ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමක් සිදුවනු ඇත
“ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.”—ක්‍රියා 24:15.
1. ආදම් සහ ඒවගේ වැටීමේ පටන්, සියලු මිනිසුන් මුහුණ දී ඇත්තේ කිනම් තත්ත්වයකටද?
“කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරපන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:10) මැනවින් තෝරාගෙන ඇති මෙම වචන ස්වල්පය යොදාගෙන, ප්‍රඥාවන්ත සාලමොන් රජ, අපගේ පළමු දෙමාපියන් වූ ආදම් සහ ඒවගේ වැටීයෑමේ පටන්, මිනිස්වර්ගයාගේ සෑම පරම්පරාවක්ම මුහුණ දී ඇති තත්ත්වයක් විස්තර කරයි. දුප්පත් පොහොසත්, රජවරුන් හා සාමාන්‍ය වැසියන්, ඇදහිලිවන්තයන් නොඇදහිලිකාරයන් මේ සෑම කෙනෙකුවම කිසිම විශේෂත්වයකින් තොරව අවසානයේදී මරණය විසින් ගිලගෙන තිබේ. ඇත්තෙන්ම, මරණය, “රජකම්” කොට ඇත.—රෝම 5:17.
2. මෙම අන්තිම කාලය අතරතුරේදී සමහරක් ඇදහිලිවන්තයන් අපේක්ෂා භංගත්වයට පත්වී තිබිය හැක්කේ මන්ද?
2 වෛද්‍ය විද්‍යාවේ නවීනතම වැඩි දියුණු කිරීම් අභිබවා, අදදින පවා මරණය තවමත් රජෙකු මෙන් පාලනය කරමින් සිටී. මෙය පුදුමයකට හේතුවක් නොවුණත්, දිගු කලක් තිස්සේ පැවත එන මෙම සතුරාට මුහුණ දෙන විට, ඇතැම් අයගේ බලාපොරොත්තු තරමක් දුරට කඩ වූවා විය හැකිය. මන්ද? පසුගිය 1920 ගණන්වල, වොච් ටවර් සමිතිය, “දැන් ජීවත්වෙමින් සිටින මිලියන ගණනක් කිසිදා මිය නොයනු ඇත” යන පණිවුඩය ප්‍රකාශයට පත් කළේය. මෙම මිලියන ගණන්දෙනා වනු ඇත්තේ කවුරුන්ද? මෙය, බැටළුවන් හා එළුවන් පිළිබඳ උපමාවේ යේසුස්වහන්සේ කථා කළ, ‘බැටළුවන්ය.’ (මතෙව් 25:31-46) මෙම බැටළුගුණැති අය අන්තිම කාලය අතරතුරේදී පෙනීසිටිනු ඇති බවට පුරෝකථනය වූ අතර, ඔවුන්ගේ බලාපොරොත්තුව වනු ඇත්තේ පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත්වීමය. කාලය ගෙවී යෑමත් සමඟම, යෙහෝවඃවහන්සේගේ අරමුණු තුළ මෙම ‘බැටළුවන්ගේ’ තත්ත්වය පිළිබඳව දෙවියන්වහන්සේගේ ජනයා වඩාත් හොඳ අවබෝධයක් ලැබූහ. මෙම කීකරු අය දැඩි, මුරණ්ඩු ‘එළුවන්ගෙන්’ වෙන් කොට හඳුනාගනු ලැබීමට සිටින බවත්, පසුව සඳහන් වූවන්ගේ විනාශයට පසු, මේ අය ඔවුන් උදෙසා සූදානම් කර ඇති රාජ්‍යයේ භූමික විෂය උරුම කරගනු ඇති බවත්, වටහාගනු ලැබිණි.
බැටළුගුණැති අයව එක්රැස් කිරීම
3. දෙවියන්වහන්සේගේ ජනයා 1935 සිට අවධානය යොමු කර ඇත්තේ කුමන වැඩය මතද?
3 වර්ෂ 1935 පටන්, ‘විශ්වාසවන්ත දාසයා’ එවැනි බැටළුගුණැති අයව සෙවීම ගැන සහ ඔවුන්ව යෙහෝවඃවහන්සේගේ සංවිධානයට ගෙන ඒම ගැන අවධානය යොමු කොට තිබේ. (මතෙව් 24:45; යොහන් 10:16) යේසුස්වහන්සේ දැන් යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ පාලනය කරමින් සිටින බවත්, මේ දුෂ්ට දේවල පිළිවෙළේ අවසානය වේගයෙන් ළඟා වෙමින් තිබෙන බවත්, ධර්මිෂ්ඨකම වාසය කෙරෙන නව ලෝකයක් ප්රවේශවීමට යන බවත්, ඉගැන්වීමට පහසු මෙම ක්‍රිස්තියානීහු වටහාගෙන සිටිති. (2 පේතෘස් 3:13; එළිදරව් 12:10) එම නව ලෝකයේදී, යෙසායාගේ හද කලතනසුලු වචන ඉටු වනු ඇත: “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලද[මන]සේක.”—යෙසායා 25:8.
4. අර්මගෙදොන්හිදී යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කරනු ලැබීමට ඉතා උනන්දුවෙන් බලා සිටියද, වෙනත් බැටළුවන්ගෙන් බොහොමයකට සිදුවී ඇත්තේ කුමක්ද?
4 සාතන්ගේ ලෝකයේ අවසානය මෙතරම් ළංව ඇති බැවින්, මහා බබිලෝනිය මත හා සාතන්ගේ ලෝකයේ ඉතිරි කොටස මත අවසාන පීඩාව පැමිණෙන අතරතුරේදී, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් වන තෙක්, බැටළු ගුණැති ක්‍රිස්තියානීන් ඉමහත් ආශාවෙන් ජීවත්වනු ඇත. (එළිදරව් 19:1-3, 19-21) බොහෝදෙනෙකුට එය ඒ ආකාරයටම සිදුවී නැත. කිසිදා මිය නොයනු ඇති “මිලියන ගණන” අතර සිටීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝදෙනෙක්, ඇත්තටම මිය ගොස් සිටිති. ඇතැම් අය සත්‍යය උදෙසා සිරගෙවල හෝ වධක ගාල් කඳවුරුවල හෝ ආගමික උන්මත්තකයන් අතින් තම ප්‍රාණ පරිත්‍යාග කළහ. තවත් අය, හදිසි අනතුරුවලින් හෝ ස්වාභාවික හේතු යයි කියනු ලබන-අසනීප හෝ මහලු වයස නිසා මියගොස් සිටිති. (ගීතාවලිය 90:9, 10; දේශනාකාරයා 9:11) තවත් පිරිසක් අවසානය පැමිණීමට පෙර මියයනු ඇති බව පැහැදිලිය. එවැනි අය, ධර්මිෂ්ඨකම වාසය කරන නව ලෝකයක් පිළිබඳ පොරොන්දුවේ ඉටුවීම දකින්ට යන්නේ කෙසේද?
නැවත නැගිටීමේ බලාපොරොත්තුව
5, 6. අර්මගෙදොන්ට පෙර මියයන භූමික බලාපොරොත්තුවක් ඇති අයට තිබෙන අනාගතය කුමක්ද?
5 රෝම ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ කථා කරමින් සිටි, ප්‍රේරිත පාවුල්, මීට පිළිතුරු දුන්නේය. ක්‍රියා 24:15හි වාර්තා කර ඇති පරිදි, පාවුල් නිර්භීතව මෙසේ ප්‍රකාශ කළේය: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.” ඉතාමත් දරුණු විපත් හමුවේ, නැවත නැගිටීමේ බලාපොරොත්තුව අපව ධෛර්යවත් කරයි. අසනීපව, එමෙන්ම තමන් මියයෑමට සිටින බව හැඟෙන, අපගේ හිතෛෂී මිත්‍ර සහෝදර සහෝදරියන්, එම බලාපොරොත්තුව හේතුවෙන්, ඒ ගැන අතිශයින් කලකිරීමට හෝ අධෛර්යය වීමට යන්නේ නැත. කුමක් වුවත්, තමන්ගේ විශ්වාසවන්තභාවයට තමන් විපාක නෙලාගනු ඇති බව ඔවුහු දනිති. පීඩා කරන්නන්ගේ අත්වල මරණයට පත්ව සිටින අපගේ දයාබර සහෝදර සහෝදරියන්, මෙම නැවත නැගිටීමේ බලාපොරොත්තුව හේතුවෙන් දන්නා දෙයක් නම්, එම පීඩා කරන්නන්ට කිසිම විටෙකත් ජය අත්කරගැනීමට නොහැකි බවය. (මතෙව් 10:28) සභාවේ යමෙකු මියගිය විට, එම පුද්ගලයා අපට අහිමි වීම ගැන අපි දුක්වන්නෙමු, නමුත් ඒ අතරම, ඔහු හෝ ඇය වෙනත් බැටළුවන්ගෙන් කෙනෙකු නම්, අපගේ සෙසු ඇදහිලිවන්තයා අවසානය දක්වා විශ්වාසවන්තබව ඔප්පු කළ බවටත්, දැන් නින්දේ පසුවන බවටත්, දෙවියන්වහන්සේගේ නව ලොවේ අනාගතයක් ගැන ස්ථිර විය හැකි බවටත්, අපි සතුටු වන්නෙමු.—1 තෙසලෝනික 4:13.
6 එසේය, නැවත නැගිටීමේ බලාපොරොත්තුව වනාහි අපගේ ඇදහිල්ලේ අතිවැදගත් අංගයකි. එහෙත්, නැවත නැගිටීම පිළිබඳ අපගේ විශ්වාසය එතරම් බලවත් මන්ද, තවද, එම බලාපොරොත්තුවේ පංගුකාරයන් වන්නේ කවුරුන්ද?
7. නැවත නැගිටීම යනු කුමක්ද, තවද එහි ස්ථිරභාවය පළකරන ශුද්ධ ලියවිලි පාඨ සමහරක් කවරේද?
7 “නැවත නැගිටීම” සඳහා වූ ග්‍රීක් වචනය, ඇනස්ටාසිස්, වන අතර, එහි පදගතාර්ථය නම්, “නැගිට සිටීම” යන්නයි. එහි මූලික වශයෙන් යොමු දක්වන්නේ, මළවුන්ගෙන් නැගිටීමටය. “නැවත නැගිටීම” යන නියම වචනයම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දක්නට නොලැබීම උනන්දුමත් කරුණකි, නමුත් නැවත නැගිටීමේ බලාපොරොත්තුව මෙහි පැහැදිලිව ප්‍රකාශ කොට තිබේ. නිදසුනක් වශයෙන්, යෝබ් තම දුක්විඳීම මැද හඬනගා ප්‍රකාශ කළ වචනවල, මෙය අපි මෙසේ දකිමු: “අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, . . . මට කාලයක් නියමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!” (යෝබ් 14:13) ඒ හා සමානව, හොෂෙයා 13:14හි අපට මෙසේ කියවීමට තිබේ: “මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද?” පළමුවන කොරින්ති 15:55හි මෙම වචන උපුටා දැක්වූ ප්‍රේරිත පාවුල්, පුරෝකථනය කරන ලද මරණයෙන් ජයගැනීම, නැවත නැගිටීම තුළින් සම්පූර්ණ වනු ඇති බව පෙන්වූයේය. (ඇත්තවශයෙන්ම, පාවුල් එම ශුද්ධ ලියවිල්ලේ කථා කරමින් සිටියේ ස්වර්ගික නැවත නැගිටීම ගැනය.)
“ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබූ” ඇදහිලිවන්තයෝ
8, 9. (අ) ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීම තුළ අසම්පූර්ණ මිනිසුන්ට පංගුකාරයන් විය හැක්කේ කෙසේද? (ආ) මරණයෙන් කෙළවර නොවන ජීවිතයක් තුළවූ අපේ බලාපොරොත්තුවේ පදනම කුමක්ද?
8 ඉහත 5වන ඡේදයේ උපුටා දැක්වූ පාවුල්, ෆීලික්ස්ට කළ ප්රකාශයේදී, පාවුල් කියා සිටියේ, ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක් තිබෙන්ට යන බවය. නැවත නැගිටුවනු ලබන ධර්මිෂ්ඨයන් කවුරුන්ද? ඇත්තෙන්ම, කිසි මිනිසෙක් ස්වභාවයෙන්ම ධර්මිෂ්ඨයෙකු නොවේ. අපි උපතේ සිට පව්කාරයෝ වෙමු, තවද අපගේ ජීවිත කාලය පුරා අපි පව් කරන්නෙමු. මෙනිසා කාරණා දෙකක් මත අපි මරණයට සුදුස්සන් වන්නෙමු. (රෝම 5:12; රෝම 6:23) කෙසේවෙතත්, “ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කෙරේ” යන වචනය අපට බයිබලයේ දක්නට ලැබේ. (රෝම 3:28, NW) මින් යොමු දක්වන්නේ, අසම්පූර්ණ වුවත්, යෙහෝවඃවහන්සේ විසින් පාපවලට සමාව දී ඇති මිනිසුන්ටය.
9 මෙම යෙදුම, වඩාත් කැපී පෙනෙන අයුරින් යොදා ඇත්තේ, ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති අභිෂේක ලත් ක්රිස්තියානීන්ටය. රෝම 5:1හි ප්‍රේරිත පාවුල් මෙසේ කියයි; “එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, [ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබ, NW] අපේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.” සියලු අභිෂේක ලත් ක්‍රිස්තියානීහු, ඔවුන්ගේ ඇදහිල්ල නිසා ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබ සිටිති. කුමක් තුළ ඇදහිල්ලද? පාවුල් සෑහෙන විස්තර සහිතව රෝම පොතේ විස්තර කරන ආකාරයට, එය වනාහි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබන ඇදහිල්ලයි. (රෝම 10:4, 9, 10) යේසුස්වහන්සේ පරිපූර්ණ මිනිසෙකු හැටියට මියගිය අතර, ඉන්පසු, මරණයෙන් නැවත නැගිටුවනු ලැබ, අප වෙනුවෙන් තම මිනිස් ජීවිතයේ වටිනාකම ඔප්පු කිරීම පිණිස ස්වර්ගයට නැඟුණුසේක. (හෙබ්‍රෙව් 7:26, 27; 9:11, 12) යෙහෝවඃවහන්සේ එම පූජාව පිළිගත් විට, ඇත්තවශයෙන් යේසුස්වහන්සේ, මිනිස්වර්ගයාව පාපයේ හා මරණයේ වහල්භාවයෙන් මිල දී ගත්සේක. මෙම විධිවිධානය තුළ ඇදහිල්ල ක්‍රියාවට නංවන අය, මින් මහත් සේ ප්‍රයෝජන ලබති. (1 කොරින්ති 15:45) මේ පදනම මත, ඇදහිලිවන්ත පුරුෂයන්ට හා ස්ත්රීන්ට, රුදුරු සතුරා වන මරණයෙන්, කෙළවර නොවන ජීවිතයක් උරුම කරගැනීමේ බලාපොරොත්තුව තිබේ.—යොහන් 3:16.
10, 11. (අ) ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සඳහා තිබෙන නැවත නැගිටීම කුමක්ද? (ආ) පූර්ව-ක්‍රිස්තියානි නමස්කාරකයන් විසින් බලාපොරොත්තු වූයේ කිනම් ආකාරයේ නැවත නැගිටීමක්ද?
10 යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවට ස්තුතිවන්ත වන්ට, ධර්මිෂ්ඨ ලෙස ප්‍රකාශ කරනු ලැබ, යේසුස්වහන්සේ මෙන් අමරණීය ආත්ම මැවිලි වශයෙන්, ඇදහිලිවන්ත අභිෂේක ලත් අයට නැවත නැගිටීමේ ස්ථිර බලාපොරොත්තුවක් තිබේ. (එළිදරව් 2:10) ඔවුන්ගේ නැවත නැගිටීම එළිදරව් 20:6හි සඳහන් වන අතර, එය මෙසේ පවසයි: “පළමුවෙනි නැවතනැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.” මේ වනාහි ස්වර්ගික නැවත නැගිටීමයි. එහෙත්, බයිබලය මෙය “පළමුවෙනි නැවතනැගිටීම” යනුවෙන් හඳුන්වන බව කල්පනාවටගන්න. මින් අඟවන්නේ තවත් තිබෙන්ට යන බවයි.
11 යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් විදහාපෑ, දෙවියන්වහන්සේගේ පූර්ව ක්‍රිස්තියානි සේවකයන් පෙළකට, පාවුල් හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ යොමු දක්වා සිටියේය. මේ අයටද නැවත නැගිටීමක් කෙරෙහි ඇදහිල්ලක් තිබිණි. ඉශ්රායෙල් ඉතිහාසයේ සිදුවූ ප්රාතිහාර්යමය නැවත නැගිටීම් ගැන, එම පරිච්ඡේදයේ හෙබ්‍රෙ 11:35වන වගන්තියේ, පාවුල් කථාකරයි. ඔහු මෙසේ පවසයි: “ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත-නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.” උදාහරණයක් ලෙස, එම පැරණි ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ට, එලියා සහ එලිෂා විසින් කරන ලද නැවත නැගිටීම්වලට වඩා, හොඳ නැවත නැගිටීමක් බලා සිටින්ට හැකි විය. (1 රාජාවලිය 17:17-22; 2 රාජාවලිය 4:32-37; 13:20, 21) ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ, තම ඇදහිල්ල වෙනුවෙන් දෙවියන්වහන්සේගේ සේවකයන් වධ කරනු නොලබන ලෝකයකට, එනම් ස්ත්රීන්ට තම ප්‍රේමනීයයන්ව මරණයෙන් අහිමි නොවන ලෝකයකට නැවත නැගිටුවනු ලැබීමටය. එසේය, ඔවුන් බලා සිටියේ, අප බලාපොරොත්තුවෙන් සිටින එකම නව ලෝකය තුළට මරණයෙන් නැවත නැගිටීමටය. (යෙසායා 65:17-25) මෙම නව ලෝකය ගැන යෙහෝවඃවහන්සේ අපට හෙළිකර ඇති දේ තරම්, ඔවුන්ට හෙළි කර තිබුණේ නැත. කෙසේවෙතත්, එය පැමිණෙන බව ඔවුහු දැනගත්හ, එමෙන්ම එතුළ සිටීමට ඔවුන්ට වුවමනා විය.
භූමික නැවත නැගිටීම
12. පූර්ව-ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබීද? පැහැදිලි කරන්න.
12 එම නව ලෝකය තුළට විශ්වාසවන්ත පූර්ව-ක්‍රිස්තියානි පුරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ නැවත නැගිටීම, ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමේ කොටසක් වශයෙන් අප කල්පනා කළ යුතුද? පෙනෙන විදිහට එසේය, මන්දයත්, බයිබලය ඔවුන්ව ධර්මිෂ්ඨයන් ලෙසට යොමු දක්වන බැවිනි. උදාහරණයක් වශයෙන්, ඉපැරණි කාලවල ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබූ පුරුෂයෙකු හා ස්ත්‍රියක ගැන ශ්‍රාවක යාකොබ් සඳහන් කරයි. මෙම පුරුෂයා වූයේ, හෙබ්‍රෙව් ජාතියේ මුතුන්මිත්තාවූ ආබ්රහම්ය. ඔහු සම්බන්ධව අපට මෙසේ කියවීමට තිබේ: “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය. . . තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.” සඳහන් ස්ත්‍රිය වූයේ, යෙහෝවඃවහන්සේ කෙරෙහි මහත් ඇදහිල්ලක් දැක්වුවාවූ, ඉශ්රායෙල් නොවන තැනැත්තියක් වූ රාහබ්ය. ඇයව “ධර්මිෂ්ඨ කරනු” ලැබූ අතර, ඈ හෙබ්‍රෙව් ජාතියේ කොටසක් බවට පත්වූවාය. (යාකොබ් 2:23-25) මෙසේ, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් පෙන්වා, මරණය දක්වා විශ්වාසවන්තව සිටි ඉපැරණි පුරුෂයන් හා ස්ත්‍රීන් ඔවුන්ගේ ඇදහිල්ලේ පදනම මත යෙහෝවඃවහන්සේ විසින් ධර්මිෂ්ඨ කරනු ලැබූ අතර, ඔවුන් කිසි සැකයක් නොමැතිව, “ධර්මිෂ්ඨයන්ගේ . . . නැවත-නැගිටීමක්” සඳහා පංගුකාරයන් වනු ඇත.
13, 14. (අ) භූමික බලාපොරොත්තුවක් සහිත ක්‍රිස්තියානීන්ව ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කළ හැකි යයි අප දන්නේ කෙසේද? (ආ) ඔවුන් සඳහා මින් අදහස් කරන්නේ කුමක්ද?
13 කෙසේවුවද, අදදින බැටළුගුණැති පුද්ගලයන් ගැන, එනම්, යෙහෝවඃවහන්සේට තමන්වම කැප කරන, භූමික බලාපොරොත්තුවක් ඇති, එමෙන්ම මෙම අන්තිම කාලය අතරතුරේදී මියයන අය ගැන කුමක් කිව හැකිද? ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමට ඔවුනුත් පංගුකාරයන් වන්ට යනවාද? පෙනෙන විදිහට එය එසේය. එවන් ඇදහිලිවන්තයන්ගේ මහත් සමූහයක් ප්‍රේරිත යොහන් විසින් දර්ශනයක් තුළ දකින ලදි. ඔහු ඔවුන්ව විස්තර කරන ආකාරය සැලකිල්ලටගන්න: “[බලව!, NW] ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි; ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය.”—එළිදරව් 7:9, 10.
14 මෙම මොළොක් ගුණැති අය තමන්ගේ ගැළවීම ගැන ස්ථිර ලෙස ඒත්තුගෙන තිබෙන බවත්, ඔවුන් මේ සඳහා යෙහෝවඃවහන්සේට සහ “බැටළුපැටවාණන්” වන යේසුස්වහන්සේට ගෞරව ප්‍රශංසා පිරිනමන බවත්, කල්පනාවටගන්න. එපමණක්ද නොව, ඔවුහු සියල්ලෝම සුදු වතින් සැරසී යෙහෝවඃවහන්සේ සහ බැටළුපැටවාණන් ඉදිරියෙහි සිටගෙන සිටිති. සුදු වතින් සැරසී සිටින්නේ මන්ද? ස්වර්ගික මැවිල්ලක් යොහන්ට මෙසේ කියයි: “ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.” (එළිදරව් 7:14) බයිබලයෙහි, සුදු පාට යනු නිර්මලත්වයේ, ධර්මිෂ්ඨකමේ සංකේතයකි. (ගීතාවලිය 51:7; දානියෙල් 12:10; එළිදරව් 19:8) මහත් සමූහය සුදු සළු පැළඳගෙන සිටිනවා දැකීම යන කාරණයෙන් අදහස් කරන්නේ, යෙහෝවඃවහන්සේ ඔවුන්ව ධර්මිෂ්ඨයන් ලෙසට සැලකීමයි. එය සිදුවිය හැක්කේ කෙසේද? මන්දයත්, සංකේතාර්ථයෙන් ගත් කල, ඔවුහු බැටළු පැටවාණන්ගේ ලෙයින් තම සළු සෝදාගෙන සිටිති. ඔවුහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වගුරවන ලද රුධිරය කෙරෙහි ඇදහිල්ල දක්වන අතර, එනිසා මහත් පීඩාවෙන් බේරී ජීවත්වීම සඳහා, දෙවියන්වහන්සේගේ මිත්‍රයන් වශයෙන් ධර්මිෂ්ඨ කොට ගණන්ගනු ලබති. මෙසේ, මහත් පීඩාවට පෙර මරණයට ලක්වන, “මහත් සමූහයට” අයත් ඇදහිලිවන්ත කැපවූ ක්‍රිස්තියානි භක්තිකයෙකුට, ධර්මිෂ්ඨයන්ගේ භූමික නැවත නැගිටීමේ පංගුකාරයෙකු වීම ගැන ස්ථිර විය හැක.
15. ධර්මිෂ්ඨ හා අධර්මිෂ්ඨ යන දෙකොට්ඨාසයම නැවත නැගිටුවනු ලබන හෙයින්, ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමේ වාසිය කුමක්ද?
15 එම නැවත නැගිටීම, එළිදරව් පොතේ 20වන පරිච්ඡේදයේ 13වන වගන්තියේ මෙම වචනවලින් විස්තර කොට තිබේ. එහි පවසන්නේ මෙයයි: “සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.” මෙසේ, යෙහෝවඃවහන්සේගේ දහස් අවුරුදු මහත් විනිශ්චයේ දවස අතරතුරේදී, දෙවියන්වහන්සේගේ මතකයේ සිටින සියලුදෙනා—එනම්, ධර්මිෂ්ඨයන් හා අධර්මිෂ්ඨයන් යන දෙකොට්ඨාසයම නැවත නැගිටුවනු ලබනවා ඇත. (ක්‍රියා 17:31) එනමුත්, ධර්මිෂ්ඨයන්හට එය කොතරම් වඩාත් හොඳ දෙයක් වේවිද! ඔවුහු දැනටමත් ඇදහිල්ලෙන් ජීවිත ගත කොට සිටිත්. ඔවුන්ට දැනටමත් යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන අතර, යෙහෝවඃවහන්සේගේ අරමුණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට නිසැකකමක් තිබේ. ක්‍රිස්තියානි යුගයට පෙර ජීවත්වූ ධර්මිෂ්ඨ සාක්ෂිකරුවන්, මරණයෙන් අවදි වනු ඇත්තේ, වංශය පිළිබඳ යෙහෝවඃවහන්සේගේ පොරොන්දු ඉටුවූ ආකාරය දැනගැනීමට මහත් ආශාවෙන් යුතුවය. (1 පේතෘස් 1:10-12) යෙහෝවඃවහන්සේ විසින් ධර්මිෂ්ඨ ලෙස සලකනු ලබන වෙනත් බැටළුවන්ට අයත් වූවන්, මිනීවළෙන් ආපසු පැමිණෙන්නේ, මේ දේවල පිළිවෙළ තුළදී ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කරන විට කථා කළ පාරාදීස පොළොව දැකබලාගැනීමේ මහත් ආශාවෙන් යුතුවය. එය මොනතරම් ප්‍රීතිමත් කාලයක් වේවිද!
16. අපගේ කාලයේදී මියයන අයගේ විනිශ්චය දවසේ නැවත නැගිටීම ගැන කුමක් කිව හැකිද?
16 එම දහස් අවුරුදු විනිශ්චය දවස අතරතුරේදී, සාතන්ගේ පිළිවෙළේ මෙම අවසාන අවුරුදුවල මියගිය ඇදහිලිවන්තයන් හරියටම නැවත නැගිටිනු ඇත්තේ කවදාද? බයිබලය ඒ ගැන පවසන්නේ නැත. කෙසේවෙතත්, අර්මගෙදොන්හි බේරී ජීවත්වන්නන්ගේ මහත් සමූහය සමඟ, විනිශ්චය දවස පුරා සිදුවෙන්ට යන අතිමහත් අධ්‍යාපන කර්තව්‍යයේ හවුල්වීම සඳහා, අපගේ දවස්වල මියගිය අය කලින්ම නැවත නැගිටුවනු ලබනු ඇතැයි සිතීම තර්කානුකූල දෙයක් නොවන්නේද? ඇත්තෙන්ම, එසේය!
සැනසීම දෙන බලාපොරොත්තුවක්
17, 18. (අ) නැවත නැගිටීමේ බලාපොරොත්තුව සපයන්නේ කිනම් සැනසීමක්ද? (ආ) අප පොලඹවනු ලබන්නේ යෙහෝවඃවහන්සේ ගැන කුමක් ප්‍රකාශ කිරීමටද?
17 අදදින යෙහෝවඃවහන්සේට සේවය කරන සියල්ලන්හට, නැවත නැගිටීමේ බලාපොරොත්තුව ශක්තිය සහ සැනසීම ලබා දෙයි. අප විශ්වාසවන්තව සිටියහොත්, කලින් දැකිය නොහැකි කිසිම සිදුවීමකට හෝ, කිසිම සතුරෙකුට අපගේ විපාකය අපෙන් අහිමි කළ නොහැක. උදාහරණයක් වශයෙන්, තම ඇදහිල්ල පාවාදෙනවා වෙනුවට, මියගියාවූ, ඉතියෝපියාවේ ධෛර්යසම්පන්න ක්‍රිස්තියානීන්ගේ පින්තූරු 1992 යියර් බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස්හි, 177 පිටුවේ දක්නට තිබේ. ඒ සමඟ ඇති සටහනේ මෙසේ කියවීමටද තිබේ: “නැවත නැගිටීමේදී මෙම මුහුණු දැකීමට අපි අපේක්ෂා කරන්නෙමු.” මෙම අයව සහ මරණය හමුවේ ඒ හා සමාන ඇදහිලිවන්තභාවයක් පෙන්වා ඇති අසංඛ්‍යාත අයව දැනගැනීමට ලැබීම මොනතරම් වරප්‍රසාදයක් වනු ඇත්ද?
18 මහත් පීඩාව දක්වා නොසිටින, නමුත් අවසානය දක්වා ශක්තිමත් ඇදහිල්ලක් ඇතිව, වයස හෝ අබල දුබලකම නිසා ඊට පෙර මියයන, අපගේම ප්‍රේමනීයයන් හා මිත්‍රයන් ගැන කුමක් කිව හැකිද? නැවත නැගිටීමේ බලාපොරොත්තුවට එකඟව, ඔවුන් ඇදහිලිවන්තව රැඳී සිටියහොත්, ඔවුන්ට පුදුමාකාර අනාගතයක් තිබේ. තවද අපි යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ධෛර්යසම්පන්න ලෙස ඇදහිල්ල දක්වන්නෙමු නම්, අපටද මහත් පුදුමාකාර අනාගතයක් තිබේ. මන්ද? ඒ කෙසේදයත්, පාවුල් මෙන්, අපිත් “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක්” බලාපොරොත්තුවෙන් සිටිමු. මෙම බලාපොරොත්තුව උදෙසා අපි අපගේ මුළු හෘදයෙන්ම යෙහෝවඃවහන්සේට ස්තුති කරමු. ස්ථිරවම, ගීතිකාකරුගේ මෙම වචන ප්රතිනාද කරන්ට එය අපව පොලඹවයි: “[දෙවියන්වහන්සේගේ] මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය.”—ගීතාවලිය 96:3, 4.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ භූමික නැවත නැගිටීමක් කෙරෙහි වූ අපගේ බලාපොරොත්තුව කිනම් ශුද්ධ ලියවිලි පාඨවලින් තහවුරු වේද?
◻ ක්‍රිස්තියානීන්ව දැන් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලබන්නේ කිනම් පදනම මතද?
◻ නැවත නැගිටීමේ බලාපොරොත්තුව අපට ධෛර්යය හා අධිෂ්ඨානය දෙන්නේ කෙසේද?
[9වන පිටුවේ පින්තූරය]
පාවුල් මෙන්, අභිෂේක ලත් ක්‍රිස්තියානීහුද ස්වර්ගික නැවත නැගිටීම කෙරෙහි බලාපොරොත්තු වෙති