දෙවන පරිච්ඡේදය
දානියෙල්—විවේචනයට ලක් වූ පොතක්
1, 2. දානියෙල් පොත චෝදනා ලැබ ඇත්තේ කිනම් අර්ථයෙන්ද? එමෙන්ම, නිදහසට ඉදිරිපත් කරන සාක්ෂි සලකා බැලීම වැදගත් කියා ඔබ සිතන්නේ මන්ද?
වැදගත් නඩුවකට ඇහුම්කන් දෙමින් ඔබ උසාවියක සිටිනවායයි සිතන්න. විත්තිකරු චෝදනා ලැබ සිටින්නේ ප්‍රෝඩා කිරීමේ වරදටයි. පැමිණිල්ලේ නීතිඥවරයා තරයේ කියා සිටින්නේ මේ මිනිසා වරදකරු බවයි. එහෙත්, අවංකභාවය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් විත්තිකරු සතුයි. නිදහසට ඉදිරිපත් කරන සාක්ෂිවලට ඇහුම්කන් දීමට ඔබ උනන්දු වන්නේ නැද්ද?
2 බයිබලයේ දානියෙල් පොත ගැන සලකා බලද්දී, ඔබ සිටින්නේ එවැනිම තත්වයකයි. එහි ලේඛකයා අවංකභාවය සම්බන්ධයෙන් කීර්තියක් ඉසිලූ කෙනෙක්. ලේඛකයාගේ නාමය දරන මේ පොත අවුරුදු දහස් ගණනක් පුරා මහත් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. එය, පො.යු.පෙ. හත්වන සහ හයවන සියවස්වල ජීවත් වූ හෙබ්‍රෙව් අනාගතවක්තෘ දානියෙල් විසින් ලියනු ලැබූ විශ්වාස කටයුතු ඓතිහාසික වාර්තාවක් බව පෙනී යනවා. පොදු යුගයට පෙර 618දී පමණ සිට පො.යු.පෙ. 536 දක්වා විහිදෙන කාලපරිච්ඡේදයක් ඔහුගේ පොතෙන් ආවරණය කෙරෙන බවද, පසුව සඳහන් කළ කාල වකවානුවේදී එය ලියා අවසන් කළ බවද නිරවද්‍ය බයිබල් කාල නිර්ණය පෙන්වනවා. එහෙත් පොත චෝදනාවට ලක් කර තිබෙනවා. සමහර විශ්වකෝෂ සහ වෙනත් ආශ්‍රේය ග්රන්ථ අඟවන්නේ හෝ එක හෙළා කියා සිටින්නේ එය ප්‍රෝඩාවක් කියායි.
3. දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය ගැන නව බ්‍රිටැනිකා විශ්වකෝෂය කියන්නේ කුමක්ද?
3 උදාහරණයක් වශයෙන්, දානියෙල් පොත “අව්‍යාජ අනාවැකිවලින් සමන්විත සැබෑ ඓතිහාසික වාර්තාවක් ලෙස පොදුවේ පිළිගැනුණක්” බව නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පිළිගන්නවා. කෙසේවෙතත්, මෙහි සැබෑ තත්වය හැටියට බ්‍රිටැනිකා කියා සිටින්නේ, දානියෙල් පොත “[සිරියේ රජු වූ] IVවන ඇන්ටියෝකස් එපිෆනස් යටතේ යුදෙව්වන් දරුණු පීඩා විඳිමින් සිටි, ජාතික අර්බුදය පැවති පසු කාලයකදී ලියන ලද්දක්” කියායි. මේ පොත පො.යු.පෙ. 167 සිට 164 අතර කාලයේදී ලියූ බව මෙම විශ්වකෝෂය කියා සිටිනවා. දානියෙල් පොතේ ලේඛකයා අනාවැකි පවසන්නේ නැති බවත්, හුදෙක් “අතීත සිදුවීම් අනාගතයේදී සිදු වන ඒවා සේ” දක්වා ඇති බවත් මෙම විශ්වකෝෂය එක හෙළා කියා සිටිනවා.
4. දානියෙල් පොත විවේචනයට ලක්වීම ඇරඹුණේ කවදාද? එමෙන්ම, මෑත සියවස්වලදී සමාන විවේචන උසිගැන්වූයේ කුමක්ද?
4 මෙවැනි අදහස්වල මූලාරම්භය කුමක්ද? දානියෙල් පොත විවේචනයට ලක් කිරීම අලුත් දෙයක් නොවේ. එය මුලින්ම කළේ පෝෆරි නමැති දාර්ශනිකයෙකු විසින්, පො.යු. තුන්වන සියවස තරම් ඈත අතීතයේදීයි. ක්‍රිස්තියානි ධර්මයේ බලපෑම මගින් ඇති විය හැකි තර්ජනය, රෝම අධිරාජ්‍යයේ සිටි බොහෝදෙනෙකුට මෙන් ඔහුටත් දැනුණා. මෙම “අලුත්” ධර්මය අතුගා දමන්න ඔහු පොත් 15ක් ලිව්වා. දොළොස්වැන්න දානියෙල් පොතට විරුද්ධව ලියනු ලැබුවා. මෙම පොත පො.යු.පෙ. දෙවන සියවසේ සිටි යුදෙව්වෙකු විසින් ලියූ හොර පිටපතක් බව පෝෆරි ප්‍රකාශ කළා. දහඅටවන සහ 19වන සියවස්වලදීත් ඒ හා සමාන පහර දීම් සිදු වුණා. බයිබල් විවේචකයන්ගේ සහ හේතුවාදීන්ගේ මතයට අනුව නම්, අනාගත සිදුවීම් පුරෝකථනය කරන අනාවැකි, කොහෙත්ම ඉටු විය නොහැකියි. ඒ නිසා, දානියෙල් පොත විශේෂ ඉලක්කයක් බවට පත් වුණා. ඇත්තෙන්ම කියනවා නම්, ඔහුටත් ඔහුගේ පොතටත් විරුද්ධව උසාවියේ නඩු පැවරුණා. මේ පොත ලිව්වේ, බබිලෝනියේ යුදෙව් වහල්භාවයේ සිටි දානියෙල් නොව, නමුත් සියවස් ගණනාවකට පසුව සිටි කෙනෙක් බවට, ඇති තරම් සාක්ෂි තිබෙන බව විවේචකයන් කියා සිටියා.a එවැනි ප්‍රහාර කොතරම් සුලභ වුණාද කිවහොත්, එක්තරා කර්තෘවරයෙක් දානියෙල් පොතට පක්ෂව කරුණු දක්වමින්, දානියෙල් විවේචකයන්ගේ ගුහාවේ (ඉංග්‍රීසියෙන්) නමැති පොත ලිව්වා.
5. දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය පිළිබඳ ප්රශ්නය වැදගත් එකක් වන්නේ මන්ද?
5 විවේචකයන් එතරම්ම සහතික කොට පවසන දේවල් පිටුපස සාක්ෂි තිබෙනවාද? එසේ නැත්නම්, සාක්ෂි දානියෙල් පොතට පක්ෂව කතා කරනවාද? මෙය සුළුපටු කාරණයක් නොවෙයි. එයට, මේ පැරණි පොතේ කීර්ති නාමය පමණක් නොව, අපගේ අනාගතයත් සම්බන්ධයි. දානියෙල් පොත ප්‍රෝඩාවක් නම්, මනුෂ්‍යවර්ගයාගේ අනාගතය සඳහා එහි අඩංගු වචනත් හුදෙක් පුහු ඒවායි. එහෙත් එහි ඇත්තේ සැබෑ අනාවැකි නම්, අදදින අපට එයින් අදහස් කරන්නේ කුමක්ද කියා දැනගන්න ඔබ ඉතා උනන්දුවෙන් සිටිනවාට කිසිම සැකයක් නැහැ. එය මනසේ තබාගෙන, දානියෙල් පොත වෙත එල්ල කර ඇති ප්රහාරයන් සමහරක් සලකා බලමු.
6. සමහර අවස්ථාවලදී, දානියෙල් පොතෙහි සඳහන් ඉතිහාසය පිළිබඳව කිනම් චෝදනා එල්ල කර තිබේද?
6 උදාහරණයක් හැටියට, අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) එල්ල කර ඇති චෝදනාව සලකා බලන්න. දානියෙල් පොතේ, “[බබිලෝනියේ වහල්භාවය වැනි] මුල් කාලපරිච්ඡේදයේ වූ බොහෝ ඓතිහාසික සිදුවීම් නොසෑහෙන්න අවුල් කර ඇත” යනු එම චෝදනාවයි. එය ඇත්තෙන්ම සැබෑවක්ද? දෝෂාරෝපණයට ලක් කර ඇති වැරදි තුනක්, වතාවකට එක බැගින් සලකා බලමු.
නැති වූ රජු පිළිබඳ කාරණය
7. (අ) බේල්ෂශර් පිළිබඳ දානියෙල්ගේ යොමු දැක්වීම් සෑහෙන කාලයකට බයිබල් විවේචකයන්ගේ සතුටට හේතු වූයේ මන්ද? (ආ) බේල්ෂශර් යනු හුදෙක් ප්‍රබන්ධ චරිතයක්ය යන අදහසට කුමක් සිදු වීද?
7 නුවර වටලද්දී, නෙබුකද්නෙශර්ගේ ‘පුත්‍රයෙක්’ වූ බේල්ෂශර් බබිලෝනියේ රජ ලෙස පාලනය කරමින් සිටි බව දානියෙල් ලිව්වා. (දානියෙල් 5:1, 11, 18, 22, 30) බයිබලයට පිටින් බේල්ෂශර් යන නාමය සොයාගැනීමට නොතිබූ නිසා, විවේචකයන් බොහෝ කාලයක් තිස්සේ මේ කරුණට පහර දුන්නා. ඒ වෙනුවට, නෙබුකද්නෙශර්ගේ අනුප්‍රාප්තිකයා නැබොනිඩස් බවත්, ඔහු බබිලෝනියේ අන්තිම රජ බවත් පුරාණ ඉතිහාසඥයන් පැවසුවා. මේ අනුව, 1850දී, ෆර්ඩිනාන්ට් හිට්සිහ් පැවසුවේ, බේල්ෂශර් කියන්නේ පෙනෙන විදිහට, ලේඛකයාගේ මනසේ ඇඳුණු කල්පනාමාත්රයක් පමණක් බවයි. එහෙත්, හිට්සිහ්ගේ මතය තරමක් අපරීක්ෂාකාරි එකක් කියා ඔබ සිතන්නේ නැද්ද? බොහෝදුරට ඉතා කෙටි කාලයක් සිටි මෙම රජ ගැන ඓතිහාසික වාර්තාවල කිසිම සඳහනක් කර නැති වූ පමණින්ම, ඔහු ජීවත් වූයේ නැහැයි කියා ඇත්තෙන්ම ඔප්පු කළ හැකිද? කෙසේවෙතත්, 1854දී, දැන් දකුණු ඉරාකය ලෙස හඳුන්වන පුරාණ බබිලෝනියේ නුවරක් වූ ඌර් දේශයෙන් කුඩා මැටි සිලින්ඩර කිහිපයක් ගොඩගනු ලැබුවා. නැබොනිඩස් රජුගෙන් වූ මේ කීලාකාර ලේඛනවල, “මගේ වැඩිමල් පුත් බෙල්-සාර්-උස්සුර්” වෙත කියා සඳහන් කළ යාතිකාවක් ඇතුළත් වෙනවා. මෙසේ, දානියෙල් පොතේ සඳහන් බේල්ෂශර් ඔහු බව පිළිගැනීමට විවේචකයන්ටත් සිදු වුණා.
8. පාලක රජෙක් ලෙස සඳහන් බේල්ශෂර් පිළිබඳ විස්තරය සැබෑ බව ඔප්පු වූයේ කෙසේද?
8 විවේචකයන් එපමණකින් සෑහීමට පත් වූයේ නැහැ. “මෙයින් කිසිවක් ඔප්පු වන්නේ නැත” යයි එච්. එෆ්. ටෝල්බට් නමැති විවේචකයා ලිව්වා. ලේඛනයේ සඳහන් පුත්‍රයා හුදෙක් ළදරුවෙක් විය හැකි නමුත්, ඔහුව පාලක රජෙකු ලෙස දානියෙල් හඳුන්වා දෙන බවට ඔහු චෝදනා කළා. ටෝල්බට්ගේ ප්‍රකාශය ප්‍රචාරය වී අවුරුද්දක් ගත වූ පසු, බේල්ෂශර්ට ලේකම්වරුන් සහ ගෘහ සේවකයන් සිටි බවට කියාපාන තවත් කීලාකාර පුවරු ගොඩගනු ලැබුවා. මොහු කොහෙත්ම ළදරුවෙක් නම් වෙන්න බැහැ! ඇතැම් අවස්ථාවලදී නැබොනිඩස්, අවුරුදු ගණන් බබිලෝනියෙන් පිට වී සිටි බව වාර්තා කරන වෙනත් පුවරු කාරණය සක් සුදක් සේ හෙළි කළා. මේ කාලපරිච්ඡේද තුළ ඔහු තම වැඩිමල් පුත්‍රයාට (බේල්ෂශර්ට) බබිලෝනියේ “රජ පදවිය පැවරූ” බව මෙම පුවරු තවදුරටත් පෙන්නුවා. වෙනත් විදිහකින් කිව්වොත්, එවැනි අවස්ථාවල බේල්ෂශර් තම පියා සමඟ සමපාලකයෙක් ලෙස රජකම් කළා.b
9. (අ) බේල්ෂශර් යනු නෙබුකද්නෙශර්ගේ පුත්‍රයායයි කීමේදී දානියෙල් අදහස් කළේ කිනම් අර්ථයෙන් විය හැකිද? (ආ) නැබොනිඩස්ගේ පැවැත්මක් ගැන දානියෙල් ඉඟියක් දෙන්නේ නැති බවට විවේචකයන් එක හෙළා කියා සිටීම වැරදි වන්නේ මන්ද?
9 බේල්ෂශර් යනු නැබොනිඩස්ගේ පුත්‍රයා නොව, නමුත් නෙබුකද්නෙශර්ගේ පුත්‍රයා කියා බයිබලය පවසන බවට, සෑහීමට පත් නොවූ සමහර විවේචකයන් තවදුරටත් චෝදනා කරනවා. නැබොනිඩස් කියා කෙනෙකුගේ පැවැත්මක් ගැන දානියෙල් අඟවන්නේවත් නැත කියා සමහරු තරයේ කියා සිටිනවා. කෙසේවෙතත්, පරීක්ෂා කර බැලූ කල, මේ විරෝධතා දෙකම බිඳ වැටෙනවා. පෙනෙන විදිහට, නැබොනිඩස්, නෙබුකද්නෙශර්ගේ දියණිය හා විවාහ වුණා. එමනිසා බේල්ෂශර් නෙබුකද්නෙශර්ගේ මුනුපුරෙකු වෙනවා. “සීයා” හෝ “මුනුපුරා” කියා කියන්න හෙබ්‍රෙව් භාෂාවේවත්, ඇරමයික භාෂාවේවත් වචන නැහැ. එමනිසා, “පුත්‍රයා” යන වචනයෙන් “මුනුපුරා” හෝ ඇතැම්විට “පැවතෙන්නක්” යන්න අදහස් කළ හැකියි. (මතෙව් 1:1 සසඳන්න.) තවදුරටත්, බේල්ෂශර් නැබොනිඩස්ගේ පුත්‍රයා බව හඳුන්වා දීමටත් බයිබලය ඉඩහරිනවා. බිත්තියේ ලියූ අද්භූත වචනවලට භය වී, වියරු වැටුණු බේල්ෂශර්, රහස් වචන තේරුම් කළ හැකි ඕනෑම කෙනෙකුට රාජ්‍යයේ තුන්වන ස්ථානය ප්රදානය කරන බව කියා සිටිනවා. (දානියෙල් 5:7) දෙවන ස්ථානය නොව, තුන්වන ස්ථානයයි. ඒ ඇයි? පළමුවන සහ දෙවන තනතුරු ඒ වන විටත් හොබවමින් තිබුණු බව එම ප්‍රදානයෙන් ඇඟවෙනවා. ඇත්තෙන්ම, නැබොනිඩස් සහ ඔහුගේ පුත්‍ර බේල්ෂශර් විසින් ඒවා හොබවනු ලැබුවා.
10. අනිකුත් පුරාණ ඉතිහාසඥයන්ට වඩා බබිලෝනියේ රාජතන්ත්‍රය පිළිබඳ දානියෙල්ගේ වාර්තාව තොරතුරුබරිත මන්ද?
10 ඉතින්, බේල්ෂශර් පිළිබඳ දානියෙල්ගේ සඳහන් කිරීම, “නොසෑහෙන්න අවුල්” කළ ඉතිහාසයක සාක්ෂි නොවෙයි. අනිත් අතට, දානියෙල් බබිලෝනියේ ඉතිහාසය ගැන ලියමින් නොසිටියා වුණත්, හෙරඩොටස්, සෙනෆොන් සහ බෙරොසස් වැනි පැරණි ලෞකික ඉතිහාසඥයන්ට වඩා, බබිලෝනියේ රාජතන්ත්‍රය පිළිබඳ සවිස්තර තොරතුරු දානියෙල් අපට සපයනවා. ඔවුන් අතින් මඟහැරුණු වාර්තා ලියන්න දානියෙල්ට හැකි වූයේ කෙසේද? ඔහු බබිලෝනියේ සිටි නිසායි. ඔහුගේ පොත ඇසින් දුටු සාක්ෂි මත ලියනු ලැබූවක් මිස, පසු සියවසක සිටි ප්රෝඩාකාරයෙකු ලියූ එකක් නොවෙයි.
මේදිය දාරියුස් කවරෙකු වීද?
11. දානියෙල් පවසන ආකාරයට මේදිය දාරියුස් කවරෙක් වීද? එහෙත්, ඔහු ගැන කියා ඇත්තේ කුමක්ද?
11 බබිලෝනිය යටපත් කළ විට, මේදිය දාරියුස් කියා රජෙක් පාලනය කරන්න පටන්ගත් බව දානියෙල් වාර්තා කරනවා. (දානියෙල් 5:31) මේදිය දාරියුස් කියා කෙනෙකු ගැන තොරතුරු, ලෞකික හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්රවල මේ වන තුරු සොයාගෙන නැහැ. මෙම දාරියුස් “ප්‍රබන්ධ චරිතයක්” යයි නව බ්‍රිටැනිකා විශ්වකෝෂය තරයේ කියා සිටිනවා.
12. (අ) මේදිය දාරියුස් කියා කෙනෙක් සිටියේ නැතැයි එක හෙළා නොකීමට විවේචකයන් පරෙස්සම් වන්නේ මන්ද? (ආ) මේදිය දාරියුස්ගේ අනන්‍යතාව පිළිබඳ එක් සාක්ෂියක් විය හැක්කේ කුමක්ද? එමෙන්ම, ඒ බව අඟවන්නේ කිනම් සාක්ෂියද?
12 සමහර විශාරදයන් වඩා සුපරීක්ෂාකාරි වී තිබෙනවා. මන්ද, වරක් බේල්ෂශර්ව පවා “ප්‍රබන්ධයක්” යයි විවේචකයන් හංවඩු ගැසූ නිසායි. දාරියුස් සම්බන්ධ සිද්ධියත් ඒ හා සමාන වන බවට කිසිම සැකයක් නැහැ. පර්සියාවේ කෝරෙෂ් ජයග්‍රහණය කළ වහාම “බබිලෝනියේ රජ” යන තනතුර ආරූඪ කර නොගත් බව කීලාකාර පුවරු දැනටමත් හෙළි කර තිබෙනවා. එක් පර්යේෂකයෙක් අදහස් දක්වන්නේ, “‘බබිලෝනියේ රජ’ නමැති තනතුර කවුරු දැරුවත්, එය දැරුවේ කෝරෙෂ් නොව, ඔහු යටතේ වූ කප්පම් ගෙවන රජෙකු විසිනි” කියායි. දාරියුස් කියන්නේ, බබිලෝනිය පාලනය කිරීමට පත් කළ බලවත් මේදීය නිලධාරියෙකුගේ පාලක නාමය හෝ තනතුර විය හැකිද? දාරියුස් කියන්නේ ගුබාරු නමැති මනුෂ්‍යයාට විය හැකියයි සමහරු කියා සිටිනවා. කෝරෙෂ් බබිලෝනියේ අධිපතියා ලෙස ගුබාරුව පත් කළ අතර, ඔහු යම් ආකාරයක බලයක් ඇතුව පාලනය කළ බව ලෞකික වාර්තා තහවුරු කරනවා. ඔහු විසින් බබිලෝනියේ උපඅධිපතීන්ව පත් කළ බව එක් කීලාකාර පුවරුවක දක්වා තිබෙනවා. උනන්දුව දනවන ලෙස, බබිලෝනීය රාජ්‍යය පාලනය කිරීම සඳහා දාරියුස් දිසාපතීන් 120දෙනෙක්ව පත් කළ බව දානියෙල් දක්වනවා.—දානියෙල් 6:1.
13. මේදිය දාරියුස් දානියෙල් පොතේ සඳහන් වීමටත්, ලෞකික වාර්තාවල සඳහන් නොවීමටත් ඇති තර්කානුකූල හේතුව කුමක්ද?
13 කාලයාගේ ඇවෑමෙන්, මේ රජුගේ නියත අනන්‍යතාව ගැන වඩා ඍජුව සාක්ෂි හෙළි වේවි. කොයි ආකාර වුණත්, මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යාව මුනිවත රැක්කත්, දාරියුස් “ප්‍රබන්ධයක්” කියා හංවඩු ගැසීමට එය පදනමක් නොවන අතරම, මුළු දානියෙල් පොතම ප්‍රෝඩාවක් කියා අහක දැමීමට ඇති පදනම ඊටත් අඩුයි. දානියෙල්ගේ වාර්තාව දැනට පවතින ලෞකික වාර්තාවලට වඩා තොරතුරු රැසකින් යුත් ඇසින් දුටු සාක්ෂියක් ලෙස සිතීම වඩා සාධාරණයි.
යෙහෝයාකීම්ගේ පාලනය
14. යෙහෝයාකීම් රජු පාලනය කළ අවුරුදු ගණන ගැන දානියෙල් සහ යෙරෙමියා අතර වෙනසක් නැත්තේ මන්ද?
14 දානියෙල් 1:1 කියන්නේ, “යුදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජ යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය” කියායි. යෙහෝයාකීම්ගේ හතරවන අවුරුද්ද, නෙබුකද්නෙශර්ගේ පළමුවන අවුරුද්දයයි කියන යෙරෙමියා සමඟ එම පදය එකඟ වන්නේ නැති නිසා විවේචකයන් එය වැරදියයි කියා සිටිනවා. (යෙරෙමියා 25:1; 46:2) දානියෙල් යෙරෙමියා සමඟ පරස්පර විරෝධීව සිටිනවාද? වැඩිමනත් තොරතුරුවලින් කාරණය තවත් පැහැදිලි වෙනවා. පොදු යුගයට පෙර 628දී, ඵාරාවෝ-නෙකො විසින් යෙහෝයාකීම්ව රජු ලෙස පත් කළ විට ඔහු නිකම්ම මිසර පාලකයාගේ පඹයෙක් බවට පත් වුණා. එය සිදු වූයේ, පො.යු.පෙ. 624දී, නෙබුකද්නෙශර් තම පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස බබිලෝනියේ කිරුළ ලැබීමට අවුරුදු තුනකට පමණ පෙරයි. වැඩි කල් යන්න මත්තෙන්, (පො.යු.පෙ. 620දී) නෙබුකද්නෙශර් යූදා දේශය ආක්‍රමණය කර, එහි බබිලෝනියට යටත් කප්පම් ගෙවන රජු ලෙස යෙහෝයාකීම්ව පත් කළා. (2 රාජාවලිය 23:34; 24:1) බබිලෝනියේ ජීවත් වන යුදෙව්වෙකුට නම්, යෙහෝයාකීම්ගේ ‘තුන්වන අවුරුද්ද’ බබිලෝනියට එම රජු කප්පම් ගෙවීමේ තුන්වන අවුරුද්ද වෙන්න ඉඩ තිබුණා. දානියෙල් එය ලීවේ එම කෝණයෙන්. කෙසේවෙතත්, යෙරෙමියා ලීවේ යෙරුසලමේ ජීවත් වන යුදෙව්වෙකුගේ කෝණයෙන්. එමනිසා යෙරෙමියා යෙහෝයාකීම්ගේ රජකමට යොමු දක්වද්දී, ඔහුගේ රජකම පටන්ගත් බවට සඳහන් කළේ, ඵාරාවෝ-නෙකො යෙහෝයාකීම්ව රජ ලෙස පත් කළ අවස්ථාවේ සිටයි.
15. දානියෙල් 1:1හි සඳහන් දිනයට පහර දීම සඳහා කළ වාදය දුර්වල එකක් වන්නේ මන්ද?
15 එසේ නම්, ඇත්තෙන්ම, දෝෂයක්යයි ඔවුන් කියන්නාවූ මෙය, දානියෙල් තමාගේ පොත බබිලෝනියේ යුදෙව් වහලෙක්ව සිටියදී ලියූ බවට ඇති සාක්ෂිවලට රුකුල් දීමක් වෙනවා පමණයි. එහෙත්, දානියෙල් පොතට විරුද්ධව ඇති මෙම විවාදයේ තවත් විශාල අඩුවක් තිබෙනවා. දානියෙල් පොතේ ලේඛකයාට, යෙරෙමියාගේ පොත තිබූ බවද ඊට යොමු දැක්වූ බවද මතක තබාගන්න. (දානියෙල් 9:2) විවේචකයන් කියන විදිහට, දානියෙල් පොතේ ලේඛකයා සට කපට අයෙකු වී නම්, යෙරෙමියා පොත වැනි එතරම් කීර්තියක් අත් කරගෙන තිබූ පොතකට පරස්පර විරෝධීව යෑමේ අවදානම තමන්ගේ පොතේ මුල් පදයටම ඇතුළත් කරාවිද? කොහෙත්ම නැහැ.
සැක දුරුලන තොරතුරු
16, 17. (අ) තම සෙනඟට නමස්කාර කිරීම සඳහා නෙබුකද්නෙශර් විසින් ආගමික ප්‍රතිමාවක් සෑදීම සම්බන්ධයෙන් සහ (ආ) බබිලෝනියේ තම ඉදි කිරීම් ව්‍යාපෘති ගැන නෙබුකද්නෙශර්ගේ පුරසාරම් දොඩන ආකල්පය සම්බන්ධයෙන්, පුරාවිද්‍යාත්මක සාක්ෂි රුකුල් දෙන්නේ කෙසේද?
16 අපේ අවධානය දැන් නිෂේධාත්මක පැත්තේ සිට ඒකාන්ත පැත්ත වෙත යොමු කරමු. තමා ලියූ කාලය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ලේඛකයාට තිබූ බව අඟවන දානියෙල් පොතෙහි අඩංගු තවත් තොරතුරු සමහරක් සලකා බලන්න.
17 පුරාණ බබිලෝනිය පිළිබඳ සියුම් තොරතුරුවලට දානියෙල්ගේ හුරුපුරුදුකම, ඔහුගේ වාර්තාවේ විශ්වාසවන්තභාවය සඳහා ප්‍රබල සාක්ෂියක්. නිදසුනක් හැටියට, සියලුම ජනයා විසින් නමස්කාර කිරීම සඳහා නෙබුකද්නෙශර් තැනූ දැවැන්ත ප්‍රතිමාව ගැන දානියෙල් 3:1-6 දක්වා ඇති වාර්තාව සලකා බලන්න. තම සෙනඟව ජාතික සහ ආගමික කටයුතු සඳහා වැඩි වැඩියෙන් යොමු කිරීමට මේ රජු උත්සාහ කළ බවට සොයාගත් වෙනත් පුරාවිද්‍යා සාක්ෂි තිබෙනවා. එමෙන්ම, තමාගේ ගොඩනැඟිලි ව්‍යාපෘති රැස ගැන නෙබුකද්නෙශර්ට තිබූ පුරසාරම් දොඩවන ආකල්පය ගැනත් දානියෙල් වාර්තා කරනවා. (දානියෙල් 4:30) බබිලෝනියේ සිදු කළ ඉදි කිරීම් රැස පිටුපස නෙබුකද්නෙශර් සිටි බව පුරාවිද්‍යාඥයන් මෑතක් වන තුරුම තහවුරු කළේ නැහැ. පුරසාරම් දෙඩීම කොතරම්ද කිවහොත්, නෙබුකද්නෙශර් හැම ගලකම තමන්ගේ නම කෙටුවා! මකබිවරුන්ගේ කාලයේ (පො.යු.පෙ. 167-63) සිටියේයයි කියන ඔවුන්ගේ මෙම හොර පිටපත්කරුවා, මෙම ගොඩනැඟිලි තනා සියවස් හතරකට පසුව සහ පුරාවිද්‍යාඥයන් මේවා හෙළි කරන්න බොහෝ කලකට පෙර, එම ගොඩනැඟිලි ව්‍යාපෘති ගැන දැන සිටියේ කෙසේද කියා දානියෙල්ගේ විවේචකයන්ට පැහැදිලි කරන්න බැහැ.
18. බබිලෝනීය පනත සහ පර්සියානු පනත යටතේ පැනවූ විවිධාකාර දඬුවම් ක්‍රම පිළිබඳ දානියෙල්ගේ වාර්තාවෙන් එහි නිරවද්‍යතාව පෙන්නුම් කරන්නේ කෙසේද?
18 බබිලෝනියේ සහ මේද-පර්සියාවේ පනත් අතර වූ මූලික වෙනස්කම් සමහරක්ද දානියෙල් පොත හෙළි කරනවා. උදාහරණයක් වශයෙන්, රජුගේ ආඥාවට කීකරු වීම ප්‍රතික්ෂේප කළ නිසා, බබිලෝනීය පනතේ හැටියට දානියෙල්ගේ මිත්‍රයන් තිදෙනාව ගිනි උදුනකට හෙළුවා. දශක කිහිපයකට පසුව, තම හෘදය සාක්ෂියට වද දුන් පර්සියානු පනතකට කීකරු වීම ප්‍රතික්ෂේප කිරීම නිසා දානියෙල්ව සිංහ ගුහාවට දැමුවා. (දානියෙල් 3:6; 6:7-9) ගිනි උදුන පිළිබඳ වාර්තාව පුරාවෘත්තයක්යයි කියමින් එය අහක දැමීමට සමහරුන් වෑයම් කළා. එහෙත්, මෙවැනි දඬුවම් ගැන නිශ්චිත ලෙස සඳහන් කෙරුණු ලිපියක් පුරාණ බබිලෝනියෙන් පුරාවිද්‍යාඥයන්ට සම්බ වුණා. කෙසේවෙතත්, මේදවරුන්ට සහ පර්සියානුවන්ට ගින්න පරිශුද්ධ දෙයක්. එබැවින්, ඔවුන් වෙනත් කුරිරු ආකාරයේ දඬුවම් වෙත යොමු වුණා. මේ හේතුව නිසා, සිංහ ගුහාව පිළිබඳ විස්තරයද පුදුමයට කරුණක් නොවෙයි.
19. දානියෙල් පොතෙහි පැහැදිලි කරන, බබිලෝනියේ සහ මේද පර්සියාවේ නීති පද්ධති අතර තිබුණේ කිනම් වෙනස්කමද?
19 තවත් වෙනසක් මතු වෙනවා. හිතුමතේට පනත් දමන්නද වෙනස් කරන්නද නෙබුකද්නෙශර්ට හැකිව තිබූ බව දානියෙල් පෙන්වනවා. ‘මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනත්’ වෙනස් කිරීමට කිසිම ආකාරයකින් දාරියුස්ට හැකි වුණේ නැහැ. තමන් පැනවූ ඒවා පවා වෙනස් කිරීමට ඔහුට හැකි වුණේ නැහැ! (දානියෙල් 2:5, 6, 24, 46-49; 3:10, 11, 29; 6:12-16) ඉතිහාසඥ ජෝන් සී. විට්කෝම් මෙසේ ලියනවා: “බබිලෝනියේ පනත් රජුට යටත් බවත්, ඊට වෙනස්ව මේද පර්සියාවේ රජු පනත්වලට යටත් බවත් පුරාණ ඓතිහාසික වාර්තාවලින් සනාථ වෙයි.”
20. බබිලෝනියේ චාරිත්‍ර ගැන දානියෙල්ට පෞද්ගලික අද්දැකීමෙන් ලැබූ දැනුමක් තිබූ බව බේල්ෂශර්ගේ මංගල්‍යය ගැන ඇති තොරතුරුවලින් හෙළි වන්නේ කෙසේද?
20 දානියෙල් පස්වන පරිච්ඡේදයේ සඳහන් බේල්ෂශර්ගේ මංගල්‍යය පිළිබඳ හැඟීම් දනවන වාර්තාව තොරතුරුවලින් ගහනයි. පෙනෙන විදිහට, අවස්ථා කිහිපයකදී මුද්‍රිකපානය සඳහා එහි යොමු දක්වා ඇති අතර, මේ අනුව බොහෝ මුද්‍රිකපානය පාවිච්චි කිරීමත්, විනෝදකාමී ලෙස ආහාර ගැනීමත් සමඟ මංගල්‍යය ඇරඹුණා. (දානියෙල් 5:1, 2, 4) ඇත්තෙන්ම, එවැනි මංගල්‍යයන් පිළිබඳ කැටයම් දක්වන්නේ මෙහිදී මුද්‍රිකපානය පමණක් පාවිච්චි කළ බවයි. එසේ නම්, පැහැදිලිවම, එවැනි මංගල්‍යවලදී මුද්‍රිකපානය ඉතාමත් වැදගත් දෙයක් වුණා. මෙම භෝජන සංග්‍රහයට රජුගේ භාර්යාවන්ද උපභාර්යාවන්ද යන ස්ත්‍රීන් පැමිණ සිටි බවද දානියෙල් සඳහන් කරනවා. (දානියෙල් 5:3, 23) බබිලෝනියේ මෙම චාරිත්‍රය පිළිබඳ තොරතුරුවලට පුරාවිද්‍යාව සහයෝගය දක්වනවා. මංගල්‍යයකට පුරුෂයන් තම භාර්යාවන්ව සම්බන්ධ කරගැනීම පිළිබඳ සංකල්පය මකබිවරුන්ගේ යුගයේදී යුදෙව්වන්ට සහ ග්‍රීකයන්ට අප්‍රසන්න යමක් වුණා. දානියෙල් පොතේ ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ මුල් අනුවාද මේ ස්ත්‍රීන් ගැන සඳහන් නොකිරීමට හේතුව සමහරවිට මෙය විය හැකියි.c එහෙත්, දෝෂාරෝපණයට ලක් වූ දානියෙල් පොතේ සැකකාර හොර පිටපත්කරුවා එම හෙලනික (ග්‍රීක) සංස්කෘතිය තුළම, සමහරවිට, සෙප්ටූඅජින්ට් නිමැවූ යුගයේම ජීවත් වූවා විය යුතුයි.
21. බබිලෝනියේ වහල්භාවය පිළිබඳ කාලය සහ චාරිත්‍ර ගැන දානියෙල්ට තිබූ සමීප දැනුම ගැන වඩාත්ම සාධාරණ පැහැදිලි කිරීම කුමක්ද?
21 එවැනි කාරණා සලකා බලද්දී, දානියෙල් පොතේ කර්තෘට වහල් යුගය ගැන ඇත්තේ “මතුපිට මෙන්ම වැරදිසහගත” දැනුමක් පමණයි කියා බ්‍රිටැනිකා විශ්වකෝෂය විස්තර කිරීම පුදුමාකාරයි. සියවස් ගණනාවකට පසුව සිටි හොර පිටපත්කරුවෙකු පුරාණ බබිලෝනියේ සහ පර්සියාවේ චාරිත්‍රවලට එතරම් හොඳින් හුරුව සිටින්නේ කෙසේද? පොදු යුගයට පෙර දෙවන සියවස වන විටදී, එම අධිරාජ්‍යයන් දෙකම අභාවයට ගොස් බොහෝ කාලයක් ගත වී තිබූ බව මතකයේ තබාගන්න. පෙනෙන විදිහට, එවකට කිසිම පුරාවිද්‍යාඥයෙක් සිටියේවත්, කිසි යුදෙව්වෙක් විදේශීය සංස්කෘතිය සහ ඉතිහාසය හැදෑරීමෙන් ගෞරවයට පාත්‍ර වූයේවත් නැහැ. තම නාමය දරන මේ බයිබල් පොත ලිව්වේ, එම කාලය සහ විස්තර කරන සිදුවීම් සියැසින්ම දුටු අනාගතවක්තෘ දානියෙල්ම මිස වෙන කිසිවෙක් නොවෙයි.
දානියෙල් පොත හොර පිටපතක් බව බාහිර සාධක ඔප්පු කරයිද?
22. හෙබ්‍රෙව් ලියවිල්ලේ සම්මත ග්රන්ථ පෙළෙහි දානියෙල්ට හිමි ස්ථානය ගැන විවේචකයන් කියා සිටින්නේ කුමක්ද?
22 දානියෙල් පොතට විරුද්ධව තිබෙන ඉතාම පොදු වාදයක් වන්නේ, හෙබ්‍රෙව් ලියවිලිවල සම්මත ග්රන්ථ පෙළේ ඊට හිමි ස්ථානයයි. පුරාණ රබ්බිවරුන් ව්‍යවස්ථාව, අනාගතවක්තෘවරු සහ ලියවිලි වශයෙන් හෙබ්‍රෙව් ලියවිලි කාණ්ඩ තුනකට සකස් කළා. ඔවුන් දානියෙල් පොත, අනාගතවක්තෘවරුන් අතරෙහි නොව, නමුත් ලියවිලි අතරෙහි තැබුවා. මෙයින් අදහස් කරන්නේ, අනිත් අනාගතවක්තෲන්ගේ පොත් එකතු කරද්දී, මෙම පොත ගැන දැන සිටියේ නැති බවයි කියා විවේචකයන් වාද කරනවා. ලියවිලි අතරෙහි තබා තිබෙන්නේ, එය පසුව එකතු කළ බවට පවසන නිසායි.
23. පුරාණ යුදෙව්වන් දානියෙල් පොත සැලකුවේ කෙසේද? එමෙන්ම, අප එය දන්නේ කෙසේද?
23 කෙසේවෙතත්, පුරාණ රබ්බිවරුන් සම්මත ග්රන්ථ එවැනි දැඩි ආකාරයකට වෙන් කළා කියන දේට හෝ දානියෙල් පොත අනාගතවක්තෲන් අතරෙන් ඉවත් කළා කියන දේට සියලුම බයිබල් පර්යේෂකයන් එකඟ වන්නේ නැහැ. එනමුත්, රබ්බිවරුන් ලියවිලි අතරෙහි දානියෙල් පොත ලැයිස්තුගත කළ පළියටම, පසු කාලයක එය ලිවූ බවක් එයින් ඔප්පු වෙනවාද? නැහැ. රබ්බිවරුන් විසින්, දානියෙල් පොත අනාගතවක්තෘවරුන්ගේ කාණ්ඩයෙන් ඉවත් කර තිබීමට හේතු කිහිපයක්, පිළිගත් විශාරදයන් විසින් දක්වා තිබෙනවා. නිදසුනක් හැටියට, ඔවුන් එසේ කරන්න ඇත්තේ, ඔවුන් පොත නොරිස්සූ නිසා නැතහොත් දානියෙල් විදේශ රටක ලෞකික තනතුරක් හෙබවීම නිසා, අනිත් අනාගතවක්තෘවරුන්ට වඩා ඔහු වෙනස් කෙනෙක් කියා ඔවුන් සැලකූ නිසායි. කාරණය කුමක් වුණත්, සැබෑව නම්, පුරාණ යුදෙව්වන් තුළ දානියෙල් පොත කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබූ බව හා එය සම්මත ග්රන්ථයක් බව ඔවුන් විශ්වාස කිරීමයි. ඊටත් වඩා, සාක්ෂි පෙන්වන්නේ, හෙබ්‍රෙව් ලියවිල්ලේ සම්මත ග්රන්ථ ලියා අවසන් කළේ, පො.යු.පෙ. දෙවන සියවසට බොහෝ කාලයකට පෙර බවයි. පොදු යුගයට පෙර දෙවන සියවස අතර කාලයේ ලියූ සමහර පොත් ඇතුළු, පසුව කළ ඒවා ඇතුල් කිරීමට කොහෙත්ම ඉඩ දුන්නේ නැහැ.
24. දානියෙල් පොතට විරුද්ධව ද්වීතීය සම්මත ග්රන්ථයක් වන උපදේශකයාව යොදාගනු ලැබ ඇත්තේ කෙසේද? එමෙන්ම, මේ තර්ක කිරීම වැරදි බව පෙන්වන්නේ කුමක්ද?
24 ප්‍රතික්ෂේප කරන ලද මෙවැනි පසුකාලීන කෘතියක් දානියෙල් පොතට විරුද්ධව ආයුදයක් වශයෙන් යොදාගෙන තිබීම හාස්‍යයට කරුණක්. ද්වීතීය සම්මත ග්රන්ථයක් වන උපදේශකයා නමැති පොත, ජේසුස් බෙන් සිරාක් විසින් පො.යු.පෙ. 180දී පමණ කළ එකක්. පොත තුළ ඇති ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ගේ දීර්ඝ ලැයිස්තුවෙන් දානියෙල් ඉවත්ව ඇති බව පෙන්වීමට විවේචකයන් කැමැත්තක් දක්වනවා. එවකට දානියෙල් ගැන වගතුග දැන සිටියේ නැත කියා ඔවුන් තර්ක කරනවා. මෙම වාදය විශාරදයන් අතර ප්‍රසිද්ධියේ පිළිගැනුණු එකක්. එහෙත් එම ලැයිස්තුවෙන් එස්රා සහ මොර්දෙකයි (මේ දෙදෙනාම වහල්භාවයෙන් පසුව සිටි යුදෙව්වන් ඉදිරියේ මහා වීරයන්), යහපත් රජ වූ යෙහෝෂාපාට් සහ ධර්මිෂ්ඨ යෝබ් යන අයවත් ඉවත් කර තිබෙනවා. එමෙන්ම සියලුම විනිශ්චයකරුවන් අතරින් එහි සඳහන් කරන්නේ සාමුවෙල් ගැන පමණක් බව සැලකිල්ලට ගන්න.d සම්මත නොවූ ග්‍රන්ථයක ඇති, අංග සම්පූර්ණයයි කිව නොහැකි ලැයිස්තුවක එවැනි පුරුෂයන්ව ඇතුළත් කර නැති පළියටම, ඒ සියලුදෙනාම ප්‍රබන්ධ කළ අයයයි කියමින් ඔවුන්ව ඉවතලිය යුතුද? එලෙස සිතීම පවා විකාරයක්.
දානියෙල්ට පක්ෂව ඇති පිටස්තර සාක්ෂි
25. (අ) දානියෙල් පොතේ අව්‍යාජභාවය ගැන ජොසීෆස් සාක්ෂි දෙන්නේ කෙසේද? (ආ) මහා ඇලෙක්සැන්ඩර් සහ දානියෙල් පොත පිළිබඳ ජොසීෆස්ගේ වාර්තාව පිළිගත් ඉතිහාසය හා අත්වැල් බැඳගන්නේ කිනම් ආකාරයෙන්ද? (දෙවන පාදසටහන බලන්න.) (ඇ) දානියෙල් පොතට පක්ෂව භාෂාව සාක්ෂි දෙන්නේ කෙසේද? (26වන පිටුව බලන්න.)
25 නැවතත්, ඒකාන්ත පැත්ත දෙස අවධානය යොමු කරමු. හෙබ්‍රෙව් ලියවිල්ලේ වෙන කිසිම පොතක් දානියෙල් පොත තරම් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැති බව කියැවෙනවා. මෙය මෙසේ නිදර්ශනය කරමු. එහි විශ්වාසවන්තභාවය ගැන ප්‍රවීණ යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් සාක්ෂි දෙනවා. පොදු යුගයට පෙර හතරවන සියවසේදී, පර්සියාවට එරෙහිව කළ යුද්ධය අතරතුරදී මහ ඇලෙක්සැන්ඩර් යෙරුසලමට පැමිණි බවත්, එහි සිටි පූජකයන් ඔහුට දානියෙල් පොතේ පිටපතක් පෙන්වූ බවත් ඔහු පවසනවා. දානියෙල්ගේ අනාවැකිය, ඔහුටත් පර්සියාවට එරෙහි ඔහුගේ යුධ ව්‍යාපාරයටත් යොමු දැක්වූ බව ඇලෙක්සැන්ඩර් තේරුම්ගත්තා.e විවේචකයන් දක්වන “හොර පිටපත් කිරීම” සිදුවීමට සියවස් එකහමාරකට පෙර මෙය සිදු වූවා විය යුතුයි. විවේචකයන් මේ කාරණය සම්බන්ධයෙන් ඇත්තෙන්ම ජොසීෆස්ට දොස් නැඟුවා. දානියෙල් පොතේ සමහර අනාවැකි ඉටුවීම ගෙනහැර දැක්වීම ගැනත් ඔවුන් ඔහුට දොස් නඟා තිබෙනවා. එහෙත්, ඉතිහාසඥ ජෝසෆ් ඩී. විල්සන් අදහස් දක්වන ආකාරයට, “මිහිපිට සිටින කිසිම විවේචකයෙකුට වඩා [ජොසීෆස්] කාරණා ගැන දැන සිටියා විය යුතුයි.”
26. දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය සඳහා මළ මුහුදේ ලියවිලි රුකුලක් වන්නේ කෙසේද?
26 ඊශ්‍රායෙලයේ, කුම්රාන්හි ගුහාවලින් මළ මුහුදේ ලියවිලි සොයාගැනීම, දානියෙල් පොතේ විශ්වාසවන්තභාවයට තවත් රුකුලක් වුණා. වර්ෂ 1952දී සොයාගත් ඒවා අතර, දානියෙල් පොතේ ලියවිලි සහ ඒවායේ කොටස් සෑහෙන ප්‍රමාණයක් තිබීම පුදුමයට හේතුවක්. පැරණිම පිටපත පො.යු.පෙ. දෙවන සියවසේ අග භාගය තරම් දුරකට දිවෙනවා. එමනිසා, එම කාලය වෙද්දිත්, දානියෙල් පොත ප්රකටව තිබූ අතර, මහත් ගෞරවයටද පාත්රව තිබුණා. සොන්ඩවන් පින්තූරමය බයිබල් විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ කියනවා: “මකබීය ආගමික නිකායකට අයත් යම් පුස්තකාලයක තිබෙන දානියෙල් පොතේ පිටපත් හා දානියෙල් පොත රචනා කළායයි කියන කාලය අතර ප්‍රමාණවත් කාල පරතරයක් නැති නිසා එය මකබීය යුගයට අයත් කෘතියක්යයි පැවසීම ඉවතලිය යුතුයි.”
27. දානියෙල් වනාහි බබිලෝනියේ වහල් සමය තුළ ප්රකටව සිටි, සැබෑ පුද්ගලයෙක්යයි කීමට ඇති ඉපැරණිතම සාක්ෂිය කුමක්ද?
27 කෙසේවෙතත්, දානියෙල් පොතට මීට වඩා පැරණි සහ වඩාත් විශ්වාසකටයුතු සාක්ෂි තිබෙනවා. එසකියෙල්, දානියෙල්ගේ සමකාලීනයෙක් විය. බබිලෝනියේ වහල් සමය තුළ ඔහුත් අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළා. එසකියෙල්ගේ පොතේ අවස්ථා කිහිපයකම දානියෙල්ව නමින් සඳහන් කරනවා. (එසකියෙල් 14:14, 20; 28:3) ඔහුගේ ජීවිත කාලය තුළදී, එනම් පො.යු.පෙ. හයවන සියවසේදී, ධර්මිෂ්ඨ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් හැටියට දානියෙල් ප්රකටව සිටි බවත්, දේවභයැති නෝවා සහ යෝබ් සමඟ ගණන් ගැනීමට තරම් වටිනා කෙනෙක් බවත් එම යොමු දැක්වීම් පෙන්වනවා.
ශ්‍රේෂ්ඨතම සාක්ෂිය
28, 29. (අ) දානියෙල් පොතේ විශ්වාසවන්තභාවයට ඇති සාක්ෂි අතුරින් වඩාත්ම ඒත්තුගන්වනසුලු සාක්ෂිය කුමක්ද? (ආ) යේසුස්ගේ සාක්ෂිය අප පිළිගත යුත්තේ මන්ද?
28 කෙසේවෙතත්, අවසාන වශයෙන්, දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය සම්බන්ධව ඇති සියලුම සාක්ෂි අතරින් ශ්‍රේෂ්ඨතම සාක්ෂිය සපයන්නේ, යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙක් නොවෙයි. අපි එය සලකා බලමු. අන්තිම දවස් සම්බන්ධ ඔහුගේ සාකච්ඡාවේදී, “අනාගතවක්තෘවූ දානියෙල්” සහ දානියෙල්ගේ අනාවැකියකට යේසුස් යොමු දක්වනවා.—මතෙව් 24:15; දානියෙල් 11:31; 12:11.
29 විවේචකයන්ගේ මකබීය වාදය නිවැරදි වුණා නම්, මින් දෙකෙන් එකක් සැබෑ විය යුතුව තිබුණා. එනම්, මේ හොර පිටපතෙන් යේසුස් රැවටුණා නැත්නම් යේසුස් කී බවට මතෙව් කී දෙය යේසුස් කිසිදා නොකීවා විය යුතුයි. අදහස් දෙකටම පදනමක් නැහැ. මතෙව්ගේ සුවිශේෂ වාර්තාව විශ්වාස කිරීමට අපට නොහැකි නම්, බයිබලයේ අනිත් කොටස් අප විශ්වාස කරන්නේ කෙසේද? අප එම කොටස් ඉවත් කරන්නේ නම්, ශුද්ධ ලියවිල්ලේ පිටුවලින් අප මීළඟට උදුරා දමන්න යන්නේ කිනම් වචනද? “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් . . . හික්මවීමටත් . . . ප්‍රයෝජනවත්ව තිබේ” කියා ප්‍රේරිත පාවුල් කිව්වා. (2 තිමෝති 3:16, ඇල අකුරු අපේය.) එමනිසා, දානියෙල් ප්‍රෝඩාකාරයෙක් වූවා නම්, පාවුල්ද ප්‍රෝඩාකාරයෙක් විය යුතුයි! යේසුස් රැවටෙන්න ඇද්ද? එසේ සිතීම දුෂ්කරයි. දානියෙල් පොත ලියන විට, ඔහු ස්වර්ගයේ ජීවමානව සිටියා. මේ ගැන යේසුස් කීවේ, “ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම [සිටියෙමි]” කියායි. (යොහන් 8:58) මෙතෙක් ජීවත් වූ සියලුම මිනිසුන් අතරින් දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය ගැන ඇසිය යුතු හොඳම පුද්ගලයා යේසුස් මිස වෙන කිසිවෙක් නොවෙයි. එහෙත්, ඔහුගෙන් අසන්න අපට අවශ්‍යතාවක් නැහැ. අප දුටු පරිදි, ඔහුගේ සාක්ෂිය ඉතාම පැහැදිලියි.
30. දානියෙල් පොත, යේසුස් විසින් තවදුරටත් විශ්වාසවන්ත යමක් බවට පත් කළේ කෙසේද?
30 දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේම තවදුරටත් තහවුරු වුණා. වර්ෂ සති 69 ගැන තිබෙන දානියෙල්ගේ අනාවැකියක් ඉටු කරමින් එහිදී ඔහු මෙසියස් බවට පත් වුණා. (දානියෙල් 9:25, 26; මේ පොතේ 11වන පරිච්ඡේදය බලන්න.) දානියෙල් පොත ලීවේ පසු කාලයේයයි කියන වාදය සැබෑ වූවා වුවත්, දානියෙල් පොතේ ලේඛකයා අවුරුදු 200කට කලින් නිවැරදිව ඉදිරි අනාගතය ගැන දැන සිටියා. ඇත්තෙන්ම, ව්‍යාජ නාමයක් යටතේ සැබෑ අනාවැකි පැවසීමට දෙවි හොර පිටපත්කරුවෙකුට ආනුභාවය දෙන්නේ නැහැ. සැබවින්ම, දෙවිට විශ්වාසවන්තව සිටින මනුෂ්‍යයන් විසින් යේසුස්ගේ සාක්ෂිය හෘද පූර්ණව පිළිගෙන තිබෙනවා. මිහිපිට සිටින සියලුම ප්‍රවීණයන් සහ සියලුම විවේචකයන් දානියෙල් පොත ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට එකා මෙන් නැඟී සිටියත්, ඔවුන් වැරදි බව, “විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ” යේසුස්ගේ සාක්ෂිය මගින් ඔප්පු කරනවා.—එළිදරව් 3:14.
31. බොහෝ බයිබල් විවේචකයන්, දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය තවමත් ඒත්තුගෙන නැත්තේ මන්ද?
31 බොහෝ බයිබල් විවේචකයන්ට නම් මෙතරම් සාක්ෂි තිබිලත් මදි. මේ විෂය කොතරම් හොඳින් හදාරා ඔවුන්ට ඒත්තුගැන්වීමට කොයිතරම් සාක්ෂි දුන්නත් ඇති වේදැයි කෙනෙක් කල්පනා කළ හැකියි. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ එක් මහාචාර්යවරයෙක් ලිව්වේ, “‘අධිමානුෂික අනාවැකි තිබිය නොහැක’ යන මුල් අගතිය පවතින තුරු, විරෝධයට පිළිතුරු දීමෙන් කිසිවක් අත් කරගත නොහැක” කියායි. ඇත්තෙන්ම, ඔවුන්ගේ අගතිය ඔවුන්ව අන්ධ කරනවා. එහෙත්, එය ඔවුන්ගේ තේරීමයි. පාඩුවත් ඔවුන්ටමයි.
32. දානියෙල් පොත පිළිබඳ අපේ අධ්‍යයනය මගින් අප අත් කරගන්න යන්නේ කුමක්ද?
32 එතකොට ඔබ? දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය පිළිබඳව සැක කිරීමට සැබෑ හේතුවක් ඔබට නැති බව පෙනේ නම්, හද දනවන ගවේෂණ චාරිකාවක් සඳහා ඔබ සූදානම්. දානියෙල් පොතේ වෘත්තාන්තමය කොටස හැඟීම් දනවන බවත්, අනාවැකිමය කොටස චිත්තාකර්ෂණීය බවත් ඔබ දකීවි. ඊටත් වඩා වැදගත් ලෙස, පරිච්ඡේදයක් පරිච්ඡේදයක් පාසා ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව වැඩෙන බව ඔබ සොයාගනීවි. දානියෙල්ගේ අනාවැකියට සමීප අවධානයක් දීම ගැන ඔබ කිසිදා කනගාටු නොවේවි!
[පාදසටහන්වල]
a සම්මත නොවන සමහර පැරණි ග්රන්ථ, ආරූඪ කරගත් නාමයන් යටතේ ලියැවුණාක් මෙන්, දානියෙල් පොතේ ලේඛකයාද ව්‍යාජ නාමයක් භාවිත කළායයි කියමින්, සමහර විවේචකයන් හොර පිටපතක් යන චෝදනාවේ බර අඩු කරන්න වෑයම් කරනවා. කෙසේවෙතත්, බයිබල් විවේචක ෆර්ඩිනාන්ට් හිට්සිහ් දැරූ මතය වූයේ මෙයයි: “දානියෙල් පොත ලියන්න වෙනත් කෙනෙකුට [ලේඛකයෙකුට] පැවරුවා නම් තත්වය වෙනස් වෙනවා. එවිට එය හොර පිටපතක් වන අතර, පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ලියුවත්, එහි අරමුණ වනු ඇත්තේ ඔවුන්ව මුළා කිරීමයි.”
b බබිලෝනිය වැටුණු අවස්ථාවේ නැබොනිඩස් එහි සිටියේ නැහැ. මේ අනුව, බේල්ෂශර් එම වකවානුවේ සිටි රජු හැටියට නිවැරදි ලෙස විස්තර කරනවා. ලෞකික වාර්තා බේල්ෂශර්ට රජෙකුගේ නිලය නොදෙන බවට විවේචකයන් කෙස් පළන තර්ක ඉදිරිපත් කරනවා. කෙසේවෙතත්, ඉපැරණි සාක්ෂි කියා සිටින්නේ, එවකට සිටි මිනිසුන් අධිපතීන්ට පවා රජ කියා ආමන්ත්‍රණය කරන්න ඇති බවයි.
c හෙබ්‍රෙව් විශාරද සී. එෆ්. කයිල් දානියෙල් 5:3 ගැන ලියන්නේ, “හැත්තෑදෙනා විසින් මෙතැන සහ 23වන පදයේ, මැසිඩෝනියානුවන්ගෙත්, ග්රීකයන්ගෙත්, රෝමවරුන්ගෙත් චාරිත්රයන්ට අනුව ස්ත්‍රීන් ගැන සඳහන් කිරීමෙන් වැළකී ඇත” කියායි.
d ඊට පටහැනි ලෙස, හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් පිළිබඳ ආනුභාවය ලත් පාවුල්ගේ ලැයිස්තුවෙන්, දානියෙල්ගේ වාර්තාවේ සිදුවීම් අඟවන බව පෙනෙනවා. (දානියෙල් 6:16-24; හෙබ්‍රෙව් 11:32, 33) කෙසේවෙතත්, ප්‍රේරිතයාගේ ලැයිස්තුවද සම්පූර්ණ එකක් නොවෙයි. යෙසායා, යෙරෙමියා සහ එසකියෙල් ඇතුළු බොහෝදෙනෙකුගේ නම් එහි ලැයිස්තුගත කර නැති වුණත්, ඔවුන් සිටියේ නැතැයි ඔප්පු කිරීම උගහටයි.
e පර්සියානුවන්ගේ දිගු කාලීන මිතුරන්ව සිටි යුදෙව්වන්ට ඇලෙක්සැන්ඩර් මෙතරම් කරුණාවක් දැක්වීමට හේතුව මෙය පැහැදිලි කරන බව සමහර ඉතිහාසඥයන් විස්තර කරනවා. ඇලෙක්සැන්ඩර් එවකට යෙදී සිටියේ, පර්සියානුවන්ගේ සියලුම මිතුරන්වද විනාශ කිරීමේ ව්‍යාපාරයකයි.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• දානියෙල් පොත චෝදනා ලබා ඇත්තේ කුමක් සම්බන්ධයෙන්ද?
• දානියෙල් පොතට එරෙහි විවේචකයන්ගේ ප්‍රහාරවලට හොඳ පදනමක් නැත්තේ මන්ද?
• දානියෙල්ගේ වාර්තාවේ විශ්වාසවන්තභාවයට රුකුල් දෙන්නේ කිනම් සාක්ෂිද?
• දානියෙල් පොතේ විශ්වාසවන්තභාවය පිළිබඳ වඩාත්ම ඒත්තුගන්වනසුලු සාක්ෂිය කුමක්ද?
[26වන පිටුවේ කොටුව]
භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්
දානියෙල් පොත ලියා අවසන් කළේ, පො.යු.පෙ. 536දීයි. එය ලියනු ලැබුවේ, හෙබ්‍රෙව් සහ ඇරමයික භාෂාවලින් වූ අතර, ග්‍රීක් සහ පර්සියානු වචන කිහිපයක්ද එහි තිබුණා. භාෂාවන්ගේ සම්මිශ්‍රණයක් යොදාගෙන තිබීම අසාමාන්‍ය දෙයක් වූවත්, මෙවැනි දෙයක් ශුද්ධ ලියවිලිවල තිබෙන එකම අවස්ථාව මෙය නොවෙයි. බයිබලයේ එස්රා පොතද ලියනු ලැබුවේ හෙබ්‍රෙව් සහ ඇරමයික භාෂාවලින්. එහෙත්, සමහර විවේචකයන් තරයේ කියා සිටින්නේ, දානියෙල් පොතේ ලේඛකයා මේ භාෂා භාවිත කර ඇති ආකාරයෙන්, ඔහු පො.යු.පෙ. 536න් පසු කාලයකදී එය ලියූ බව ඔප්පු වෙනවා කියායි. දානියෙල් පොතේ අඩංගු ග්‍රීක් වචන හේතුවෙන් එය පසු කාලයක සම්පාදනය කළා විය යුතුමයි කියා පැවසූ විවේචකයෙකුව නිතර නිතර උපුටා දක්වනවා. පොදු යුගයට පෙර දෙවන සියවස තරම් පසු කාලයක එය කළා යන අදහසට හෙබ්‍රෙව් භාෂාව රුකුල් දෙන බවත්, ඇරමයික භාෂාව අඩුම තරමින් ඊට ඉඩහරින බවත්, ඔහු තරයේ කියා සිටිනවා.
කෙසේවෙතත්, සියලුම භාෂා විශාරදයන් ඊට එකඟ වෙන්නේ නැහැ. දානියෙල් භාවිත කර ඇති හෙබ්‍රෙව් භාෂාව, එසකියෙල් සහ එස්රා භාවිත කර ඇති එකට සමාන බවත්, පසු කාලයක කළ උපදේශකයා වැනි ද්වීතීය සම්මත ග්රන්ථවලට වඩා එය වෙනස් බවත් සමහර අධිකාරීන් කියා සිටිනවා. දානියෙල් භාවිත කර ඇති ඇරමයික භාෂාව ගැන කතා කරන විට, මළ මුහුදේ ලියවිලි අතර වූ ලිපි දෙක සැලකිල්ලට ගන්න. ඒවාද ඇරමයික භාෂාවෙන් වන අතර, පො.යු.පෙ. පළමුවන සහ දෙවන සියවස්වලට අයත් වෙනවා. ඒ, දානියෙල් හොර පිටපත් කිරීම කළායයි කියන කාලයෙන් වැඩි ඈතක නොවෙයි. එහෙත්, මේ ලියවිලිවල භාවිත කළ ඇරමයික භාෂාව සහ දානියෙල් පොතෙන් සොයාගත් ඇරමයික භාෂාව අතර ප්‍රබල වෙනස්කම් ඇති බව විශාරදයන් සඳහන් කරනවා. මේ අනුව, සමහරුන් කියා සිටින්නේ, දානියෙල් පොතේ විවේචකයන් කියා සිටිනවාට වඩා එය සියවස් ගණනාවක් පැරණි බවයි.
දානියෙල් පොතේ “ගැටලුවට ඉවහල් වූ” ග්‍රීක් වචන ගැන කිව හැක්කේ කුමක්ද? මේවායින් සමහරක් පර්සියානු වචන බවත්, කොහෙත්ම ග්‍රීක් නොවන බවත් සොයාගෙන තිබෙනවා. ග්රීක්යයි තවම ගණන් ගැනෙන වචන කිහිපය වන්නේ, සංගීත භාණ්ඩ තුනක නම් පමණයි. මේ වචන තුන හේතුවෙන් එය පසු කාලයක කළා විය යුතුය කියා සැලකිය යුතුද? ඇත්තෙන්ම නැහැ. ග්‍රීසිය ලෝක බලය වීමට සියවස් ගණනාවකට පෙර සිට ග්‍රීක් සංස්කෘතියේ බලපෑම් පැවති බව පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. තවදුරටත්, දානියෙල් පොත, ග්‍රීක් සංස්කෘතිය සහ භාෂාව එතරම් පුළුල්ව පැතිර පැවති පො.යු.පෙ. දෙවන සියවසේදී සම්පාදනය කරනු ලැබුවා නම්, ග්‍රීක් වචන තුනක් පමණක් එහි අඩංගු වෙයිද? එසේ සිතීම උගහටයි. ඊට වඩා තිබිය යුතු බව නිසැකයි. එබැවින්, භාෂිත සාක්ෂි ඇත්තෙන්ම දානියෙල් පොතේ විශ්වාසවන්තභාවයට රුකුල් දෙනවා.
[12වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[20වන පිටුවේ පින්තූර]
(ඉහළ) තමාගේ ඉදි කිරීම් ව්‍යාපෘති ගැන නෙබුකද්නෙශර් දෙඩූ පුරසාරම මෙම ලියවිල්ලේ අඩංගු වේ
(පහළ) නැබොනිඩස්ගේ සහ ඔහුගේ පුත්‍ර බේල්ෂශර්ගේ නම් සඳහන් කළ බබිලෝනියේ දේවාලයක සිලින්ඩරය
[21වන පිටුවේ පින්තූරය]
නැබොනිඩස් පුරාවෘත්තියට අනුව, කෝරෙෂ්ගේ හමුදාව බබිලෝනියට ඇතුල් වුණේ සටන් නොකරයි
[22වන පිටුවේ පින්තූර]
(දකුණ) “නැබොනිඩස් පිළිබඳ සියලුම වාර්තා” සඳහන් කරන්නේ, නැබොනිඩස් තම කුලුඳුලාට පාලන තන්ත්රය භාර දුන්නා කියායි
(වම) නෙබුකද්නෙශර් විසින් යූදා දේශය වැටලීම පිළිබඳ බබිලෝනීය වාර්තාව