අටවන පරිච්ඡේදය
සිංහ කටෙන් ගැළවී!
1, 2. (අ) මේදිය දාරියුස් ඔහුගේ දසත පැතිරුණු අධිරාජ්‍යය සංවිධානය කළේ කෙසේද? (ආ) දිසාපතීන්ගේ රාජකාරිය සහ බලතල විස්තර කරන්න.
බබිලෝනිය වැටී තිබුණා! ලෝක බලයක් හැටියට සියවස් ගණනාවක් පුරා ඊට තිබූ තේජස පැය කිහිපයකින් අවසන් වුණා. මේදවරුන්ගේ සහ පර්සියානුවන්ගේ අලුත් යුගයක් ඇරඹෙමින් තිබුණා. බේල්ෂශර්ගේ සිංහාසනයේ අනුප්‍රාප්තිකයා හැටියට මේදිය දාරියුස් දසත පැතිරුණු තම අධිරාජ්‍යය සංවිධානය කිරීමේ භාරදූර අභියෝගයට දැන් මුහුණ දෙමින් සිටිනවා.
2 දාරියුස් මුලින්ම දියත් කළ දුෂ්කර කටයුතුවලින් එකක් වූයේ, දිසාපතීන් 120දෙනෙකුව පත් කිරීමයි. මේ වගකීම දැරූ අයව, සමහරවිට රජුගේ නෑදෑයන් අතරින්ම තෝරාගත් බව විශ්වාස කෙරෙනවා. කෙසේවෙතත්, මේ එක් එක් දිසාපතියා විශාල දිස්ත්‍රික්කයක් හෝ කුඩා උපකොට්ඨාසයක් බැගින් පාලනය කළා. (දානියෙල් 6:1) ඔහුගේ රාජකාරියට, බදු අය කිරීම සහ රජ වාසලට කප්පම් යැවීම අයත් වුණා. කලින් කලට රජුගේ සංචාරක නියෝජිතයන්ගේ පරීක්ෂණයට ලක් වුවද, දිසාපතීන්ට සැලකිය යුතු බලයක් තිබුණා. ඔහුගේ තනතුරේ අර්ථය වූයේ, “රාජ්‍යයේ රැකවලා” යන්නයි. පරම බලය ඇරෙන්න, අනිත් සියලුම බලය ඔවුන් සතු වූ අතර, දිසාපතියාව ඔහුගේ පළාතේ කප්පම් ගෙවන රජෙක් ලෙස සැලකුවා.
3, 4. දාරියුස් දානියෙල්ට අනුග්‍රහය දැක්වූයේ මන්ද? එමෙන්ම, රජු ඔහුව පත් කළේ කිනම් පදවියටද?
3 මෙම අලුත් විධිවිධානයේ දානියෙල්ට හිමි තැන මොකක්ද? මේදිය දාරියුස් දැන් අනූ ගණන්වල පසු වන මේ මහලු යුදෙව් අනාගතවක්තෘවරයාව විශ්‍රාම යවයිද? කොහෙත්ම නැහැ! බබිලෝනියේ ඇද වැටීම දානියෙල් නිවැරදිව පුරෝකථනය කර තිබූ බවත්, කල් තියා එවැනි දෙයක් කීමට විචාර බුද්ධියක් අවශ්‍ය බවත් දාරියුස් දැන සිටි බවට කිසිම සැකයක් නැහැ. ඊට අමතරව, බබිලෝනියේ විවිධාකාර වහල් ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමේ දශක ගණනාවක අද්දැකීම් දානියෙල්ට තිබුණා. අලුතෙන් ජයගත් තම යටත්වැසියන් සමඟ සාමකාමී සම්බන්ධයක් පවත්වාගෙන යෑමේ අටියෙනුයි දාරියුස් සිටියේ. එමනිසා, දානියෙල් හා සමාන ප්‍රඥාව සහ අද්දැකීම් ඇති කෙනෙක්ව ඔහු ළඟින් තබාගැනීමට නිසැකවම ඔහුට අවශ්‍ය වෙනවා. කිනම් ධුරයක් සඳහාද?
4 දාරියුස් යුදෙව් වහලා වන දානියෙල්ව දිසාපතියෙක් ලෙස පත් කළොත් එය පුදුමයක් වේවි. එහෙත්, දාරියුස් දිසාපතීන්ව අධීක්ෂණය කිරීමට සිටින අමාත්‍යවරුන් තිදෙනාගෙන් එක්කෙනෙක් බවට දානියෙල්ව පත් කිරීමට ගත් තීරණය නිවේදනය කළ විට ඇති වූ කෝලහාලය ගැන සිතා බලන්න! එපමණක් නොවෙයි, දානියෙල් ඔහුගේ සෙසු අමාත්‍යවරුන්ට වඩා ‘කැපීපෙනුණා.’ ඇත්තෙන්ම, “උතුම් ආත්මයක්” ඔහු තුළ තිබුණා. ඔහුට අග්‍රාමාත්‍ය පදවිය දීමට පවා දාරියුස් කල්පනා කරමින් සිටියා.—දානියෙල් 6:2, 3.
5. දානියෙල්ගේ පත්වීම ගැන අනිත් අමාත්‍යවරුන් සහ දිසාපතීන් ප්‍රතික්‍රියා කරන්න ඇත්තේ කෙසේද? එමෙන්ම, ඒ ඇයි?
5 අනිත් අමාත්‍යවරුන් සහ දිසාපතීන් කෝපයෙන් පුපුරමින් සිටින්න ඇති. මොකද, මේදියයෙක්වත්, පර්සියානුවෙක්වත්, රාජකීය පවුලේ සාමාජිකයෙක්වත් නොවන දානියෙල් තමන්ට වඩා උසස් තනතුරක සිටිනවා දැකීම ගැන හිතන එක දරාගන්න බැරි දෙයක් වුණා! තමන්ගේ රටවැසියන් පැත්තක සිටිද්දී, ඊටත් වඩා තමාගේ පවුලේ අය සිටිද්දී, දාරියුස් විසින් විදේශිකයෙකුට එවැනි තානාන්තරයක් දිය හැක්කේ කොහොමද? එවැනි දෙයක් කිරීම සාධාරණ නැහැ වගේ පෙනෙන්න තිබුණා. ඊටත් වඩා, දානියෙල්ගේ අඛණ්ඩතාව, දිසාපතීන්ගේ අල්ලස් දූෂණවලට භාධාවක් වන බව ඇතැම්විට ඔවුන් සිතන්න ඇති. එහෙත්, අමාත්යවරුන්ටවත්, දිසාපතීන්ටවත් කාරණය ගැන දාරියුස් සමඟ කතා කරන්න තරම් ධෛර්යයක් තිබුණේ නැහැ. මන්ද, දාරියුස් දානියෙල්ව ඉතා ඉහළින් සැලකූ නිසායි.
6. අමාත්‍යවරුන් සහ දිසාපතීන් දානියෙල්ව අපකීර්තියට ලක් කරන්න උත්සාහ කළේ කෙසේද? එමෙන්ම, මේ වෑයම ව්‍යර්ථ වූයේ මන්ද?
6 ඉතින් මේ කුඩුකේඩු දේශපාලනඥයන් තම තමන් අතරේ කුමන්ත්‍රණය කරගත්තා. “රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට” ඔවුන් උත්සාහ කළා. දානියෙල් ඔහුගේ වගකීම් ඉටු කළ ආකාරය ගැන ඔවුන්ට මොනයම් හෝ අඩුවක් සොයාගන්න හැකි වුණාද? ඔහු වංක කෙනෙක්ව සිටියාද? දානියෙල් තම රාජකාරි ඉටු කළ ආකාරය ගැන කිසිම ආකාරයක නොසැලකිලිමත්කමක් හෝ දූෂණයක් අමාත්යවරුන්ටවත්, දිසාපතීන්ටවත් සොයාගන්න ලැබුණේ නැහැ. “[දෙවිගේ] ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේය” කියා ඔවුන් කියා සිටියා. මේ හේතුවෙන් මේ කෛරාටික මිනිසුන් කුමන්ත්‍රණයක් දියත් කර, දානියෙල්ගෙන් සදහටම නිදහස් වෙන්න සිතුවා.—දානියෙල් 6:4, 5.
මිනීමරු කුමන්ත්‍රණයක් දියත් කෙරේ
7. අමාත්‍යවරුන් සහ දිසාපතීන් රජුට ඉදිරිපත් කළ යෝජනාව කුමක්ද? ඔවුන් එය කළේ කිනම් ආකාරයෙන්ද?
7 අමාත්‍යවරුන් සහ දිසාපතීන් පිරිවරක් දාරියුස් වෙතට “එකවිට, [NW]” රැස් වුණා. මීට අදාළ ඇරමයික කියමන මහත් ඝෝෂාවක් ඇති කළ කෝලහාලයක අර්ථය ගන්නවා. පෙනෙන විදිහට, දාරියුස් රජුගේ අවධානයට යොමු විය යුතු ඉතා හදිසි කාරණයක් තිබෙන බව මේ මිනිසුන් පෙනෙන්න සැලැස්වූවා. ඔවුන්ගේ යෝජනාව, හදිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු එකක් සේ ඒත්තුගන්වන ආකාරයෙන් ඉදිරිපත් කළොත්, රජු වැඩියෙන් ප්‍රශ්න කරන එකක් නැතැයි ඔවුන් කල්පනා කරන්න ඇති. එමනිසා, ඔවුන් කෙළින්ම කාරණයට බැස්සා. ඔවුන් මෙසේ කිව්වා: “රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය.”a—දානියෙල් 6:6, 7.
8. (අ) යෝජිත නියෝගය සිත්ගන්නක් ලෙස දාරියුස් දකිනු ඇත්තේ මන්ද? (ආ) අමාත්‍යවරුන්ගේ සහ දිසාපතීන්ගේ සැබෑ චේතනාව වූයේ කුමක්ද?
8 මෙසපොතේමියාවේ රජුන්ව දේවත්වයෙන් සැලකිය යුතුවීම සාමාන්‍ය දෙයක්ව පැවති බව ඓතිහාසික වාර්තාවලින් සහතික කරනවා. ඉතින්, දාරියුස් මේ යෝජනාවට රැවටුණු බවට කිසිම සැකයක් නැහැ. එහි ප්‍රායෝගික පැත්තකුත් සමහරවිට ඔහු දකින්න ඇති. බබිලෝනියේ සිටින අයට දාරියුස් විදේශිකයෙක් මෙන්ම අලුත් මුහුණක් බව මතක තියාගන්න. මෙම අලුත් නීතිය ඔහුගේ රජකම ස්ථිර කිරීමක් පමණක් නොව, අලුත් ආධිපත්‍යයට බබිලෝනියේ ජනතාවගේ අඛණ්ඩතාව සහ සහයෝගය පෙන්වීමට එය දිරිගැන්වීමක්ද වෙනවා. කෙසේවෙතත්, මෙම අලුත් නියෝගය යෝජනා කරද්දී, අමාත්‍යවරුන් සහ දිසාපතීන් රජුගේ ශුභසිද්ධිය ගැන කොහෙත්ම සැලකිලිමත් වූයේ නැහැ. ඔවුන්ගේ සැබෑ චේතනාව වූයේ දානියෙල්ව කොටු කරගැනීමයි. මන්ද, දානියෙල් උඩුමහල් කාමරයේ විවෘත කර තිබෙන කවුළුවලට මුහුණලා පුරුද්දක් ලෙස දවසට තුන් වරක් දෙවිට යාච්ඤා කරන බව ඔවුන් දැන සිටියා.
9. යුදෙව් නොවන බොහෝදෙනෙකුට අලුත් නියෝගය ගැටලුවක් ඇති නොකරනු ඇත්තේ මන්ද?
9 යාච්ඤා කිරීමේ මෙම තහනම බබිලෝනියේ පැවති වෙනත් සියලුම ආගමික ප්‍රජාවන්ට ගැටලුවක් මතු කළාද? අනිවාර්යයෙන්ම නැහැ. එයට හේතුව, විශේෂයෙන්ම එම තහනම මාසයක කාලයක් සඳහා පමණක් තිබීමයි. තවදුරටත්, කලකට පමණක් මනුෂ්‍යයෙකුට නමස්කාර කිරීම ද්‍රෝහිවීමක් කියා සිතුවේ යුදෙව් නොවන සුළුතරයක් පමණයි. එක් බයිබල් විශාරදයෙක් මෙසේ සඳහන් කරනවා: “රජුට නමස්කාර කිරීම රූපවන්දනා කරන ජාතීන්ට අමුතු යමක් වුණේ නැහැ. ඉතින්, දෙවිකෙනෙකුට දිය යුතු නමස්කාරය මේදිය දාරියුස් රජුට දෙන්න කියා බබිලෝනිවරුන්ගෙන් ඉල්ලා සිටිද්දී, එම අණට ඔවුන් අවනත වුණා. එවන් අණකට අකමැති වූයේ යුදෙව්වා පමණයි.”
10. තම රජු විසින් පැනවූ නියෝගයක් මේදියවරුන් සහ පර්සියානුවන් සැලකුවේ කෙසේද?
10 කෙසේවෙතත්, “වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිරකොට පත්‍රය අත්සන්” කරන ලෙස දාරියුස් වෙතට පැමිණි අය උදක්ම ඉල්ලා සිටියා. (දානියෙල් 6:8) පුරාණ ප්රාචීනයේ, රජුගේ කැමැත්ත බොහෝවිට අන්තිම තීරණය ලෙස සලකනු ලැබුවා. රජු නොවරදින කෙනෙක්ය යන මතය මෙලෙස දිගින් දිගටම පැවතුණා. අහිංසක කෙනෙකුගේ මරණයට හේතුවන නීතියක් වුවත් වෙනස් නොවී එලෙසම පැවතුණා!
11. දාරියුස්ගේ නියෝගය දානියෙල්ට බලපානු ඇත්තේ කෙසේද?
11 දානියෙල් ගැන නොසිතා, දාරියුස් නියෝගයට අත්සන් තැබුවා. (දානියෙල් 6:9) එසේ කිරීම මගින්, නොදැනුවත්වම ඔහු ඔහුගේ වටිනාම අධිපතියාගේ මරණ වරෙන්තුව පිට අත්සන් තැබුවා. ඔව්, මේ නියෝගය දානියෙල්ට බලපාන බව නිසැකයි.
අහිතකර තීන්දුවක් දීමට දාරියුස්ට බල කරයි
12. (අ) අලුත් නියෝගය ගැන දැනගත් වහාම දානියෙල් කළේ කුමක්ද? (ආ) දානියෙල් දෙස බලා සිටියේ කවුද? එමෙන්ම, ඒ කුමක් සඳහාද?
12 යාච්ඤාවට හරස් වූ නීතිය ගැන දානියෙල් ඉක්මනින්ම දැනගත්තා. ඔහු වහාම තම ගෙට ඇතුල් වී, යෙරුසලම දෙසට කවුළු ඇර තිබුණු තම උඩුමහලට ගියා.b එහිදී දානියෙල් “ඊට පළමු [නිරතුරුවම, NW] කළාක්මෙන්” දෙවිට යාච්ඤා කරන්න පටන්ගත්තා. තමා තනියමය කියා දානියෙල් සිතන්න ඇතත්, කුමන්ත්රණකරුවන් බලාගෙන සිටියා. හදිසියේම, ඔවුන් “ඇතුළට [කඩා වැදුණා].” ඔවුන් දාරියුස් වෙත පැමිණි කලබලකාරි ආකාරයටම මෙහිදීත් ඇතුල් වූ බවට කිසිම සැකයක් නැහැ. දානියෙල් තම “[දෙවි] ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා” දැන් ඔවුන් ඔවුන්ගේම ඇස්වලින් දුටුවා. (දානියෙල් 6:10, 11) රජු ඉදිරියේ දානියෙල්ට දොස් නඟන්න අවශ්‍ය සියලුම සාක්ෂි අමාත්‍යවරුන්ටත් දිසාපතීන්ටත් තිබුණා.
13. දානියෙල්ගේ සතුරන් රජුට වාර්තා කළේ කුමක්ද?
13 දානියෙල්ගේ සතුරන් ප්‍රයෝගකාර ලෙස දාරියුස්ගෙන් මෙසේ ඇසුවා: “රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා [නොවේද?]” දාරියුස් මෙසේ උත්තර දුන්නා: “වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑය.” එවිට කුමන්ත්රණකරුවන් වහාම කාරණයට බැස්සා. “රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේය” කියා ඔවුන් කිව්වා.—දානියෙල් 6:12, 13.
14. අමාත්‍යවරුන් සහ දිසාපතීන් පෙනෙන විදිහට, “යූදාරටෙන් අල්ලාගන ආ [තැනැත්තෙක්]” ලෙස දානියෙල්ට යොමු දැක්වූයේ මන්ද?
14 “යූදාරටෙන් අල්ලාගන ආ [තැනැත්තෙක්]” කියා අමාත්‍යවරුන් සහ දිසාපතීන් විස්තර කිරීම කැපීපෙනෙන්නක්. පෙනෙන විදිහට, ඔවුන්ට කාවද්දන්න ඕනෑ වුණේ, දාරියුස් මෙතරම් උසස් පදවියකට ඔසවා තිබෙන දානියෙල්, නිකම්ම යුදෙව් වහලෙක් කියන එකයි. රජු කොතරම් ඔහු ගැන කරුණාවෙන් සැලකුවත්, අණට පිටින් යන්න දානියෙල්ට බැරි බව ඔවුන් විශ්වාස කළා.
15. (අ) අමාත්‍යවරුන් සහ දිසාපතීන් ගෙනා පුවත සම්බන්ධයෙන් දාරියුස් ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) අමාත්‍යවරුන් සහ දිසාපතීන් දානියෙල් කෙරෙහි වූ තමන්ගේ පිළිකුල තවදුරටත් පෙන්වූයේ කෙසේද?
15 තම කපටි රහස් පරීක්ෂණයට රජු විපාක දෙයි කියා අමාත්‍යවරුන් සහ දිසාපතීන් සමහරවිට බලාපොරොත්තු වෙන්න ඇති. එසේ වුණා නම්, ඔවුන්ව මවිතයට පත් කරවන යමක් ඉදිරියේ තිබුණා. ඔවුන් ගෙනා පුවතෙන් දාරියුස් හොඳටම කලකිරීමට පත් වුණා. දානියෙල් ගැන කෝපයට පත් වෙනවා හෝ ඉක්මනින්ම ඔහුව සිංහ ගුහාවට දමනවා වෙනුවට, දානියෙල්ව ගළවාගැනීමට දාරියුස් මුළු දවසම ගත කළා. එහෙත්, ඔහුගේ උත්සාහයන් සියල්ලක්ම නිෂ්ඵල වුණා. වැඩි වේලාවක් යන්න මත්තෙන් කුමන්ත්රණකරුවන් නැවත පැමිණියා. ඔවුන් ඔවුන්ගේ ලජ්ජා භයක් නැති ආකල්පය ප්‍රකාශ කරමින්, දානියෙල්ව මරන ලෙස උදක්ම ඉල්ලා සිටියා.—දානියෙල් 6:14, 15.
16. (අ) දාරියුස් දානියෙල්ගේ දෙවිට ගෞරව කළේ මන්ද? (ආ) දානියෙල් සම්බන්ධයෙන් දාරියුස්ට තිබුණේ කිනම් බලාපොරොත්තුවක්ද?
16 මේ කාරණය සම්බන්ධයෙන් තමාට තවත් විකල්පයක් නැති බව දාරියුස්ට වැටහුණා. පනත වෙනස් කරන්නවත්, දානියෙල්ගේ “අපරාධය” කමා කරන්නවත් බැහැ. දාරියුස්ට කිව හැකි වූයේ, ‘නුඹ නොකඩවාම සේවය කරන නුඹේ දෙවි නුඹ ගළවන්නේය’ කියායි. දාරියුස් දානියෙල්ගේ දෙවිට ගරු කළ බව පෙනෙන්න තිබෙනවා. බබිලෝනියේ වැටීම පුරෝකථනය කිරීමට දානියෙල්ට හැකියාව දුන්නේ යෙහෝවායි. අනිත් අමාත්‍යවරුන්ට වඩා ඉහළින් දානියෙල්ව කැපීපෙනීම සඳහා ඔහුට “උතුම් ආත්මයක්” දුන්නෙත් දෙවියි. දශක ගණනාවකට ප්‍රථම තරුණ හෙබ්‍රෙව්වන් තිදෙනාව ගිනි උදුනෙන් ගළවාගත්තෙත් මේ දෙවිම බව දාරියුස් දැන සිටින්න ඇති. පෙනෙන විදිහට, තමා අත්සන් කළ පනතට විරුද්ධව කටයුතු කරන්න තමන්ට නොහැකි නිසා, දෙවි මෙවර දානියෙල්ව ගළවාගනියි කියා රජු බලාපොරොත්තුවෙන් සිටියා. මෙසේ සිතමින් දානියෙල්ව සිංහ ගුහාවට හෙළුවා.c ඊළඟට, “ගලක් ගෙනැවිත් ගුහාවේ කටේ තබනලද්දේය; දානියෙල් ගැන නියමය වෙනස්නොවන පිණිස රජ තමාගේ මුද්‍රයෙන්ද තමාගේ උත්තමයන්ගේ මුද්‍රයෙන්ද ඒක මුද්‍රකෙළේය.”—දානියෙල් 6:16, 17.
සිද්ධීන් කණපිට පෙරළීමක්
17, 18. (අ) දානියෙල් වැටී සිටි තත්වය ගැන දාරියුස් කාංසාවට පත් වූ බව පෙන්වන්නේ කුමක්ද? (ආ) ඊළඟ උදෑසන, රජු සිංහ ගුහාව වෙත නැවත ගිය විට සිදු වූයේ කුමක්ද?
17 අධෛර්යයට පත් රජු මාළිගාවට හැරී එයි. ඔහු ප්‍රීතිමත් ස්වරූපයකින් නොසිටි නිසා කිසිම වාදකයෙකුව ඔහු ඉදිරියට ගෙනාවේ නැහැ. ඒ වෙනුවට, දාරියුස් මුළු රාත්‍රියම නිරාහාරව ගත කළා. ‘ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගොස්’ තිබුණා. හිමිදිරියේම, දාරියුස් සිංහ ගුහාව වෙත දිව ගියා. ඔහු ශෝකාකූල හඬකින් මෙසේ කෑ ගැසුවා: “ජීවමාන [දෙවිගේ] මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ [දෙවිට] සිංහයන්ගෙන් නුඹ ගළවන්ට [පුළුවන් වීද?]” (දානියෙල් 6:18-20) ඔහුගේ පුදුමයටත් සහනයටත් හේතු වෙමින්, ඊට පිළිතුරක් ආවා!
18 “රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා.” එම ගෞරවනීය ආමන්ත්‍රණයෙන් රජු කෙරෙහි ද්වේෂසහගත හැඟීම් සිතේ තබාගෙන නොසිටි බව දානියෙල් පෙන්නුවා. ඔහුගේ පීඩාවේ නියම උල්පත දාරියුස් නොවූ බවත්, ඒ, කුඩුකේඩු අමාත්‍යවරුන් සහ දිසාපතීන් බවත් දානියෙල් දැනගෙන සිටියා. (සසඳන්න මතෙව් 5:44; ක්‍රියා 7:60.) දානියෙල් තවදුරටත් මෙසේ කිව්වා: “මාගේ [දෙවි] තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් [පියෙව්වේය]. මක්නිසාද [ඔහු] ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමි.”—දානියෙල් 6:21, 22.
19. අමාත්‍යවරුන් සහ දිසාපතීන් දාරියුස්ව රවටා ඔහුව කොටු කරගෙන තිබුණේ කෙසේද?
19 මේ වචන දාරියුස්ගේ හෘදය සාක්ෂියට මොනතරම් වේදනාවක් ගෙනෙන්න ඇද්ද! සිංහ ගුහාවට දැමීමට දානියෙල් කිසි වරදක් කර සිටියේ නැති බව දාරියුස් මුල සිටම දැන සිටියා. දානියෙල්ව මැරීම සඳහා අමාත්‍යවරුන් සහ දිසාපතීන් කුමන්ත්‍රණය කළ බවත්, ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් මුදුන් පත් කරගැනීමට ඔවුන් රජුව කොටු කරගත් බවත් දාරියුස් හොඳින් වටහාගත්තා. “රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද” මන්ත්‍රණය කරගත්තා කීමෙන්, එම කාරණයට දානියෙල්වද සම්බන්ධ කරගත්තා යන්න ඔවුන් ඇඟෙව්වා. (ඇල අකුරු අපේය.) දාරියුස් මේ කෛරාටික මිනිසුන් ගැන පසුව බලාගනීවි! කෙසේවෙතත්, මුලින්ම දානියෙල්ව සිංහ ගුහාවෙන් ගොඩගන්න ඔහු අණ කළා. ආශ්චර්යවත් ලෙස දානියෙල්ට අඩුම තරමින් සීරීමක්වත් තිබුණේ නැහැ!—දානියෙල් 6:23.
20. දානියෙල්ගේ ද්වේෂසහගත සතුරන්ට කුමක් සිදු වීද?
20 දානියෙල් දැන් සුරක්ෂිතයි. දාරියුස්ට කරන්න තවත් වැඩක් තිබෙනවා. “දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.”d—දානියෙල් 6:24.
21. වැරදිකරුවන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, මෝසෙස්ගේ ව්‍යවස්ථාව සහ සමහර පැරණි සංස්කෘති අතර කිනම් වෙනසක් පැවතියාද?
21 කුමන්ත්රණකරුවන් පමණක් නොව, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන්වත් මරණයට පත් කිරීම මහත් අසාධාරණයක් බව පෙනෙන්න තිබෙනවා. ඊට වෙනස්ව, දෙවි අනාගතවක්තෘ මෝසෙස් තුළින් දුන් ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් කරනවා: “දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.” (ද්විතීය කථාව 24:16) කෙසේවෙතත්, සමහර ඉපැරණි සංස්කෘතීන්හි, බරපතළ අපරාධවල වරදකරුවන් බවට පත්වූවන් සමඟ පවුලේ සාමාජිකයන්වද මරණයට පත් කිරීම අසාමාන්‍ය දෙයක් වූයේ නැහැ. සමහරවිට, මෙසේ කරන ලද්දේ පසු කලකදී පවුලේ සාමාජිකයන් විසින් පළිගැනීම වැළැක්වීමටයි. කෙසේවෙතත්, අමාත්‍යවරුන් සහ දිසාපතීන්ගේ පවුල්වලට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගය නිසැකවම දානියෙල් විසින් කළ දෙයක් නෙවෙයි. මේ දුෂ්ට මිනිසුන් ඔවුන්ගේ පවුල් මත ගෙනා විපත්තිය ගැන, සමහරවිට, ඔහු ශෝක වන්න ඇති.
22. දාරියුස් නිකුත් කළේ කිනම් අලුත් නියෝගයක්ද?
22 කුමන්ත්‍රණකාරි අමාත්‍යවරුන් සහ දිසාපතීන් තවත් නැහැ. දාරියුස් මෙසේ සඳහන් වී ඇති නියෝගයක් නිකුත් කළා: ‘මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑම තැනකම සිටින මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවි ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණ කරමි. මක්නිසාද ඔහු ජීවමාන වූ සදාකාලයටම සිටින්නාවූ දෙවිය, ඔහුගේ රාජ්‍යය නැති නොවී, ඔහුගේ ආණ්ඩුව කෙළවර දක්වා පවතින්නේය. ඔහු ගළවා නිදහස් කරන්නේය, අහසෙහිද පොළොවෙහිද ලකුණු සහ ආශ්චර්යයන් කරන්නේය; ඔහු සිංහයන්ගේ බලයෙන් දානියෙල් ගැළෙව්වේය.’—දානියෙල් 6:25-27.
නොකඩවා දෙවිට සේවය කරන්න
23. දානියෙල් තම ලෞකික රාජකාරි පිළිබඳව තැබූ ආදර්ශය කුමක්ද? එමෙන්ම, ඔහු හා සමාන වීමට අපට හැක්කේ කෙසේද?
23 නවීන දින දෙවිගේ සේවකයන් සියලුදෙනාටම දානියෙල් කදිම ආදර්ශයක් සපයනවා. ඔහුගේ හැසිරීම සැමවිටම නිකැළැල්ව තිබුණා. ඔහුගේ ලෞකික රාජකාරි සම්බන්ධයෙන් දානියෙල් “විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය.” (දානියෙල් 6:4) ඒ හා සමානව, ක්‍රිස්තියානීන්ද තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් කඩිසර විය යුතුයි. ඉක්මනින් ද්‍රව්‍යමය ධනය ලබාගැනීමේ අටියෙන් ව්‍යාපාරික ක්ෂේත්රයේ බෙලි කපන්නෙක් වීම හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ හිණිපෙත්තටම නැඟීමේ අභිප්‍රායෙන් අනිත් අයව පාගා දැමීම මින් අදහස් කරන්නේ නැහැ. (1 තිමෝති 6:10) ක්‍රිස්තියානිවරයෙක් තම ලෞකික වගකීම් අවංකව සහ ප්‍රාණ-පූර්ණ ආකාරයකින් “යෙහෝවාට මෙන්” ඉටු කිරීම ශුද්ධ ලියවිලිමය වගකීමක්.—කොලොස්සි 3:22, 24, NW; තීතස් 2:7, 8; හෙබ්‍රෙව් 13:18.
24. තමා නමස්කාරය පාවා නොදෙන්නෙක් බව දානියෙල් ඔප්පු කළේ කෙසේද?
24 දානියෙල් තම නමස්කාරය පාවා දුන්නේ නැහැ. යාච්ඤා කිරීමේ ඔහුගේ පුරුද්ද සියල්ලන්ම දැන සිටියා. තවදුරටත්, දානියෙල් තම නමස්කාරය බරපතළ ආකාරයෙන් සැලකූ බව අමාත්‍යවරුන් සහ දිසාපතීන් දැන සිටියා. ඊට තහංචි පනවන අණක් පැමිණියත් ඔහු නමස්කාරයට ඇලී සිටින බව ඔවුන් ඒත්තුගෙන තිබුණා. අදදින ක්‍රිස්තියානීන් සඳහා මොනතරම් මහඟු ආදර්ශයක්ද! දෙවිගේ නමස්කාරය මුල් තැනට තැබීම සම්බන්ධයෙන් ඔවුන්ටද කීර්ති නාමයක් තිබෙනවා. (මතෙව් 6:33) නිරීක්ෂකයන්ට මෙය හොඳ හැටි පෙනෙනවා. යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ ආඥා කළා: “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙව් 5:16.
25, 26. (අ) දානියෙල්ගේ ක්‍රියාමාර්ගය ගැන සමහරුන් පැමිණෙන නිගමනය කුමක්ද? (ආ) තම දින චර්යාවෙහි කරන ඕනෑම වෙනසක් ප්‍රතිපත්ති පාවා දීමක් ලෙස දානියෙල් සැලකුවේ මන්ද?
25 දවස් තිහේ කාලපරිච්ඡේදය තුළ දානියෙල් රහසිගතව යෙහෝවාට යාච්ඤා කළා නම්, පීඩාව වළක්වාගන්න තිබුණා කියා සමහරුන් කියන්න ඉඩ තිබෙනවා. යාච්ඤා කරන්න විශේෂ ඉරියව්වක් අවශ්‍ය නැහැ. හෘදයෙන් මෙනෙහි කරන දේවල් පවා වටහාගන්න යෙහෝවාට පුළුවන්. (ගීතාවලිය 19:14) කෙසේවෙතත්, තම දින චර්යාවෙහි කරන ඕනෑම වෙනසක් ප්‍රතිපත්ති පාවා දීමක් ලෙස දානියෙල් සැලකුවා. ඒ ඇයි?
26 යාච්ඤා කිරීමේ දානියෙල්ගේ පුරුද්ද, සියල්ලන් අතරේ ප්‍රසිද්ධව තිබූ නිසා, අතරමඟ නතර කළා නම් එය කිනම් පණිවිඩයක් දීමට ඉඩ තිබුණාද? දානියෙල් මිනිසුන්ට භයයි, එමෙන්ම, යෙහෝවාගේ ව්‍යවස්ථාව රජුගේ අණ මගින් යටපත් වුණ බව බලා සිටින්නන් තීරණය කරන්න ඉඩ තිබුණා. (ගීතාවලිය 118:6) තම තනි භක්තිය යෙහෝවාට පුදන බව දානියෙල් තම ක්‍රියාවලින් පෙන්නුවා. (ද්විතීය කථාව 6:14, 15; යෙසායා 42:8) ඇත්තෙන්ම, එසේ කිරීමෙන් දානියෙල් රජුගේ ආඥාව අගෞරවනීයව උල්ලංගනය කළේ නැහැ. එමෙන්ම, භය නිසා තම ප්‍රතිපත්ති පාවා දුන්නෙත් නැහැ. ඒ වෙනුවට, රජුගේ නියෝගය නිකුත් වීමට පෙර, ‘ඔහු [නිරතුරුවම, NW] කළාක් මෙන්’ තමාගේ උඩුමහලට ගොස් නොකඩවාම යාච්ඤා කළා.
27. අදදින දෙවිගේ සේවකයන්ට, (අ) බලය ලත් මුලාදෑනීන්ට යටත් වීමේදී, (ආ) මනුෂ්‍යයන්ට වඩා පාලකයා වශයෙන් දෙවිට යටත් වීමේදී, (ඇ) සියලුදෙනා සමඟ සාමයෙන් විසීමට වෑයම් කිරීමේදී, දානියෙල් මෙන් විය හැක්කේ කෙසේද?
27 අදදින සිටින දෙවිගේ සේවකයන්ට දානියෙල්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් “බලයලත් මුලාදෑනීන්ට [යටත්ව]” සිටිමින්, ඔවුන් ජීවත් වන රටේ නීති රීතිවලට දිගින් දිගටම කීකරු වෙනවා. (රෝම 13:1) කෙසේවෙතත්, මිනිසාගේ නීති දෙවිගේ නීති සමඟ ගැටෙද්දී, ඔවුන් යේසුස්ගේ ප්‍රේරිතයන් ගත් ස්ථාවරය ගන්නවා. ප්‍රේරිතයන් නිර්භීතව මෙසේ කිව්වා: “[පාලකයා හැටියට, NW] මනුෂ්‍යයන්ට වඩා [දෙවිට] අප විසින් කීකරු විය යුතුය.” (ක්‍රියා 5:29) එසේ කිරීමේදී, ක්‍රිස්තියානීන් කැරලි කෝලහාලවලට අනුබල දෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන්ගේ ඉලක්කය වන්නේ, “සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගතකරන පිණිස,” සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් ජීවත් වීමයි.—1 තිමෝති 2:1, 2; රෝම 12:18.
28. දානියෙල් යෙහෝවාට “නොකඩවම” සේවය කළේ කෙසේද?
28 දානියෙල් දෙවිට “නොකඩවම” සේවය කරන බව අවස්ථා දෙකකදී දාරියුස් සඳහන් කළා. (දානියෙල් 6:16, 20) “නොකඩවම” ලෙස පරිවර්තනය කර ඇති වචනයේ ඇරමයික මූලයෙන් අදහස් කරන්නේ, “වෘත්තයක් තුළ ගමන් කිරීමයි.” අඛණ්ඩ චක්‍රයක් හෝ නිත්‍ය යමක් එමගින් අදහස් කරනවා. දානියෙල්ගේ අඛණ්ඩතාවත් ඒ වගෙයි. ඒ තුළ රඳා පැවතිය හැකි රටාවක් තිබුණා. ලොකු වුණත් පොඩි වුණත්, පරීක්ෂා හමුවේ දානියෙල් කරන්න යන දේ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. දශක ගණනාවකට ඉහත තමා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඔහු දිගටම ක්‍රියාත්මක කරනවා. එනම්, යෙහෝවාට පක්ෂපාත සහ ඇදහිලිවන්ත ජීවිත ක්‍රමයක් ගත කිරීමයි.
29. දානියෙල්ගේ ඇදහිලිවන්ත ක්‍රියාමාර්ගය මගින් අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?
29 නවීන දින දෙවිගේ සේවකයන් දානියෙල්ගේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ආශාවෙන් සිටිනවා. ඇත්තෙන්ම, පුරාණයේ විසූ දේව-භයැති මිනිසුන්ගේ ආදර්ශ සලකා බලන්න කියා ප්‍රේරිත පාවුල් සියලුම ක්‍රිස්තියානීන්ට අනුශාසනා කළා. ඔවුන් ඇදහිල්ලෙන් “ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය.” එමෙන්ම, “සිංහයන්ගේ මුඛ [පියෙව්වා]” යන්න දානියෙල්ට කළ යොමු දැක්වීමක් විය හැකියි. දෙවිගේ වර්තමාන සේවකයන් හැටියට, අපද දානියෙල්ගේ බඳු ඇදහිල්ලක් සහ නිත්‍යභාවයක් විදහාපාමින් “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු.”—හෙබ්‍රෙව් 11:32, 33; 12:1.
[පාදසටහන්වල]
a බබිලෝනියේ ‘සිංහ ගුහාවක්’ තිබීම, ප්‍රාචීන පාලකයන්ට වන සත්වෝද්‍යාන තිබීම ගැන ඇති පුරාණ සෙල් ලිපි මගින් සනාථ කරනවා.
b උඩුමහල යනු කෙනෙකුට බාධාවකින් තොරව කාලය ගත කිරීමට තිබෙන පෞද්ගලික කාමරයකි.
c සිංහ ගුහාව පොළොව යට තිබූ ගුහාවක් විය හැකිව තිබූ අතර, එහි කට ඉහළින් විය. සමහරවිට දොරවල් හෝ යකඩ පොලුවලින් සෑදූ ගේට්ටුවක් මේ ගුහාවේ තිබෙන්න ඇති. ඒවා එසවූ විට සතුන්ට ඇතුල් වීමට හැකියි.
d “වරද තැබූ” යන්න ඇරමයික කියමනක පරිවර්තනයකි. එය “අපහාස කිරීම” ලෙසද සැලකිය හැකියි. මෙය දානියෙල්ගේ සතුරන්ගේ ද්වේෂසහගත අභිප්රායන් උලුප්පා දක්වනවා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• දානියෙල්ට උසස් තනතුරක් දීමට මේදිය දාරියුස් තීරණය කළේ මන්ද?
• අමාත්‍යවරුන් සහ දිසාපතීන් දියත් කළේ කිනම් කෛරාටික කුමන්ත්‍රණයක්ද? යෙහෝවා දානියෙල්ව ගළවාගත්තේ කෙසේද?
• ඇදහිලිවන්තකම ගැන දානියෙල්ගේ ආදර්ශයට අවධානය යොමු කිරීමෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
[114වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[121වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[127වන පිටුවේ පින්තූරය]
දානියෙල් “නොකඩවම” දෙවිට සේවය කළා. ඔබත් එසේමද?