“ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න”
“ඒ සියල්ල එසේ නැති වී යෑමට තිබෙන නිසා ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.”—2 පේතෘ. 3:11.
1. පේතෘස්ගේ දෙවන ලිපිය පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට නියම වේලාවට ලැබුණු දිරිගැන්වීමක් වුණේ ඇයි?
පේතෘස් ක්‍රිස්තියානි සභාවට ඔහුගේ දෙවන ලිපිය ලියන විටත් ඔවුන් බොහෝ පීඩා විඳදරාගෙන තිබුණා. ඔවුන්ට කුමන පීඩා ආවත් ඔවුන්ගේ උද්යෝගය අඩු වුණේවත් සභාවේ වර්ධනය අඩු වුණේවත් නැහැ. ඒ නිසා දෙවිගේ සෙනඟව නොමඟ යැවීමට මීට පෙර සාතන් භාවිත කළ සාර්ථක උපක්‍රමයක් මේ අවස්ථාවේදීත් ඔහු යොදාගත්තා. එනම් බොරු ගුරුවරුන්වයි. ඔවුන්ගේ ‘ඇස් අනාචාරය කෙරෙහිද’ ‘සිත තණ්හාව කෙරෙහිද’ යොමු වී තිබෙන බව පේතෘස් පැවසුවා. (2 පේතෘ. 2:1-3, 14; යූද් 4) දෙවිට විශ්වාසවන්තව සිටීමට පේතෘස්ගේ දෙවන ලිපිය සැබෑ ක්‍රිස්තියානීන්ට මොන තරම් දිරිගැන්වීමක් වන්න ඇද්ද!
2. දෙවන පේතෘස් තුන්වන පරිච්ඡේදයේ සඳහන් කර තිබෙන්නේ කුමක් ගැනද? අප සලකා බැලිය යුතු ප්රශ්නය කුමක්ද?
2 තමා මිය යෑමට ආසන්න බව දැන සිටි පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. ‘මට හිමි වී ඇති ශරීරයේ මා ජීවත් වන තුරු ඔබට මෙවැනි සිහිගැන්වීම් ලබා දී ඔබව පුබුදුවාලීම සුදුසු දෙයක් කියා සිතමි. වැඩි කලක් යෑමට මත්තෙන් මටත් මේ ශරීරයෙන් සමුගැනීමට සිදු වන බව දනිමි. එමනිසා හැකි සෑම අවස්ථාවකදීම ඒ සඳහා උපරිම උත්සාහයක් දරන්නෙමි. එවිට මා ඔබෙන් සමුගත් පසු ඒ දේවල් ඔබේ ප්‍රයෝජනය සඳහා සිහියට නඟන්න ඔබට හැකි වනු ඇත.’ (2 පේතෘ. 1:13-15) ඔහු ලබා දුන් උපදෙස් සහෝදරයන්ගේ මතකයේ සැමදා තිබෙනවාට ඔහු කැමති වුණා. ඇත්තෙන්ම එම උපදෙස් බයිබලයේ සඳහන් වී තිබෙන නිසා ඉන් අපටත් ප්‍රයෝජන ලබාගත හැකියි. පේතෘස්ගේ දෙවන ලිපියේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් මේ සමාජ ක්රමයේ ‘අවසාන කාලය’ ගැන මෙන්ම සංකේතාත්මක අහස හා පොළොවේ විනාශය පිළිබඳ තොරතුරු අපට බොහෝ සෙයින් වැදගත්. (2 පේතෘ. 3:3, 7, 10) දෙවිගේ අනුමැතිය ලබාගැනීමට පේතෘස්ගේ උපදෙස් අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියා දැන් අපි සලකා බලමු.
3, 4. (අ) පේතෘස් දුන් උපදෙස හා අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) අප සාකච්ඡා කරන කරුණු තුන කුමක්ද?
3 සාතන්ගේ ලෝකයේ විනාශය ගැන සඳහන් කිරීමෙන් පසු පේතෘස් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.” (2 පේතෘ. 3:11, 12) දෙවි “තම සතුරන්ට දඬුවම්” කරන කාලයේදී ඔහුගේ කරුණාව ලැබෙන්නේ ඔහුගේ කැමැත්ත කරන අයට පමණක් බව පේතෘස් දැන සිටියා. (යෙසා. 61:2) එමෙන්ම ඔහු මෙසේද අනතුරු ඇඟෙව්වා. “ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා සෝදිසියෙන් සිටින්න. කිසි ප්රතිපත්තියකට ගරු නොකරන එවැනි අය [එනම්, බොරු ගුරුවරු] කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න.”—2 පේතෘ. 3:17.
4 මේ අන්තිම දවස්වලදී ක්‍රිස්තියානීන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් සෝදිසියෙන් සිටිය යුතු බව පේතෘස් දැන සිටියා. ඊට හේතුව පසුව යොහන් විස්තර කළා. සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමීමෙන් පසු ‘දෙවිගේ ආඥා පිළිපදින හා යේසුස් ගැන සාක්ෂි දැරීමේ’ කාර්යයේ නියැලෙන අයට විරුද්ධව සාතන් “මහත් කෝපයෙන්” ක්‍රියා කරන ආකාරය යොහන් දර්ශනකින් දුටුවා. (එළි. 12:9, 12, 17) නමුත් සාතන් ගෙනෙන පීඩාවලින් ජය ගන්න දෙවිට පක්ෂපාත අභිෂේක ලත් අයට හා ‘වෙනත් බැටළුවන්ට’ හැකියි. (යොහ. 10:16) ඒත් අපි එක් එක් කෙනා දෙවිට විශ්වාසවන්තව සිටීවිද? එසේ සිටීමට නම් (1) දෙවි සතු ගුණාංග වර්ධනය කරගැනීමත් (2) දෙවිට පිරිනමන නමස්කාරය මෙන්ම අපගේ හැසිරීම නොකිලිටි හා නිකැළැල්ව තබාගැනීමත් (3) පීඩාවලට මුහුණ දෙන විට කල නොකිරී සිටීමත් වැදගත්.
දෙවි සතු ගුණාංග වර්ධනය කරගන්න
5, 6. අප වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද? ඒ සඳහා “උපරිම උත්සාහයක්” දැරිය යුත්තේ ඇයි?
5 පේතෘස් ඔහුගේ දෙවන ලිපිය ආරම්භයේදී මෙසේ සඳහන් කළා. “ඔහු කර ඇති දේට අගය කිරීමක් ලෙස අවංකව හැසිරීමට උපරිම උත්සාහයක් දරමින් ඔබ තුළ තිබෙන විශ්වාසයට නිර්මලකම එකතු කරගන්න. එසේම ඔබේ නිර්මලකමට දැනුමද, ඔබේ දැනුමට තමාව පාලනය කරගැනීමේ හැකියාවද තමාව පාලනය කරගැනීමේ හැකියාවට විඳදරාගැනීමේ හැකියාවද විඳදරාගැනීමේ හැකියාවට දේවභක්තියද, ඔබේ දේවභක්තියට සහෝදර ස්නේහයද ඔබේ සහෝදර ස්නේහයට ප්‍රේමයද එකතු කරගන්න. ඒ දේවල් ඔබ තුළ ඇත්නම් ඇත්තෙන්ම ඒවා දිය උල්පතක් මෙන් ඔබ තුළ පිරී ඉතිරී යනවා නම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔබ ලබා ඇති නිවැරදි දැනුමට අනුව ජීවත් වීමේදී ඔබ අක්‍රියාශීලී හෝ පල නොදරන තත්වයකට හෝ පත් වන්නේ නැත.”—2 පේතෘ. 1:5-8.
6 දෙවි සතු ගුණාංග වර්ධනය කරගැනීම සඳහා අප “උපරිම උත්සාහයක්” දැරිය යුතුයි. ඒ සඳහා සියලුම රැස්වීම්වලට සහභාගි වීම, දිනපතා බයිබලය කියවීම හා හොඳ අධ්‍යයන පුරුදු පවත්වාගැනීම උපකාරවත් වෙනවා. ඒ වගේම පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ සැන්දෑව අතපසු නොකරන්නත් එය සියලුදෙනාටම ප්‍රයෝජනයක් හා ප්‍රීතියක් ලැබෙන ආකාරයෙන් කරන්නත් හොඳින් සැලසුම් කරන්න අවශ්‍යයි. එය පුරුද්දක් කරගත් විට හා ඉන් ලැබෙන ප්‍රයෝජන අද්දකින විට එය නිතිපතා කිරීමට අප තුළ ආශාවක් ඇති වෙනවා.
7, 8. (අ) පවුලේ නමස්කාරය ගැන සමහර අය පවසන්නේ කුමක්ද? (ආ) පවුලේ නමස්කාරයෙන් ඔබ ලබන ප්‍රයෝජන මොනවාද?
7 පවුලේ නමස්කාරය ගැන එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “අපි දැන් හුඟක් විෂයන් ඉගෙනගන්නවා.” තවත් සහෝදරියක් පැවසුවේ මෙසේයි. “පොත් පාඩම වෙනස් කරද්දී මට හුඟක් දුක හිතුණා. ඒක මම ආසම රැස්වීමයි. නමුත් අපි දැන් ඒ කාලය පවුලේ නමස්කාරය සඳහා වෙන් කරලයි තියෙන්නේ. අපිට ඕන කරන්නේ මොනවද කියලත් ඒවා අවශ්‍ය කරන වේලාවත් යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා කියලා දැන් මට තේරෙනවා.” ස්වාමිපුරුෂයෙක් මෙවැනි අදහසක් දැක්වුවා. “අපට පවුලේ නමස්කාරයෙන් හුඟක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. යුවළක් හැටියට අපේ අවශ්‍යතාවට අනුව රැස්වීමක් පවත්වන්න ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! ඒ නිසා අපිට දෙවි සතු ගුණාංග තවත් වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දේවසේවයෙන් වැඩි ප්‍රීතියක් ලබන්නත් පුළුවන් වෙලා තියෙනවා.” පවුලේ නමස්කාරය ගැන පියෙක් පැවසුවේ මෙසේයි. “අපේ දරුවන් දැන් තනියම යම් විෂයන් ගැන කරුණු හොයන්න පුරුදු වෙලා තියෙනවා. ඔවුන් ඒකෙන් ලොකු ප්‍රීතියක් ලබනවා. යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා දන්නවා කියලත් අපේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා කියලත් අපිට තිබුණ විශ්වාසය මේ අලුත් සැලැස්ම නිසා තවත් වැඩි වුණා.” ඔබටත් ඒ සැලැස්ම ගැන හැඟෙන්නේ ඒ ආකාරයටද?
8 සුළු සුළු කාරණා නිසා ඔබේ පවුලේ නමස්කාරය අතපසු කරන්න එපා. විවාහක යුවළක් මෙසේ පැවසුවා. “පහුගිය සති හතරෙම අපේ පවුලේ නමස්කාරය කරන්න බැරි වෙන විදිහට මොනවා හරි දෙයක් වුණා. ඒත් අපි ඒ කිසි දෙයක් නිසා පාඩම නතර කළේ නැහැ.” සමහරවිට ඔබේ පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ වේලාව හෝ දවස වෙනස් කරන්න ඔබට සිදු විය හැකියි. නමුත් එක සතියක්වත් එය අතපසු කරන්න එපා.
9. යෙහෝවා දෙවි යෙරෙමියාට ශක්තිය ලබා දුන්නේ කොහොමද? ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
9 යෙරෙමියාට මඟ පෙන්වීම් අවශ්‍ය වෙලාවේදී දෙවි ඔහුට ඒවා ලබා දුන් අතර ඔහු එය බොහෝ සෙයින් අගය කළා. ඒ මඟ පෙන්වීම්වලින් ලැබුණු ශක්තිය නිසා අකීකරු සෙනඟකට දෙවිගේ පණිවිඩය විඳදරාගැනීමෙන් යුතුව පැවසීමට ඔහුට හැකි වුණා. ඒ ගැන ඔහු පැවසුවේ, “[දෙවිගේ] වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය” කියායි. (යෙරෙ. 20:8, 9) යෙරුසලම විනාශ වන විට අද්දැකීමට සිදු වූ දරුණුතම පීඩා පවා විඳදරාගැනීමට ඔහුට ඒ ශක්තිය උපකාරවත් වුණා. ඔහු අපට කදිම ආදර්ශයක්. අද අපට සම්පූර්ණ බයිබලයම ලැබී තිබෙන නිසා එය අධ්‍යයනය කිරීමෙන් දෙවි සිතන ආකාරයට සිතන්න අපට හැකියි. ඒ තුළින් අපට සේවයේදී මෙන්ම ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඇති වන පීඩා දරාගැනීමටත් සැබෑ නමස්කාරය දුෂ්‍ය කරන දේවලින් වැළකී දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමටත් හැකි වෙනවා.—යාකො. 5:10.
“නොකිලිටිව නිකැළැල්ව” සිටින්න
10, 11. “නොකිලිටිව, නිකැළැල්ව” සිටීමට අප උපරිම උත්සාහයක් දැරිය යුත්තේ ඇයි? ඒ සඳහා අප කුමක් කළ යුතුද?
10 අප ජීවත් වන්නේ අන්තිම කාලයේ නිසා සැහැසියාව, අනාචාරය හා තණ්හාව වැනි දෙවි පිළිකුල් කරන දේවල මිනිසුන් වැඩි වැඩියෙන් නිරත වීම ගැන අප පුදුම වන්නේ නැහැ. සාතන් දෙවිගේ සෙනඟව නොමඟ යැවීමට විවිධ උපක්‍රම යොදනවා. දෙවිගේ සෙනඟව බියගන්වා ඔහුගෙන් ඈත් කිරීමට සාතන් උත්සාහ කරනවා. එසේ කිරීමට නොහැකි වූ විට ඔවුන්ගේ මනස් දුෂ්‍ය කිරීමෙන් ඔවුන්ව දෙවිගෙන් ඈත් කිරීමට ඔහු වෙර දරනවා. (එළි. 2:13, 14) ඒ නිසා අපි පේතෘස්ගේ මෙම ප්‍රේමණීය උපදෙස සිතට ගනිමු. “අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව දෙවි ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.”—2 පේතෘ. 3:14.
11 “උපරිම උත්සාහයක්” දැරීමේ ඇති අවශ්‍යතාව ගැන පේතෘස් කලිනුත් සඳහන් කළා. සාතන්ගේ ලෝකයේ දේවලින් “නොකිලිටිව, නිකැළැල්ව” සිටීමට නම් අප උපරිම උත්සාහයක් දැරිය යුතු බව දන්නා යෙහෝවා දෙවි, පේතෘස්ට ඒ ගැන ලිවීමට සැලැස්සුවා. ඒ නිසා අප වැරදි ආශාවන් අපගේ සිතේ ඇති වීම වැළැක්වීමට උත්සාහයක් දැරිය යුතුයි. (හිතෝපදේශ 4:23; යාකොබ් 1:14, 15 කියවන්න.) ඒ වගේම අප දෙවිගෙන් ඈත් වූ සෙනඟට වඩා වෙනස් ජීවිතයක් ගත කරන නිසා ඔවුන් ඒ ගැන පුදුම වී අපට “නින්දා” කරන විට දෙවිට විශ්වාසවන්තව සිටීමටත් උත්සාහයක් දැරිය යුතුයි.—1 පේතෘ. 4:4.
12. ලූක් 11:13හි අපට දී ඇති පොරොන්දුව කුමක්ද?
12 අප උරුම කරගෙන තිබෙන පාපය නිසා හරි දේ කිරීමට අපට විශාල සටනක් කිරීමට සිදු වෙනවා. (රෝම 7:21-25) ඉන් ජය ගැනීමට නම් යෙහෝවා දෙවිගේ බලයේ උපකාරය අපට අත්‍යවශ්‍යයි. ඔහු අපට එය නොඅඩුවම ලබා දෙනවා. (ලූක් 11:13) එමගින් අපට දෙවි ප්‍රසන්න වන ගුණාංග වර්ධනය කරගත හැකි අතර වැරදි කිරීමට ඇති වන පෙලඹවීම්වලට හසු නොවී සිටීමටත් හැකියි. ඒ විතරක් නොවෙයි යෙහෝවා දෙවිගේ දවස ළං වෙනවාත් සමඟම වැඩි විය හැකි පීඩාවලට හොඳින් මුහුණ දීමටත් එය උපකාරවත් වෙයි.
පීඩාවලට මුහුණ දෙන විට කලකිරෙන්න එපා
13. පීඩා විඳදරාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?
13 සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකයේ ජීවත් වන අපට අනිවාර්යයෙන්ම විවිධ පීඩාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අධෛර්යයට පත් නොවී එවැනි අවස්ථා යෙහෝවා දෙවිට ප්‍රේමය පෙන්වීමටත් ඔහු සහ ඔහුගේ වචනය කෙරෙහි අපට ඇති විශ්වාසය පෙන්වීමටත් ලැබෙන ප්‍රස්තාවන් ලෙස සලකමු. යාකොබ් ඒ ගැන මෙසේ පැවසුවා. “මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න. මන්ද එයින් ඔබ තුළ තිබෙන විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත. එමගින් ඔබ තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වන බව ඔබ හොඳින් දන්නා දෙයකි.” (යාකො. 1:2-4) ඒ වගේම “දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි” දන්නා බව අමතක කරන්න එපා.—2 පේතෘ. 2:9.
14. යෝසෙප්ගේ ආදර්ශයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?
14 පීඩා නිසා කල නොකිරුණු යෝසෙප්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහුගේ සහෝදරයන් ඔහුව වහල්කමට විකුණුවා. (උත්. 37:23-28; 42:21) ඔහු අද්දැක්ක ඒ දරුණු පීඩාව නිසා ඔහුට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය අඩු වුණාද? දෙවි ඒ තත්වයට ඉඩහැරීම නිසා දෙවි කෙරෙහි ඔහු අමනාපයක් ඇති කරගත්තද? ඔහුට කිසිවිටකත් එලෙස හැඟුණේ නැති බව බයිබලයේ පවසනවා. යෝසෙප්ට තවත් පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. පොතිෆර්ගේ භාර්යාව දූෂණය කිරීමට තැත් කළා යන බොරු චෝදනාව මත ඔහුව සිරගත කළා. ඒ අවස්ථාවේදීත් ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. (උත්. 39:9-21) ඒ නිසා ඔහු මහත් ආශීර්වාද භුක්ති වින්දා.
15. නායොමිගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
15 සාමාන්‍යයෙන් පීඩාවකට මුහුණ දෙන විට අප දුකට හෝ කලකිරීමට පත් වෙන්න පුළුවන්. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ටද එලෙස දැනුණා. සමහර අවස්ථාවලදී යෝසෙප්ටද එලෙස දැනුණා විය හැකියි. තමාගේ ස්වාමිපුරුෂයා හා පුතුන් දෙදෙනා අහිමි වූ නායොමි ගැන සිතා බලන්න. ඇය මෙසේ පැවසුවා. “මට නායොමි කියලා කියන්න එපා. සියලු බලැති දෙවි මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා. ඒ හින්දා මට මාරා [“තිත්ත”] කියලා කතා කරන්න.” (රූත් 1:20, 21 පාද සටහන.) ඇයට එලෙස හැඟීම සාධාරණයි. නමුත් යෝසෙප් මෙන් ඇයත් දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති කරගත්තේ නැහැ. ඒ නිසා දෙවි ඇයට බොහෝ සෙයින් ආශීර්වාද කළා. (රූත් 4:13-17, 22) මේ සියලු දුක් පීඩාවලට හේතුව සාතන් මේ ලෝකය පාලනය කිරීමයි. නමුත් දෙවි දේවරාජ්‍යය තුළින් සියලුම දුක් පීඩා නැති කර දමන බවට මෙසේ පොරොන්දු වී තිබෙනවා. “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.”—යෙසා. 65:17.
16. අප යාච්ඤාව සැලකිය යුත්තේ කොහොමද? ඒ ඇයි?
16 දෙවි අපට ප්‍රේම කරන බව දැන සිටීම පීඩාවලට මුහුණ දීමට අපට ශක්තියක්. (රෝම 8:35-39 කියවන්න.) අපව අධෛර්යය කිරීමට සාතන් ගන්නා උත්සාහයන් ඔහු නතර කරන්නේ නැහැ. නමුත් අප “හොඳ සිහිකල්පනාවෙන්” සිටිනවා නම් හා ‘යාච්ඤාව අතපසු නොකරනවානම්’ ඔහුට කිසිම දිනක ජය අත් වන්නේ නැහැ. (1 පේතෘ. 4:7) යේසුස් මෙසේ අපට උනන්දු කළා. “අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.” (ලූක් 21:36) ඉතා උනන්දුවෙන් යාච්ඤා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීමට යේසුස් දිගටම දෙවිට “කන්නලව් කරමින් සිටින්න” කියා පැවසුවා. එසේ පැවසුවේ පියාණන්ට හා තමන්ට පක්ෂපාතව සිටීම මේ කාලයේදී මොන තරම් වැදගත්ද කියා අවධාරණය කිරීමටයි. මන්ද යෙහෝවා දෙවිගේ දවසේදී ගැලවීම ලබන්නේ දෙවිගේ අනුමැතිය ලබා තිබෙන අය පමණයි.
උද්යෝගයෙන් දෙවිට සේවය කරන්න
17. පුරාණයේ විසූ දෙවිගේ සේවකයන්ගෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?
17 නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නියැලීමෙන් අපට මහත් ප්රබෝධයක් ලැබෙනවා. පේතෘස් මෙසේ පැවසුවා. “ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.” (2 පේතෘ. 3:11) දේවභක්තික ක්‍රියාවලට මූලිකවම අයත් වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (මතෙ. 24:14) ශුභාරංචියට උනන්දුවක් නොදැක්වීම නිසාත් විරුද්ධවාදිකම් නිසාත් ජනයා කාර්යබහුල වී සිටින නිසාත් සමහර ප්‍රදේශවල පණිවිඩය ප්‍රකාශ කිරීම අභියෝගයක් විය හැකියි. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ටද එවැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඔවුන් අධෛර්යය නොවී “නැවත නැවතත්” දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළා. (2 ලේකම් 36:15, 16 කියවන්න; යෙරෙ. 7:24-26) ඔවුන්ට දිගටම පණිවිඩය ප්‍රකාශ කිරීමට හැකි වුණේ දෙවි එය වැදගත් කොට සලකන බව ඔවුන් අවබෝධ කරගෙන සිටි නිසයි. ඒ වගේම දෙවිගේ නාමය දැරීම ඔවුන් මහත් ගෞරවයක් ලෙස සැලකුවා.—යෙරෙ. 15:16.
18. ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අනාගතයේදී දෙවිගේ නාමය ගෞරවයට පත් වන්නේ කොහොමද?
18 දෙවිගේ නාමය හා ඔහුගේ අරමුණ ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය අපටත් හිමි වී තිබෙනවා. ඉන් ඉටු වන දේ ගැන සිතා බලන්න. දෙවි දුෂ්ටයන් පිට විනිශ්චය ගෙනෙන විට දෙවි ගැනවත් ඔහුගේ අරමුණු ගැනවත් දැනගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැයි කියා පැවසීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. තමන් පිටට විනාශය ගෙනාවේ යෙහෝවා දෙවි බව පාරාවෝ මෙන් ඔවුන්ද එවිට තේරුම්ගනීවි. (නික්. 8:1, 20; 14:25) ඒ වගේම ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කළේ තම නියෝජිතයන් බව යෙහෝවා දෙවි පැහැදිලිව දැනගැනීමට සලස්වයි. ඒ තුළින් දෙවි ඔහුගේ සේවකයන්ව ගෞරවයට පත් කරනවා.—එසකියෙල් 2:5; 33:33 කියවන්න.
19. යෙහෝවා දෙවිගේ ඉවසීමේ කාලයේදී අපට කළ හැකි දේවල් මොනවාද?
19 පේතෘස් තම දෙවන ලිපියේ අවසාන කොටසේදී ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න.” (2 පේතෘ. 3:15) යෙහෝවා දෙවිගේ ඉවසීමේ කාලයේදී අපට කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගැනීම, දිගටම “නොකිලිටිව නිකැළැල්ව” සිටීම, පීඩා පැමිණෙන විට කල නොකිරීම ඊට ඇතුළත්. එමෙන්ම නමස්කාර කටයුතුවල උද්යෝගයෙන් හවුල් වීමද වැදගත්. එසේ කිරීමෙන් “අලුත් අහස සහ අලුත් පොළොව” තුළ සදාකාලයට ආශීර්වාද භුක්ති විඳීමට අපට හැකියි.—2 පේතෘස් 3:13.
ඔබට මතකද?
• දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් කොහොමද?
• “නොකිලිටිව නිකැළැල්ව” සිටීමට අපට පුළුවන් කොහොමද?
• යෝසෙප් හා නායොමිගෙන් අප ඉගෙනගන්නේ මොනවාද?
• ශුභාරංචිය ප්‍රකාශ කිරීම මහත් වරප්‍රසාදයක් වන්නේ ඇයි?
[9වන පිටුවේ පින්තූරය]
ස්වාමිපුරුෂයෙනි, දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගැනීමට ඔබටත් ඔබේ පවුලේ අයටත් උපකාරවත් වන්නේ කුමක්ද?
[10වන පිටුවේ පින්තූර]
යෝසෙප් පීඩාවලට මුහුණ දුන් ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?