-
යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයිදානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
-
-
දහඅටවන පරිච්ඡේදය
යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
1, 2. (අ) ජයගැනීමට නම්, තරඟයක දුවන්නෙකුට අවශ්‍ය වන වැදගත් ගුණාංගය කුමක්ද? (ආ) ප්‍රේරිත පාවුල්, යෙහෝවාගේ සේවය තුළ ඇදහිලිවන්ත ජීවිතයක් ගත කිරීම, දිවීමේ තරඟයකට සමාන කළේ කෙසේද?
තරඟය සඳහා දුවන්නෙක් දිනුම් කණුව කරා ඇදෙයි. ඔහු හොඳටම හෙම්බත්ව සිටියි. එහෙත්, ඉලක්කය පෙනෙන්න තිබෙන නිසා, අවසාන පියවර කිහිපය වෙනුවෙන්, ඔහු සෑම ශක්ති කලඳක්ම යොදවයි. සෑම මාංශ පේශියකින්ම උපරිම ප්‍රයෝජන ගනිමින්, අන්තිමේදී ඔහු කණුව පසු කරයි! සැනසිල්ල සහ ජයග්‍රහණය ඔහුගේ මුහුණේ දිස් වෙයි. අවසානය තෙක් විඳදරාගැනීම ජය ගෙනෙයි.
2 දානියෙල් 12වන පරිච්ඡේදයේ අවසානයේදී, ප්‍රේමනීය අනාගතවක්තෘවරයා ඔහුගේ ‘දිවීමේ තරඟයේ’ එනම්, යෙහෝවාගේ සේවය තුළ යෙදවූ තම ජීවිතයේ, දිනුම් කණුව කරා ළඟා වෙමින් සිටින ආකාරය අප දකිනවා. යෙහෝවාගේ පූර්ව ක්‍රිස්තියානි සේවකයන් අතරෙහි ඇදහිල්ලේ විවිධ ආදර්ශ සඳහන් කිරීමෙන් පසු, ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන් යුතුව, NW] දුවමු. ඔහු වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වදකණුව, NW] දරාගන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’—හෙබ්‍රෙව් 12:1, 2.
3. (අ) ‘විඳදරාගැනීමෙන් යුතුව දිවීමට’ දානියෙල්ව පෙලඹුවේ කුමක්ද? (ආ) යෙහෝවාගේ දූතයා දානියෙල්ට පැවසූ විශේෂිත කාරණා තුන මොනවාද?
3 එම ‘මහත් සාක්ෂිකාර සේනාවට’ දානියෙල්ද ඇතුළත් වුණා. නිසැකවම, ඔහු ‘විඳදරාගැනීමෙන් යුතුව දිවීමට’ සිදු වූ අයගෙන් කෙනෙක් වූ අතර, එසේ කිරීමට ඔහුව පෙලඹෙව්වේ, දෙවි සඳහා තිබූ ගැඹුරු ප්‍රේමයයි. ලෝක ආණ්ඩුවල අනාගතය ගැන යෙහෝවා දානියෙල්ට බොහෝ දේ හෙළි කළත්, දැන් දෙවි ඔහුට මේ පෞද්ගලික දිරිගැන්වීම එවනවා: “ඔබ අවසානය දක්වා යන්න; ඔබ සැතපෙනවා ඇත. එහෙත්, දවස් කෙළවර වූ විට, ඔබේ කොටස සඳහා ඔබ නැඟිටිනවා ඇත.” (දානියෙල් 12:13, NW) යෙහෝවාගේ දූතයා දානියෙල්ට විශේෂිත කාරණා තුනක් කියනවා: එනම්, (1) දානියෙල් “අවසානය දක්වා යන්න” අවශ්‍ය බවත්, (2) ඔහු “සැතපෙන” බවත්, (3) ඔහු අනාගතයේදී නැවතත් “නැඟිටින” බවත්ය. ජීවිතය සඳහා දිවීමේ තරඟයේ දිනුම් කණුව දක්වා විඳදරාගෙන යෑමට, මේ වචන අදදින සිටින ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නේ කෙසේද?
“අවසානය දක්වා යන්න”
4. “අවසානය දක්වා යන්න” කීමෙන් යෙහෝවාගේ දූතයා අදහස් කළේ කුමක්ද? එමෙන්ම, එය දානියෙල්ට අභියෝගයක් වන්න ඇත්තේ මන්ද?
4 “ඔබ අවසානය දක්වා යන්න” කියා දේවදූතයා දානියෙල්ට කියද්දී, ඔහු එයින් අදහස් කළේ කුමක්ද? කුමක අවසානයද? දානියෙල් අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටි අතර, පෙනෙන විදිහට මෙය යොමු දැක්වූයේ, අවසන් වීමට ඉතා ආසන්නව තිබූ ඔහුගේ ජීවිත කාලයටයි.a මරණය දක්වා ඇදහිලිවන්තව විඳදරාගන්න කියා දේවදූතයා දානියෙල්ගෙන් උදක්ම ඉල්ලමින් සිටියා. එහෙත්, එසේ කිරීම ඇත්තෙන්ම පහසු දෙයක් වුණේ නැහැ. බබිලෝනිය පරාජය වීම සහ යුදෙව් වහලුන්ගේ කුඩා කණ්ඩායමක් නැවත යුදයට සහ යෙරුසලමට යෑම දැකීමට දානියෙල් ජීවත් වුණා. ඒ දේවල් මහලු අනාගතවක්තෘවරයාට මහත් ප්‍රීතියක් ගෙනෙන්න ඇති. කෙසේවෙතත්, එම ගමනට ඔහුත් හවුල් වුණා කියා සොයාගැනීමට වාර්තාවක් නැහැ. ඒ වෙද්දී ඔහු හොඳටම මහලුව සහ දුර්වලව සිටින්න ඇති. එහෙමත් නැත්නම්, ඔහු බබිලෝනියේ සිටීම යෙහෝවාගේ කැමැත්ත වූවා විය හැකියි. කොයි ආකාර වුණත්, තම රටවැසියන් යුදයට යද්දී, එහි යෑමට දානියෙල් ප්‍රාර්ථනා කළාද නැද්ද යන්න ගැන අප තුළ කුතුහලයක් ඇති වෙන බව නොඅනුමානයි.
5. දානියෙල් අවසානය දක්වා විඳදරාගත් බවට තිබෙන ඇඟවීම කුමක්ද?
5 “අවසානය දක්වා යන්න” යයි පැවසූ දේවදූතයාගේ කාරුණික වචනවලින් දානියෙල් මහත් ශක්තියක් ලබාගත්තාට කිසිම සැකයක් නැහැ. ඉන් ශතවර්ෂ හයකට පමණ පසු යේසුස් ක්‍රිස්තුස් කී වචන අපට මතක් කරගත හැකියි: “අවසානය දක්වා විඳදරාගෙන සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13, NW) දානියෙල් කළෙත් ඒ දෙයම බවට සැකයක් නැහැ. ඔහු අවසානය දක්වා විඳදරාගත්ත අතර, ජීවිතය නමැති දිවීමේ තරඟයේ නිමාව දක්වාම ඇදහිලිවන්තව දිව්වා. පසු කාලයේදී ඔහු ගැන සතුටුදායක ලෙස දේවවචනයේ සඳහන් කිරීමට එය එක හේතුවක් විය හැකියි. (හෙබ්‍රෙව් 11:32, 33) අවසානය දක්වා විඳදරාගැනීමට දානියෙල්ට හැකි වූයේ කුමක් නිසාද? ඊට උත්තර ලබාගැනීමට ඔහුගේ ජීවිත වාර්තාව අපට උපකාර කරනවා.
දෙවිගේ වචනයේ ශිෂ්‍යයෙක් ලෙස විඳදරාගැනීම
6. දානියෙල් දෙවිගේ වචනයේ උනන්දුමත් ශිෂ්‍යයෙක්ව සිටි බව අප දන්නේ කෙසේද?
6 අවසානය දක්වා දෙවිගේ ප්‍රීතිමත් පොරොන්දු දිගටම අධ්‍යයනය කිරීමත්, ගැඹුරට මෙනෙහි කිරීමත්, දානියෙල්ගේ විඳදරාගැනීමට ඇතුළත් වුණා. දානියෙල් දෙවිගේ වචනයේ උනන්දුමත් ශිෂ්‍යයෙක්ව සිටියා. එසේ නොවූවා නම්, වහල් කාලපරිච්ඡේදය අවුරුදු 70ක් වන බවට යෙහෝවා යෙරෙමියාට දුන් පොරොන්දුව ගැන ඔහු දැනගත්තේ කොහොමද? දානියෙල්ම මෙසේ ලිව්වා: “අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව . . . මම පොත්වලින් තේරුම්ගත්තෙමි.” (දානියෙල් 9:2; යෙරෙමියා 25:11, 12) මෙසේ, දානියෙල් එවකට තිබුණු දෙවිගේ වචනයේ පොත් සොයා බැලූ බව සැක කිරීමට හේතුවක් නැහැ. ඔහුට ලබාගැනීමට හැකි වූ ඕනෑම ලියවිල්ලක් එනම්, මෝසෙස්ගේ, දාවිත්ගේ, සාලමොන්ගේ, යෙසායාගේ, යෙරෙමියාගේ සහ එසකියෙල්ගේ ලියවිලි, කියවීම සහ මෙනෙහි කිරීම සඳහා දානියෙල්ට ආස්වාදජනක අවස්ථා රැසක් උදා කළ බව ස්ථිරයි.
7. අපගේ කාලය දානියෙල්ගේ දවස හා සසඳද්දී, දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අපට ඇති වාසි මොනවාද?
7 අදදින අප විඳදරාගැනීම දියුණු කරගන්න නම්, දෙවිගේ වචනය පාඩම් කිරීමත් එහි තදින් නියැලී සිටීමත් ඉතාම වැදගත්. (රෝම 15:4-6; 1 තිමෝති 4:15) දානියෙල්ගේ අනාවැකිවලින් සමහරක් සියවස් ගණනාවකට පසුව ඉටු වූ ආකාරය දක්වන ලිඛිත වාර්තා ඇතුළත් සම්පූර්ණ බයිබලයම අපට තිබෙනවා. දානියෙල් 12:4හි පුරෝකථනය කර ඇති ආකාරයට, “අන්තිම කාලය” තුළ ජීවත් වීමේ ආශීර්වාදයද අපට තිබෙනවා. අපගේ දවසේදී, මේ අඳුරු වන්නාවූ ලෝකයේ, සත්‍යයේ පහන් සිළු මෙන් බැබළෙමින් ආලේප ලත් අය ආත්මික තීක්ෂ්ණ බුද්ධියෙන් ආශීර්වාද ලබා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, දානියෙල්ව පවා අන්දුන් කුන්දුන් කළ අනාවැකි ඇතුළු, දානියෙල් පොතේ සඳහන් බොහෝ ගැඹුරු අනාවැකි අපේ දවසට මහත් අර්ථවත්බවින් යුක්ත වෙනවා. එමනිසා, මේ දේවල් සුළු නොකර, දෙවිගේ වචනය දිනපතාම අධ්‍යයනය කරමු. එසේ කිරීම, විඳදරාගැනීම සඳහා අපට උපකාර කරන්න යනවා.
දානියෙල් නොකඩවා යාච්ඤා කළා
8. යාච්ඤාව සම්බන්ධයෙන් දානියෙල් තැබූ ආදර්ශය කුමක්ද?
8 අවසානය දක්වා විඳදරාගැනීමට යාච්ඤාවත් දානියෙල්ට උපකාර කළා. ඔහු ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් පිරි හෘදයකින් යුතුව දිනපතාම යෙහෝවා දෙවි වෙත හැරී, ඔහු සමඟ විවෘතව කතා කළා. ‘යාච්ඤා අසන තැනැත්තා’ යෙහෝවා බව ඔහු දැන සිටියා. (ගීතාවලිය 65:2; සසඳන්න හෙබ්‍රෙව් 11:6.) ඉශ්රායෙල්වරුන්ගේ කැරලිකාර ක්‍රියා නිසා දානියෙල්ගේ හෘදය බරව තිබූ විට, තම හෘදය ඔහු යෙහෝවා ඉදිරියෙහි වැගිරෙව්වා. (දානියෙල් 9:4-19) දින 30ක් පුරා තමන්ගෙන් පමණක් ඉල්ලීම් කළ යුතුයයි දාරියුස් කළ නියෝගයට පවා, තමන්ව යාච්ඤාවෙන් වළක්වන්න දානියෙල් ඉඩ දුන්නේ නැහැ. (දානියෙල් 6:10) යාච්ඤාවේ අනගි වරප්‍රසාදය අත්හැර දමනවාට වඩා සිංහයන් පිරි ගුහාවකට යෑමට තරම් නිර්භීත වූ මේ ඇදහිලිවන්ත මහලු මිනිසාව සිතින් මවාගැනීම අපේ සිත්ගන්නේ නැද්ද? දානියෙල් ඇදහිලිවන්තව සෑම දවසකම මහත් උනන්දුවකින් යෙහෝවාට යාච්ඤා කරමින් තම අවසානය දක්වා ගිය බවට කිසිම සැකයක් නැහැ.
9. යාච්ඤාවේ වරප්‍රසාදය අප කිසිවිටෙක සුළු කොට නොතැකිය යුත්තේ මන්ද?
9 යාච්ඤාව සරල ක්‍රියාවක්. අපට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට, ශබ්ද නඟා හෝ නිහඬව යාච්ඤා කළ හැකියි. කෙසේවෙතත්, මේ අනගි වරප්‍රසාදයේ අගය අප කිසිවිටෙක සුළු නොකළ යුතුයි. බයිබලයෙහි යාච්ඤාව සමඟ, විඳදරාගැනීම සහ අඛණ්ඩ උත්සාහය සහ ආත්මිකව අවදිව සිටීම සම්බන්ධ කර තිබෙනවා. (ලූක් 18:1; රෝම 12:12; එපීස 6:18; කොලොස්සි 4:2) විශ්වයේ සිටින උසස්ම තැනැත්තා සමඟ අපට බාධාවකින් තොරව සහ විවෘතව අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයක් තිබීම විශිෂ්ට දෙයක් නෙවෙයිද? එපමණක් නොවෙයි, ඔහු ඇහුම්කන් දෙනවා! දානියෙල් යාච්ඤා කළ අවස්ථාවත්, ප්‍රතිචාරය දක්වමින් යෙහෝවා දේවදූතයෙකුව එවීම ගැනත් මතක් කරගන්න. දේවදූතයා පැමිණියේ දානියෙල් යාච්ඤා කරමින් සිටි අතරතුරේදීමයි! (දානියෙල් 9:20, 21) අප සිටින්නේ එවැනි දේවදූත බැහැදැකීම් සිදු වන යුගයක නොවිය හැකි වුණත්, යෙහෝවා වෙනස් වෙලා නැහැ. (මලාකී 3:6) දානියෙල්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා වගේ, ඔහු අපේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා. එමෙන්ම, අප යාච්ඤා කරද්දී, දානියෙල්ට හැකි වුණා වගේ, අවසානය දක්වා විඳදරාගැනීමට අපට උපකාර කරන බැඳීමක් ඇති කරගනිමින් අප යෙහෝවා වෙතට තව තවත් ළං වෙන්න යනවා.
දේවවචනයේ ගුරුවරයෙකු වශයෙන් විඳදරාගැනීම
10. දෙවිගේ වචනයෙහි සත්‍යතාව ඉගැන්වීම දානියෙල්ට වැදගත් වූයේ මන්ද?
10 තවත් ආකාරයකින් දානියෙල්ට “අවසානය දක්වා යන්න” සිදු වුණා. සත්‍යතාවේ ගුරුවරයෙක් වශයෙන් විඳදරාගැනීමට ඔහුට සිදු වුණා. “නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි [යෙහෝවා කියන්නේය]” යයි ශුද්ධ ලියවිලිවල කියා ඇති ආකාරයට, තමන්ද තෝරාගත් සෙනඟගෙන් කෙනෙක් යන්න ඔහු කිසිදාක අමතක කළේ නැහැ. (යෙසායා 43:10) ඒ මෙහෙය ඉටු කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම දානියෙල් කළා. බබිලෝනියේ වහල්භාවයේ සිටි තම සෙනඟට ඉගැන්වීම පෙනෙන විදිහට, ඔහුගේ වැඩයට ඇතුළත් වුණා. දානියෙල්ගේ “මිත්‍රයන් [NW]” ලෙස හඳුන්වා ඇති හනනියා, මීෂායෙල් සහ අසරියා යන අය ගැන ඇරෙන්න, සෙසු යුදෙව්වන් සමඟ දානියෙල්ට තිබූ සම්බන්ධය පිළිබඳව අප එතරම් දන්නේ නැහැ. (දානියෙල් 1:7; 2:13, 17, 18) කෙසේවෙතත්, ඔවුනොවුන් අතර පැවති කිට්ටු මිත්‍රත්වය, විඳදරාගැනීම සඳහා ඔවුන්ට බොහෝ සේ උපකාර කළ බවට කිසිම සැකයක් නැහැ. (හිතෝපදේශ 17:17) තවදුරටත්, විශේෂ තීක්ෂ්ණ බුද්ධිය ලැබීම හේතුවෙන් දානියෙල් යෙහෝවාගෙන් ආශීර්වාද ලැබූ අතර, මේ හේතුවෙන්, ඔහුගේ මිත්‍රයන්ට උගන්වන්න ඔහුට බොහෝ දේ තිබුණා. (දානියෙල් 1:17) එහෙත්, ඔහු වෙනත් ඉගැන්වීමක් කිරීමටත් නියමිතව තිබුණා.
11. (අ) දානියෙල්ගේ වැඩය අද්විතීය වූයේ කිනම් හේතු නිසාද? (ආ) තම අසාමාන්‍ය පැවරුම ඉටු කිරීමේදී දානියෙල් කොතරම් ඵලදායක වුණාද?
11 වෙන කිසිම අනාගතවක්තෘවරයෙකුට වඩා අන්‍යජාතික උසස් නිලධාරීන්ට සාක්ෂි දරන්න දානියෙල්ට පැවරුණා. බොහෝ අවස්ථාවලදී, මේ පාලකයන් ඉදිරියට ඔවුන් අකමැති පණිවිඩ ගෙන යන්න ඔහුට සිදු වුණත්, ද්වේෂ කළ යුතු අය ලෙස එහෙම නැත්නම් තමන්ට වඩා පහත් අය ලෙස ඔහු ඔවුන්ව සැලකුවේ නැහැ. ඔහු ඔවුන්ට ගෞරවනීය ලෙස මෙන්ම ව්‍යක්ත ලෙස කතා කළා. දානියෙල්ව නැති කර දමන්න සමහර කුඩුකේඩු, කුමන්ත්‍රණකාරි දිසාපතීන් වැනි අය බලා සිටියත්, කල්යත්ම අනිකුත් උසස් නිලධාරීන් ඔහුට ගෞරව කරන්න පටන්ගත්තා. රජුන්ව සහ ශාස්ත්රවන්තයන්ව අන්දුන් කුන්දුන් කළ රහස් හෙළි කරන්න යෙහෝවා ඔහුට බලය දුන් නිසා, මේ අනාගතවක්තෘවරයාට උසස් තානාන්තර හිමි වුණා. (දානියෙල් 2:47, 48; 5:29) ඔහු මහලු වෙද්දී, තම තරුණ වයසේ මෙන් ක්‍රියාශීලීව සිටින්න ඔහුට හැකි වූයේ නැති බව ඇත්තයි. ඒ වුණත්, තම ප්‍රේමනීය දෙවිගේ සාක්ෂිකරුවෙකු හැටියට ඔහුට සේවය කරන්න පුළුවන් සෑම ප්‍රස්තාවක්ම අල්ලාගනිමින් ඔහු ඇදහිලිවන්තව තම අවසානය දක්වා ගමන් කළ බව ස්ථිරයි.
12. (අ) ක්‍රිස්තියානීන් හැටියට අප අද යෙදී සිටින්නේ කිනම් ඉගැන්වීමේ වැඩවලද? (ආ) “පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න” යන පාවුල්ගේ උපදේශය පිළිපදින්න අපට හැක්කේ කෙසේද?
12 දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තිදෙනා එකිනෙකාට උපකාර කළා වගේ, විඳදරාගැනීමට අපට උපකාර කරන ඇදහිලිවන්ත මිත්රයන්ව අදදින ක්‍රිස්තියානි සභාව තුළින්ද සොයාගත හැකියි. “අන්‍යොන්‍ය දිරිගැන්වීමක්” සපයමින්, අපද එකිනෙකාට උගන්වනවා. (රෝම 1:11, 12, NW) දානියෙල් මෙන් නොඇදහිලිකාරයන්ට සාක්ෂි දරන්න අපටත් මෙහෙයක් තිබෙනවා. (මතෙව් 24:14; 28:19, 20) යෙහෝවා ගැන ජනයාට කතා කිරීමේදී, ‘සැබෑවේ වචනය හරි ආකාරයෙන් පහදා දීම’ සඳහා අප අපේ කුසලතාවන් තියුණු කරගත යුතුයි. (2 තිමෝති 2:15) එමෙන්ම, ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදේශයට අවනත වීම අපට උපකාර කරන්න යනවා: “පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.” (කොලොස්සි 4:5) අපේ ඇදහිල්ල බෙදා නොගන්නා අය සමඟ සමබරව කටයුතු කිරීම එවැනි ප්රඥාවකට අයත් වෙනවා. අප එවැනි අයට වඩා උසස්යයි සිතමින්, ඔවුන්ව පහත් කර සලකන්නේ නැහැ. (1 පේතෘස් 3:15) ඒ වෙනුවට, ඔවුන්ගේ හෘදයට ළඟාවීම සඳහා දේවවචනය උපායශීලිව සහ දක්ෂ ලෙස පාවිච්චි කරමින් ඔවුන්ව සත්‍යය වෙත ආකර්ෂණය කරගැනීමට අප මං සොයනවා. එසේ කෙනෙකු කරා ළඟාවීමෙහි සාර්ථක වූ විට, එය අපට මොනතරම් ප්‍රීතියක් ලබා දෙනවාද! එවැනි ප්‍රීතියක් දානියෙල්ට මෙන්, අපටත් අවසානය දක්වා විඳදරාගන්න ස්ථිරවම උපකාර කරනවා.
“ඔබ සැතපෙනවා ඇත”
13, 14. මියයෑමේ අපේක්ෂාව බොහෝ බබිලෝනිවරුන්ව සන්ත්‍රාසයට පත් කළේ මන්ද? එහෙත්, දානියෙල්ගේ දෘෂ්ටිය මීට වෙනස් වූයේ කෙසේද?
13 දේවදූතයා මීළඟට මෙසේ සහතික වුණා: “ඔබ සැතපෙනවා ඇත.” (දානියෙල් 12:13) එම වචනවලින් අදහස් කළේ කුමක්ද? තමන් සිටින්නේ මරණය අබියස බව දානියෙල් දැන සිටියා. මරණය, ආදම්ගේ දවසේ සිට අපේ දවස දක්වා මුළු මනුෂ්‍යවර්ගයාටම පලා යා නොහැකි අවසානය බවට පත්ව තිබෙනවා. බයිබලය උචිත ලෙස මරණය ‘සතුරෙකු’ ලෙස හඳුන්වනවා. (1 කොරින්ති 15:26) කෙසේවෙතත්, දානියෙල් මරණය ලෙස අපේක්ෂා කළ දෙය, ඔහු වටා සිටි බබිලෝනිවරුන් අපේක්ෂා කළ මරණයට වඩා හාත්පසින්ම වෙනස් එකක් වුණා. ඔවුන් බොරු දෙවිදේවතාවන් 4,000දෙනෙක් ඇතුළත් සංකීර්ණ වන්දනා ක්රමයක ගිලී සිටි අතර, මරණය යන සිතුවිල්ල පවා ඔවුන්ව සන්ත්‍රාසයට පත් කළා. අසතුටෙන් ජීවත් වූ අය හෝ දරුණු ආකාරයෙන් මියගිය අය මැරුණාට පසුව, පළිගන්නා ආත්ම හැටියට ජීවතුන්ට කරදර කරන බව ඔවුන් විශ්වාස කළා. මිනිස් සහ සත්ව වේශ දැරූ කැත අද්භූත රකුසන් පිරි, බියකරු පාතාලයක් තිබෙන බවත් බබිලෝනිවරුන් විශ්වාස කළා.
14 මරණය පිළිබඳ මේ කිසිම විශ්වාසයක් දානියෙල්ට බලපෑවේ නැහැ. දානියෙල්ගේ දවසට අවුරුදු සිය ගණනකට කලින් සාලමොන් රජ දේවානුභාවයෙන් මෙසේ කිව්වා: “මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) මැරෙන අය ගැන ගීතිකාකරු ගායනා කළේ මෙසේයි: “ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.” (ගීතාවලිය 146:4) මේ අනුව, දේවදූතයා තමාට කී වචන සැබෑ වන බව දානියෙල් දැන සිටියා. මරණයෙන් අදහස් කළේ සැතපීමයි. සිතුවිලි තවත් නැහැ, දැඩි අමනාපකම් නැහැ, වද දීමක් නැහැ, ස්ථිරවම අද්භූත රකුසනුත් නැහැ. ලාසරුස් මැරුණු අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස් මේ හා සමාන ආකාරයකට කරුණු පැහැදිලි කළා. ඔහු මෙසේ කිව්වා: “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය.”—යොහන් 11:11.
15. උපන් දවසට වඩා මැරෙන දවස හොඳ විය හැක්කේ කෙසේද?
15 තමන්ට මැරෙන්න සිදු වෙනවා යන්න දානියෙල්ව ත්‍රාසයට පත් නොකළ තවත් හේතුවක් සලකා බලන්න. දෙවිගේ වචනය මෙසේ කියනවා: “හොඳ තෛලයකට වඩා නාමයක් උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.” (දේශනාකාරයා 7:1, NW) මැරෙන දවස, නිසැකවම ශෝකජනක දවසක් නිසා එය ප්‍රීතිමත් උපන් දවසට වඩා හොඳ වන්නේ කොහොමද? එහි රහස ගැබ්ව තිබෙන්නේ “නාමය” තුළයි. ‘හොඳ තෛලයක්’ මිල අධික විය හැකියි. වතාවක් ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා යේසුස්ගේ පාදවල ආලේප කළ සුවඳ තෛලයේ වටිනාකම අවුරුද්දකට ලැබෙන වැටුපකට සමාන වුණා! (යොහන් 12:1-7) නිකම්ම නාමයක් එතරම් අනර්ඝ වන්නේ කෙසේද? ග්‍රීක් සෙප්ටූඅජින්ට්හි දේශනාකාරයා 7:1 කියන්නේ “හොඳ නාමයක්” කියායි. ඉතා අනර්ඝ වන්නේ නාමය නොව, නමුත් ඒ නාමයෙන් නියෝජනය වන දෙයයි. කෙනෙක් ඉපදෙද්දී ඔහුට කීර්ති නාමයක් නැහැ, යහපත් වැඩ සඳහා වාර්තාවක් නැහැ. එහෙම නැත්නම්, නාමය දරන්නාගේ පෞද්ගලිකත්වය සහ ගුණාංග පිළිබඳ වටිනා මතකයන්වත් ගොඩනැඟී නැහැ. එහෙත්, ජීවිතයේ අවසානයේදී, කෙනෙකුගේ නාමයට මේ සෑම එකක්ම සම්බන්ධ වන්න යනවා. මෙසේ, එය දෙවිගේ ඇස් ඉදිරියේ හොඳ නාමයක් නම්, ඕනෑම ද්‍රව්‍යමය වස්තුවක වටිනාකමට වඩා එය අනර්ඝ වෙන්න යනවා.
16. (අ) දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න දානියෙල් වෑයම් කළේ කෙසේද? (ආ) තමා යෙහෝවා සමඟ හොඳ නාමයක් ඇති කරගැනීමේ සාර්ථක වූ බවට පූර්ණ නිසැකකමින් යුතුව දානියෙල්ට සැතපිය හැකි වූයේ මන්ද?
16 දානියෙල් තම ජීවිත කාලය පුරා දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගැනීමට තමන්ට හැකි සෑම දෙයක්ම කළ අතර, යෙහෝවා මේ කිසිම දෙයක් සුළු කොට තැකුවේ නැහැ. ඔහු දානියෙල් දෙස බලා, ඔහුගේ හෘදය පරීක්ෂා කළා. දෙවි දාවිත් රජු සම්බන්ධයෙන් කළ දෙයම කළා. “[යෙහෝවා], ඔබ මා විමසා බලා [දැනගත්තේය]. ඔබ මාගේ හිඳීමද නැගිටීමද [දන්නේය], දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි” කියා ගැයූ දාවිත් රජ වෙනුවෙන් දෙවි කොයිතරම් දේවල් කර තිබුණාද! (ගීතාවලිය 139:1, 2) දානියෙල් සම්පූර්ණ කෙනෙක් නොවූ බව ඇත්තයි. ඔහු පව්කාර ආදම්ගෙන් පැවතෙන්නෙක් මෙන්ම පව්කාර ජාතියක සාමාජිකයෙක්. (රෝම 3:23) එහෙත්, දානියෙල් තම පව්කාරකම ගැන පසුතැවිලි වූ අතර, තම දෙවි සමඟ අවංක ලෙස ගමන් කරන්න නිරන්තරව උත්සාහ කළා. එමනිසා, යෙහෝවා ඔහුගේ පව්වලට සමාව දෙන බවටත්, ඒවා ගැන දිගටම අමනාපයෙන් සිටින්න යන්නේ නැති බවටත් ඇදහිලිවන්ත අනාගතවක්තෘවරයාට නිසැකකමක් තිබුණා. (ගීතාවලිය 103:10-14; යෙසායා 1:18) යෙහෝවා තම ඇදහිලිවන්ත සේවකයන්ගේ යහපත් වැඩ මතක තබාගැනීමට තීරණය කරගෙන තිබෙනවා. (හෙබ්‍රෙව් 6:10) යෙහෝවාගේ දූතයා දානියෙල්ව ‘ඉතා ප්‍රියමනාප මනුෂ්‍යයෙක්’ කියා දෙවතාවක්ම හැඳින්වූයේ මේ නිසයි. (දානියෙල් 10:11, 19, NW) මෙයින් අදහස් කළේ, දානියෙල්ට දෙවි මහත් ප්‍රේමයක් දැක්වුවා යන්නයි. තමා යෙහෝවා ඉදිරියේ හොඳ නාමයක් ඇති කරගත් බවට සහතික වෙමින් සැතපෙන්න දානියෙල්ට පුළුවන් වුණා.
17. අප අදම යෙහෝවා සමඟ හොඳ නාමයක් ඇති කරගැනීම හදිසි කාරණයක් වන්නේ මන්ද?
17 අප සියලුදෙනාම අපෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘මම යෙහෝවා සමඟ හොඳ නාමයක් ඇති කරගෙනද ඉන්නේ?’ අප ජීවත් වන්නේ ගැටලුවලින් පිරි කාලයකයි. මරණය ඕනෑම මොහොතක අපව උදුරාගනීයයි සිතීම බියවීමට දෙයක් නොවෙයි; එයයි යථාර්ථය. (දේශනාකාරයා 9:11) එසේ නම්, අප්‍රමාදව, දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගැනීමට අප සෑමදෙනාම දැන්ම අධිෂ්ඨාන කරගැනීම කොතරම් වැදගත්ද! අප එසේ කරනවා නම්, මරණයට බය වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. එය හරියට නින්දක් වගේ, නිකම්ම විවේකයක් විතරයි. එය නින්දක් නම්, පසුව නැඟිටීමකුත් තියෙන්න යනවා!
“ඔබ නැඟිටිනවා ඇත”
18, 19. (අ) දානියෙල් අනාගතයේදී, “නැඟිටිනවා” කියා පුරෝකථනය කරද්දී, දේවදූතයා අදහස් කළේ කුමක්ද? (ආ) දානියෙල් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හොඳින් දැන සිටියායයි පැවසිය හැක්කේ මන්ද?
18 දානියෙල් පොත නිම වන්නේ, දෙවි මනුෂ්‍යයෙකුට මෙතෙක් දී ඇති විශිෂ්ටම පොරොන්දුවලින් එකක් සඳහන් කරමින්. යෙහෝවාගේ දූතයා දානියෙල්ට මෙසේ කිව්වා: “දවස් කෙළවර වූ විට, ඔබේ කොටස සඳහා ඔබ නැඟිටිනවා ඇත.” දේවදූතයා අදහස් කළේ කුමක්ද? ඔහු මොහොතකට කලින් සඳහන් කළ ‘සැතපීම’ යොමු දැක්වූයේ මරණයට නිසා, දානියෙල් පසු කාලයකදී “නැඟිටිනවා” යන්නෙන් අදහස් කරන එකම දෙය වන්නේ, නැවත නැඟිටීමයි!b ඇත්තෙන්ම දානියෙල් 12වන පරිච්ඡේදයේ සඳහන් මෙම අවස්ථාව, නැවත නැඟිටීම ගැන හෙබ්‍රෙව් ලියවිල්ල යොමු දක්වන මුල්ම අවස්ථාව බව සමහර විශාරදයන් සහතිකවම කියා සිටිනවා. (දානියෙල් 12:2) කෙසේවෙතත්, මෙහිදී ඔවුන් වැරදියි. දානියෙල් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හොඳින් දැන සිටියා.
19 උදාහරණයක් හැටියට, සියවස් දෙකකට කලින් යෙසායා වාර්තා කළ මෙම වචන දානියෙල් දැන සිටි බවට කිසිම සැකයක් නැහැ: “ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද . . . පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට [සලස්වන්නේය].” (යෙසායා 26:19) ඊට බොහෝ කාලයකට පෙර, සැබෑ නැවත නැඟිටීම් සිදු කිරීමට යෙහෝවා එලියාට මෙන්ම එලිෂාටද බලය දුන්නා. (1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37) ඊටත් පෙර, මිනිසුන්ව ෂෙයෝලයෙන් නැතහොත්, මිනිවළෙන් නැඟිටුවන්න යෙහෝවාට හැකි බව අනාගතවක්තෘ සාමුවෙල්ගේ මව වූ හන්නා පිළිගත්තා. (1 සාමුවෙල් 2:6) ඊටත් බොහෝ කලකට පෙර, ඇදහිලිවන්ත යෝබ් ඔහු සතු බලාපොරොත්තුව මෙසේ ප්‍රකාශ කළා: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි. ඔබ [අඬගසන්නේය], මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ [ආශා වන්නේය].”—යෝබ් 14:14, 15.
20, 21. (අ) නිසැකවම දානියෙල් පංගුකාරයෙක් වන්නේ කිනම් නැවත නැඟිටීමකද? (ආ) පාරාදීසයේදී නැවත නැඟිටීම බොහෝදුරට සිදුවීමට ඉඩ ඇත්තේ කිනම් අනුපිළිවෙළටද?
20 අනාගතයේ දවසක තමාව නැවත ජීවිතයට පමුණුවන්න යෙහෝවා ඇත්තටම කැමැත්තෙන් සිටින බව විශ්වාස කරන්න යෝබ්ට මෙන් දානියෙල්ටද හේතු තිබුණා. එහෙත්, බලවත් අදෘශ්‍යමාන මැවිල්ලක් එම බලාපොරොත්තුව තහවුරු කරනවා අසන්න ලැබීම මහත් අස්වැසිල්ලක් වෙන්න ඇති. ඔව්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී සිදුවීමට නියමිත “ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී” දානියෙල් නැඟිටින්න යනවා. (ලූක් 14:14) එය දානියෙල්ට මොන වගේ ජීවිතයක් වේවිද? දෙවිගේ වචනය ඒ ගැන තවත් බොහෝ දේ පවසනවා.
21 යෙහෝවා “වියවුල්කමේ නොව සමාදානයේ [දෙවිය].” (1 කොරින්ති 14:33) එසේ නම්, පාරාදීසයේ නැවත නැඟිටීමද පිළිවෙළකට සිදු වනු ඇති බව පැහැදිලියි. සමහරවිට, අර්මගෙදොන් අවසන් වී යම් කාලයක් ගත වුණාට පසුව එය සිදු විය හැකියි. (එළිදරව් 16:14, 16) පරණ දේවල පිළිවෙළේ සියලුම කැළැල් මකා දමා, මළවුන්ව නැවත පිළිගන්න සියලුම කටයුතු සූදානම්ව තිබෙනු ඇති බවට කිසිම සැකයක් නැහැ. මළවුන් නැවත පැමිණෙන අනුපිළිවෙළ ගැන බයිබලය මේ ප්‍රමිතිය සපයනවා: “එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය.” (1 කොරින්ති 15:23) ඒ අනුව, ‘ධර්මිෂ්ඨයන්ගේ සහ අධර්මිෂ්ඨයන්ගේ නැවත-නැඟිටීම’ සිදු වෙද්දී, මුලින්ම ධර්මිෂ්ඨයන් නැවත ජීවනයට පැමිණෙන බවයි පෙනෙන්න තිබෙන්නේ. (ක්‍රියා 24:15) ඒ ආකාරයට, නැවත ජීවනයට පැමිණෙන බිලියන ගණන් ‘අධර්මිෂ්ඨයන්ට’ ඉගැන්වීම ඇතුළු භූමික කටයුතු පරිපාලනය කිරීමට උපකාර කරන්න දානියෙල් වැනි පුරාණ ඇදහිලිවන්තයන්ට හැකි වෙන්න යනවා.—ගීතාවලිය 45:16.
22. කිසිම සැකයකින් තොරව, දානියෙල් මහත් උනන්දුවෙන් උත්තර බලාපොරොත්තු වන ප්‍රශ්න සමහරක් මොනවාද?
22 දානියෙල් එවැනි වගකීම් භාරගැනීමට පෙර, අසන්න ඔහුට ප්‍රශ්න තිබෙනු ඇති බව නිසැකයි. ඔහුටම කියූ සමහර ගැඹුරු අනාවැකි සම්බන්ධයෙන් ඔහු කිව්වේ, “මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි” කියායි. (දානියෙල් 12:8) අවසානයේදී මේ දිව්‍ය අභිරහස් තේරුම්ගැනීමට ලැබීම ගැන ඔහු මොනතරම් ප්‍රීති ප්රමෝදයට පත් වේවිද! මෙසියස් ගැන සෑම දෙයක්ම අසන්න ඔහුට ඕනෑ වනවාට කිසිම සැකයක් නැහැ. දානියෙල් තමන්ගේ දවසේ සිට අපේ දවස දක්වා දිවගිය ලෝක බලයන්ගේ ගමන් මඟ සහ “අන්තිම කාලය” තුළදී පීඩා මධ්‍යයේ විඳදරාගත් ‘මහෝත්තමයාගේ’ ඇදහිලිවන්ත “ශුද්ධවන්තයන්” කවුද කියා මෙන්ම දෙවිගේ මෙසියානු රාජ්‍යය මගින් සියලුම මනුෂ්‍ය ආණ්ඩුවල අවසාන විනාශය ගැන මහත් පුදුමයෙන් ඉගෙනගනීවි.—දානියෙල් 2:44, 45; 7:21; 12:4.
පාරාදීසයේ දානියෙල්ගේ කොටස සහ ඔබේ කොටස
23, 24. (අ) දානියෙල්ව නැවත නැඟිටුවනු ලබන ලෝකය, ඔහු දැන සිටි ලෝකයට වඩා වෙනස් වන්න යන්නේ කෙසේද? (ආ) දානියෙල්ට පාරාදීසයේ කොටසක් තිබේවිද? එමෙන්ම අප එය දන්නේ කෙසේද?
23 එම කාලයේදී, ඔහු ජීවත් වූ කාලයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකය ගැන දැනගන්න දානියෙල්ට ඕනෑ වෙයි. දානියෙල් දැන සිටි ලෝකය කැළැල් කළ යුද්ධ සහ පීඩිත තත්වයන් එදාට තියෙන්න යන්නේ නැහැ. දුක, ලෙඩ සහ මරණය තවත් නැහැ. (යෙසායා 25:8; 33:24) බහුල ලෙස ආහාර, ඕනෑ තරම් නිවාස සහ සියලුදෙනාටම තෘප්තිකර වැඩ තියෙන්න යනවා. (ගීතාවලිය 72:16; යෙසායා 65:21, 22) මනුෂ්‍යවර්ගයා එක්සත්, ප්‍රීතිමත්, එක පවුලක් වෙන්න යනවා.
24 නිසැකවම දානියෙල් එම ලෝකයේ පංගුකාරයෙක් වෙන්න යනවා. දේවදූතයා ඔහුට කිව්වේ, “ඔබේ කොටස සඳහා ඔබ නැඟිටිනවා ඇත” කියායි. “කොටස” කියා මෙහි පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය, ඉඩම් කට්ටි සඳහා භාවිත කරන වචනයමයි.c නැවත පිහිටෙවූ ඉශ්රායෙල් දේශය වෙන් කිරීම සම්බන්ධ එසකියෙල්ගේ අනාවැකිය දානියෙල් දැන සිටියා විය හැකියි. (එසකියෙල් 47:13–48:35) එහි පාරාදීසමය ඉටුවීම ගැන එසකියෙල්ගේ අනාවැකිය අඟවන්නේ කුමක්ද? දේශය පිළිවෙළකට සහ සාධාරණ ආකාරයට වෙන් කරනු ලැබීම ඇතුළුව, දෙවිගේ සියලුම ජනයාට පාරාදීසයේ කොටසක් තිබෙන්න යන බවයි. ඇත්තෙන්ම, දානියෙල්ගේ කොටසට නිකම්ම ඉඩමකට වඩා වැඩි යමක් අයත් වෙන්න යනවා. ඊට, එහි දෙවිගේ අරමුණේ ඔහුගේ කාර්යභාරය ඇතුළත් වෙන්න යනවා. දානියෙල්ට පොරොන්දු වූ විපාකය සහතිකයි.
25. (අ) පාරාදීස පොළොවේ ජීවිතයේ, ඔබේ සිත් ඇදගන්නාවූ බලාපොරොත්තු සමහරක් මොනවාද? (ආ) මනුෂ්‍යයා අයිති පාරාදීසයට බව කිව හැක්කේ මන්ද?
25 එහෙත්, ඔබේ කොටස ගැන කුමක් කිව හැකිද? එම පොරොන්දුම ඔබටත් අදාළ විය හැකියි. කීකරු මනුෂ්‍යවර්ගයා පාරාදීසයේ ඔවුන්ගේ ස්ථානය නැතහොත් කොටස සඳහා “නැඟිටිනවා” දකින්න යෙහෝවා කැමතියි. නිකම් සිතා බලන්න! දානියෙල් ඇතුළු, බයිබල් කාලයේ සිටි අනිකුත් ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන්ව අපේ ඇස්වලින්ම දකින්න ලැබෙන එක නිසැකයෙන්ම මහත් ප්‍රීතියක්. එමෙන්ම යෙහෝවා දෙවිව දැනගෙන ඔහුට ප්‍රේම කරන්න ඉගෙනගැනීමට, ගණන් කරන්න බැරි මහත් සංඛ්‍යාවක් මළවුන්ගෙන් නැවත පැමිණෙන්නත් යනවා. අපේ භූමික නිවස රැකබලා ගැනීමට සහ එය නිමක් නැති විවිධ වර්ගයේ ජීවීන්ගෙන් යුත් නොමියෙන අලංකාරයෙන් යුත් පාරාදීසයක් බවට පත් කරන්න ඔබ උදව් කරන ආකාරය මනසින් පින්තූරයට නඟන්න. යෙහෝවා මනුෂ්‍යවර්ගයාට ජීවත් වීමට අරමුණු කළ ආකාරයට ජීවත් වීම සඳහා ඔහුගෙන් ඉගෙනගන්නා අයුරු ගැන සිතන්න. (යෙසායා 11:9; යොහන් 6:45) ඔව්, පාරාදීසයේ ඔබට කොටසක් තිබෙනවා. අදදින සිටින අයට පාරාදීසය කියද්දී, අමුතු දෙයක් ලෙස හැඟුණත්, මනුෂ්‍යවර්ගයාට ජීවත් වීමට යෙහෝවා මුලින්ම සැලසුම් කර දුන්නේ එවැනි තැනක් බව මතක් කරගන්න. (උත්පත්ති 2:7-9) ඒ අර්ථයෙන් ගත් කල, පොළොව මත සිටින බිලියන ගණනකගේ වාස භූමිය පාරාදීසයයි. මිනිසා අයිති පාරාදීසයටයි. එය ලබාගැනීම ඔහුට අත් විය හැකි ස්වාභාවිකම දෙයයි.
26. මේ දේවල පිළිවෙළේ අවසානය බලා සිටීම පහසු දෙයක් නොවන බව යෙහෝවා පිළිගන්නේ කෙසේද?
26 මේ සෑම දෙයක් ගැනම සිතද්දී අපේ හෘදයන් අගය කිරීමෙන් පිරී ඉතිරී යන්නේ නැද්ද? ඔබට එහි සිටීමට මහත් ආශාවක් දැනෙන්නේ නැද්ද? එසේ නම්, මේ දේවල පිළිවෙළේ අවසානය පැමිණෙන්නේ කවදාද කියා දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් ආශාවෙන් සිටීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ! බලා සිටීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ‘එය ප්‍රමාද වුණත් බලා සිටින්න’ කියා යෙහෝවා අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ බලා සිටීම පහසු දෙයක් නොවන බව ඔහු පවා පිළිගන්න නිසයි. එහිදී ඔහු අදහස් කරන්නේ, අපේ කෝණයෙන් එය ප්‍රමාද විය හැකි බවයි. එහෙත්, එම පදයේම අපට මෙසේ සහතික කරනවා: “එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3; සසඳන්න හිතෝපදේශ 13:12.) ඔව්, අවසානය නියම වෙලාවට පැමිණෙනවා.
27. සදාකාලයෙන් සදාකාලයට දෙවි ඉදිරියේ සිටීමට නම් ඔබ කුමක් කළ යුතුද?
27 අවසානය ළඟා වෙද්දී ඔබ කුමක් කළ යුතුද? යෙහෝවාගේ ප්‍රේමනීය අනාගතවක්තෘවරයා මෙන්, ඇදහිලිවන්තව විඳදරාගන්න. දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරන්න. ඉතා උනන්දුවෙන් යාච්ඤා කරන්න. සෙසු ඇදහිලිවන්තයන් සමඟ ප්‍රේමනීය ලෙස ඇසුරු කරන්න. ජ්වලිතව අනිත් අයට සත්‍යය කියා දෙන්න. දවසක් දවසක් පාසා මේ දුෂ්ට දේවල පිළිවෙළ එහි අවසානය කරා ළඟා වෙත්ම, මහෝත්තමයාගේ පක්ෂපාත සේවකයෙක් මෙන්ම, ඔහුගේ වචනයේ නොවෙනස් වන ප්‍රකාශකයෙක් ලෙස දිගටම සිටීමට අධිෂ්ඨාන කරගන්න. හැකි සෑම අයුරින්ම දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! තවද පරමාධිපති ස්වාමි වූ යෙහෝවා සදාකාලයෙන් සදාකාලයට ඔහු ඉදිරියේ සිටීමේ වරප්‍රසාදය ඔබට දෙනු ලැබේවා!
[පාදසටහන්වල]
a පොදු යුගයට පෙර 617දී, දානියෙල්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන ගියේ, බොහෝවිට ඔහු නහඹරයෙක්ව සිටිද්දීයි. ඔහු මේ දර්ශනය දැක්කේ කෝරෙෂ්ගේ තුන්වන අවුරුද්දේදී එනම්, පො.යු.පෙ. 536දීයි.—දානියෙල් 10:1.
b බ්‍රවුන්-ඩ්‍රයිවර්-බ්‍රිග්ස් හෙබ්‍රෙව් සහ ඉංග්‍රීසි ශබ්දකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව, ‘නැඟිටින්න’ සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනය “මරණයෙන් පසු යළි පණගැන්වීමට” යොමු දක්වනවා.
c හෙබ්‍රෙව් වචනය දාදු දැමීමට භාවිත කළ කුඩා ගල් කැට වැනි “පබළු ඇටයක්” සඳහා පාවිච්චි කළ හෙබ්‍රෙව් වචනයට සම්බන්ධයි. සමහර අවස්ථාවලදී, දේශය මේ ආකාරයට බෙදුවා. (ගණන් කථාව 26:55, 56) දානියෙල් පොත පිළිබඳ අත්පොතක් (ඉංග්‍රීසියෙන්) කියන්නේ, එම වචනය “පුද්ගලයෙක් සඳහා (දෙවි විසින්) වෙන් කරන ලද්ද” යන්න අදහස් කරන බවයි.
-
-
යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයිදානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
-
-
[307වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[318වන පිටුවේ පින්තූරය]
දානියෙල් මෙන් ඔබත්, දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙනවාද?
-