කවදාවත් ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ එපා
“මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගනී. නමුත් ඔහු සිතින් දොස් කියන්නේ යෙහෝවා දෙවිටය.”—හිතෝ. 19:3.
1, 2. පොළොවේ සිදු වෙන දේවලට යෙහෝවා දෙවිට දොස් කියන්න බැරි ඇයි? උදාහරණයකින් පැහැදිලි කරන්න.
පුරුෂයෙක් වැඩ ඇරිලා ගෙදර එනවා කියලා හිතන්න. ගෙදරට ඇතුල් වෙද්දිම ඔහු දකිනවා, බඩුමුට්ටු ඔක්කොම කඩලා බිඳලා දාලා. ජනෙල් රෙදි ඉරලා දාලා. උදේ වැඩට යද්දී ලස්සනට තිබුණ ගෙදර දැන් කුණු ගොඩක් වගේ. ඔහු මොනවා කරයිද? මේකට වග කියන්න ඕනෙ තමන්ගේ බිරිඳ කියලා හිතලා ඇයට දොස් කියයිද? නැත්නම් කවුද මේක කළේ කියලා හොයලා බලයිද? ඔහු අනිවාර්යයෙන්ම හොයලා බලයි. මොකද, ඔහු දන්නවා තමන්ගේ ආදරණීය බිරිඳ නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා.
2 අපි ජීවත් වෙන මේ පොළොවත් ඒ ගෙදර වගේ. කලින් හොඳට තිබුණ වතුර, පස, වායුගෝලය වගේ දේවල් දැන් දූෂණය වෙලා. දුරාචාරයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් මිනිසුන්ගේ සිත් දූෂණය වෙලා. ඒත් මේ දේවලට වග කියන්න ඕනෙ අපේ ආදරණීය දෙවි යෙහෝවා නෙවෙයි කියලා අපි දන්නවා. (1 යොහ. 4:8) ඔහු පොළොව හැදුවේ පාරාදීසයක් තරම් ලස්සනට. (උත්. 2:8, 15) එහෙමනම් අද සිදු වෙන හුඟක් දේවලට වග කියන්න ඕනෙ කවුද? ඒ, “ලෝකයේ පාලකයා” වන සාතන්.—යොහ. 14:30; 2 කොරි. 4:4.
3. අපේ අසම්පූර්ණකම නිසා වෙන්න පුළුවන් භයානක දේ මොකක්ද?
3 කොහොමවුණත් හැම ප්‍රශ්නයකටම වග කියන්න ඕනෙ සාතන් විතරක් නෙවෙයි. මොකද, සමහර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අපේම වැරදි නිසයි. (ද්විතීය කතාව 32:4-6 කියවන්න.) සමහරවිට ඒක අපි පිළිගත්තත් අපේ අසම්පූර්ණකම නිසා ඒ දේ අපිට අමතක වෙන්න පුළුවන්. ඒක හුඟක් භයානකයි. (හිතෝ. 14:12) ඒකට හේතුව, සාතන්ට දොස් කියනවා වෙනුවට නැත්නම් අපේ වැරැද්ද පිළිගන්නවා වෙනුවට, යෙහෝවා දෙවිට ‘දොස් කියන්න’ අපි පෙලඹෙන්න පුළුවන් නිසයි.—හිතෝ. 19:3.
4, 5. කෙනෙක්ගේ මෝඩකම නිසා වෙන්න පුළුවන් මොනවද?
4 යෙහෝවා දෙවිට ‘දොස් කිව්වොත්’ හානියක් වෙන්නේ අපිටමයි. (යෙසා. 41:11) දෙවිත් එක්ක කේන්ති අරන් වැඩ කරලා කවදාවත් සාර්ථක වෙන්න බැහැ. අපි දෙවිත් එක්ක කේන්තියෙන් ඉන්නවා කියලා කියන්නේ නැහැ තමයි. ඒත් හිතෝපදේශ 19:3හි කියන විදිහට අපේ මෝඩකම නිසා ‘ජීවිතය අවුල් කරගෙන සිතින් දෙවිට දොස් කියන්න’ අපි පෙලඹෙන්න පුළුවන්. ඒක හරියට දෙවිත් එක්ක කේන්තියෙන් ඉන්නවා වගේ. එහෙම වුණොත් යෙහෝවා දෙවිට කරන සේවය ටිකෙන් ටික අඩු කරන්නත් සභාවේ අය එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන එක අඩු කරන්නත් අපි පෙලඹෙන්න පුළුවන්.
5 අපි යෙහෝවා දෙවිට ‘දොස් කියන්න’ පෙලඹෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද? ඒ උගුලෙන් අපිට බේරෙන්න පුළුවන් කොහොමද? ඒ දේවල් ගැන දැනගත්තොත් යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න අපිට පුළුවන්.
අපි ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ පෙලඹෙන හේතු
6, 7. මෝසෙස්ගේ කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් දෙවිට දොස් කිව්වේ ඇයි?
6 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන කෙනෙක්, සිතින් දෙවිට දොස් කියන්න පෙලඹෙන්න පුළුවන් හේතු පහක් ගැනත් දෙවිට ‘දොස් කියපු’ කිහිපදෙනෙක් ගැනත් දැන් අපි බලමු.—1 කොරි. 10:11, 12.
7 අනිත් අය කියන අධෛර්යය කරවන දේවල්. (ද්විතීය කතාව 1:26-28 කියවන්න.) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න හුඟක් දේවල් කළා. ඊජිප්තුවරුන්ට පීඩා දහයක් ගෙනාවා. ඊජිප්තුවේ හමුදාව රතු මුහුදෙදී විනාශ කළා. (නික්. 12:29-32, 51; 14:29-31; ගීතා. 136:15) ඊටපස්සේ, ඔවුන්ට දෙවි පොරොන්දු වුණ දේශය ළඟටම ඔවුන්ව ගෙනාවා. ඒත් එතනදී යෙහෝවා දෙවි ගැන ඔවුන්ට තිබුණ විශ්වාසය නැති වෙලා, ඔවුන් දෙවිට දොස් කියන්න පටන්ගත්තා. එහෙම වුණේ ඔත්තුකරුවන් දහදෙනා කියපු දේවලට භය වෙලා, ඔවුන් අධෛර්යය වුණ නිසයි. (ගණන්. 14:1-4) අධෛර්යය වුණ ඒ අයට ‘පොරොන්දු වූ දේශයට’ යන්න දෙවි ඉඩ දුන්නේ නැහැ. (ද්වි. 1:34, 35) අපිට මොනවද ඒකෙන් ඉගෙනගන්න පුළුවන්? අනිත් අය කියන දේවල් ගැන හිතන්න ගියොත් යෙහෝවා දෙවි ගැන අපිට තියෙන විශ්වාසය අඩු වෙන්නත් දෙවි තම සෙනඟට මඟ පෙන්වන විදිහ ගැන දොස් කියන්නත් අපි පෙලඹෙන්න පුළුවන්.
8. යෙසායාගේ කාලයේ හිටපු යුදෙව්වන් දෙවිට දොස් කිව්වේ ඇයි?
8 දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වීම. (යෙසායා 8:21, 22 කියවන්න.) යෙසායාගේ කාලයේ හිටපු යුදෙව්වන්ට හුඟක් දුක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සතුරන් ඔවුන්ව වට කරගෙන හිටියා. ඔවුන් හිටියේ හරිහමන් කෑමක් නැතුව කුසගින්නේ. ඒත් ඊටත් වඩා භයානක දේ තමයි, දෙවි කියපු දේවලට ඔවුන් ඇහුම්කන් නොදී දෙවි එක්ක තිබුණ බැඳීම ටිකෙන් ටික දුර්වල වෙන්න ඉඩහැරිය එක. (ආමො. 8:11) යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලනවා වෙනුවට ඔවුන් දෙවිටත් රජටත් දොස් කියන්න පටන්ගත්තා. අපිටත් එහෙම වෙන්න පුළුවන්. අපිට ඇති වෙන දුක් කරදර නිසා අධෛර්යය වෙලා ‘අපිට ඕනෙ වෙලාවේ දෙවි උදව් කරන්නේ නැහැනේ’ කියලා දෙවිට දොස් කියන්න අපි පෙලඹෙන්න පුළුවන්.
9. යෙහෝවා දෙවි දේවල් කරන විදිහ වැරදියි කියලා ඊශ්‍රායෙල්වරුන් හිතුවේ ඇයි?
9 හැම තොරතුරක්ම දන්නේ නැහැ. එසකියෙල්ගේ කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් දේවල් හරියට දන්නේ නැතුව, දෙවි සමහර දේවල් කරන විදිහ වැරදියි කියලා හිතුවා. (එස. 18:29) ඔවුන් වැඩ කළේ, දෙවි කරන දේවල් විනිශ්චය කරන්න තමන්ට අයිතියක් තියෙනවා වගෙයි. අපි අතිනුත් එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? ඔව්. බයිබලයේ තියෙන සමහර දේවල් ගැන හැම තොරතුරක්ම හරියටම තේරුම්ගන්න අපිට අමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මුහුණ දෙන්න වෙන දේවල් ඒ විදිහට වෙන්නේ ඇයි කියලා අපිට හරියටම තේරෙන්නේ නැතුව ඇති. ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවි “අසාධාරණ” විදිහට දේවල් කරනවා කියලා හිතන්න අපි පෙලඹෙන්න පුළුවන්.—යෝබ් 35:2.
10. සමහර අය ආදම් වගේ ක්‍රියා කරන්නේ කොහොමද?
10 කරපු වැරදි අපි පිළිගන්නේ නැහැ. ආදම්, තමන් කරපු වැරදිවලට දොස් කිව්වේ දෙවිට. (උත්. 3:12) තමන් දෙවිගේ නීතියක් කැඩුවා කියලත් දෙවි තමන්ට දඬුවම් කරයි කියලත් ආදම් හොඳින්ම දැනගෙන හිටියා. ඒත් ඔහු එහෙම කළේ යෙහෝවා දෙවි දුන්න බිරිඳ නිසා කියලා ඔහු දෙවි පිට වරද පැටෙව්වා. ඔහුට පස්සේ හිටපු හුඟක් අයත් තමන් කරපු වැරදි පිළිගන්නේ නැතුව දොස් කිව්වේ දෙවිටයි. ‘මං අතින් වරදක් වුණාම, මට ඇති වෙන කලකිරීම නිසා දෙවිගේ නීති තද වැඩියි’ කියලා මටත් හිතෙනවද?
11. යෝනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?
11 අපි ගැන විතරක් හිතන එක. නිනිවයේ වැසියන්ට සමාව දුන්න නිසා යෝනා, යෙහෝවා දෙවිට දොස් කිව්වා. (යෝනා 4:1-3) ඒ ඇයි? තමන් කියපු අනාවැකිය ඉටු වුණේ නැත්නම් තමන් බොරුකාරයෙක් කියලා මිනිසුන් හිතයි කියලා යෝනා භය වුණා. ඔහු කරදර වුණේ මිනිසුන් ඔහු ගැන මොනවා හිතයිද කියලා මිසක් මිනිසුන් විනාශ වෙන එක ගැන නෙවෙයි. අපිත් යෝනා වගේ හිතනවද? අපි ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් අපිටත් එහෙම වෙයි. උදාහරණයකට, අපි අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් යෙහෝවා දෙවි විනාශයක් ගේනවා කියලා දේශනා කරනවා. ඒත් තාමත් ඒක අවේ නැහැනේ කියලා මිනිසුන් අපිට විහිළු කරද්දී ඉක්මනට විනාශය ගෙනාවේ නැති නිසා අපි දෙවිට දොස් කියන්න පෙලඹෙනවද?—2 පේතෘ. 3:3, 4, 9.
දෙවිට දොස් කියන එකෙන් වළකින්න පුළුවන් කොහොමද?
12, 13. දෙවි කරන හෝ ඉඩහරින දේකට අපි අකමැති නම් මොකද කරන්නේ?
12 දෙවි කරන යම් දේකට හරි, දෙවි ඉඩහැරලා තියෙන යම් දේකට හරි අපි අකමැති නම් මොකද කරන්නේ? එහෙම අකමැති වෙන එක මෝඩ දෙයක් කියලා මුලින්ම තේරුම්ගන්න. හිතෝපදේශ 19:3 මතකයි නේද? එතන කියන විදිහට අපේම මෝඩකම නිසා අපි ප්‍රශ්න ඇති කරගෙන, යෙහෝවා දෙවිට දොස් කියන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න උදව් වෙන කාරණා පහක් ගැන දැන් අපි බලමු.
13 දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න. අපිට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් අපේ හිතේ දෙවි ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) අපි දෙවිව විශ්වාස කරන්න ඕනෙ. දෙවිට වඩා අපි දේවල් දන්නවා කියලවත් අපේ ප්‍රශ්න තමයි ලොකුම ප්‍රශ්න කියලවත් හිතන්න හොඳ නැහැ. (හිතෝ. 3:7; දේශ. 7:16) එතකොට දුක් කරදර එද්දී අපි දෙවිට දොස් කියන්න පෙලඹෙන්නේ නැහැ.
14, 15. අනිත් අය කියන දේවල් නිසා අධෛර්යය වෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවද?
14 අනිත් අය කියන දේවල් නිසා අධෛර්යය වෙන්න එපා. තමන්ට පොරොන්දු දේශය ලබා දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් කියන දේ විශ්වාස කරන්න, ඊශ්‍රායෙල්වරුන්ට ඕනෙ තරම් හේතු තිබුණා. (ගීතා. 78:43-53) ඒත් ඔත්තුකරුවන් දහදෙනා අධෛර්යය කරවන දේවල් කිව්වම දෙවි ඔවුන් වෙනුවෙන් “තම බලය යොදාගෙන ක්‍රියා කළ හැටි” ඔවුන්ට අමතක වුණා. (ගීතා. 78:42) අපි වෙනුවෙනුත් යෙහෝවා දෙවි කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන හොඳට හිතලා බලනවා නම් අපි තවත් දෙවිට කිට්ටු වෙයි. එතකොට දෙවි එක්ක තියෙන අපේ බැඳීම කඩන්නවත් අපිව අධෛර්යය කරන්නවත් වෙන අය කියන දේවලට පුළුවන් වෙන්නේ නැහැ.—ගීතා. 77:11, 12.
15 අපේ සහෝදර සහෝදරියන්ට දොස් කියන එකත් යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම නැති කරන දෙයක්. (1 යොහ. 4:20) එදා, ආරොන්ව උත්තම පූජකයා විදිහට පත් කළාම ඊශ්‍රායෙල්වරුන් ඒ ගැන දොස් කිව්වා. ඒත් දෙවි ඒක සැලකුවේ තමන්ට දොස් කිව්වා හා සමානවයි. (ගණන්. 17:10) අපිත්, යෙහෝවා දෙවි තමන්ගේ වැඩකටයුතු බලාගන්න පත් කරලා තියෙන අයට දොස් කියනවා නම් ඒක දෙවිට දොස් කියනවා හා සමානයි.—හෙබ්‍රෙ. 13:7, 17.
16, 17. අපි මුහුණ දෙන දුක් කරදරවලට දොස් කියන්න හොඳ නැත්තේ ඇයි?
16 අපේ දුක් කරදරවලට හේතුව යෙහෝවා දෙවි නෙවෙයි කියන එක මතක තියාගන්න. යෙසායාගේ කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්, යෙහෝවා දෙවිට සේවය කරන එක නැවැත්වුවා. ඒත් දෙවිට ඕනෙ වුණේ ඔවුන්ට උදව් කරන්නයි. (යෙසා. 1:16-19) අද අපිටත් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් දෙවි අපි ගැන සැලකිලිමත්. ඔහුට ඕනෙ අපිට උදව් කරන්නයි. (1 පේතෘ. 5:7) දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්නත් ඔහු අපිට උදව් කරනවා.—1 කොරි. 10:13.
17 යෙහෝවා දෙවිට කොයි තරම් විශ්වාසවන්තව හිටියත් යෝබ්ට දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා. දුක් කරදරවලට හේතුව යෙහෝවා දෙවි නෙවෙයි කියන එක අපි හැම වෙලාවෙම මතක තියාගමු. දෙවි අයුක්තියට කැමති නැහැ කියලත් ධර්මිෂ්ඨකමට ප්‍රිය කරනවා කියලත් බයිබලයේ කියනවා. (ගීතා. 33:5) දෙවි මිනිසුන්ට අයුක්තියක් කරන්නේ නැහැ. (යෝබ් 34:10) “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” දෙන යෙහෝවා දෙවි, කවදාවත් අපිට දුක් කරදර ඇති කරන්නේ නැහැ.—යාකො. 1:13, 17.
18, 19. අපි යෙහෝවා දෙවිව කවදාවත් සැක කරන්න හොඳ නැත්තේ ඇයි? ඒක පැහැදිලි කරන උදාහරණය මොකක්ද?
18 දෙවිව සැක කරන්න එපා. දෙවිව සැක නොකර ඉන්න අපිට ඕනෙ තරම් හේතු තියෙනවා. බයිබලයේ කියන්නේ දෙවි පරිපූර්ණ කෙනෙක් කියලයි. ඔහුගේ සිතුවිලි අපේ සිතුවිලිවලට වඩා හුඟක් උසස් කියලයි. (යෙසා. 55:8, 9) ඒත් අපි හසු වෙන්න පුළුවන් උගුලක් ගැන හිතෝපදේශ පොතේ මෙහෙම කියනවා. “නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ. එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.” (හිතෝ. 18:17) සමහර කාරණා ගැන අපි හැම තොරතුරක්ම දන්නේ නැත්නම් මුලින්ම ඒ ගැන කියන කෙනාව අපි විශ්වාස කරනවා. ඒත් ඒ ගැන හොඳට හොයලා බැලුවොත් අපිට සැබෑ තත්වය තේරුම්ගන්න පුළුවන්. ඒ වගේ, දෙවි දේවල් කරන විදිහ ගැන හැම තොරතුරක්ම අපි දන්නේ නැහැ කියලා නිහතමානීව පිළිගමු. (රෝම 9:20) එතකොට අපි දෙවිව සැක කරන්න පෙලඹෙන්නේ නැහැ.
19 ඒක අපි මේ උදාහරණයෙන් තේරුම්ගමු. අපි හුඟක් විශ්වාස කරන අපේ කිට්ටු යාළුවෙක් යම් දෙයක් කරනවා. ඒත් එයා එහෙම කළේ ඇයි කියලා අපි දන්නේ නැහැ. බැලූ බැල්මට පේන්නේ එයා කරපු දේ වැරදි දෙයක් වගේ. ඒ වුණත් අපේ යාළුවා නරක කෙනෙක් කියලා අපි හිතන්න ඉක්මන් වෙනවද? නැහැ. අපි අපේ යාළුවා ගැන ඒ විදිහේ විශ්වාසයකින් බලනවා නම් අපේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවා ගැන කොයි තරම් විශ්වාසයක් අපිට තියෙන්න ඕනෙද! ඒකට හේතුව දෙවි පරිපූර්ණ කෙනෙක් වගේම අපිට වඩා හුඟක් උසස් කෙනෙක් නිසයි.
20, 21. අපේ ප්‍රශ්නවලට දෙවිට දොස් කියන්න හොඳ නැත්තේ ඇයි?
20 ප්‍රශ්න ගැටලුවලට සැබෑ හේතුව තේරුම්ගන්න. අපි මුහුණ දෙන සමහර ප්‍රශ්නවලට වග කියන්න ඕනෙ අපිමයි. (ගලා. 6:7) ඒ ගැන දෙවිට දොස් කියන එක වැරදියි. මෙහෙම හිතන්න. කෙනෙක් වංගු තියෙන පාරක වේගයෙන් රිය පදවලා අනතුරකට ලක් වෙනවා. ඒ ගැන, රියදුරා ඒ රථය හදපු සමාගමට දොස් කියන එක සාධාරණද? කොහොමටවත් නැහැ! යෙහෝවා දෙවිත් අපිව නිර්මාණය කරලා, අපිට කැමති තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. ඒ වගේම හරි තීරණ ගන්නේ කොහොමද කියලා අපිට කියලා දීලත් තියෙනවා. ඒත් ඒවා පිළිපදින්නේ නැතුව වැරදි කරලා ප්‍රශ්න ඇති කරගත්තම දෙවිට දොස් කියන එක සාධාරණද? කොහොමටවත් නැහැ!
21 සමහර ප්‍රශ්න ඇති වෙන්නේ අපේ වරදින් නෙවෙයි. “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වෙන නිසයි. (දේශ. 9:11) ඒ වගේම මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම මූලිකවම වග කියන්න ඕනෙ සාතන්. (1 යොහ. 5:19; එළි. 12:9) අපේ සතුරා සාතන් මිසක් යෙහෝවා දෙවි නෙවෙයි කියන එකත් අපි මතක තියාගමු.—1 පේතෘ. 5:8.
යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම නැති කරගන්න එපා
22, 23. ප්‍රශ්න නිසා අපි අධෛර්යය වෙලා ඉන්නවා නම් මොනවද කරන්න ඕනෙ?
22 ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී යොෂුවා හා කාලෙබ් ගැන හිතන්න. ඔත්තුකරුවන් දහදෙනා වැරදි තොරතුරු ගෙනාවත් ඒ දෙන්නා දෙවිව විශ්වාස කරලා, සෙනඟ දිරිගැන්වෙන දේවල් කිව්වා. (ගණන්. 14:6-9) ඒත් අනිත් අයගේ වැරදි නිසා ඒ දෙන්නටත් අවුරුදු 40ක් දුක් විඳින්න වුණා. ‘අනිත් අයගේ වැරදි නිසා ඇයි අපි දුක් විඳින්නේ’ කියලා ඔවුන් කේන්ති ගත්තද? දෙවිට දොස් කිව්වද? නැහැ. ඔවුන් දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් පාළුකරයේදී මිය ගියත් ඒ දෙන්නට පොරොන්දු දේශයට යන්න දෙවි අවස්ථාව දුන්නා. (ගණන්. 14:30) අපිත් ‘විඩාවට පත් නොවී’ දිගටම දෙවිගේ කැමැත්ත කළොත් දෙවි අපිටත් ආශීර්වාද කරනවා.—ගලා. 6:9; හෙබ්‍රෙ. 6:10.
23 ඔබට තියෙන ප්‍රශ්න නිසා, අනිත් අයගේ වැරදි නිසා, ඔබේ වැරදි නිසා, ඔබ ඉන්නේ අධෛර්යය වෙලාද? එහෙමනම් අපේ ආදරණීය දෙවි යෙහෝවා ගැන හිතන්න. ඔහු ඔබට දෙන්න පොරොන්දු වෙලා තියෙන පුදුමාකාර දේවල් ගැන හිතන්න. යෙහෝවා දෙවි ඔබේ ජීවිතයේ හිටියේ නැත්නම්, ඔබේ ජීවිතය මොන වගේ එකක් වෙයිද කියලා හිතන්න. දෙවි එක්ක තියෙන ඔබේ බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න. කවදාවත්, ඔබේ හිතින්වත් යෙහෝවා දෙවිට දොස් කියන්න එපා!