ක්‍රිස්තියානි එඬේරුන් ඔබට සේවය කරන අන්දම
බොහෝ ප්‍රදේශයන්හි එඬේරුන් රැළ රැකබලා ගන්නේ කෙසේද කියා පරීක්ෂා කර බැලීමට පුළුවන. ඔවුහු බැටළුවන්ට මඟ පෙන්වීම, ආරක්ෂාව සහ අවශ්‍ය දේ සැපයීමෙහි නිරත වෙති. ඔවුන්ගේ වැඩයට එඬේර ක්‍රියාකාරකම් ඇතුළත් වන බැවින් මෙය ක්‍රිස්තියානි එඬේරුන්ගේ උනන්දුවට කරුණකි. සැබවින්ම, ‘දෙවියන්වහන්සේගේ සභාව පෝෂණය කිරීම’ සහ ‘මුළු රැළ ගැන පරෙස්සමින් කටයුතු කිරීම’ ඔවුන්ගේ වගකීමයි. —ක්‍රියා 20:28.
ඔබ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් නම්, ආත්මික එඬේරුන්හට ඔබ සඳහා සේවයක් පිරිනැමිය හැක්කේ කෙසේද? ඔබ වෙනුවෙන් වූ ඔවුන්ගේ උත්සාහයන්ට ඔබ ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? සභාවට ඔවුන්ගේ උපකාරය අවශ්‍ය වන්නේ මන්ද?
ආරක්ෂාව කුමකට විරුද්ධවද?
පුරාණ කාලවලදී සිංහයෝ සහ අනිකුත් වන සත්තු, රැළවල් අනතුරට පත් කළ අතර, තනි බැටළුවන් ගොදුරු බවට පත් කරගත්තෝය. එඬේරුන්ට උන් සඳහා ආරක්ෂාව සැපයීමට සිදු විය. (1 සාමුවෙල් 17:34, 35) සාතන් නමැති යක්ෂයාද “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) ඔහු යෙහෝවඃවහන්සේගේ භූමික සංවිධානයට විරුද්ධව පමණක් නොව, නමුත් දෙවියන්වහන්සේගේ සෑම සේවකයෙකුටම විරුද්ධවද උදහසින් යුද්ධ කරන්නේය. සාතන්ගේ ඉලක්කය කුමක්ද? යෙහෝවඃවහන්සේගේ ජනයාව අධෛර්යය කිරීමට මෙන්ම ‘දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීමෙන්’ සහ ‘යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරීමෙන්’ ඔවුන්ව වැළැක්වීමට පවා ඔහුට අවශ්‍ය වන්නේය.—එළිදරව් 12:16ආ.
“බැද්දේ සියලු මෘගයන්ට” ස්වකීය බැටළුවන් “කෑම” බවට පත් වී තිබුණු නිසා, නොසැලකිලිමත් වීම ගැන පුරාණ ඉශ්රායෙලයේ පාලක එඬේරුන්ට යෙහෝවඃවහන්සේ දෝෂාරෝපණය කළසේක. (එසකියෙල් 34:8) කෙසේවෙතත්, නොසැලකිලිමත් වීම හේතුවෙන් නැතහොත් සාතන්ගේ, ලෝකයේ හෝ ඇදහිල්ල අත්හළ ‘වෘකයන්ගේ’ බලපෑම හේතුවෙන් සභාවේ කිසිවෙකු අහිමි වීමෙන් ආරක්ෂා කරගැනීමට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හෘදයාංගම ආශාවක් තිබේ. (ක්‍රියා 20:29, 30) රැළේ සියලුම සාමාජිකයන්ට අවදිව සිහි ඇතුව සිටීමට එඬේරුන් උපකාර කරන්නේ කෙසේද? එක් මාර්ගයක් නම්, හොඳින් සූදානම් කළ ශුද්ධ ලියවිලිමය කතා රාජ්‍ය ශාලා වේදිකාවේ සිට ඉදිරිපත් කිරීමයි. තවත් කරුණක් නම්, රැස්වීම්වලට පෙර සහ පසු ඒකාන්ත දිරිගන්වන සංවාද පැවැත්වීමයි. තවත් ඒකාන්ත මාර්ගයක් නම්, “බැටළුවෝ” පෞද්ගලිකව නිවසට ගොස් බැහැදැකීමයි. (ගීතාවලිය 95:7, සසඳන්න.) එහෙත් එඬේර බැහැදැකීමක් යනු කුමක්ද? එවන් බැහැදැකීමක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද? තවද බැහැදැකිය යුත්තේ කවුරුන්වද?
එඬේර බැහැදැකීමක් යනු කුමක්ද?
එඬේර බැහැදැකීමක් යනු, අල්ලාප සල්ලාප සම්බන්ධයෙන් වූ නිකම් සංවාදයකින් යුතු සමාජීය බැහැදැකීමක් නොවේ. එක් වැඩිමහල්ලෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “ශුද්ධ ලියවිලි පදයක් කියවීම හෝ විශේෂිත බයිබල් චරිතයක් පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් බොහෝ ප්‍රචාරකයන් ඉමහත් ආස්වාදයක් ලබනවා. ඇත්තෙන්ම, සියලුම කතා බහ වැඩිමහල්ලා පමණක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බැහැදකිනු ලබන රාජ්‍ය ප්‍රචාරකයා බයිබලය මත පදනම් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම භුක්තිවිඳින අතර, මේ තුළින් ඔහුගේ ඇදහිල්ලද ශක්තිමත් වෙනවා. වර්ධනය ගෙන දෙනසුලු ලිපියක් සාකච්ඡා කිරීමේ අටියෙන් මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක් වැඩිමහල්ලාට ඔහු සමඟ ගෙන යා හැකියි. සමහරවිට සමාජීය බැහැදැකීමකින් එඬේර බැහැදැකීමක් වෙන් කර පෙන්වන්නේ මෙම ආත්මික සාකච්ඡාවයි.”
තවත් අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් මෙසේ අදහස් ප්‍රකාශ කළේය: “බැහැදැකීමට පෙර, වැඩිමහල්ලා බැහැදකින්ට යන ප්‍රචාරකයා සම්බන්ධයෙන් සිතීමට යම් කාලයක් ගත කරනවා. ප්‍රචාරකයාට වර්ධනය ගෙන දිය හැක්කේ කුමකටද? එඬේර බැහැදැකීම්වල අත්‍යවශ්‍ය කොටසක් වන්නේ අවංක ලෙස පැසසුමට ලක් කිරීමයි, මන්ද එය, විඳදරාගැනීමට පුද්ගලයෙක්ව ශක්තිමත් කරන බැවිනි.” එසේය, එඬේර බැහැදැකීමක් යනු සභාවේ ඕනෑම කෙනෙකු නිකම්ම කරන සුහද බැහැදැකීමකට වඩා වැඩි යමකි.
එඬේරෙකු ඔබව බැහැදකින්නේ මන්ද?
වැඩිමහල්ලෙක් නිවසක් බැහැදකින්ට යන විට, සහකාර ඇදහිලිවන්තයන්ව දිරිගැන්වීමට ඔහු සූදානම් වන අතර, ඇදහිල්ලේ ස්ථිරව සිටීමටද ඔවුන්ට උපකාර කරයි. (රෝම 1:11) එසේනම්, ඔබව බැහැදැකීමට වැඩිමහල්ලෙකු හෝ දෙදෙනෙකු කැමැත්ත පළ කරන විට, ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? එක් සංචාරක අවේක්ෂකයෙක් මෙසේ ප්‍රකාශ කළේය: “යම් ගැටලුවක් පවතින විට පමණක් එඬේර බැහැදැකීම් කරන ලද්දේ නම්, යෝජනා කරන ලද බැහැදැකීමට පෙර මුල්ම ප්‍රතිචාරය වන්නේ, ‘මා කර තිබෙන වරද කුමක්ද?’ ” යන්නයි. ගීතිකාකරුව රැකබලා ගනිමින්, විපත්ති කාලවල හා විශේෂ අවශ්‍යතා තිබූ විට හැමවිටම ‘ඔහුගේ ආත්මය ප්‍රාණවත් කළ’ යෙහෝවඃවහන්සේව, ප්‍රේමනීය ආත්මික එඬේරු අනුකරණය කරති.—ගීතාවලිය 23:1-4.
එඬේර බැහැදැකීමක පරමාර්ථය වන්නේ, ‘බිඳ හෙළීම නොව ගොඩනැඟීමය.’ (2 කොරින්ති 13:10) බැහැදකිනු ලබන තැනැත්තාගේ විඳදරාගැනීමට, ජ්වලිතයට හා විශ්වාසවන්ත සේවයට අගය ප්‍රකාශ කිරීම සැබවින්ම දිරිගන්වනසුලුය. එක් වැඩිමහල්ලෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “එඬේර බැහැදැකීමකදී, සොයාගැනීමේ සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අභිප්‍රායෙන් කෙනෙකු පැමිණ සිටිනවා යන හැඟීම දීම හොඳ නැහැ. ඇත්තෙන්ම, ප්‍රචාරකයාට යම් විශේෂිත අපහසුතා සම්බන්ධයෙන් කතා කිරීමට අවශ්‍ය වනවා විය හැකියි. බැටළුවෙකු නොණ්ඩි ගසනවා නම් නැතහොත් රැළේ ඉතිරි බැටළුවන්ගෙන් තමාව වෙන් කර තබාගන්නවා නම්, උපකාර කිරීමට වැඩිමහල්ලා යමක් කළ යුතුයි.”
මතු දැක්වෙන වචනවල විස්තර කර තිබෙන අය මෙන් වූවන්ට නිසැකවම විශේෂ සැලකිල්ල ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දක්වනු ඇත: “මම [යෙහෝවඃවහන්සේ] නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි.” (එසකියෙල් 34:16) එසේය, බැටළුවන්ව සොයා, නැවත ගෙනැවිත්, වෙළීම හෝ ශක්තිමත් කිරීම අවශ්‍ය විය හැක. ඉශ්රායෙලයේ එඬේරු මෙම වගකීම් පැහැර හැරියෝය. එවන් වැඩක් සිදු කිරීමට නම්, එඬේරෙක් එක්තරා බැටළුවෙකුට සමීපවීමත්, ඔහුගේ අවශ්‍යතාවලට සිත යොමු කිරීමත් අවශ්‍ය වේ. මූලිකවම, මෙය අදදින සිදු කරන්නාවූ සෑම එඬේර බැහැදැකීමකම කැපීපෙනෙන ලක්ෂණයක් විය යුතුය.
සෞඛ්‍යසම්පන්න බැටළුවන්ට සැලකිල්ල අවශ්‍යයි
ආත්මික එඬේරුන් වර්තමානයේ සිටින සෞඛ්‍යසම්පන්න බැටළුවන්ට විශේෂිත ලෙස අවධානය යොමු කිරීම අවශ්‍ය නොවන බව අප නිගමනය කළ යුතුද? හොඳයි, සැබෑ බැටළුවෙකු කරදරයකට වැටුණු විට, ඌට එඬේරා කෙරෙහි විශ්වාසය තිබේ නම් උපකාර කිරීම වඩාත් පහසු විය හැක. “බැටළුවන් ස්වභාවයෙන්ම මිනිසුන්ගෙන් ඈත්ව සිටින අතර, ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සෑමවිටම පහසු නොවේ,” යනුවෙන් එක් අත්පොතක් නිරීක්ෂණය කරයි. බැටළුවන්ගේ විශ්වාසය දිනාගැනීමට සම්බන්ධ වෙනත් දේ අතර, මෙම මූලික මාර්ගදර්ශකය මේ පොත යෝජනා කරයි: “සතාට නිතිපතා කතා කරන්න. උන්ගේ බිය සැක දුරු කරන්නාවූ කටහඬට උන් පුරුදු වනවා ඇත. විටින් විට බැටළුවා බැලීමට තණබිමට යන්න.”—ආලෙස් ෆ්යුර් ඩාස් ෂාෆ්. හාන්ට්බුක් ෆ්යුර් ඩි ආර්ට්ගෙරෙක්ටෙ හාල්ටුං (බැටළුවාට අවශ්‍ය සියල්ල. ඔවුන්ව නිසිලෙස රැකබලා ගත හැකි අයුරු පිළිබඳ අත්පොත).
එබැවින් එඬේරෙකු හා බැටළුවෙකු අතර විශ්වාසවන්ත සබඳතාවක් පැවතීමට නම්, පෞද්ගලිකව හමුවීම අත්‍යවශ්‍යය. ක්‍රිස්තියානි සභාවේද මෙය සැබෑවක් වේ. එක් වැඩිමහල්ලෙක් මෙසේ සඳහන් කළේය: “බැටළුවන් නිතිපතා බැහැදකින්ට යන වැඩිමහල්ලෙකු ලෙස සභාවේ ප්‍රසිද්ධව සිටීම තුළින් ප්‍රශ්න තිබෙන පුද්ගලයෙකු බැහැදකින්ට යෑම පහසු කරවනවා.” මෙනිසා, බැටළුවන්ට පෝෂණය සහ සැලකිල්ල දැක්වීම රාජ්‍ය ශාලාවට පමණක් සීමා කිරීමට ආත්මික එඬේරුන් උත්සාහ නොකළ යුතුය. තත්වයන් ඉඩ දෙන පරිදි, ඔවුන්ගේම ගෙවල්වලට ගොස් එඬේර බැහැදැකීම් කිරීම තුළින්, වැඩිමහල්ලන් විසින් බැටළුවන්ව දැනහඳුනා ගත යුතුය. එක් ක්‍රිස්තියානි භක්තිකයෙකු සිහිකරන්නේ, තමා අලුතින් පත් කරන ලද වැඩිමහල්ලෙකු වූ විට, මුලසුන භාර අවේක්ෂක ඔහුට දූරකථනයෙන් අමතා, ඉතා දරුණු රිය අනතුරක් හේතුවෙන් තම දියණිය අහිමි වූ සහෝදරයෙකු සනසන පිණිස ඔහුව බැහැදකින ලෙස ඉල්ලූ බවය. වැඩිමහල්ලා මෙසේ පිළිගනී: “මා ඒ සහෝදරයා කිසිදාක බැහැදැක නොතිබුණු නිසාත්, ඔහුගේ නිවස තිබුණු ස්ථානය පවා නොදැන සිටි නිසාත් මට කොතරම් කනස්සල්ලක් හැඟුණාද! මේරූ වැඩිමහල්ලෙක් මා සමඟ යෑමට ඉදිරිපත් වීම සහනයක් වුණා.” එසේය, එඬේර බැහැදැකීම්වලදී වැඩිමහල්ලෝ එකිනෙකාට සහයෝගය දක්වති.
වැඩිමහල්ලෙකු යම් නිශ්චිත එඬේර බැහැදැකීමක් සඳහා සූදානම් වන විටත්, බැහැදැකීමක් කරන විටත්, අවේක්ෂකයෙකුගේ “යහපත් වැඩකට” වීර්යය කරමින් සිටින උපස්ථායක සේවකයෙකු කැටුව යා හැක. (1 තිමෝති 3:1, 13) එඬේර බැහැදැකීමකදී වැඩිමහල්ලා බැටළුවාට සේවය කරන අන්දම දකින උපස්ථායක සේවකයා එය කෙතරම් අගය කරනු ඇද්ද! මෙලෙස වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් සභාවේ සියලුදෙනාටම සමීප වන අතර, ක්‍රිස්තියානි ප්‍රේමයේ සහ එක්සත්කමේ බැඳීම ශක්තිමත් වීමට එය දායක වනවා ඇත.—කොලොස්සි 3:14.
එඬේර බැහැදැකීම් සඳහා කාලය සැලසුම් කිරීම
එක් වැඩිමහල් මණ්ඩලයක්, එඬේර බැහැදැකීම් සභා පොත් පාඩම් අවේක්ෂකයන්ගේ මුල පිරීම තුළින් කිරීමට ඉඩහැරිය විට, සමහර කණ්ඩායම්වල ප්‍රචාරකයන් මාස හයක් ඇතුළත බැහැදකින ලද අතර, අනිකුත් කණ්ඩායම්වල කිසිවෙකු බැහැදකිනු ලැබුවේ නැත. එක් වැඩිමහල්ලෙකුට මෙසේ පැවසීමට මෙය පෙලඹවීය: “සමහර වැඩිමහල්ලෝ එඬේර බැහැදැකීම් බොහොමයක් කිරීමට මුලපුරන බව පෙනෙන්ට තිබුණත්, අනිකුත් අයට එසේ කිරීමට සහකාර වැඩිමහල්ලන්ගේ දිරිගැන්වීම අවශ්‍ය වෙනවා.” එමනිසා නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළදී සියලුම ප්‍රචාරකයන්ව බැහැදැකීමට හැකි වන පරිදි සමහර වැඩිමහල්ලන්ගේ මණ්ඩල කටයුතු පිළියෙළ කරති.
ඇත්තෙන්ම, විශේෂ කටයුතු පිළියෙළ කිරීමක් සඳහා බලා නොසිට, වැඩිමහල්ලෙකුට හෝ ඕනෑම ප්‍රචාරකයෙකුට සභාවේ යමෙකු බැහැදකින්ට යා හැක. එඬේර බැහැදැකීමක් කිරීමට පෙර, එක් වැඩිමහල්ලෙක් දූරකථනයෙන් අමතා මෙසේ පවසයි, “සෑම මසකට එක් පවුලක් මම බැහැදකිනවා. ඊළඟ මාසයේදී පැයකට හෝ යම් කාලයකට ඔබව බැහැදකින්ට මට හැකිද? ඔබට මෙය පහසු වන්නේ කිනම් වේලාවකදීද?”
එඬේර බැහැදැකීම්වලින් ලැබෙන ආශීර්වාද
මෙම දුෂ්ට පිළිවෙළේ පීඩන දිගටම වැඩි වෙනවාත් සමඟ, තේරුම්ගන්නාසුලු එඬේරුන් විසින් කරනු ලබන දිරිගන්වන බැහැදැකීම් කිසිදාකටත් වඩා ප්රයෝජනවත්ය. එඬේර බැහැදැකීම් තුළින් රැළේ සියලුම අයට දිරිගැන්වීම් සහ උපකාර සපයන විට, සෑම බැටළුවෙකුටම ආරක්ෂිත හා සුරක්ෂිත බවක් හැඟෙනවා ඇත.
සෑම රාජ්‍ය ප්රචාරකයෙකුවම නිතිපතා එඬේරුන් විසින් බැහැදකින ලද සභාවක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා වේ: “එඬේර බැහැදැකීම් සම්බන්ධයෙන් ප්‍රචාරකයෝ ඉතා ඒකාන්ත වූවෝය. මින් පෙර කළ බැහැදැකීම අතරතුරේදී විමසන්නා දිරිගන්වනසුලු සංවාදය භුක්තිවිඳ තිබූ නිසා, ප්‍රචාරකයෙකු වැඩිමහල්ලෙකු වෙත පැමිණ ඔහු තවත් බැහැදැකීමක් කරන්නේ කවදාද කියා ඇසීම ඉතා පොදු දෙයකි. එඬේර බැහැදැකීම් සභාවේ ස්ප්‍රීතුව වර්ධනය කිරීමට උපකාරි වූ සාධකවලින් එකකි.” එවන් මාර්ගයකින් ප්‍රේමනීය ලෙස එඬේරුන් සේවය කරන විට, සභාව ප්‍රේමයෙන්, එක්සත්කමෙන් සහ උණුසුම්භාවයෙන් වර්ධනය විය හැකි බව අනිකුත් වාර්තා දක්වයි. මොනතරම් ආශීර්වාදයක්ද!
බැටළුවන්ගේ ආත්මික ශුභසිද්ධියට අනුබල දීම පිණිස ක්‍රිස්තියානි එඬේරු ඔවුන්ව බැහැදකිත්. සිය සහකාර ඇදහිලිවන්තයන්ව දිරිගැන්වීමට හා ශක්තිමත් කිරීමට වැඩිමහල්ලන්ට අවශ්‍යය. බැහැදැකීම අතරතුරේදී අවවාද අවශ්‍ය වන බරපතළ ප්‍රශ්නයක් මතු වූ විට, විශේෂයෙන්ම වැඩිමහල්ලා උපස්ථායක සේවකයෙකු කැටුව ගියේ නම්, වෙනත් අවස්ථාවක ඒ සංවාදය ගැන සාකච්ඡා කිරීම සඳහා කටයුතු පිළියෙළ කිරීම වඩාත් හොඳ යමක් වේ. ඕනෑම අවස්ථාවකදී, එඬේර බැහැදැකීමක් යාච්ඤාවකින් අවසන් කිරීම උචිත වේ.
අනාගතයේදී ආත්මික එඬේරෙකුට ඔබව ඔබගේ නිවසේදී බැහැදැකීමට අවශ්‍ය වේද? එසේනම්, ඔබ සඳහා තිබෙන දිරිගැන්වීම කෙරෙහි සන්තෝෂවත් ආකාරයකින් බලාපොරොත්තු වී සිටින්න. ඔහු පැමිණෙන්නේ ඔබ වෙනුවෙන් සේවය කිරීමට සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන මාර්ගයේ සිටීමට වූ ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත් කිරීමටය.—මතෙව් 7:13, 14.
[26වන පිටුවේ කොටුව]
එඬේර බැහැදැකීම් සඳහා යෝජනා
◻ වේලාවක් නියම කරගන්න: වේලාවක් නියම කරගැනීම සාමාන්‍යයෙන්ම උචිත දෙයයි. වැඩිමහල්ලා බරපතළ ප්‍රශ්නයක් හසුරුවන්ට සැලසුම් කරන්නේ නම්, මේ සම්බන්ධයෙන් කල්තියා ප්‍රචාරකයාට දැනුම් දීම යෝග්‍ය වේ.
◻ පෙර සූදානම: පුද්ගලයාගේ ස්වභාවය සහ තත්වය සම්බන්ධයෙන් සලකා බලන්න. හෘදයාංගම පැසසුම් ඉදිරිපත් කරන්න. දිරිගන්වනසුලු, ඇදහිල්ල ශක්තිමත් කරන “ආත්මික දීමනාවක්” ලබා දීම ඔබගේ ඉලක්කය කරගන්න.—රෝම 1:11, 12
◻ කැටුව යන්නේ කාවද: තවත් වැඩිමහල්ලෙක් හෝ සුදුසුකම් ලත් උපස්ථායක සේවකයෙක්.
◻ බැහැදැකීම අතරතුරේදී: වැඩිමහල්ලා සන්සුන්, ප්‍රේමනීය, ඒකාන්ත සහ නම්‍යසුලු කෙනෙක් විය යුතුයි. පවුල, එහි ශුභසිද්ධිය සහ එවන් දෑ පිළිබඳව විමසන්න. පරෙස්සමින් ඇහුම්කන් දෙන්න. බරපතළ ප්‍රශ්නයක් පැනනඟින විට, විශේෂ එඬේර බැහැදැකීමක් සඳහා කටයුතු පිළියෙළ කිරීම වඩාත් හොඳය.
◻ බැහැදැකීමට ගත වන කාලය: එකඟ වූ වේලාව වන තෙක් සිට, ඔබට සත්කාර කරන්නා තවමත් බැහැදැකීම භුක්තිවිඳින අතරතුරේදීම පිටත් වන්න.
◻ බැහැදැකීම අවසන් කිරීම: යාච්ඤාවක් සුදුසු වන අතර එය සැබවින්ම අගය කරනු ලැබේ.—පිලිප්පි 4:6, 7.
[24වන පිටුවේ පින්තූරය]
ආත්මික එඬේරු ආත්මික ආරක්ෂාව සපයති
[26වන පිටුවේ පින්තූර]
බැහැදැකීම් ආත්මික දිරිගැන්වීම් සඳහා හොඳ ප්‍රස්තා ලබා දෙයි