අවසානය ළඟා වෙනවාත් සමඟම ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න
“ජනයෙනි, හැමදාම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.”—යෙසා. 26:4.
1. දෙවිට සේවය කරන අය හා එසේ නොකරන අය අතර ඇති වෙනස කුමක්ද?
කවුරුන්ව විශ්වාස කරන්නද කියා අද ලෝකයේ සිටින බොහෝදෙනෙක් දන්නේ නැහැ. සමහරවිට වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දීම හෝ බලාපොරොත්තු සුන් වීම ඊට හේතු විය හැකියි. නමුත් යෙහෝවා දෙවිගේ සේවකයන් ඊට වඩා බොහෝ වෙනස්. යෙහෝවා දෙවි දෙන ප්‍රඥාවට අනුව ක්‍රියා කරන ඔවුන් විශ්වාසය තබන්නේ මේ ලෝකය කෙරෙහිවත් “වංශවත් අය” කෙරෙහිවත් නොවෙයි. (ගීතා. 146:3) ඒ වෙනුවට ඔවුන් විශ්වාසය තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහියි. දෙවි තමන්ට ප්‍රේම කරන බවත් ඔහු දී ඇති පොරොන්දු ඉටු කරන බවත් විශ්වාස කරන ඔවුන් ඔවුන්ගේ ජීවිතයත් අනාගතයත් යෙහෝවා දෙවිට භාර දෙනවා.—රෝම 3:4; 8:38, 39.
2. දෙවිගේ විශ්වාසවන්තකම ගැන යොෂුවා පැවසුවේ කුමක්ද?
2 පුරාණ ඊශ්‍රායෙලයේ නායකයෙක් වූ යොෂුවා යෙහෝවා දෙවි මොන තරම් විශ්වාසවන්ත දෙවි කෙනෙක්ද කියා හොඳින් දැන සිටියා. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී ඔහු ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.”—යොෂු. 23:14.
3. දෙවිගේ නමේ අර්ථයෙන් ඔහු ගැන හෙළි වන්නේ කුමක්ද?
3 දෙවි තම පොරොන්දු ඉටු කරන්නේ ඔහුගේ සෙනඟට ප්‍රේම කරන නිසාම පමණක් නොව ඔහුගේ නාමය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන නිසයි. (නික්. 3:14; 1 සාමු. 12:22) බයිබල් පරිවර්තකයෙක් වන ජේ. බී. රොදහැම්ගේ බයිබලයේ දෙවිගේ නාමය ගැන ඇති හැඳින්වීමෙහි ඔහු මෙවැනි දෙයක් සඳහන් කරනවා. ‘දෙවිගේ නාමයට ගැඹුරු අර්ථයක් තිබෙනවා. ඕනෑම තත්වයකට මෙන්ම ඕනෑම අවශ්‍යතාවකට අනුව සකස්වීමේ හැකියාව තිබෙනවා යන අර්ථය ඊට ඇතුළත්. ඒ වගේම දෙවි දෙන ඕනෑම පොරොන්දුවක් ඉටු කිරීමට ඔහුට හැකි බවත් ඉන් අදහස් කරනවා. දෙවි ඔහුගේ නාමයට එකඟව විශ්වාසවන්තව ක්‍රියා කරනවා. ඔහුගේ නාමයට කැළැලක් වීමට ඔහු කිසිදා ඉඩ දෙන්නේ නැහැ.’
4. (අ) යෙසායා 26:4හි අපට දිරිගන්වන්නේ කුමක් කිරීමටද? (ආ) මේ ලිපියෙන් අප සලකා බලන්නේ මොනවාද?
4 අපි මේ ප්‍රශ්න ගැන කල්පනා කර බලමු. ‘දෙවි ගැන පූර්ණ විශ්වාසයක් තබන්න තරම් මම දෙවිව හොඳින් හඳුනනවාද? සියල්ල පාලනය කිරීමේ බලය දෙවිට තිබෙන බව විශ්වාස කරන නිසා මම අනාගතයට මුහුණ දෙන්නේ නොබියවද?’ යෙසායා 26:4හි මෙසේ පවසනවා. “ජනයෙනි, හැමදාම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. මන්ද යාහ් යෙහෝවා දෙවි සදාකාලයටම පර්වතයකි.” දෙවි අතීතයේදී මෙන් අද දින ආශ්චර්යය කරමින් මිනිසුන්ගේ කාරණාවලට මැදිහත් නොවන බව ඇත්තයි. නමුත් ඔහු ‘සදාකාලයටම පර්වතයක්’ වන නිසා ඔහු කෙරෙහි “හැමදාම” විශ්වාසය තැබිය හැකියි. අප පූර්ණ ලෙස විශ්වාසය තබා ඇති යෙහෝවා දෙවි අපට උපකාර කරන්නේ කොහොමද? ඔහු උපකාර කරන ආකාර තුනක් අපි සලකා බලමු. වැරදි දේ කිරීමට පෙලඹීම් ඇති වන විට ඒවා ජය ගන්නත් ශුභාරංචියට උනන්දුවක් නොදක්වන විට හා ඊට විරුද්ධ වන විට ඒවාට මුහුණ දෙන්නත් ඒ වගේම කනස්සල්ලෙන් මිදෙන්නත් ඔහු අපට උපකාර කරනවා. එම කාරණා සලකා බලන විට දෙවි කෙරෙහි ඔබට ඇති විශ්වාසය ශක්තිමත් කරගත හැකි ආකාරය ගැන අවධානය යොමු කරන්න.
වැරදි පෙලඹීම් ඇති වන විට
5. මුළු හදින්ම දෙවිව විශ්වාස කිරීම අභියෝගයක් වන්නේ කුමන අවස්ථාවේදීද?
5 අප ආශාවෙන් බලා සිටින පාරාදීස පොළොව ගැන හෝ නැවත නැඟිටීම ගැන දෙවි දී ඇති පොරොන්දු අප කිසිම සැකයකින් තොරව විශ්වාස කරනවා. නමුත් කල් පවතින සන්තෝෂය අත් කරගත හැකි වන්නේ හරි වැරැද්ද පිළිබඳව දෙවි දී ඇති ප්‍රමිතිවලට කීකරු වීම මගින් බව මුළු හදවතින්ම විශ්වාස කිරීම අභියෝගයක් විය හැකියි. සලමොන් රජද මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝ. 3:5, 6) අප තබන ‘සෑම පියවරක්’ ගැන සහ “යා යුතු හරි මඟ” ගැන සලමොන් එහිදී සඳහන් කරනවා. ඉන් අදහස් වන්නේ අපගේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවි කෙරෙහි විශ්වාසය තැබීමයි. වැරදි දේ කිරීමට පෙලඹීම් ඇති වන විට දෙවි කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වන්න පුළුවන් කොහොමද?
6. වැරදි සිතුවිලි ඇති කර නොගැනීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
6 වැරදි දෙයින් වැළකී සිටීමට නම් අප මුලින්ම අපගේ මනස සකස් කරගත යුතුයි. (රෝම 8:5; එෆීස 2:3 කියවන්න.) වැරදි සිතුවිලි ඇති කර නොගැනීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? ඒ සඳහා ක්‍රම පහක් සලකා බලමු. 1. යාච්ඤාවෙන් දෙවිගේ උපකාරය පතන්න. (මතෙ. 6:9, 13) 2. දෙවිට සවන් දීම ප්‍රතික්ෂේප කළ අය හා ඔහුට සවන් දුන් අය ගැන බයිබලයේ සඳහන් උදාහරණ ගැන කල්පනා කරන්න. එමෙන්ම ඔවුන් ලැබූ ප්‍රතිඵල ගැන සිතන්න.a (1 කොරි. 10:8-11) 3. ඔබ අතින් පාපයක් සිදු වුණොත් ඉන් ඔබටත් ඔබ ප්‍රේම කරන අයටත් ඇති වන මානසික වේදනාව ගැන සිතා බලන්න. 4. අප බරපතළ පාපයක් කළොත් ඒ ගැන දෙවිට හැඟෙන ආකාරය කල්පනා කරන්න. (ගීතාවලිය 78:40, 41 කියවන්න.) 5. තනිව හෝ අන් අය අතරේ සිටින විට දෙවිගේ සේවකයෙක් වැරදි දේ ප්‍රතික්ෂේප කර හරි දේ කරද්දී දෙවිට දැනෙන ප්‍රීතිය ගැන සිතා බලන්න. (ගීතා. 15:1, 2; හිතෝ. 27:11) ඔබ එසේ කරනවා නම් දෙවිව විශ්වාස කරන බව ඔබටත් පෙන්විය හැකියි.
ශුභාරංචියට උනන්දුවක් නොදක්වන විට හා ඊට විරුද්ධ වන විට
7. යෙරෙමියාට මුහුණ දීමට සිදු වූ අභියෝගය කුමක්ද? සමහර අවස්ථාවලදී ඔහුට හැඟුණේ කොහොමද?
7 අපගේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් සේවය කරන්නේ ශුභාරංචියට එතරම් උනන්දුවක් නොදක්වන ජනයා සිටින ප්රදේශවලයි. අනාගතවක්තෘ යෙරෙමියා සේවය කළේත් යූදා රාජ්‍යයේ නොසන්සුන්කාරි වාතාවරණයක් තිබූ කාලයේදියි. යෙරෙමියා ඉතා කීකරුව දෙවි ගෙනෙන විනිශ්චය ගැන ප්‍රකාශ කළ නිසා ඔහු දෙවිට දැක්වූ විශ්වාසවන්තකම දිනපතාම අභියෝගයට ලක් වුණා. එක් අවස්ථාවකදී ඔහුගේ ලේකම් වන බාරුක් පවා අධෛර්යයට පත් වුණා. (යෙරෙ. 45:2, 3) යෙරෙමියාත් අධෛර්යයට පත් වුණාද? ඔව්, සමහර අවස්ථාවලදී ඔහු අධෛර්යයට පත් වුණා. එවැනි එක් අවස්ථාවක ඔහු මෙසේ පැවසුවා. ‘මා උපන් දවසට ශාප වේවා! මා මව්කුසින් මෙලොවට බිහි වුණේ කුමකටද? මේ මහත් දුක් ගැහැටවලට මුහුණ දෙන්නද? ජීවිත කාලය පුරාම ලැජ්ජාව අද්දකින්නද?’—යෙරෙ. 20:14, 15, 18.
8, 9. යෙරෙමියා 17:7, 8 සහ ගීතාවලිය 1:1-3ට අනුව දිගටම පල දරන්න අප කුමක් කළ යුතුද?
8 යෙරෙමියා සමහර අවස්ථාවලදී අධෛර්යයට පත් වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස යෙරෙමියා 17:7, 8හි යෙහෝවා දෙවි පැවසූ මේ දේ යෙරෙමියාටම අද්දැකීමට හැකි වුණා. “යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය. ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය. දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.”
9 “දිය පාරවල් අසල සිටෙවූ” සරුවට වැඩුණු ගසක් මෙන් යෙරෙමියා ‘දිගටම පල දැරුවා.’ ඔහු දුෂ්ටයන්ගේ සමච්චල්වලට භය වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු යෙහෝවා දෙවි මත රඳා සිටිමින් දෙවි පැවසූ සියල්ල කළා. (ගීතාවලිය 1:1-3 කියවන්න; යෙරෙ. 20:9) යෙරෙමියා අපට මොන තරම් කදිම ආදර්ශයක්ද! විශේෂයෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීම අභියෝගයක් වී තිබෙන ප්‍රදේශවල සේවය කරන අයට ඔහු විශිෂ්ට ආදර්ශයක්. ඔබ සේවය කරන්නෙත් එවැනි ප්‍රදේශයක නම් දිගටම දෙවි මත රඳා සිටින්න. එවිට විඳදරාගෙන ‘ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න’ අවශ්‍ය ශක්තිය ඔහු ඔබට ලබා දෙයි.—හෙබ්‍රෙ. 13:15.
10. අපට ලැබී තිබෙන ආශීර්වාද මොනවාද? අප සලකා බැලිය යුතු ප්රශ්නය කුමක්ද?
10 මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අප අද්දකින අසීරුතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා යෙහෝවා දෙවි අපට බොහෝ උපකාර සපයා දී තිබෙනවා. ඉන් එකක් වන්නේ ඔහුගේ වචනය වන බයිබලයයි. එය බොහෝ භාෂාවලින් ලබාගත හැකි අතර තව තවත් භාෂාවලට පරිවර්තනය කෙරෙනවා. ඒ වගේම ඔහු විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් නියම වේලාවට පෝෂණය ලබා දෙනවා. ඔහු අපට උපකාර කිරීම සඳහා සහෝදර කැලක්ද ලබා දී තිබෙනවා. රැස්වීම් හා එක්රැස්වීම්වලදී අපට ඔවුන් සමඟ ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ සැපයුම්වලින් ඔබ පූර්ණ ලෙස ප්‍රයෝජන ගන්නවාද? ඔබ එසේ කරනවා නම් ඔබට ‘සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟන්න’ හැකි වෙනවා. නමුත් දෙවිට අකීකරු වන අය ‘වේදනාවෙන් හා සිත්තැවුලෙන් කෑ මොර ගසනවා.’—යෙසා. 65:13, 14.
කනස්සල්ල ඇති වන විට
11, 12. ප්‍රශ්න ගැටලු ඇති වන විට ගත යුතු ප්‍රඥාවන්ත ක්‍රියා මාර්ගය කුමක්ද?
11 බයිබලයේ සඳහන් අනාවැකිවලට අනුව මිනිසුන්ට ඇති වන ප්‍රශ්න ගැටලු දිනෙන් දින වැඩි වෙනවා. (මතෙ. 24:6-8; එළි. 12:12) ඒවාට විසඳුම් බලාපොරොත්තුවෙන් මිලියන ගණනක් දෙනා මුදල්, දේශපාලනය, ආගමික සංවිධාන, විද්‍යාව හා තාක්ෂණය මත විශ්වාසය තබනවා. නමුත් ඒ කිසිවකින් ඔවුන්ට සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. (යෙරෙ. 17:5, 6) දෙවිගේ සේවකයන්ට නම් සැබෑ ආරක්ෂාව ලබාගත හැකියි. එය ලැබෙන්නේ ‘සදාකාලයටම පර්වතයක්’ වන යෙහෝවා දෙවිගෙන්. (යෙසා. 26:4) දෙවි ගැන ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “[යෙහෝවා දෙවි] මාගේ පර්වතයය. මාගේ ගැලවීමය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවය.” (ගීතාවලිය 62:6-9 කියවන්න.) එම පර්වතයෙන් ආරක්ෂාව ලබන්න ඔබ කුමක් කළ යුතුද?
12 මිනිසුන්ගේ ප්‍රඥාවට කිසිම සම්බන්ධයක් නැති දේවවචනයට අප ඇලුම් වන විට ඉන් පෙන්වන්නේ අප දෙවි කෙරෙහි රඳා සිටින බවයි. (ගීතා. 73:23, 24) උදාහරණයකට මිනිසුන්ගේ ප්‍රඥාව මත රඳා සිටින අය මෙසේ පැවසිය හැකියි. ‘ඉන්න ටිකේ කරන්න තියෙන්නේ හොඳට කාලා බීලා සතුටින් ඉන්න එක විතරයි.’ ‘කොහොමහරි හොඳ රැකියාවක් හොයාගන්න.’ ‘පුළුවන් තරම් මුදල් හම්බ කරන්න.’ ‘කැමති කැමති හැම දේම ගන්න.’ ‘ලෝකෙ වටේ යන්න. පුළුවන් තරම් විනෝද වෙන්න.’ නමුත් දෙවිගේ ප්‍රඥාවෙන් ලියැවුණු බයිබලයේ සඳහන් වන්නේ ඊට වඩා වෙනස් උපදෙසක්. ‘මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන් විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී.’ (1 කොරි. 7:31) යේසුස්ද උනන්දු කළේ දෙවිට කරන නමස්කාරයට මුල් තැන දෙන්න කියායි. එසේ කිරීමෙන් කිසිදා විනාශ නොවන “ස්වර්ගයෙහි වස්තු” රැස් කරගන්න කියා ඔහු පැවසුවා.—මතෙ. 6:19, 20.
13. පළමුවෙනි යොහන් 2:15-17හි සඳහන් දේ සැලකිල්ලට ගෙන අප කල්පනා කර බැලිය යුත්තේ කුමක්ද?
13 ‘ලෝකය’ හා ‘ලෝකයේ තිබෙන දේවල්’ ගැන ඔබට තිබෙන ආකල්පයෙන් පෙනී යන්නේ ඔබ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන බවද? (1 යොහ. 2:15-17) දෙවි ලබා දෙන ආශීර්වාද හා ඔහුට කරන සේවය අන් සියලු දේට වඩා ඔබට වටිනවාද? (ෆිලි. 3:8) “ඇස වෙනතකට යොමු නොකර” තබාගන්න ඔබ වෑයම් කරනවාද? (මතෙ. 6:22) කොහොමවුණත් ඔබගේ සහ ඔබේ පවුලේ අයගේ අවශ්‍යතා නොසලකාහරින්න කියා දෙවි පවසා නැහැ. (1 තිමෝ. 5:8) නමුත් විනාශ වීමට නියමිත සාතන්ගේ ලෝකය කෙරෙහි නොව තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා.—හෙබ්‍රෙ. 13:5.
14-16. සමහර අය “ඇස වෙනතකට යොමු නොකර” දේවරාජ්‍යයට මුල් තැන දීමෙන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කොහොමද?
14 යෞවන දරුවන් තිදෙනෙක් සිටින රිචඩ් සහ රූත්ගේ අද්දැකීම සලකා බලන්න. “මීට වඩා වැඩියෙන් යෙහෝවා දෙවිට සේවය කරන්න පුළුවන් කියලා මට නිතරම හිතුණා” කියා රිචඩ් පවසනවා. “මම ගත කළේ සැප පහසු ජීවිතයක්. මම උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරන්නේ නැහැ කියලා මට හිතුණා. ඒ ගැන මම යාච්ඤා කළා. රැකියාව කරන දවස් ගණන අඩු කළොත් පවුල නඩත්තු කරන්න පුළුවන් වෙයිද කියලා අපි සාකච්ඡා කළා. ඊටපස්සේ මම සතියකට දවස් හතරක් වැඩ කරනවා නම් ඒක ඇති කියලා අපි තීරණය කළා. ඒ තීරණය ගත්තේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණු කාලයකයි. මාසයක් ඇතුළත මම ඒ සැලැස්ම ක්‍රියාත්මක කළා” කියා රිචඩ් පවසනවා. දැන් ඒ ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?
15 “මට දැන් ලැබෙන්නේ කලින් ලැබුණු පඩියට වඩා සියයට 20ක් අඩුවෙන්. හැබැයි දැන් මට මගේ දරුවන්ව පුහුණු කරන්නයි පවුලේ අය එක්ක කාලය ගත කරන්නයි අවුරුද්දට දවස් 50ක් වැඩිපුර තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සරට වඩා මගේ සේවය දෙගුණයකින් වැඩි කරගන්නත් බයිබල් පාඩම් තුන් ගුණයකින් වැඩි කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. සභාවේ වැඩවල වැඩිපුර හවුල් වෙන්න ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට දරුවන් එක්ක ඉන්න කාලය තියෙන නිසා රූත්ට කලින් කලට උපකාරික පුරෝගාමි සේවය කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. මම හැකි තාක් කල් මේ විදිහට කටයුතු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා” කියා රිචඩ් පවසනවා.
16 රෝයි සහ පෙටීනාට තවමත් දුවගේ වගකීම් තිබුණත් පූර්ණ කාලීනව දෙවිට සේවය කිරීම සඳහා රැකියාව කරන දවස් ගණන අඩු කරගන්න ඔවුන්ට හැකි වුණා. ඒ ගැන රෝයි මෙසේ පවසනවා. “මම වැඩ කරන්නේ සතියට දවස් තුනයි. පෙටීනා දවස් දෙකක් වැඩ කරනවා. ඉඩකඩ තිබුණු අපේ ලොකු ගේ අතහැරලා පොඩි ගෙදරක පදිංචි වුණා. ඒ නිසා දැන් ගෙදර වැඩ අඩුයි. අපේ දුවයි පුතයි ඉපදෙන්න කලින් අපි පුරෝගාමි සේවය කළා. අපිට ඒ සේවය සඳහා තිබුණු ආශාව කවදාවත් අඩු වුණේ නැහැ. අපේ දරුවෝ ලොකු වුණාට පස්සේ අපි ආයෙත් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ සේවයෙන් ලැබෙන සතුට මුදල්වලින් ලබාගන්න බැහැ.”
“දෙවි ලබා දෙන සමාදානය” ඔබේ හදවතට ආරක්ෂාවක්
17. හෙට කුමක් වෙයිද කියා නොදැන සිටියත් ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ලැබී තිබෙන්නේ මොන වගේ සහනයක්ද?
17 “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වෙන නිසා හෙට දවසේ කුමක් වෙයිද කියා අපට ස්ථිරව කියන්න බැහැ. (දේශ. 9:11) නමුත් හෙට දවස ගැන කනස්සලු වී අද අපගේ මනසේ සමාදානය නැති කරගන්න අවශ්‍ය නැහැ. එසේ මනසේ සමාදානය නැති කරගන්නේ දෙවි සමඟ මිත්‍රත්වයක් නැති අයයි. ඊට හේතුව ඔවුන්ට දෙවිගෙන් ලැබෙන සුරක්ෂිතභාවය නොදැනීමයි. (මතෙ. 6:34) පාවුල් මෙසේ පවසනවා. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන්. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වෙයි.’—ෆිලි. 4:6, 7.
18, 19. දෙවි අපට උපකාර කරන ආකාර මොනවාද? උදාහරණයක් දෙන්න.
18 බොහෝ සහෝදර සහෝදරියන් පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවලදී යෙහෝවා දෙවි ලබා දෙන සමාදානය අද්දැක තිබෙනවා. ඒ ගැන එක් සහෝදරියකගේ අද්දැකීම සලකා බලමු. ඇය මෙසේ පවසනවා. “ශල්‍ය වෛද්‍යවරයෙක් රුධිරය ගන්න කියලා නිතර නිතර මට බල කළා. මම ලේ ගන්නේ නැහැ කියලා කිව්ව මුල්ම අවස්ථාවේ ඔහු මට කිව්වේ ‘ලේ ගන්නේ නැහැ. මොන පිස්සුවක්ද’ කියලයි. ඒ වෙලාවෙත් ඉන්පස්සෙත් මම නිහඬව දෙවිට යාච්ඤා කළා. එතකොට මට සන්සුන්කමක් දැනුණා. මගේ හිත ශක්තිමත් වුණා. රුධිරය අඩු නිසා මම දුර්වල තත්වයක හිටියත් මගේ ස්ථාවරයට හේතු බයිබලයෙන් පැහැදිලි කරලා දෙන්න මට පුළුවන් වුණා.”
19 යෙහෝවා දෙවි සමහර අවස්ථාවලදී සෙසු සහෝදර සහෝදරියන් මාර්ගයෙන් හෝ නියම වේලාවට ලබා දෙන පෝෂණය මාර්ගයෙන් හෝ අපට උපකාර කරනවා. සහෝදර සහෝදරියන් සමහර අවස්ථාවලදී මෙසේ කියනවා ඔබ අසා ඇති. “මේ ලිපිය නම් මටම ලියපු එකක්.” අප කුමන තත්වයකට මුහුණ දුන්නත් අපගේ අවශ්‍යතාවන් කුමක් වුණත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් ඔහු අපට උපකාර කරන බව නිසැක විය හැකියි. මන්ද දෙවි අපව සලකන්නේ ඔහුගේ ‘බැටළුවන්’ ලෙසයි. එමෙන්ම ඔහුගේ නාමය දැරීමේ වරප්‍රසාදයද ඔහු අපට දී තිබෙනවා.—ගීතා. 100:3; යොහ. 10:16; ක්‍රියා 15:14, 17.
20. සියල්ල විනාශ වෙද්දී දෙවිගේ සේවකයන් ආරක්ෂාව ලබන්නේ ඇයි?
20 ඉතා ඉක්මනින් පැමිණීමට නියමිත ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී’ ආරක්ෂාව පතා මිනිසුන් විශ්වාසය තබන සියල්ල විනාශ වෙනවා. රත්තරන්, රිදී සහ වෙනත් වටිනා වස්තුවලට මොනම ආකාරයේ ආරක්ෂාවක්වත් සපයන්න බැහැ. (ශෙප. 1:18; හිතෝ. 11:4) අපට ආරක්ෂාව සැපයිය හැකි එකම තැනැත්තාණන් වන්නේ ‘සදාකාලයටම පර්වතයක්’ වන යෙහෝවා දෙවි පමණයි. (යෙසා. 26:4) ඒ නිසා අපි දෙවිගේ ධර්මිෂ්ඨ මාවත්වල කීකරුව ගමන් කරමු. ශුභාරංචියට උනන්දුවක් නොදක්වන විට හා ඊට විරුද්ධ වන විට එය උද්යෝගයෙන් ප්‍රකාශ කරමු. අපගේ කනස්සල්ලට හේතු වන සෑම දෙයක්ම දෙවිට භාර දෙමු. එමගින් යෙහෝවා දෙවි කෙරෙහි අපිට පූර්ණ විශ්වාසයක් තිබෙන බව පෙන්වමු. එසේ කරනවා නම් ‘කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්න’ අපට හැකියි.—හිතෝ. 1:33.
[පාදසටහන]
a “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” යන පොතේ 116-121 දක්වා පිටු බලන්න.
ඔබට පැහැදිලි කළ හැකිද?
පහත සඳහන් කාරණාවලදී දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව පෙන්විය හැක්කේ කොහොමද?
• වැරදි පෙලඹීම් ඇති වන විට
• ශුභාරංචියට උනන්දුවක් නොදක්වන විට හා ඊට විරුද්ධ වන විට
• කනස්සල්ල ඇති වන විට
[13වන පිටුවේ පින්තූරය]
දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීමෙන් සන්තෝෂය ලැබෙනවා
[15වන පිටුවේ පින්තූරය]
“යෙහෝවා දෙවි සදාකාලයටම පර්වතයකි”