හොඳ හා නරක—ඵලදාව
“අතික්කාගෙඩි පිරෙවූ පෙටිට් [කූඩ, NW] දෙකක් . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මට පෙන්වූ සේක. එක පෙට්ටියක [කූඩයක, NW] ප්‍රථමයෙන් ඉදෙන අත්තික්කා වාගේ ඉතා හොඳ අත්තික්කාද අනික් පෙට්ටියෙහි කන්ට බැරිතරම් ඉතා නරක අත්තික්කාද තිබුණේය.”—යෙරෙමියා 24:1, 2.
1. යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා වූ ඉශ්රායෙල් කෙරෙහි දයානුකම්පාව පෙන්වූයේ කෙසේද, නමුත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
අවුරුද්ද පො.යු.පෙ. 617වන වසර විය. ඒ යෙරුසලමටත් එහි ජනයාටත් එරෙහිව යෙහෝවඃවහන්සේගෙන් ලැබීමට යෝග්‍යව තිබූ විනිශ්චය ක්‍රියාත්මක කිරීමට යන්තම් අවුරුදු දහයකට පෙරය. ඒවන විටත් යෙරෙමියා වෙහෙස මහන්සිය නොබලා අවුරුදු 30ක් දේශනා කොට තිබුණි. දෙවන ලේකම් 36:15හි දක්නට ලැබෙන පරිදි, තත්ත්වය පිළිබඳ එස්රාගේ පැහැදිලි විස්තරය සැලකිල්ලට ගන්න: “ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට [නැවත නැවතත්, NW] පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක.” තවද මේ සියලු පරිශ්රමයන්හි ප්‍රතිඵලය? කනගාටුදායක ආකාරයකට, එස්රා 2 ලේකම් 36 16වන වගන්තියේ තවදුරටත් මෙසේ පවසයි: “එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.”
2, 3. යෙහෝවඃවහන්සේ යෙරෙමියාහට පෙන්වූ කැපීපෙනෙන දර්ශනය විස්තර කරන්න.
2 යුදා ජාතිය මුලිනුපුටා දමනු ඇති බවක් මින් අදහස් කළාද? පිළිතුර සොයාගැනීම සඳහා, යෙරෙමියාට දෙනු ලදුව, ඔහුගේ නාමය දරන පොතේ යෙරෙ 24වන පරිච්ඡේදයේ වාර්තා වී ඇති කැපී පෙනෙන දර්ශනය අපි සලකා බලමු. ස්වකීය ගිවිසුම්ලත් ජනයා අතර සිදුවුණු සිද්ධීන් සංකේතවත් කිරීමට දෙවියන්වහන්සේ අත්තික්කා කූඩ දෙකක් යොදා ගත් සේක. මොවුන් එකිනෙකට වෙනස් ඵල වර්ග දෙකක්, එනම් හොඳ හා නරක ඵල දෙකක් මගින් නිරූපනය කරනු ලැබේ.
3 යෙරෙමියා 24වන පරිච්ඡේදයේ 1වන හා 2වන වගන්තිවල, දෙවියන්වහන්සේගේ ප්‍රොපේතවරයා දුටු දේ මෙසේ විස්තර වෙයි: “බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යුදාහි රජවූ යෙකොනියාද යුදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි [කූඩ, NW] දෙකක් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මට පෙන්වූසේක. එක පෙට්ටියක [කූඩයක, NW] ප්‍රථමයෙන් ඉදෙන අත්තික්කා වාගේ ඉතා හොඳ අත්තික්කාද අනික් පෙට්ටියෙහි [කූඩයෙහි, NW] කන්ට බැරි තරම් ඉතා නරක අත්තික්කාද තිබුණේය.”
දර්ශනයේ වූ හොඳ අත්තික්කා
4. අත්තික්කා සම්බන්ධ දර්ශනය ඇදහිලිවන්ත ඉශ්‍රායෙලිතයන් සඳහා තැබූ සැනසිලිදායක පණිවුඩය කුමක්ද?
4 තමා දුටු දේවල් ගැන යෙරෙමියාගෙන් ඇසීමෙන් පසු, යෙහෝවඃවහන්සේ යෙරෙ 24:5 සිට 7 දක්වා වගන්තිවල මෙසේ පැවසූ සේක: “මා විසින් මේ ස්ථානයෙන් යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට ඇරියාවූ අසුවී ගියාවූ යුදාවරුන් මම මේ හොඳ අත්තික්කාමෙන් සලකන්නෙමි. යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි. මා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් [හෘදයක්, NW] දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් [හෘදයෙන්, NW] මා වෙතට හැරෙනවා ඇත.”
5, 6. (අ) ඇතැම් ඉශ්‍රායෙලිතයන්ව ‘යහපත පිණිස’ කල්දීය දේශය වෙත යවනු ලැබුවේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේ ‘යහපත පිණිස තමන්වහන්සේගේ ඇස්’ වහල්භාවයේ සිටි ඇදහිලිවන්ත ඉශ්‍රායෙලිතයන් කෙරෙහි යොමු කළේ කෙසේද?
5 මෙසේ යෙහෝවඃවහන්සේ මෙහි වදාළ දෙයින් හොඳ කාලවල් මතුවට තිබූ බව, එනම් යුදා ජාතිය මුලිනුපුටා දමනු නොලබන බව පෙනී යයි. එහෙත් මෙම හොඳ අත්තික්කා කූඩයේ වැදගත්කම කුමක්ද?
6 මෙහි යෙකොනියා, නොහොත් යෙහෝයාඛින්, යෙරුසලම නෙබුකද්නෙශර් රජට කැමැත්තෙන් භාර දෙන්නට පෙරාතුව, මාස තුනකුත් දින දහයකට පමණක් යුදා කෙරෙහි රජව සිටියේය. ඔහු සමඟ වහලුන් ලෙස ගෙනයනු ලැබුවන් අතර, දානියෙල්ද, ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා වන හනනියා, මීෂායෙල් හා අසරියාද, එමෙන්ම එසකියෙල්ද සිටියෝය. ඔවුන්ගේ ජීවිත බබිලෝනියේ රජ විසින් ආරක්ෂා කරනු ලැබූ නිසා, යෙහෝවඃවහන්සේ විසින් ‘යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට අරිනු ලැබූ’ ආකාරයකට මෙම සියලු වහලුන් දෙස බැලුවේ යයි පැවසිය හැකිය. යෙහෝවඃවහන්සේ ‘යහපත පිණිස තමන්වහන්සේගේ ඇස් ඔවුන් කෙරෙහි යොමු’ කිරීමට පොරොන්දු වූ බව ඔබ සැලකිල්ලට ගත්තාද? මෙය ඉෂ්ට වූයේ කෙසේද? අවුරුදු 80කට පසුව, පො.යු.පෙ. 537දී, යෙහෝවඃවහන්සේ ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන් සුළු පිරිසකට යුදා දේශයට හැරී ඒමට ඉඩ හරින නියෝගයක් නිකුත් කරන්නට කෝරෙෂ් රජුව පෙලඹ වූ සේක. මෙම ඇදහිලිවන්ත යුදෙව්වෝ යෙරුසලෙම් නුවර නැවත ගොඩනැංවූහ; ඔවුහු තමන්ගේ දෙවිවූ යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට අලුත් දේව මාලිගාවක් ගොඩ නැංවූහ; එමෙන්ම ඔවුහු තමන්ගේ මුළු හෘදයෙන් උන්වහන්සේ වෙතට හැරී පැමිණියෝය. එනිසා මේ සියල්ල සැලකිල්ලට ගත් කල, මෙම වහලුන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන් සියල්ලෙහි දී යෙහෝවඃවහන්සේට ප්‍රථමයෙන් ඉදෙන ඉතා හොඳ අත්තික්කා මෙන් විය.
7. යෙහෝවඃවහන්සේගේ ඇස් ‘යහපත පිණිස’ නවීන යෙරෙමියා පංතිය වෙත යොමු කරනු ලැබුවේ කවදාද, තවද කෙසේද?
7 යෙරෙමියාගේ අනාවැකිමය වදන් අපගේ 20වන ශතවර්ෂයටත් අර්ථවත් වන්නේ යයි අපගේ පෙර ලිපියේදී අප ඉගෙන ගත් බව ඔබට මතක තිබෙන්නට පුළුවන. එමෙන්ම යෙරෙ 24වන පරිච්ඡේදයේද ඒ අතින් කිසිඳු වෙනසක් නැත. පළමුවන ලෝක යුද්ධය පැවති දුක්මුසු කාලය තුළ, යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයන් බොහෝ දෙනෙක් එක් ආකාරයකින් හෝ තවෙකකින් මහා බබිලෝනියේ බලපෑම්වලට යටත් වූහ. එහෙත් ‘යහපත පිණිස’ යෙහෝවඃවහන්සේගේ සුපරීක්ෂාකාරී ‘ඇස ඔවුන් කෙරෙහි යොමුකොට’ තිබුණි. තවද මෙනිසා මහා කෝරෙෂ් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මගින්, යෙහෝවඃවහන්සේ ඔවුන් කෙරෙහි තිබූ මහා බබිලෝනියේ බලය බිඳහෙළා ඔවුන්ව ක්‍රමයෙන් ආත්මික පාරාදීසයකට ගෙනා සේක. මීට ප්‍රතිචාරය දැක්වූ ආත්මික ඉශ්රායෙල්වරු, සිය පූර්ණ හෘදයෙන් යෙහෝවඃවහන්සේ වෙතට හැරී පැමිණියහ. අනතුරුව, 1931දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ යන නාමය පිළිගැනීමට ඔවුහු සතුටු වූහ. සැබවින්ම, ඔවුහු මෙහිදී යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ ඉතා හොඳ අත්තික්කා කූඩයක් මෙන් වූයේ යයි කිව හැකිය.
8. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, අත්තික්කා බඳු රසවත්භාවයකින් යුත් රාජ්‍යයේ පණිවුඩය මහ හඬින් ප්‍රකාශ කර ඇත්තේ කිනම් ආකාරයෙන්ද?
8 තවද තමන්ව මහා බබිලෝනියෙන් නිදහස් කරනු ලැබීමෙහිලා දෙවියන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් අහිමි කරගෙන නැත. ඔවුන් අත්තික්කා බඳු රසවත්භාවයකින් යුත් ශුභාරංචියේ රාජ්‍යය පණිවුඩය තමන්ටම තබාගෙන නැත, එහෙත් ඔවුන් මතෙව් 24:14 [NW]හි ඇති “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලේ දේශනා කරනු ලබන්නේය” යන යේසුස්වහන්සේගේ වදන්වලට එකඟව පොළොව පුරා එය ප්‍රකාශ කර ඇත. තවද මෙහි ප්‍රතිඵලය කුමක් වීද? ආත්මික ඉශ්රායෙල් නොවන 47,00,000කට වැඩි බැටළු ගුණැති අය මහා බබිලෝනියෙන් නිදහස් වී ඇත!
දර්ශනයේ වූ නරක අත්තික්කා
9. යෙරෙමියාගේ දර්ශනයේ නරක අත්තික්කාවලින් නියෝජනය කරනු ලැබුවේ කාවද, තවද ඔවුන්ට සිදුවීමට තිබුණේ කුමක්ද?
9 එහෙත් යෙරෙමියාගේ දර්ශනයේ වූ නරක අත්තික්කා තිබෙන කූඩය ගැන කුමක් කිව හැකිද? යෙරෙමියා 24වන පරිච්ඡේදයේ 8 සිට 10 දක්වා වගන්තිවල සඳහන් යෙහෝවඃවහන්සේගේ වචනවලට යෙරෙමියා මෙහිදී ඉතා ඕනෑකමින් තම අවධානය යොමු කරයි: “නරක්කම නිසා කන්ට බැරි තරම් නරකව තිබෙන අත්තික්කා මෙන් මම යුදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද මේ දේශයේ ඉතුරුව සිටින යෙරුසලමේ ඉතිරි අයද මිසර දේශයෙහි වසන්නන්ද අහකදමන්නෙමි. එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විඳීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි. මා විසින් ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශය මතුපිටින් ඔවුන් නැතිවී යන තුරු, ඔවුන් අතරට කඩුවත් සාගතයත් වසංගතයත් යවන්නෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.”
10. යෙහෝවඃවහන්සේ ශෙදෙකියාව ‘නරක අත්තික්කා’ ලෙස සැලකුවේ මන්ද?
10 එනිසා යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ ශෙදෙකියා සැබවින්ම ‘නරකව තිබෙන අත්තික්කා’ ගෙඩියක් බවට පත් විය. ඔහු යෙහෝවඃවහන්සේගේ නාමයෙන් නෙබුකද්නෙශර් රජුට කර තිබූ පක්ෂපාතකමේ දිවුරුම කඩ කිරීමෙන් එම රජුට විරුද්ධව කැරලි ගැසුවා පමණක් නොව, නමුත් යෙරෙමියා මගින් යෙහෝවඃවහන්සේ තමාට පෙන්වන ලද දයානුකම්පාවද ඔහු සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. ඇත්තෙන්ම, ඔහු යෙරෙමියාව හිරබාරයේ තබන තරම් දුරට පියවර ගත්තේය! දෙවන ලේකම් 36:12හි දක්වා ඇත්තාක් මෙන් එස්රා විසින් එම රජගේ ආකල්පය මෙසේ කැටි කොට දැක්වීම පුදුමයක් නොවේ: “ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; . . . ඔහු යටහත්වුණෙත් නැත.” ශෙදෙකියාත් යෙරුසලමේ ඉතිරිව සිටි අයත් යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ නරක, කුණු වූ අත්තික්කා කූඩයක් මෙන් විය!
අපගේ දවස්වල තිබෙන කුණු වූ සංකේතාත්මක අත්කික්කා
11, 12. අදදින නරක අත්තික්කා ලෙස හඳුනාගෙන ඇත්තේ කාවද, තවද ඔවුන්ට කුමක් සිදුවනු ඇත්ද?
11 දැන් අද අවට ලෝකය දෙස බලන්න. නරක අත්තික්කා ඇති සංකේතාත්මක කූඩයක් අපට සොයා ගන්නට හැකි යයි ඔබ සිතන්නෙහිද? අපගේ දවස යෙරෙමියාගේ දවසත් සමඟ සසඳමින් අපි සත්‍ය කාරණා දෙස බලමු. මහත් පීඩාවේදී පැමිණෙන්නාවූ ස්වකීය උදහස ගැන දිගටම ජාතීන්ට අනතුරු ඇඟවීමට, මෙම 20වන ශතවර්ෂයේ, යෙහෝවඃවහන්සේ, ආලේපලත් ඉතිරි කොටස වන, යෙරෙමියා පන්තිය යොදා ගෙන ඇත. ස්වකීය නාමයට ලැබිය යුතු කීර්තිය උන්වහන්සේට ලබා දෙන ලෙසටත්, ආත්මයෙන් හා සත්‍යතාවයෙන් උන්වහන්සේට නමස්කාර කරන ලෙසටත්, පොළොවේ නිසි පාලකයාණන් හැටියට, පාලනය කරමින් සිටින තමන්වහන්සේගේ පුත්‍රයා වන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගන්නා ලෙසටත් උන්වහන්සේ ජාතීන්ගෙන් උදක්ම ඉල්ලා සිට ඇත. ප්‍රතික්‍රියාව කුමක් වී තිබේද? යෙරෙමියාගේ දවසේ මෙන්ය, ජාතීහු යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ දිගටම නරක දේ කරමින් සිටිත්.
12 එහෙත් මෙම කැරලිකාර ආකල්පය පොලඹවන අය කවරහුද? දෙවියන්වහන්සේගේ දේව සේවකයන් හැටියට ක්‍රියා කිරීමට ඇති අධිකාරිත්වය ගැන ප්‍රශ්න කිරීමෙන් උන්වහන්සේගේ යෙරෙමියා බඳු මෙම පණිවුඩකරුවන්ව සරදමට ලක් කරමින් සිටින්නෝ කවරහුද? දේව වචනය නින්දාවට ලක් කරමින් සිටින්නෝ කවරහුද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට එල්ලකරන ලද පීඩා වැඩිහරියක් පසුපස අද දවසේ සිට ඇත්තෝ කවරහුද? පිළිතුර සියල්ලන්ට පැහැදිලිව දැකිය හැක—ඒ ක්‍රිස්තියානි ලෝකයයි, විශේෂයෙන්ම පූජක පක්ෂයයි! එමෙන්ම අපි කලින් සාකච්ඡා කළ ලිපියේ වූ, ක්‍රිස්තියානි ලෝකයේ කුණු වූ, නරක ඵලදා සියල්ල දෙස බලන්න. ඔව්, ඇත්තෙන්ම අදදින පොළොවේ නරක අත්තික්කාවල සංකේතවත් කූඩයක් ඇත. ඇත්ත වශයෙන්ම, ඒවායේ “නරක්කම නිසා කන්ට බැරි තරම්” යයි යෙහෝවඃවහන්සේ පවසන සේක. යෙරෙමියා තුළින් පවසන ලද යෙහෝවඃ වහන්සේගේ මෙම වදන් අපගේ දවස දක්වා දෝංකාර දෙමින් පවතී: ‘ඔවුහු තමන්ගේ අවසානයට පැමිණෙන්නෝය.’! ක්‍රිස්තියානි ලෝකයට විරුද්ධව පවතින යෙහෝවඃවහන්සේගේ බලවත් කෝපයට සුව වීමක් නොලැබේ.
අපහට අනතුරු අඟවන පාඩමක්
13. පළමුවෙනි කොරින්ති 10:11හි සඳහන් පාවුල්ගේ වචනවලට අනුව, අත්තික්කා කූඩ දෙක පිළිබඳ දර්ශනය අප වටහා ගත යුත්තේ කෙසේද?
13 අප යෙරෙමියාගේ දේවානුභාවයලත් අනතුරු ඇඟවීමේ පණිවුඩයෙන් ඇඟවෙන දේ පරීක්ෂා කර බලත්ම, 1 කොරින්ති 10:11හි ප්‍රේරිත පාවුල්ගේ වදන් අපගේ කන්වල නාදවේ: “ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.” අත්තික්කා කූඩ දෙක පිළිබඳ මෙම දර්ශනයෙන් අපට දැක්වෙන අනතුරු ඇඟවීම අප පෞද්ගලිකව හෘදයට ගෙන තිබෙනවාද? අප මෙතෙක් සාකච්ඡා කරමින් සිටියේ අප සඳහා අනතුරු ඇඟවීමේ ආදර්ශයක් හැටියට තිබෙන ඉශ්රායෙල්වරුන්ට සිදුවූ දේවල අත්‍යවශ්‍ය කොටසකි.
14. ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේගේ මුදු මොළොක් සැලකිල්ලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
14 අවසාන වශයෙන්, දෙවන සාමුවෙල් 7:10හි දක්නට ලැබෙන, ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් දාවිත් රජට පවසන ලද යෙහෝවඃවහන්සේගේ මෙම වදන් අපි සිහිපත් කරමු. “මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි.” යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්වරුන් සෑම ආකාරයකින්ම මුදු මොළොක් බවින් යුක්තව රැකබලා ගත් සේක. සිය ජීවිත තුළ හොඳ ඵලදාව නිපදවීමට ඉශ්රායෙල්වරුන්ට සෑම හේතුවක්ම තිබුණි. ඔවුන්ට කරන්නට තිබුණේ යෙහෝවඃවහන්සේගේ දිව්‍ය ඉගැන්වීම්වලට සවන්දී උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීම පමණකි. එහෙත්, එසේ කළේ ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණි. ඔවුන්ගෙන් බහුතරයක් කොතරම් මුරණ්ඩු හා හිතුවක්කාර වූවාද කිවහොත් ඔවුහු නිපදවුයේ කුණු වූ නරක ඵලදාවක්ය.
15. අදදින ආත්මික ඉශ්රායෙල්වරු සහ ඔවුන්ගේ බැටළුගුණැති සහායකයන් යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාවට ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?
15 හොඳයි, එසේ නම්, අපගේ දවස ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මික ඉශ්රායෙලයේ ඉතිරි කොටස හා ඔවුන්ගේ බැටළුවන් වැනි සහායකයන් කෙරෙහි මහත් දයානුකම්පාවක් පෙන්වා ඇත. වර්ෂ 1919දී ඔවුන්ගේ ආත්මික මිදීමේ පටන් උන්වහන්සේගේ ඇස නිතර ඔවුන් කෙරෙහි පැවත තිබේ. උන්වහන්සේ යෙසායා තුළින් පුරෝකථනය කළ පරිදි, ඔවුහු විශ්වයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් දිව්‍ය උපදෙස් දිනපතා ලබත්. (යෙසායා 54:13) ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් යොමු කරනු ලබන මෙම දිව්‍ය ඉගැන්වීම, ඔවුන් තුළ අපරිමිත සාමයක් තිබීමට හේතුවක් වී ඇති අතර, මෙමගින් යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවයකට ඔවුන්ව ස්ථිර ලෙස ගෙනැවිත් තිබේ. අප සියල්ලන්ම යෙහෝවඃවහන්සේව දැනගැනීමට, උන්වහන්සේට සවන් දීමට හා අනතුරුව අපගේ ජීවිතයේ හොඳ ඵල—එනම් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගෙනෙන්නාවූ ඵල—නිපදවීමට මෙය සපයා දෙන්නේ මොනතරම් පුදුමසහගත ආත්මික පරිසරයක්ද! ඉන් අදහස් කරන්නේ අපගේම ජීවිතයි!
16. අත්තික්කා කූඩ දෙක පිළිබඳ දර්ශනය සම්බන්ධව අප සෑම කෙනෙකුටම කිනම් පෞද්ගලික අදාළ කිරීමක් කළ හැකිද?
16 එහෙත්, පුරාතන යුදාහි බොහෝ දෙනෙක් නරක, කුණු වූ ඵල තමන්ගේ ජීවිතය තුළ නිපද වූ ආකාරයට, ලබන්නට නොවටිනා තරම් වූ දෙවියන්වහන්සේගේ සියලු කරුණාව නොසලකන, තවදුරටත් කැරලිකාර හා දැඩි හදවත් ඇති සමහරෙක් තවමත් සිටිති. මෙය කොතරම් ඛේදනීයද! හොඳ හා නරක වන එහි ඵලදාව සමඟින් මෙම අත්තික්කා කූඩ දෙක මෙහි සිටින අපගේ අවධානයට යොමු කරන ලද අනතුරු ඇඟවීමේ පාඩම, අපෙන් කිසිවෙකුට කිසිදිනක අමතක නොවෙත්වා. ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකය කෙරෙහි යෙහෝවඃවහන්සේගෙන් ලැබීමට යුතු විනිශ්චය දිනෙන් දින ළඟා වෙත්ම, ‘සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, . . . යෙහෝවඃවහන්සේට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙසටද’ වූ පාවුල්ගේ අවවාදය අපි හෘදයට ගනිමු.—කොලොස්සි 1:11, 12.
පුනරීක්ෂණය—“හොඳ හා නරක ඵලදාව” සහ “ජාතීන් සමඟ යෙහෝවඃවහන්සේගේ නඩුව” ලිපියේ ඡේද 1-4 දක්වා
◻ හොඳ අත්තික්කා කූඩයෙන් නියෝජනය වන්නේ කුමක්ද?
◻ දර්ශනයේ වූ නරක අත්තික්කා කූඩය පැහැදිලි වී ඇත්තේ කෙසේද?
◻ යෙරෙමියාගේ පණිවුඩය අපහට දෙන අනතුරු ඇඟවීමේ පාඩම කුමක්ද?
◻ පොදු යුගයට පෙර 607හි ඇති වැදගත්කම කුමක් වීද? තවද පො.යු. 1914?
[15වන පිටුවේ පින්තූරය]
දෙවියන්වහන්සේගේ ජනයා, හොඳ අත්තික්කා මෙන්, මිහිරි රාජ්‍යය ඵල බිහිකොට තිබේ
[15වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි ලෝකය නරක අත්තික්කා කූඩයක් මෙන් බව ඔප්පු වී තිබේ