටතට පමුණුවනු ලැබූ විට, යෙහෝවඃවහන්සේට පක්ෂව පැහැදිලි ස්ථාවරයක් නොගැනීමෙන් සිය ප්‍රතිපත්ති පාවා දුන්හ. යුද්ධය පැවති එම අවුරුදු තුළදී, ඔවුන් විවිධාකාර පීඩාවලට ලක් වූ අතර, බොහෝ පෙදෙස්වල ඔවුන්ගේ බයිබලය මත පදනම් පොත් පත් පවා තහනම් කරනු ලැබීය. අන්තිමේදී, වඩාත් ප්රමුඛත්වයක් දැරූ සහෝදරයන් සමහරදෙනෙකුව වරදකරුවන් හැටියට තීන්දු කොට බොරු චෝදනා මත සිරභාරයට නියම කරන ලදි. ආපසු හැරී බලන විට, එක් අර්ථයකින් දෙවියන්වහන්සේගේ සෙනඟ නිදහස්ව සිටිනවා වෙනුවට, වහල් තත්වයක සිටි බව දැකගැනීම අපහසු යමක් නොවේ. (යොහන් 8:31, 32 සසඳන්න.) ඔවුන්ගේ ආත්මික දෘෂ්ටියේ බැරෑරුම් අඩු පාඩු තිබිණ. (එපීස 1:15ආ-18, 19ආ) දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාපේක්ෂ වශයෙන් නිහඬතාවක් පෙන්වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු ආත්මිකව ඵල නොදරන තත්වයක සිටියහ. (යෙසායා 32:3, 4; රෝම 14:11; පිලිප්පි 2:11) බබිලෝනියෙහි වහල්භාවයේ සිටි ඉපැරණි යුදෙව්වන්ගේ තත්වයට සමාන්තරව මෙය දිවයන අන්දම ඔබ දකින්නෙහිද?
7, 8. නවීන දින ඉතිරි කොටස කෙබඳු යළි පිහිටුවීමක් අද්දුටුවාද?
7 එහෙත් එම තත්වයේ සිටීමට දෙවියන්වහන්සේ ස්වකීය නවීන දින සේවකයන්ට ඉඩහරිනු ඇද්ද? නැත, යෙසායා තුළින් පුරෝකථනය කර තිබූ දෙයට අනුකූලව, ඔවුන්ව යළි පිහිටුවීමට උන්වහන්සේ අදිටන් කරගෙන සිටිසේක. මෙසේ, ඉතිරි කොටස ආත්මික පාරාදීසයක් තුළ සමෘද්ධියට හා හොඳ සෞඛ්‍යයකට යළි පිහිටුවනු ලැබීමත් සමඟම, යෙසා 35වන පරිච්ඡේදයේ තිබෙන මෙම අනාවැකියම අපේ කාලයේදී පැහැදිලිව ඉටු වේ. යෙසායාගේ අනාවැකියේ මෙම කොටස ආත්මිකව අදාළ කිරීමෙහි වලංගුතාව සනාථ කරමින්, පාවුල් හෙබ්‍රෙව් 12:12හි යෙසායා 35:3 උපමේය අන්දමකින් අදාළ කළේය.
8 යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදය තුළදී, උපමේය අන්දමකින්, ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි වූ අභිෂේක ලත් අය, වහල්භාවයෙන් පිටතට පැමිණියහ. ඔවුන්ව නිදහස් කිරීමට යෙහෝවඃ දෙවියන්වහන්සේ, වඩාත් ශ්‍රේෂ්ඨ කෝරෙෂ් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව උපයෝගි කරගත්සේක. මෙසේ, යෙරුසලමෙහි සැබෑ දේවමාළිගාව යළි ගොඩනැඟීම සඳහා, ආපසු සිය දේශය බලා ගමන් කළ ඉපැරණි යුදෙව්වන්ගේ ඉතිරි කොටස කළ වැඩයට සමානව, නැවත ගොඩනැඟීමේ වැඩයක නිරතවීමට මෙම ඉතිරි කොටසට හැකි විය. එපමණක්ද නොව, උපමේය ඒදන් උයනකට සමාන, හරිත වර්ණයෙන් සපිරි ආත්මික පාරාදීසයක් වගා කොට බිහි කිරීමෙහි නිරතවීමට නවීන කාලවල විසූ මෙම ආත්මික ඉශ්‍රායෙලිතයන්ට හැකියාව තිබිණ.
9. යෙසායා 35:1, 2, 5-7හි විස්තර කර තිබෙන දෙයට සමාන යමක් අපේ කාලයේදී වර්ධනය වූයේ කෙසේද?
9 ඉහත සඳහන් දේ මනසෙහි තබාගනිමින්, අපි යළිත් වරක් යෙසායා 35වන පරිච්ඡේදය සලකා, 1වන සහ 2වන පද දෙස මුලින්ම බලමු. ජල ශුන්‍ය ස්ථානයක් මෙන් පෙනුණු ප්‍රදේශය, සැබවින්ම මල් දරා පුරාණ ෂාරොන්හි තැනිතලා මෙන් ඵල දරන්ට පටන්ගත්තේය. දැන්, යෙසායා 35:5 සිට 7වන පදය දක්වා බලන්න. ඉතිරි කොටසගේ අවබෝධය නමැති ඇස් විවෘත කරන ලදි, ඉන් කිහිපදෙනෙක් තවමත් ජීවත් වෙමින් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි ක්‍රියාශීලීව නිරත වෙමින් සිටිති. වර්ෂ 1914දී හා ඉන්පසුව සිදු වූ දෙයෙහි අර්ථය වඩාත් පැහැදිලිව දැකගැනීමට ඔවුන්ට හැකි විය. දැන් ඉතිරි කොටස සමඟ එක්ව සේවය කරමින් සිටින “මහත් සමූහය” වන අප බොහෝදෙනා කෙරෙහිද ඊට බලපෑමක් තිබිණ.—එළිදරව් 7:9.
ඔබ මෙම ඉටුවීමෙහි පංගුකාරයෙක්ද?
10, 11. (අ) යෙසායා 35:5-7හි ඉටුවීමට ඔබ පෞද්ගලිකව සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද? (ආ) මෙම වෙනස්වීම් සම්බන්ධයෙන් ඔබට පෞද්ගලිකව හැඟෙන්නේ කෙසේද?
10 උදාහරණයක් හැටියට ඔබ ගැනම සිතා බලන්න. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමුවීමට පෙර, ඔබ බයිබලය නිතිපතා කියෙව්වෙහිද? ඔබ එසේ කළෙහි නම්, ඔබට කොපමණ අවබෝධයක් තිබිණද? නිදසුනක් වශයෙන්, මළවුන්ගේ තත්වය පිළිබඳ සත්‍යය ඔබ දැන් දන්නෙහිය. ඒ කාරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන යමෙකුට උත්පත්ති 2වන පරිච්ඡේදයේ, දේශනාකාරයා 9වන පරිච්ඡේදයේ හා එසකියෙල් 18වන පරිච්ඡේදයේ අදාළ ඡේද මෙන්ම වෙනත් වගන්ති බොහොමයක් පෙන්නුම් කිරීමට ඔබට පුළුවන් විය හැක. එසේය, විෂයන් හෝ ප්‍රශ්න බොහොමයක් පිළිබඳව බයිබලය උගන්වන දේ ඔබට අවබෝධ වීමට ඉඩ කඩ ඇත. සරලව කියනවා නම්, බයිබලය ඔබට තේරුම්ගැනීමට පහසු වන අතරම, කිසිදු සැකයකින් තොරව ඔබ කර තිබෙන්නාක් මෙන්, ඉන් බොහොමයක් අනුන්ට පැහැදිලි කිරීමට ඔබට හැක.
11 කෙසේවෙතත්, අප මෙසේ ඇසීම යෙහෙකි, ‘බයිබල් සත්‍යතාව පිළිබඳව මා දන්නා සියල්ල මා ඉගෙනගත්තේ කෙසේද? යෙහෝවඃවහන්සේගේ සෙනඟ සමඟ පාඩම් කිරීමට පෙර, මේ දැන් සඳහන් කළ වගන්ති මා සොයාගෙන තිබුණාද? ඒවායෙහි අර්ථය මට තේරී ගොස් ඒවායෙහි වැදගත්කම සම්බන්ධයෙන් හරි නිගමනවලට මා එළඹී තිබුණාද?’ මෙම ප්‍රශ්නවලට අවංක උත්තරය නැත විය හැක. එවන් ප්‍රකාශයක් ගැන කිසිවෙකු අමනාප නොවිය යුතු මුත්, මෙම ඡේද හා ඒවායෙහි අර්ථය සම්බන්ධයෙන් ඔබ අන්ධව සිටි බව මූලිකව පැවසිය හැක. එසේ නොවේද? ඒවා බයිබලයෙහි තිබූ නමුත්, ඒවා තේරුම්ගැනීමට හෝ ඒවායෙහි වැදගත්කම ග්‍රහණය කරගැනීමට ඔබට නොහැකි විය. එසේනම්, ඔබේ ඇස් ආත්මිකව විවෘත වූයේ කෙසේද? එය සිදු වී තිබෙන්නේ අභිෂේක ලත් ඉතිරි කොටස කෙරෙහි යෙසායා 35:5 ඉටු කිරීම තුළින් යෙහෝවඃවහන්සේ කර තිබෙන දෙය මගිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ ඇස්ද විවෘත වී තිබේ. ඔබ තවදුරටත් ආත්මික අන්ධකාරයෙහි නොසිටින්නෙහිය. ඔබට දැකිය හැක.—එළිදරව් 3:17, 18 සසඳන්න.
12. (අ) ආශ්චර්යවත් ශාරීරික සුවකිරීම් සඳහා මෙය කාලය නොවන බව අපට පැවසිය හැක්කේ මන්ද? (ආ) අපේ කාලයේදී යෙසායා 35:5 ඉටු වන අන්දම සහෝදර එෆ්. ඩබ්. ෆ්රාන්ස්ගේ තත්වය මගින් පැහැදිලි කරනු ලබන්නේ කෙසේද?
12 ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදය භෞතික ආශ්චර්යයන් හා සුවකිරීම් සඳහා කාලයක් නොවන බව, බයිබලය පිළිබඳව හා ගෙවී ගිය සියවස් පුරා දෙවියන්වහන්සේගේ කටයුතු පිළිබඳව උනන්දුමත් ශිෂ්‍යයෝ දනිති. (1 කොරින්ති 13:8-10) එනිසා තමා මෙසියස් වූ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ බව ඔප්පු කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අන්ධයන්ගේ ඇස් විවෘත කරයි කියා අපි අපේක්ෂා නොකරන්නෙමු. (යොහන් 9:1-7, 30-33) උන්වහන්සේ සියලු බිහිරන්ට ඇසීම ලබා දෙනවාද නොවේ. අභිෂේක ලත් කෙනෙකු මෙන්ම එවකට වොච් ටවර් සමිතියේ සභාපතිද වූ ෆ්රෙඩ්රික් ඩබ්. ෆ්රාන්ස්, වයස අවුරුදු සියයට එළඹෙන විට, සම්පූර්ණයෙන්ම පාහේ අන්ධ වූ අතර, ශ්රවණාධාරකයක් භාවිත කිරීමටද ඔහුට සිදු විය. වර්ෂ කිහිපයකට, කියවීමට බැරි තරම් ඔහුගේ පෙනීම දුර්වල වී තිබිණ; එහෙත්, යෙසායා 35:5හි අර්ථයට අනුව ඔහුව අන්ධයෙකු හෝ බිහිරෙකු හෝ හැටියට සලකනු ඇත්තේ කවරෙක්ද? ඔහුගේ තියුණු ආත්මික දෘෂ්ටිය ලොව පුරා දෙවියන්වහන්සේගේ සෙනඟට ආශීර්වාදයක් විය.
13. දෙවියන්වහන්සේගේ නවීන දින සෙනඟ අද්දුටු වෙනස නොහොත් යළි පිහිටුවීම කුමක්ද?
13 නැතහොත් ඔබේ දිව ගැන කුමක් කිව හැකිද? සිය ආත්මික වහල්භාවය තුළදී දෙවියන්වහන්සේගේ අභිෂේක ලත් සෙනඟ නිහඬ වූවා විය හැක. එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ තත්වය මුළුමනින්ම වෙනස් කළායින් පසු, දෙවියන්වහන්සේගේ ස්ථාපිත රාජ්‍යය හා අනාගතය පිළිබඳ ස්වකීය පොරොන්දු ගැන ඔවුන් දැනගත් දේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දිව් සතුටින් ගී කියන්ට පටන්ගත්තේය. ඔබේ නිහැඬියාව බිඳදැමීමට ඔවුන් ඔබටත් උපකාර කළා විය හැක. අතීතයේදී ඔබ අනුන්ට බයිබල් සත්‍යතා ගැන කෙතරම් දුරට කතා කළෙහිද? ඇතැම්විට ඔබ මෙසේ කල්පනා කළා විය හැක, ‘පාඩම් කරන්න නම් මට ආසයි, නමුත් මම නාඳුනන අය ළඟට ගිහින් කොහොමටවත් කතා කරන එකක් නැහැ.’ කෙසේවෙතත් “ගොළුවාගේ දිව” දැන් ‘සතුටින් ගී කියන’ [NW] බව සැබෑවක් නොවේද?—යෙසායා 35:6.
14, 15. අපේ කාලයේදී බොහෝදෙනෙකු “ශුද්ධකමේ මාර්ගය” මත ඇවිද තිබෙන්නේ කෙසේද?
14 බබිලෝනියෙන් නිදහස් වූ ඉපැරණි යුදෙව්වන්ට සිය මව්බිම කරා දිගු ගමනක යෙදෙන්ට සිදු විය. අපේ කාලයේදී ඊට අනුරූප වන දේ කුමක්ද? හොඳයි, යෙසායා 35:8 දෙස බලන්න: “එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය.”
15 ආත්මික වහල්භාවයෙන් සිය මිදීමෙන් පසු, වෙනත් බැටළුවන් මිලියන සංඛ්‍යාවක් සමඟින්, අභිෂේක ලත් ඉතිරි කොටස, මහ බබිලෝනියෙන් පිටත්ව, ආත්මික පාරාදීසයක් තුළට යමෙකුව මඟ පෙන්වන ශුද්ධකමේ පිරිසිදු මාර්ගයක් වන උපමේය මහමාර්ගයක ගමන් කර ඇත. මෙම ශුද්ධකමේ මාර්ගය සඳහා සුදුසුකම් ලැබීමටත් එහි රැඳී සිටීමටත් අපි සෑම ප්රයත්නයක්ම දරමින් සිටිමු. ඔබ ගැන සිතා බලන්න. ඔබ ලෝකයේ සිටි විට තිබුණාට වඩා දැන් ඔබ පිළිපදින සදාචාර ප්‍රමිති හා ප්‍රතිපත්ති බෙහෙවින් ඉහළ තත්වයක නොපවතීද? ඔබේ චින්තනය හා හැසිරීම දෙවියන්වහන්සේගේ චින්තනය හා හැසිරීමට අනුකූල කිරීම සඳහා ඔබ වැඩි ප්රයත්නයක් දරන්නේ නැද්ද?—රෝම 8:12, 13; එපීස 4:22-24.
16. අප ශුද්ධකමේ මාර්ගයෙහි ඇවිදින අතරතුර අපට කුමන තත්වයන් භුක්තිවිඳිය හැකිද?
16 ඔබ මෙම ශුද්ධකමේ මාර්ගයෙහි ගමන් කරද්දී, මෘග ගති ඇති මිනිසුන් ගැන කනස්සලු වීමෙන් ඔබ මූලිකව නිදහස්ය. ගිජු හෝ වෛරයෙන් පිරුණු පුද්ගලයන් විසින් ඔබව උපමේය අර්ථයකින් ‘ගිල ගනු නොලැබීම’ සඳහා ඔබ සාවධානව සිටිය යුතු බව සැබෑය. අනුන් සමඟ කටයුතු කරන බොහෝදෙනෙක් ගසා කන ආකාරයකින් කටයුතු කරති. දෙවියන්වහන්සේගේ සෙනඟ අතර තිබෙන්නේ මොනතරම් වෙනස් තත්වයක්ද! එතැන ඔබ සිටින්නේ ආරක්ෂිත වාතාවරණයකය. ඔබේ සෙසු ක්‍රිස්තියානි භක්තිකයන් පරිපූර්ණ අය නොවන බව ඇත්තය; ඇතැම් අවස්ථාවල යමෙක් වරදක් සිදු කරයි නැතහොත් අමනාපය ඇති කරවයි. එහෙත් ඔබේ සහෝදරයන් ඔබව වේදනාවට පත් කිරීමට හෝ ‘පණ පිටින් ගොදුරු කරගැනීමට’ හෝ මාන බලමින් නොසිටින බව ඔබ දන්නෙහිය. (ගීතාවලිය 57:4; එසකියෙල් 22:25; ලූක් 20:45-47; ක්‍රියා 20:29; 2 කොරින්ති 11:19, 20; ගලාති 5:15) ඒ වෙනුවට ඔවුහු ඔබ ගැන උනන්දුවක් දක්වති; ඔවුන් ඔබට උපකාර සපයා ඇත; ඔබ සමඟ සේවය කිරීමට ඔවුන්ට ඕනෑය.
17, 18. පාරාදීසයක් දැන් පවතින්නේ කුමන අර්ථයකින්ද, තවද අප කෙරෙහි මෙය කිනම් බලපෑමක් ඇති කරයිද?
17 එබැවින් යෙසායා 35වන පරිච්ඡේදය දෙස බලන විට, යෙසා 35:1 සිට 8 දක්වා පදවල වත්මන් ඉටුවීම අපට මනසෙහි තබාගත හැක. ආත්මික පාරාදීසයක් ලෙස නිවැරදිව හැඳින්විය හැකි දෙයක් අප සොයාගෙන තිබෙන බව පැහැදිලි නොවේද? එය තවමත් පරිපූර්ණ එකක් නොවන බව සැබෑය. එහෙත් එය සැබවින් පාරාදීසයකි, මන්දයත් 2වන පදයෙහි පවසා තිබෙන්නාක් මෙන්, “ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද” දැන් වුවත් ‘දැකගැනීමට’ අපට හැකි බැවිනි. තවද එහි ප්‍රතිඵලය කුමක්ද? දහවන පදය මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.” සැබවින්ම, අප බොරු ආගමෙන් ඉවත්ව දෙවියන්වහන්සේගේ අනුග්‍රහය යටතේ සැබෑ නමස්කාරය ලුහුබැඳීම ප්‍රීතිය දනවන්නක්ය.
18 සැබෑ නමස්කාරය හා බැඳි ප්‍රීතිය අඛණ්ඩව වැඩිවර්ධනය වේ, එසේ නොවේද? අලුතෙන් උනන්දුව දක්වන පුද්ගලයන් වෙනස් වී බයිබල් සත්‍යතාව තුළ ස්ථිරව මුල් බැසගන්නා ආකාරය ඔබ දකින්නෙහිය. යෞවනයන් වැඩී, සභාව තුළ ආත්මික දියුණුව ලබාගන්නා ආකාරය ඔබ නිරීක්ෂණය කරන්නෙහිය. ඔබ දන්නා හඳුනන අය බව්තීස්ම වන ආකාරය දැකගන්නා බව්තීස්ම අවස්ථා තිබේ. මේවා අදදින ප්‍රීතියට, ඉමහත් ප්‍රීතියට හේතු නොවේද? එසේය, අපේ ආත්මික නිදහසට හා පාරාදීස තත්වයන් භුක්තිවිඳීමට වෙනත් අය එක් වනවා දැකීම මොනතරම් ප්‍රීතියක්ද!
මතුවට තවත් ඉටුවීමක්!
19. යෙසායා 35වන පරිච්ඡේදය අපව පූර්ණ කරන්නේ කවර අපේක්ෂාසහගත බලාපොරොත්තුවකින්ද?
19 අප මේ දක්වා යෙසායා 35වන පරිච්ඡේදය සලකා බලා තිබෙන්නේ, යුදෙව්වන්ගේ ආපසු පැමිණීම හා බැඳි මුල් ඉටුවීම ගැනත්, අදදින අද්දකිනු ලබන ආත්මික ඉටුවීම ගැනත්ය. එහෙත් එය එතැනින් නිම නොවේ. තවත් බොහෝ දේ තිබේ. මිහිපිට සැබෑ පාරාදීස තත්වයන්, අනාගතයේදී යළි පිහිටුවීම පිළිබඳ බයිබලයේ සහතිකයට එය සම්බන්ධව පවතී.—ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:4, 5.
20, 21. යෙසායා 35වන පරිච්ඡේදයෙහි තවත් ඉටුවීමක් තිබෙයි කියා විශ්වාස කිරීම තර්කානුකූල මෙන්ම ශුද්ධ ලියවිල්ලට අනුකූල වන්නේ මන්ද?
20 පාරාදීසයක් පිළිබඳව විචිත්‍ර විස්තර දී, එහි ඉටුවීම් ආත්මික දේවලට සීමා කිරීම යෙහෝවඃවහන්සේ අතින් සිදු වන යෝග්‍ය යමක් නොවනු ඇත. ආත්මික ඉටුවීම් වැදගත් නොවෙයි කියා මින් අදහස් නොකරන බව නොකිවමනාය. සැබෑ පාරාදීසයක් පිහිටුවනු ලැබුවත්, සුන්දර දර්ශනය හා සාමකාමී සතුන් අතර කෲර වනමෘගයන් මෙන් හැසිරෙන මිනිසුන් වන, ආත්මිකව දූෂණය වූ මිනිසුන්ගෙන් අපි වටවී සිටියෙමු නම්, අප ඉන් තෘප්තියක් නොලබනවා ඇත. (තීතස් 1:12 සසඳන්න.) එසේය, ආත්මික ඉටුවීම පළමුව පැමිණිය යුතුය, මන්දයත් එය අතිශයින් වැදගත් වන බැවිනි.
21 කෙසේවෙතත්, අප දැන් භුක්තිවිඳින්නාවූද, අනාගතයේදී ඊටත් වැඩියෙන් භුක්තිවිඳිනු ඇත්තාවූද ආත්මික අංග සමඟින් මතු පැමිණෙන පාරාදීසය නිම වන්නේ නැත. යෙසායා 35වන පරිච්ඡේදය වැනි අනාවැකිවලට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඉටුවීමක් තිබේයයි අපේක්ෂා කිරීමට අපට හොඳ හේතු ඇත. ඒ මන්ද? හොඳයි, යෙසා 65වන පරිච්ඡේදයේදී, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන යෙසායා පුරෝකථනය කළේය. යෙහෝවඃවහන්සේගේ දවසින් පසුව සිදු වන දෙය විස්තර කරද්දී, ප්‍රේරිත පේතෘස් එය අදාළ කළේය. (යෙසායා 65:17, 18; 2 පේතෘස් 3:10-13) “අලුත් පොළොව” යථාර්ථයක් වන කල, යෙසායා විස්තර කළ අංග ලක්ෂණ සැබවින්ම පවතිනු ඇති බව පේතෘස් අඟවමින් සිටියේය. ඔබට සුපුරුදු විය හැකි විස්තර කිරීම් ඊට ඇතුළත් විය හැක—එනම්, ගෙවල් තනා ඒවායෙහි වාසය කිරීම; මිදි වතු වගා කොට ඵලදාව අනුභව කිරීම; තම දෑතින් කරන වැඩවලින් ලද ප්‍රතිඵල දිගටම භුක්තිවිඳීම; වෘකයෙකු හා බැටළු පැටවෙකු එකට වාසය කිරීම; එමෙන්ම පොළොව පුරා කිසිදු අනතුරක් සිදු නොවීම යන ඒවාය. වෙනත් වචනවලින් කිවහොත්, දිගුකල් පැවැත්ම, සුරක්ෂිත නිවාස, ආහාර බහුලත්වය, තෘප්තිය ගෙන දෙන වැඩ හා සතුන් අතර මෙන්ම සතුන් හා මිනිසුන් අතර සාමය යනාදියය.
22, 23. යෙසායා 35වන පරිච්ඡේදය අනාගතයේදී ඉටු වන විට ප්‍රීතිය සඳහා කවර පදනමක් තිබෙනු ඇද්ද?
22 එම අපේක්ෂාව ඔබව ප්‍රීතියෙන් පූර්ණ කරන්නේ නැද්ද? එසේ විය යුතුය, මන්දයත් දෙවියන්වහන්සේ අපව මැව්වේ එයාකාරයෙන් ජීවත්වීමටයි. (උත්පත්ති 2:7-9) එසේනම්, අප සලකා බලමින් සිටින යෙසායා 35වන පරිච්ඡේදයෙහි අනාවැකිය ගත් කල, ඉන් කුමක් අදහස් කරයිද? ප්‍රීතියෙන් මොරගැසීම සඳහා අපට අමතර හේතු තිබෙන බව ඉන් අදහස් කෙරේ. සැබෑ කාන්තාර හා ජල ශුන්‍ය ප්‍රදේශවල මල් පිපෙනු ඇති අතර, ප්‍රීතිවීමට එය අපහට හේතුවක් වන්නේය. එවිට නිල්වන්, දුඹුරු හෝ වෙනත් ප්‍රියමනාප වර්ණයකින් යුත් නෙත් යුගලක් ඇති මුත්, දැන් අන්ධව සිටින ජනයාට පෙනීම ලැබෙනු ඇත. බිහිරිව සිටින අපේ සෙසු ක්‍රිස්තියානීන්ට මෙන්ම ශ්‍රවණාබාධවලින් පෙළෙන අප සමහරෙකුට පවා, පැහැදිලිව ඇසීමට හැකිවනු වනවා ඇත. දේවවචනය කියවනු ලැබීමටත්, එය පැහැදිලි කරනු ලැබීමටත්, එපමණක්ද නොව, ගස්වැල් අතරින් හමන සුළඟේ ශබ්ද, දරුවෙකු සිනාසීමේ හඬ හා කුරුල්ලෙකුගේ ගීයක් ඇසීමටත් එම හැකියාව යෙදවීම මොනතරම් ප්‍රීතියක් වනු ඇද්ද!
23 දැන් සන්ධි ප්‍රදාහයෙන් පීඩා විඳින අය ඇතුළුව, කොරුන් වේදනාවකින් තොරව එහා මෙහා යනු ඇති බවත් ඉන් අදහස් කෙරේ. මොනතරම් සහනයක්ද! එකල සැබෑ ජල ධාරාවෝ කාන්තාර තුළින් ගලා බසින්නෝය. පෙණ නංවමින්, ඝෝෂාවක් ඇති කරමින් ගලන ජලය දැකීමටත් ඇසීමටත් අපට හැකිවනු ඇත. එහි ඇවිද තණනිල්ල හා පන් අතින් ඇල්ලීමට අපට අවස්ථාව ලැබෙනු ඇත. එය සැබවින්ම යළි පිහිටුවන ලද පාරාදීසයක් වන්නේය. සිංහයෙකු හෝ වෙනත් එවන් සතෙකු අතර බියකින් තොරව කල්ගත කිරීමෙන් ලැබිය හැකි ප්‍රීතිය ගැන කුමක් කිව හැකිද? අප සියලුදෙනා දැනටමත් එවන් දර්ශනයක් පුල පුලා බලා සිටින බැවින්, එය විස්තර කිරීමට පටන්ගැනීම අනවශ්‍යය.
24. යෙසායා 35:10හි ප්‍රකාශයත් සමඟ ඔබට එකඟ විය හැක්කේ මන්ද?
24 යෙසායා අපට මෙසේ සහතික කරයි: “ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය.” එසේනම් ප්‍රීතියෙන් මොරගැසීමට අපට හේතු තිබෙන බවට අපට එකඟ විය හැක. අපේ ආත්මික පාරාදීසය තුළ යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා උදෙසා දැනටමත් කරමින් සිටින දේ නිසාත්, අතළඟම තිබෙන සැබෑ පාරාදීසයේදී අපට අපේක්ෂා කළ හැකි දේවල් නිසාත් අපට ප්‍රීතියෙන් සිටිය හැක. ප්‍රීතිමත් අය ගැන—අප ගැන—යෙසායා මෙසේ ලියයි: “ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.”—යෙසායා 35:10.
මේවා ඔබේ අවධානයට ලක් වීද?
◻ යෙසායා 35වන පරිච්ඡේදයට කවර දෙවන ඉටුවීමක් තිබී ඇද්ද?
◻ යෙසායා පුරෝකථනය කළ ආශ්චර්යවත් වෙනස්වීම්වලට ආත්මිකව අනුරූප වන්නේ කුමක්ද?
◻ මෙම අනාවැකියේ ඉටුවීම තුළ ඔබ පංගුකාරයෙකු වී ඇත්තේ කෙසේද?
◻ යෙසායා 35වන පරිච්ඡේදය අනාගතය සඳහා බලාපොරොත්තුවක් සමඟින් අපව පූර්ණ කරන බව අපට පැවසිය හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1918 ජූනි මාසයේදී ප්රමුඛ සහෝදරයන් සත්දෙනෙකු හිරභාරයෙහි තබන ලද බෘක්ලින්හි රේමන්ඩ් විථියේ බන්ධනාගාරය
[16වන පිටුවේ පින්තූරය]
සිය සැඳෑ සමයෙහි සහෝදර ෆ්රාන්ස් සම්පූර්ණයෙන්ම පාහේ අන්ධව සිටියත් ඔහුගේ ආත්මික දෘෂ්ටිය තියුණු තත්වයක පැවතිණ
[17වන පිටුවේ පින්තූර]
ආත්මික වර්ධනය හා දියුණුව ප්‍රීතිය සඳහා හේතූන් වේ