ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
“මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; . . . රහසින් කිසිවක් කථානොකෙළෙමි.”—යොහන් 18:20.
1, 2. ශුද්ධ ලියවිලිවල පාවිච්චි කර තියෙන ආකාරය ගත්තහම මි·ස්ටීʹරි·ඔන් යන ග්‍රීක් වචනයෙහි වැදගත්කම මොකක්ද?
ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයෙහි (ඉංග්‍රීසියෙන්) මිස්ටීරිඔන් යන ග්‍රීක් වචනය 25 වතාවක් “පරිශුද්ධ රහස” හැටියටත්, තුන්වතාවක් “අභිරහස” හැටියටත් පරිවර්තනය කර තියෙනවා. පරිශුද්ධ රහසක් හැටියට හඳුන්වන රහසක් ඇත්තෙන්ම සෑහෙන වැදගත් ඇති! එවැනි රහසක් ගැන දැනුමක් ලබාගැනීමේ වරප්‍රසාදය අත් කරගන්න ඕනෑම කෙනෙක්ට මහත් භාග්‍යයක් ලැබුණා වගේ හැඟිය යුතුයි; ඇයි කිව්වොත් විශ්වයේ පරම දෙවි සමඟ රහසක් හවුලේ බෙදාගන්න තරම් වටින කෙනෙක් හැටියට ඔහුව ගණන්ගෙන තියෙන හින්දයි.
2 අවස්ථා වැඩි හරියකදීම “අභිරහස” කියන එකට වඩා “පරිශුද්ධ රහස” වඩාත් යෝග්‍ය පරිවර්තනයක් කියලා වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නියූ ටෙස්ටමන්ට් ව’ඩ්ස් (අලුත් සහ පරණ ගිවිසුමේ වදන් පිළිබඳ අර්ථව්‍යාපක ශබ්දකෝෂය) සනාථ කරනවා. මිස්ටීරිඔන් ගැන එය මෙහෙම කියනවා: “[ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි]වල (ඉං[ග්‍රීසි] වචනයෙහි ගැබ්ව තියෙන්නාක් මෙන්), ඉන් අභිරහස්‍යමය දේ දැක්වෙන්නේ නැහැ; නමුත් බාහිර උපකාරයකින් තොර ස්වාභාවික තේරුම්ගැනීමේ හැකියාවෙන් පිටත තියෙන බැවින්, එය දිව්‍ය එළිදරව් වීමකින් පමණක් ප්‍රචලිත වන, දෙවි විසින් නියම කරන ලද ආකාරයකින් හා වේලාවක පමණක්, එමෙන්ම ඔහුගේ ආත්මයෙන් පමණක් ආලෝකනය වන අයට ප්‍රචලිත වන දෙයක්. සාමාන්‍ය තේරුමෙන් ගත්තොත් අභිරහසකින් ඇඟවෙන්නේ වසං කළ දැනුමයි; එහි ශුද්ධ ලියවිලිමය අර්ථය වන්නේ එළිදරව් කරන ලද සත්‍යයයි. එබැවින් මේ විෂයට විශේෂයෙන්ම සම්බන්ධ යෙදුම් හැටියට, ‘ප්‍රචලිත වී,’ ‘ප්‍රකාශයට පත් වී,’ ‘එළිදරව් වී,’ ‘දේශනා කර,’ ‘අවබෝධ කරගැනීම,’ ‘බෙදා දීම’ ආදිය ගන්න පුළුවන්.”
3. පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාව ඇතැම් රහස්‍ය ආගමික කණ්ඩායම්වලට වඩා වෙනස් වූයේ කොහොමද?
3 පළමුවන සියවසේ වැජඹුණු රහස්‍ය ආගමික කණ්ඩායම් සහ අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව අතර ප්‍රධාන වෙනසක් මෙම පැහැදිලි කිරීමෙන් කැපීපෙනෙන්න සලස්වලා තියෙනවා. ආගමික ඉගැන්වීම් රැකීමට, රහස්‍ය ලබ්ධීන්වලට ඇතුල් කරනු ලැබූ අයව බොහෝවිට නිශ්ශබ්දතාවේ බාරයකින් බැඳ තැබුවත්, ක්‍රිස්තියානීන්ව කවදාවත් එවැනි සීමාවකට යටත් කරනු ලැබුවේ නැහැ. ප්‍රේරිත පාවුල් ‘දෙවිගේ ප්‍රඥාව පරිශුද්ධ රහසක්’ ලෙස සලකමින්, එය ‘සැඟවුණු ප්‍රඥාව,’ ඒ කියන්නේ, “මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන්” සැඟවුණු දෙයක් ලෙස හැඳින්වූ බව සැබෑවක්. දෙවිගේ ආත්මය තුළින් එළිදරව් කර තියෙන ක්‍රිස්තියානීන්ගෙන් එය සඟවලා නැහැ; එහෙම කර තියෙන්නේ ඔවුන් ලවා එය ප්‍රසිද්ධ කරවන්නයි.—1 කොරින්ති 2:7-12; සසඳන්න හිතෝපදේශ 1:20.
“පරිශුද්ධ රහස” අඳුනාගෙන
4. “පරිශුද්ධ රහස” කා වටාද කේන්ද්‍රගත වෙන්නේ? ඒ කොහොමද?
4 යෙහෝවාගේ “පරිශුද්ධ රහස” යේසුස් ක්‍රිස්තුස් වටා කේන්ද්‍රගතව පවතිනවා. පාවුල් මෙහෙම ලිව්වා: “කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල [ක්‍රිස්තුස්] තුළ එක්රාශිකරන්ට, [යෙහෝවා] තුළ අදහස්කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ [පරිශුද්ධ, NW] රහස අපට දන්වා [දුන්නේය].” (එපීස 1:9, 10) පාවුල් “දෙවිගේ පරිශුද්ධ රහස එනම් ක්‍රිස්තුස් පිළිබඳ ඒකාන්ත දැනුමක්” තිබීමේ අවශ්‍යතාවට යොමු දැක්වූ විට, ‘පරිශුද්ධ රහසේ’ ස්වභාවය ගැන ඔහු ඊටත් වඩා සුවිශේෂී ආකාරයකින් කතා කළා.—කොලොස්සි 2:2, NW.
5. “පරිශුද්ධ රහස[ට]” අදාළ වෙන්නේ මොනවාද?
5 කොහොම වුණත්, “පරිශුද්ධ රහස” බොහෝ පැතිවලින් යුක්ත රහසක් වන හින්දා තවත් දේවල් මෙයට සම්බන්ධයි. යේසු පොරොන්දු වංශය හෝ මෙසියස් වන බවට හඳුන්වා දීම විතරක් මෙයට ඇතුළත් වෙලා නැහැ; දෙවිගේ අරමුණෙහි ඔහුට ඉටු කරන්න තියෙන වැඩකොටස මීට ඇතුළත්. මෙයට ස්වර්ගික ආණ්ඩුවක්, එනම් දෙවිගේ මෙසියානු රාජ්‍යයද සම්බන්ධ වෙනවා; යේසු තම ගෝලයන්ට මෙහෙම කී විට ඔහු එය හොඳින් පැහැදිලි කළා: “ස්වර්ගරාජ්‍යයේ [පරිශුද්ධ, NW] රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.”—මතෙව් 13:11, ඇල අකුරු අපේය.
6. (අ) “පරිශුද්ධ රහස” “සදාකාලය පටන් නිශ්ශබ්දව ති[බූ]” බව කීම නිවැරදි වෙන්නේ ඇයි? (ආ) එය ප්‍රගතිශීලීව එළිදරව් කළේ කොහොමද?
6 මෙසියානු රාජ්‍යය සඳහා පදනමක් සැපයීමට, දෙවිගේ අරමුණ ගැන කළ පළමුවන සඳහන් කිරීම සහ “[පරිශුද්ධ, NW] රහස සම්පූර්ණ” කිරීම අතර සෑහෙන දිග කාලපරිච්ඡේදයක් ගෙවීයන්න තිබුණා. (එළිදරව් 10:7; උත්පත්ති 3:15) එළිදරව් 10:7 සහ 11:15 සසඳා බැලීමෙන් ඔප්පු වන ආකාරයට, එය සම්පූර්ණ වෙන්නේ රාජ්‍යය පිහිටුවීමත් සමඟයි. ඇත්තටම, ඒදන්හි පළමුවන රාජ්‍ය පොරොන්දුව දීමේ සිට පො.යු. 29දී තනතුරට නියම රජුගේ පැමිණීම අතර අවුරුදු 4,000ක් විතර ගෙවී ගියා. රාජ්‍යය ස්වර්ගයෙහි 1914දී පිහිටුවන්න කලින් තවත් අවුරුදු 1,885කුත් ගෙවී ගියා. මේ අනුව, අවුරුදු 6,000කට ආසන්න කාලපරිච්ඡේදයක් තුළ “පරිශුද්ධ රහස” ප්‍රගතිශීලීව එළිදරව් කරනු ලැබුවා. (16වන පිටුව බලන්න.) “සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, . . . දන්වනු ලැබුවාවූ, ඒ [පරිශුද්ධ, NW] රහස එළිදරව්වී[ම]” ගැන පාවුල් අදහස් දක්වද්දී එය ඇත්තටම නිවැරදි වුණා.—රෝම 16:25-27; එපීස 3:4-11.
7. අපිට විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය කෙරෙහි පූර්ණ නිසැකකමක් තියාගන්න පුළුවන් ඇයි?
7 සීමිත ආයු කාලයක් තියෙන මනුෂ්‍යයන්ට වෙනස්ව, තම රහස් නියම කාලයට කලින් එළිදරව් කිරීමේ පීඩනයට යෙහෝවා හසු වෙන්නේ නැහැ. සමහර බයිබල් ප්‍රශ්නවලට උත්තර තවමත් අපිට සෑහීම ගෙන දෙන ආකාරයකින් පැහැදිලි කරන්න බැරි වෙනකොට, මෙම කාරණය අපිව නොඉවසිලිමත් වීමෙන් වැළැක්විය යුතුයි. ක්‍රිස්තියානි පවුලට නියම වේලාවට ආහාර සැපයීමේ බලපැවරුම ලැබිලා තියෙන විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය දක්වන විනීතභාවය හින්දා, තවමත් අපැහැදිලිව තියෙන දේවල් ගැන හිතුවක්කාරව හදිස්සි නිගමනවලට එළඹීමෙන් සහ වගවිභාගයකින් තොරව අනුමාන කිරීමෙන් එය අපව වළක්වනවා. යම් මතයක එල්බගෙන සිටීමෙන් වැළකී සිටින්න දාස පංතිය වෑයම් කරනවා. හිතෝපදේශ 4:18 පැහැදිලිවම මනසේ තබාගනිමින්, ඔවුන්ට දැන් හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බැරි බව නොපිළිගන්න තරම් දාසයා ආඩම්බර නැහැ. ඒත්, යෙහෝවා, තමාගේම නියම කාලයේදී, තමාගේම ක්‍රියාපිළිවෙතට අනුව තම අරමුණ සම්බන්ධයෙන් ඔහුගේ රහස් දිගටම එළිදරව් කරන බව දැනසිටීම මොනතරම් උද්යෝගයක් ඇති කරනවාද! රහස් එළිදරව් කරන්නාට පෙරටුවෙන් ගමන් කරලා නොවිචාරා හදිස්සි නිගමනවලට බැසීමෙන්, අපි කිසිවිටකත් යෙහෝවාගේ විධිවිධානයත් එක්ක නොඉවසිලිමත් නොවිය යුතුයි. අදදින යෙහෝවා පාවිච්චි කරන මාධ්‍යය එහෙම නොකරන බව දැනසිටීම අපේ බියසැක මොනතරම් දුරු කරනවාද! එය විශ්වාසවන්ත වනවා වගේම නුවණක්කාරයි.—මතෙව් 24:45; 1 කොරින්ති 4:6.
එළිදරව් කර තියෙන රහස දැන්විය යුතුමයි!
8. “පරිශුද්ධ රහස” ප්‍රචලිත විය යුතු දෙයක් බව අපි දන්නේ කොහොමද?
8 යෙහෝවා තම “පරිශුද්ධ රහස” ක්‍රිස්තියානීන්ට එළිදරව් කරලා තියෙන්නේ ඔවුන්ට එය සඟවා තියාගන්න නෙවෙයි. යේසු—පූජකයන් කිහිපදෙනෙකුට විතරක් නොව—තම අනුගාමිකයන් සියල්ලන්ටම තැබූ ප්‍රතිපත්තියට එකඟව එය ප්‍රචලිත කළ යුතුයි: “නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙව් 5:14-16; 28:19, 20.
9. සමහරුන් කියා සිටින පරිදි, යේසු විප්ලවවාදියෙක් නොවූ බව ඔප්පු වෙන්නේ මොකකින්ද?
9 යේසුට, රහස්‍ය අරමුණු ලුහුබැඳීමට අනුගාමිකයන්ගෙන් සෑදුණු රහස්‍ය සංවිධානයක් බිහි කිරීමට යම් විප්ලවවාදී අභිප්රායක් තිබුණේ නැහැ. අ’ලි ක්රිස්ටිඇනිටි ඇන්ඩ් ස’සයටි (මුල් ක්‍රිස්තු ධර්මය සහ සමාජය) යන පොතේ, රොබට් එම්. ග්‍රාන්ට්, දෙවන සියවසේ ක්ෂමාලාපක ජස්ටින් මාට’ මුල් ක්‍රිස්තියානීන් වෙනුවෙන් කළ විත්ති වාචකය ගැන මෙහෙම ලිව්වා: “ක්‍රිස්තියානීන් විප්ලවවාදීන් වුණා නම්, ඔවුන්ගේ ඉලක්කය අත් කරගන්න ඔවුන් සැඟ වී කටයුතු කරාවි.” ඒත් “සැඟ වී” ඉන්න ගමන්ම “කන්දක් මුදුනෙහි තිබෙන නුවරක්” වෙන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් වෙන්නේ කොහොමද? තමුන්ගේ ආලෝකය කුරුණියක් යට සඟවන්න ඔවුන් හිතන්නේවත් නැහැ. එමනිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන බියවීමට ආණ්ඩුවට කිසිම හේතුවක් තිබුණේ නැහැ. තවත් “සාමය සහ හොඳ පිළිවෙළක් රැකීම සම්බන්ධයෙන් ඔවුන් අධිරාජ්‍යයාගේ හොඳම පාක්ෂිකයෝ” කියලා මෙම ලේඛකයා ඔවුන්ව විස්තර කෙරුවා.
10. ක්‍රිස්තියානීන් තම අනන්‍යතාව රහසක්ව නොතැබිය යුත්තේ ඇයි?
10 යේසුගේ ගෝලයන් යම්කිසි ආගමික නිකායක සාමාජිකයන් ලෙස, තම අනන්‍යතාව රහසිගතව තබාගැනීම ඔහුට ඔවුන්ගෙන් ඕනෙ කළේ නැහැ. (ක්‍රියා 24:14; 28:22) අදදින අපේ ආලෝකය බබළවන්න අසමත් වෙනවා නම්, එය ක්රිස්තුස්ගේද, රහස් එළිදරව් කරන්නා වන ඔහුගේ පියාගේද අප්‍රසාදයට හේතු වන අතරම, අපටද සන්තෝෂය ගෙන දෙන්නේ නැහැ.
11, 12. (අ) ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත වීම යෙහෝවාගේ ආශාව වෙන්නේ ඇයි? (ආ) යේසු නිසි ආදර්ශය තැබුවේ කොහොමද?
11 යෙහෝවා “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට” කැමති නැහැ. (2 පේතෘස් 3:9; එසකියෙල් 18:23; 33:11; ක්‍රියා 17:30) පසුතැවිලි වන මනුෂ්‍යයන්ගේ පව් සඳහා සමාව දීමට පදනම තමයි, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම; ඔහු තමාව දුන්නේ—ස්වල්පදෙනෙකු සඳහා විතරක් නොව—නමුත් සියලුදෙනා උදෙසා මිදීමේ මිලයක් වශයෙන්; එහෙම කළේ “[ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මතු පැමිණෙන විනිශ්චයේදී එළුවන් හැටියට නොව, බැටළුවන් හැටියට විනිශ්චය කරනු ලබන පිණිස, ජනයාට සුදුසුකම් ලබා දෙන අත්‍යවශ්‍ය පියවර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම අතිවැදගත් දෙයක්.—මතෙව් 25:31-46.
12 සැබෑ ක්‍රිස්තු ධර්මය සැඟවිය යුතු දෙයක් නෙවෙයි; එය හැකි සෑම යෝග්‍ය ආකාරයකින්ම ප්‍රචලිත කළ යුතුයි. යේසුම නිසි ආදර්ශය තැබුවා. තම ගෝලයන් සහ තම ඉගැන්වීම් ගැන නායක පූජකයා ප්‍රශ්න කරනු ලැබූ විට, ඔහු මෙහෙම කිව්වා: “මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.” (යොහන් 18:19, 20) මේ පූර්වාදර්ශය සැලකිල්ලට ගැනීමේදී, ප්‍රසිද්ධ කළ යුතු බවට දෙවි ප්‍රකාශ කර තියෙන දේ හිතුවක්කාර ලෙස රහසිගතව තබන්න යන්නේ මොන දේවභයැති පුද්ගලයාද? සදාකාල ජීවනයට මඟ පෙන්වන “දැනගැනීමේ යතුර” සඟවන්න එඩිතර වෙන්නේ කවුද? එහෙම කරනවා නම්, ඔහු පළමුවන සියවසේ ආගමික කුහකයන් වගේ වෙනවා.—ලූක් 11:52; යොහන් 17:3.
13. අපිට ලැබෙන ලැබෙන හැම ප්රස්තාවකදීම අපි දේශනා කළ යුත්තේ ඇයි?
13 යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි දෙවිගේ රාජ්‍ය පණිවිඩය රහසිගතව තියාගෙන ඉන්නවා කියලා කිසිම කෙනෙකුට කිසිදාක කියන්න බැරි වෙන්න ඕනේ! ඒ පණිවිඩය පිළිගත්තත් ප්‍රතික්ෂේප කළත්, එය දේශනා කර තියෙන බව ජනයා දැනගත යුතුමයි. (සසඳන්න එසකියෙල් 2:5; 33:33.) එසේනම්, කොහේ හමු වුවත්, හැම කෙනාටම පණිවිඩය ගැන කතා කරන්න හැම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමට අදිටන් කරගනිමු.
සාතන්ගේ හකුවලට කොකු දැමීම
14. අපේ නමස්කාරයේදී විවෘත වීම සම්බන්ධයෙන් අපි අදි මදි නොකළ යුත්තේ ඇයි?
14 ස්ථාන බොහොමයක යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැඩි වැඩියෙන් ජනමාධ්‍යයෙහි අවධානයට ලක් වෙමින් සිටිනවා. මුල් ක්‍රිස්තියානීන්ට සිදු වුණ දෙයට සමානව, ඔවුන් ගැන බොහෝවිට වැරදි අදහස් පතුරුවා හැර තියෙන අතර, සැකකටයුතු ආගමික ලබ්ධීන් සහ රහස්‍ය සංවිධානවල ගණයටම දමා තියෙනවා. (ක්‍රියා 28:22) දේශනා කිරීමේදී අපේ විවෘතභාවය නිසා, අපිව තවත් වැඩියෙන් ප්‍රහාරයට ලක් වෙන්න ඉඩ තියෙනවාද? අනවශ්‍ය ලෙස මතභේදවලට මැදිහත් වීම යේසුගේ උපදෙස්වලට එකඟ නොවන අතරම, එය අඥාන දෙයක් වන බවටද සැකයක් නැහැ. (හිතෝපදේශ 26:17; මතෙව් 10:16) කොහොම වුණත්, රාජ්‍ය දේශනා කිරීමේ සහ තමුන්ගේ ජීවිත වැඩිදියුණු කරන්න ජනයාට උපකාර කිරීමේ ප්‍රයෝජනදායක වැඩය සැඟවිය යුතු දෙයක් නෙවෙයි. යෙහෝවාට සහ ඔහුගේ පිහිටුවන ලද රාජ්‍යයට අවධානය යොමු කරමින් එය යෙහෝවාට ගෞරවය ගෙන දෙන අතර, ඔහුව උසස් කරනවා. නැඟෙනහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ කොටස්වල බයිබල් සත්‍යතාවට මෑතකදී දක්වලා තියෙන සතුටු කරවන ප්‍රතිචාරයට යම් දුරකට හේතු වී තියෙන්නේ, ඒ ප්‍රදේශවල, දැන් සත්‍යය වැඩි වන විවෘතභාවයකින් දේශනා කරන්න පුළුවන් වීමයි.
15, 16. (අ) අපේ විවෘතභාවයෙන් සහ සමෘද්ධියෙන් ඉටු වන අරමුණු මොනවාද? ඒත් කනස්සලු වීමට මෙය හේතුවක්ද? (ආ) යෙහෝවා සාතන්ගේ හකුවලට කොකු දාන්නේ ඇයි?
15 යෙහෝවාගේ සාක්ෂිකරුවන් විවෘත ලෙස දේශනා කරන අන්දමත්, ඔවුන් භුක්ති විඳින ආත්මික පාරාදීසයත්, මානව සම්පත් සහ ද්‍රව්‍යමය වත්කම් අතින් ඔවුන්ට තියෙන සමෘද්ධියත් පොදු අවධානයෙන් ගිලිහී යන්නේ නැති එක ඇත්තයි. අවංක හෘද ඇති අය ආකර්ෂණය වුණත්, මෙම සාධක විරුද්ධවාදීන් තුළ අරුචිය උපදවනවා. (2 කොරින්ති 2:14-17) ඇත්තවශයෙන්ම, අවසානයේදී සාතන්ගේ බලඇණි දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීමට මෙය පෙලඹීමක් විය හැකියි.
16 මෙය කනස්සල්ලට හේතුවක් කරගත යුතුද? එසකියෙල් 38වන පරිච්ඡේදයෙහි සොයාගන්න පුළුවන් වන යෙහෝවාගේ අනාගතවාක්‍යය අනුව නම් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහි සාතන්ව මාගොග්හි ගොග් නමින් හඳුන්වනවා. රාජ්‍යය 1914දී පිහිටෙව්වායින් පස්සේ භූමික විෂයට පහත් කළ දා පටන් සාතන් නමැති යක්ෂයා දෙවිගේ සෙනඟට විරුද්ධව කරන ප්රහාරයක පෙරමුණේ ඉන්න යනවා කියලත් එහි පුරෝකථනය කරලා තියෙනවා; (එළිදරව් 12:7-9) යෙහෝවා ගොග්ට මෙහෙම කියනවා: “මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත. නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.” (එසකියෙල් 38:11, 12) කොහොම වුණත් මෙම ප්‍රහාරයට දෙවිගේ සෙනඟට භය වෙන්න අවශ්‍යතාවක් නැති බව 4වන පදය පෙන්වනවා, ඇයි කිව්වොත් එය යෙහෝවාගේ පෙලඹීමෙන් කෙරෙන දෙයක් වන නිසයි. ඒත්, දෙවි තම සෙනඟට විරුද්ධව මුළු වැර යොදා කරන ප්‍රහාරයකට ඉඩ දෙන්නෙත්—ඇත්තෙන්ම ඒ වගේ දෙයකට පොලඹවන්නෙත් ඇයි? විසිතුන්වන පදයෙහි අපිට යෙහෝවාගේ පිළිතුර කියවන්න පුළුවන්: “මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා [යෙහෝවා] බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.”
17. ගොග්ගේ තදාසන්න ප්‍රහාරය අපි සැලකිය යුත්තේ කොහොමද?
17 මේ අනුව, ගොග්ගේ ප්‍රහාරය ගැන භීතියෙන් ඉන්නවා වෙනුවට, යෙහෝවාගේ ජනයා බයිබල් අනාගතවාක්‍ය මෙලෙස තවදුරටත් ඉටුවීම දෙස පුල පුලා බලා සිටිනවා. දෘශ්‍යමාන සංවිධානයට වර්ධනය සහ ආශීර්වාද දීමෙන්, යෙහෝවා සාතන්ගේ හකුවලට කොකු දමා, ඔහුගේ සහ ඔහුගේ හමුදාවන් පරාජය කරා යොමු කරවන බව දැනසිටීම මොනතරම් උද්යෝගයක් ඇති කරවනවාද!—එසකියෙල් 38:4.
දැන් වෙන කිසිදාකටත් වඩා!
18. (අ) බොහෝ ජනයා මොන දේ තේරුම්ගන්න පටන්ගෙන තියෙනවාද? ඒ ඇයි? (ආ) රාජ්‍ය දේශනා කිරීමට ප්‍රතික්‍රියා කරන අන්දම බලවත් පෙලඹීමක් හැටියට කටයුතු කරන්නේ කොහොමද?
18 එහෙම කිරීම ජනප්‍රිය දෙයක් නූණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් තම අදහස් පළ කිරීමේදී ඉතා විවෘතව කටයුතු කරලා තියෙනවා. දුම්පානයේ සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ අන්තරාවන් ගැන, හික්මවීමකින් තොරව දරුවන් පුහුණු කිරීමේ අදූරදර්ශීභාවය ගැන, නීති විරෝධී ලිංගික සම්බන්ධකම් සහ සාහසිකකමෙන් නැහැවුණු විනෝදාස්වාදයේ නරක ප්‍රතිඵල ගැන සහ රුධිර ප්රවේශනවල අවදානම ගැන දශක ගණනාවක් තිස්සේ ඔවුන් අනතුරු අඟවලා තියෙනවා. ඒ වගේම පරිණාමවාදයේ තියෙන අක්රමිකතාවලටත් ඔවුන් අවධානය යොමු කරලා තියෙනවා. දැන්, වැඩි වන ජන පිරිසක් මෙහෙම කියනවා: “බලාගෙන ගියාම, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වැරදි නැහැනේ.” අපේ අදහස් ප්‍රසිද්ධ කිරීමේදී අපි මෙතරම් විවෘතව කටයුතු කරලා තිබුණේ නැත්නං, මෙයාකාරයෙන් ප්‍රතික්‍රියා කරන්න ඔවුන්ට බැරි වේවි. ඒ වගේම එවැනි ප්‍රකාශයක් කිරීමෙන්, “සාතන්, ඔබ බොරුකාරයෙක්; යෙහෝවා තමයි හරි” කියලා කියන්න ඔවුන් පියවරක් ගන්නවා කියන කාරණයත් අමතක කරන්න එපා. සත්‍යතාවෙහි වචනය ප්‍රසිද්ධියේම කතා කරමින්, යේසුගේ ආදර්ශය දිගටම අනුගමනය කිරීම සඳහා අපිට මොනතරම් බලවත් පෙලඹීමක්ද ඒ!—හිතෝපදේශ 27:11.
19, 20. (අ) යෙහෝවාගේ ජනයා 1922දී පළ කළේ මොන අධිෂ්ඨානයද? එමෙන්ම එම වදන් තවමත් අදාළ වෙනවාද? (ආ) අපි යෙහෝවාගේ “පරිශුද්ධ රහස” සැලකිය යුත්තේ කොහොමද?
19 මේ සම්බන්ධයෙන් තමුන්ට තියෙන යුතුකම යෙහෝවාගේ සෙනඟට සෑහෙන කාලයක් තිස්සේ තේරී ගොස් තියෙනවා. වර්ෂ 1922 සිහිකටයුතු සමුළුවකදී, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජේ. එෆ්. රද’ෆ’ඩ් තම සබය තුළ මහත් උද්යෝගයක් ඇති කළේ මෙහෙම කියමින්: “සිහිකල්පනාවෙන් ඉන්න, අවදිව ඉන්න, ක්‍රියාශීලී වන්න, නිර්භීත වන්න. ස්වාමියා සඳහා විශ්වාසවන්ත වගේම සැබෑ සාක්ෂිකරුවන් වන්න. බබිලෝනියේ සෑම ලාංඡනයක්ම පාළු වන තෙක්, සටනෙහි නිරත වන්න. පණිවිඩය දුර නුදුර ප්‍රකාශ කරන්න. යෙහෝවා දෙවි බවත්, යේසුස් ක්‍රිස්තුස් රජවරුන්ගේ රජු හා ස්වාමිවරුන්ගේ ස්වාමි බවත් ලෝකයා දැනගත යුතුයි. මෙය සියලුම දවස් අතරින් වැදගත්ම දවසයි. බලන්න, රජ පාලනය කරනවා! ඔබ සැම ඔහුගේ ප්රචාරක නියෝජිතයෝ. එමනිසා, රජු සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න.”
20 වර්ෂ 1922දී මෙම වදන් වැදගත් වුණා වගේම, අවුරුදු 75කට පස්සේ විනිශ්චයකරු සහ පළිගන්නා වශයෙන් ක්‍රිස්තුස්ව එළිදරව් වීම මෙතරම් ළංව තියෙද්දී එය ඊටත් වඩා කොතරම් වැදගත් විය යුතුද! යෙහෝවාගේ පිහිටුවන ලද රාජ්‍යය සහ දෙවිගේ සෙනඟ භුක්ති විඳින ආත්මික පාරාදීසය පිළිබඳ පණිවිඩය ළඟ තියාගන්න බැරි තරම් උදාර “පරිශුද්ධ රහසක්.” යේසුම පැහැදිලිව පැවසූ පරිදි, යෙහෝවාගේ සදාකාලික අරමුණෙහි ඔහුට හිමි අතිවැදගත් ස්ථානය ගැන ඔහුගේ අනුගාමිකයන් ශුද්ධාත්මයේ උපකාරය ඇතුව, “පොළොවේ සීමාව දක්වා” සාක්ෂිකරුවන් විය යුතුයි. (ක්‍රියා 1:8; එපීස 3:8-12) ඇත්තවශයෙන්ම, රහස් එළිදරව් කරන දෙවි වන යෙහෝවාගේ සේවකයන් වශයෙන්, මේ රහස අපි ළඟම තියාගන්න එක හිතාගන්නවත් බැරි තරම් දෙයක්!
කොහොමද පිළිතුරු දෙන්නේ?
◻ “පරිශුද්ධ රහස” කියන්නේ මොකක්ද?
◻ එය ප්‍රචලිත කළ යුතු බව අපි දන්නේ කොහොමද?
◻ යෙහෝවාගේ සෙනඟට එරෙහිව ගොග්ගේ ප්‍රහාරයට හේතු වෙන්නේ මොකක්ද? අපි මෙය සැලකිය යුත්තේ කොහොමද?
◻ අපි හැම කෙනෙක්ම අදිටන් කළ යුත්තේ කුමක් කරන්නද?
[16වන පිටුවේ කොටුව]
“පරිශුද්ධ රහසක්” ප්‍රගතිශීලීව එළිදරව් වේ
◻ පො.යු.පෙ. 4026න් පසු: සාතන්ව විනාශ කරන්න වංශයක් නැඟිටවන්න දෙවි පොරොන්දු වේ.—උත්පත්ති 3:15
◻ පො.යු.පෙ. 1943: ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම වලංගු කෙරේ; වංශය ආබ්‍රහම් තුළින් පැමිණෙන බව ඉන් පොරොන්දු වේ.—උත්පත්ති 12:1-7
◻ පො.යු.පෙ. 1918: ගිවිසුමේ උරුමක්කාරයා වශයෙන් ඊසාක්ගේ උපත.—උත්පත්ති 17:19; 21:1-5
◻ පො.යු.පෙ. 1761දී පමණ: ඊසාක්ගේ පුත්‍ර යාකොබ් තුළින් වංශය පැමිණෙන බව යෙහෝවා සනාථ කරයි.—උත්පත්ති 28:10-15
◻ පො.යු.පෙ. 1711: වංශය තම පුත්‍ර යූදා තුළින් පැමිණෙන බව යාකොබ් දක්වයි.—උත්පත්ති 49:10
◻ පො.යු.පෙ. 1070-1038: වංශය තමාගෙන් පැවතෙන්නෙක් වන බවත්, ඔහු සදාකාලයටම රජ වශයෙන් පාලනය කරන බවත් දාවිත් රජ ඉගෙනගනී.—2 සාමුවෙල් 7:13-16; ගීතාවලිය 89:35, 36
◻ පො.යු. 29-33: වංශය, මෙසියස්, අනාගත විනිසුරු සහ තනතුරට නියම රජු වශයෙන් යේසුව හඳුන්වා දෙනු ලැබේ.—යොහන් 1:17; 4:25, 26; ක්‍රියා 10:42, 43; 2 කොරින්ති 1:20; 1 තිමෝති 3:16
◻ තමාට හවුල් පාලකයන් සහ විනිසුරුවන්ද, ස්වර්ගික රාජ්‍යයට භූමික යටත්වැසියන්ද සිටින්න යන බවත්, තම අනුගාමිකයන් රාජ්‍ය දේශනාකරන්නන්ද වන බවත් යේසු එළිදරව් කරයි.—මතෙව් 5:3-5; 6:10; 28:19, 20; ලූක් 10:1-9; 12:32; 22:29, 30; යොහන් 10:16; 14:2, 3
◻ ලෝක සිද්ධීන්වලින් පැහැදිලි වන පරිදි, රාජ්‍යය නිශ්චිත වේලාවකදී පිහිටුවනු ලබන බව යේසු එළිදරව් කරයි.—මතෙව් 24:3-22; ලූක් 21:24
◻ පො.යු. 36: යුදෙව් නොවන අයත් රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් වන බව පේතෘස් දැනගනී.—ක්‍රියා 10:30-48
◻ පො.යු. 55: ක්‍රිස්තුස්ගේ පැමිණසිටීමේදී, රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් අමරණීය මෙන්ම දිරා නොයන තත්වයකට නැවත නැඟිටවනු ලබන බව පාවුල් පැහැදිලි කරයි.—1 කොරින්ති 15:51-54
◻ පො.යු. 96: දැනටමත් තම ආලේප ලත් අනුගාමිකයන්ව පාලනය කරමින් සිටින යේසු, ඔවුන්ගේ අවසාන සංඛ්‍යාව 1,44,000ක් බව එළිදරව් කරයි.—එපීස 5:32; කොලොස්සි 1:13-20; එළිදරව් 1:1; 14:1-3
◻ පො.යු. 1879: සියොන්ගේ මුරටැඹ (ඉංග්‍රීසියෙන්), “පරිශුද්ධ රහස” ක්‍රියාත්මක වීමේදී, මහත් වැදගත්කමින් යුත් වර්ෂයක් හැටියට 1914ට යොමු දක්වයි
◻ පො.යු. 1925: රාජ්‍යය 1914දී උපත ලැබූ බව මුරටැඹ (ඉංග්‍රීසියෙන්) පැහැදිලි කරයි; රාජ්‍යය පිළිබඳ “පරිශුද්ධ රහස” ප්‍රචලිත කළ යුතුමයි.—එළිදරව් 12:1-5, 10, 17
[15වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම නායක යේසු මෙන් යෙහෝවාගේ රාජ්‍යය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි