දහවන පරිච්ඡේදය
“කිසි කලක නැති නොවන්නාවූ” රාජ්‍යයක්
1. මිනිස් ඉතිහාසය පුරා දැක ඇති ලෝක සිදුවීම් කාවද්දවා ඇත්තේ කිනම් සැබෑවද?
යෙහෝවාගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කර තමන්වම පාලනය කරගැනීමට මිනිසා උත්සාහ කිරීමෙන් සන්තෝෂය සොයාගැනීමට ඔහුට හැකි වී නැති බව දෛනික ලෝක සිදුවීම් එක පිට එක අපට කියාපායි. මිනිස්වර්ගයාගේ ශුභසිද්ධිය සඳහා සියල්ලන්ටම සම සේ දේවල් ලබා දීමට කිසිම මිනිස් ආණ්ඩු ක්‍රමයකට හැකි වී නැත. මිනිසා පෙර නොවූ විරූ අන්දමින් තම විද්‍යාත්මක දැනුම දියුණු කරගෙන ඇතත්, එකඳු පුද්ගලයෙකුගේ හෝ අසනීප නැතහොත් මරණය නැති කරදැමීමට වුවද ඔවුන්ට හැකි වී නැත. මිනිස් පාලනය යුද්ධ, සැහැසියාව, අපරාධ, දූෂණ හෝ දිළිඳුකම මුලිනුපුටා දමා නැත. කුරිරු ආණ්ඩු තවමත් බොහෝ රටවල සිටින මිනිසුන්ව ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කරගෙන සිටී. (දේශනාකාරයා 8:9) භූමිය, ජලය හා වාතය දූෂණය වීමට තාක්ෂණය, ගිජුකම හා නොසැලකිල්ල හේතු වී තිබේ. අධිකාරින් ආර්ථික කළමනාකාරිත්වය අයථා අන්දමින් යොදාගැනීම නිසා ජීවිතයේ මූලික අවශ්‍යතා ලබාගැනීමටවත් බොහෝදෙනෙකුට නොහැකි වී ඇත. මිනිස් පාලන අවුරුදු දහස් ගණනක් පුරා බයිබලයේ සඳහන් දේ සැබෑවක් බව පෙන්වා තිබේ. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති [නැත]. . . . ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.
2. මිනිස්වර්ගයාගේ ගැටලුවලට එකම විසඳුම කුමක්ද?
2 විසඳුම කුමක්ද? යේසුස් තම ගෝලයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ දේවරාජ්‍යයයි. එම ආදර්ශ යාච්ඤාවෙහි මෙසේ සැලවේ. “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය 2 පේතෘස් 3:13හි විස්තර කර තිබෙන්නේ, ධර්මිෂ්ඨ මිනිස් සමාජය වන “අලුත් පොළොව” පාලනය කරන “අලුත් අහස” හැටියටයි. දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය කොතරම් වැදගත්ද කිවහොත් යේසුස් එය තමන්ගේ දේශනාවේ මූලික තේමාව කරගත්තේය. (මතෙව් 4:17) දේවරාජ්‍යය අපේ ජීවිතවල තිබිය යුතු ස්ථානය ඔහු පෙන්නුවේය. ඔහු උදක්ම මෙසේ ඉල්ලා සිටියේය. “පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න.”—මතෙව් 6:33.
3. දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීම හදිසිම දෙයක් වන්නේ මන්ද?
3 දේවරාජ්‍යය මගින් ඉතාම ඉක්මනින් මේ ලෝකයේ පාලන ක්‍රම වෙනස් කිරීමට යන බැවින් එම රාජ්‍යය ගැන ඉගෙනීම වර්තමානයේදී කළ යුතු හදිසිම දෙයයි. දානියෙල් 2:44, 45හි මෙසේ පුරෝකථනය කෙරේ. “ඒ රජුන්ගේ [දැන් පාලනය කරන ආණ්ඩු පවතින] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයෙහි] පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය [මිනිස්වර්ගයා විසින් නැවත කිසිදා පාලනය කරනු නොලබන්නේය]. . . . ඒක ඒ [දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.” මෙසේ, මෙම දුෂ්ට ක්‍රමය සහමුලින්ම විනාශ කිරීම මාර්ගයෙන් මේ අවසාන දවස් නිමාවකට ගෙනෙනු ඇත. එවිට ස්වර්ගීය රාජ්‍යය මගින් පොළොව කෙරෙහි කෙරෙන පාලනය කිසිවෙකු විසින් අභියෝගයට ලක් නොකරනු ඇත. මෙමගින් ඇති කරන සැනසිල්ල ඉතාම ආසන්න බව දැනගැනීමට ලැබීම ගැන අප මොනතරම් කෘතඥපූර්වක විය යුතුද!
4. රාජ්‍යය හා සම්බන්ධව ගනිද්දී, 1914දී ස්වර්ගයෙහි සිදු වූයේ කුමක්ද? එය අපට වැදගත් වන්නේ මන්ද?
4 වර්ෂ 1914දී, “[ඔහුගේ] සතුරන් මැද ආණ්ඩු” කිරීමට ක්‍රිස්තුස් යේසුස්ට බලය ලැබුණි. (ගීතාවලිය 110:1, 2) එම වර්ෂයේදීම, දැන් පවතින දුෂ්ට ක්රමයෙහි ‘අන්තිම දවස්ද’ ඇරඹුණි. (2 තිමෝති 3:1-5, 13) මේ කාලයේදීම, දානියෙල් අනාවැකිමය දර්ශනයක් මාර්ගයෙන් දුටු දේවල් ස්වර්ගයෙහිදී ඇත්තටම සිදු විය. ‘සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද යේසුස්ට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද’ “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවි විසින් මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ට දානය කරන ලදි. දර්ශනය ගැන වාර්තා කරමින් දානියෙල් මෙසේ ලීවේය. “ඔහුගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය. ඔහුගේ රාජ්‍යයද නැති නොවන්නේය.” (දානියෙල් 7:13, 14) දෙවි මුල් මිනිස් යුවළව පාරාදීසයේ තැබූ විට අරමුණු කළ අප්‍රමාණ වූ යහපත් දේවල් භුක්ති විඳීම සඳහා ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියලුදෙනාටම අවස්ථාව ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් අතේ තිබෙන්නා වූ මේ ස්වර්ගීය රාජ්‍යය මාර්ගයෙනි.
5. අප දැනගැනීමට උනන්දුවෙන් සිටින්නේ රාජ්‍යය පිළිබඳ කිනම් තොරතුරුද? ඒ මන්ද?
5 රාජ්‍යයෙහි පක්ෂපාත යටත්වැසියෙකු වීම ඔබේ ආශාවද? එසේ නම්, මේ ස්වර්ගීය ආණ්ඩුවේ ව්‍යූහය හා පරිපාලනය සම්බන්ධව දැනගැනීමට ඔබ ආශාවෙන් සිටිනවාට සැකයක් නැත. එමගින් දැන් සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද? එය අනාගතයේදී ඉටු කරන්නේ කුමක්ද? එමෙන්ම යටත්වැසියෙකු වීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද යන්න දැනගැනීමට ඔබ සතුටු වනු ඇති. ඔබ රාජ්‍යය ගැන සමීප අධ්‍යයනයක් කළ විට, ඒ කෙරෙහි ඔබේ අගය වැඩිවර්ධනය වනු ඇත. එම පාලන තන්ත්රය කෙරෙහි ඔබ දක්වන ප්‍රතිචාරය යහපත් එකක් නම්, දෙවිගේ රාජ්‍යය කීකරු මිනිස්වර්ගයා වෙනුවෙන් කරනු ඇති පුදුමාකාර දේවල් ගැන කතා කිරීමට ඔබ වඩාත් හොඳින් සන්නාහ සන්නද්ධ වනු ඇත.—ගීතාවලිය 48:12, 13.
දෙවිගේ රාජ්‍යයේ පාලකයෝ
6. (අ) මෙසියානු රාජ්‍යය මගින් පිළිබිඹු කෙරෙන්නේ කාගේ පරමාධිපත්‍යයද යන්න බයිබලයේ පෙන්වා දෙන්නේ කෙසේද? (ආ) රාජ්‍යය ගැන අප ඉගෙනගන්නා දෙය අපට බලපෑ හැක්කේ කෙසේද?
6 මෙසියානු රාජ්‍යය යනු යෙහෝවාගේම පරමාධිපත්‍යයේ පිළිබිඹු කිරීමක් යන්න එවැනි අධ්‍යයනයකින් හෙළි වන මුල්ම දෙයකි. තම පුත්‍රයාට “ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද” දෙනු ලැබුවේ යෙහෝවාය. දෙවිගේ පුත්‍රයා රජ හැටියට පාලනය කිරීමට බලය ලැබීමත් සමඟම, ස්වර්ගයෙන් නැඟුණු හඬ ඉතාම උචිතය. “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්ටද [යෙහෝවා දෙවිටද] තමන් ක්‍රිස්තුස්ටද වූයේය. ඔහු [යෙහෝවා] සදාකාලේටම රජකම් කරන්නේය.” (එළිදරව් 11:15) එමනිසා, මේ රාජ්‍යය සහ එය ඉටු කරන දේවල් සම්බන්ධයෙන් අප දකින අසන සෑම දෙයක්ම යෙහෝවා වෙතට අපව ආකර්ෂණය කරන්නේය. අප ඉගෙනගන්නා දේවල් ඔහුගේ පරමාධිපත්‍යයට සදාකාලයෙන් සදාකාලයට යටත් වීමට අප තුළ ආශාවක් ඇති කළ යුතුය.
7. යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ නියෝජ්‍ය පාලකයාය යන කාරණය අපට විශේෂයෙන්ම වැදගත් වන්නේ මන්ද?
7 යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ව තම නියෝජ්‍ය පාලකයා ලෙස සිංහාසනාරූඪ කර ඇති බවද සලකන්න. පොළොවත් මිනිස්වර්ගයාවත් මැවීමට දෙවි විසින් පාවිච්චි කළ ප්‍රධාන කර්මාන්තකරුවා හැටියට, අපේ අවශ්‍යතා මොනවාද කියා අපට වඩා හොඳින් යේසුස් දනී. තවදුරටත්, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම ඔහු ‘මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි ඇලුම්කමක්’ විදහා පා ඇත. (හිතෝපදේශ 8:30, 31, NW; කොලොස්සි 1:15-17) මිනිස් සංහතිය කෙරෙහි ඔහු දැක්වූ පිටාර ගලන ප්‍රේමය නිසා, ඔහු කැමැත්තෙන්ම මෙලොවට පැමිණ අප උදෙසා ඔහුගේ ජීවිතය මිදීමේ මිලයක් හැටියට දුන්නේය. (යොහන් 3:16) මෙසේ, පාපයෙන් හා මරණයෙන් මිදෙන මාර්ගයත් සදාකාල ජීවනයේ ප්‍රස්තාවත් සලසා දුණි.—මතෙව් 20:28.
8. (අ) මිනිස් ආණ්ඩුවලට වඩා වෙනස්ව දෙවිගේ ආණ්ඩුව කල්පවතිනු ඇත්තේ මන්ද? (ආ) ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාට’ ස්වර්ගීය ආණ්ඩුවත් සමඟ ඇති සම්බන්ධතාව කුමක්ද?
8 දෙවිගේ රාජ්‍යය තිරසාර, කල්පවතින ආණ්ඩුවකි. යෙහෝවා මරණයට යටත් නොවන කෙනෙකු බැවින් එම ආණ්ඩුව සදාකල් පවතින බව සහතිකය. (හබක්කුක් 1:12, නව අනුවාදය) දෙවි විසින් රජකම භාර දී තිබෙන යේසුස් ක්‍රිස්තුස් මිනිස් රජවරුන් මෙන් නොවෙයි. ඔහුද අමරණීයය. (රෝම 6:9; 1 තිමෝති 6:15, 16) “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද” සමන්විත දෙවිගේ පක්ෂපාත සේවකයන් 1,44,000දෙනෙකුද ක්‍රිස්තුස් සමඟ හවුලේ ස්වර්ගීය සිංහාසනවල හිඳ පාලනය කරනු ඇත. මොවුන්ට අමරණීය ජීවිතයක් දෙනු ලැබේ. (එළිදරව් 5:9, 10, NW; 14:1-4; 1 කොරින්ති 15:42-44, 53) ඔවුන්ගෙන් බහුතරයක් දැනටමත් ස්වර්ගයට ගොස් සිටිති. ඔවුන්ගේ ඉතිරි කොටස තවමත් පොළොවේ සිටිමින්, පක්ෂපාත ලෙස රාජ්‍යය හා බැඳි කාරණා පුළුල් කරන, වත්මන් දින “විශ්වාස වූ නුවණ ඇති දාසයා” ලෙස කටයුතු කරමින් සිටිති.—මතෙව් 24:45-47.
9, 10. (අ) රාජ්‍යය මගින් ඉවත් කරනු ලබන්නේ කිනම් කපටි හා දූෂිත බලපෑම්ද? (ආ) අපට දෙවිගේ රාජ්‍යයේ සතුරන් බවට පත්වීමට අවශ්‍යතාවක් නැත්නම්, කිනම් බැඳීම්වලින් වැළකී සිටිය යුතුද?
9 ඉතාම නුදුරු අනාගතයේදී, එනම් යෙහෝවා තමන් විසින් නියම කරන ලද කාලයේදී, පොළොව පවිත්‍ර කිරීම සඳහා තම විනාශක හමුදාව යොදවනු ඇත. යෙහෝවාගේ පරමාධිපත්‍යය කැමැත්තෙන්ම පිළිනොගන්නා අයවත්, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සපයා තිබෙන ප්‍රේමනීය සැපයුම්වලට නින්දා කරන්නාවූ අයවත් එම හමුදාව අතුගා දමනු ඇත. (2 තෙසලෝනික 1:6-8, 10) යෙහෝවා විශ්වනීය පරමාධිපති බව තහවුරු වන, කාලාන්තරයක් පුරා බලා සිටි ඔහුගේ දවස එය වනු ඇත. “බලව, දේශය පාළු කර එහි සිටින පව්කාරයන් එයින් නැති කර දමන පිණිස යෙහෝවාගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.” (යෙසායා 13:9) “ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිත වූ විපත්ති දවසක්ය, නාස්ති වීමේ හා සුනත් වීමේ දවසක්ය, අන්ධකාර වූ කළුවර වූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය.”—ශෙපනියා 1:15.
10 මේ ලෝකයේ අදෘශ්‍යමාන දුෂ්ට පාලකයා විසින් මෙහෙයවා තිබෙන සියලුම බොරු ආගම්ද සියලුම මිනිස් ආණ්ඩු හා ඒවායේ හමුදාවන්ද සදාකාලයටම විනාශ කර දමනු ලැබේ. ආත්මාර්ථකාමී, කුහක, දුරාචාර ජීවිත පිළිවෙතක් ලුහුබඳිමින් තමන්ව මේ ලෝකයේ කොටසක් ලෙස හඳුන්වාගන්නා සියලුදෙනාවද මරණයට පත් කරනු ඇත. පොළෝ වැසියන් සමඟ සාතන් හා ඔහුගේ භූතයන්ට තිබෙන සම්බන්ධකම් සහමුලින්ම නැති කරනු ඇත. අවුරුදු දහසකට ඔවුන්ව සිර කර තබන්නේය. එවිට පොළොවේ සියලුම කාරණා පාලනය කරනු ලබන්නේ දෙවිගේ රාජ්‍යය මාර්ගයෙනි. ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියලුදෙනාටම මෙය මොනතරම් සහනයක් වෙයිද!—එළිදරව් 18:21, 24; 19:11-16, 19-21; 20:1, 2.
රාජ්‍යයේ පරමාර්ථ අත් කරගන්නේ කෙසේද?
11. (අ) පොළොව සම්බන්ධ යෙහෝවාගේ අරමුණ මෙසියානු රාජ්‍යය මගින් ඉටු කරනු ඇත්තේ කෙසේද? (ආ) එදාට පොළොව මත ජීවත් වන අයට රාජ්‍ය පාලනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 පොළොව සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණ මෙසියානු රාජ්‍යය මගින් සම්පූර්ණයෙන්ම ඉටු කරනු ලැබේ. (උත්පත්ති 1:28; 2:8, 9, 15) එම අරමුණට සහයෝගය දැක්වීමට මිනිස්වර්ගයා මෙතෙක් සමත් වී නැත. කෙසේවෙතත්, “පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය” මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් වනු ඇත. මේ පරණ ක්‍රමය මත යෙහෝවාගේ විනිශ්චය ගෙනෙන විට විනාශයෙන් ගැළවෙන සියලුදෙනාම ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ එක්සත්ව වැඩ කරනු ඇත. එමෙන්ම, මුළු පොළොවම පාරාදීසයක් කිරීම සඳහා යේසුස් තමන්ගෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයක් කිරීමට ඔවුන් කැමති වනු ඇත. (හෙබ්‍රෙව් 2:5-9) මුළු මිනිස් සංහතියම තම තමන්ගේ අත්වල වැඩ භුක්ති විඳින අතර, භූමියේ හිඟයක් නැති ඵලදාවෙන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජන ගනු ඇත.—ගීතාවලිය 72:1, 7, 8, 16-19; යෙසායා 65:21, 22.
12. රාජ්‍යයේ යටත් වැසියන්ට මානසික හා ශාරීරික පරිපූර්ණත්වය ගෙනෙනු ඇත්තේ කෙසේද?
12 ආදම් සහ ඒවව මැව්වේ පරිපූර්ණ මිනිසුන් හැටියටය. දෙවිගේ අරමුණ වූයේ සියල්ලන්ටම පරිපූර්ණ මානසික හා ශාරීරික සුවය විඳිය හැකි වන පරිදි ඔවුන්ගෙන් පැවතෙන පරිපූර්ණ දරුවන්ගෙන් පොළොව පිරවීමය. එම අරමුණ රාජ්‍ය පාලනය යටතේ සෑම අතින්ම සුවිශේෂ වූ යථාර්ථයක් වනු ඇත. මේ සඳහා පාපයේ සියලුම බලපෑම් ඉවත් කළ යුතු වේ. එය කිරීම සඳහා ක්‍රිස්තුස් රජෙකු පමණක් නොව උත්තම පූජකයෙකු ලෙසද සේවය කරනු ඇත. තම මිනිස් ජීවිත පූජාවේ පව් කමා කිරීමේ වටිනාකමින් ප්‍රයෝජන ගැනීමට කීකරු යටත් වැසියන්ට ඉතාම ඉවසීමෙන් යුතුව යේසුස් උදව් කරනු ඇත.
13. රාජ්‍ය පාලනය යටතේ අද්දැකීමට නියමිත ශාරීරික ප්‍රයෝජන මොනවාද?
13 රාජ්‍ය පාලනය යටතේ, පොළොවේ යටත් වැසියන් පුදුමාකාර ශාරීරික ප්‍රයෝජන අද්දකිනු ඇත. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව සතුටින් ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳී එන්නේය.” (යෙසායා 35:5, 6) මහලු වයස හෝ අසනීප තත්වයන් නිසා හම රැළි වැටී ඇත්නම් ඒවා දරුවෙකුගේ මෙන් අලුත් වන අතර, නිදන්ගත රෝග වෙනුවට සුවපත් ශරීර සෞඛ්‍යයක් ලැබෙනු ඇත. “දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත් වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.” (යෝබ් 33:25) “තමා ලෙඩින්” යැයි කියාගන්නා කිසිවෙකු නොසිටින කාලයක් පැමිණෙන්නේය. ඒ මන්ද? දේවභයැති මිනිසුන්ව පාපයෙන් හා එහි දුඃඛිත බලපෑමෙහි බරින් මුදවා තිබෙන බැවිනි. (යෙසායා 33:24; ලූක් 13:11-13) එසේය, දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
14. මිනිස් පරිපූර්ණත්වය අත් කරගැනීමට අයත් වන්නේ තව කුමක්ද?
14 කෙසේවෙතත්, පරිපූර්ණත්වය අත් කරගැනීම කීමෙන් අදහස් කරන්නේ පරිපූර්ණ ශරීරයක් හා මනසක් තිබීමට වඩා වැඩි යමකි. මිනිසාව මවා ඇත්තේ ‘දෙවිගේ ස්වරූපයෙන් හා සමානත්වයට නිසා’ යෙහෝවාගේ ගුණාංග මැනවින් විදහාපෑම ඊට අයත් වේ. (උත්පත්ති 1:26) ඒ සඳහා, බොහෝ දේ ඉගෙනගැනීම අවශ්‍යය. අලුත් ලෝකයේදී, ‘ධර්මිෂ්ඨකම වාසය කරන්නේය.’ යෙසායා පුරෝකථනය කළ ලෙස, “ලෝ වැසියෝ [නිසැකවම, NW] ධර්මිෂ්ඨකම [ඉගෙනගන්නෝය].” (2 පේතෘස් 3:13; යෙසායා 26:9) මෙම ගුණාංගය සමාදානයට මඟ පෙන්වන්නේය. සියලු වර්ගවලට අයත් ජනයා සමඟ, සමීප හිතවතුන් හා පවුලේ අය සමඟ මෙන්ම මේ සියල්ලන්ටම වඩා දෙවි සමඟද සමාදානයක් එමගින් ඇති කරන්නේය. (ගීතාවලිය 85:10-13; යෙසායා 32:17) ධර්මිෂ්ඨකම ඉගෙනගන්නා අයට ක්‍රමානුකූලව ඔවුන් වෙනුවෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා උගන්වනු ඇත. යෙහෝවා කෙරෙහි ඇති වන ඔවුන්ගේ ආදරයේ මුල් ඔවුන්ගේ හදවත්හි ගැඹුරට ඇදෙන්ට ඇදෙන්ට, ඔවුන් තම ජීවිතයේ සෑම අංගයකදීම දෙවිගේ මාර්ග අනුගමනය කරනු ඇත. ඔවුන්ටද යේසුස් කීවා සේ කීමට හැකි වනු ඇත. ‘මාගේ පියා ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමි.’ (යොහන් 8:29) මුළු මිනිස් සංහතියම එසේ කරන විට ජීවිතය මොනතරම් ආනන්දනීය වේවිද!
දැනටමත් පැහැදිලිව පෙනෙන ඉටුවීම්
15. මේ ඡේදයේ තිබෙන ප්‍රශ්න යොදාගෙන රාජ්‍යය ඉටු කරන දේවල් ගෙනහැර දක්වා, දැන් අප කරමින් සිටිය යුතු දේවල් පෙන්වන්න.
15 දෙවිගේ රාජ්‍යය හා එහි යටත් වැසියන් මගින් ඉටු කර ඇති දේ දැනටමත් පැහැදිලිව පෙනේ. පහත සඳහන් ප්‍රශ්න හා බයිබල් පද එවන් ඉටුවීම් මතක් කර දෙන අතර, රාජ්‍යයේ යටත් වැසියන්ට දැන් කළ හැකි හා කරමින් සිටිය යුතු දේවල් සමහරක් ගැනද ඔබට මතක් කර දෙනු ඇත.
රාජ්‍යය මුලින්ම ක්‍රියාත්මක වූයේ කාට විරුද්ධවද? එහි ප්‍රතිඵලය කුමක්ද? (එළිදරව් 12:7-10, 12)
ක්‍රිස්තුස් සිංහාසනාරූඪ වූ දා සිට අවධානය දෙනු ලැබුවේ එක්රැස් කරගන්නා ඉතිරි සාමාජිකයන් සිටින කිනම් කණ්ඩායම කෙරෙහිද? (එළිදරව් 14:1-3)
මතෙව් 25:31-33හි වාර්තා කර ඇති ලෙස මහත් පීඩාව ආරම්භ වූ පසු තමන් විසින් කරන බවට යේසුස් පුරෝකථනය කළේ කුමක්ද?
අදදින ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රාථමික වැඩ කටයුත්ත කුමක්ද? එහි යෙදී සිටින්නේ කවරෙකුද? (ගීතාවලිය 110:3; මතෙව් 24:14; එළිදරව් 14:6, 7)
දේශපාලනික හා ආගමික විරුද්ධවාදීන්ට දේශනා කිරීමේ වැඩය නවතා දමන්ට නොහැකි වී ඇත්තේ මන්ද? (සෙකරියා 4:6; ක්‍රියා 5:38, 39)
රාජ්‍ය පාලනයට යටත් වන අයගේ ජීවිතවල සිදු වී ඇති වෙනස්කම් මොනවාද? (යෙසායා 2:4; 1 කොරින්ති 6:9-11)
අවුරුදු දහසක රාජ්‍යය
16. (අ) ක්‍රිස්තුස් පාලනය කරනු ඇත්තේ කොතරම් කලකටද? (ආ) එම කාලය තුළදී හා පසුව සිදු වන්නේ කිනම් පුදුමාකාර දේවල්ද?
16 සාතන්ව හා ඔහුගේ භූතයන්ව පාතාලගත කළ පසු, යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ හවුල් උරුමක්කාරයන් වන 1,44,000දෙනා රජවරුන් හා පූජකයන් ලෙස අවුරුදු දහසකට පාලනය කරනු ඇත. (එළිදරව් 20:6) එම කාලපරිච්ඡේදය තුළදී, පාපය හා ආදම්ගෙන් උරුම වූ මරණය සදාකාලයටම උදුරා දමමින් මිනිස් සංහතිය පරිපූර්ණත්වය කරා ගෙනෙනු ඇත. අවුරුදු දහස අවසානයේදී, මෙසියානු රජු හා පූජක හැටියට තම පැවරුම සාර්ථක ලෙස අවසන් කළ පසු, “දෙවි සියල්ලන් තුළ සියල්ල වන පිණිස” යේසුස් තම පියාට ‘රාජ්‍යය භාර දෙන්නේය.’ (1 කොරින්ති 15:24-28) එම අවස්ථාවේදී, මිනිස්වර්ගයා යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යයට සහයෝගය දක්වනවාදැයි පරීක්ෂා කිරීම සඳහා සාතන්ව ටික කාලයකට මුදනු ලැබේ. එම අවසාන පරීක්ෂණය නිමා වූ පසු, සාතන්වත් ඔහුගේ පැත්ත ගත් කැරලිකරුවන්වත් යෙහෝවා විසින් විනාශ කර දමනු ලැබේ. (එළිදරව් 20:7-10) ඒ වන විට, යෙහෝවාගේ පරමාධිපත්‍යය නැතහොත් පාලනය කිරීමට ඔහු සතු අයිතිය තහවුරු කරන හා ඊට පක්ෂපාතව සිටින අය ඔවුන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය පෙන්වා තිබෙනු ඇත. එවිට ඔවුන් යෙහෝවා සමඟ නිසි සම්බන්ධයට එනම්, සදාකාල ජීවනය ලැබීමට දිව්‍ය අනුමැතිය ලත් දෙවිගේ පුතුන් හා දූවරුන් වීමේ වරප්‍රසාද ලත් තත්වයට ගෙනෙනු ඇත.—රෝම 8:20, 21.
17. (අ) දහස් අවුරුදු පාලනය අවසානයේදී රාජ්‍යයට සිදු වන්නේ කුමක්ද? (ආ) රාජ්‍යය ‘කිසි කලක නැති නොවන’ එකක් වන්නේ කිනම් අර්ථයෙන්ද?
17 එයින් පසුව, පොළොව සම්බන්ධයෙන් යේසුස්ගේත් 1,44,000දෙනාගේත් වැඩකටයුතු වෙනස් වනු ඇත. එතැන් සිට ඔවුන්ගේ අනාගත ක්රියාකාරිත්වයන් කිනම් ආකාර වනු ඇත්ද? ඒ ගැන බයිබලය කිසිවක් කියන්නේ නැත. නමුත් අප විශ්වාසවන්ත ලෙස යෙහෝවාගේ පරමාධිපත්‍යයට දිගටම පක්ෂපාතව සහයෝගය දෙමින් ජීවත් වුවොත්, ඔවුන් උදෙසාත් මේ ගරුබිය දනවන විශ්වය සඳහාත් යෙහෝවා අරමුණු කර ඇති දේ දැකබලා ගැනීමට අප දහස් අවුරුදු පාලනයෙන් පසුවද ජීවත් වනු ඇත. කෙසේ නමුත්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන තන්ත්රය “සදාකාල” එකක් වන අතර, ඔහුගේ රාජ්‍යයද “නැති නොවන්නේය.” (දානියෙල් 7:14) කිනම් අර්ථයෙන්ද? එක් අර්ථයකින් යෙහෝවා පාලකයා බැවින් පාලන අධිකාරය වෙන අරමුණු ඇති වෙනත් කෙනෙකුගේ අතට පත් නොවනු ඇත. එමෙන්ම, එම රාජ්‍යය මගින් ඉටු කරනු ලබන දේවල් සදාකාලික බැවින් එය ‘කිසි කලක නැති නොවන’ රාජ්‍යයකි. (දානියෙල් 2:44, 45) තවදුරටත්, මෙසියානු රජ හා පූජක වන යේසුස් මෙන්ම ඔහුගේ හවුල් රජවරුන් හා පූජකයන් යෙහෝවාට කළ ඇදහිලිවන්ත සේවය නිසා සදාකාලයට ගෞරවයට පත් වනු ඇත.
පුනරීක්ෂණ සාකච්ඡාව
• මිනිස්වර්ගයාගේ ගැටලුවලට එකම විසඳුම දේවරාජ්‍යය වන්නේ මන්ද? දේවරාජ්‍යයේ රජු පාලනය කිරීම ඇරඹුවේ කවදාද?
• දෙවිගේ රාජ්‍යය පිළිබඳවත් එමගින් ඉටු කරනු ලබන දේවල් පිළිබඳවත් බලද්දී, විශේෂයෙන්ම ඔබේ සිත් ගන්නේ කුමක්ද?
• අපට දැනටමත් දැකගත හැක්කේ රාජ්‍යය මගින් ඉටු කර ඇති කිනම් දේවල්ද? ඒවාට අපේ ජීවිතයේ හිමි වන්නේ කිනම් ස්ථානයද?
[92, 93වන පිටුවල පින්තූරය]
දෙවිගේ රාජ්‍යය යටතේ, සෑමදෙනාම ධර්මිෂ්ඨකම ඉගෙනගනු ඇත