යෙහෝවාගේ දවස ළඟය
“මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න.”—යෝවෙල් 1:2.
1, 2. තම ප්‍රබල අනාවැකිය ප්‍රකාශ කිරීමට යෙහෝවා යෝවෙල්ට ආනුභාවය දෙනු ලැබුවේ යූදාහි පැවති කිනම් තත්වය නිසාද?
“අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද [යෙහෝවාගේ] දවස ළංව තිබේ, ඒක [සර්වපරාක්‍රම තැනැත්තා] එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.” මොනතරම් විස්මයජනක නිවේදනයක්ද! එය දෙවිගේ අනාගතවක්තෘ යෝවෙල් විසින් දෙවිගේ සෙනඟට දුන් ඔහුගේ පණිවිඩයයි.
2 යෝවෙල් 1:15හි සඳහන් එම වදන් ඇතැම්විට පො.යු.පෙ. 820දී පමණ යූදාහිදී වාර්තා කළා විය හැකියි. ඒ කාලයේදී දේශය හරිත වර්ණයෙන් දීප්තිමත් වූ හෙල්වලින් අලංකාර වී තිබුණා. පලතුරු සහ ධාන්‍ය බහුලව තිබුණා. දසත පැතිරුණු ගොදුරුබිම් නිල්වන් පාටින් දිස් වුණා. ඒත්, යමක් සෑහෙන්න වැරදී තිබුණා. බාල් නමස්කාරය යෙරුසලම සහ යූදා දේශය පුරා වැජඹුණා. සෙනඟ මේ බොරු දෙවියා ඉදිරියේ බේබදු සල්ලාල උත්සව පැවැත්වූවා. (2 ලේකම් 21:4-6, 11 සසඳන්න.) මේ හැම දෙයක්ම දිගටම පවතින්න යෙහෝවා ඉඩහරියිද?
3. යෙහෝවා අනතුරු ඇඟෙව්වේ කුමක් සම්බන්ධයෙන්ද? එමෙන්ම ජාතීන් සූදානම් විය යුත්තේ කුමක් සඳහාද?
3 ඊට තිබෙන උත්තරය සම්බන්ධයෙන් යෝවෙල්ගේ බයිබල් පොත කිසිම සැකයකට ඉඩ තබන්නේ නැහැ. යෙහෝවා දෙවි ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් කර, ඔහුගේ ශුද්ධ නාමය විශුද්ධ කරන්න යනවා. යෙහෝවාගේ මහත් දවස ළංව තිබුණා. එවිට දෙවි ‘යෙහෝෂාපාත් මිටියාවතේ’ සිටින සියලුම ජාතීන් කෙරෙහි විනිශ්චය ගෙනෙනවා. (යෝවෙල් 3:12) සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා සමඟ ඔවුන් යුද්ධයට සැරසුණාවේ. අපිත් යෙහෝවාගේ මහත් දවසට මුහුණ දෙනවා. එනිසා අපේ කාලය මෙන්ම අතීතය සඳහා යෝවෙල්ගේ අනාවැකිමය වදන් කිට්ටුවෙන් පරීක්ෂා කර බලමු.
කෘමී ආක්‍රමණය
4. යෝවෙල් විසින් අනතුරු අඟවන ලද සිද්ධීන් මොනතරම් ප්‍රබලද?
4 යෙහෝවා තම අනාගතවක්තෘ මගින් මෙසේ පවසනවා: “මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද? නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.” (යෝවෙල් 1:2, 3) තමන්ගේ ජීවිත කාලයේදීවත් තමන්ගේ පියවරුන්ගේ කාලයේදීවත් සිදු නොවී තිබූ දෙයකට සමාන යමක් මහල්ලන්ටත් දේශයේ වැසියන්ටත් බලාපොරොත්තු වීමට හැකි වුණා. එය මොනතරම් චමත්කාරජනක දෙයක් වෙනවාද කියනවා නම්, තමන්ගේ තුන්වන පරම්පරාව දක්වා එය කියා දෙන්න සිදු වෙනවා! මේ සිහිකටයුතු සිද්ධිය වූයේ කුමක්ද? මෙය සොයා බැලීම සඳහා අපි සිතමු අපි සිටින්නේ යෝවෙල්ගේ දවසේ කියා.
5, 6. (අ) යෝවෙල් පුරෝකථනය කරන පීඩාව විස්තර කරන්න. (ආ) එම පීඩාවේ උල්පත වූයේ කවුද?
5 සවන් දෙන්න! ඈතින් එන ගර්ජනාවක් යෝවෙල්ට ඇසෙනවා. අහස කළුවර වන අතර, හිසට උඩින් අඳුර දසත පැතිරෙද්දී භය උපදවන ශබ්දය වැඩි වෙනවා. ඒ එක්කම දුමක් මෙන් දිස්වන වලාකුළක් පහත් වෙනවා. එය කෘමීන් දශලක්ෂ ගණනකින් සමන්විත සේනාවක්. උන් ඇති කරන විනාශය මොනතරම් මහත්ද! දැන් යෝවෙල් 1:4 සලකා බලන්න. මේ කෘමී ආක්‍රමණිකයන් තටුවලින් සෑදුණු පියාසර කරන පළඟැටියන්ට සීමා වී නැහැ. අපොයි නැහැ, තවත් ඉන්නවා! කුසගින්නෙන් පෙළෙන, තටු නැති බඩගාගෙන යන පළඟැටියොත් රංචු පිටින් එනවා. හුළඟ නිසා හදිස්සියෙන්ම කඩා පාත් වුණු උන්ගේ ශබ්දය යුද්ධ රථවල ශබ්දය හා සමානයි. (යෝවෙල් 2:5) උන්ගේ අතිමහත් කෑදරකම නිසා, පාරාදීසයක් බඳු තැනක් ගස් කොළන් නැති පාළු බිමක් බවට පෙරළන්න දශලක්ෂ ගණනක් වූ උන්ට වැඩි වේලාවක් ගත වන්නේ නැහැ.
6 සලබයන් හා සමනලයන්ගේ පිලව් අවදිය වන දළඹුවන්ද ගමනේ යෙදෙමින් ඉන්නවුන් අතර සිටිනවා. ගස්වැල්වල දළු කොළ ආදිය සම්පූර්ණයෙන්ම නැති වන තෙක්ම වගේ ඒවායේ කෑල්ලෙන් කෑල්ල කොළයෙන් කොළය කාදමන්න කුසගින්නෙන් පෙළෙන මහත් දළඹු හමුදාවට පුළුවන්. උන් ඉතුරු කරන දේවලින් වැඩි කොටසක් පළඟැටියන් කාදමනවා. එමෙන්ම පළඟැටියන් ඉතුරු කරන දේවල්, වේගයෙන් කඩා වදින කැරපොත්තන් අවසන් වන තෙක්ම කාදමනවා. නමුත් මේ දේ සැලකිල්ලට ගන්න: යෝවෙල් 2වන පරිච්ඡේදයේ 11වන ඡේදයේ මේ පළඟැටි හමුදාව “තමන්ගේ සේනාව” කියා දෙවි හඳුන්වා දෙනවා. ඔව්, දේශය වනසා දමමින් දරුණු වසංගතයක් ගෙනෙන පළඟැටි පීඩාවේ උල්පත වූයේ ඔහුයි. එය ගෙනෙන්නේ කවදාද? ‘යෙහෝවාගේ දවස’ පැමිණෙන්න ටිකකට කලිනුයි.
‘සුරාසොඬුනි පිබිදෙන්න!’
7. (අ) යුදාහි ආගමික නායකයන්ගේ තත්වය කෙබඳු එකක් වූයේද? (ආ) එදා යූදාහි ආගමික නායකයන්ගේ තත්වය හා සමාන තත්වයක අදදින ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් සිටින්නේ කෙසේද?
7 මතු දැක්වෙන ආඥාව නිකුත් කරන විට අපකීර්තිමත් සෙනඟක් වන යූදාහි ආගමික නායකයන්ව වෙන් කරනු ලබයි: “සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.” (යෝවෙල් 1:5) ඔව්, ‘පිබිදෙන්න,’ එනම් සිහිය උපදවාගන්න කියා යූදාහි ආත්මික බේබද්දන්ට පවසනු ලැබුවා. නමුත් මෙය නිකම්ම ඉපැරණි ඉතිහාසයක් කියා නොසිතන්න. මේ දැනුත්, එනම් යෙහෝවාගේ මහත් දවස පැමිණෙන්න කලින් ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය සංකේතාත්මක ලෙස මිදියුසෙන් මොනතරම් පිරී සිටිනවාද කියනවා නම් මහෝත්තමයාගෙන් පැමිණෙන ඒ අණ ඔවුන්ට යන්තමින්වත් දැනෙන්නේ නැති තරම්. යෙහෝවාගේ බිය උපදවන මහත් දවස ළං වෙද්දී තමන්ගේ ආත්මික මත්කමින් පිබිදෙන විට ඔවුන් මොනතරම් පුදුම වේවිද!
8, 9. (අ) පළඟැටියන්ව හා උන්ගේ පීඩාවේ ප්‍රතිඵල ගැන යෝවෙල් විස්තර කරන්නේ කෙසේද? (ආ) අදදින, පළඟැටියන්ගෙන් නියෝජනය කරන්නේ කාවද?
8 බලන්න, විශාල පළඟැටි හමුදාව! “මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ. උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ. තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.”—යෝවෙල් 1:6-8.
9 එය හුදෙක් යූදා ආක්‍රමණය කරන පළඟැටි “ජාතියක්” නැතහොත් පළඟැටි සමූහයක් හා සම්බන්ධ අනාවැකියක්ද? නැහැ, ඊට වඩා දෙයක් මෙයට ඇතුළත් වෙනවා. යෝවෙල් 1:6 සහ එළිදරව් 9:7 යන දෙතැනේම දෙවිගේ සෙනඟව පළඟැටියන් මගින් නියෝජනය කර තිබෙනවා. නවීන දින පළඟැටි හමුදාව වන්නේ යෙහෝවාගේ ආලේප ලත් පළඟැටියන්ගේ යුධ සේනාව මිස වෙන කවුරුත් නොවෙයි; දැන් යේසුගේ ‘වෙනත් බැටළුවන්ට’ අයත් 56,00,000ක් පමණ ඔවුන් හා එක් වී සිටිනවා. (යොහන් 10:16) යෙහෝවාගේ නමස්කාරකයන්ගේ මේ මහත් සමූහයේ කොටසක් වීම ගැන ඔබ සතුටු වන්නේ නැද්ද?
10. යූදා පිට පැමිණි පළඟැටි පීඩාවේ බලපෑම කුමක්ද?
10 පළඟැටි පීඩාවේ ප්‍රතිඵල ගැන යෝවෙල් 1:9-12හි අපට කියවීමට තිබෙනවා. එක සමූහයක් පසුපස තවත් සමූහයක් යමින් දේශය සම්පූර්ණයෙන්ම වනසයි. ධාන්‍ය, මුද්‍රිකපානය සහ තෙල් හිඟ නිසා නොඇදහිලිවන්ත පූජකයන්ට තමන්ගේ කටයුතු දිගටම කරගෙන යන්න බැහැ. පළඟැටියෝ භූමියේ ධාන්‍ය කොල්ලකා, පලතුරු ගස්වල ඵල කිසිවක් ඉතුරු නොකළ නිසා භූමිය පවා වැලපෙනවා. මුද්‍රිකපානය විනාශ වූ නිසා ආත්මික බේබද්දන්ද වූ මත් වී සිටින බාල් නමස්කාරකයන්ට තවත් මුද්‍රිකපානය නැහැ.
“පූජකයෙනි ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න”
11, 12. (අ) අදදින දෙවිගේ පූජකයන්යයි කියාගන්නේ කවුද? (ආ) නවීන දින පළඟැටි පීඩාව ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන්ට බලපාන්නේ කෙසේද?
11 ඒ හිතුවක්කාර පූජකයන් සඳහා දෙවිගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න: “පූජකයෙනි ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න.” (යෝවෙල් 1:13) යෝවෙල්ගේ අනාවැකියේ මුල් ඉටුවීමේදී, ලෙවී පූජකයන් පූජාසනයෙහි සේවය කළා. නමුත් අවසාන ඉටුවීමේදී කුමක් කිව හැකිද? අදදින ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය දෙවිගේ සේවකයන්, ඔහුගේ ‘පූජකයන්’ බව කියා සිටිමින් ඔහුගේ පූජාසනයේ සේවය කිරීමේ අයිතිය තමන්ට පවරාගෙන තිබෙනවා. කෙසේවෙතත්, දෙවිගේ නවීන දින පළඟැටියන් ඉදිරියට යමින් සිටින අද කාලයේ සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
12 ක්‍රිස්තියානි ලෝකයේ ‘පූජකයන්’ යෙහෝවාගේ සෙනඟ ක්‍රියාත්මක වී සිටිනවා දකින විටත්, දිව්‍ය විනිශ්චය පිළිබඳ ඔවුන්ගේ අනතුරු ඇඟවීම අසන විටත් වියරු වැටෙන්න පටන්ගන්නවා. සිතේ ඇති වන පීඩාකාරි තත්වය නිසා ඔවුන් තමන්ගේ පපුවට ගහගන්න අතර, රාජ්‍ය පණිවිඩයේ විනාශකාරි ප්‍රතිඵල ගැන බලවත් කෝපයක් ඇති කරගන්නවා. ඔවුන්ගේ රැළ ඔවුන්ව හැරදමා යන විට ඔවුන් මහ හඬින් කෑමොර දෙනවා. තමන්ගේ ගොදුරුබිම් පාළුවීම නිසා ආදායම නැතිවීම ගැන වැලපෙමින් රෑ තිස්සේ ගෝනි රෙදි පොරවාගෙන ඔවුන් සිටියාවේ. වැඩි කාලයක් යන්න මත්තෙන් ඔවුන්ගේ රැකියාවන්ද නැති වී යාවි! ඇත්තෙන්ම ඔවුන්ගේ අන්තිමය ළංව තිබෙන නිසා මුළු රෑ පුරාම වැලපෙන්න කියා දෙවි ඔවුන්ට පවසනවා.
13. සමස්තයක් හැටියට ක්‍රිස්තියානි ලෝකයම යෙහෝවාගේ අනතුරු ඇඟවීමට හිතකර ලෙස ප්‍රතිචාරය දක්වයිද?
13 යෝවෙල් 1:14ට අනුව, ඔවුන්ගේ එකම බලාපොරොත්තුව රඳා පවතින්නේ, පසුතැවිලි වීම හා “උපකාරය ඉල්ලා යෙහෝවාට” [NW] මොරගැසීම මතයි. ක්‍රිස්තියානි ලෝකයේ මුළු පූජක සංහතියම යෙහෝවා වෙතට හැරෙයි කියා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම බැහැ! ඔවුන් අතර සිටින පුද්ගලයන් යෙහෝවාගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරය දක්වන්න ඉඩ තිබෙනවා. නමුත් මේ ආගමික නායකයන්ගේ හා කණ්ඩායමක් හැටියට ඔවුන්ගේ මීසම්වල සිටින ජනයාගේ ආත්මික හාමතය දිගටම පවතින්න යනවා. අනාගතවක්තෘ ආමොස් මෙසේ පුරෝකථනය කළා: ‘බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව යෙහෝවාගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය.’ (ආමොස් 8:11) අනිත් අතට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් දෙවි අපිට ප්‍රේමනීය ලෙස සපයන මහත් ආත්මික මංගල්‍යයට අපි මොනතරම් කෘතඥපූර්වක විය යුතුද!—මතෙව් 24:45-47.
14. පළඟැටි පීඩාව කුමන දෙයක අනතුරු අඟවන පෙරනිමිත්තක් වෙනවාද?
14 මේ පළඟැටි පීඩාව යම් දෙයක් ගැන අනතුරු අඟවන පෙරනිමිත්තක් වූ අතර, එය දැනුත් එසේමයි. කුමක් සම්බන්ධයෙන්ද? යෝවෙල් එය අපට මෙසේ පැහැදිලිව පවසයි: “අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද [යෙහෝවාගේ] දවස ළංව තිබේ, ඒක [සර්වපරාක්‍රම තැනැත්තා] එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.” (යෝවෙල් 1:15) අදදින දෙවිගේ පළඟැටි හමුදාව දියත් කරන ලෝක ව්‍යාප්ත ආක්රමණවලින් පැහැදිලිවම ඇඟවෙන්නේ, යෙහෝවාගේ බිය උපදවන මහත් දවස ළඟ බවයි. දුෂ්ටයන්ට එරෙහිව දිව්‍යමය විනිශ්චය ක්‍රියාත්මක කරන හා විශ්ව පරමාධිපති ලෙස යෙහෝවා ජයග්‍රහණය ලබන ඒ ගණන්ගැනීමේ විශේෂ දවස අවංක හදවත් ඇති සියලුදෙනාම මහත් ආශාවෙන් බලා සිටිනවා.
15. දේශයේ දුක්ඛිත තත්වය සැලකිල්ලට ගනිමින්, දිව්‍ය අනතුරු ඇඟවීම්වලට අවනත වන අය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
15 යෝවෙල් 1:16-20 දක්වා පෙන්වන පරිදි පුරාණ යූදාහි ආහාර සැපයුම කපාදමනු ලැබුවා. ප්‍රීති සන්තෝෂයටත් සිදු වුණේ ඒ දෙයමයි. අටුකොටු පාළු කරනු ලැබූ අතර විශාල ගබඩා කඩා බිඳදමන්න සිදු වුණා. පළඟැටියන් වැවිලි බෝග නාස්ති කර තිබුණු නිසා ගොදුරුබිම් හිඟවීමෙන් ගව රැළවල් වියවුල් වී ඉබාගාතේ ගිය අතර, බැටළු රැළවල් නාස්ති වී ගියා. මොනතරම් මහත් විපත්තියක්ද! එවන් තත්වයන් මැද යෝවෙල්ට මොනවාද වුණේ? දහනවවන පදයට අනුව ඔහු මෙසේ පැවසුවා: “යෙහෝවා මම ඔබට හඬගසමි” [NW]. අදදිනත් බොහෝදෙනෙක් දිව්‍ය අනතුරු ඇඟවීම්වලට අවනත වෙමින් ඇදහිල්ලෙන් යෙහෝවා දෙවිට හඬගසනවා.
‘යෙහෝවාගේ දවස පැමිණෙයි’
16. ‘දේශයේ වැසියන්’ වෙවුලිය යුත්තේ ඇයි?
16 දෙවිගේ මේ ආඥාවට ඇහුම්කන් දෙන්න: “සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා.” (යෝවෙල් 2:1) එසේ ප්‍රතික්‍රියා කරන්නේ ඇයි? ඒ අනාවැකියම ඊට මෙසේ පිළිතුරු දෙයි: “මක්නිසාද [යෙහෝවාගේ] දවස පැමිණෙයි, ඒක ළංව තිබේ; ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය [පැතිරයන්නාක් මෙන්ය].” (යෝවෙල් 2:1, 2) යෙහෝවාගේ මහත් දවස හා බැඳුණු හදිසිතාවේ සැබෑ හැඟීමක් තිබෙනවා.
17. යූදා දේශය මෙන්ම ජනයා පළඟැටි පීඩාවෙන් බලපෑම් ලැබුවේ කෙසේද?
17 තම වැඩය අත් නොහරින පළඟැටියන් සැබෑ ඒදන් උයනක්, නිසරු පාළු බිමක් බවට පත් කරන විට අනාගතවක්තෘගේ දර්ශනයේ ප්‍රබලත්වය ගැන සිතා බලන්න. පළඟැටි හමුදාව ගැන කරන මේ විස්තරයට සවන් දෙන්න: “උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති. කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනගක් මෙන්ද උන් පනින්නෝය. උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ.” (යෝවෙල් 2:4-6) යෝවෙල්ගේ දවසේ පැවති පළඟැටි පීඩාවේදී බාල් නමස්කාරකයන්ගේ දැඩි වේදනාව තවත් වැඩි වූ අතර, ඒ කනස්සලු ස්වභාවය ඔවුන්ගේ මුහුණුවලින් දැකගන්න පුළුවන් වුණා.
18, 19. අදදින දෙවිගේ සෙනඟගේ ක්‍රියාකාරකම් පළඟැටි පීඩාව හා සමාන වී තිබෙන්නේ කෙසේද?
18 සංවිධානාත්මකව වැඩ කරන වෙහෙස නොදැනෙන පළඟැටියන්ව නවත්වන්න කිසිවකට නොහැකි වුණා. උන් “බලවතුන් මෙන්” දිවූ අතර, පවුරු උඩට පවා නැග්ගා. ‘උන් සමහරෙක් යුද්ධායුධ අතර වැටුණත්, තුවාල වුණේ නැහැ.’ (යෝවෙල් 2:7, 8) දෙවිගේ වර්තමාන සංකේත පළඟැටි හමුදාව පිළිබිඹු කරන මොනතරම් විචිත්‍රවත් අනාවැකියක්ද! අදදිනත් යෙහෝවාගේ පළඟැටි හමුදාව දිගටම ඉදිරියටම ගමන් කරමින් සිටිනවා. ඔවුන්ට බාධා පමුණුවන්න විරුද්ධවාදිකමේ කිසිම ‘පවුරකට’ බැහැ. ජර්මනියේ නාට්සි පාලන සමයේදී හිට්ලර්ට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ‘යුද්ධායුධ අතර වැටුණු’ සාක්ෂිකරුවන් දහස් ගණනක් කළාක් මෙන් ඔවුන්ද මරණයට මුහුණ දෙන්න සූදානම් වුණත්, දෙවි කෙරෙහි පවත්වන අඛණ්ඩතාව පාවා දෙන්නේ නැහැ.
19 දෙවිගේ නවීන දින පළඟැටි හමුදාව ක්‍රිස්තියානි ලෝකයේ “නුවර” පුරා හොඳ හැටි සාක්ෂියක් දරා තිබෙනවා. (යෝවෙල් 2:9) ඔවුන් ලෝකය පුරාම එසේ කර තිබෙනවා. යෙහෝවාගේ පණිවිඩය ප්‍රකාශ කරද්දී, නිවාස දශලක්ෂ ගණනකට ඇතුල් වෙමින්ද වීදියේ සිටින ජනයා වෙතට එළඹීමෙන්ද, දූරකථනයෙන් ඔවුන්ට කතා කිරීමෙන් හා හැකි ඕනෑම ආකාරයකින් ඔවුන්ව හමුවීමෙන්ද ඔවුන් තවමත් සියලු බාධකයන් පිට නඟිමින් සිටිනවා. ඇත්තෙන්ම, ඔවුන් බයිබල් ප්‍රකාශන බිලියන ගණනක් බෙදාහැර තිබෙන අතර, ප්රසිද්ධියේද ගෙයින් ගෙටද නොනවත්වා කරගෙන යන තම දේවසේවයේදී ඔවුන් තව තවත් ප්‍රකාශන බොහෝ සංඛ්‍යාවක් බෙදාහරින්න යනවා.—ක්‍රියා 20:20, 21.
20. නවීන දින පළඟැටියන්ට සහයෝගය දක්වමින් සිටින්නේ කවුද? එමෙන්ම කිනම් ප්‍රතිඵල ඇතුවද?
20 ඒ අතිමහත් පළඟැටි සමූහය ඉර, හඳ සහ තාරකාවල දීප්තිය නැති කර දැමිය හැකි වලාකුළක් හා සමානයි කියා යෝවෙල් 2:10 පෙන්වනවා. (යෙසායා 60:8 සසඳන්න.) මේ යුධ හමුදාව පිටුපස සිටින්නේ කවුද යන්න ගැන මොනයම් හෝ සැකයක් තිබෙනවාද? මේ කෘමීන්ගේ මහත් ශබ්දයට ඉහළින් යෝවෙල් 2:11හි සඳහන් මේ වදන් අපට ඇසෙනවා: ‘යෙහෝවා තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වන්නේය; මක්නිසාද ඔහුගේ හමුදාව ඉතා මහත්ය; ඔහු තමන් වචන ඉෂ්ට කරමින් බලවත්ව සිටින්නේය. එසේය, යෙහෝවාගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?’ ඔව්, යෙහෝවා තමන්ගේ පළඟැටි යුධ හමුදාව දැන්, එනම් ඔහුගේ මහත් දවසට කලින් යවමින් සිටියි.
‘යෙහෝවා ප්‍රමාද නැත’
21. ‘යෙහෝවාගේ දවස සොරෙකු මෙන් පැමිණෙන’ විට එහි ප්‍රතිඵලය කුමක් වෙයිද?
21 යෝවෙල් මෙන් ප්‍රේරිත පේතෘස්ද යෙහෝවාගේ මහත් දවස ගැන කතා කළා. ඔහු මෙසේ ලිව්වා: “සොරෙකුමෙන් [යෙහෝවාගේ] දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.” (2 පේතෘස් 3:10) සාතන් නමැති යක්ෂයාගේ බලපෑම යටතේ පවතින දුෂ්ට ආණ්ඩුමය “අහස,” මේ “පොළොව,” එනම් දෙවිගෙන් ඈත් වූ මනුෂ්‍යවර්ගයා කෙරෙහි පාලනය කරනවා. (එපීස 6:12; 1 යොහන් 5:19) යෙහෝවාගේ මහත් දවසේදී ඇති වන දිව්‍ය උදහසේ උෂ්ණයෙන් මේ සංකේතාත්මක අහස සහ පොළොව බේරී පවතින්න යන්නේ නැහැ. ඒ වෙනුවට, අපි බලා සිටින ‘ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහස සහ අලුත් පොළොව’ ඒවාට හිමි වී තිබූ තැන ගන්න යනවා.—2 පේතෘස් 3:13.
22, 23. (අ) ඉවසා සිටීමෙන් පෙන්වන යෙහෝවාගේ දයාවට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (ආ) යෙහෝවාගේ දවසේ ආසන්නකමට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
22 වර්තමානයේ තිබෙන ඇදහිල්ලේ සියලුම පරීක්ෂණ සහ සිත වෙනතකට යොමු කරවන දේවල් මගින් අපේ කාලවල හදිසිතාව පිළිබඳ දෘෂ්ටිය බොඳ වී යෑමට පුළුවන්. නමුත් සංකේතාත්මක පළඟැටියන් වෙන කවරදාටත් වඩා වේගයෙන් ඉදිරියටම ඇදෙද්දී, බොහෝ මිනිසුන් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වමින් සිටිනවා. දෙවි මේ සඳහා කාලයකට ඉඩහැර තිබුණත්, අපි ඔහුගේ ඉවසීම, ප්‍රමාද වීම සමඟ පටලවා නොගත යුතුයි. ‘ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන්නේය; නුමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන්නේය.’—2 පේතෘස් 3:9.
23 අපි යෙහෝවාගේ මහත් දවස බලා සිටින අතරතුර, 2 පේතෘස් 3:11, 12හි වාර්තා කර ඇති පේතෘස්ගේ වදන් හෘදයට ගනිමු: “මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා [දෙවිගේ] දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.” අවසානය පැමිණෙන්න කලින් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහිලා ස්ථාවර හා අර්ථවත් ලෙස දායක වීමෙන් යෙහෝවාගේ පළඟැටි හමුදාව සමඟ අප අඛණ්ඩව රැඳී සිටීම, මේ ක්‍රියා සහ හැසිරීමට නොඅනුමානවම අයත් වෙනවා.—මාර්ක් 13:10.
24, 25. (අ) යෙහෝවාගේ පළඟැටි හමුදාවේ වැඩයට හවුල් වීමේ වරප්‍රසාදයට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) යෝවෙල් කිනම් අර්ථාන්විත ප්‍රශ්නයක් මතු කරයිද?
24 යෙහෝවාගේ බිය උපදවන මහත් දවස හදිසියේම පැමිණෙන තෙක් දෙවිගේ පළඟැටි හමුදාව තම වැඩය නතර කරන්න යන්නේ නැහැ. නැවැත්විය නොහැකි මේ පළඟැටි හමුදාවේ පැවැත්මම යෙහෝවාගේ දවස ළඟ බවට අපූර්ව සාක්ෂියක්. යෙහෝවාගේ බිය උපදවන මහත් දවසට කලින් එල්ල කරන අවසාන මහ ප්‍රහාරයේදී, දෙවිගේ ආලේප ලත් පළඟැටියන් සහ ඔවුන්ගේ සහයකයන් අතර සිටිමින් සේවය කරන්න ඔබ අතිශයින් සතුටු වන්නේ නැද්ද?
25 යෙහෝවාගේ දවස මොනතරම් මහත් එකක් වේවිද! මේ ප්රශ්නය මතුවීම ගැන පුදුම විය යුතු නැහැ: “එය දරන්ට කාට පුළුවන්ද?” (යෝවෙල් 2:11) මේ ප්රශ්නය සහ තවත් බොහොමයක් ඊළඟ ලිපි දෙකේදී සලකා බලන්න යනවා.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ යූදා කෙරෙහි කෘමී පීඩාවක් ගැන යෙහෝවා අනතුරු ඇඟෙව්වේ ඇයි?
◻ යෝවෙල්ගේ අනාවැකියේ නවීන දින ඉටුවීමේදී යෙහෝවාගේ පළඟැටියන් කවුද?
◻ පළඟැටි පීඩාවට ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? එමෙන්ම ඔවුන්ගෙන් සමහරදෙනෙකුට එහි ප්රතිවිපාකවලින් පලා යා හැක්කේ කෙසේද?
◻ විසිවන සියවසේදී පළඟැටි පීඩාව මොනතරම් ව්‍යාප්ත වී තිබෙනවාද? එමෙන්ම එය දිගටම සිදු වන්නේ කවදා වන තෙක්ද?
[9වන පිටුවේ පින්තූරය]
කෘමී පීඩාව වඩාත් දරුණුතම දෙයක පෙරනිමිත්තක් වුණා
[හිමිකම් විස්තර]
ඵල නොදරන ගස: FAO photo/G. Singh
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවා දෙවි නවීන දින පළඟැටි පීඩාව පිටුපස සිටියි
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පළඟැටියන්: FAO photo/G. Tortoli; පළඟැටි සමූහය: FAO photo/Desert Locust Survey