2වන පරිච්ඡේදය
දෙවි පිළිබඳ දැනුම හෙළි කරන ග්‍රන්ථය
1, 2. අපට අපේ මැවුම්කරුගේ මඟ පෙන්වීම අවශ්‍ය වන්නේ ඇයි?
අපේ ප්‍රේමනීය මැවුම්කරු මනුෂ්‍යවර්ගයා සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම අඩංගු ග්රන්ථයක් සපයාවි කියා සිතීම ඇත්තෙන්ම සාධාරණයි. ඇත්තටම, මිනිසුන්ට මඟ පෙන්වීම අවශ්‍යයි කියා ඔබ එකඟ වන්නේ නැද්ද?
2 අවුරුදු 2,500කට ඉහතදී, අනාගතවක්තෘවරයෙක් මෙන්ම ඉතිහාසඥයෙක් මෙසේ ලියන්නට විය: “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) වෙන කවරදාකටත් වඩා අදදින එම ප්‍රකාශයේ සත්‍යතාව මැනවින් පැහැදිලියි! එනිසයි, ඉතිහාසඥ විලියම් එච්. ම’ක්නීල් මතු දැක්වෙන අදහස පළ කළේ. ඔහු පැවසුවේ “මිහිපිට මිනිසාගේ ගමන, නිරන්තර අර්බුද වැළකින් හා සමාජ ක්රමයේ බිඳවැටීම් ගණනාවකින් සනිටුහන් වී ඇත” කියායි.
3, 4. (අ) බයිබලය පිළිබඳ අධ්‍යයනයක් වෙත අප එළඹිය යුත්තේ කොහොමද? (ආ) බයිබලය පරීක්ෂා කර බැලීමේ අප නිරත විය යුත්තේ කොහොමද?
3 ඥානවන්ත මඟ පෙන්වීම සඳහා ඇති අපේ සෑම අවශ්‍යතාවයක්ම බයිබලය මගින් සපුරාලයි. බොහෝදෙනෙකු මුලින්ම බයිබලය පරීක්ෂා කර බලද්දී, අධෛර්යයට පත් වන බව ඇත්තයි. එය විශාල පොතක්. එහි සමහරක් කොටස් තේරුම්ගැනීම පහසු නැත. නමුත්, වටිනා උරුමයක් ලබාගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද කියා විස්තර කරන නීතික ලියවිල්ලක් ඔබ අතට දුන්නොත්, එය පරෙස්සමින් අධ්‍යයනය කිරීමට ඔබ කාලය ගන්නේ නැද්ද? එම ලියවිල්ලේ යම් යම් කොටස් ඔබට නොවැටහෙන්නේ නම්, ඔබ එවන් කාරණා සම්බන්ධයෙන් අද්දැකීම් ලත් පුද්ගලයෙකුගේ උපකාරය පතනවා නොඅනුමානයි. ඒ හා සමාන ආකල්පයකින් බයිබලය පරීක්ෂා කර නොබලන්නේ ඇයි? (ක්‍රියා 17:11) යම් ද්‍රව්‍යමය උරුමයකට වඩා වටිනා යමක් ගැනයි අප කතා කරන්නේ. කලින් පරිච්ඡේදයේ අප ඉගෙනගත් පරිදි, දෙවි පිළිබඳ දැනුමට හැකියි අපව සදාකාල ජීවනයට මඟ පෙන්වන්න.
4 දෙවි පිළිබඳ දැනුම හෙළි කරන ග්‍රන්ථය අපි පරීක්ෂා කර බලමු. අප බයිබලය පිළිබඳ කෙටි විස්තරයක් මුලින්ම ඉදිරිපත් කරන්න කැමතියි. අනතුරුව, එය දෙවිගේ ආනුභාවය ලත් වචනය කියා දැනඋගත් පුද්ගලයන් බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ මන්දැයි අපි සාකච්ඡා කර බලමු.
බයිබලයෙහි අඩංගු දේ
5. (අ) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අන්තර්ගත වී තිබෙන්නේ මොනවාද? (ආ) ග්‍රීක් ශුද්ධ ලියවිලිවල අන්තර්ගත වී තිබෙන්නේ මොනවාද?
5 පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම යනුවෙන් බොහෝවිට හඳුන්වනු ලබන, කොටස් දෙකකට වෙන් කර ඇති පොත් 66ක් බයිබලයෙහි ඇත. බයිබලයේ පොත් 39ක් මූලික වශයෙන් හෙබ්‍රෙව් බසින්ද, 27ක් ග්‍රීක් බසින්ද ලියනු ලැබීය. මැවීම මෙන්ම මිනිස් ඉතිහාසයේ මුල් අවුරුදු 3,500 ගැන වාර්තා කරන්නේ, උත්පත්ති සිට මලාකී දක්වා වූ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලයි. දෙවි ඉශ්රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරය, බයිබලයේ මෙම කොටස පරීක්ෂා කර බැලීමෙන් අපට ඉගෙනගත හැකියි. එනම්, පො.යු.පෙ. 16වන සියවසේදී, ජාතියක් වශයෙන් ඉශ්රායෙල් ජාතියේ බිහිවීමේ සිට පො.යු.පෙ. 5වන සියවස දක්වා වූ කාලපරිච්ඡේදයයි.a මතෙව් සිට එළිදරව් දක්වා පොත් අඩංගු ග්‍රීක් ශුද්ධ ලියවිලි, පො.යු. පළමු සියවසේදී යේසුස් ක්‍රිස්තුස්ගේ හා ඔහුගේ ගෝලයන්ගේ ඉගැන්වීම් මෙන්ම ක්‍රියාකාරකම් වෙතට අවධානය යොමු කරවයි.
6. අප මුළු බයිබලයම අධ්‍යයනය කළ යුත්තේ ඇයි?
6 “පරණ ගිවිසුම” යුදෙව් ජාතිකයන්ටත්, “අලුත් ගිවිසුම” ක්‍රිස්තු භක්තිකයන්ටත් දුන් බව සමහරුන් කියා සිටී. එහෙත් 2 තිමෝති 3:16 පවසන පරිදි, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්ව තිබේ.” (ඇල අකුරු අපේය.) එනිසා, ශුද්ධ ලියවිලි නිසියාකාරව අධ්‍යයනය කිරීමට නම්, මුළු බයිබලයම ඊට ඇතුළත් කරගත යුතුයි. ඇත්තෙන්ම, බයිබලයේ කොටස් දෙක, සමස්ත තේමාවක් ගොඩනැංවීමට මනාව එකට ගැළපේ. තවද, ඒවා එකිනෙකෙහි අඩංගු තොරතුරුද සම්පූර්ණ කරයි.
7. බයිබලයේ තේමාව කුමක්ද?
7 සමහරවිට ඔබ වර්ෂ ගණනාවක් පුරා ආගමික මෙහෙයන්ට සහභාගි වී තිබෙනවා විය හැකි අතර, බයිබල් පාඨයන් ශබ්ද නඟා කියවනවා අසා තිබෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් එහි කොටස් ඔබ පෞද්ගලිකව කියවා තිබෙන්නත් පුළුවන්. උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා, බයිබලයට පොදු තේමාවක් තිබෙන බව ඔබ දැන සිටියාද? ඇත්තෙන්ම, බයිබලය පුරා දිව යන්නේ එකම තේමාවකි. එම තේමාව කුමක්ද? එය නම්, මනුෂ්‍යවර්ගයාව පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය නිදොස් කිරීමත්, ඔහුගේ රාජ්‍යය කරණකොටගෙන තම ප්‍රේමනීය අරමුණ ඉෂ්ට කිරීමත්ය. දෙවි මෙම අරමුණ ඇත්තටම ඉටු කිරීමට යන්නේ කෙසේදැයි අපි පසුව සෝදිසි කර බලමු.
8. බයිබලය දෙවිගේ පෞද්ගලිකත්වය ගැන හෙළි කරන්නේ කුමක්ද?
8 දෙවිගේ අරමුණ කැපීපෙනෙන්ට සලස්වනවාට අමතරව, බයිබලය ඔහුගේ පෞද්ගලිකත්වයද හෙළි කරයි. උදාහරණයක් වශයෙන්, දෙවිට හැඟීම් තිබෙන බවත්, අප ගන්නා තීරණයන් ඔහුට බලපාන බවත් අපට බයිබලයෙන් උගත හැකියි. (ගීතාවලිය 78:40, 41; හිතෝපදේශ 27:11; එසකියෙල් 33:11) දෙවි ‘අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය’ කියා ගීතාවලිය 103:8-14 පවසයි. අපව ‘දූවිල්ලෙන් සාදා තිබෙන’ බවත්, මරණයේදී එයට ආපසු හැරෙන බවත් ‘සිහි කරමින්,’ ඔහු අපට දයානුකම්පිත ලෙස සලකයි. (උත්පත්ති 2:7; 3:19) ඔහු විදහාපෙන්වන්නේ මොනතරම් පුදුමාකාර ගුණාංගද! නමස්කාර කිරීමට ඔබට ඕනෑ වන්නේ එවන් දෙවිකෙනෙකුට නොවේද?
9. බයිබලය අපට දෙවිගේ ප්‍රමිති සම්බන්ධයෙන් පැහැදිලි දෘෂ්ටියක් ලබා දෙන්නේ කොහොමද? එවන් දැනුමකින් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කොහොමද?
9 බයිබලය අපට දෙවිගේ ප්‍රමිති සම්බන්ධයෙන් පැහැදිලි දෘෂ්ටියක් ලබා දේ. සමහරක් අවස්ථාවලදී මේවා නීති ලෙස දක්වා ඇත. කෙසේවෙතත්, බොහෝවිට, ආදර්ශ පාඩම්වල ආධාරයෙන් උගන්වන ප්‍රතිපත්ති මගින් ඒවා පිළිබිඹු වේ. දෙවි පුරාණ ඉශ්රායෙල් ඉතිහාසයේ සමහර සිදුවීම් අපේ ප්‍රයෝජනය සඳහා ලිවීමට සැලැස්වීය. මිනිසුන් දෙවිගේ අරමුණට එකඟව ක්‍රියා කරන විට සිදු වන දේද, ඔවුන් හිතුවක්කාරව ක්‍රියා කරන විට ඉන් ඇති වන ඛේදනීය ප්‍රතිවිපාකද, මෙම අවංක වාර්තාවල පෙන්නුම් කරයි. (1 රාජාවලිය 5:4; 11:4-6; 2 ලේකම් 15:8-15) මෙවන් සැබෑ ජීවිත වාර්තා කියවීම, අපේ හදවත්වලට බලපෑම් කරන බවට කිසිම සැකයක් නැත. වාර්තා කරන ලද සිද්ධීන් සිතින් මවාගැනීමට අප වෑයම් කළොත්, ඒවාට සම්බන්ධ පුද්ගලයන්ගේ චරිත සමඟ අපේ ජීවිත සන්සන්දනය කර බැලීමට අපට හැකියි. මෙසේ යහපත් ආදර්ශවලින් ප්‍රයෝජන ලබමින් වරදකරුවන් හසු වූ උගුල්වලින් ආරක්ෂා වීමටද අපට හැකි වෙයි. කෙසේවෙතත්, මතු දැක්වෙන වැදගත් ප්‍රශ්නයට උත්තරයක් අවශ්‍ය වේ: එනම්, බයිබලයෙන් අප කියවන දේ සැබවින්ම දෙවිගේ ආනුභාවයෙන් ලද යමක් බවට අපට නිසැක විය හැක්කේ කෙසේද?
ඔබට බයිබලය විශ්වාස කළ හැකිද?
10. (අ) බයිබලය යල් පැන ගොස් ඇති බව සමහරුන්ට හැඟෙන්නේ ඇයි? (ආ) දෙවන තිමෝති 3:16 අපට බයිබලය ගැන පවසන්නේ කුමක්ද?
10 උපදෙස් පිරිනමන පොත් පත් බොහොමයක්, ඉතා කෙටි කලකින් යල් පනින බව ඔබේ අවධානයට ලක්ව තිබෙනවා ඇති. බයිබලය ගැන කුමක් කිව හැකිද? එය පැරණි පොතක්. එය ලියා අවසන් කර දැන් අවුරුදු 2,000ක් පමණ ගත වී තිබේ. එනිසා එය අපේ නූතන යුගයට නොගැළපෙන බවයි සමහරුන්ගේ හැඟීම. නමුත් බයිබලය ලැබුණේ දෙවිගේ ආනුභාවයෙන් නම්, එය කොතරම් පැරණි වුවත්, එහි අවවාද සැමවිටම තත්කාලීන විය යුතුයි. ශුද්ධ ලියවිලි දැන් පවා “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස . . . ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව” තිබිය යුතුයි.—2 තිමෝති 3:16.
11-13. බයිබලය අපේ කාලයට ප්‍රායෝගික බව අපට පැවසිය හැක්කේ ඇයි?
11 බයිබල් ප්‍රතිපත්ති මුලින් ලියනු ලැබූ කාලයට සමානව අදදිනත් එලෙසින්ම අදාළව පවතින බව ඒවා හොඳින් පරීක්ෂා කර බැලීමේදී හෙළි වෙයි. උදාහරණයක් වශයෙන්, මිනිස් ස්වභාවය ගැන බයිබලය මනා අවබෝධයක් ලබා දෙන අතර, මෙය මනුෂ්‍යවර්ගයාගේ සෑම පරම්පරාවකටම එක සේ අදාළ වේ. මතෙව් පොතෙහි 5 සිට 7 දක්වා පරිච්ඡේදවල සඳහන්ව ඇති යේසුස්ගේ කන්ද උඩ දේශනාවේ, අපට මෙය පහසුවෙන්ම දැකගත හැකියි. නැසීගිය ඉන්දියානු නායක මොහාන්දස් කේ. ගාන්ධිගේ සිතට මෙය කොතරම් තදින් කාවැදීද යත්, ඔහු බ්‍රිතාන්‍ය නිලධාරියෙකුට මෙසේ පැවසූ බවට වාර්තා වේ. “මෙම කන්ද උඩ දේශනාවේදී ක්‍රිස්තුස් පිහිටෙවූ ඉගැන්වීම්වලට එකඟව, ඔබේ රටත්, මගේ රටත් එක් වුවහොත් අපේ රටවල ගැටලු අප විසඳගන්නවා පමණක් නොව, මුළු ලෝකයේම ගැටලුත් අප විසඳාවි.”
12 යේසුස්ගේ ඉගැන්වීම් ගැන මිනිසුන් මවිතයට පත්වීම පුදුමයක්ද! සැබෑ සන්තෝෂය අත් කරගන්නා ආකාරය ඔහු අපට කන්ද උඩ දේශනාවේදී පෙන්වා දුන්නේය. විවාද සමථයකට පත් කරගන්නා ආකාරය ඔහු පැහැදිලි කරන්නට විය. යාච්ඤා කළ යුතු ආකාරය ගැන යේසුස් උපදෙස් සැපයුවේය. ද්‍රව්‍යමය අවශ්‍යතා කෙරෙහි තිබිය යුතු නැණවත්ම ආකල්පයට යොමු දැක්වූ ඔහු, අන්‍යයන් සමඟ හොඳ සම්බන්ධතා වර්ධනය කරගැනීම සඳහා රන් අණ දුන්නේය. මෙම දේශනාවේදී සලකා බැලූ කරුණු අතරට, ආගමික ප්රෝඩාකාරීන්ව හඳුනාගන්නා ආකාරයත්, සුරක්ෂිත අනාගතයක් ලබාගත හැකි ආකාරයත් අයත් විය.
13 අපේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද, කුමක් මඟ හැරිය යුතුද යන්න ගැන, කන්ද උඩ දේශනාව මෙන්ම එහි ඉතිරි පිටු මගින් බයිබලය අපට පැහැදිලි කරයි. එහි උපදෙස් කොතරම් ප්‍රායෝගිකද කියනවා නම්, එක් ආචාර්යවරයෙක් මෙසේ පැවසීය. “මම කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ උපාධියක් ඇති උසස් පාඨශාලා උපදේශකයෙක්. මානසික සෞඛ්‍යය හා මනෝවිද්‍යාව පිළිබඳව පොත් රාශියක් මම කියවලා තිබෙනවා. ඒ වුණාට, සාර්ථක විවාහ ජීවිතයක් භුක්ති විඳීම, බාලාපචාරය වැළැක්වීම, මිතුරන් ඇති කරගෙන මිත්‍රත්වය එලෙසම පවත්වාගෙන යෑම වගේ දේවල් සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් උපදෙස්, මම කියවලා තියෙන, විද්‍යාලයේ අධ්‍යයනය කරලා තියෙන ඕනෑම දෙයකට වඩා බෙහෙවින් උසස් කියලයි මට වැටහිලා තිබෙන්නේ.” බයිබලය ප්‍රායෝගික හා තත්කාලීන වනවාට අමතරව, එය විශ්වාසදායකයි.
නිවැරදි මෙන්ම විශ්වාසදායකයි
14. බයිබලය විද්‍යානුකූලව නිවැරදි බව පෙන්වන්නේ කුමකින්ද?
14 බයිබලය විද්‍යා අත්පොතක් නොවුවත්, එය විද්‍යානුකූලව නිවැරදියි. උදාහරණයක් හැටියට, පෘථිවිය පැතලියි කියා බොහෝදෙනෙකු විශ්වාස කළ කාලයකදී, එය ‘චක්‍රයක්’ (හෙබ්‍රෙව්, චග්හ්, “ගෝලය” යන අදහස එහි අන්තර්ගතයි) බව අනාගතවක්තෘ යෙසායා සඳහන් කළේය. (යෙසායා 40:22) යෙසායාගේ කාලයේ සිට අවුරුදු දහස් ගණනක් පසු වන තෙක්, පෘථිවිය ගෝලාකාරය යන අදහස පුළුල්ව පිළිගැනුණේ නැත. එනමුත්, අවුරුදු 3,000කට වඩා ඉහතදී ලියනු ලැබූ යෝබ් 26:7 ප්‍රකාශ කර තිබෙන්නේ, දෙවි “පොළොවද අවකාශයෙහි එල්ලා තබන” බවයි. ඒ සම්බන්ධයෙන් එක් බයිබල් විශාරදයෙක් මෙසේ පවසයි: “තාරකා ශාස්ත්‍රයෙන් පැහැදිලි වන පරිදි, කිසිවක ආධාරයක් නොමැතිව පෘථිවිය හිස් අවකාශයේ එල්ලෙන බවට වූ මෙම සැබෑව, යෝබ් දැනගත්තේ කෙසේද යන්න, ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය යන්න ප්‍රතික්ෂේප කරන අයට පිළිතුරු දීමට අපහසු ප්රශ්නයකි.”
15. බයිබලයේ තොරතුරු වාර්තා කර ඇති ශෛලිය මගින් එය කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් වන්නේ කොහොමද?
15 බයිබලයේ තොරතුරු වාර්තා කර තිබෙන ශෛලිය මගින්ද, මෙම යුග ගණන් පැරණි ග්‍රන්ථය කෙරෙහි අපේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වේ. මිථ්‍යා ප්රබන්ධවලට වෙනස්ව, බයිබලයෙහි වාර්තා වී ඇති සිද්ධීන් නිශ්චිත පුද්ගලයන්ට හා දිනවලට සම්බන්ධය. (1 රාජාවලිය 14:25; යෙසායා 36:1; ලූක් 3:1, 2) එමෙන්ම පුරාණ ඉතිහාසඥයන් තම පාලකයන්ගේ ජයග්‍රහණ සැමවිටම පාහේ උලුප්පා දක්වමින්, ඔවුන්ගේ පරාජයන් සහ වැරදි සැඟවුවත්, බයිබල් ලේඛකයෝ තමන්ගේ බරපතළ පාප ගැන පවා ඍජුව හා අවංකව කතා කළහ.—ගණන් කථාව 20:7-13; 2 සාමුවෙල් 12:7-14; 24:10.
අනාවැකි සමන්විත ග්රන්ථයක්
16. බයිබලය දෙවිගේ ආනුභාව ලත් වචනය බවට තිබෙන ප්රබලතම සාක්ෂිය කුමක්ද?
16 බයිබලය දේවානුභාවයෙන් ලද යමක් බවට ඔප්පු කරන නිශ්චිත සාක්ෂි ඉටු වූ අනාවැකි මගින් සැපයේ. අකුරටම ඉටු වී ඇති අනාවැකි බොහොමයක් බයිබලයෙහි අන්තර්ගතයි. මෙවන් දෙයක් මිනිසුන්ගේ හැකියාවෙන් පමණක් සිදු වූ බව කිසි විටෙකත් කිව නොහැක. එසේනම්, මෙම අනාවැකි පිටුපස සිටින්නේ කවුද? බයිබලයේම මෙසේ පවසයි: ‘කිසි අනාවැකියක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මය [නොහොත් දෙවිගේ ක්‍රියාකාරි බලය] මගින් පොලඹවනු ලැබ, දෙවිගෙන් ලැබූ ලෙස කතා කළෝය.’ (2 පේතෘස් 1:21) උදාහරණ කිහිපයක් සලකා බලන්න.
17. බබිලෝනියේ වැටීම පුරෝකථනය කළ අනාවැකි මොනවාද? මේවා ඉටු වුණේ කොහොමද?
17 බබිලෝනියේ වැටීම. බබිලෝනිය මේදවරුන්ගේද පර්සියානුවන්ගේද අතට පත් වන බව යෙසායා සහ යෙරෙමියා යන දෙදෙනාම පුරෝකථනය කළේය. නමුත් පුදුමයට හේතුවක් වන්නේ, මෙම සිද්ධිය පිළිබඳව යෙසායාගේ අනාවැකිය වාර්තා කරන ලද්දේ බබිලෝනියේ වැටීමට අවුරුදු 200කට පමණ පෙර වීමයි! අනාවැකියේ පහත දැක්වෙන අංගයන් දැනටමත් ඉතිහාසයේ වාර්තා වී හමාරය. එනම්, ප්‍රාත් ගංගාව මිනිසුන් තැනූ කෘත්‍රිම විලකට හැරවීමෙන්, එය සිඳීයෑමට සැලැස්වීම (යෙසායා 44:27; යෙරෙමියා 50:38); නොසැලකිලිමත්කම හේතුවෙන් බබිලෝනියේ ගඟ අසබඩ දොරටු අනාරක්ෂිත තත්වයක තිබීම (යෙසායා 45:1); එමෙන්ම කෝරෙෂ් නමැති පාලකයෙකුගේ විජයග්‍රහණය යනාදියයි.—යෙසායා 44:28.
18. “ග්‍රීසියේ [රජගේ]” නැඟීම සහ වැටීම සම්බන්ධව බයිබල් අනාවැකි ඉටු වුණේ කොහොමද?
18 “ග්‍රීසියේ [රජගේ]” නැඟීම සහ වැටීම. එළුවෙකු බැටළුවෙකුට අනිමින්, උගේ අං බිඳදමනවා දානියෙල් දර්ශනයකින් දුටුවේය. ඉන් අනතුරුව, එළුවාගේ මහ අඟ බිඳුණ අතර ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තේය. (දානියෙල් 8:1-8) දානියෙල්ට මෙසේ පැහැදිලි කරනු ලැබීය: “නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය. රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය. ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන්, ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.” (දානියෙල් 8:20-22) මෙම අනාවැකියට අනුව, සියවස් දෙකකට පමණ පසුව, “ග්‍රීසියේ රජ,” එනම් මහා ඇලෙක්සැන්ඩර්, අං දෙකකින් යුත් මේද-පර්සියානු අධිරාජ්‍යය පරාජය කරන්නට විය. ඇලෙක්සැන්ඩර් පො.යු.පෙ. 323දී මියගිය අතර, අවසානයේදී ඔහු වෙනුවට ඔහුගේ සේනාධිපතීන් සතරදෙනෙක් බලයට පැමිණියහ. කෙසේවෙතත්, පසුව බිහි වූ එක රාජධානියක්වත් බලයෙන් ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයට සමාන වූයේ නැත.
19. යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි මොනවාද?
19 යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය. යේසුස්ගේ උපත, දේවසේවය, මරණය සහ නැවත නැඟිටීම සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි රාශියක් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දක්නට ලැබේ. උදාහරණයකට, මෙසියස් නොහොත් ක්‍රිස්තුස්, බෙත්ලෙහෙම්හි උපත ලබන බව මීකා පුරෝකථනය කළේ ඊට අවුරුදු 700කටත් පෙරදියි. (මීකා 5:2; ලූක් 2:4-7) මෙසියස්ට පහර දෙන බවත්, ඔහුට කෙළ ගසන බවත්, මීකාගේ සමකාලීනයෙක් වූ යෙසායා පුරෝකථනය කළේය. (යෙසායා 50:6; මතෙව් 26:67) මෙසියස්ව රිදී මිල 30කට පාවා දෙන බව, එය සිදුවීමට අවුරුදු 500කටත් කලින් සෙකරියා පුරෝකථනය කරන්නට විය. (සෙකරියා 11:12; මතෙව් 26:15) මෙසියස් වන යේසුස්ගේ මරණයට සම්බන්ධ වූ සිද්ධීන් ගැන ඊට අවුරුදු දහසකටත් වඩා කලින්, දාවිත් පුරෝකථනය කළේය. (ගීතාවලිය 22:7, 8, 18; මතෙව් 27:35, 39-43) තවද මෙසියස් පැමිණෙන වකවානුව මෙන්ම, ඔහුගේ සේවයේ කාල සීමාව සහ ඔහුගේ මරණය සිදු වන කාලයත් ඊට සියවස් පහකට පමණ කලින් දානියෙල්ගේ අනාවැකිය මගින් හෙළි විය. (දානියෙල් 9:24-27) මේවා යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකිවලින් බිඳක් පමණයි. පසුව ඔහු ගැන තවත් බොහෝ දෑ කියවීමෙන් ඔබ ආස්වාදයක් ලබනවා නොඅනුමානයි.
20. ඉටු වූ අනාවැකි පිළිබඳ බයිබලයේ සඳහන් පරිපූර්ණ වාර්තාව අප තුළ ඇති කළ යුත්තේ කුමන නිසැකභාවයක්ද?
20 දීර්ඝ කාලීන අදාළ වීම් ඇති වෙනත් බයිබල් අනාවැකි බොහොමයක් දැනටමත් ඉටු වී ඇත. ‘නමුත් මෙය මගේ ජීවිතයට බලපාන්නේ කොහොමද’ කියා ඔබ ඇසිය හැකියි. හොඳයි, මෙහෙම සිතමු. ඔබ දන්න කාලයේ සිටම ඔබට සත්‍යය පවසන කෙනෙක් සිටී. ඔහු යම් අලුත් දෙයක් පැවසූ පමණින්ම, ඔබ ඔහුව සැක කරන්න යනවාද? නැත! දෙවි බයිබලය පුරාම සත්‍යය පවසා ඇත. මතු පැමිණෙන භූමික පාරාදීසයක් පිළිබඳ අනාවැකි වැනි බයිබලයේ පොරොන්දු වී ඇති දේවල් කෙරෙහි ඔබේ දැඩි විශ්වාසය ගොඩනැඟීමට මෙය ඉවහල් විය යුතු නැද්ද? ‘දෙවි බොරු නොකියන’ බව ලියූ යේසුස්ගේ පළමු සියවසේ සිටි ගෝලයෙකු වූ පාවුල්ට මෙන්, අපටත් එවන් නිසැකභාවයක් ඇති කරගත හැකියි. (තීතස් 1:1) එපමණක්ද නොව, අප ශුද්ධ ලියවිලි කියවා, එහි අඩංගු උපදෙස් අදාළ කරගැනීමත් සමඟම, මිනිසාට ස්ව-හැකියාවෙන් අත් කරගත නොහැකි ප්‍රඥාවක් අපේ ජීවිතවලින් විදහාපෙන්වමින් සිටින්නෙමු. මන්දයත් සදාකාල ජීවනයට මඟ පෙන්වන දෙවි පිළිබඳ දැනුම හෙළි කරන එකම ග්‍රන්ථය වන්නේ බයිබලයයි.
දෙවි පිළිබඳ දැනුම සඳහා “දැඩි ආශාවක් වර්ධනය කරගන්න”
21. බයිබලයෙන් ඔබ ඉගෙනගන්නා සමහර දේවල් අත් කරගැනීමට අපහසු යමක් සේ දිස් වෙයි නම්, ඔබ කළ යුත්තේ කුමක්ද?
21 ඔබ බයිබලය අධ්‍යයනය කිරීමෙහි නිරත වෙත්ම, මීට පෙර ඔබට උගන්වන ලද දේවලට වඩා වෙනස් දේවල් ඉගෙනගැනීමට ඉඩ තිබේ. ඔබ භක්ත්‍යාදරයෙන් රැකගත් ඇතැම් ආගමික වත්පිළිවෙත්වලට දෙවි අකමැති බව ඔබට වැටහේවි. සීමා තහංචි නැති මේ ලෝකයේ, පොදුවේ දකින්ට ලැබෙන හරි හා වැරදි පිළිබඳ ප්‍රමිතිවලට වඩා උසස් ඒවා දෙවිට තිබෙන බව ඔබ ඉගෙනගනු ඇත. මුලදී මෙය අත් කරගැනීම අපහසු යමක් සේ දිස්විය හැකියි. එහෙත් ඉවසිලිවන්ත වන්න! දෙවි පිළිබඳ දැනුම සොයාගැනීමට ශුද්ධ ලියවිලි පරෙස්සමින් පරීක්ෂා කර බලන්න. බයිබලය දෙන උපදෙස් නිසා ඔබේ සිතුවිලිවල හා ක්‍රියාවල යම් සකස් කිරීමක් කරන්න අවශ්‍යයයි ඔබට හැඟුණොත් එසේ කිරීමට සූදානමින් සිටින්න.
22. ඔබ බයිබලය අධ්‍යයනය කරන්නේ ඇයි? අන්‍යයන්ට මෙය තේරුම්ගැනීමට ඔබට උපකාර කළ හැක්කේ කොහොමද?
22 හොඳ චේතනාවෙන් මිත්‍රයන් සහ ඥාතීන් ඔබේ බයිබල් අධ්‍යයනයට තම විරෝධය පෑ හැකියි. නමුත්, යේසුස් මෙසේ පැවසූ බව මතක තබාගන්න. “මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ [පියා] ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ [පියා] ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.” (මතෙව් 10:32, 33) ඔබ යම් ආගමික ලබ්ධියකට සම්බන්ධ වෙයි කියා හෝ යම් උන්මත්තකයෙකු බවට පත් වෙයි කියන බිය සමහරුන්ට තිබිය හැකියි. කෙසේවෙතත්, යථාර්ථය ගත් කල, ඔබ ඇත්තටම යත්න දරන්නේ දෙවි සහ ඔහුගේ සත්‍යතාව පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට පමණයි. (1 තිමෝති 2:3, 4) ඔබ ඉගෙනගනිමින් සිටින දේවල් ගැන අන්‍යයන්ට පවසන විට, ඔවුන්ට මෙය තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා සාධාරණව කටයුතු කරන්න. වාද කිරීමෙන් වළකින්න. (පිලිප්පි 4:5) බයිබල් දැනුමෙන් පුද්ගලයන්ට ප්‍රයෝජන අත් වන බව බොහෝදෙනෙක් දකින විට, ඔවුන්ව “වචනය නැතුව” ‘දිනාගනු’ ලබන බව මතක තබාගන්න.—1 පේතෘස් 3:1, 2.
23. දෙවි පිළිබඳ දැනුම සඳහා ඔබට “දැඩි ආශාවක්” ‘වර්ධනය කරගත’ හැක්කේ කොහොමද?
23 බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ‘අලුත උපන් බිළිඳුන් මෙන් ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලට බොහෝ ආශා වෙන්න [දැඩි ආශාවක් වර්ධනය කරගන්න, NW]’ කියායි. (1 පේතෘස් 2:3) පෝෂණය ලැබීම සඳහා බිළිඳෙකු තම මව මත යැපෙන අතර, එම අවශ්‍යතාව බිළිඳා කෙසේ හෝ ඉටු කරගනී. ඒ හා සමානව, දෙවිගෙන් ලැබෙන දැනුම මත අපිත් රඳා සිටිමු. ඔබේ අධ්‍යයනය දිගටම කරගෙන යෑමෙන් ඔහුගේ වචනය සඳහා “දැඩි ආශාවක් වර්ධනය කරගන්න.” සැබවින්ම, බයිබලය දිනපතා කියවීම ඔබේ ඉලක්කය කරගන්න. (ගීතාවලිය 1:1-3) මින් ඔබට අනර්ඝ ආශීර්වාද ලැබේවි. දෙවිගේ පනත් ගැන ගීතාවලිය 19:11 මෙසේ පවසයි: “එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.”—නව අනුවාදය.
[පාදසටහන්වල]
a පො.යු.පෙ. යන්නෙහි තේරුම “පොදු යුගයට පෙර” යන්නයි. මෙය ක්‍රි.පූ. (“ක්‍රිස්තු පූර්ව”) යන යෙදුමට වඩා නිවැරදියි. පො.යු. යන්නෙන් දැක්වෙන්නේ “පොදු යුගය” යන්නයි. මෙය බොහෝදුරට දැක්වෙන්නේ ක්‍රි.ව. ලෙසයි. ඇනෝ ඩොමිනි එනම් “අපේ ස්වාමීන්ගේ වර්ෂයේදී” යන්න එහි අර්ථයයි.
ඔබේ දැනුම මැන බලන්න
බයිබලය වෙනත් කිසිදු පොතකට වඩා වෙනස් වන්නේ කිනම් ආකාරවලින්ද?
ඔබට බයිබලය විශ්වාස කළ හැක්කේ ඇයි?
බයිබලය දෙවිගේ ආනුභාවය ලත් වචනය බව ඔබට කුමකින් ඔප්පු වෙයිද?
[14වන පිටුවේ කොටුව]
ඔබේ බයිබලය හොඳින් පරිහරණය කරන්න
බයිබලයට හුරුපුරුදු වීම දුෂ්කර කාර්යයක් විය යුතු නැත. බයිබල් පොත්වල අනුපිළිවෙළ සහ ඒවා තිබෙන තැන් ඉගෙනගැනීමට එහි පටුන භාවිත කරන්න.
සොයාගැනීමේ පහසුව තකා, බයිබලයේ පොත් පරිච්ඡේද හා ඡේද වශයෙන් වෙන් කර ඇත. පරිච්ඡේදවලට බෙදීම 13වන සියවසේදී ආරම්භ විය. තවද, පෙනෙන ආකාරයට 16වන සියවසේ විසූ ප්‍රංශ ජාතික මුද්‍රණ ශිල්පියෙක් ග්‍රීක් ශුද්ධ ලියවිලි අදදින දක්නට තිබෙන ඡේදවලට බෙදා වෙන් කළේය. පරිච්ඡේද හා ඡේද අංක ඇතුළත් පළමු සම්පූර්ණ බයිබලය වූයේ 1553දී ප්‍රකාශයට පත් කළ ප්‍රංශ භාෂා සංස්කරණයයි.
මෙම පොතෙහි ශුද්ධ ලියවිලි පාඨ සඳහන් කරන විට, පළමු අංකයෙන් පරිච්ඡේදය ඇඟවෙන අතර, ඊළඟ අංකයෙන් ඡේදයට යොමු දැක්වේ. උදාහරණයක් ලෙස, “හිතෝපදේශ 2:5” යන්නෙන් අදහස් වන්නේ, හිතෝපදේශ නමැති පොතේ, 2වන පරිච්ඡේදයේ, 5වන ඡේදයයි. සඳහන් කරන ලද ශුද්ධ ලියවිලි පද පෙරළා බැලීමෙන්, වැඩි කලක් යන්න මත්තෙන් ඔබට බයිබල් පාඨ පහසුවෙන්ම සොයාගැනීමට හැකි වනු ඇත.
බයිබලයට හුරුපුරුදු විය හැකි හොඳම මාර්ගය වන්නේ එය දිනපතා කියවීමයි. මුලදී, මෙය අභියෝගයක් මෙන් පෙනිය හැකියි. එහෙත් පරිච්ඡේදවල ප්‍රමාණය අනුව, ඔබ දිනපතා පරිච්ඡේද තුනත් පහත් අතර ප්‍රමාණයක් කියෙව්වොත්, අවුරුද්දකින් මුළු බයිබලයම කියවා නිම කිරීමට ඔබට හැකියි. එය අදම ආරම්භ කිරීම හොඳ අදහසක් නොවේද?
[19වන පිටුවේ කොටුව]
බයිබලය—අද්විතීය ග්රන්ථයක්
• බයිබලය “දේවානුභාවයෙන්” ලද්දක්. (2 තිමෝති 3:16) එහි ලේඛකයන් මිනිසුන් වුවත්, දෙවි ඔවුන්ගේ සිතුවිලි මෙහෙයෙවිය. එනිසා බයිබලය සැබවින්ම ‘දෙවිගේ වචනයයි.’—1 තෙසලෝනික 2:13.
• සියවස් 16ක කාලපරිච්ඡේදයක් පුරා විවිධ පසුබිම්වලට අයත් 40දෙනෙක් බයිබලය ලිවීමට දායක විය. කෙසේවෙතත්, අවසාන නිපැයුම ආරම්භයේ සිට නිමාව දක්වාම මනා එකඟතාවකින් යුක්තයි.
• බයිබලය වෙනත් කිසිදු පොතකට වඩා, මතභේද රැසකට මුහුණ දී ඉන් ජයගෙන ඇත. මධ්‍යතන යුගයේදී, ශුද්ධ ලියවිලිවල පිටපතක් කෙනෙකු ළඟ තබාගැනීමම පමණක්, බොහෝදෙනෙකුව කණුවල බැඳ පුලුස්සා දැමීමට හේතුවක් විය.
• ලෝකයේ වැඩියෙන්ම අළෙවි වන පොත වන්නේ බයිබලයයි. එය මුළුමනින්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,000කටත් වඩා වැඩි ගණනකින් පරිවර්තනය කොට ඇත. එහි පිටපත් බිලියන ගණනක් මුද්‍රණය කර ඇත. එහි පිටපතක් සොයාගත නොහැකි තැනක් ලෝකයේ නැති තරම්ය.
• බයිබලයේ පැරණිම කොටස පො.යු.පෙ. 16වන සියවස දක්වා අතීතයට දිවයයි. මෙය, හින්දු රිග්-වේදය (පො.යු.පෙ. 1300දී පමණ) හෝ බෞද්ධ “ත්‍රිපිටක ග්රන්ථ සමූහය” (පො.යු.පෙ. පස්වන සියවස) හෝ ඉස්ලාම් ධර්මයේ කුරානය (පො.යු. හත්වන සියවස) මෙන්ම ෂින්ටෝ ධර්ම නිහෝන්ගී (පො.යු. 720) යන ග්රන්ථ බිහිවීමටත් පෙර ලියනු ලැබීය.
[20වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]