පරිච්ඡේදය 24
මිහිරි සහ තික්ත පණිවුඩයක්
දර්ශනය 6—එළිදරව් 10:1–11:19
සිදු වන දේ: කුඩා ලියවිල්ල පිළිබඳ දර්ශනය; දේවමාලිගාවට සම්බන්ධ සිදුවීම්; හත්වන හොරණෑව පිඹීම
ඉටු වන කාලය: වර්ෂ 1914දී යේසුස් රජ වූ දා සිට මහත් පීඩාව දක්වා
1, 2. (අ) දෙවෙනි දුකෙහි ප්‍රතිඵලය කුමක්ද? මෙම දුක අවසන් වෙන්නේ කවදාද? (ආ) ස්වර්ගයෙන් බසින්නේ කවුද?
දෙවෙනි දුක ඉතාමත් විනාශකාරීයි. ඒ මගින් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි හා එහි නායකයන්ගේ එනම් ‘මිනිසුන්ගෙන් තුනෙන් කොටසකගේ’ මළ තත්වය හෙළි වී තිබෙනවා. (එළිදරව් 9:15) ඉන්පසුව තුන්වෙනි දුක මගින් කුමක් සිදු වේවිද කියා යොහන් කල්පනා කරන්න ඇති. නමුත් දෙවෙනි දුක තවම අවසන් වී නැහැ. එළිදරව් 11:14හි වාර්තා වී ඇති දේ ඉටු වන තුරු එය අවසන් වෙන්නේ නැහැ. ඊට පෙර යොහන් යම් සිදුවීම් මාලාවක් දකින අතර ඔහුද ඊට හවුල් වෙනවා. එය ආරම්භ වෙන්නේ තේජවත් දර්ශනයකින්.
2 “එවිට මම තවත් ශක්තිමත් දේවදූතයෙකු වලාකුළක් පැළඳ ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ හිස මත දේදුන්නක් තිබුණු අතර, ඔහුගේ මුහුණ ඉර මෙන්ද, ඔහුගේ පාද ගිනි කණු මෙන්ද විය.”—එළිදරව් 10:1.
3. (අ) “ශක්තිමත් දේවදූතයා” කවුද? (ආ) ඔහුගේ හිස මත තිබෙන දේදුන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද?
3 මේ “ශක්තිමත් දේවදූතයා” කවුද? ඒ තේජසට පත් යේසුස් ක්‍රිස්තුස් බව පැහැදිලියි. නමුත් මෙහිදී යේසුස් පැමිණ සිටින්නේ වෙනම කාර්යයක් සඳහායි. ඔහු පැමිණෙන්නේ වලාකුළක් පැළඳගෙනයි. මෙයින් යොහන් යේසුස් ගැන කලින් පැවසූ මේ දේ අපට මතක් වෙනවා. “බලන්න! ඔහු වලාකුළුවල එන්නේය. සියලු ඇස්ද, ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.” එයින් පැහැදිලි වෙන්නේ ඔහු අදෘශ්‍යමානව සිටින බවයි. (එළිදරව් 1:7; මතෙව් 17:2-5ද බලන්න.) ඔහුගේ හිස මත දේදුන්නක් තිබීමෙනුත් යොහන් කලින් දුටු දර්ශනයක් අපට සිහි වෙනවා. ඒ යෙහෝවා දෙවිගේ සිංහාසනය ‘වටා තිබුණු පෙනුමෙන් මරකත මෙන් වූ දේදුන්නයි.’ (එළිදරව් 4:3; එසකියෙල් 1:28ද බලන්න.) මෙම දේදුන්නෙන් අදහස් කළේ දෙවිගේ සිංහාසනය වටා ඇති නෙතට ප්‍රිය හා සිතට ශාන්ත බවක් හෝ සාමයක් ගෙන දෙන අලංකාරයයි. ඒ හා සමානව මෙම දේවදූතයාගේ හිස මත තිබෙන දේදුන්නෙන් පැහැදිලි වෙන්නේ ඔහු විශේෂ වූ සාමයේ දූතයෙකු වන බවයි. යෙහෝවා දෙවි පොරොන්දු වූ “සමාදානයේ කුමාරයා” ඔහුයි.—යෙසායා 9:6, 7.
4. (අ) ශක්තිමත් දේවදූතයාට “ඉර මෙන්” මුහුණක් තිබීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) ඔහුට “ගිනි කණු” හා සමාන පාද තිබීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
4 මෙම ශක්තිමත් දේවදූතයාට “ඉර මෙන්” වූ මුහුණක් තිබුණා. මීට පෙර යේසුස් දෙවිගේ මාලිගාවේ සිටින දර්ශනයේදී යොහන් දුටුවේ යේසුස්ගේ මුහුණ “බලවත් ලෙස බැබළෙන හිරු මෙන්” වූ බවයි. (එළිදරව් 1:16) යේසුස් “ධර්මිෂ්ඨකමේ සූර්යයා” වන අතර, යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දක්වන සියලුදෙනා ඔහුගේ රැස්වලින් සුවයක් ලබනවා. (මලාකි 4:2) මෙම දේවදූතයාගේ මුහුණ පමණක් නොව ඔහුගේ පාද පවා ස්වර්ගීය තේජසින් බැබළෙනවා. ඒවා “ගිනි කණු” හා සමාන බව සඳහන් වෙනවා. එය එසේ වෙන්නේ ඔහුට “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන නිසා කිසිම දෙයක් ඉදිරියේ පසු නොබැස ස්ථිරව සිටින බව පෙන්වීමටයි.—මතෙව් 28:18; එළිදරව් 1:14, 15.
5. ශක්තිමත් දේවදූතයාගේ අතේ තිබෙනවා යොහන් දකින්නේ කුමක්ද?
5 යොහන් දකින්නේ මෙයයි. ‘ඔහුගේ අතේ, දිග හරින ලද කුඩා අකුළන ලියවිල්ලක් තිබිණ. ඔහු තමාගේ දකුණු පාදය මුහුද මතද, වම් පාදය පොළොව මතද තැබුවේය.’ (එළිදරව් 10:2) ඔහුගේ අතේ තවත් ලියවිල්ලක් තිබෙනවා. නමුත් මෙවර එයට මුද්‍රා දමා නැහැ. එහි තිබෙන දේවල් අපට තව මොහොතකින් යොහන් සමඟම දැකබලා ගන්නට පුළුවන්. නමුත් මුලින්ම මෙම දේවදූතයා ගැන තවත් විස්තර සලකා බලමු.
6. (අ) යේසුස්ගේ පාද පොළොව සහ මුහුද මත තිබීම සුදුසු දෙයක් වෙන්නේ ඇයි? (ආ) ගීතාවලිය 8:5-8හි ඇති වදන් සම්පූර්ණයෙන්ම ඉටු වුණේ කවදාද?
6 යේසුස්ගේ ගිනි කණු මෙන් වූ පාදවලින් එකක් පොළොව මතත් අනික මුහුද මතත් තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ ඒවා කෙරෙහි පූර්ණ බලයක් ඔහුට ඇති බවයි. යේසුස් ගැන ලියවුණු ගීතිකාවක මෙසේ සඳහන් වුණා. යෙහෝවා දෙවි “ඔහු [යේසුස්] දෙවිට මඳක් පහත් කොට සෑදුවේය. මහිමය හා ගෞරවය නමැති ඔටුන්න ඔහුට පළඳවන්නේය. ඔබගේ [යෙහෝවා දෙවිගේ] හස්ත කර්මාන්ත කෙරෙහි ඔහු අධිපතිකම් කළේය. ඔබ සියල්ලන්, එනම් සියලු බැටළුවන් සහ ගවයන්ද වනයෙහි මෘගයන්ද ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයන්ද මුහුදු මාර්ගවල ගමන් යන සියල්ලන්ද ඔහුගේ පාද යට දැමුවේය.” (ගීතාවලිය 8:5-8; හෙබ්‍රෙව් 2:5-9ද බලන්න.) එම ගීතිකාවේ වදන් සම්පූර්ණයෙන්ම ඉටු වුණේ 1914දීයි. ඒ යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පත් කළ විටයි. අවසාන කාලයත් ආරම්භ වුණේ එවිටයි. ඒ නිසා මෙම දර්ශනයේ යොහන් දකින දේ අදාළ වෙන්නේ ඒ අවුරුද්දේ සිටයි.—ගීතාවලිය 110:1-6; ක්‍රියා 2:34-36; දානියෙල් 12:4.
ගිගුරුම් සත
7. ශක්තිමත් දේවදූතයා කෑගසනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔහුගේ කෑගැසීමෙන් සිදු වෙන්නේ කුමක්ද?
7 මේ ශක්තිමත් දේවදූතයා කවුදැයි කියා යොහන් කල්පනා කරන විට සිදු වෙන්නේ මෙයයි. ඔහු [මෙම දේවදූතයා] “සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහ හඬින් කෑගැසුවේය. ඔහු [දේවදූතයා] කෑගැසූ විට, ගිගුරුම් සතද හඬ නැඟුවේය.” (එළිදරව් 10:3) මෙම ප්‍රබල කටහඬට යොහන්ගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඇති. යේසුස් සැබවින්ම “යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා” බව ඉන් සනාථ වෙනවා. (එළිදරව් 5:5) ඒ ගර්ජනා හඬ යෙහෝවා දෙවිටත් යම් අවස්ථාවලදී අදාළ වන බවත් යොහන් දැන සිටියා. බයිබල් අනාවැකි පරීක්ෂා කරද්දී පෙනී යන්නේ යෙහෝවා දෙවි මෙසේ ගර්ජනා කරන්නේ දෙවිගේ ඊශ්‍රායෙල් එක්රැස් කිරීමට හා ‘ඔහුගේ මහත් දවසේ’ පැමිණීම ප්‍රකාශ කිරීමටයි. (හොෂෙයා 11:10; යෝවෙල් 3:14, 16; ආමොස් 1:2; 3:7, 8) මෙයින් පැහැදිලි වෙන්නේ මෙම ශක්තිමත් දේවදූතයා සිංහයෙකු මෙන් ගොරවන්නෙත් මුහුදේ සහ පොළොවේ යම් බලගතු සිදුවීම් ප්‍රකාශ කිරීම සඳහා බවයි. ගිගුරම් සත හඬ නඟන්නෙත් ශක්තිමත් දේවදූතයා එසේ කෑගසන නිසයි.
8. ‘ගිගුරුම් සතේ හඬ’ කුමක්ද?
8 මීට කලිනුත් යොහන් මෙවැනි ගිගුරුම් හඬක් අසා තිබුණා. ඒ යෙහෝවා දෙවිගේ සිංහාසනයෙන් නික්මුණු හඬයි. (එළිදරව් 4:5) දාවිත්ගේ කාලයේ අහසේ ගිගුරුම් හඬ සමාන කළේ ‘යෙහෝවා දෙවිගේ හඬටයි.’ (ගීතාවලිය 29:3, NW) යේසුස් මිහිපිට සිටි කාලයේදීත් යෙහෝවා දෙවි තම නාමය මහිමයට පත් කරන බව සියල්ලන්ට ඇසෙන්න ප්‍රකාශ කළ අවස්ථාවේදී එතැන සිටි බොහෝදෙනෙකු සිතුවේ අහසෙන් ගිගුරුම් හඬක් පැමිණි බවයි. (යොහන් 12:28, 29) එමනිසා ‘ගිගුරුම් සතේ හඬ’ භාවිත කරන්නේ යෙහෝවා දෙවි තම අරමුණු ප්‍රකාශ කරන ආකාරය විස්තර කිරීමට කියා සිතිය හැකියි. ගිගුරුම් “සතක්” තිබීමෙන් අදහස් වුණේ යෙහෝවා දෙවිගේ අරමුණු පූර්ණ අයුරින් ප්‍රකාශ වන බවයි.
9. ස්වර්ගයෙන් නික්මෙන හඬ දෙන ආඥාව කුමක්ද?
9 නමුත් දැන් තවත් හඬක් ඇසෙනවා. එයින් නික්මෙන්නේ ආඥාවක්. “ඒ ගිගුරුම් සත කතා කළ විට, මම ලියන්න සූදානම් වුණෙමි. නමුත්, “ගිගුරුම් සත කී දේවල් මුද්‍රා කර තබන්න. ඒවා නොලියන්න” යයි කියන හඬක් ස්වර්ගයෙන් නික්මෙනවා මට ඇසුණේය.” (එළිදරව් 10:4) යොහන්ට මේ ආඥාවේ යම් අමුත්තක් දැනෙන්න ඇති. ගිගුරුම් හා සමාන වූ ඒ පණිවුඩ අසා ලියාගන්න යොහන්ට මහත් උනන්දුවක් තිබුණා. අද දින යොහන් පන්තියත් යෙහෝවා දෙවි තමන් අරමුණු කරන දේ එළිදරව් කරන තෙක් මහත් උනන්දුවෙන් බලා සිටින්නේ ඒවා ප්‍රසිද්ධ කිරීම සඳහායි. නමුත් යෙහෝවා දෙවි එවැනි දේවල් හෙළි කරන්නේ තමා නියම කරන කාලයේදී පමණයි.—ලූක් 12:42; දානියෙල් 12:8, 9ද බලන්න.
පරිශුද්ධ රහසේ අවසානය
10. ශක්තිමත් දේවදූතයා දිවුරන්නේ කාගේ නාමයෙන්ද? ඔහු දිවුරා පවසන්නේ කුමක්ද?
10 මේ අතර, යෙහෝවා දෙවි යොහන්ට තවත් පැවරුමක් දෙනවා. ගිගුරුම් සත කතා කළායින් පසුව ශක්තිමත් දේවදූතයා නැවතත් කතා කරනවා. “එවිට, මුහුද සහ පොළොව මත සිටගෙන සිටිනවා මා දුටු දේවදූතයා තම දකුණත ස්වර්ගය දෙසට ඔසවා, ස්වර්ගයත් එහි තිබෙන දේවලුත්, පොළොවත් එහි තිබෙන දේවලුත්, මුහුදත් එහි තිබෙන දේවලුත් මැව්වාවූද, සදාකාලයෙන් සදාකාලයට ජීවත් වන්නාවූද තැනැත්තාගේ නාමයෙන් දිවුරමින් මෙසේ කීවේය: ‘තවදුරටත් ප්‍රමාද වන්නේ නැත.’” (එළිදරව් 10:5, 6) ශක්තිමත් දේවදූතයා දිවුරන්නේ කාගේ නාමයෙන්ද? තේජසට පත් යේසුස් දිවුරන්නේ තමන්ගේම නාමයෙන් නොව ස්වර්ගයේද පොළොවේද සියලු දේ මැවූ සියලු බලය ඇති අන් සියල්ලන්ටම වඩා උසස් අමරණීය වූ යෙහෝවා දෙවිගේ නාමයෙන්. (යෙසායා 45:12, 18) මෙම දේවදූතයා දිවුරා පවසන්නේ දෙවි තවදුරටත් ප්‍රමාද නොවන බවයි.
11, 12. (අ) “තවදුරටත් ප්‍රමාද වන්නේ නැත” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ඉටු කරනු ලබන්නේ කුමක්ද?
11 මෙහි “ප්‍රමාද” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයේ (ක්‍රෝනොස්) තේරුම වචනානුසාරයෙන් අදහස් කරන්නේ “කාලය” කියයි. එමනිසා සමහරුන් සිතන්නේ දේවදූතයා කියන දේ “තවත් කාලය නැත” කියා පරිවර්තනය විය යුතු බවයි. නමුත් මෙම ග්‍රීක වචනය භාවිත කර තිබෙන විදිහෙන් තේරෙන්නේ ඒ තුළ එවැනි අදහස් ගැබ්ව නැති බවයි. එමනිසා යෙහෝවා දෙවි තවදුරටත් ප්‍රමාද වෙන්නේ නැහැ කියන අදහස නිවැරදියි. හබක්කුක් 2:3, 4හි වචන උපුටා දක්වමින් පාවුල් හෙබ්‍රෙව් 10:37හි “එන්නා වූ තැනැත්තා ප්‍රමාද නොවී එන්නේය” කියා පැවසූ විට භාවිත කළේ ඒ වචනයයි.
12 “තවදුරටත් ප්‍රමාද වන්නේ නැත” කියා පවසන විට දැන් මහලු වී සිටින යොහන් පන්තියට කොතරම් සහනයක්ද! ප්‍රමාද වෙන්නේ නැත්තේ කුමන ආකාරයෙන්ද? යොහන් මෙසේ පැහැදිලි කරනවා. “සත්වන දේවදූතයා ශබ්ද නඟන දවස්වලදී මෙසේ සිදු වන්නේය. ඔහු තම හොරණෑව පිඹීමට යන කල, දෙවි තමාගේම දාසයන් වන අනාගතවක්තෘවරුන්ට ප්‍රකාශ කළ ශුභාරංචියට අනුව තම පරිශුද්ධ රහස ඉටු කරනු ලබන්නේමය.” (එළිදරව් 10:7) තම පරිශුද්ධ රහස පූර්ණ ලෙස එළිදරව් කිරීමට යෙහෝවා දෙවිගේ නියමිත කාලය පැමිණ තිබෙනවා.
13. දෙවිගේ පරිශුද්ධ රහස කුමක්ද?
13 මේ පරිශුද්ධ රහස කුමක්ද? මෙයට මුලදී ඒදන් උයනෙහි පොරොන්දු වූ වංශය සම්බන්ධයි. ඒ වංශයෙන් බිහි වන ප්‍රධාන තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්. (උත්පත්ති 3:15; 1 තිමෝති 3:16) ඒ වගේම ඒ වංශය බිහි කරන ස්ත්‍රියත් ඊට සම්බන්ධයි. (යෙසායා 54:1; ගලාති 4:26-28) මීට අමතරව එම වංශයෙන් බිහි වන අනික් පිරිසද ඒ වංශයේ ප්‍රධාන තැනැත්තා පාලනය කරන රාජ්‍යයද එම පරිශුද්ධ රහසට ඇතුළත්. (ලූක් 8:10; එෆීස 3:3-9; කොලොස්සි 1:26, 27; 2:2; එළිදරව් 1:5, 6) මෙම සුවිශේෂ වූ ස්වර්ගික රාජ්‍යය ගැන ශුභාරංචිය මුළු පොළොව පුරාම අවසාන කාලයේදී දේශනා කළ යුතුයි.—මතෙව් 24:14.
14. තුන්වන දුකට දෙවිගේ රාජ්‍යය සම්බන්ධ වෙන්නේ ඇයි?
14 ඇත්තෙන්ම කෙනෙකුට ඇසිය හැකි හොඳම ආරංචිය මෙයයි. නමුත් එළිදරව් 11:14, 15හි පෙන්වන්නේ තුන්වන දුකට මේ රාජ්‍යය සම්බන්ධ බවයි. ඒ ඇයි? සාතන්ගේ දුෂ්ට ලෝකයට ඇල්මක් දක්වන මිනිසුන්ට නම් දේවරාජ්‍යය පැමිණ ඇති බවට වූ ආරංචිය එනම් දෙවිගේ පරිශුද්ධ රහස ඉටු වෙන බවට වූ ශුභාරංචිය ප්‍රකාශ කිරීම මහත් දුකක් ගෙන දෙනවා. (2 කොරින්ති 2:16 බලන්න.) ඔවුන් මහත් ඇල්මක් දක්වන මේ ලෝක සමාජයේ විනාශය අත ළඟයි. මෙම විනාශය ගැන අනතුරු අඟවන මෙම ගිගුරුම් සතේ හඬ යෙහෝවා දෙවිගේ මහත් පළිගැනීමේ දවස ළං වෙන්න ළං වෙන්න වඩාත් පැහැදිලිව හා ප්රබලව අසන්න ලැබෙනවා.—ශෙපනියා 1:14-18.
දිගහරින ලද ලියවිල්ල
15. ස්වර්ගයෙන් නික්මෙන හඬ සහ ශක්තිමත් දේවදූතයා යොහන්ට පවසන්නේ මොනවාද? යොහන් කරන දේ ඔහුට බලපාන්නේ කෙසේද?
15 මේ සත්වන හොරණෑව පිඹීමත් දෙවිගේ පරිශුද්ධ රහසේ ඉටුවීමත් ඉතා උනන්දුවෙන් බලා සිටින යොහන්ට තවත් පැවරුමක් ලැබෙනවා. “එවිට, ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කතා කරමින්, ‘ගොස්, මුහුද සහ පොළොව මත සිටගෙන සිටින දේවදූතයාගේ අතේ තිබෙන දිගහරින ලද අකුළන ලියවිල්ල ගන්න’ යයි කීවේය. මමද දේවදූතයා වෙතට ගොස්, කුඩා අකුළන ලියවිල්ල මට දෙන්නැයි ඔහුට කීවෙමි. ඔහු මට කතා කොට: ‘එය රැගෙන කන්න. එය ඔබේ උදරය තිත්ත කරන නමුත්, ඔබේ කටට එය මීපැණි මෙන් මිහිරි වන්නේය’ යි කීවේය. එවිට මම දේවදූතයාගේ අතින් ඒ කුඩා අකුළන ලියවිල්ල රැගෙන කෑවෙමි. එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණු නමුත් මා එය කෑවායින් පසු, මගේ උදරය තිත්ත වුණේය. තවද, ඔවුහු මට කතා කොට: ‘ඔබ ජනයා ගැනද ජාතීන් ගැනද භාෂා ගැනද බොහෝ රජවරුන් ගැනද නැවතත් අනාවැකි කිව යුතුය’ යි කීවෝය.”—එළිදරව් 10:8-11.
16. (අ) යොහන් හා සමාන අද්දැකීමක් එසකියෙල්ට ලැබුණේ කෙසේද? (ආ) යොහන් කෑ ලියවිල්ල කටට මිහිරි වුණෙත් උදරයට තිත්ත වුණෙත් ඇයි?
16 යොහන්ගේ මෙම අද්දැකීම බැබිලෝනීය දේශයේ වහල්ව සිටි අනාගතවක්තෘ එසකියෙල් අද්දුටු දේට සමානයි. එසකියෙල්ටත් මිහිරි රසක් දැනුණු ලියවිල්ලක් කන ලෙස අණ ලැබුණා. නමුත් ඉන් ඔහුගේ උදරය පිරුණු පසුව කැරලිකාර ඊශ්‍රායෙල් ජාතියට ඉතා තික්ත දේවල් පැවසීමේ වගකීම ඔහුට පැවරුණා. (එසකියෙල් 2:8–3:15) තේජසට පත් යේසුස් ක්‍රිස්තුස් යොහන්ට දෙන මේ දිගහරින ලද ලියවිල්ලෙත් ඒ හා සමාන දෙවිගෙන් ලැබූ පණිවුඩයක් අඩංගු වෙනවා. යොහන් “ජනයා ගැනද ජාතීන් ගැනද භාෂා ගැනද බොහෝ රජවරුන් ගැනද” දේශනා කළ යුතුයි. මෙම පණිවුඩය දෙවිගෙන් ලැබෙන නිසා එය ඔහුට මිහිරි දෙයක්. (ගීතාවලිය 119:103ද යෙරෙමියා 15:15, 16ද බලන්න.) නමුත් එසකියෙල්ට සමානව එය ඔහුගේ උදරයට තිත්ත වෙන්නේ දෙවිට විරුද්ධව කැරලි ගසන මිනිසුන්ට අප්‍රසන්න දේවල් කියන්න සිදු වන නිසයි.—ගීතාවලිය 145:20.
17. (අ) යොහන්ට “නැවතත්” අනාවැකි කියන්න කියා පවසන්නේ කවුරුන්ද? (ආ) යොහන් දර්ශනයෙන් දකින දේවල් ඉටු වුණේ කවදාද?
17 යොහන්ට නැවතත් අනාවැකි කියන්න කියා පවසන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් බව කිසිම සැකයක් නැහැ. පැට්මොස් නම් දූපතේ සිර වී සිටියත් යොහන් දැනටමත්, ජනයා, ජාතීන්, භාෂාවන් සහ රජවරුන් ගැන මෙතෙක් එළිදරව් පොතේ වාර්තා කර ඇති දේ මාර්ගයෙන් අනාවැකි කියා තිබෙනවා. “නැවතත්” යන වචනයෙන් අදහස් කරන්නේ එළිදරව් පොතේ වාර්තා කර ඇති ඉතිරි තොරතුරු ලියා ප්‍රසිද්ධ කළ යුතු බවයි. නමුත් යොහන් හවුල් වෙමින් සිටින්නේ අනාගතය ගැන හෙළි කරන දර්ශනයකට බව අප මෙහිදී මතක තබාගත යුතුයි. ඔහු ලියාගන්නා දේවල් ඇත්තටම ඉටු වෙන්නේ 1914න් පසුවයි. ශක්තිමත් දේවදූතයා තම පාදයක් පොළොවේද අනික් පාදය මුහුදේද තැබුවේ ඒ කාලයේ සිටයි. යොහන් දර්ශනයෙන් දකින මේ දේවල් අද දින යොහන් පන්තියට අදාළ වෙන්නේ කෙසේද?
කුඩා ලියවිල්ල අද දිනට සම්බන්ධ වන ආකාරය
18. ස්වාමීන්ගේ දවස ආරම්භයේදී යොහන් පන්තිය එළිදරව් පොත ගැන දැක්වූයේ මොන වගේ උනන්දුවක්ද?
18 යොහන් දකින දේවල් ස්වාමීන්ගේ දවසේ ආරම්භයේදී යොහන් පන්තිය අද්දුටු දේවල්වලට කැපීපෙනෙන ආකාරයකින් සමානයි. ගිගුරුම් සතෙන් අදහස් වන දේ ඇතුළු යෙහෝවා දෙවිගේ අරමුණු ගැන සම්පූර්ණ අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. නමුත් එළිදරව් පොතේ සඳහන් දේවල් ගැන ඔවුන්ට තිබුණේ දැඩි උනන්දුවක්. උදාහරණයකට සහෝදර චාල්ස් ටේස් රසල් තම ජීවිත කාලයේදී මේ පොතේ බොහෝ කොටස් ගැන යම් අදහස් දැක්වූවා. වර්ෂ 1916දී ඔහු මිය ගිය පසු එතෙක් ඔහු ලියා තිබූ ඒ අදහස් එකතු කර බයිබල් ශිෂ්‍යයන් පොතක් නිකුත් කළා. (පොතේ නම, The Finished Mystery) නමුත් එළිදරව් පොත ගැන මෙම පොතෙහි කර තිබුණු විස්තරය ප්‍රමාණවත් නොවුණු බව කල් යත්ම පැහැදිලි වුණා. නමුත් යේසුස්ගේ මෙම සහෝදරයන්ට නිවැරදි අවබෝධයක් ලබාගන්න තව ටික කාලයක් බලා සිටින්න සිදු වුණා. ඒ මෙම දර්ශනවල ඉටුවීම ආරම්භ වන තුරුයි.
19. (අ) ගිගුරුම් සතේ හඬවල් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන්න පෙර සිටම යෙහෝවා දෙවි යොහන් පන්තියව යොදාගත්තේ කෙසේද? (ආ) යොහන් පන්තියට දිගහරින ලද ලියවිල්ල දුන්නේ කවදාද? මෙයින් ඔවුන් තේරුම්ගත්තේ කුමක්ද?
19 යෙහෝවා දෙවි යොහන්ව යොදාගත්තා වගේ ගිගුරුම් සතේ හඬවල් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන්න පෙර සිටම ඔහු යොහන් පන්තියවත් යොදාගත්තා. වර්ෂ 1914ට කලින් ඔවුන් අවුරුදු 40ක් පුරා උද්යෝගයෙන් දේශනා කර තිබුණා. පළමු ලෝක මහා යුද්ධ කාලයේදී ඔවුන් නොයෙකුත් දුෂ්කරතා මැද සේවය කරන්නත් උත්සාහ කළා. එමනිසා ස්වාමියා පැමිණි විට තම ගේ වැසියන්ට නිසි වේලාවට කෑම දෙමින් සිටින අය ඔවුන් බව ඔප්පු වී තිබුණා. (මතෙව් 24:45-47) මේ අනුව ඔවුන් දිගහරින ලද ලියවිල්ල ලබා දුන්නේ 1919දීයි. මෙයින් පැහැදිලි වෙන්නේ සියලු මිනිසාට දේශනා කරන්න ඔවුන්ට විවෘත පණිවුඩයක් ලබා දී තිබුණු බවයි. එසකියෙල්ට මෙන්, ඔවුන්ටත් දෙවිට ද්‍රෝහී වී සිටි සංවිධානයකට දේශනා කරන්න සිදු වුණා. එනම් දෙවිට සේවය කරනවායයි කියා සිටි නමුත් එසේ නොකළ පල්ලිවලින් සැදුම් ලත් සංවිධානයටයි. යොහන් වගේ ඔවුන්ටත් ‘ජනයා, ජාතීන්, භාෂා හා බොහෝ රජවරුන්’ ගැන තවත් දේශනා කරන්න පැවරී තිබුණා.
20. යොහන් ඒ ලියවිල්ල කෑමෙන් අදහස් කරන්නේ කුමක්ද?
20 යොහන් මෙම ලියවිල්ල කෑමෙන් අදහස් කළේ යේසුස්ගේ සහෝදරයන් මෙම පැවරුම භාරගත් බවයි. මීට අමතරව දෙවිගේ වචනයට ඇතුළත් එම ලියවිල්ලෙන් ඔවුන් පෝෂණයක් ලැබුවා. එය ඔවුන්ගේ ජීවිතයේ කොටස් බවට පත් වුණා. නමුත් ඔවුන් දේශනා කළ මෙම පණිවුඩයට දෙවිගේ විනිශ්චයන් ඇතුළත් වූ නිසා එය මිනිස් වර්ගයාගෙන් බහුතරයකට ඉතා අමිහිරි වුණා. එළිදරව් 8වන පරිච්ඡේදයේ සඳහන් වසංගතත් ඊට ඇතුළත්. නමුත් ඒ අවංක ක්‍රිස්තියානීන්ට එය මිහිරි දෙයක් වුණා. එයට හේතුව එම විනිශ්චයන් ගැන ඔවුන් දැනුවත් වූ නිසා හා ඒවා ප්‍රකාශ කිරීමට යෙහෝවා දෙවි ඔවුන්ව යොදාගන්නවා කියා තේරුම්ගත් නිසයි.—ගීතාවලිය 19:9, 10.
21. (අ) කුඩා ලියවිල්ලේ සඳහන් පණිවුඩය මහත් සමූහයටත් මිහිරි වී තිබෙන්නේ කෙසේද? (ආ) ශුභාරංචිය දෙවිගේ විරුද්ධවාදීන්ට අශුභ ආරංචියක් වෙන්නේ ඇයි?
21 කල් යත්ම ‘සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ මහත් සමූහයටද’ මෙම කුඩා ලියවිල්ලේ පණිවුඩය මිහිරි දෙයක් බවට පත් වුණා. එයට හේතුව ඔවුන් ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවල කෙරෙන පිළිකුල්කම් දැක කෙඳිරිගාමින් සිටි නිසයි. (එළිදරව් 7:9; එසකියෙල් 9:4) මේ අයත් මිහිරි ප්‍රසන්න වචන භාවිත කරමින් අවංක අය සඳහා දෙවි පොරොන්දු වී ඇති දේවල් ඇතුළත් ශුභාරංචිය දේශනා කරනවා. (ගීතාවලිය 37:11, 29; කොලොස්සි 4:6) නමුත් දෙවිගේ විරුද්ධවාදීන්ට නම් එය අශුභ ආරංචියක්. එයට ඔවුන් විශ්වාසය තබන, ඔවුන්ට යම් ආකාරයක තෘප්තියක් ලබා දුන් මෙම දුෂ්ට ලෝකය විනාශ වන බව එයින් ප්‍රකාශ වන නිසයි. ඔවුන්ට ඒ ශුභාරංචිය විනාශයේ පණිවුඩයක්.—ෆිලිප්පි 1:27, 28; ද්විතීය කතාව 28:15ද 2 කොරින්ති 2:15, 16ද බලන්න.
[160වන පිටුවේ පින්තූර]
යොහන් පන්තිය සහ වෙනත් බැටළුවන් සියලු මිනිසුන්ට මිහිරි හා තිත්ත පණිවුඩයක් ප්‍රකාශ කරනවා