සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්න
“දේවතා රූප [පිළිම NW] සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද?”—2 කොරින්ති 6:16.
1. ඊශ්‍රායෙල්වරුන්ගේ මණ්ඩපයෙන් හා දේවමාලිගාවන්ගෙන් ආදර්ශනය කරන ලද්දේ කුමක් ද?
යෙහෝවඃ වහන්සේට තිබෙන්නේ පිළිමවලින් තොර දේවමාලිගාවකි. එය මෝසෙස් විසින් ඉදිකරන ලද ඊශ්‍රායෙල්ගේ මණ්ඩපය මගින් හා පසු ව යෙරුසලමේ ගොඩනගන ලද දේවමාලිගාවන් මගින් ආදර්ශනය කරන ලදි. එම ව්‍යූහයන් ‘සැබෑ වූ මණ්ඩපය,’ එනම් යෙහෝවඃ වහන්සේගේ මහත් ආත්මික දේවමාලිගාව නියෝජනය කළේ ය. (හෙබ්‍රෙව් 8:1-5) එම දේවමාලිගාව වනාහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත නමස්කාරයේ දී දෙවියන් වහන්සේ වෙතට එළැඹීමේ විධිවිධානයයි.—හෙබ්‍රෙව් 9:2-10, 23.
2. දෙවියන් වහන්සේගේ මහත් ආත්මික දේවමාලිගාවේ කණු බවට පත් වන්නේ කවුද, තව ද මහත් සමූහය විසින් භුක්තිවිඳිනු ලබන්නේ කිනම් තත්ත්වයක් ද?
2 ආලේප ලත් සෑම ක්‍රිස්තියානියෙක් ම, ස්වර්ගයේ ස්ථානයක් ලබමින්, “දෙවියන්වහන්සේගේ මාළිගාවේ කණුවක්” බවට පත් වෙයි. යෙහෝවඃ වහන්සේගේ වෙනත් නමස්කාරකයන්ගේ “මහත් සමූහයක්” ‘[දෙවියන් වහන්සේට] පරිශුද්ධ සේවය පිරිනමමින්’ සිටින්නේ, හෙරෝද් විසින් යළි ගොඩනඟන ලද දේවමාලිගාවේ අන්‍යජාතීන්ගේ මළුවෙන් නියෝජනය කරන ලද දේ තුළ ය. යේසුස් වහන්සේගේ පූජාව කෙරෙහි දක්වන ඇදහිල්ල නිසා, “මහත් පීඩාව” තුළින් සුරැකි ව ගෙන යනු ලැබීමට තුඩු දෙන්නා වූ ධර්මිෂ්ඨ තත්ත්වයක් ඔවුන්ට තිබේ.—එළිදරව් 3:12; 7:9-15.
3, 4. පොළොව මත ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ සභාව සමාන කර තිබෙන්නේ කුමකට ද? එය නිදහස් විය යුත්තේ කිනම් කිළිටිකමෙන් ද?
3 පොළොව මත සිටින ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ සභාව පිළිමවලින් තොර වූ වෙනත් දේවමාලිගාවකට සමාන කර තිබේ. ‘ශුද්ධාත්මය සමඟින් මුද්‍රා කරනු ලැබූ’ එවැන්නන්ට ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේ ය: “නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ දේවමාලිගාවක්ව සෑදීගන යන්නේය. උන්වහන්සේ තුළ [එක්සත් ව NW] නුඹලාත් ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.” (එපීස 1:13; 2:20-22) මුද්‍රා කරනු ලැබූ මෙම 1,44,000 දෙනා “ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු” ලබත්.—1 පේතෘස් 2:5; එළිදරව් 7:4; 14:1.
4 මෙම උප පූජකයන් “දෙවියන්වහන්සේගේ මාළිගාව” වන හෙයින්, උන් වහන්සේ මෙම දේවමාලිගාව කෙළෙසනු ලැබීමට ඉඩ නාරින සේක. (1 කොරින්ති 3:9, 16, 17) “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා” යයි පාවුල් අනතුරු ඇඟවූයේ ය. ධර්මමිෂ්ඨකමෙත් අධර්මමිෂ්ඨකමෙත් [නොපනත්කමෙත් NW] ඇති සහභාගිකම මොකද? නැතහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියල් සමග ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? දේවතා රූප [පිළිම NW] සමග දෙවියන්වහන්සේගේ දේවමාලිගාවට ඇති එකඟකම මොකද?” “සර්වබලධාරී යෙහෝවඃ වහන්සේට” අයත් වන ආලේප ලත් ක්‍රිස්තියානිහු පිළිම වන්දනාවෙන් නිදහස් ව සිටිය යුතු ය. (2 කොරින්ති 6:14-18) මහත් සමූහයට අයත් අය ද සෑම ආකාරයක පිළිම වන්දනාව මඟ හැරිය යුතුයි.
5. යෙහෝවඃ වහන්සේ තනි භක්තිය ලබන්ට සුදුසු ව සිටින බව දන්නා සැබෑ ක්‍රිස්තියානින් කුමක් කළ යුතු ද?
5 ඍජු හා සියුම් යන ආකාර දෙකේ ම පිළිම වන්දනාව තිබේ. පිළිම වන්දනාව සීමා වන්නේ බොරු දෙවිවරුන් ව හෝ දේවතාවියන් ව නමස්කාර කිරීමට පමණක් ම නොවේ. එය නම්, යෙහෝවඃ වහන්සේ හැර වෙන ඕනෑ ම දෙයකට හෝ ඕනෑ ම කෙනෙකුට නමස්කාර කිරීමකි. විශ්වනීය පරමාධිපතියාණන් වශයෙන්, තනි භක්තිය හරි ලෙස ඉල්ලා සිටින උන් වහන්සේ, එය ලැබීමට වටින සේක. (ද්විතීය කථාව 4:24) මේ ගැන සාවධාන ව සිටින සැබෑ ක්‍රිස්තියානිහු සෑම ආකාරයක ම පිළිම වන්දනාවන්ට එරෙහි වූ ශුද්ධ ලියවිලිමය අනතුරු ඇඟවීමට අවනත වෙති. (1 කොරින්ති 10:7) යෙහෝවඃ වහන්සේගේ සේවකයන් විසින් වැළකිය යුතු පිළිම වන්දනාවේ ආකාර කිහිපයක් ගැන අපි සලකා බලමු.
ක්‍රිස්තියානි ලෝකයේ රූප වන්දනාව පෙර ඡායා කොට දැක්වී ය
6. එසකියෙල්, දර්ශනය තුළ දුටුවේ කුමන පිළිකුල් දේවල් ද?
6 පොදු යුගයට පෙර 612 වසරේ දී, බබිලෝනියාවේ වහල් භාවයේ සිටිය විට, යෙරුසලමේ යෙහෝවඃ වහන්සේගේ දේවමාලිගාවේ ඇදහිල්ල අත්හළ යුදෙව්වන් විසින් පිළිපදින ලද පිළිකුල් දේවල් පිළිබඳ දර්ශනයක් අනාගතවක්තෘ එසකියෙල් දුටුවේ ය. එසකියෙල් දුටුවේ “ඊර්ෂ්‍යාවේ සංකේතයකි [NW].” වැඩිමහල්ලන් සැත්තෑ දෙනෙක් දේවමාලිගාවේ දුම් පූජා ඔප්පු කරමින් සිටිනවා නිරීක්ෂණය කරන ලදි. ස්ත්‍රීන් බොරු දෙවියෙකු ගැන වැළපෙමින් සිටිනවා දක්නට ලැබුණි. තව ද මිනිසුන් 25 දෙනෙක් හිරුට වන්දනා කරමින් සිටියහ. මෙම ඇදහිල්ල අත්හළ ක්‍රියාවන්ගේ ඇති විශේෂත්වය කුමක් වී ද?
7, 8. “ඊර්ෂ්‍යාවේ සංකේතය” කුමක් වෙන්නට ඇත් ද, තව ද එය යෙහෝවඃ වහන්සේ ව ඊර්ෂ්‍යාවට පෙලඹුවේ ඇයි?
7 ක්‍රිස්තියානි ලෝකයේ පිළිම වන්දනාව, දර්ශනය තුළ එසකියෙල් දුටු පිළිකුල් දේවල් මගින් පෙර ඡායා කොට දැක්වී ය. නිදසුනක් වශයෙන් ඔහු මෙසේ පැවසුවේ ය: “පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුල්වෙන තැන, ඒ ජ්වලිතකම උපදවන රූපය [ඊර්ෂ්‍යාවේ සංකේතය NW] තිබෙනවා දුටිමි. [යෙහෝවඃ දෙවියන් වහන්සේ] මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? . . . යයි මට කීසේක.”—එසකියෙල් 8:1-6.
8 ඊර්ෂ්‍යාවේ පිළිම වන්දනාත්මක සංකේතය වනාහි, කානානිවරුන් විසින් තමන්ගේ දෙවියන් වූ බාල්ගේ භාර්යාව ලෙස සලකනු ලැබූ බොරු දේවතාවියක් නියෝජනය කරන ශුද්ධ කණුවක් වූවා විය හැකි ය. සංකේතය කුමක් වුවද, එය යෙහෝවඃ වහන්සේගේ ආඥාවන් උල්ලංඝණය කරමින් ඊශ්‍රායෙල්වරුන් උන් වහන්සේ දුන් තනි භක්තිය බෙදා දැමූ නිසා එය උන් වහන්සේ ව ඊර්ෂ්‍යාවට පෙලඹ වූයේ ය: “මම වනාහි . . . තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]. මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්ටයක් හෝ තට සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය තදින් ඉල්ලා සිටින්නා වූ NW] . . . දෙවිකෙනෙක්ය.”—නික්මයාම 20:2-6.
9. ක්‍රිස්තියානි ලෝකය දෙවියන් වහන්සේ ව ඊර්ෂ්‍යාවට පොලඹවා තිබෙන්නේ කෙසේ ද?
9 දෙවියන් වහන්සේගේ දේවමාලිගාව තුළ ඊර්ෂ්‍යාවේ සංකේතයකට නමස්කාරය කිරීම වනාහි ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල්වරුන් විසින් කරන ලද මහත් ම පිළිකුල් දේවලින් එකකි. ඒ හා සමාන ව, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි, ඔවුන් සේවය කරනවා යයි කියා සිටින දෙවියන් වහන්සේට දෙනු ලබන තනි භක්තිය බෙදා දමන්නා වූ දේව ද්‍රෝහි සංකේතයන් හා රූප සමඟින් කෙළෙසී සිටිත්. දෙවියන් වහන්සේ ව ද ඊර්ෂ්‍යාවට පොලඹවා තිබේ, මන්දයත් පූජක පංතිය, මිනිස් වර්ගයාගේ එක ම බලාපොරොත්තුව ලෙස උන් වහන්සේගේ රාජ්‍යය ප්‍රතික්ෂේප කරන අතර, ශුද්ධ ස්ථානයේ නොතිබිය යුතු—“ශුද්ධ ස්ථානයේ තිබෙන . . . පාළුකරන පිළිකුල”—එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔවුහු පිළිමයකට මෙන් වඳිති.—මතෙව් 24:15, 16; මාර්ක් 13:14.
10. එසකියෙල්, දේවමාලිගාව ඇතුළත දුටුවේ කුමක් ද, එමෙන් ම ක්‍රිස්තියානි ලෝකය තුළ දක්නට ඇති දෙය සමඟ මෙය සැසඳෙන්නේ කෙසේ ද?
10 දේවමාලිගාවට ඇතුල් වෙමින් එසකියෙල් මෙසේ වාර්තා කරයි: “මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙත් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි. ඉශ්රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙක්ද . . . තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.” නිකම් සිතා බලන්න! යෙහෝවඃ වහන්සේගේ දේවමාලිගාවේ සිටින ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ, බිත්තිවල කැටයම් කර ඇති පිළිකුල් දේවලින් නියෝජනය වන බොරු දෙවිවරුන්ට සුවඳ දුම් පූජා ඔප්පු කරති. (එසකියෙල් 8:10-12) සන්සන්දනාත්මක ව බැලූ කල, ක්‍රිස්තියානි ලෝකයේ රටවල සංකේතයන් වශයෙන් කුරුල්ලන් ව සහ වන සත්ත්වයන් ව භාවිතා වන අතර, ජනයා මේවාට භක්තිය පුදති. එපමණක් ද නොව, යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් කරන ලද මැවීම පිළිබඳ බයිබලයේ සඳහන් සැබෑ වාර්තාව තහවුරු කරනවා වෙනුවට, මිනිසුන්ට වඩා පහත් ගණයේ සත්ත්ව ආකාරවලින් මිනිසා පරිණාමය වුණා ය යන වැරදි න්‍යායට උල් පන්දම් දීම මගින් විශාල ජනතාවක් මුළා කිරීමට උදව් කිරීමේ ලා බොහෝ පූජකයෝ වැරදිකරුවන් වී සිටිති.—ක්‍රියා 17:24-28.
11. ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල් ස්ත්‍රීන් තම්මුස් ගැන වැළපෙමින් සිටියේ ඇයි?
11 යෙහෝවඃ වහන්සේගේ ගෘහයේ දොරටුවට ඇතුල්වෙන තැන ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල් ස්ත්‍රීන් තම්මුස් ගැන වැළපෙමින් සිටිනවා එසකියෙල් දිටී ය. (එසකියෙල් 8:13, 14) බබිලෝනිවරුන් සහ සිරියන්වරුන් තම්මුස් ව සැලකුවේ, වර්ෂා සමයේ දී වැවී, වියළි කාලයේ දී මිය යන්නා වූ ගස් වෘක්ෂලතාදියේ දෙවියන් හැටියට ය. ඒවායේ මරණය තම්මුස්ගේ මරණය ආදර්ශනය කළ අතර, වඩාත් උණුසුම් වූ කාලයේ දී ඔහුගේ නමස්කාරකයන් විසින් වාර්ෂික ව විලාප නඟන ලදි. වර්ෂා කාලයේ දී වෘක්ෂලතාවන් යළි වැඩෙත් ම, තම්මුස් පාතාල ලෝකයේ සිට යළි පැමිණුනා යයි සැලකිණි. ඔහු ඔහුගේ නමේ මුල් අකුරෙන් නියෝජනය වූ අතර, එය කුරුසයේ ආකාරයක් ගත්තා වූ පැරණි ටාඋ අකුර විය. ක්‍රිස්තියානි ලෝකය විසින් කුරුසයට දෙන පිළිම වන්දනාත්මක ගෞරවය මෙය අපට හොඳින් සිහි ගන්වයි.
12. එසකියෙල් දුටුවේ ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල් මිනිසුන් 25 දෙනා කුමක් කරමින් සිටින බව ද, ක්‍රිස්තියානි ලෝකය තුළ සිදු වන්නේ මීට සමාන කුමන ක්‍රියාවක් ද?
12 දේවමාලිගාවේ ඇතුල් මළුව තුළ, ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල් මනුෂ්‍යයන් 25 දෙනෙක් හිරුට නමස්කාර කරනවා එසකියෙල් ඊළඟට දකී, මෙය එවන් පිළිම වන්දනාවට එරෙහි ව යෙහෝවඃ වහන්සේ විසින් දී තිබෙන අණ උල්ලංඝණය කිරීමකි. (ද්විතීය කථාව 4:15-19) එම පිළිම වන්දනාකරුවෝ දෙවියන් වහන්සේගේ නාසයට පිළිකුල් අත්තක් ද අල්ලා ගෙන සිටි අතර, සමහරවිට එයින් නියෝජනය කළේ මිනිස් පුරුෂ ලිංගය විය හැක. දෙවියන් වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු නොදීම පුදුමයක් නොවේ. එය හරියට ක්‍රිස්තියානි ලෝකය “මහත් පීඩාව” තුළ දී උන් වහන්සේගේ උපකාරය සොයන්නාක් මෙනි, නමුත් එය නිෂ්ඵල ය. (මතෙව් 24:21) එම ඇදහිල්ල අත්හළ ඊශ්‍රායෙල්වරුන් යෙහෝවඃ වහන්සේගේ දේවමාලිගාවට තම පිටුපස හරවාගෙන ආලෝකය දෙන හිරුට නමස්කාර කළාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකය ද දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආලෝකයට තම පිටුපස හරවා බොරු මූල ධර්ම උගන්වති, ලෞකික ප්‍රඥාව පිළිමයක් කොට සලකා ඊට වන්දනා මාන කරති. දුරාචාරයට ඔහේ ඉඩහරිති.—එසකියෙල් 8:15-18.
13. එසකියෙල්ගේ දර්ශනය තුළ දුටු පිළිම වන්දනාවන්ගේ ආකාරවලින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වළකින්නේ කුමන මාර්ගවලින් ද?
13 එසකියෙල් විසින් කලින් දුටුවාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකයේ හෙවත් ප්රතිරූපික යෙරුසලමේ සියලු ආකාර පිළිම වන්දනාවලින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ වැළකී සිටිත්. දෙවියන් වහන්සේට අගෞරව කරන සංකේතයන් අපි පිළිමයක් කොට වන්දනා නොකරන්නෙමු. අප ආණ්ඩුමය “බලයලත් මුලාදෑනීන්ට” ගෞරවය දැක්වුව ද, අප ඔවුන්ට දක්වන යටත්කම සාපේක්ෂිත ය. (රෝම 13:1-7; මාර්ක් 12:17; ක්‍රියා 5:29) අපගේ හෘදයාංගම භක්තිය දී තිබෙන්නේ දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ රාජ්‍යයටයි. මැවුම්කරුවාණන් සහ උන් වහන්සේගේ මැවිල්ල වෙනුවට අපි පරිණාම වාදය ආදේශ නොකරන්නෙමු. (එළිදරව් 4:11) අප කිසිවිටෙකත් කුරුසයට භක්තිය පුදන්නේවත්, එසේත් නැතිනම්, පණ්ඩිතකම, දර්ශනවාදය, හෝ වෙනත් ආකාරයේ ලෞකික ප්‍රඥාවන් පිළිමයක් කර ගෙන ඊට නමස්කාර කරන්නේවත් නැත. (1 තිමෝති 6:20, 21) තව ද අපි වෙනත් සියලු ආකාරයේ පිළිම වන්දනාවන්ට එරෙහි ව ද ආරක්ෂා වන්නෙමු. මේවායින් සමහරක් මොනවා ද?
වෙනත් ආකාරයේ පිළිම වන්දනාවන්
14. එළිදරව් 13:1 හි සඳහන් “මෘගයා” සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ගන්නේ කිනම් ස්ථාවරය ද?
14 සංකේතාත්මක ‘වන මෘගයෙකු’ ව පිළිමයක් කොට නමස්කාර කිරීමේලා ක්‍රිස්තියානිහු මිනිස් වර්ගයා සමඟ හවුල් නොවෙති. ප්‍රේරිත යොහන් මෙසේ පැවසී ය: “අං දසයක්ද ඉස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට මකුට දසයක්ද . . . තිබුණේය. . . . පොළොවේ වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.” (එළිදරව් 13:1, 8) මෘගයන්ගෙන් “රජවරුන්” ව හෝ දේශපාලන බලවේගයන් සංකේතවත් කළ හැක. (දානියෙල් 7:17; 8:3-8, 20-25) එසේ නම්, සංකේතාත්මක වන මෘගයාගේ හිස් සතෙන් නියෝජනය වන්නේ ලෝක මහා බලවේගයන් ය—එනම් මිසරය, අසූරිය, බබිලෝනිය, මේදිය-පර්සියාව, ග්‍රීසිය, රෝමය සහ බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ එංගලන්ත-අමෙරිකානු මිශ්‍ර බලවේගය ය. “මේ ලෝකයේ අධිපතියා” වන සාතන්ගේ දේශපාලන පිළිවෙළ පිළිමයක් කොට වන්දනා කරවීමට මිනිස් වර්ගයා ව මෙහය වීම මගින් ක්‍රිස්තියානි ලෝකය දෙවියන් වහන්සේට සහ ක්‍රිස්තුස් වහන්සේට මහත් අගෞරවයක් දක්වා තිබේ. (යොහන් 12:31) කෙසේ වෙතත්, මධ්‍යස්ථ ක්‍රිස්තියානින් හා රාජ්‍යයට අනුබල දෙන්නන් වශයෙන් යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ එවැනි පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරති.—යාකොබ් 1:27.
15. යෙහෝවඃ වහන්සේගේ ජනයා ලෝකයේ තරු දෙස බලන්නේ කෙසේ ද, තව ද මේ සම්බන්ධයෙන් එක් සාක්ෂිකරුවෙක් පැවසුවේ කුමක් ද?
15 දෙවියන් වහන්සේගේ ජනයා විනෝදාස්වාදයේ සහ ක්‍රීඩාවන්හි තරු, පිළිමයක් කොට වන්දනා මාන කිරීමෙන් ද වැළකී සිටිති. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වීමෙන් පසු, එක් සංගීතඥයෙක් මෙසේ පැවසී ය: “රස වින්දනය හෝ නැටුම් සඳහා වූ සංගීතය වැරදි ආශාවන් පුබුදුවාලිය හැකි ය. . . . සවන් දෙන්නන් බොහෝ දෙනෙකු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තුළ නොමැති බවට හැඟී යන සන්තෝෂය සහ මුදු මොළොක් සෙනෙහස පිළිබඳ ව ගායකයා ගායනා කරයි. කලාකරුවා ව බොහෝ විට හඳුන්වා දෙනු ලබන්නේ ඔහු ගායනා කරන දේ සමඟ ය. මා දන්නා සමහර වෘත්තීමය සංගීතකරුවන් සහ ගායකයන් මේ හේතුව නිසා ම ස්ත්රීන්ගේ ප්‍රියතම අයවලුන් ය. යමෙක් වරෙක මෙම උමතු ලෝකය තුළ ගිලී යන විට, එය ඔහු විසින් ගායකයා ව හෝ වාදකයා ව පිළිමයක් කොට වන්දනා මාන කිරීමට තුඩු දෙයි. සිහිවටනයක් වශයෙන් සමරු පොතේ අත්සනක් වැනි දෙයක් පුද්ගලයා විසින් ඉල්ලා සිටීමෙන් එය හානිදායක නොවන අයුරින් පටන් ගන්නට පුළුවන. එහෙත් එම කලාකරුවා තමාගේ නියම පුද්ගලයා යයි සලකන සමහරු ඔහු ව පිළිමයක් කර ගනිමින්, ඔහුට අනවශ්‍ය ගෞරවයක් පුදති. ඔහුත් ගායකයාගේ හෝ වාදකයාගේ පින්තූරයක් එල්ලා ගෙන ඔහු ඇඳුම් අඳින පළඳින හා හිසකෙස් පීරන විලාශය අනුගමනය කිරීමට පටන් ගන්නවා විය හැකියි. භක්ත්‍යාදරයෙන් පුදනු ලැබීම අයත් වන්නේ දෙවියන් වහන්සේට පමණක් බව ක්‍රිස්තියානින් මතක තබා ගත යුතු ය.”
16. ධර්මිෂ්ඨ දේව දූතයන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන බව පෙන්වන්නේ කුමකින් ද?
16 එසේ ය, භක්ත්‍යාදරයෙන් පුදනු ලැබීම හෝ නමස්කාරය ලැබීමට වටින්නේ දෙවියන් වහන්සේ පමණි. යොහන්, තමාට පුදුමාකාර දේවල් පෙන්වූ “දේවදූතයාට නමස්කාර කරන්ට ඔහුගේ පාමුල” වැටුණ විට, කුමන අයුරකින් හෝ පිළිමයක් කොට නමස්කාර කරනු ලැබීම ප්‍රතික්ෂේප කළ එම ආත්ම මැවිල්ල මෙසේ පැවසුවේ ය: “[ප්‍රවේසම් වෙයන්න! NW] එසේ නොකරන්ට බලාගනින්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්‍රොපේතවරුන්ගේ ද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරපන්න.” (එළිදරව් 22:8, 9) යෙහෝවඃ වහන්සේට තිබෙන භය, හෙවත් උන් වහන්සේ උදෙසා වූ ගැඹුරු ගෞරවය, උන් වහන්සේට පමණක් නමස්කාර කිරීමට අප ව පොලඹවයි. (එළිදරව් 14:7) මෙසේ, පිළිම වන්දනාවෙන් අප ව ආරක්ෂා කරන්නේ සැබෑ දේව භක්තියයි.—1 තිමෝති 4:8.
17. පිළිම වන්දනාත්මක ලිංගික දුරාචාරයට එරෙහි ව අපට ආරක්ෂා විය හැක්කේ කෙසේ ද?
17 යෙහෝවඃ වහන්සේගේ සේවකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන පිළිම වන්දනාවේ තවත් ආකාරයකි, ලිංගික දුරාචාරය. “වේශ්‍යාකම් කරන්නෙකුවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් පිළිමවඳින්නෙකුවූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව” ඔවුහු දනිති. (එපීස 5:5) පිළිම වන්දනාව සම්බන්ධ වී ඇත්තේ නීති විරෝධී රාගික ආශාව භක්තිය පුදන යමක් බවට පත් වන නිසා ය. වැරදි ලිංගික ආශාවන් මගින් දිව්‍ය ගුණාංග අන්තරායට ලක් වී යයි. තමාගේ ඇස් සහ කන් කාමුක කෘතිවලට නැඹුරු කරවීමෙන්, පුද්ගලයෙක්, ශුද්ධ දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ සමඟ ඇති කර ගෙන තිබිය හැකි මොනයම් හෝ සම්බන්ධතාවයක් උවදුරේ හෙලා ගනී. (යෙසායා 6:3) එසේ නම්, එවැනි පිළිම වන්දනාවන්ට එරෙහි ව ආරක්ෂා වීමට නම්, කාමුක කෘතිවලින් හා දූෂිත සංගීතයෙන් ක්‍රිස්තියානින් වැළකී සිටිය යුතු ය. ශුද්ධ ලියවිලි මත පදනම් ව ඇති තද බල ආත්මික සාර ධර්මවලට තදින් ඇලී සිටීමට ඔවුන්ට අවශ්‍ය වන අතර, ඔවුන් ‘සැබෑවේ ධර්මිෂ්ඨකමින් ද පක්ෂපාතකමින් ද දෙවියන් වහන්සේට සමාන ව මවන ලද්දාවූ අලුත් පුද්ගලිකත්වය පැළඳගත’ යුතු ය.—එපීස 4:22-24.
ගිජුකමෙන් හා තණ්හාවෙන් වළකින්න
18, 19. (අ) ගිජුකම හා තණ්හාව යනු කුමක් ද? (ආ) පිළිම වන්දනාත්මක ගිජුකමෙන් හා තණ්හාවට එරෙහි ව අපට ආරක්ෂා විය හැක්කේ කෙසේ ද?
18 පිළිම වන්දනාවේ ආකාරයන්ට ළඟින් සම්බන්ධ වී තිබෙන්නා වූ ගිජුකමට හා තණ්හාවට එරෙහි ව ද ක්‍රිස්තියානින් ආරක්ෂා වී සිටිය යුතු ය. ගිජුකම යනු සීමාව ඉක්ම වූ හෝ ඉතා දැවෙන ආශාව වන අතර, තණ්හාව යනු වෙනත් කෙනෙකුට අයත් ඕනෑ ම දෙයක් සඳහා ඇති ගිජුකම ය. තණ්හාවට එරෙහි ව අනතුරු ඇඟ වූ යේසුස් වහන්සේ, තම මරණයේ දී තමාගේ ධනයෙන් ප්‍රයෝජන ගන්නට නොහැකි වූ සහ “දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත්” නොවීම නිසා දුක්දායක තත්ත්වයක සිටි තණ්හාධික මනුෂ්‍යයා ගැන කථා කළ සේක. (ලූක් 12:15-21) පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට යෝග්‍ය ලෙස උපදෙස් දුන්නේ මෙසේ ය: “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් . . . රූපවැඳීමවූ තණ්හාවත් නසාපල්ලා.”—කොලොස්සි 3:5.
19 මුදල් සඳහා අධික ප්‍රේමයක් දක්වන්නා වූ ද, ආහාර පාන සඳහා දැඩි කෑදරකමකින් යුතු වූ ද අය, නැතහොත් බලය සඳහා දැඩි ආශාවකින් සිටින අය එවැනි ආශාවන් තමන්ගේ පිළිම කර ගනිති. පාවුල් ගෙන හැර දැක්වූවාක් මෙන්, ගිජු පුද්ගලයෙක් පිළිම වඳින්නෙකු වන අතර, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර ගන්නට යන්නේ නැත. (1 කොරින්ති 6:9, 10; එපීස 5:5) මෙබැවින්, ගිජු තැනැත්තන් වශයෙන් පිළිම වන්දනාවේ යෙදෙන බව්තීස්ම ලත් පුද්ගලයන් ව ක්‍රිස්තියානි සභාවේ ඇසුරෙන් කපා හරිනු ලැබිය හැක. කෙසේ වුවද, ශුද්ධ ලියවිලි අදාළ කර ගැනීමෙන් හා ඉතා උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන්, අපට ගිජුකමෙන් වැළකී සිටිය හැක. හිතෝපදේශ 30:7-9 මෙසේ කියයි: “කාරණ දෙකක් ඔබගෙන් [යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන්] ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව. වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට, මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්යකළ මැනව.” පිළිම වන්දනාත්මක ගිජුකමෙන් හා තණ්හාවට එරෙහි ව ආරක්ෂා වීමට අපට උපකාර කරන්නට එවන් ස්වභාවයකට හැක.
තමා ව ම පිළිමයක් කර ගැනීමට එරෙහි ව ආරක්ෂා වන්න
20, 21. යෙහෝවඃ වහන්සේගේ ජනයා තමන් ව ම පිළිමයක් කර ගැනීමට එරෙහි ව ආරක්ෂා වන්නේ කෙසේ ද?
20 යෙහෝවඃ වහන්සේගේ ජනයා තමන් ව ම පිළිමයක් කර ගැනීමට එරෙහි ව ද ආරක්ෂා වෙති. මේ ලෝකයේ, තමන් ව ම සහ තමන්ගේ ම කැමැත්ත පිළිමයක් කර ගැනීම පොදු දෙයකි. බොහෝ දෙනෙකුට ප්රයෝගකාරී මාර්ගවලින් ක්‍රියා කරන්නට හේතු වන්නේ කීර්තිය සහ ගෞරවය සඳහා ඇති ආශාවයි. ඔවුන්ට වුවමනා වන්නේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත නොව තමන්ගේ කැමැත්ත සිද්ධ වෙනවා දැකීමට ය. එහෙත්, අපගේ ම ක්‍රමය ඉටු කරවා ගැනීමට සහ වක්‍ර ආකාරයකින් අන්‍යයන් කෙරෙහි අධිපතිකම් කිරීමට අප වෑයම් කරමින් අප ව ම පිළිමයක් කර ගැනීමට අප අපට ම ඉඩ හරිනවා නම් අපට දෙවියන් වහන්සේ සමඟ කිසි සම්බන්ධතාවයක් තබා ගැනීමට නොහැක. (හිතෝපදේශ 3:32; මතෙව් 20:20-28; 1 පේතෘස් 5:2, 3) යේසුස් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපි ලෝකයේ ප්රයෝගකාරී ක්‍රියා මාර්ගයන් අත් හැර දමා ඇත්තෙමු.—2 කොරින්ති 4:1, 2.
21 කීර්තිය සොයනවා වෙනුවට, දෙවියන් වහන්සේගේ ජනයා පාවුල්ගේ අවවාදයට අවනත වෙති: “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා.” (1 කොරින්ති 10:31) යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වීමෙන්, අපි පිළිම වන්දනාත්මක අයුරින් අපගේ ම ක්‍රමවල එල්ලී නොසිට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ගෙන් ලැබෙන මඟ පෙන්වීම පිළිගනිමින්, එමෙන් ම යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ මුළුමනින් ම සහයෝගයෙන් ක්‍රියා කරමින් ප්‍රීතියෙන් දිව්‍ය කැමැත්ත කරමු.—මතෙව් 24:45-47.
ආරක්ෂාකාරී ව සිටින්න!
22, 23. පිළිම වන්දනාවේ සෑම ආකාරයකට ම එරෙහි ව දිගට ම ආරක්ෂා වීමට අපට හැක්කේ කුමන මාර්ගයෙන් ද?
22 යෙහෝවඃ වහන්සේගේ ජනයා වශයෙන්, අපි ද්‍රව්‍යමය පිළිම ඉදිරියේ වැඳ නොවැටෙන්නෙමු. එමෙන් ම අපි පිළිම වන්දනාවේ සියලු සියුම් ආකාරයන්ට එරෙහි ව ආරක්ෂා වෙමු. ඇත්ත වශයෙන් ම, අප පිළිම වන්දනාවේ සෑම ආකාරයකට ම එරෙහි ව දිගට ම ආරක්ෂා විය යුතු ය. එමනිසා අපි යොහන්ගේ උපදෙස්වලට අවනත වෙමු: “පිළිමවලින් ඔබ ව ම ආරක්ෂා කරගන්න.”—1 යොහන් 5:21, NW.
23 ඔබ යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ගෙන් කෙනෙකු නම්, බයිබලය මගින් පුහුණු කරන ලද ඔබගේ හෘදය සාක්ෂිය සහ වටහා ගැනීමේ බලයන් සෑම විට ම ක්‍රියාවට නංවාලන්න. (හෙබ්‍රෙව් 5:14) එවිට ඔබ ලෝකයේ පිළිම වන්දනාත්මක ස්වභාවයෙන් කිළිටි නොවන අතර ඇදහිලිවන්ත හෙබ්‍රෙව්වරුන් තිදෙනා සහ පක්ෂපාත මුල් ක්‍රිස්තියානින් මෙන් වෙනවා ඇත. ඔබ යෙහෝවඃ වහන්සේට තනි භක්තිය දෙනවා ඇත, තව ද සෑම ආකාරයක පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වීමට යෙහෝවඃ වහන්සේ ඔබට උපකාර කරනු නියත ය.
ඔබගේ සිතුවිලි මොනවා ද?
◻ එසකියෙල්ගේ දර්ශනය තුළ දක්නට තිබූ පිළිම වන්දනාවේ ආකාරයන්ගෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වළකින්නේ කෙසේ ද?
◻ එළිදරව් 13:1 හි සඳහන් “මෘගයා” කුමක් ද? තව ද යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ඒ සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක් ද?
◻ විනෝදාස්වාද හා ක්‍රීඩා තරු පිළිමයක් කොට නමස්කාර කිරීමට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
◻ තමා ව ම පිළිමයක් කර ගෙන වන්දනා මාන කිරීමට එරෙහි ව අපට ආරක්ෂා විය හැක්කේ කෙසේ ද?
◻ සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව අප දිගට ම ආරක්ෂා විය යුත්තේ මන්ද?
[26වන පිටුවේ පින්තූර]
එසකියෙල්ගේ දර්ශනයේ දී දුටු පිළිකුල් දේවල් ක්‍රිස්තියානි ලෝකයේ පිළිම වන්දනාව සඳහා පෙර ඡායාවක් මෙන් ක්‍රියා කළේ කෙසේ දැයි ඔබ දන්නෙහි ද?
[හිමිකම් විස්තර]
Artwork (upper left) based on photo by Ralph Crane/Bardo Museum