මාන කොකා අපට උගන්වන පාඩම
“ආකාශයේ මාන කොකා උගේ කාලයන් දනියි . . . නමුත් මාගේ සෙනඟ යෙහෝවාගේ විනිශ්චය නොදනිති.” (යෙරෙමියා 8:7) යෙහෝවා දෙවිව අතහැර වෙනත් විදේශීය දෙවිවරුන්ට නමස්කාර කළ ඇදහිල්ල අත්හළ යූදා සෙනඟට යෙරෙමියා යෙහෝවාගේ විනිශ්චය ප්‍රකාශ කළේ එලෙසයි. (යෙරෙමියා 7:18, 31) යෙරෙමියා ඇදහිල්ල අත්හළ යුදෙව්වන්ට පාඩමක් ඉගැන්වීමට උදාහරණයක් ලෙස මාන කොකාව යොදාගත්තේ ඇයි?
ඉශ්‍රායෙලිතයන්ට මාන කොකුන් විශේෂයෙන්ම සුදු මාන කොකා හුරුපුරුදු පක්ෂියෙකි. මෙම පක්ෂියා බයිබලයේ සඳහන් බොහෝ රටවල් හරහා සංක්‍රමණය කරයි. දිග පාද සහිත දියේ බැස යන මේ විශාල පක්ෂියාගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් දැක්වෙන්නේ ස්ත්‍රී ලිංග ස්වරූපයෙනි. එම නමෙහි ගැබ් වී ඇති අරුත් නම් “පක්ෂපාත තැනැත්තා, ප්‍රේමනීය කරුණාව දක්වන්නා” වේ. මේ නම මෙම පක්ෂියාට වඩාත් උචිත වන්නේ ජීවිතාන්තය දක්වාම ගැහැනු හා පිරිමි සතා එකට වාසය කරන නිසයි. ශීත ඝෘතුවේදී උෂ්ණ දේශගුණයක් පවතින ප්‍රදේශවලට උන් සංක්‍රමණය කරන අතර සෑම වසරකම කලින් වසරේ ලැගුම් ගත් කූඩුවටම යළි පැමිණෙයි.
මෙම මාන කොකාගේ නෛසර්ගික හැසිරීම උගේ පක්ෂපාතිත්වය මනාව පිළිබිඹු කරයි. ගැහැනු හා පිරිමි යන පක්ෂීන් දෙදෙනාම බිත්තර රැකීමේ හා පැටවුන්ට ආහාර සැපයීමේ කාර්යයට එක සේ උර දෙති. අපේ විශිෂ්ට වන ජීවීන් (සිංහලෙන් නැත) යන පොතේ මාන කොකා ගැන කියැවෙන්නේ මෙසේයි. “දෙමව්පියන් හැටියට මාන කොක්කු අසාමාන්‍ය ලෙස එකිනෙකාට පක්ෂපාතයි. ජර්මනියේ පිරිමි මාන කොකෙක් අධිබලැති විදුලි රැහැනක වැදී මිය ගියා. නමුත් ගැහැනු සතා තනිව දවස් තුනක් බිත්තර රැක්කා. ඇය කූඩුවෙන් පිටව ගියේ දවසකට එක් වරක් පමණයි. ඒ අවශ්‍ය කෑම සොයාගැනීම සඳහායි. . . . තවත් අවස්ථාවකදී ගැහැනු සතා වෙඩි වැදී මැරුණු විට පැටවුන් ඇති දැඩි කළේ පිරිමි සතායි.”
ජීවිතාන්තය දක්වාම එකිනෙකාට පක්ෂපාතීව සිටීම හා තම පැටවුන් කෙරෙහි මෘදු මොළොක් සැලකිල්ලක් දැක්වීම වැනි විශිෂ්ට ගුණාංග මාන කොකාට උරුම වී තිබෙන්නේ සහජයෙනි. මෙම ගුණාංග “පක්ෂපාත තැනැත්තා” යන උගේ නම හා කදිමට ගැළපේ. ඇත්ත වශයෙන්ම මාන කොක්කු නොඇදහිලිකාර මුරණ්ඩු ඉශ්‍රායෙලිතයන්ට උගන්වන්නේ කදිම හා බලවත් පාඩමකි.
අද බොහෝදෙනෙක් පක්ෂපාතකම සලකන්නේ යල් පැන ගිය ගුණාංගයක් ලෙසයි. බොහෝදෙනාගේ මතය නම් එය අගය කළ යුතු ගුණාංගයක් වුවද එය ප්‍රායෝගිකව පෙන්විය නොහැකි බවයි. වැඩි වෙමින් පවතින දික්කසාද, අතහැර දැමීම්, මුදල් වංචාව හා වෙනත් වංචනික ක්‍රියාවලින් පෙන්නුම් කෙරෙන්නේ පක්ෂපාතකම අද සමාජයෙන් තුරන් වී ඇති බවයි. ඊට හාත්පසින්ම වෙනස්ව ප්‍රේමනීය කරුණාව මුසු පක්ෂපාතිත්වය බයිබලය තුළ ඉතා උසස් ගුණාංගයක් ලෙස පෙන්වා දේ. බයිබලයේ ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.” (එපීස 4:24, NW) අපේ අලුත් පෞද්ගලිකත්වය අපට පක්ෂපාතීව කටයුතු කිරීමට උපකාර කරයි. නමුත් අපට මාන කොකාගෙනුත් පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්.