යේසුගේ උපත සැබෑ කතාව
ඔබේ රටේ ඉතිහාසයේ බෙහෙවින් ප්‍රසිද්ධ සිද්ධියක් ගැන සිතා බලන්න. ඒ ගැන එක ඉතිහාසඥයෙකුට වඩා වැඩිදෙනෙකු ලියා ඇති අතර, හොඳින් ලේඛනගත කර තිබෙනවා. හොඳයි, මේ සිද්ධිය කවදාවත් සිදු වී නැති, ලොකු බොරුවක් කියා ඔබට යමෙක් පැවසුවොත් කුමක්ද තත්වය? එහෙමත් නැත්නම්, එම තත්වය ඔබටම අදාළ කරනවා නම්, ඔබේම සීයාගේ උපත හා බාල කාලය සම්බන්ධයෙන් ඔබේ පවුලේ සාමාජිකයන් ඔබට පැවසූ දෙයින් වැඩිහරියක් බොරුයි කියා යමෙක් පැවසුවොත් තත්වය කුමක්ද? අවස්ථා දෙකේදීම එම ප්‍රකාශය විතරක්ම ඇති වෙයි ඔබව කෝපයට පත් කරන්න. කියූ පමණින්ම ඔබ එවැනි ප්‍රකාශයන් නොපිළිගන්නා බවට සැකයක් නැහැ!
එහෙත්, විවේචකයන් අදදින, යේසුගේ උපත පිළිබඳව මතෙව් හා ලූක් ලියා ඇති සුවිශේෂ වාර්තා පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තා සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි හා කොහෙත්ම එකඟතාවක් නැති වාර්තා බවත්, දෙකේම අමූලික බොරු හා ඓතිහාසික දෝෂයන් අඩංගු බවත් ඔවුන් පවසනවා. එය සත්‍යයක් විය හැකිද? එවැනි චෝදනා පිළිගන්නවා වෙනුවට, අපිම සුවිශේෂ වාර්තා සෝදිසි කර බලමු. ඒ අතරතුර, ඒවායින් අපට අදදින කුමක් ඉගෙනගත හැකිද කියාත් අපි බලමු.
ලිවීමේ අරමුණ
මුලින්ම මේ බයිබල් වාර්තා ලියූ අරමුණ මතක තබාගැනීම අපට ප්‍රයෝජනවත් වෙනවා. ඒවා චරිත කතා නෙවෙයි; ඒවා සුවිශේෂයන්. ඒ දෙක අතර වෙනස පැහැදිලිව අවබෝධ කරගැනීම වැදගත්. චරිත කතාවක, තම විෂය කරගත් පුද්ගලයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වූ ආකාරය පෙන්වීමට වෑයම් කරමින්, කර්තෘ පිටු සියගණනක් ලිවිය හැකියි. මේ ආකාරයෙන්, චරිත කතා ලියන ඇතැම් පුද්ගලයන් තම විෂයන් කරගන්නා පුද්ගලයන්ගේ පෙළපත, උපත හා ළමා කාලය විස්තර කරමින් පිටු ගණනාවක් ලියයි. සුවිශේෂ සම්බන්ධයෙන් බලද්දී ඒවා ඊට වඩා වෙනස්. සුවිශේෂ වාර්තා හතරෙන්, යේසුගේ උපත හා ළමා කාලය ගැන කතා කරන්නේ මතෙව් හා ලූක්ගේ වාර්තා පමණයි. කෙසේවෙතත්, ඔවුන්ගේ ඉලක්කය වන්නේ යේසු, යේසු නමැති පුද්ගලයා බවට පත් වුණ ආකාරය පෙන්වීම නොවෙයි. ඔහු පොළොවට පැමිණීමට පෙර ආත්ම මැවිල්ලක් හැටියට සිටි බව යේසුගේ අනුගාමිකයන් පිළිගත්ත බව මතක තබාගන්න. (යොහන් 8:23, 58) එබැවින් මතෙව් හා ලූක්, යේසු කුමන ආකාරයේ පුද්ගලයෙක් බවට පත් වුණාද කියා පැහැදිලි කිරීමට යේසුගේ ළමා කාලයට යොමු දැක්වූයේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් තම සුවිශේෂවල අරමුණට ගැළපෙන සිද්ධීන් සම්බන්ධ කරගත්තා.
එමෙන්ම ඒවා ලියද්දී ඔවුන්ගේ අරමුණ වුණේ කුමක්ද? “සුවිශේෂය” යන වචනයේ තේරුම “ශුභාරංචිය” යන්නයි. දෙදෙනාටම තිබුණේ එකම පණිවිඩයයි, එනම් පොරොන්දු වූ මෙසියස් නැත්නම් ක්‍රිස්තුස් වන්නේ යේසුයි, ඔහු මනුෂ්‍යවර්ගයාගේ පාප උදෙසා මියගියා, එමෙන්ම ඔහුව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබුවා යන්නයි. නමුත් ලේඛකයන් දෙදෙනාටම කැපීපෙනෙන ලෙස වෙනස් පසුබිම් තිබුණු අතර, ඒවා ලියනු ලැබුවේ වෙනස් පාඨක පිරිස් සඳහායි. සුංගම් අයකරන්නෙකු වූ මතෙව් තම වාර්තාව විශේෂයෙන්ම සකස් කළේ යුදෙව් පාඨක පිරිසකටයි. වෛද්‍යවරයෙකු වූ ලූක්, උසස් තානාන්තරයක් තිබුණා විය හැකි ‘අති උත්තම වූ තියෝපිලස්හට’ මෙන්ම, ඊට අමතරව, යුදෙව්වන්ගෙන් හා අන්‍යජාතිකයන්ගෙන් සමන්විත වඩාත් විශාල පාඨක පිරිසක්හටයි ලියුවේ. (ලූක් 1:1-4) ලේඛකයන් දෙදෙනාම, තම තමන්ගේ පාඨක පිරිසට වඩාත් අදාළ වන හා වඩාත් ඒත්තුගන්වනසුලු විය හැකි සිද්ධීන් තෝරගත්තා. මෙලෙස, යේසු සම්බන්ධයෙන් ඉටු වූ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අනාවැකි මතෙව්ගේ වාර්තාවේ අවධාරණය කරනවා. අනිත් අතට ලූක්, තම යුදෙව් නොවන පාඨක පිරිසට වටහාගත හැකි වුණා විය හැකි වඩාත් සම්භාවනීය ඓතිහාසික එළඹීමක් අනුගමනය කරනවා.
ඔවුන්ගේ වාර්තා වෙනස් වීම පුදුමයක් නොවෙයි. නමුත් විවේචකයන් පවසන ආකාරයට දෙකම එකිනෙකට පටහැනි නැහැ. වඩාත් සම්පූර්ණ පින්තූරයක් සකස් කිරීමට එකිනෙක හොඳින් ගළපමින් දෙකම එකිනෙකෙහි අඩංගු තොරතුරු පූර්ණ කරනවා.
බෙත්ලෙහෙමෙහි යේසුගේ උපත
විශිෂ්ට ප්රාතිහාර්යයක් වන, කන්‍යාවක් තුළින් යේසුගේ බිහිවීම පිළිබඳව මතෙව් හා ලූක් යන දෙදෙනාම වාර්තා කරනවා. මේ ප්රාතිහාර්යය මගින් සියවස් ගණනකට පෙර යෙසායා පැවසූ අනාවැකියක් ඉටු වූ බව මතෙව් පෙන්නුම් කරනවා. (යෙසායා 7:14; මතෙව් 1:22, 23) කායිසර් විසින් පිහිටෙවූ ලියාපදිංචි කිරීමක් සඳහා යෝසෙප්ට හා මරියාට බෙත්ලෙහෙමට යෑමට සිදු වූ නිසා යේසු එහි ඉපදුණ බව ලූක් පැහැදිලි කරනවා. (7වන පිටුවේ කොටුව බලන්න.) බෙත්ලෙහෙමෙහි යේසුගේ උපත වැදගත් වුණා. යෙරුසලම අසල නොවැදගත්යයි පෙනෙන්න තිබෙන මෙම කුඩා නුවරින් මෙසියස් පැමිණෙනු ඇතැයි ඊට සියවස් ගණනකට කලින් ප්‍රොපේත මීකා පුරෝකථනය කර තිබුණා.—මීකා 5:2.
උපතේ දර්ශන සඳහා පදනම වශයෙන්, යේසුගේ උපත සිදු වූ රාත්‍රිය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. කෙසේවුවත්, බොහෝවිට පෙන්වා තිබෙන එකට වඩා සැබෑ කතාව හාත්පසින්ම වෙනස් එකක්. යෝසෙප්ට සහ මරියාට බෙත්ලෙහෙමට එන්න සැලැස්වූ ජනලේඛනය ගැන පවසන ඉතිහාසඥ ලූක්, එඬේරුන් එම වැදගත් රාත්‍රියේ එළිමහනේ ගත කිරීම සම්බන්ධයෙනුත් අපට පවසනවා. යේසු දෙසැම්බර් මාසයේදී ඉපදී නැති බව නිගමනය කිරීමට මේ අවස්ථා දෙකම බොහෝ බයිබල් පර්යේෂකයන්ට මඟ පාදා තිබෙනවා. කැලඹෙනසුලු යුදෙව්වන්ට ශීත, වැහි බර කාලෙක තම තමන්ගේ ගම් බිම් බලා යෑමට කායිසර් බල කරයි කියා සිතීමට අමාරුයි; මන්ද එය කැරලිකාර ජනතාවකගේ කෝපය තවත් ඇවිස්සිය හැකි නිසායයි ඔවුන් පෙන්වා දෙනවා. තවද එවැනි කටුක කාලගුණයකදී එඬේරුන් තම රැළවල් බලාගනිමින් එළිමහනේ වෙසෙන්න ඇතැයි කියාද සිතිය නොහැකියයි ප්‍රවීණයන් පෙන්වනවා.—ලූක් 2:8-14.
එකල සිටි උගත් මෙන්ම බලය තිබූ ආගමික නායකයන්ට නොව නමුත් එළිමහනේ විසූ සාමාන්‍ය මිනිසුන්ට තම පුත්‍රයාගේ උපත ගැන නිවේදනය කිරීමට යෙහෝවා තෝරාගත් බව සලකන්න. වාචික ව්‍යවස්ථාවේ ඇතැම් නීති රීති පිළිපදිමින් ස්ථිර කාලසටහනකට අනුව වැඩ කිරීමට හැකියාවක් නොතිබුණු එඬේරුන් සමඟ ලියන්නන්ට හා ඵරිසිවරුන්ට වැඩි ගනුදෙනුවක් නොතිබුණා විය හැකියි. නමුත් දෙවිගේ සෙනඟ වසර දහස් ගණනක් බලා සිටි තැනැත්තා වූ මෙසියස් බෙත්ලෙහෙමේ ඉපදුණ බවට දේවදූත නියෝජිත පිරිසක් මගින් දැනුම් දීම තුළින්, දෙවි මේ යටහත් පහත්, ඇදහිලිවන්ත මිනිසුන්ට ඉමහත් ගෞරවයක් පිරිනමමින් අනුග්‍රහය දැක්වුවා. මරියාව, යෝසෙප්ව හා ගවලෙනක සිටිද්දී මේ අහිංසක බිළිඳාව බැලීමට පැමිණියේ උපතේ දර්ශනවල බොහෝවිට දක්නට ලැබෙන “රජතුන් කට්ටුව” නොව නමුත් මේ මිනිසුන්ය.—ලූක් 2:15-20.
සත්‍යය සොයන යටහත් පහත් අයට යෙහෝවා අනුග්‍රහය දක්වයි
තමාගේ අරමුණුවල ඉටුවීම දැකීමට දැඩි උනන්දුවකින් සිටින මෙන්ම තමාට ප්‍රේම කරන යටහත් පහත් අයට දෙවි අනුග්‍රහය දක්වනවා. යේසුගේ උපත වටා ගෙතී ඇති සිද්ධීන්වල මෙය නැවත නැවත ඉස්මතු වන තේමාවක්. දරුවාගේ උපතෙන් මාසෙකට පමණ පසුව, යෝසෙප් හා මරියා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කීකරු වෙමින් දේවමාළිගාවේදී ඔහුව ඔප්පු කරන විට, ඔවුන් “කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු” ඔප්පු කරනවා. (ලුක් 2:22-24) ව්‍යවස්ථාවට අනුව ඇත්තෙන්ම දිය යුතුව තිබුණේ බැටළුවස්සෙක් වූ නමුත්, එසේ කිරීමට වත්කමක් නැති දිළිඳු අයට මිල අඩු සත්වයන් ඔප්පු කිරීමට එය අවසර දුන්නා. (ලෙවී කථාව 12:1-8) ඒ ගැන සිතා බලන්න. විශ්වයේ පරමාධිපති යෙහෝවා දෙවි, තම ප්‍රේමනීය ඒකජාතක පුත්‍රයාගේ ඇති දැඩි වීම සඳහා තෝරගත්තේ ධනවත් පවුලක් නොව නමුත් දිළිඳු පවුලක්. ඔබ දෙමාපියෙකු නම්, ඔබේ දරුවන්ට දිය හැකි හොඳම ත්‍යාගය ද්‍රව්‍යමය වස්තුව හෝ කීර්තිය ලබා දෙන අධ්‍යාපනයක් හෝ නොව, නමුත් ආත්මික සාරධර්ම ප්රමුඛව තබන නිවාස පරිසරයක් බවට මෙය පැහැදිලි සිහිගැන්වීමක් වශයෙන් ක්‍රියා කළ යුතුයි.
දේවමාළිගාවේදී, තවත් ඇදහිලිවන්ත, යටහත් පහත් නමස්කාරකයන් දෙදෙනෙකුට යෙහෝවා අනුග්‍රහය දැක්වුවා. “දේවමාළිගාවෙන් අහක්ව නොගොස්” සිටි 84-හැවිරිදි වැන්දඹුවක් වූ ආනා එක් තැනැත්තියක්. (ලූක් 2:36, 37) ඇදහිලිවන්ත මහලු මනුෂ්‍යයෙකු වූ සිමියොන් තවත් තැනැත්තෙක්. දෙවි ඔවුන්ට දී තිබුණු වරප්‍රසාදය, එනම් පොරොන්දු වූ මෙසියස් වෙන්න යන තැනැත්තාව ඔවුන් මියයෑමට පෙර දකින්න ලැබීම, ඔවුන්ගේ ඉමහත් ප්‍රීතියට හේතු වුණා. සිමියොන් දරුවා ගැන අනාවැකියක් පවසනවා. එය බලාපොරොත්තුවෙන් පිරි අනාවැකියක් නමුත් තරමක ශෝකජනක එකක්. කෙදිනක හෝ තම ආදරණීය පුත්‍රයා ගැන ශෝකයෙන් වෙළීයයි කියා ඔහු මේ තරුණ මව වූ මරියා සම්බන්ධයෙන් පුරෝකථනය කරයි.—ලූක් 2:25-35.
අනතුරට පත් දරුවෙක්
මේ අහිංසක දරුවා වෛරයට පාත්‍ර වෙයි යන සිමියොන්ගේ අනාවැකිය දුකට පත් කරවන සිහිගැන්වීමක්. ඔහු බිළිඳෙකුව සිටියදීම, මේ වෛරය ක්‍රියාත්මක වෙමින් තිබුණා. මෙය සිදු වන ආකාරය සම්බන්ධයෙන් මතෙව්ගේ වාර්තාවේ විස්තර කරනවා. මාස කීපයක් ගත වී ඇති අතර යෝසෙප්, මරියා සහ යේසු දැන් බෙත්ලෙහෙමෙහි නිවසක ජීවත් වෙමින් සිටිනවා. අමුත්තන් කීපදෙනෙක්ම අනපේක්ෂිත ලෙස ඔවුන්ව බලන්න පැමිණෙනවා. උපතේ දර්ශනවල කොහොම දක්වා තිබුණත් මේ මනුෂ්‍යයන්ගෙන් කීදෙනෙක් පැමිණියාද කියා මතෙව් පැහැදිලි විස්තරයක් නොදෙන අතර, ඔවුන්ව ඔහු “ප්‍රඥාවන්තයන්” කියා හෝ කොහෙත්ම “රජතුන් කට්ටුව” කියා හෝ හැඳින්නුවේ නැහැ. ඔහු පාවිච්චි කරන්නේ “ශාස්ත්‍රවන්තයන්” යන අර්ථය ඇති මාʹජි නම් ග්‍රීක් වචනයයි. නක්ෂත්රය දෙවිගේ වචනය මගින් පිළිකුල් කරන දෙයක් වන අතර, ඇදහිලිවන්ත යුදෙව්වන් එයින් සුපරීක්ෂාකාරිව වැළකුණ නිසා, යම් නපුරු දෙයක් මෙහි ක්‍රියාත්මක වෙන බවට එයින් පමණක්ම පාඨකයාට ඉඟියක් ලැබිය යුතුයි.—ද්විතීය කථාව 18:10-12; යෙසායා 47:13, 14.
මේ ශාස්ත්‍රවන්තයන් නැඟෙනහිරෙන් පැමිණි තරුවක් අනුව පැමිණ තිබෙන අතර, ‘යුදෙව්වරුන්ට රජව උපන් තැනැත්තා’ සඳහා තෑගි රැගෙන විත් තිබෙනවා. (මතෙව් 2:2) නමුත් තාරකාව ඔවුන්ව බෙත්ලෙහෙමට මඟ පෙන්වන්නේ නැහැ. එය ඔවුන්ව යෙරුසලමට හා මහා හෙරොද් වෙතට ගෙන යනවා. කුඩා යේසුට හානි කිරීම සඳහා මෙතරම් බලයක් හා අභිප්රායක් ඇති මනුෂ්‍යයෙක් මුළු ලෝකයේම නැහැ. මිනීමැරීමේ චේතනාවෙන් යුතු වූ මෙම අභිලාෂකාමී මනුෂ්‍යයා, තර්ජන වශයෙන් සැලකූ ඔහුගේම පවුලේ සාමාජිකයන් කීපදෙනෙකුව මරණයට පත් කර තිබුණා.a අනාගත ‘යුදෙව් රජෙකුගේ’ උපත පිළිබඳ අහන්න ලැබී කලබලයට පත් ඔහු බෙත්ලෙහෙමෙහි සිටි ඒ තැනැත්තාව සෙවීමට ශාස්ත්රවන්තයන්ව පිටත් කර යවනවා. ඔවුන් යද්දී, අමුතු දෙයක් සිද්ධ වෙනවා. යෙරුසලමට යෑමට ඔවුන්ට මඟ පෙන්වූ “තාරකාව” ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා.—මතෙව් 2:1-9.
මෙය අහසෙහි ඇත්තෙන්ම පෙනෙන්න තිබුණු ආලෝකයක්ද නැත්නම් නිකම්ම දර්ශනයක්ද කියලා අප ඇත්තටම දන්නේ නැහැ. නමුත් මේ “තාරකාව” දෙවිගෙන් වූවක් නොවූ බව නම් අප දන්නවා. දිළිඳු වඩුවෙකු හා ඔහුගේ භාර්යාවගෙන් පමණක් රැකවරණය ලැබූ අසරණ මෙන්ම පහසු ගොදුරක් විය හැකිව සිටි ළමා යේසු වෙතට මෙම මිථ්‍යා නමස්කාරකයන්ව, කෙළින්ම මඟ පෙන්නුවා. එසේ කළේ කෲර අභිලාෂයකිනි. නොදැනුවත්කමින් හෙරොද්ට රැවටුණු ශාස්ත්‍රවන්තයන් දරුවාගේ විනාශයට මඟ පාදමින්, පළිගැනීමට මාන බලමින් සිටි රජට යළිත් වාර්තා කරන්න ඉඩ තිබුණා. නමුත් දෙවි, සිහිනයක් මගින් මැදිහත් වන අතර වෙනත් මාර්ගයකින් ඔවුන්ව නිවෙස් බලා යවයි. එසේනම්, “තාරකාව,” මෙසියස්ට අනතුරු කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටි දෙවිගේ සතුරා වූ සාතන්ගේ උපක්‍රමයක් විය යුතුයි. උපතේ දර්ශනවල දෙවිගේ දූතයන් වශයෙන් “තාරකාව” හා ශාස්ත්රවන්තයන්ව දක්වා තිබීම කොයිතරම් උපහාසයක්ද!—මතෙව් 2:9-12.
ඒ වුණත්, සාතන් අත්හරින්නේ නැහැ. මේ කාරණයේදී ඔහුගේ ඉත්තා වූ හෙරොද් රජ බෙත්ලෙහෙමෙහි සිටි අවුරුදු දෙකෙන් පහළ ළදරුවන්ව මරා දමන ලෙසට අණ කරයි. නමුත් යෙහෝවාට එරෙහිව කරන සටනින් ජයගැනීමට සාතන්ට නොහැකියි. අහිංසක දරුවන්ගේ මෙම කෲර ඝාතනය පවා දෙවි බොහෝ කලකට පෙර දැක තිබූ බව මතෙව් සඳහන් කරනවා. ආරක්ෂාව සඳහා මිසරයට පලා යන්න කියා දේවදූතයෙකු මාර්ගයෙන් යෝසෙප්ට අනතුරු අඟවමින් යෙහෝවා නැවතත් සාතන්ට එදිරිව ක්‍රියා කළා. ඉන් ටික කලකට පසු යෝසෙප් නැවතත් ඔහුගේ පුංචි පවුල රැගෙන නාසරෙත්ට ගිය අතර අන්තිමේදී ඔවුන් එහි පදිංචි වූ බවත්, එහිදී යේසු ඔහුගේ බාල සහෝදර සහෝදරියන් සමඟ වැඩුණු බවත් මතෙව් වාර්තා කරනවා.—මතෙව් 2:13-23; 13:55, 56.
ක්‍රිස්තුස්ගේ උපත—ඔබට ඉන් අදහස් කරන දේ
යේසුගේ උපත හා ළමා කාලයේ මුල් අවදිය වටා ගෙතී ඇති සිද්ධීන් පිළිබඳ මේ සාරාංශය මගින් ඔබ යම් තරමකට පුදුම වූ බවක් ඔබට හැඟෙනවාද? බොහෝදෙනෙකුට එසේ හැඟෙනවා. සමහරු මෙයට පටහැනිව නිර්භීත ප්‍රකාශයන් කළත්, වාර්තාවන් ඇත්තෙන්ම එකඟව හා නිවැරදිව තිබෙනවා දැකීමෙන් ඔවුන් පුදුමයට පත් වෙනවා. සමහර සිද්ධි වර්ෂ සියගණනකට කලින් පුරෝකථනය කර තිබෙන බව දැනගැනීමට ලැබීමෙන් ඔවුන් පුදුමයට පත් වෙනවා. එමෙන්ම සුවිශේෂවල තිබෙන ඇතැම් ප්‍රධාන කරුණුවල, උපත පිළිබඳ සම්ප්‍රදායානුකූල කතන්දර හා ගවලෙන්වල දර්ශනවලට වඩා පැහැදිලි වෙනසක් තිබෙන බව දැකීමෙන් ඔවුන් පුදුමයට පත් වෙනවා.
එහෙත්, සියල්ලකටමත් වඩා වැඩියෙන්ම පුදුමයට පත් කරවන දේ තමයි, සම්ප්‍රදායානුකූල නත්තල් උත්සව මගින් සුවිශේෂවල තිබෙන ඉතා වැදගත් කරුණු ඉවත් කර තිබීම. උදාහරණයක් වශයෙන් යේසුගේ පියාට, එනම් යෝසෙප් නොව යෙහෝවා දෙවිට සැලකිල්ල දක්වන්නේ ස්වල්ප වශයෙන්. ඔහුගේ ආදරණීය පුත්‍රයාව ඇති දැඩි කිරීමට හා ඔහුට අවශ්‍ය දේ සැපයීමට යෝසෙප් හා මරියාට භාර දෙද්දී ඔහුට ඇති වූ හැඟීම් ගැන සිතා බලන්න. තම පුත්‍රයා හුදෙක් දරුවෙකුව සිටියදී පවා මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කරනු ඇති වෛරයෙන් පිරි රජෙකු සිටින ලෝකයක ඔහුට වැඩෙන්න හරිද්දී, ස්වර්ගික පියාට ඇති වූ වේදනාව ගැන කල්පනා කර බලන්න! මේ පරිත්‍යාගය කිරීමට යෙහෝවාව පෙලඹුවේ මනුෂ්‍යවර්ගයා සඳහා තිබූ ගැඹුරු ප්‍රේමයයි.—යොහන් 3:16.
නත්තල් උත්සවවල බොහෝවිට සැබෑ යේසුව දකින්න නැහැ. ඇත්තෙන්ම, ඔහු තම උපන්දිනය ගෝලයන්ට පැවසූ බවක්වත් සඳහන් වී නැහැ; ඔහුගේ අනුගාමිකයන් ඔහුගේ උපන්දිනය පැවැත්වූ බවට කිසි ඇඟවීමක්වත් කර නැහැ.
යේසුගේ උපත නොව නමුත් වැදගත් වුණේ ඔහු තම අනුගාමිකයන්ට සැමරීමට අණ කළ ඔහුගේ මරණය හා එහි ඓතිහාසික වැදගත්කමයි. (ලූක් 22:19, 20) යේසුගේ කැමැත්ත වුණේ ගව ඔරුවක බාවලා සිටින අසරණ බිළිඳෙකු හැටියට ඔහුව මතක් කිරීම නොවෙයි; මන්ද දැන් ඔහු ඇත්තෙන්ම බිළිඳෙක් නොවන නිසායි. ඔහුගේ මරණයෙන් වසර 60කට වැඩි කාලයකට පසුව, සටනට එමින් සිටින බලවත් රජෙකු ලෙස යේසු ප්‍රේරිත යොහන්ට තමාව හෙළි කළා. (එළිදරව් 19:11-16) යේසු ලෝකය වෙනස් කරන රජෙකු නිසා, අදදින අප ඔහුව දැනහඳුනා ගත යුත්තේ දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ පාලකයා වශයෙන් දරන එම වැඩකොටස තුළදීයි.
[පාදසටහන]
a ඇත්තවශයෙන්ම, හෙරොද්ගේ පුත්‍රයෙක් වනවාට වඩා හෙරොද්ගේ ඌරෙක් වෙන එක වඩාත් ආරක්ෂා සහිත බව කායිසර් අගොස්තුස්ට වැටහුණා.
[7වන පිටුවේ කොටුව⁄පින්තූර]
ලූක්ට වැරදී තිබුණාද?
නාසරියයෙකු ලෙස සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ, නාසරෙත්හි වැඩුණු යේසුට, කිලෝමීටර් 150ක් පමණ එපිට බෙත්ලෙහෙමෙහි උපදින්න හැකි වුණේ කොහොමද? ලූක් මෙසේ පැහැදිලි කරනවා: “තවද ඒ දවස්වලදී [යේසුගේ උපතට පෙර] මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහි කිරේනියස් සිරියායේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි. සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය.”—ලූක් 1:2; 2:1-3.
ඉහත සඳහන් කොටස වැරදීමක්, එහෙමත් නැත්නම් ඊටත් වඩා බොරුවක් වශයෙන් දක්වමින් විවේචකයන් නොසෑහෙන්න විරෝධය පළ කරනවා. මෙම ජනලේඛනය හා කිරේනියස්ගේ පාලනය සිදු වුණේ පො.යු. 6දී හෝ 7දී බව ඔවුන් තරයේ කියා සිටිනවා. ඔවුන් හරි නම්, යේසු ඉපදුණේ පො.යු.පෙ. 2දී බවට සාක්ෂි පැහැදිලි කරන නිසා එය ලූක්ගේ වාර්තාව කෙරෙහි බරපතළ සැකයක් ජනිත කරයි. නමුත් මේ විවේචකයන් ප්‍රධාන සාධක දෙකක් මඟහරියි. පළමුව, එක ජනලේඛනයකට වඩා තිබුණු බව ලූක් පිළිගන්නවා; “මේ වනාහි . . . පළමුවෙනි ලේඛනයයි” කියා ඔහු යොමු දක්වන බව සැලකිල්ලට ගන්න. පසුව සිදු කෙරුණු වෙනත් ලියාපදිංචි කිරීමක් ගැන ඔහු හොඳින් දැනගෙන හිටියා. (ක්‍රියා 5:37) මෙම පසු ජනලේඛනය, පො.යු. 6දී සිදු වූ බවට ඉතිහාසඥ ජොසීෆස් විස්තර කළ එකමයි. දෙවනුව, කිරේනියස්ගේ පාලකත්වය යේසුගේ උපත පසුව සඳහන් කළ දිනයට දැමීමට අපට බල කරන්නේ නැහැ. මන්ද? කිරේනියස් පැහැදිලිවම එම තනතුරේ දෙවතාවක් සිටි නිසයි. ඔහුගේ මුල්ම වතාවට පො.යු.පෙ. 2ද ඇතුළත් වූ බව බොහෝ ප්‍රවීණයෝ පිළිගන්නවා.
මීකා 5:2 ඉටු කිරීමේ අදහසින් යේසුට බෙත්ලෙහෙමෙහි ඉපදීම සඳහා හේතුවක් මවමින්, ලූක් ජනලේඛනයක් බිහි කළ බවට ඇතැම් විවේචකයන් පවසනවා. මේ න්‍යාය ලූක්ව සිතා මතා බොරු කියන්නෙක් බවට පත් කරන අතර, සුවිශේෂය හා ක්‍රියා පොත ලියූ සුපරීක්ෂාකාරි ඉතිහාසඥයෙකුට එවැනි මතයක් සම්බන්ධ කරන්න කිසිම විවේචකයෙකුට බැහැ.
කිසිම විවේචකයෙකුට පැහැදිලි කළ නොහැකි තවත් දෙයකි මෙය: එනම් ජනලේඛනයම අනාවැකියක් ඉටු කර තිබීම! පොදු යුගයට පෙර හයවන සියවසේදී, “රාජ්‍යයේ අලංකාර දේශයෙහි ආදායම් අයකරන්නෙකු ඇවිදින්ට සලස්වන” පාලකයෙක් ගැන දානියෙල් අනාවැකි පළ කළා. මෙය අගොස්තුස්ටත්, ඉශ්රායෙලයේ ජනලේඛනයක් ගැනීමට දුන් ඔහුගේ නියෝගයටත් අදාළ වුණාද? ඇත්තෙන්ම, මෙම පාලකයාගේ අනුප්රාප්තිකගේ පාලන සමයේදී, මෙසියස් නැතහොත් ‘ගිවිසුමක් කරගත් අධිපතියාව . . . බිඳිනු ලබන’ බවට තවදුරටත් අනාවැකියෙහි පුරෝකථනය කෙරෙනවා. අගොස්තුස්ගේ අනුප්‍රාප්තික වන තිබේරියස්ගේ පාලන සමයේදී ඇත්තෙන්ම යේසුව ‘බිඳිනු ලැබුවා,’ එනම් මරණයට පත් කළා.—දානියෙල් 11:20-22.
[පින්තූර]
කායිසර් අගොස්තුස් (පො.යු.පෙ. 27-පො.යු. 14)
තිබේරියස් කායිසර් (පො.යු. 14-37)
[හිමිකම් විස්තර]
Musée de Normandie, Caen, France
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය අනුග්‍රහයෙන් ගත් ඡායාරූපය
[8වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්ගේ උපත පිළිබඳ ශුභාරංචිය දීමෙන් යටහත් පහත් එඬේරුන්ට යෙහෝවාගේ දූතයා අනුග්‍රහය දැක්වුවා