බයිබල් පොත් අංකය 27—දානියෙල්
ලේඛකයා: දානියෙල්
ලියූ ස්ථානය: බබිලෝනිය
ලිවීම අවසන් කළේ: පො.යු.පෙ. 536දී පමණ
ආවරණය වන කාලය: පො.යු.පෙ. 618 පමණ-536
පොළොවේ සියලු ජාතීන් විනාශයේ අද්දරට පැමිණ සිටින මෙම කාලයේදී, දානියෙල් නමැති පොත සුවිශේෂ වැදගත්කමකින් යුත් අනාවැකිමය පණිවිඩ වෙත අවධානය යොමු කරවයි. සාමුවෙල්, රාජාවලිය, ලේකම් යන බයිබල් පොත්, දෙවිගේ පූර්වාදර්ශක රාජ්‍යයේ (දාවිත්ගෙන් පැවතෙන රාජ වංශයේ) ඉතිහාසය පිළිබඳ ඇසින් දුටු වාර්තා මත පදනම් වේ. එනමුත් දානියෙල්ගේ අනාවැකි ලෝක ජාතීන් වෙත අවධානය යොමු කරමින්, දානියෙල්ගේ කාලයේ සිට “අන්තිම කාලය” දක්වා පැවතෙන බලවත් අධිරාජ්‍යයන්ගේ බල අරගලය පිළිබඳව පූර්ව දර්ශන සපයයි. ඇත්තෙන්ම එහි සඳහන් තොරතුරු, සිදුවීමට පෙර වාර්තා කර තිබෙන ලෝක ඉතිහාසය ලෙස හැඳින්විය හැක. “මතු දවස්වල” සිදු වන්නාවූ දේවල් පෙළගස්වා තිබෙන ආකාරය එහි අවසානය කරා ඇදී යන්නේ සිත් අලවන ආකාරයකටයි. නෙබුකද්නෙශර් මෙන්, ලෝකයේ ජාතීන්ටද දුෂ්කර පාඩමක් ඉගෙනගැනීමට සිදු වෙනවා ඇත. “මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයා බලය [පවත්වන]” බවත්, අන්තිමේදී ඔහු එම රාජ්‍යය “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” වන නායකයා මෙන්ම මෙසියස් වන ක්‍රිස්තුස් යේසුස්ට දෙන බවත් ඔවුන්ට ඉගෙනගැනීමට සිදු වේ. (දානි. 12:4; 10:14; 4:25; 7:13, 14; 9:25; යොහ. 3:13-16) දේවානුභාවය ලත් දානියෙල් පොතේ අනාවැකිමය ඉටුවීම්වලට අප කිට්ටු අවධානයක් යොමු කරන විට, අනාවැකි කීමට යෙහෝවාට ඇති බලයත් ස්වකීය ජනයා ආරක්ෂා කරන බවට හා ඔවුන්ට ආශීර්වාද කරන බවට ඔහු දී තිබෙන පොරොන්දුත් වඩා වැඩියෙන් අගය කිරීමට අපි පෙලඹෙන්නෙමු.—2 පේතෘ. 1:18ආ, 20.
2 පොත නම් කර තිබෙන්නේ එහි ලේඛකයාගේ නමිනි. “දානියෙල්” (හෙබ්‍රෙව්, ඩානියෙල්) යන නාමයේ අර්ථය නම්, “දෙවි මාගේ විනිශ්චයකාරයා” යනුයි. දානියෙල් සැබෑ පුද්ගලයෙකු බව එම කාලපරිච්ඡේදයේම විසූ එසකියෙල් සනාථ කරයි. ඔහු නෝවා සහ යෝබ් සමඟ දානියෙල්ගේ නමද සඳහන් කර ඇත. (එස. 14:14, 20; 28:3) දානියෙල් තම පොත ලිවීමට ආරම්භ කළ කාලය වශයෙන් සඳහන් කරන්නේ “යූදාහි රජ වූ යෙහෝයාකීම්ගේ රජකම් කිරීමේ තුන්වෙනි [අවුරුද්දයි].” මෙය යෙහෝයාකීම් රජු නෙබුකද්නෙශර්ට කප්පම් ගෙවූ තුන්වන අවුරුද්ද, එනම් පො.යු.පෙ. 618 විය.a දානියෙල්ගේ අනාවැකිමය දර්ශන, පො.යු.පෙ. 536 පමණ වූ කෝරෙෂ්ගේ තුන්වන අවුරුද්ද දක්වා දිව ගියේය. (දානි. 1:1; 2:1; 10:1, 4) දානියෙල් ජීවත් වූයේ කොතරම් සිදුවීම් ගණනාවක් සිදු වූ කාලයකද! ඔහු තම ජීවිතයේ මුල් කාලය ගෙවනු ලැබුවේ දෙවිගේ රාජ්‍යය පැවති යූදාහිය. පසුව, යෞවන කුමරෙකුව සිටි දානියෙල්ව සිය වංශවත් මිතුරන් සමඟ බබිලෝනියට රැගෙන යන ලදි. තවද ඔහු එහි ජීවත් වූ කාලය තුළදී බයිබල් ඉතිහාසයේ සඳහන් එම තුන්වන ලෝක අධිරාජ්‍යයේ නැඟීම හා වැටීම දැකගැනීමට ඔහුට හැකි විය. සිව්වන ලෝක අධිරාජ්‍යය වූ මේද-පර්සියානු රාජ්‍යයේ නිලධාරියෙකු වශයෙන් සේවය කිරීමට තරම් දිගු කාලයක් දානියෙල් ජීවත් වූයේය. දානියෙල් වසර සියයකට ආසන්න කාලයක් ජීවත් වූවා විය හැක.
3 යුදෙව්වරුන් විසින් සකස් කළ දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි ඇතුළත් නාමාවලියේ දානියෙල් පොත මුල සිටම ඇතුළත් කර තිබිණ. මළ මුහුදේ ලියවිලිවල සම්මත පොත් අතර දානියෙල් පොතේ කොටස්ද සොයාගෙන ඇති අතර, ඉන් සමහරක් පො.යු.පෙ. පළමු සියවසේ මුල්භාගය දක්වාම දිව යයි. එහෙත් පොතේ විශ්වාසවන්තභාවය පිළිබඳව වඩාත්ම වැදගත් සාක්ෂි සැපයෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ල තුළ එයින් කර ඇති උපුටා දැක්වීම් තුළිනි. “පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය” සම්බන්ධ සිය අනාවැකියේදී යේසුස් දානියෙල්ගේ නම විශේෂයෙන් සඳහන් කරන අතර එම පොතෙන් උපුටා දැක්වීම් කිහිපයක්ද කර තිබේ.—මතෙ. 24:3; එමෙන්ම දානි. 9:27; 11:31 සහ 12:11—මතෙ. 24:15 සහ මාක් 13:14; දානි. 12:1—මතෙ. 24:21; දානි. 7:13, 14—මතෙ. 24:30ද බලන්න.
4 බයිබල් විවේචකයන් දානියෙල් පොතේ ඓතිහාසික නිරවද්‍යතාව ගැන සැක පහළ කර තිබුණත්, වසර ගණනාවක පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් ඔවුන්ගේ ප්‍රකාශයන් සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ කර ඇත. නිදසුනක් ලෙස, නැබොනිඩස් බබිලෝනියේ පාලකයාව සිටි බව පොදුවේ පිළිගෙන තිබූ කාලයේදී බේල්ෂශර් රජව සිටියා යන දානියෙල්ගේ ප්‍රකාශය ගැන විවේචකයෝ සරදම් කළෝය. (දානි. 5:1) බේල්ෂශර් සැබෑ පුද්ගලයෙකු වූ බවත්, බබිලෝනීය අධිරාජ්‍යයේ අවසන් වර්ෂවල ඔහු නැබොනිඩස්ගේ සම පාලකයා වූ බවත් පුරාවිද්‍යාව මගින් දැන් සැකයකින් තොරව තහවුරු කර ඇත. නිදසුනක් වශයෙන්, බේල්ෂශර් බබිලෝනියෙහි රාජකීය ආධිපත්‍යය දැරූ බවත්, නැබොනිඩස් සමඟ සම පාලකයෙකු වූ බවත් පුරාණ කීලාකාර ලියවිල්ලක (“Verse Account of Nabonidus”) පැහැදිලිව සනාථ කර ඇත.b බේල්ෂශර් රාජකීය කටයුතුවල නියැලුණා යන අදහසට වෙනත් කීලාකාර ලියවිලිවලද සාක්ෂි සපයයි. නැබොනිඩස්ගේ පාලන සමයේ 12වෙනි වසරේදී සකස් කළ ගල්ලෑල්ලක, රජු වූ නැබොනිඩස්ගේ නමින්ද, රජුගේ පුත්‍ර වූ බේල්ෂශර්ගේ නමින්ද කරන ලද දිවුරුමක් අඩංගු වේ. මින් පැහැදිලි වන්නේ, බේල්ෂශර් සිය පියාගේ පදවියට සමාන පදවියක් හෙබවූ බවය.c බිත්තියේ අකුරුවල අර්ථය පහදා දීමට දානියෙල්ට හැකි වූවා නම්, බේල්ෂශර් ඔහුව ‘රාජ්‍යයේ තුන්වෙනියා’ බවට පත් කිරීමට පොරොන්දු වූයේ මන්ද කියා පැහැදිලි කරගැනීමටද මෙය උපකාරවත් වේ. ඒ අනුව, නැබොනිඩස් පළමුවෙනි පාලකයා වශයෙන්ද බේල්ෂශර් දෙවෙනි පාලකයා වශයෙන්ද දානියෙල් තුන්වෙනි පාලකයා වශයෙන්ද සලකනු ඇත. (5:16, 29) එක් පර්යේෂකයෙක් මෙසේ පවසයි. “කීලාකාර ලියවිලිවල බේල්ෂශර් ගැන සඳහන් කරද්දී ඔහු විසින් කරන ලද කාර්යභාරය කොතරම් පැහැදිලිව විස්තර කර ඇද්ද කියනවා නම් ඉතිහාසයේ ඔහුට හිමි ස්ථානය ගැන කිසිම සැකයක් නැත. බේල්ෂශර් තනතුරෙන් හා කීර්ති නාමයෙන් නැබොනිඩස්ට බොහෝදුරට සමානව සිටි බව අඟවනු ලබන බොහෝ පාඨ ඇත. නව බබිලෝනීය පාලන සමයේ අවසාන අදියරේ වැඩි කාලයක් පුරා දෙදෙනෙකු හවුලේ පාලනය කළ බව හොඳින් සනාථ වූ සත්‍යයකි. බේල්ෂශර් මව්බිමෙහි සම පාලකයෙකු ලෙස කටයුතු කළ අතරතුර, නැබොනිඩස් අරාබියේ තීමාහි පිහිටි තම රජ නිවාසයේ සිට පරම අධිකාරිය හෙබවිය. බේල්ෂශර් බෙලහීන ප්‍රතිරාජයෙකු නොවූ බව පැහැදිලිය. ‘ඔහුට රාජතන්ත්‍රය’ පවරනු ලැබීය.”d
5 ගිනි උදුන පිළිබඳ දානියෙල්ගේ වාර්තාව (3වන පරිච්ඡේදය) කල්පිත මිථ්‍යා ප්රබන්ධයක්යයි පවසමින් සමහරු එය අපකීර්තියට පත් කිරීමට වෑයම් කර ඇත්තාහ. පුරාණ බබිලෝනීය ලිපියක එක්තරා කොටසක මෙසේ කියවේ. “රිම්-සින් නමැති ඔබේ ස්වාමියා මෙසේ කියයි. ඔහු වහල් දරුවාව උදුනට හෙළූ බැවින්, ඔබ වහල්ලාවද ගිනි උදුනට දමන්නෙහිද?” මෙම දඬුවම “ශුද්ධ මිනිසුන් තිදෙනාගේ කතාවේ දක්නට ලැබේ (දානි. III 6, 15, 19-27)” කියා එම සිද්ධියට යොමු දක්වමින් ජී. ආර්. ඩ්‍රයිවර් ප්‍රකාශ කිරීම උනන්දුව දනවන කරුණකි.e
6 යුදෙව්වෝ දානියෙල් පොත, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි අතරට නොව වෙනත් ලියවිලි අතරට ඇතුළත් කළෝය. අනික් අතට, ඉංග්‍රීසි මෙන්ම සිංහල බයිබල්වල ග්‍රීක් සෙප්ටූඅජින්ට් සහ ලතින් වල්ගේට් නාමාවලියේ අනුපිළිවෙළ අනුගමනය කරමින් දානියෙල් පොත ප්‍රධාන සහ සුළු අනාගතවක්තෘවරුන් අතර තබයි. ඇත්තෙන්ම පොතෙහි කොටස් දෙකක් ඇත. පරිච්ඡේද 1 සිට 6 දක්වා දිවයන පොතේ පළමු කොටස දානියෙල් සහ ඔහුගේ මිතුරන්ගේ රාජ්‍ය පරිපාලන සේවයේ අද්දැකීම් කලානුරූපී අනුපිළිවෙළකින් ඉදිරිපත් කරයි. මෙමගින් පො.යු.පෙ. 617 සිට පො.යු.පෙ. 538 දක්වා වූ කාලය ආවරණය කෙරේ. (දානි. 1:1, 21) පරිච්ඡේද 7 සිට 12 දක්වා අඩංගු දෙවන කොටසේ වාර්තාකරු හැටියට ක්‍රියා කරන දානියෙල් මම, මා යන්න නිතර සඳහන් කර ඇත. එහි පො.යු.පෙ. 553f සිට පො.යු.පෙ. 536 පමණ කාලය දක්වා, දේවදූතයන් හා දානියෙල් අතර ඇති වූ සංවාද මෙන්ම ඔහු පෞද්ගලිකව දුටු දර්ශන විස්තර කෙරේ. (7:2, 28; 8:2; 9:2; 12:5, 7, 8) දානියෙල් නමැති පොත සෑදී තිබෙන්නේ මනා එකඟතාවකින් යුත් මෙම කොටස් දෙකෙනි.
ප්‍රයෝජනවත් වීමට හේතුව
19 විරුද්ධවාදිකම් ඇති ලෝකයක පක්ෂපාතකම රැකගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින සියල්ලන් දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනාගේ කදිම ආදර්ශය සලකා බැලීම යෝග්‍ය දෙයකි. තර්ජනය කෙතරම් භයානක වුවත්, මොවුහු නොකඩවා දිව්‍ය ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වූහ. ඔවුන්ගේ ජීවිත අවදානමක තිබුණු විටත් දානියෙල් ක්‍රියා කළේ “නුවණින්ද සිහියෙන්ද” යුක්තව හා රජුගේ උතුම් අධිකාරියට ගෞරවය දක්වමිනි. (2:14-16) දේව ප්‍රතිපත්තිවලට විරුද්ධව තීරණයක් ගැනීමට බල කරනු ලැබූ අවස්ථාවකදී, පිළිම නමස්කාරයේ හවුල් වනවාට වඩා ගිනි උදුනක මිය යෑමට හෙබ්‍රෙව්වරුන් තිදෙනා කැමති වූහ. දානියෙල්ද යෙහෝවාට යාච්ඤා කිරීමේ තම වරප්‍රසාදය අහිමි කරගන්නවා වෙනුවට සිංහ ගුහාවේ සිටීමට තෝරාගත්තේය. මේ අවස්ථා දෙකේම යෙහෝවා ඔවුන්ට ආරක්ෂාව සැපයීය. (3:4-6, 16-18, 27; 6:10, 11, 23) යෙහෝවා දෙවි මත යාච්ඤාපූර්වකව රඳා සිටීම සම්බන්ධයෙන් දානියෙල් කදිම ආදර්ශයක් සපයයි.—2: 19-23; 9:3-23; 10:12.
20 දානියෙල්ගේ දර්ශන යළි සලකා බැලීම හද දනවනසුලුය. එය ඇදහිල්ල සවිමත් කරයි. ප්‍රථමයෙන්, ලෝක අධිරාජ්‍යයන් හා සම්බන්ධ දර්ශන සතර සලකා බලන්න. (1) භයංකර රූපය පිළිබඳ දර්ශනයේ රන් හිසෙන් නියෝජනය කරනු ලබන්නේ, නෙබුකද්නෙශර්ගෙන් ආරම්භ වූ බබිලෝනීය රජවරුන්ගේ රාජ වංශයයි. ඉන්පසුව වෙනත් රාජ්‍යයන් තුනක් නැඟී සිටි අතර ඒවා රූපයේ වෙනත් කොටස් මගින් නියෝජනය කෙරේ. මෙම සියලු රාජ්‍යයන් “ගලක්” මගින් පොඩි කර දමනු ලබන අතර, එය “කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක්,” එනම් දෙවිගේ රාජ්‍යය බවට පත් වෙයි. (2:31-45) (2) පසුව දානියෙල් පෞද්ගලිකව දුටු දර්ශන වාර්තා කරයි. එයින් පළමුවන එක “රජවරු සතරදෙනෙක්” නියෝජනය කරන මෘගයන් සතරදෙනා පිළිබඳ දර්ශනයයි. මෙම වනමෘගයන් සතරදෙනා සිංහයෙකු, වලසෙකු, හිස් සතරක් ඇති කොටියෙකු මෙන්ම යකඩ දත්, අං දසයක් ඇති හා පසුව කුඩා අඟක් නික්මෙන මෘගයෙකු ලෙස විස්තර කර ඇත. (7:1-8, 17-28) (3) ඊළඟ දර්ශනය සම්බන්ධ වන්නේ බැටළුවා (මේද-පර්සියාව), එළුවා (ග්‍රීසිය) සහ කුඩා අඟටය. (8:1-27) (4) අවසාන වශයෙන් දකුණේ රජ සහ උතුරේ රජ සම්බන්ධ දර්ශනය සඳහන් කර ඇත. ඇලෙක්සැන්ඩර් පො.යු.පෙ. 323දී මිය ගිය පසු, මිසර සහ ඔහුගේ ග්‍රීක අධිරාජ්‍යයේ සෙල්යුසිඩ් පෙළපත් අතර පැවති එදිරිවාදිකම ගැන දානියෙල් 11:5-19 නිවැරදිව විස්තර කරයි. එක් එක් කාල වකවානුවල දකුණේ හා උතුරේ රජ වශයෙන් පෙනී සිටි ජාතීන්ගේ ක්‍රියා කලාපය අනාවැකියේ විසිවන වගන්තියේ සිට පැහැදිලිව දක්වා තිබේ. යේසුස් තම පැමිණ සිටින කාලය පිළිබඳව ලකුණ ගෙනහැර දැක්වූ අනාවැකියේදී, “පාළු කරන පිළිකුල” (11:31) ගැන කළ සඳහන තුළින් පෙනී යන්නේ, මෙම රජවරුන් දෙදෙනාගේ බල අරගලය “පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය” දක්වාම පැවතෙන බවයි. (මතෙ. 24:3) “මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක්” පැමිණෙන විට, අභක්තික ජාතීන් නැති කර දැමීමටත්, කීකරු මනුෂ්‍යවර්ගයාට සාමය ගෙන දීමටත් මිකායෙල් නැඟී සිටින බව අනාවැකියෙන් සහතික කරනු ලැබීම කෙතරම් සහනයක්ද!—දානි. 11:20–12:1.
21 තවද “සති සැත්තෑව” පිළිබඳ දානියෙල්ගේ දර්ශනයද සලකා බලන්න. සති 69කට පසු, “අධිපතියා වූ ආලේප ලත් තැනැත්තා” පෙනී සිටීමට නියමිතව තිබිණ. අර්තක්ෂස්තාගේ 20වන අවුරුද්දේ යෙරුසලම නැවත ගොඩනඟන්ට ඔහු විසින් පනවනු ලැබූ නියෝගය නෙහෙමියා යෙරුසලමෙහි ක්‍රියාත්මක කළේය. යෙරුසලම නැවත ගොඩනඟන්ට යන එම “ආඥාව” ලැබුණු දා සිට අවුරුදු 483ක් (අවුරුදු 7 x 69) ගෙවුණු පසු, නාසරිය යේසුස් යොර්දාන් ගඟෙහි බව්තීස්ම වී, ශුද්ධාත්මයෙන් අභිෂේක විය. මෙසේ පුදුමසහගත අයුරින් ඔහු ක්‍රිස්තුස් නොහොත් මෙසියස් (එනම්, අභිෂේක ලත් තැනැත්තා) බවට පත් වූයේය.g එය පො.යු. 29වන වසරේදී සිදු විය. ඉන්පසු, දානියෙල් පුරෝකථනය කළ පරිදි පො.යු. 70දී යෙරුසලම පාළු කරනු ලැබූ විට ‘පාළු කරන දේ පිටට තීන්දුව’ පැමිණියේය.—දානි. 9:24-27; ලූක් 3:21-23; 21:20.
22 දානියෙල් 4වන පරිච්ඡේදයේ වාර්තා කර තිබෙන්නේ කපා බිම හෙළනු ලබන ගස සම්බන්ධ නෙබුකද්නෙශර්ගේ සිහිනයයි. තමාගේ වික්‍රමයන් ගැන පුරසාරම් දොඩමින් තමාගේම බලය ගැන විශ්වාසය තැබූ රජුව යෙහෝවා දෙවි විසින් පහත් කරනු ලැබූ ආකාරය එම පරිච්ඡේදයේදී විස්තර කර තිබේ. “මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයා බලය පවත්වා, තමන් කැමති කෙනෙකුට ඒක දෙන බව” ඔහු දැනගන්නා තුරු ඔහුට වනයේ මෘගයෙකු මෙන් ජීවත් වීමට සිදු විය. (දානි. 4:32) අදදින දෙවිට අපට දඬුවම් කිරීමට සිදු වන ආකාරයට අපත් නෙබුකද්නෙශර් මෙන් අපගේ සමර්ථ වීම් ගැන පුරසාරම් දොඩමින් මිනිසුන්ගේ බලය කෙරෙහි අපගේ විශ්වාසය තබමින් සිටිනවාද? එසේ නැතහොත් දෙවි මනුෂ්‍යයන්ගේ රාජ්‍යයන් කෙරෙහි පාලකයා බව ඥානවන්තව පිළිගනිමින් ඔහුගේ රාජ්‍යය කෙරෙහි අපේ පූර්ණ විශ්වාසය තබනවාද?
23 දානියෙල් පොත පුරාම රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව අවධාරණය කර ඇත්තේ ඇදහිල්ල ප්‍රබෝධවත් කරන අයුරිනි. අනිත් සියලුම රාජ්‍යවල් පොඩි කර දමන කිසි කලෙක විනාශ නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන උත්තරීතර පරමාධිපතියාණන් ලෙස යෙහෝවා දෙවිව එහි විස්තර කර ඇත. (2:19-23, 44; 4:25) මිථ්‍යා දෘෂ්ටික රජවරුන් වූ නෙබුකද්නෙශර්ට හා දාරියුස්ට පවා යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගැනීමට සිදු විය. (3:28, 29; 4:2, 3, 37; 6:25-27) රාජ්‍යය පිළිබඳ වාද විෂය විනිශ්චය කරන්නාවූද, ‘මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙකුට සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද [සදාකාල] රාජ්‍යයක්ද’ දෙන තැනැත්තාද වශයෙන් යෙහෝවාව ගෞරවයට හා මහිමයට පත් කෙරේ. “මහෝත්තමයාගේ ශුද්ධවන්තයෝ” ‘මනුෂ්‍ය පුත්‍රයා වන’ යේසුස් ක්‍රිස්තුස් සමඟ රාජ්‍ය පාලනයෙහි හවුල් වන්නෝය. (දානි. 7:13, 14, 18, 22; මතෙ. 24:30; එළි. 14:14) ඔහු වනාහි මෙම පරණ ලෝකයේ සියලුම රාජ්‍යයන් පොඩි කර නැති කර දමන්ට සිය රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන උතුම් අධිපතියා වන මිකායෙල්ය. (දානි. 12:1; 2:44, 45ආ; මතෙ. 24:3, 21; එළි. 12:7-10) මෙම අනාවැකිවල හා දර්ශනවල අර්ථය තේරුම්ගැනීම ධර්මිෂ්ඨකමට ප්‍රියකරන්නන්ට දිරිගැන්වීමක් විය යුතුයි. ඔවුන් එම දිරිගැන්වීමෙන් දානියෙල්ගේ දේවානුභාවය ලත්, ප්‍රයෝජනවත් පොත තුළ දෙවිගේ රාජ්‍ය අරමුණු පිළිබඳ හෙළි කර තිබෙන “අපූරු දේවල්” සෙවීම සඳහා දේවවචනය තව තවත් ගවේෂණය කිරීමට පෙලඹිය යුතුයි.—දානි. 12:2, 3, 6.
[පාදසටහන්වල]
a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 1269 පිටුව.
b ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 283 පිටුව.
c ආකියොලොජි ඇන්ඩ් ද බයිබල්, 1949, ජෝර්ජ් ඒ. බාර්ටන්, 483 පිටුව.
d ද යේල් ඔරියෙන්ටල් සීරීස් රිසර්චර්ස්, XV වෙළුම, 1929.
e ආර්කිෆ් ෆූර් ඌරියෙන්ෆොර්ෂ්චුං, 18 වෙළුම, 1957-58, 129 පිටුව.
f බේල්ෂශර් සම පාලකයෙකු ලෙස තම පාලනය ආරම්භ කළේ නැබොනිඩස්ගේ පාලනයේ තුන්වන වසරේ සිට බව පැහැදිලිය. නැබොනිඩස් සිය පාලනය පො.යු.පෙ. 556දී ආරම්භ කළ බව පිළිගැනෙන නිසා, ඔහුගේ පාලනයේ තුන්වන වසර සහ ‘බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්ද’ පො.යු.පෙ. 553 විය යුතුයි.—දානියෙල් 7:1; ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 283 පිටුව; 2 වෙළුම, 457 පිටුව බලන්න.
g නෙහෙමියා 2:1-8; ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම, 899-901 පිටුද බලන්න.