දොළොස්වෙනි පරිච්ඡේදය
‘දෙවිව හොඳින් දැන හඳුනා ගන්න’
1, 2. යෙහෝයාකිම් රජු සුවිසල් මන්දිරයක් ඉදි කිරීමට ගත් තීරණය අඥාන තීරණයක් වුණේ ඇයි?
යෙහෝයාකිම් රජ විශාල කාමර සහිත සුවිසල් මන්දිරයක් ඉදි කරමින් සිටියා. අඩුම තරමින් එම මන්දිරය තට්ටු දෙකකින්වත් සමන්විත වන්න ඇති. හිරු එළිය හා හොඳ වාතාශ්‍රයක් ලබාගැනීම සඳහා තම මන්දිරය විශාල කවුළු සහිතව සෑදීමට ඔහු සැලසුම් කළා. ලෙබනොන් දේශයෙන් ගෙනා දේවදාර ලීවලින් එහි ඇතුළත සරසා ඉතා මිල අධික රතු සායම් ආලේප කර එය අලංකාරවත් කිරීමට ඔහුට වුවමනා වුණා.—යෙරෙ. 22:13, 14.
2 ඒ මන්දිරය ඉදි කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බව නම් නිසැකයි. නමුත් යූදා රාජ්‍යය සතුව විශාල මුදල් සම්භාරයක් තිබුණේ නැහැ. මන්ද දේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා ඒ කාලය වන විට ඔවුන් සෑහෙන මුදලක් වැය කර තිබූ අතර ඊජිප්තුවරුන් ඔවුන්ගෙන් බද්දක්ද අය කරමින් සිටියා. (2 රාජා. 23:33-35) නමුත් තම මන්දිරය කෙසේ හෝ ඉදි කරගැනීමට අවශ්‍ය වූ නිසා යෙහෝයාකිම් රජ ඉදි කිරීම් කටයුතුවල නියැලුණු සේවකයන්ට කුලී නොගෙවා ඔවුන්ගෙන් වැඩ ගත්තා. රජු ඔවුන්ට සැලකුවේ වහලුන්ට සලකන ආකාරයටයි.
3. යොෂියා රජු හා යෙහෝයාකිම් රජු අතර තිබූ වෙනස්කම් මොනවාද? ඊට හේතුව කුමක්ද?
3 යෙහෝයාකිම් රජු තම යටත්වැසියන් ගැන කිසි සැලකිල්ලක් නොපෙන්වා තමන් ගැන පමණක් සිතූ නිසා රජුගේ ක්‍රියාකලාපය දෙවි හෙළාදකින බව යෙරෙමියා රජුට දැනුම් දුන්නා.a ඔහුගේ පියා වූ යොෂියා රජු දිලිඳු, අසරණ මිනිසුන්ට කරුණාව පෙන්වූ ආකාරය ගැනත් පීඩිතයන් වෙනුවෙන් ඔහු යුක්තිය ඉටු කර දුන් ආකාරය ගැනත් දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔහුට මතක් කළා. යොෂියා රජුට එලෙස යුක්තිගරුකව ක්‍රියා කිරීමට හැකි වුණේ ඔහු, “මාව හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසා නොවේද” කියා දෙවි යෙහෝයාකිම් රජුගෙන් ඇසුවා.—යෙරෙමියා 22:15, 16 කියවන්න.
4. දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටීම ඔබට වැදගත් වන්නේ ඇයි?
4 ඉන් පැහැදිලි වන්නේ යොෂියා රජු යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසා දෙවිගේ ගතිලක්ෂණ ඔහුගේ ජීවිතයෙන් පිළිබිඹු කිරීමට ඔහුට හැකි වූ බවයි. අපත් දෙවිව හොඳින් දැන හඳුනා ගන්නවා නම් දෙවිගේ ගතිලක්ෂණ අපේ ජීවිත තුළින් පිළිබිඹු කිරීමට අපටත් හැකි වෙනවා. එවිට අපේ දේවසේවය සාර්ථකව ඉටු කිරීමට අපට හැකියි. ඒ විතරක් නොවෙයි, සාතන්ගේ දුෂ්ට සමාජය එන්න එන්නම දරුණු අතට හැරෙන මේ කාලයේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටීම අපට මහත් ආරක්ෂාවක්. දෙවිව දැන හඳුනා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?
දෙවිව හොඳින් දැන හඳුනා ගැනීම යනු කුමක්ද?
5, 6. (අ) පියෙකුගේ යහපත් ආදර්ශය දරුවන්ට බලපාන්නේ කෙසේද? (ආ) දෙවිව හොඳින් දැන හඳුනා ගැනීම අපට බලපාන්නේ කෙසේද?
5 සාමාන්‍යයෙන් පවුලක පියෙකු හොඳ ආදර්ශයක් තබනවා නම් බොහෝදුරට එය දරුවන් තුළ හොඳ බලපෑමක් ඇති කරනවා. උදාහරණයකට පියා අවශ්‍යතා ඇති අය සමඟ දේවල් බෙදා හදා ගන්නා කෙනෙකු නම් දරුවන්ද එසේ කිරීමට පෙලඹෙනවා. පියා ස්වාමිපුරුෂයෙකු ලෙස භාර්යාවට ආදරයෙන්, ගෞරවයෙන් සලකන ආකාරය දකින දරුවන්ද වැඩිහිටියන් වූ විට අන් අයට ආදරයෙන්, ගෞරවයෙන් සැලකීමට පෙලඹෙනවා. පියා ව්‍යාපාර කටයුතුවලදී අවංකව හා සාධාරණව ක්‍රියා කරනවා නම් දරුවන්ද සාධාරණ හා අවංක අය වීමට උත්සාහ කරනවා. ඒ අනුව පියා ක්‍රියා කරන ආකාරය හා ඔහුගේ ගතිලක්ෂණ ගැන දරුවන් තුළ තිබෙන අවබෝධය ක්‍රමානුකූලව වැඩි වන විට පියාව ආදර්ශයට ගනිමින් ඔහු මෙන් ක්‍රියා කිරීමට බොහෝදුරට දරුවන් පෙලඹෙනවා කියා පැවසිය හැකියි.
6 ඒ හා සමානව දෙවි ක්‍රියා කරන ආකාරය, ඔහු මිනිසුන්ට සලකන ආකාරය, ඔහු කැමති අකමැති දේවල් ගැන බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඉගෙනගන්නා විට අපටත් දෙවිව හොඳින් දැන හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එවිට ඔහු කෙරෙහි අපට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වන අතර ඔහුව ආදර්ශයට ගැනීමට අප පෙලඹෙනවා. යොෂියා රජුටත් දෙවිව ආදර්ශයට ගැනීමට හැකි වුණේ ඔහු දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසයි. නමුත් කෙනෙක් දෙවිගේ නීති හා ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් දෙවිගේ මඟ පෙන්වීම් සුළුවට ගන්නවා නම් ඔහුට දෙවිව දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ නැහැ. යෙහෝයාකිම් රජු ක්‍රියා කළෙත් එලෙසයි. ඔහුට දෙවිව දැන හඳුනා ගැනීමට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. එක් අවස්ථාවක ඔහු දෙවිගේ පණිවිඩ ඇතුළත් ලියවිල්ල ගින්නට වීසි කළා.—යෙරෙමියා 36:21-24 කියවන්න.
7. යොෂියා රජු මෙන් ඔබත් දෙවිව හොඳින් දැන හඳුනා ගත යුත්තේ ඇයි?
7 දේවසේවය සාර්ථකව ඉටු කිරීමට අපට හැකි වන්නෙත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට හැකි වන්නෙත් අප යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටියොත් පමණයි. (යෙරෙ. 9:24) ඒ නිසා යොෂියා රජු මෙන් දෙවිව හොඳින් දැන හඳුනා ගැනීම සඳහා දෙවිගේ පෞද්ගලිකත්වය ගැන යෙරෙමියා සඳහන් කර තිබෙන විස්තර සමහරක් සලකා බලමු. එසේ කරන විට දෙවිව අපට අනුකරණය කළ හැකි ආකාර ගැනත් කල්පනා කර බලන්න.
යොෂියා රජු යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටියා කියා පැවසිය හැක්කේ ඇයි? යොෂියා රජු මෙන් දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට හැක්කේ කෙසේද?
‘දෙවිගේ අතිමහත් ප්‍රේමය සැමදා පවතින්නේය’
8. “කෙසෙද්” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?
8 ‘දෙවිගේ අතිමහත් ප්‍රේමය සැමදා පවතින්නේය’ කියා යෙරෙමියා සඳහන් කර තිබෙනවා. “අතිමහත් ප්‍රේමය” ලෙස හෝ “ළැදි ප්‍රේමය” ලෙස බයිබලයේ පරිවර්තනය කර තිබෙන “කෙසෙද්” නම් හෙබ්‍රෙව් වචනයට ගැඹුරු අර්ථයක් ඇතුළත් වෙනවා. ඊට ආදරය, ළැදිකම හා නොවෙනස්වනසුලු යන අර්ථයන් ගැබ්ව තිබෙනවා. අතිමහත් ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අන් අය ගැන සැලකිලිමත්. ඒ සෑම අර්ථයක්ම විස්තර වන අයුරින් එම හෙබ්‍රෙව් වචනය තනි වචනයකින් පරිවර්තනය කිරීමට බොහෝ භාෂාවලට නොහැකියි.
9. දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?
9 නමුත් යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ ක්‍රියා කර තිබෙන ආකාරය අධ්‍යයනය කිරීමෙන් “අතිමහත් ප්‍රේමය” කියන්නේ කුමක්ද කියා අපට තේරුම්ගත හැකියි. ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ ගත කළ අවුරුදු 40 පුරා දෙවි ඔවුන්ට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබා දුන්නා. ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසුත් සතුරු ආක්රමණවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමට හා සැබෑ නමස්කාරය කෙරෙහි ඔවුන් තුළ උද්යෝගයක් ඇති කිරීමට දෙවි විනිශ්චයකරුවන්ව පත් කළා. ඊශ්‍රායෙල් සෙනඟ දුෂ්කරතා අද්දුටු කාලවලදීත් ගැටලුවලින් තොර සාමකාමී ජීවිතයක් ගත කළ කාලවලදීත් දෙවි ඔවුන් සමඟ සිටියා. ඊශ්‍රායෙල් සෙනඟට මෙවැනි දෙයක් පැවසීමට දෙවිට හැකි වුණේ ඒ නිසයි. ‘මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි. මා ඔබව මහත් ආදරයකින් මා ළඟට ගත්තා.’—යෙරෙ. 31:3.
10. යාච්ඤාවලට සවන් දීම දෙවි අතිමහත් ප්‍රේමය පෙන්වන ආකාරයක් කියා පැවසිය හැක්කේ ඇයි?
10 එදා පමණක් නොව අදත් දෙවි ඔහුට නමස්කාර කරන අයට අතිමහත් ප්‍රේමයක් පෙන්වනවා. අප කරන යාච්ඤාවලට සවන් දීම ඔහු ප්‍රේමය පෙන්වන එක් ආකාරයක්. ඕනෑම කෙනෙක් දෙවිගේ කැමැත්තට එකඟව අවංකව යාච්ඤා කරනවා නම් දෙවි ඊට සවන් දෙනවා. නමුත් දෙවිට කැපවූ සේවකයන් කරන යාච්ඤා ගැන දෙවි විශේෂයෙන් සැලකිලිමත්. අපට තිබෙන යම් ගැටලුවක් ගැන අප අවුරුදු ගණනාවක් පුරා දෙවිට යාච්ඤා කළත් දෙවි එය කරදරයක් ලෙස සලකන්නේ නැහැ. එය දැන සිටීම මොන තරම් සහනයක්ද! දෙවි යෙරෙමියා මාර්ගයෙන් තමන්ට දැන්වූ පණිවිඩය අසා බැබිලෝනියේ වහලුන්ව සිටි යුදෙව්වන්ද එවැනි සහනයක් ලැබුවා. (යෙරෙමියා 29:10-12 කියවන්න.) මන්ද දෙවිගේ අනුමැතිය ඉල්ලා ඔවුන් කළ කන්නලව්වලට හා දෙවිට ප්‍රශංසා කරමින් කළ යාච්ඤාවලට දෙවි සවන් දී තිබෙන බව එම පණිවිඩය ඇසීමෙන් ඔවුන්ට වැටහුණා. ඉන් පැහැදිලි වන්නේ දේවමාලිගාව තිබූ යෙරුසලමේ සිට කිලෝමීටර් 800ක් දුරින් සිටි යුදෙව්වන්ට යාච්ඤා කිරීමට විශේෂ ස්ථානයක් නොතිබුණත් දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දුන් බවයි.
11, 12. (අ) යුදෙව්වන්ට දෙවි දුන් පොරොන්දුව කුමක්ද? (ආ) තවදුරටත් දෙවිගේ රැළේ සාමාජිකයෙකු නොවන කෙනෙකුට දෙවි දී තිබෙන පොරොන්දුව කුමක්ද?
11 දෙවි තම සේවකයන්ට අතිමහත් ප්‍රේමය පෙන්වන තවත් ආකාරයක් ගැන දැන් සලකා බලමු. යෙරුසලමේ විනාශය ළං වෙමින් තිබුණත් සෙනඟ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගැසූ නිසා ඔවුන් ඉදිරියේ තිබුණේ බලාපොරොත්තු රහිත අනාගතයක්. ඔවුන්ට සාගතවලට මුහුණ දීමට සිදු වන බවත් බැබිලෝනිවරුන් අතින් මැරුම් කෑමට සිදු වන බවත් අනතුරු අඟවා තිබුණා. සමහරුන් එවැනි කුරිරු දේවලින් තම ජීවිත ගලවාගත්තත් ඔවුන්ව වහලුන් ලෙස බැබිලෝනියට ගෙන යන බවත් පවසා තිබුණා. සමහරවිට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එහිදී මිය යෑමට ඉඩ තිබුණා. යුදෙව්වන්ට කිසි බලාපොරොත්තුවක් නැති බව පෙනෙන්න තිබුණත් තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී වැරදි මාර්ග අත්හරින අයට දෙවි ‘පොරොන්දුවක්’ ලබා දුන්නා. එනම් ‘ඔවුන්ව සිහි කර ඔවුන්ව නැවත මව්බිමට රැගෙන එන බවට වූ’ පොරොන්දුවයි. (යෙරෙ. 27:22) එදාට ඔවුන් මහත් ප්‍රීතියෙන් මෙසේ පවසයි කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. යෙහෝවා ඉතා යහපත් දෙවි කෙනෙකි. ඔහුගේ අතිමහත් ප්‍රේමය සැමදා පවතින්නේය.”—යෙරෙ. 33:10, 11.
12 අද දිනත් කිසිම බලාපොරොත්තුවක් නැහැයි කියා පෙනෙන්න තිබෙන අයටද දෙවිගේ අතිමහත් ප්‍රේමයෙන් සහනයක් ලබන්න පුළුවන්. කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් වැරදි කළ නිසා තවදුරටත් දෙවිගේ රැළේ සාමාජිකයන් නොවන අය ගැන ටිකක් සිතන්න. තමන් ලොකු වරදක් කළා යන හැඟීමෙන් සමහරවිට ඔවුන් පීඩා විඳිනවා ඇති. දෙවි කවදාවත් තමන්ට සමාව දෙන එකක් නැහැ කියා සිතමින් දුක් වෙනවාත් ඇති. ඒ නිසා නැවත සභාවේ අය සමඟ එක්ව දෙවිට නමස්කාර කිරීමට ඔවුන් අදිමදි කරනවා විය හැකියි. කෙසේවෙතත් දෙවි එවැනි අයටත් ‘පොරොන්දුවක්’ දී තිබෙනවා. තම සිතුවිලි හා ආකල්ප නිවැරදි කරගෙන වැරදි මාර්ග අත්හරින්න ඔවුන් කැමති නම් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දීමට දෙවි කැමැත්තෙන් සිටිනවා. එවිට පසුතැවිලි වූ යුදෙව්වන්ට නැවත මව්බිමට යෑමට හැකි වූ ලෙස ඔවුන්ටත් නැවත දෙවිගේ සෙනඟ සමඟ එක්ව දෙවිට නමස්කාර කිරීමට හැකියි.—යෙරෙ. 31:18-20.
13. දෙවි යෙරෙමියාව රැකබලා ගත් ආකාරය ගැන දැන සිටීම ඔබට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
13 අතිමහත් ප්‍රේමයක් පෙන්වන දෙවි කෙනෙකු ලෙස ඔහු තම විශ්වාසවන්ත සේවකයන්ව කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ නිසා මේ අවසාන කාලයේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙමින් ජීවත් වන අයව දෙවි රැකබලා ගන්නා බවටත් ඔවුන්ව ආරක්ෂා කරන බවටත් ස්ථිර විය හැකියි. දෙවිගේ කැමැත්තට මුල් තැන දෙමින් ක්‍රියා කළ යෙරෙමියාවත් දෙවි එලෙස රැකබලා ගත්තා. යෙරුසලමේ විනාශය ළංව තිබූ අසීරු කාලයේදී දෙවි යෙරෙමියාට අවශ්‍ය ආහාර ලබා දෙමින් ඔහුව ආරක්ෂා කළා. දෙවි කිසිවිටක ඔහුව අත්හැරියේ නැහැ. (යෙරෙ. 15:15; විලාප ගී 3:55-57 කියවන්න.) ඔබත් යම් අසීරුතාවක් හෝ දුෂ්කරතාවක් අද්දකිමින් සිටිනවා නම් දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබ දරා තිබෙන වෑයම දෙවි කිසිවිටක අමතක කරන්නේ නැති බව මතකයේ තබාගන්න. ඔහු අතිමහත් ප්‍රේමයක් පෙන්වන දෙවි කෙනෙකු නිසා පීඩා, ප්‍රශ්න ගැටලුවලින් අපව සම්පූර්ණයෙන්ම යටපත් වී යෑමට දෙවි කිසිවිටක ඉඩහරින්නේ නැහැ.—විලා. 3:22.
දෙවි අතිමහත් ප්‍රේමය පෙන්වන ආකාර අතරින් වැඩියෙන්ම ඔබේ සිත්ගත්තේ කුමන ආකාරයද? ඊට හේතුව කුමක්ද?
‘යෙහෝවා දෙවි යුක්තිගරුක’ දෙවි කෙනෙක්
14. මෑතකදී ඔබට අසන්න දකින්න ලැබුණු අයුක්තිසහගත දේවල් මොනවාද?
14 අද ලෝකයේ සිදු වන අයුක්තිසහගත දේවල් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? සමහරුන් තමන් නොකළ වැරදිවලට නිරපරාදේ සිරදඬුවම් විඳිනවා. තවත් සමහරක් අය මරණ දණ්ඩනය ලැබුවත් ඇත්තටම ඔවුන් නිර්දෝෂ බව ඔවුන් මිය ගොස් සෑහෙන කාලයකට පසු ඔප්පු වී තිබෙනවා. සමහරක් රටවල සිටින දෙමාපියන්ට එදා වේලවත් පිරිමසාගැනීමට මුදල් නොමැති නිසා ඔවුන් තම දරුවන්ගෙන් කිහිපදෙනෙකුව විකුණා පවුලේ ඉතුරු අයව රක්ෂා කරනවා. අද ලෝකයේ සිදු වන එවැනි අයුක්තිසහගත දේවල් ගැන අපට මහත් දුකක් දැනෙනවා නම් යෙහෝවා දෙවිට ඒ දේවල් ගැන කොතරම් දුකක් දැනෙනවා ඇද්ද! බයිබලයේ සඳහන් වන්නේ යුක්තිසහගත දෙවි කෙනෙකු වන ඔහු, මිනිසුන්ට දුක් වේදනා ගෙනෙන සෑම දෙයක්ම මේ පොළොවෙන් තුරන් කර දමන බවයි. ඇත්තෙන්ම ඒ දේ කළ හැකි එකම තැනැත්තා ඔහු පමණයි. ඒ කාරණය දැන සිටීම අසරණ, දුගී දුප්පත් අයට මහත් සහනයක් ගෙන දෙන්නේ නැද්ද!—යෙරෙ. 23:5, 6.
15, 16. (අ) දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු බව යෙරෙමියා කාවැද්දුවේ කෙසේද? (ආ) දෙවිගේ නීති හා පොරොන්දු ගැන අපට විශ්වාසය තැබිය හැක්කේ ඇයි?
15 දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු බව යෙරෙමියාගේ කාලයේ සිටි සමහරක් යුදෙව්වන් පිළිගත්තා. එම යුදෙව්වන් තම වැරදි ගැන පසුතැවිලි වුණොත්, “යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී, යුක්තිගරුක, ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්” බව ඔවුන් පවසයි කියා යෙරෙමියා සඳහන් කළේ ඒ නිසයි. (යෙරෙ. 4:1, 2) ඇත්තෙන්ම ඒ වදන් යෙහෝවා දෙවිට හොඳින් ගැළපෙනවා. දෙවි අතින් කිසිම අයුක්තියක් සිදු වන්නේ නැහැ. කෙසේවෙතත් දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු කියා පැවසීමට තවත් හේතු තිබෙනවා.
16 දෙවි යුක්තිසහගත දෙවි කෙනෙක් නිසා ඔහු නිතරම විශ්වාසවන්තව ක්‍රියා කරනවා. ඒ බව දෙවි පිහිටුවා තිබෙන භෞතික නීතිවලින්ද පැහැදිලියි. අපේ ප්‍රයෝජනය සඳහා පිහිටුවා තිබෙන එම නීති කවදාවත් වෙනස් වන්නේ නැහැ. (යෙරෙ. 31:35, 36) ඒ නිසා මිනිසුන්ට වඩා වෙනස්ව දෙවි යම් පොරොන්දුවක් දුන්නොත් ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරන බවට අපට නිසැක විය හැකියි.—විලාප ගී 3:37, 38 කියවන්න.
17. (අ) විනිශ්චයක් දීමට කලින් දෙවි කරන්නේ කුමක්ද? (ආ) වැඩිමහල්ලන් සභාවේ යම් කාරණා විනිශ්චය කරන විට ඔවුන් එය කරන්නේ යුක්තිසහගතව කියා අපට නිසැක විය හැක්කේ ඇයි? (198වෙනි පිටුවේ සඳහන්, “වැඩිමහල්ලන් දෙවි වෙනුවෙන් විනිශ්චයකරුවන් ලෙස පෙනී සිටියි” නමැති කොටුව බලන්න.)
17 යෙහෝවා දෙවි මිනිසුන්ව විනිශ්චය කරන ආකාරයෙන්ද ඔහු යුක්තිසහගත දෙවි කෙනෙකු බව පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් විනිසුරුවෙකුට යම් තීන්දුවක් ලබා දිය හැක්කේ බාහිර සාක්ෂි පදනම් කරගෙන පමණයි. නමුත් දෙවිට යම් කෙනෙකුගේ සිතුවිලි, ගැඹුරු හැඟීම් හා ආකල්ප පවා දකින්න පුළුවන්. ඒ නිසා කෙනෙක් යම් දෙයක් කිරීමට හේතු වූ දේවල් හා ඔහුට ඒ ගැන හැඟෙන ආකාරය තේරුම්ගන්න දෙවිට හැකියි. යම් කෙනෙකුට සාධාරණ විනිශ්චයක් දීමට කලින් දෙවි ඒ සෑම තොරතුරක් ගැනම සොයා බලන අතර එසේ කිරීම ඔහු කරදරයක් ලෙස සලකන්නේ නැහැ. ඒ අතින් බලන විට සාධාරණව හා යුක්තිගරුකව ක්‍රියා කරන දක්ෂ විනිසුරුවන්ට වඩා දෙවි අතිශ්‍රේෂ්ඨයි.—යෙරෙමියා 12:1අ; 20:12 කියවන්න.
18, 19. දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු බව තේරුම්ගෙන සිටීම අපට බලපාන්නේ කෙසේද?
18 අතීතයේ ඔබ අතින් සිදු වූ යම් අඩුපාඩුකම් නිසා ඔබේ හෘදය සාක්ෂිය ඔබට වධ දෙන අවස්ථාවලදී දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු බව තේරුම්ගෙන සිටීම ඔබට මහත් සහනයක් ගෙන දෙයි. යෙහෝවා දෙවි වැරදි කරන අයට දඬුවම් කිරීමට බලා සිටින කෲර විනිසුරුවෙක් නොවෙයි. ඔහු ඉතා ප්‍රේමණීය, දයාන්විත, වැරදි කරන අයව යහමඟට ගැනීමට වෑයම් කරන දෙවි කෙනෙක්. ඔබ අතින් සිදු වූ අඩුපාඩුකම් නිසා හෝ වෙනත් කෙනෙක් අතින් ඔබට සිදු වූ අසාධාරණයක් නිසා ඔබ මහත් වේදනාවකින් සිටිනවා නම් ඒ ගැන දෙවිට පවසමින් එම කාරණය දෙවිට භාර දෙන්න.b එවිට එම වේදනාකාරී හැඟීම්වලින් ගොඩ ඒමට ඔබට හැකි වන අතර දෙවිට ඔබ වටිනා පුද්ගලයෙකු බව තේරුම්ගැනීමට දෙවි ඔබට උපකාර කරයි.—විලාප ගී 3:58, 59 කියවන්න.
19 යෙහෝවා දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු නිසා තමන්ට නමස්කාර කරන අයද යුක්තිසහගතව ක්‍රියා කරයි කියා දෙවි බලාපොරොත්තු වෙනවා. (යෙරෙ. 7:5-7; 22:3) අපට දෙවිගේ යුක්තිය අනුකරණය කළ හැකි එක් වැදගත් ආකාරයක් වන්නේ පිටාතරින් පුද්ගලයන් දෙස බලා විනිශ්චය නොකර සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කිරීමයි. බයිබල් සත්‍යයන් දැනගැනීමට කැමැත්තක් දක්වන අයව නැවත හමු වීමට යෑමෙන් හා බයිබල් පාඩම් පැවැත්වීමෙන්ද අප කරන්නේ දෙවිගේ යුක්තිය අනුකරණය කිරීමයි. අප එසේ කරන විට දෙවි ගැන සත්‍යය දැනගෙන ගැලවීම අත් කරගන්න අන් අයට අවස්ථාව ලැබෙනවා. යෙහෝවා දෙවිගේ කැමැත්ත වන්නෙත් සෑම කෙනෙක්ම ගැලවීම ලබනවා දකින්නයි. (විලා. 3:25, 26) දෙවිගේ යුක්තිය අනුකරණය කරමින් අන් අයට තම ජීවිත ගලවාගැනීමට උපකාර කරන්න ලැබීම කොතරම් වටිනා වරප්‍රසාදයක්ද!
දෙවි යුක්තිසහගත දෙවි කෙනෙකු බව දැන සිටීම ඔබට සහනයක් වන්නේ කෙසේද? දෙවිගේ යුක්තිය අනුකරණය කිරීමෙන් අන් අයට සහනයක් ගෙන දීමට ඔබට හැක්කේ කෙසේද?
‘මම ඔබ සමඟ සදහටම උදහසින් නොසිටින්නෙමි’
20. (අ) යෙරෙමියා ලියූ පොත් මගින් කාවැද්දුවේ දෙවිගේ කුමන ගතිලක්ෂණය ගැනද? (ආ) “විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කරයි” කියා පැවසීමෙන් අදහස් වන්නේ කුමක්ද? (201වෙනි පිටුවේ සඳහන්, “විපත්ති ගෙන ඒමට ගත් තීරණයක් දෙවි වෙනස් කරන්නේ ඇයි?” නමැති කොටුව බලන්න.)
20 බොහෝදෙනෙක් සිතන්නේ යෙරෙමියා හා විලාප ගී යන පොත්වල සඳහන් වන්නේ අශුභ පණිවිඩ පමණක් කියායි. නමුත් එසේ සිතන අයට යම් වැදගත් කාරණයක් අමතක වී තිබෙනවා. එනම් කළ වැරදි ගැන පසුතැවිලි වී සමාව ලබාගන්න කියා දෙවි තම සෙනඟගෙන් කළ ඉල්ලීම්ද එම පොත්වල ඇතුළත්ව තිබෙන බවයි. උදාහරණයකට දෙවි එක් අවස්ථාවක යුදෙව්වන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කළා. “ඔබ ගමන් කරන දුෂ්ට මාවත්වලින් ඉවත් වී යහපත් ලෙස හැසිරෙන්න කියා මම ඔබෙන් ඉල්ලමි. ජනයෙනි, හරි මාර්ගයේ ගමන් කරන්න.” තවත් අවස්ථාවක, “ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වී ඔබේ ගතිපැවතුම් හා හැසිරීම් රටාව වෙනස් කරගන්න. ඔබ එසේ කළොත් ඔබට විරුද්ධව විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කරයි” කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් සෙනඟට පැවසුවා. (යෙරෙ. 18:11; 26:13) එදා මෙන් අදත් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි වන අයට සමාව දීමට දෙවි සූදානමින් සිටිනවා.
21. පසුතැවිලි වන කෙනෙකුට දෙවි සමාව දෙන්නේ ඇයි?
21 අවංකව පසුතැවිලි වන අයට සමාව දීමට තමා සූදානම් බව දෙවි පවසනවා පමණක් නොව ඔහු ඇත්තටම ඒ දේ කරනවා. යෙරෙමියා මාර්ගයෙන් ඔහු සෙනඟට පැවසුවේ, ‘කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, හැරී මා වෙතට එන්න. මම ඔබ සමඟ සදහටම උදහසින් නොසිටින්නෙමි. මම සදහටම ඔබ සමඟ අමනාපයෙන් නොසිටින්නෙමි’ කියායි. (යෙරෙ. 3:12) ඉන් පැහැදිලි වන්නේ කෙනෙක් පසුතැවිලි වී දෙවිගෙන් සමාව ලබාගත් පසු දෙවි දිගටම ඔහු සමඟ අමනාපයෙන් නොසිටින බවයි. දෙවිට අවශ්‍ය වන්නේ බිඳුණු මිත්‍රත්වය ඉක්මනින්ම යළි ගොඩනැංවීමටයි. කෙනෙක් කොතරම් බරපතළ වැරදි කර තිබුණත් එම පුද්ගලයා අවංකවම පසුතැවිලි වී සමාව අයැදිනවා නම් දෙවි නැවතත් ඔහුව පිළිගෙන ඔහුට ආශීර්වාද කරනවා. (යෙරෙ. 15:19) දෙවි එසේ කරන බව දැන සිටීම දෙවිගේ රැළෙන් ඈත්ව සිටින අයට නැවත දෙවිගේ රැළ වෙතට පැමිණීමට මහත් දිරිගැන්වීමක් නොවේද? ඇත්තෙන්ම දෙවි සමාව දෙන ආකාරය ගැන කල්පනා කර බලන විට දෙවි වෙතට තව තවත් ළං වීමට අප පෙලඹෙනවා.—විලාප ගී 5:21 කියවන්න.
22, 23. සමාව දීම සම්බන්ධයෙන් ඔබට දෙවිව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
22 යම් කෙනෙකු සිතන්නේ බලන්නේ නැතුව කළ කී දෙයක් නිසා ඔබට ඒ පුද්ගලයා ගැන අමනාපයක් ඇති වුණා කියා සිතන්න. එවැනි අවස්ථාවලදී දෙවිගේ ආදර්ශය ඔබට අනුගමනය කළ හැක්කේ කෙසේද? දෙවි පැවසුවේ තමන්ගෙන් සමාව ලබාගන්නා යුදෙව්වන්ගේ ‘පාප මකා දමනවා’ කියායි. (යෙරෙමියා 33:8 කියවන්න.) ‘පාප මකා දමනවා’ කීමෙන් අදහස් කළේ කෙනෙකු දෙවිගෙන් සමාව ලබාගත් පසු ඔහු පව්කාර ස්වභාවය නැති පරිපූර්ණ කෙනෙකු වන බව නොවෙයි. ඉන් අදහස් කළේ පසුතැවිලි වූ තැනැත්තාගේ වැරදි දෙවි සම්පූර්ණයෙන්ම අමතක කර දමන බවයි. ඒ නිසා ඒ පුද්ගලයාට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව නැවත දෙවිට සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා. අපත් දෙවිව ආදර්ශයට ගන්නවා නම් කෙනෙකු අපේ සිත රිදෙන අයුරින් ක්‍රියා කළොත් ඔහු කළ හෝ කී දෙය සම්පූර්ණයෙන්ම අමතක කර දමන්න අප උත්සාහ කරනවා. ඒ විතරක් නොවෙයි, ඒ පුද්ගලයා ගැන අප තුළ තිබෙන ආකල්පය පවා අප වෙනස් කරගන්නවා. එය සිදු වන්නේ කෙසේද?
23 පරම්පරාවෙන් උරුම වූ ඉතා වටිනා ආභරණයක් ඔබ ළඟ තිබෙනවා කියා ටිකක් සිතන්න. කාලයත් සමඟම එය දුර්වර්ණ වුණොත් ඔබ කරන්නේ කුමක්ද? දැන් එහි කිසි වටිනාකමක් නැහැ කියා සිතා ඔබ එය වීසි කරනවාද? නැහැ. ඒ වෙනුවට එහි දුර්වර්ණ ගතිය ඉවත් කරමින් එහි නියම පැහැය නැවත ලබාගැනීමට පරෙස්සමින් ඔබ එය පිරිසිදු කරනවා. මන්ද ඔබේ ආශාව එම ආභරණයේ නියම අලංකාරය නැවත දකින්නයි. ඒ හා සමානව යම් කෙනෙකු කළ කී දෙයක් නිසා ඔබේ සිතට වේදනාවක් ඇති වී තිබෙනවා නම් එම පුද්ගලයාව ඔබේ ජීවිතයෙන් ඈත් කර දමනවා වෙනුවට ඔහු ගැන තිබෙන අමනාපය ඉවත් කිරීමට දැඩි වෑයමක් දරන්න. ඔහු කළ හෝ කී දෙය විටින් විට ඔබේ මතකයට නැඟෙනවා නම් ඒ සිතුවිලි මඟහරවා ගැනීමට දැඩි වෙහෙසක් දරන්න. ඔබ එසේ කරන විට ඒ පුද්ගලයා ගැන ඔබේ සිතේ ඇති වී තිබෙන වැරදි ආකල්පය වෙනස් කිරීමට ඔබට හැකියි. එය හරියට ඔබට විරුද්ධව ඔහු කළ දෙය ඔබේ මතකයෙන් මකා දමනවා හා සමානයි. එවිට ඔහු සමඟ කලින් තිබූ මිත්‍රත්වය නැවතත් ඇති කරගැනීමට ඔබට හැකියි.
24, 25. යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීමෙන් ඔබ ලබන ප්‍රයෝජන මොනවාද?
24 අප මේ පරිච්ඡේදයෙන් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ කිහිපයක් ගැන සලකා බැලුවා. අප දෙවිව වඩාත් හොඳින් දැන හඳුනා ගන්නා විට දෙවි පිළිගන්නා ආකාරයෙන් ඔහුට නමස්කාර කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. ජීවිතයේ නියම සතුට අද්දකින්නත් අපට හැකි වෙනවා. සන්තෝෂයෙන් සිටින යෙහෝවා දෙවිත් කැමති වන්නේ අප සතුටින් සිටිනවාටයි.
25 දෙවිව දැන හඳුනා ගන්නා විට ප්‍රේමය, යුක්තිය, සමාව දීම වැනි දෙවිගේ ගතිලක්ෂණ අනුකරණය කිරීමට අපත් පෙලඹෙන නිසා සභාවේ සිටින අය සමඟ ශක්තිමත් මිත්‍රත්වයන් ඇති කරගැනීමට අපට හැකියි. දෙවිගේ ගතිලක්ෂණ අනුකරණය කරමින් උද්යෝගයෙන් නැවත බැලීම් හා බයිබල් පාඩම් කරන විට අපට හොඳ ගුරුවරුන් විය හැකියි. ඒ වගේම අප දෙවිව අනුකරණය කරමින් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය උනන්දුවක් දක්වන අය දකින විට ජීවත් විය හැකි හොඳම විදිහ එය බව ඔවුන් තේරුම්ගන්නවා.—යෙරෙ. 6:16.
විලාප ගී 5:21හි සඳහන් දෙය ඔබට බලපාන්නේ කෙසේද?
a යෙහෝයාකිම් රජුට සිදු වූ දෙය ගැන දැනගැනීමට 4වෙනි පරිච්ඡේදයේ 12වෙනි ඡේදය බලන්න.
b සහෝදරයෙකු හෝ සහෝදරියක යම් වැරදි ක්‍රියාවක නියැලී දෙවිගේ නීතියක් කඩ කර තිබෙනවා නම් ඒ ගැන සභාවේ වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. එවිට එම කාරණය ගැන සොයා බලා අදාළ පුද්ගලයාට ශුද්ධ ලියවිල්ල යොදාගෙන අවශ්‍ය උපකාර ලබා දීමට වැඩිමහල්ලන්ට හැකියි.—යාකො. 5:13-15.