දහවන පරිච්ඡේදය
අධිපතීන්ගේ අධිපතියා ඉදිරියේ සිටිය හැක්කේ කාටද?
1, 2. බේල්ෂශර්ගේ රජකමේ තුන්වන අවුරුද්දේදී දානියෙල් දුටු දර්ශනය අපට වැදගත් වන්නේ මන්ද?
යෙරුසලමේ යෙහෝවාගේ දේවමාළිගාව විනාශ වූ දා සිට අවුරුදු 57ක් ගත වී හමාරයි. බේල්ෂශර් සහ ඔහුගේ පියා වන නැබොනිඩස්, බයිබල් අනාවැකියේ සඳහන් තුන්වන ලෝක බලය වන බබිලෝනිය හවුලේ පාලනය කරනවා.a දෙවිගේ අනාගතවක්තෘ දානියෙල් බබිලෝනියේ වහලෙක්ව සිටිනවා. “බේල්ෂෙශර් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී” සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සම්බන්ධ යම් කාරණා එළිදරව් කරන දර්ශනයක්, යෙහෝවා දානියෙල්ට දකින්න සලස්වනවා.—දානියෙල් 8:1.
2 දානියෙල් දුටු අනාවැකිමය දර්ශනය, ඔහු මත ගැඹුරු බලපෑමක් ඇති කළ අතර, ‘අන්තිම කාලයේ’ ජීවත් වන අපේ ඉමහත් උනන්දුවට එය හේතු වෙනවා. ගාබ්‍රියෙල් දේවදූතයා දානියෙල්ට මෙසේ කියනවා: “බලව, උදහසේ කෙළවරදී සිද්ධවෙන දේ නුඹට දන්වමි. මක්නිසාද දර්ශනය අදාළවන්නේ [නියම කර ලද, NW] අන්තිම කාලයටය.” (දානියෙල් 8:16, 17, 19, 27) මේ නිසා, දානියෙල් දුටු දෙයත්, එය අද අපට අදාළ වන ආකාරයත් ඉතා උනන්දුවෙන් සලකා බලමු.
අං දෙකක් ඇති බැටළුවෙක්
3, 4. ගඟ ළඟ සිටගෙන සිටිනවා දානියෙල් දුටුවේ කවර සත්වයෙක්වද? එමෙන්ම, එය සංකේතවත් කළේ කුමක්ද?
3 දානියෙල් මෙසේ ලියනවා: “දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.” (දානියෙල් 8:2) බබිලෝනියෙන් කිලෝමීටර් 350ක් පමණ නැඟෙනහිරට වෙන්න පිහිටා තිබූ ඒලාම්හි අගනුවර වූ ෂූෂන්හි (සූසා) දානියෙල් ඇත්තටම සිටියාද, නැත්නම් දර්ශනය මගින් ඔහුට එසේ දැනෙන්න සැලැස්සුවාද යන්න සඳහන් කර නැහැ.
4 දානියෙල් තවදුරටත් මෙසේ කියනවා: “එවිට මම ඇස් ඔසවා බලා, ගංගාව ඉදිරියෙහි අං දෙකක් ඇති බැටළුවෙක් සිටිනවා දුටුවෙමි.” (දානියෙල් 8:3අ) බැටළුවාගේ අනන්‍යතාව දානියෙල්ට අභිරහසක්ව තියෙන්න යන්නේ නැහැ. ගාබ්‍රියෙල් දේවදූතයා පසුව මෙසේ සඳහන් කරනවා: “නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය.” (දානියෙල් 8:20) මේදවරුන්ගේ මූලාරම්භය, අෂූරියට නැඟෙනහිරින් පිහිටි කඳුකර සානුවෙන් ඇරඹුණු අතර, පර්සියානු බොක්කට උතුරෙන් පිහිටි ප්‍රදේශයේ විසූ පර්සියානුවන් මුලින්ම ගත කළේ ස්ථිර පදිංචියක් නැති ජීවිතයක්. කෙසේවෙතත්, මේද-පර්සියානු අධිරාජ්‍යය වර්ධනය වනවාත් සමඟම, එහි වැසියන් සුඛෝපභෝගිත්වය කෙරෙහි අතිශය නැඹුරුවාවක් වර්ධනය කරගත්තා.
5. ‘අන්තිමට හටගත්’ අඟ උසින් වැඩි වූයේ කෙසේද?
5 “අං දෙක උස්ව තිබුණේය; නුමුත් එකක් අනික් එකට වඩා උස්ව තිබුණේය, වඩා උස ඇති එක අන්තිමයට හටගත්තේය” කියා දානියෙල් වාර්තා කරනවා. (දානියෙල් 8:3ආ) පසුව පැමිණි උස අඟ පර්සියාව සංකේතවත් කරන අතර, අනිත් අඟ මේදියාව නියෝජනය කරනවා. මුලින්ම, මේදියාව ප්රබලව සිටියා. එහෙත්, පො.යු.පෙ. 550දී, පර්සියාවේ රජු වූ කෝරෙෂ් මේදිය රජු වූ අස්ටයජීස්ව පහසුවෙන්ම පරාජය කළා. කෝරෙෂ් දෙරටේ සිටින ජනයාගේ සිරිත් විරිත් සහ නීති එක් කරමින්, රාජ්‍යයන් දෙක එක්සත් කර, ඔවුන්ගේ දේශය පුළුල් කළා. එතැන් සිට, එම අධිරාජ්‍යය ද්විත්ව ස්වරූපයක් ගත්තා.
බැටළුවා මහත් සේ බලවත් වෙයි
6, 7. ‘කිසි මෘගයෙකුට බැටළුවාට විරුද්ධව සිටින්ට බැරි’ වූයේ කෙසේද?
6 බැටළුවා පිළිබඳ සිය විස්තරය දිගටම කරමින්, දානියෙල් මෙසේ පවසනවා: “ඒ බැටළුවා බස්නාහිරද උතුරද දකුණද දෙසට අනිනවා දුටිමි; කිසි මෘගයෙකුට [වන මෘගයෙකුට, NW] ඌට විරුද්ධව සිටින්ට බැරිවිය, උගේ අතින් ගළවන්ට කිසිවෙක් සිටියෙත් නැත; ඌ තමාගේ කැමැත්ත ලෙස කරමින් බලවත්වුණේය.”—දානියෙල් 8:4.
7 දානියෙල්ට දුන් කලින් දර්ශනයේදී, බබිලෝනිය සංකේතවත් කර තිබුණේ, රාජාලි පියාපත් ඇති සිංහයෙක් වැනි මුහුදෙන් මතු වුණු වන මෘගයෙකුගෙන්. (දානියෙල් 7:4, 17) මේ අලුත් දර්ශනයේදී දුටු “බැටළුවා” ඉදිරියේ සිටින්න එම සංකේතවත් වන මෘගයාට නොහැකි බව ඔප්පු වුණා. පොදු යුගයට පෙර 539දී, බබිලෝනිය මහා කෝරෙෂ් අතට පත් වුණා. එතැන් සිට අවුරුදු 50ක් පමණ යන තුරු, “කිසි වන මෘගයෙකුට” හෝ දේශපාලන ආණ්ඩුවකට, බයිබල් අනාවැකියේ සඳහන් සතරවන ලෝක බලය වූ මේද-පර්සියානු අධිරාජ්‍යයට විරුද්ධව නැඟී සිටින්න හැකි වුණේ නැහැ.
8, 9. (අ) ‘බැටළුවා බටහිරටත් උතුරටත් දකුණටත් ඇන්නේ’ කෙසේද? (ආ) පර්සියානු රජු වූ Iවන දාරියුස්ගේ අනුප්‍රාප්තිකයා ගැන එස්තර් පොත කියන්නේ කුමක්ද?
8 “නැගෙනහිරින්” පැමිණෙන, මේද-පර්සියානු ලෝක බලය තමන්ට කැමති දෙය සිදු කළ අතර, ‘බටහිරටත් උතුරටත් දකුණටත් ඇන්නා.’ (යෙසායා 46:11) මහා කෝරෙෂ්ගේ අනුප්‍රාප්තිකයා වූ IIවන කැම්බිසස් මිසරය පරාජය කළා. ඔහුගේ අනුප්‍රාප්තික පර්සියානු රජු වූ Iවන දාරියුස් බටහිර දෙසට යමින් පො.යු.පෙ. 513දී බොස්පෝරස් සමුද්‍ර සන්ධිය හරහා ගොස් යුරෝපයේ දේශයක් වූ ත්‍රේස් ආක්‍රමණය කළා. එහි අගනුවර බයිසැන්ටියමයි (දැන් ඉස්තාන්බුල්). පොදු යුගයට පෙර 508දී, ඔහු ත්‍රේස් යටත් කරගත් අතර, පො.යු.පෙ. 496දී, මැසිඩෝනියාව පරාජය කළා. මෙසේ, මේද-පර්සියානු “බැටළුවා” වූ දාරියුස්ගේ කාලය වන විට ප්‍රධාන දිශා තුනකට අයත් ප්‍රදේශ අත් කරගෙන තිබුණා: උතුරෙන් බබිලෝනියාව සහ අෂූරිය, බටහිරෙන් සුළු ආසියාව සහ දකුණෙන් මිසරය.
9 මේද-පර්සියානු අධිරාජ්‍යයේ විශාලත්වයට සාක්ෂියක් වශයෙන්, “ඉන්දියාව පටන් කුෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ” දාරියුස්ගේ අනුප්‍රාප්තිකයා වූ “අහෂ්වේරොෂ්” හෙවත් Iවන තක්ෂස්තා ගැන බයිබලය කතා කරනවා. (එස්තර් 1:1) එහෙත්, මේ මහා අධිරාජ්‍යයට තවත් එකකට යටත් වෙන්න සිදු වුණා. මේ කාරණය සම්බන්ධව, දෙවිගේ අනාවැකිමය වචනය කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන චමත්කාරජනක තොරතුරු සමහරක් දානියෙල්ගේ දර්ශනය අපට හෙළි කරනවා.
රළු එළුවා බැටළුවාව බිම හෙළයි
10. දානියෙල්ගේ දර්ශනයේ, ‘බැටළුවාව’ බිම හෙළුවේ කිනම් සත්වයාද?
10 තමා දැන් දකින දේ සම්බන්ධයෙන් දානියෙල්ගේ පුදුමය මොනතරම්දැයි සිතා බලන්න. වාර්තාව මෙසේ සඳහන් කරනවා: “මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය. ගංගාව ඉදිරියෙහි සිටිනවා මා දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවිත්, තමාගේ බලවත් කෝපයෙන් ඌ ළඟට දිවුවේය. ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳදැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.” (දානියෙල් 8:5-7) මේ සෑම දෙයකින්ම අදහස් කරන්නේ කුමක්ද?
11. (අ) ගාබ්‍රියෙල් දේවදූතයා, ‘රළු එළුවාවත්’ උගේ ‘ලොකු අඟත්’ පැහැදිලි කර දුන්නේ කෙසේද? (ආ) ලොකු අඟෙන් සංකේතවත් කර තිබෙන්නේ කාවද?
11 මේ දර්ශනයේ අර්ථය ගැන සැක කරන්න දානියෙල්ටවත් අපටවත් ඉඩහැර නැහැ. ගාබ්‍රියෙල් දේවදූතයා දානියෙල්ට මෙහෙම දන්වනවා: “රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය.” (දානියෙල් 8:21) පොදු යුගයට පෙර 336දී, පර්සියානු අධිරාජ්‍යයේ අවසාන රජු වූ IIIවන දාරියුස්ට (කොඩෝමැනස්) ඔටුනු පැළැන්දුවා. එම අවුරුද්දේම, ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ රජු බවට පත් වුණා. පුරෝකථනය කළ ‘ග්‍රීසියේ පළමුවන රජ’ මහා ඇලෙක්සැන්ඩර් බව ඉතිහාසය පෙන්වනවා. “බස්නාහිරින්” පටන්ගෙන, පො.යු.පෙ. 334දී, ඇලෙක්සැන්ඩර් වේගයෙන් ක්‍රියාත්මක වුණා. “පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව” වගේ ගොස් දේශයන් ජයගත් ඔහු, ‘බැටළුවාව’ බිම හෙළුවා. සියවස් දෙකක පමණ කාලයක් පුරා පැවති මේද-පර්සියානු අධිරාජ්‍යය අවසන් කරමින්, ග්‍රීසිය බයිබලයේ සඳහන් පස්වන ලෝක බලය බවට පත් වුණා. දිව්‍ය අනාවැකිවල මොනතරම් විශිෂ්ට ඉටුවීමක්ද!
12. සංකේතවත් එළුවාගේ “ලොකු අඟ” “බිඳුණේ” කෙසේද? එමෙන්ම, ඒ වෙනුවට හටගත් අං හතර කුමක්ද?
12 එහෙත්, ඇලෙක්සැන්ඩර්ගේ බලය වැඩි කල් තිබෙන්න යන්නේ නැහැ. දර්ශනය තවදුරටත් මෙසේ එළිදරව් කරනවා: “එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.” (දානියෙල් 8:8) අනාවැකිය පැහැදිලි කරමින් ගාබ්‍රියෙල් මෙසේ කියනවා: “ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.” (දානියෙල් 8:22) කලින් කී ආකාරයට, තම විජයග්‍රාහී පිම්මේ හිණිපෙත්තේදීම, ඇලෙක්සැන්ඩර්ව ‘බිඳුණා,’ එනම් වයස අවුරුදු 32ක් පමණක්ව සිටියදී මියගියා. ඔහුගේ මහා අධිරාජ්‍යය අන්තිමේදී, ඔහුගේ සේනාධිපතින් සතරදෙනෙක් අතරේ බෙදී ගියා.
කුඩා අභිරහස් අඟක්
13. අං හතරෙන් එකකින් මතු වුණේ කුමක්ද? එය ක්‍රියා කළේ කෙසේද?
13 දර්ශනයේ ඊළඟ කොටස අවුරුදු 2,200ක පමණ කාලයක් පුරා දිවෙන අතර, එහි ඉටුවීම වර්තමාන කාලය දක්වා ඇදෙනවා. දානියෙල් මෙසේ ලියනවා: “එයින් [අං සතරින්] එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය. ඒක ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය. ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; [ඔහුගෙන්] දවස්පතා පූජාවද පහකරනු ලැබීය, [ඔහුගේ] ශුද්ධස්ථානයද [ශුද්ධස්ථානය පිහිටි ස්ථානයද, NW] හෙළනු ලැබීය. දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.”—දානියෙල් 8:9-12.
14. සංකේතාත්මක කුඩා අඟේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ගාබ්‍රියෙල් දේවදූතයා කීවේ කුමක්ද? එමෙන්ම, එම අඟට සිදු වනු ඇත්තේ කුමක්ද?
14 ඉහත උපුටාගත් වචනවල අර්ථය තේරුම්ගැනීමට කලින්, දෙවිගේ දූතයා කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයෙන් රාජ්‍යයන් සතරක් බලයට පැමිණීම ගැන යොමු දැක්වූවාට පසුව, ගාබ්‍රියෙල් දේවදූතයා මෙසේ කියනවා: “ඔවුන්ගේ රජකම් කිරීමේ අන්තිමේදී අපරාධකාරයන්ගේ පාප මිම්ම සම්පූර්ණවූ කළ, රෞද්‍ර මුහුණක් ඇත්තාවූ, වංචාවට සමර්ථවූ රජෙක් නැගිටින්නේය. ඔහුගේ බලය සවිව තිබෙන්නේය, නුමුත් ඔහුගේම බලයෙන් නොවේ; ඔහු අද්භූතලෙස නාස්තිකරන්නේය, සඵලවෙමින් කැමතිලෙස ක්‍රියාකරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනගද විනාශකරන්නේය. ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵලකරගන්නේය; ඔහු තමාගේ සිතින් උසස්වී, බොහෝදෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැතිකරන්නේය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත; නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය.”—දානියෙල් 8:23-25.
15. දර්ශනය සම්බන්ධයෙන් කුමක් කරන්න කියා දේවදූතයා දානියෙල්ට කිව්වාද?
15 “නුඹ දර්ශනය වසා තබන්න; මක්නිසාද ඊට බොහෝ දවස් යනවා ඇත” කියා දේවදූතයා දානියෙල්ට කියනවා. (දානියෙල් 8:26) දර්ශනයේ මේ කොටසේ ඉටුවීම “බොහෝ දවස් යන” තුරු සිදු නොවන නිසා දානියෙල් එය ‘වසා තැබිය’ යුතුයි. පෙනෙන විදිහට එහි අර්ථය දානියෙල්ට අභිරහසක්ව පැවතුණා. කෙසේවෙතත්, මේ වන විට, එම “බොහෝ දවස්” නිසැකවම අවසානයකට පැමිණ තිබිය යුතුයි. එමනිසා අපි මෙසේ අසමු: ‘මේ අනාවැකිමය දර්ශනයේ ඉටුවීම ගැන ලෝක ඉතිහාසය හෙළි කරන්නේ කුමක්ද?’
කුඩා අඟ බලවත් වෙයි
16. (අ) කුඩා අඟ මතු වූයේ කිනම් සංකේතාත්මක අඟෙන්ද? (ආ) රෝමය බයිබල් අනාවැකියේ හයවන ලෝක බලය බවට පත් වුණේ කෙසේද? එහෙත්, එය සංකේතාත්මක කුඩා අඟ නොවුණේ මන්ද?
16 ඉතිහාසයට අනුව, මේ කුඩා අඟ වනාහි සංකේතාත්මක අං හතරෙන් බස්නාහිරටම වෙන්න තිබූ අඟෙන් මතු වුණු එකක්. ඒ තමයි, මැසිඩෝනියාව සහ ග්‍රීසිය පාලනය කළ සේනාධිපති කැසැන්ඩර්ගේ හෙලනික රාජ්‍යය. මේ රාජ්‍යය පසු කාලයේදී, ත්‍රේස් සහ සුළු ආසියාවේ රජු වූ සේනාධිපති ලිසිමැකස්ගේ රාජ්‍යය සමඟ එක් වුණා. පොදු යුගයට පෙර දෙවන සියවසේදී, හෙලනික අධිරාජ්‍යයට අයත්ව තිබූ මෙම බටහිර කොටස් රෝමය අල්ලාගත්තා. බයිබල් අනාවැකියේ එන හයවන ලෝක අධිරාජ්‍යය බවට පත් වෙමින්, පො.යු.පෙ. 30වන අවුරුද්ද වන විටදී, රෝමය සියලුම හෙලනික රාජ්‍යයන් තමන්ට නතු කරගත්තා. එහෙත්, දානියෙල්ගේ දර්ශනයේ එන කුඩා අඟ රෝම අධිරාජ්‍යය නොවූයේ, එය “[නියම කරන ලද, NW] අන්තිම කාලය” දක්වා පැවතුණේ නැති නිසායි.—දානියෙල් 8:19.
17. (අ) රෝම අධිරාජ්‍යය සමඟ බ්‍රිතාන්‍යයට තිබුණේ කිනම් සම්බන්ධයක්ද? (ආ) මැසිඩෝනියාවේ සහ ග්‍රීසියේ හෙලනික රාජ්‍යය සමඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඇති සම්බන්ධය කුමක්ද?
17 එසේ නම්, කලහකාරි, ‘රෞද්‍ර මුහුණක් ඇති රජුව’ ඉතිහාසය හඳුන්වා දෙන්නේ කවුරුන් හැටියටද? ඇත්තෙන්ම, බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ වයඹ දෙසින් පිහිටි ශාඛාවක් වුණා. දැන් බ්‍රිතාන්‍යය ලෙස හඳුන්වන දේශයේ, පොදු යුගයේ පස්වන සියවසේ මුල් භාගය දක්වාම රෝම පළාත් තිබුණා. කාලයාගේ ඇවෑමෙන්, රෝම අධිරාජ්‍යය පිරිහී ගියත්, බ්‍රිතාන්‍යයෙත්, රෝම ආධිපත්‍යය පැවති යුරෝපයේ වෙනත් ප්‍රදේශවලත් ග්‍රීක-රෝම ශිෂ්ටාචාරයේ බලපෑම් දිගටම පැවතුණා. නොබෙල් ත්‍යාගලාභී මෙක්සිකානු කවියෙකු මෙන්ම ලේඛකයෙකු වන ඔක්ටාව්යෝ පස් මෙසේ ලිව්වා: “රෝම අධිරාජ්‍යයේ වැටීමත් සමඟ පල්ලිය එහි තැන ගත්තා. පල්ලියේ පියවරු සහ පසු කාලීන විශාරදයන්, ග්‍රීක දර්ශනවාදය ක්‍රිස්තියානි මූලධර්මවලට බද්ධ කළා.” තවද, විසිවන සියවසේ දාර්ශනිකයෙකු මෙන්ම ගණිතඥයෙකුද වූ බ’ට්‍රන්ඩ් රසල් මෙසේ නිරීක්ෂණය කළා: “බටහිර ශිෂ්ටාචාරය බිහි වී ඇත්තේ, අවුරුදු දෙදහස් පන්සියයකට කලින් මිලේතසයෙන් [සුළු ආසියාවේ තිබූ ග්‍රීක් නගරයක්] ඇරඹුණු දර්ශනවාදී සහ විද්‍යාත්මක උරුමයක් මත පදනම් වූ ග්‍රීක උල්පතකින්.” මේ අනුව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සංස්කෘතිය, මැසිඩෝනියාව සහ ග්‍රීසිය යන හෙලනික අධිරාජ්‍යයෙන් ඇරඹුණායයි කිව හැකියි.
18. ‘අන්තිම කාලයේ’ ‘රෞද්‍ර මුහුණක් ඇති රජෙක්’ බවට පත් වූ කුඩා අඟ කුමක්ද කියා පැහැදිලි කරන්න.
18 වර්ෂ 1763 වන විට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇගේ ප්‍රබල සතුරන් වූ ස්පාඤ්ඤය සහ ප්‍රංශය පරාජය කර තිබුණා. එතැන් සිට ඇය, තමන් මුහුදේ ස්වාමිදුව සහ බයිබල් අනාවැකිවලට අනුව හත්වන ලෝක බලය බව නිරූපණය කළා. වර්ෂ 1776දී, අමෙරිකා එක්සත් ජනපදය පිහිටුවීම සඳහා යටත් විජිත 13ක් බ්‍රිතාන්‍යයෙන් කැඩීගිය පසුත්, පොළොවෙන් මෙන්ම එහි ජනගහනයෙන් හතරෙන් පංගුවක් අල්ලාගැනීම දක්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වැඩුණා. එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලය පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයට සහයෝගය දැක්වූ විට හත්වන ලෝක බලය තවත් ශක්තිමත් වුණා. ආර්ථිකමය සහ හමුදාමය අතින් මේ ලෝක බලය ඇත්තෙන්ම ‘රෞද්‍ර මුහුණක් ඇති රජෙක්’ බවට පත් වුණා. එසේ නම්, ‘අන්තිම කාලයේ’ රෞද්‍ර දේශපාලනික බලයක් බවට පත් වූ කුඩා අඟ, එංගලන්ත-අමෙරිකානු ලෝක බලයයි.
19. දර්ශනයේ සඳහන් “අලංකාර දේශය” කුමක්ද?
19 කුඩා අඟ “අලංකාර [දේශය] දෙසට ඉතා මහත්” වන බව දානියෙල් දැක්කා. (දානියෙල් 8:9) තමන්ගේ තෝරාගත් සෙනඟට යෙහෝවා දුන් පොරොන්දු දේශය කොතරම් අලංකාරද කිවහොත් එය “සියලු දේශවලට වඩා උතුම් [අලංකාර, NW]” දේශයක් බව කියා තිබෙනවා. (එසකියෙල් 20:6, 15) බ්‍රිතාන්‍යය 1917 දෙසැම්බර් 9වනදා යෙරුසලම අල්ලාගත් බව ඇත්තයි. එමෙන්ම 1948 මැයි 14වනදා වන තුරු පලස්තීනය බ්‍රිතාන්‍යය යටතේ තබාගැනීමට, 1920දී ජාතීන්ගේ සංගමය නියෝග කළා. එහෙත් දර්ශනය බොහෝ සංකේත අඩංගු අනාවැකිමය එකක්. දර්ශනයේ “අලංකාර දේශය” ලෙස සඳහන් කරන්නේ යෙරුසලම නොව, එහෙත් හත්වන ලෝක බලය පවතින කාලය තුළදී දෙවි විසින් ශුද්ධයයි සලකන ජනයාගේ භූමික තත්වයයි. එංගලන්ත-අමෙරිකානු ලෝක බලය ශුද්ධ අයට තර්ජනය කරන්න වෑයම් කරන්නේ කෙසේද කියා අපි බලමු.
“ඔහුගේ ශුද්ධස්ථානය පිහිටි ස්ථානය” හෙළනු ලැබේ
20. කුඩා අඟ විසින් පොළොවට හෙළීමට වෑයම් කරන “ස්වර්ගයේ සේනාව” සහ “තාරකා” කවුරුන්ද?
20 කුඩා අඟ “ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට [හෙළුවා].” දේවදූත පැහැදිලි කිරීමට අනුව කුඩා අඟ විසින් බිම හෙළීමට වෑයම් කරන “ස්වර්ගයේ සේනාව” සහ “තාරකා” සමන්විත වන්නේ ‘ශුද්ධ සෙනඟගෙන්.’ (දානියෙල් 8:10, 24) මේ “ශුද්ධ සෙනග” වනාහි ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙයි. යේසුස් ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මගින් ක්‍රියාත්මක වන අලුත් ගිවිසුම මාර්ගයෙන් ඔවුන්ව දෙවි සමඟ සම්බන්ධතාවකට ගෙනැවිත් ඇති නිසා, ඔවුන් විශුද්ධ කර, පවිත්‍ර කර, දෙවිගේ සේවයට පමණක්ම වෙන් කර තිබෙනවා. (හෙබ්‍රෙව් 10:10; 13:20) ස්වර්ගීය උරුමයක් සඳහා තම පුත්‍රයා සමඟ උරුමක්කාරයන් ලෙස පැවරුම් ලබා දී ඇති හෙයින්, යෙහෝවා ඔවුන්ව ශුද්ධ අය ලෙස සලකනවා. (එපීස 1:3, 4, 11, 18-20) එසේ නම්, දානියෙල්ගේ දර්ශනයේ “ස්වර්ගයේ සේනාව” ලෙස යොමු දක්වන්නේ, ස්වර්ගයේ සිට බැටළුපැටවා සමඟ පාලනය කරන්න යන ‘ශුද්ධවන්තයන්’ වන 1,44,000දෙනාගේ භූමික ඉතිරි කොටසටයි.
21. හත්වන ලෝක බලය පාළු කර දැමීමට වෑයම් කළ “ශුද්ධස්ථානය” අයිති කාටද?
21 අදදින 1,44,000දෙනාගේ ඉතිරි කොටස වන්නේ, දෙවිගේ නුවරක් බඳු රාජ්‍යය සහ එහි දේවමාළිගා විධිවිධානය වන ‘ස්වර්ගීය යෙරුසලමේ’ භූමික නියෝජිතයන්ය. (හෙබ්‍රෙව් 12:22, 28; 13:14) මේ අර්ථයෙන් ගත් කල, හත්වන ලෝක බලය විසින් පාගා පාළු කර දමන්න යන ‘ශුද්ධස්ථානයක’ ඔවුන් සිටිනවා. (දානියෙල් 8:13) එම ශුද්ධස්ථානය ගැන කතා කරද්දී, එය “යෙහෝවාගේ ශුද්ධස්ථානය පිහිටි ස්ථානය” ලෙසද දක්වමින් දානියෙල් මෙසේ කියනවා: “ඔහුගෙන් [යෙහෝවාගෙන්] දවස්පතා පූජාවද පහකරනු ලැබීය, ඔහුගේ ශුද්ධස්ථානයද [ශුද්ධස්ථානය පිහිටි ස්ථානයද, NW] හෙළනු ලැබීය. දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.” (දානියෙල් 8:11, 12) මෙය ඉෂ්ට වුණේ කෙසේද?
22. දෙවන ලෝක මහ යුද්ධ සමයේදී, හත්වන ලෝක බලය සිදු කළ, සැලකිය යුතු “අපරාධය” කුමක්ද?
22 දෙවන ලෝක මහා යුද්ධ සමයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලද අද්දැකීම කුමක් වූවාද? ඔවුන් දරුණු පීඩා වින්දා! එය ආරම්භ වූයේ නාට්සි සහ ෆැසිස්ට් රටවලයි. එහෙත්, වැඩි කල් නොගොස් ‘කුඩා අඟ තම බලය තර කරගත්’ විශාල අධිරාජ්‍යය පුරා ‘සත්‍යය බිම හෙළනු ලැබුවා.’ රාජ්‍ය ප්‍රචාරකයන්ගේ “සේනාව” සහ “ශුභාරංචිය” දේශනා කිරීමේ ඔවුන්ගේ වැඩය බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යය මණ්ඩලය පුරාම වාගේ තහනම් කරනු ලැබුවා. (මාර්ක් 13:10) මෙම ජාතීන් ඔවුන්ගේ මිනිස් බලය හමුදා සේවය සඳහා යෙදවීම අනිවාර්යය දෙයක් බවට පත් කළ විට, දේවගැතියන් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඉන් නිදහස් කළේ නැහැ. එසේ කිරීම මගින්, දේවගැතියන් හැටියට ඔවුන්ගේ දිව්‍යාණ්ඩු පැවරුමට ඔවුන් අගෞරව කළා. එක්සත් ජනපදයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දාමරිකයන් අතින් සැහැසියාව සහ විවිධාකාර නින්දා අද්දකින්න සිද්ධ වුණා. එසේ කිරීම මගින් යෙහෝවාගේ සෙනඟ විසින් ඔවුන්ගේ නමස්කාරයේ “දවස්පතා” ඉදිරිපත් කරන ප්‍රශංසාව නමැති පූජාව, එනම්, “තොල්වල ඵල” ඉවත් කිරීමට හත්වන ලෝක බලය උත්සාහ කළා. (හෙබ්‍රෙව් 13:15) එම ලෝක බලය මහෝත්තම දෙවිට අයිති අධිරාජ්‍යය නැතහොත්, “ශුද්ධස්ථානය පිහිටි ස්ථානය” බලහත්කාරයෙන් අත් කරගැනීම මගින් “අපරාධය” සිදු කළා.
23. (අ) දෙවන ලෝක මහ යුද්ධ සමයේදී, “අධිපතීන්ගේ අධිපතියාට” විරුද්ධව එංගලන්ත-අමෙරිකානු ලෝක බලය නැඟී සිටියේ කෙසේද? (ආ) “අධිපතීන්ගේ අධිපතියා” කවුද?
23 දෙවන ලෝක මහ යුද්ධ සමයේදී ‘ශුද්ධ සෙනඟට’ පීඩා කිරීම මගින්, කුඩා අඟ “සේනාවේ අධිපතියාටත්” විරුද්ධව උඩඟු වුණා. එසේ නැතහොත්, ගාබ්‍රියෙල් දේවදූතයා සඳහන් කළ ආකාරයට, එය “අධිපතීන්ගේ අධිපතියාට” විරුද්ධව නැඟී සිටියා. (දානියෙල් 8:11, 25) “අධිපතීන්ගේ අධිපතියා” යන පදවි නාමය සම්පූර්ණයෙන්ම අදාළ වන්නේ යෙහෝවා දෙවිටයි. “අධිපතියා” ලෙස පරිවර්තනය කර ඇති සාර් නමැති හෙබ්‍රෙව් වචනය, “ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම” යන්න අර්ථවත් වන ක්‍රියා පදයකට සම්බන්ධයි. රජෙකුගේ පුත්‍රයෙකුට හෝ රජ පෙළපතක පුද්ගලයෙකුට යොමු දක්වනවාට අමතරව එම වචනය අදාළ වන්නේ, මූලිකයෙකුට හෝ ප්රධානියෙකුටයි. දානියෙල් පොත වෙනත් දේවදූත අධිපතීන්ට යොමු දක්වනවා. එක උදාහරණයක් වන්නේ මිකායෙල්. ඒ සියලුම අධිපතීන් අතරින් ප්‍රධානම අධිපතියා දෙවියි. (දානියෙල් 10:13, 21; සසඳන්න ගීතාවලිය 83:17.) අධිපතීන්ගේ අධිපතියා වන යෙහෝවාට එරෙහිව නැඟී සිටින කෙනෙක් ගැන අපිට සිතාගත හැකිද?
“ශුද්ධස්ථානය” එයට හිමි තත්වයට ගෙන ඒම
24. දානියෙල් 8:14 අපට සපයන්නේ කිනම් සහතිකයද?
24 ‘රෞද්‍ර මුහුණක් ඇති රජෙකු’ වන එංගලන්ත-අමෙරිකානු ලෝක බලයට තියා කිසිවෙකුට අධිපතීන්ගේ අධිපතියා ඉදිරියේ නැඟී සිටීමට හැකියාවක් නැහැ! දෙවිගේ ශුද්ධස්ථානය පාළු කර දැමීමට මේ රජු දරන වෑයම සඵල වන්නේ නැහැ. දේවදූතයා කියන්නේ, “රෑ දාවල් දෙදාස් තුන්සියයක්” පසු වූ විට, “ශුද්ධස්ථානය පවිත්‍රකරනු [එයට හිමි තත්වයට ගෙනෙනු, NW] ලබන්නේය” නැතහොත් “ජය අත් කරගන්නේය” කියායි.—දානියෙල් 8:13, 14; ද නියූ ඉංග්ලිෂ් බයිබල්.
25. අනාවැකිමය දින 2,300ක කාලපරිච්ඡේදය කොතරම් දිගද? එමෙන්ම, එය සමඟ සම්බන්ධ විය යුත්තේ කුමන සිද්ධියද?
25 දින 2,300 සැකසෙන්නේ, අනාවැකිමය කාලපරිච්ඡේදයකින්. මේ ගණනය කිරීම සඳහා, දින 360කින් යුත් අනාවැකිමය වර්ෂය යොදාගත යුතුයි. (එළිදරව් 11:2, 3; 12:6, 14) මෙසේ, මෙම දින 2,300, අවුරුදු 6යි, මාස 4කුත්, දින 20කට සමාන වෙනවා. මේ කිනම් කාලපරිච්ඡේදයද? එක්දහස් නවසිය තිස් ගණන්වලදී, විවිධ රටවල සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වැඩි වෙන්නාවූ පීඩා අද්දකින්න සිද්ධ වුණා. දෙවන ලෝක මහ යුද්ධ සමයේදී, එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලය ක්‍රියාත්මක වූ රටවල සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බිහිසුණු පීඩා වින්දා. ඒ ඇයි? “පාලකයා හැටියට මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු” වීමට වූ ඔවුන්ගේ නොබිඳුණු අධිෂ්ඨානය නිසායි. (ක්‍රියා 5:29, NW) එමනිසා, දින 2,300, එම යුද්ධය සමඟ සම්බන්ධ විය යුතුයි.b එහෙත්, මේ අනාවැකිමය කාලපරිච්ඡේදයේ ආරම්භය සහ අවසානය ගැන කුමක් කිව හැකිද?
26. (අ) දින 2,300 ගණන් ගත යුත්තේ වැඩිම වුණොත් කවදා සිටද? (ආ) දින 2,300ක කාලපරිච්ඡේදය අවසන් වූයේ කවදාද?
26 “ශුද්ධස්ථානය” එය තිබිය යුතු තත්වයට ‘ගෙනෙනු ලැබීම’ හෝ යළි පිහිටුවීම සඳහා, දෙවිගේ දෘෂ්ටිකෝණයට අනුව එයට කලින් ‘හිමිව තිබූ තත්වයෙහි’ පැවති අවස්ථාවේ සිට දවස් 2,300 ඇරඹෙන්න ඇති. එය සිදු වූ මුල්ම අවස්ථාව වන්නේ, “සංවිධානය” යන ලිපියෙහි පළමුවන කොටස මුරටැඹෙහි (ඉංග්‍රීසියෙන්) ප්‍රකාශයට පත් කළ 1938 ජූනි 1වනදායි. දෙවන කොටස 1938 ජූනි 15වනදා කලාපයේ පළ වුණා. මෙසේ, දින 2,300 (හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව, අවුරුදු 6යි මාස 4කුත් දින 20) අපව 1938 ජූනි 1වනදා හෝ 15වනදා සිට 1944 ඔක්තෝබර් 8වනදා හෝ 22වනදා වෙත ගෙනෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා, පිට්ස්බර්ග්හි 1944 සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1වනදා පැවති විශේෂ එක්රැස්වීමේ පළමු දිනයේදී, වොච් ටවර් සමිතියේ සභාපති “අදදින දිව්‍යාණ්ඩු පෙළ ගැස්ම” යන විෂය ගැන කතා කළා. ඔක්තෝබර් 2වනදා පැවති වාර්ෂික සාමාජික රැස්වීමේදී, නීතිය ඉඩ දෙන තරමට සමිතියේ බලපත්‍රය දිව්‍යාණ්ඩු විධිවිධානයෙහි කිට්ටුවටම ගෙන ඒමේ වෑයමක් හැටියට එය සංශෝධනය කළා. තවත් පැහැදිලි වූ ශුද්ධ ලියවිලිමය අවශ්‍යතා ප්‍රකාශන මගින් පළ කිරීමත් සමඟ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල දිව්‍යාණ්ඩු සංවිධානාත්මක සැලසුම් වැඩි කල් නොගොස් වඩා පූර්ණ ආකාරයකින් පිහිටුවනු ලැබුවා.
27. පීඩාවලින් පිරි අවුරුදුවලින් යුත් දෙවන ලෝක මහ යුද්ධ සමයේදී, “දවස්පතා” පූජාවට තහංචි පැනවුණු බවට ඇති සාක්ෂි මොනවාද?
27 දින 2,300 ගත වුණේ 1939දී ඇරඹුණු IIවන ලෝක මහ යුද්ධය අතරවාරයේදී නිසා, පීඩා හේතුවෙන් දෙවිගේ ශුද්ධස්ථානයේ “දවස්පතා” පූජාව මත දැඩි තහංචි පැනවුණා. වර්ෂ 1938දී සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩය අධීක්ෂණය කරන වොච් ටවර් සමිතියේ ශාඛා 39ක් තිබූ අතර, 1943දී තිබුණේ එයින් 21ක් පමණයි. එම කාලය තුළදී රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණනෙහි වර්ධනයද ඉතා අල්ප වුණා.
28, 29. (අ) දෙවන ලෝක මහ යුද්ධය අවසන් වෙනවාත් සමඟම, යෙහෝවාගේ සංවිධානයේ කිනම් වර්ධනය වීම් සිදු වුණාද? (ආ) “ශුද්ධස්ථානය” පාළු කර විනාශ කර දැමීම සඳහා සතුරා ගත් දුෂ්ට වෑයම් ගැන කුමක් කිව හැකිද?
28 අප දුටු පරිදි, IIවන ලෝක මහ යුද්ධයේ අවසාන මාසවලදී, දිව්‍යාණ්ඩු සංවිධානයක් ලෙස සේවය කරමින් දෙවිගේ පාලකත්වය වර්ණනා කරන බවට වූ තම අධිෂ්ඨානය යෙහෝවාගේ සාක්ෂිකරුවන් යළි තහවුරු කළා. වර්ෂ 1944දී ඔවුන්ගේ වැඩය යළි සංවිධානය කළෙත් පාලන ව්‍යූහය ආරම්භ කළෙත් මේ අරමුණ ඇතුවයි. ඇත්තෙන්ම, 1944 ඔක්තෝබර් 15වනදා මුරටැඹෙහි (ඉංග්‍රීසියෙන්) “අවසන් වැඩය සඳහා සංවිධානය කිරීම” යන මැයෙන් යුත් ලිපියක් පළ වුණා. එය මෙන්ම ඒ කාලය තුළදී පළ කළ සේවයට අදාළ වෙනත් ලිපි මගින් දින 2,300 අවසන් බවත්, “ශුද්ධස්ථානය එයට හිමි තත්වයට” ගෙනැවිත් ඇති බවත් ඇඟවූවා.
29 “ශුද්ධස්ථානය” පාළු කර විනාශ කර දමන්න දැරූ සතුරාගේ දුෂ්ට වෑයම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඇත්තෙන්ම, පොළොව මත සිටින ‘ශුද්ධ සෙනඟගේ’ ඉතිරි කොටස සහ ‘මහත් සමූහයට’ අයිති ඔවුන්ගේ සහයකයන් ජයග්‍රාහී ලෙස කටයුතු කර තිබෙනවා. (එළිදරව් 7:9) ශුද්ධස්ථානය, ඊට අයිති දිව්‍යාණ්ඩු තත්වයේ සිට දිගටම යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමනවා.
30. ‘රෞද්‍ර මුහුණක් ඇති රජුට’ ඉක්මනින්ම කුමක් සිදු වේවිද?
30 එංගලන්ත-අමෙරිකානු ලෝක බලය තවමත් බලයේ සිටියි. “නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය” කියා ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වා. (දානියෙල් 8:25) ඉතා ඉක්මනින්ම, බයිබල් අනාවැකියේ හත්වන ලෝක බලය එනම්, ‘රෞද්‍ර මුහුණක් ඇති රජුව’ මිනිස් අතකින් නොව නමුත්, අර්මගෙදොන්හි අධිමානුෂික බලය මගින් බිඳ දමන්න යනවා. (දානියෙල් 2:44, 45; එළිදරව් 16:14, 16) අධිපතීන්ගේ අධිපතියා වන යෙහෝවා දෙවිගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමට යන බව දැනගැනීම මොනතරම් සතුටට කරුණක්ද!
[පාදසටහන්වල]
a ශුද්ධ ලියවිලිමය වැදගත්කමක් ඇති ලෝක බලයන් හත නම්, මිසරය, අෂූරිය, බබිලෝනියාව, මේද-පර්සියාව, ග්‍රීසිය, රෝමය සහ එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලයයි. මේ සෑම එකක්ම වැදගත් වන්නේ, ඔවුන් යෙහෝවාගේ සෙනඟ සමඟ කටයුතු කර තිබෙන නිසායි.
b ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්ට අඛණ්ඩව පීඩා කරන’ කාලපරිච්ඡේදයක් ගැන දානියෙල් 7:25ත් [NW] කතා කරනවා. කලින් පරිච්ඡේදයේ පැහැදිලි කළ ආකාරයට, එය පළමු ලෝක මහ යුද්ධය සමඟ ඈඳී තිබෙනවා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• “අං දෙකක්” ඇති ‘බැටළුවාගෙන්’
‘ලොකු අඟක්’ ඇති ‘රළු එළුවාගෙන්’
“ලොකු අඟ” වෙනුවට හටගත් අං සතරෙන්
අං සතරෙන් මතු වූ කුඩා අඟෙන්
සංකේතවත් කරන්නේ කුමක්ද?
• දෙවන ලෝක මහ යුද්ධ සමයේදී, එංගලන්ත-අමෙරිකානු ලෝක බලය “ශුද්ධස්ථානය” පාළු කර දැමීමට උත්සාහ කළේ කෙසේද? එමෙන්ම, එය සාර්ථක වුණාද?
[166වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
මේද-පර්සියානු අධිරාජ්‍යය
මැසිඩෝනියාව
මිසරය
මෙම්ෆිස්
ඉතියෝපියාව
යෙරුසලම
බබිලෝනිය
අක්මෙතා
සූසා
පර්සෙපොලිස්
ඉන්දියාව
[169වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
ග්‍රීක අධිරාජ්‍යය
මැසිඩෝනියාව
බබිලෝනිය
මිසරය
ඉන්දු ගඟ
[172වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
රෝම අධිරාජ්‍යය
බ්රිටැනියාව
ඉතාලිය
රෝමය
යෙරුසලම
මිසරය
[164වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[174වන පිටුවේ පින්තූර]
එංගලන්ත-අමෙරිකානු ලෝක බලයේ ප්‍රමුඛයන් කිහිපදෙනෙක්:
1. එක්සත් ජනපදයේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් (1789-97)
2. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින (1837-1901)
3. එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් (1913-21)
4. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් (1916-22)
5. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් (1940-45, 1951-55)
6. එක්සත් ජනපද ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (1933-45)