දෙවිගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඇති අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීම
“ඔබේ විශ්වාසය යෙහෝවා කෙරෙහි තිබෙන පිණිස මම අද ඔබට දැනුම දුන්නෙමි.”—හිතෝපදේශ 22:19, NW.
1, 2. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් යෙහෝවා කෙරෙහි විශ්වාසය විදහාපාන්නේ ඇයි? (හිතෝපදේශ 22:19) (ආ) සමහරක් පුද්ගලයන් යෙහෝවා කෙරෙහි තම විශ්වාසය ශක්තිමත් කරගත යුතු බව අඟවන්නේ කුමකින්ද?
යෙහෝවා හා ඔහුගේ අරමුණු පිළිබඳ ඒකාන්ත දැනුමක් සමඟින් සැබෑ ක්‍රිස්තියානීන් ආශීර්වාද ලබා සිටියි. ‘විශ්වාස වූ නුවණ ඇති දාසයෙක්’ ප්‍රේමනීය ආකාරයකින් ආත්මික ‘කෑම නියම වේලාවට’ ඔවුන්ට සපයයි. (මතෙව් 24:45) ඔවුන් ලබන දැනුම, දෙවි කෙරෙහි විශ්වාසය පදනම් කළ හැකි ස්ථිර අත්තිවාරමක් ඔවුන්ට සපයා දෙයි. එහෙයින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් හැටියට, යෙහෝවා කෙරෙහිත් ඔහුගේ ධර්මිෂ්ඨකම කෙරෙහිත් පුදුමාකාර විශ්වාසයක් විදහාපායි.
2 කොහොම වුණත්, තනි පුද්ගලයන් ගත් කල, සමහරක් සාක්ෂිකරුවන් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරගැනීම අවශ්‍ය විය හැකි බව පෙනී ගොස් තිබෙනවා. ප්රකාශනවල සඳහන් කර ඇති පැහැදිලි කිරීම් ගැන යම් සැක පළ කරන ලිපි සමිතියට විටින් විට ලැබෙයි. මේවා විශේෂයෙන්ම යම් තේරුම්ගැනීම් සම්බන්ධයෙන් කර ඇති සකස් කිරීම්වලට ප්‍රතික්‍රියාවක් විය හැකියි. තවද විමසන්නාට විශේෂයෙන්ම චිත්තවේගීය අන්දමකින් බලපාන කාරණා ගැන සැකයන් මතු විය හැකියි.—යොහන් 6:60, 61 සසඳන්න.
3. යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන්ට පවා සිදු විය හැක්කේ කුමක්ද? එමෙන්ම ඒ ඇයි?
3 දේශනාකාරයා 9:11හි ඇති සත්‍යය යෙහෝවාගේ සැබෑ සේවකයන් පවා අද්දකිනවා. එහි මෙසේ පැවසෙයි: “නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.” මෙය වඩා පුළුල් අර්ථයකින් හෝ ආත්මික අර්ථයකින් ගත් කල සැබෑවක් විය හැක්කේ කොහොමද? බයිබල් උපදෙස් ඉක්මනින් අදාළ කරගත්, සත්‍යය වෙනුවෙන් මහත් වුවමනාවකින් කතා කළ, බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීම සම්බන්ධයෙන් නැණවත් වූ, ඒකාන්ත දැනුම ලුහුබැඳීමෙහි ජ්වලිතවත් වූ ක්‍රිස්තියානීන්ව අප දැන සිටින්න ඇති. එහෙත්, “කාලයත් හදිසි කාරණාත්” නිසා සිදු වූ යම් හදිසි අනතුරක් හෝ මහලු වයස නිසා හෝ දැන් ඔවුන් සීමාකාරි තත්වයකට පත්ව ඇති බව පෙනෙන්න පුළුවන්. මරණයේ වේදනාව අත් නොවිඳ ඔවුන්ට දෙවිගේ නව ලොවට ඇතුල් විය හැකි වේවිදැයි ඔවුන් කල්පනා කරනවා ඇති.
4, 5. ක්‍රිස්තියානීන්ට යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඇති විශ්වාසය නැති කරගැනීමට කිසිදු හේතුවක් නැත්තේ ඇයි?
4 ක්‍රිස්තියානියෙකුට තම විවාහක කලත්‍රයා අහිමිව ගිය විට හටගන්නා වේදනාව හා පාළුවේ හැඟීම මහත් එකකි. ඔවුන් දෙදෙනා යුවළක් වශයෙන් යෙහෝවාට අවුරුදු හෝ දශක ගණනාවක් පුරා සේවය කළා විය හැකියි. මරණය විවාහ බැම්ම වෙන් කරන බව ජීවත්ව සිටින කලත්‍රයා දනියි.a (1 කොරින්ති 7:39) ඉතින් දැන් තම විශ්වාසය දුර්වල වීමෙන් වළක්වාගැනීම සඳහා, තම චිත්තවේගයන් පාලනය යටතේ තබාගැනීමට ඔහුට සිදු වෙනවා.—මාර්ක් 16:8 සසඳන්න.
5 කලත්‍රයෙකුගේ, දෙමාපියෙකුගේ, දරුවෙකුගේ හෝ කිට්ටු ක්‍රිස්තියානි මිතුරෙකුගේ වියෝවීම යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසය නිරූපණය කිරීමට හොඳ ප්‍රස්තාවක් හැටියට සැලකීම මොනතරම් නැණවත්ද! යෙහෝවා අධර්මිෂ්ඨ නැති බවට නිසැක වෙන්න අපට පුළුවන්. පෞද්ගලිකව අපට යමෙකු අහිමි වුණත් මෙය අපේ ආකල්පය විය යුතුයි. බේරී ජීවත් වීමෙන් හෝ නැවත නැඟිටීම මගින් සදාකාල ජීවනය අත් කරගන්න සැමෝම සතුටු වෙයි කියා අපට විශ්වාස කරන්න පුළුවන්. දෙවි සම්බන්ධයෙන් ගීතිකාකාරයා මෙසේ පවසනවා: ‘ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය. යෙහෝවා ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය [පක්ෂපාතය, NW]. යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින් ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින්නේය. ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය.’—ගීතාවලිය 145:16-19.
නිකරුණේ පීඩා වින්දාය යන හැඟීම් සමඟ කටයුතු කිරීම
6, 7. (අ) අතීතයේ පීඩා විඳ ඇති සමහරක් සාක්ෂිකරුවන්ට දැන් කාරණා පිළිබඳව වෙනස් තේරුම්ගැනීමක් තිබිය හැක්කේ ඇයි? (ආ) යෙහෝවා එවන් පීඩා අද්දැකීමට අතීතයේදී ඉඩහැරීම නිසා ඔහු අධර්මිෂ්ඨයි කියා අපි නොසිතිය යුත්තේ ඇයි?
6 දැන් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ දිය හැකි නමුත්, අතීතයේදී එම ක්රියාකාරකමටම සහභාගි නොවීම නිසා සමහරක් සාක්ෂිකරුවන් පීඩා විඳ තිබෙනවා. උදාහරණයක් හැටියට, යම් සිවිල් සේවාවක් සම්බන්ධයෙන් වසර ගණනාවකට පෙර ඔවුන් මේ තීරණය ගන්න ඇති. මේ වත්මන් දේවල පිළිවෙළ සම්බන්ධයෙන් ගත් කල, ඔහුට ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවයට පිටු නොපා එවන් කාර්යයක් තම හෘද සාක්ෂියට එකඟව කළ හැකි බව දැන් සහෝදරයෙකුට හැඟෙන්න පුළුවන්.
7 දඬුවමකින් තොරව අද කළ හැකි යමක් ඒ කාලයේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු පීඩා වින්දායයි සිතන්න. ඉතින් එසේ පීඩා අද්දැකීමට ඉඩහැරීම යෙහෝවාගේ පැත්තෙන් සිදු වූ අධර්මිෂ්ඨකමක්ද? එම දේ අද්දුටු වැඩිදෙනෙක් එසේ සිතන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ විෂය සම්බන්ධයෙන් ස්ථිරව සිටීමට වූ තම අධිෂ්ඨානය පැහැදිලිව හා ප්‍රසිද්ධියේ නිරූපණය කිරීමට ඔවුන්ට ප්‍රස්තාවක් ලැබීම ගැන ඔවුන් ප්‍රීති වෙනවා. (යෝබ් 27:5 සසඳන්න.) යෙහෝවා වෙනුවෙන් ස්ථිර ස්ථාවරයක් ගැනීම සම්බන්ධයෙන් තම හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කිරීම ගැන කෙනෙකුට පසුතැවීමට ඇත්තේ මොන හේතුවක්ද? කලින් තිබූ අවබෝධයට අනුව පක්ෂපාතව ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට ඇලී සිටීමෙන් හා හෘද සාක්ෂිය කරන පෙලඹවීම්වලට ප්‍රතිචාරය දැක්වීමෙන්, ඔවුන් දෙවිගේ මිත්‍රත්වය ලැබීමට වටින අය බවට ඔප්පු කළා. කෙනෙකුගේ හෘද සාක්ෂියට වද දෙන නැතිනම් තවත් අයව බාධාවට පත් කළ හැකි යම් ගමන් මාර්ගයකින් වැළකීම ඇත්තෙන්ම නැණවත් දෙය වෙයි. ප්‍රේරිත පාවුල් මේ සම්බන්ධයෙන් තැබූ ආදර්ශය අපට මේ අවස්ථාවේදී කල්පනාවට ගත හැකියි.—1 කොරින්ති 8:12, 13; 10:31-33.
8. කලින් ව්‍යවස්ථාව පැවැත්වූ යුදෙව් ක්‍රිස්තියානීන්ට යෙහෝවාගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රශ්න කිරීමට කිසිදු හේතුවක් නොතිබුණේ ඇයි?
8 යෙහෝවාව සතුටු කිරීම සඳහා, දස පනතට මෙන් තවත් අමතර නීති 600කටත් කීකරු වන ලෙස යුදෙව්වන්ගෙන් ඉල්ලා සිටියා. පසුව ක්‍රිස්තියානි විධිවිධානය යටතේ යෙහෝවාට සේවය කිරීම සඳහා මෙම නීතිවලට කීකරු වීම අවශ්‍ය කෙරෙව්වේ නැහැ. මෙය මාංසික යුදෙව්වන්ට පවා අදාළ වුණා. චර්මච්ඡේදනය, සබත පැවැත්වීම, සත්ව යාග ඔප්පු කිරීම හා ගන්නා ආහාර සම්බන්ධයෙන් පැනවූ තහංචි පිළිපැදීම තවදුරටත් යටත් නොවිය යුතු නීති වුණා. (1 කොරින්ති 7:19; 10:25; කොලොස්සි 2:16, 17; හෙබ්‍රෙව් 10:1, 11-14) ක්‍රිස්තියානීන් බවට පත් වූ ප්‍රේරිතයන් ඇතුළු යුදෙව්වන්ව, ඔවුන් කලින් ව්‍යවස්ථා ගිවිසුමට යටත්ව සිටි විට පැවැත්වීමට අපේක්ෂා කළ නීතිවලින් නිදහස් කරනු ලැබුවා. තවදුරටත් අවශ්‍යව නොතිබූ දේවල් කලින් පැවැත්වීමට ඉල්ලීම නිසා දෙවිගේ විධිවිධානය අධර්මිෂ්ඨයි කියා ඔවුන් පැමිණිලි කළාද? නැහැ, ඒ වෙනුවට ඔවුන් යෙහෝවාගේ අරමුණු සම්බන්ධයෙන් ලද පුළුල් වූ දැනුම ගැන ප්‍රීති වුණා.—ක්‍රියා 16:4, 5.
9. සමහරක් සාක්ෂිකරුවන් පිළිබඳව සත්‍යයක් වී ඇත්තේ කුමක්ද? නමුත් ඔවුන්ට පසුතැවීමට කිසිදු හේතුවක් නැත්තේ ඇයි?
9 නවීන කාලවලදී, තමන් කරන හා නොකරන දේ සම්බන්ධයෙන් දැඩි මතයක් දරා ඇති සමහරක් සාක්ෂිකරුවන් ඉඳ තිබෙනවා. එම හේතුවෙන් ඔවුන් වෙනත් අයට වඩා පීඩා විඳ තිබෙනවා. පසුව වැඩි දැනුම ඔවුන්ට උපකාරයක් වුණා, කාරණා පිළිබඳ තම දෘෂ්ටිය පුළුල් කරගැනීමට. කලින් වැඩියෙන් පීඩා විඳීමට සිදු වී ඇතත්, තම හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කිරීම නිසා ඔවුන්ට පසුතැවීමට හේතුවක් නැහැ. දෙවිට ඇදහිලිවන්ත වීමටත්, “ශුභාරංචිය උදෙසා සියල්ල” කිරීමටත් ඔවුන්ගේ කැමැත්ත නිරූපණය කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. දෙවි එයාකාර දේවභක්තියකට ආශීර්වාද කරනවා. (1 කොරින්ති 9:23; හෙබ්‍රෙව් 6:10) ප්‍රේරිත පේතෘස් තීක්ෂ්ණ බුද්ධියකින් යුතුව මෙයාකාරයෙන් ලිව්වා: “යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක [දෙවි] ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.”—1 පේතෘස් 2:20.
යෝනාගෙන් ඉගෙනීම
10, 11. (අ) නිනිවයට යෑමට පැවරුමක් දුන් අවස්ථාවේදී, යෝනා යෙහෝවා කෙරෙහි විශ්වාසයේ ඌනබවක් පෙන්නුවේ කොහොමද? (ආ) නිනිවය වැසියන්ව විනාශ නොකළ අවස්ථාවේදී, යෝනා යෙහෝවා කෙරෙහි විශ්වාසයේ ඌනබවක් පෙන්නුවේ කොහොමද?
10 නිනිවයට යෑමට මඟ පෙන්වනු ලැබූ විට, යෙහෝවා තමන් කෙරෙහි පෙන්වූ විශ්වාසයට යෝනා විදහාපෑවේ ඌන වූ අගය කිරීමක්. කීකරු වීමට තමාම පෙන්වූ අකමැත්ත නිසා අද්දුටු භයංකර අද්දැකීමෙන් පසු, යෝනා යථා සිහියට පැමිණ, තම වරද පිළිගෙන, තම විදේශීය පැවරුම භාරගෙන නිනිවය වැසියන්ට පැමිණීමට නියමිතව තිබූ විනාශය ගැන අනතුරු ඇඟෙව්වා. ඉන්පසුව අනපේක්ෂිත දෙයක් සිදු වුණා: නිනිවය වැසියන්ගේ පසුතැවීමේ ආකල්පය නිසා යෙහෝවා ඔවුන්ට අත්වීමට නියමිතව තිබූ විනාශය වළකාලන්න නියම කරගත්තා.—යෝනා 1:1–3:10.
11 යෝනා ප්‍රතික්‍රියා කළේ කොහොමද? අපහසුතාවක් දැනුණු ඔහු දෙවිට යාච්ඤාවෙන් පැමිණිලි කළා. කොටින්ම කිව්වොත් ඔහු ශෝචනීය ලෙස ප්‍රකාශ කළේ මෙයයි: ‘මට හිතුණා මේක වෙයි කියල. ඒකනෙ මම මුලින්ම කිව්වේ නිනිවයට එන්න මට බැහැයි කියල. එහෙං ලොකු මාළුවෙක්ගේ බඩේ ඉන්න කොට මට දැනුණ භය, අනික ඒ විතරක්ද ලැජ්ජාව. ඊට පස්සේ නිනිවය වැසියන්ට අත් වෙන්නම තිබුණ විනාශයත් දැන්නුවා. ඒ ඔක්කොමත් වුණාට පස්සේ මේකද ප්‍රතිඵලේ! මං කරපු හැම වැඩක්ම වින්ද හැම දුකක්ම වතුරෙ ගියානේ! මම මැරිල උන්නා නං මීට වැඩිය හොඳයි!’—යෝනා 4:1-3.
12. යෝනාගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
12 යෝනාට එසේ පැමිණිලි කරන්න සාධාරණ හේතුවක් තිබුණාද? පසුතැවුණු වරදකරුවන්ට දයාව පෙන්වීම යෙහෝවාගේ පැත්තෙන් සිදු වූ අධර්මිෂ්ඨකමක්ද? ඇත්තෙන්ම යෝනාට තිබුණේ ප්‍රීති වෙන්න; විනිශ්චයෙන් දසදහස් ගණන් බේරුණා! (යෝනා 4:11) නමුත් ඔහුගේ අගෞරවනීය ආකල්පයෙන් පෙන්නුම් කළේ ඔහු යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ප්‍රකාශ නොකරමින් සිටි බවයි. ඔහු තමා ගැනම ඕනෑවට වඩා සිතුවා; අනුන් ගැන සිතුවේ ඉතා අඩුවෙනුයි. අපට හා අපේ හැඟීම්වලට මුල් ස්ථානය නොදීමට අපි යෝනාගෙන් පාඩමක් ඉගෙනගනිමු. යෙහෝවාට කීකරු වීමත්, ඔහුගේ සංවිධානය තුළින් ලබා දෙන මඟ පෙන්වීමට යටත් වීමත් ඔහුගේ තීරණ පිළිගැනීමත් කිරීමට තිබෙන නිවැරදි දෙය කියා අපි ඒත්තුගනිමු. අපට ඒත්තුගොස් තිබෙන්නේ ‘දෙවි ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධ වෙන බවයි.’—දේශනාකාරයා 8:12.
අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට කාලය දැන්!
13. අප සියලුදෙනාටම යෙහෝවා කෙරෙහි ඇති අපේ විශ්වාසය ශක්තිමත් කරගත හැක්කේ කොහොමද?
13 යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීම ප්‍රඥාවේ මාර්ගය වෙනවා. (හිතෝපදේශ 3:5-8) නමුත් අපට නිසැකව සිටීමට උපකාර කරන්න කියා නිකම්ම යෙහෝවාට යාච්ඤා කරනවාට වඩා වැඩි යමක් අප කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒකාන්ත දැනුම පදනම් කරගෙනයි විශ්වාසය වර්ධනය වන්නේ; එමනිසා පෞද්ගලික බයිබල් පාඩම, බයිබලය හා බයිබලය පැහැදිලි කරන පොත් පත් කියවීම අපේ දින චර්යාවේ කොටසක් කරගත යුතුයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම වැදගත් වන්නා සේම, හොඳ සූදානමත් හැකි තරමින් සහභාගි වීමත් එසේමයි. විරෝධය පෑම් නැණවත් ලෙස ජයගනිමින්, බයිබල් සත්‍යයන් අන්‍යයන් සමඟ බෙදාගැනීම අපේ පුරුද්දක් කරගැනීමද, යෙහෝවා කෙරෙහිත් ඔහුගේ වචනය කෙරෙහිත් අපේ විශ්වාසය වඩා ගැඹුරු එකක් කරගැනීමට ඉවහල් වෙනවා. එමගින් අප ඔහු සමඟ දෛනික ආකාරයකින් වැඩියෙන් සම්බන්ධ වෙන්න යනවා.
14. මින් පෙර නොවූ ආකාරයකින් යෙහෝවා කෙරෙහි විශ්වාසය විදහාපෙන්වීමට ඉතාමත් ළඟකදී දෙවිගේ සෙනඟගෙන් අපේක්ෂා කරන්න යන්නේ ඇයි?
14 නුදුරු අනාගතයේදී, මනුෂ්‍යවර්ගයා අද්දැකීමට යන දරුණුතම පීඩා කාලය හදිසියේම පැමිණෙන්න යනවා. (මතෙව් 24:21) එය පැමිණි විට, යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහිත් ඔහුගේ සංවිධානයෙන් සපයන මඟ පෙන්වීම කෙරෙහිත් කවදාකටත් වඩා වැඩියෙන් විශ්වාසය විදහාපාන්න දෙවිගේ සේවකයන්ට අවශ්‍ය වේවි. සංකේතමය ආකාරයකට, ඔවුන් විශ්වාසයෙන් යුතුව දෙවිගේ මෙම නියෝගයට කීකරු වෙන්න යනවා: “මාගේ සෙනග, එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.” (යෙසායා 26:20) ඔවුන් දැනටමත් ආරක්ෂිත කලාපය වන රටවල් 232ක ඇති සභාවල් 85,000කට වැඩි ප්‍රමාණයට ඇතුල් වී තිබෙනවා. ‘ඇතුල් ගෙවලට ඇතුල් වීමට’ තවත් අමතර යමක් ඇතුළත් වුණත්, එය ඉටු කිරීමට යෙහෝවා උපකාර කරයි කියා අපට නිසැක වෙන්න පුළුවන්.
15. වර්ෂ 1998 තුළ විශ්වාසය පිළිබඳ කාරණය කාවද්දවා ඇත්තේ කොහොමද? එසේ කිරීම සුදුසු වන්නේ ඇයි?
15 අපේ විශ්වාසය දැන්ම ශක්තිමත් කරගැනීම වැදගත් වෙනවා. අපේ ක්‍රිස්තියානි සහෝදරයන්, යෙහෝවාගේ සංවිධානය හා සියල්ලටම වඩා යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතැබුවොතින් බේරී ජීවත් වීම බොරුවක්. එසේනම් ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට, “යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ” යන වාර්ෂික පාඨය 1998 වර්ෂය පුරා නැවත නැවත මතක් කිරීම කොතරම් යෝග්‍යද! (රෝම 10:13, NW) එය සම්බන්ධයෙන් අප දිගටම නිසැක විය යුතුයි. මෙම විශ්වාසය සම්බන්ධයෙන් අල්පෙනත්තක තරම් හෝ සැකයක් අපට දැනුණොතින් එය නිවැරදි කරගැනීමට අප දැන්, ඔව් අදම වැඩ කළ යුතුයි.
යෙහෝවාගේ විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වෙයි
16. විශ්වාසය වර්ධනය කර නොගත්තොත් එයට කුමක් සිදු විය හැකිද? තවද මෙසේ වීම අප වළකාගන්නේ කොහොමද?
16 හෙබ්‍රෙව් 3:15හි, ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු අඟවා තිබෙනවා: ‘අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම් පමණක්, අපි ක්‍රිස්තුස්ගේ පංගුකාරයෝ වන්නමු.’ මෙම ප්‍රතිපත්තිය භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීන්ටත් එයාකාරයෙන්ම අදාළ වෙයි. මුලින් තිබූ විශ්වාසය වර්ධනය කර නොගත්තොත් එය දුර්වල වෙන්න පුළුවන්. එසේනම් අප ඒකාන්ත දැනුම ලුහුබඳිමින්, එමගින් අපේ විශ්වාසය පදනම් වී ඇති අත්තිවාරම ශක්තිමත් කරගැනීම කොතරම් වැදගත්ද!
17. බේරී ජීවත් වීම සම්බන්ධයෙන් ගත් කල, යේසුස් නිවැරදි ආකාරයකින් විනිශ්චය කරයි කියා අපට නිසැක විය හැක්කේ ඇයි?
17 ‘එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් වෙන් කිරීම සඳහා’ ක්‍රිස්තුස් ඉතා ළඟදීම සියලුම ජාතීන් පරීක්ෂා කරන්න යනවා. (මතෙව් 25:31-33) බේරී ජීවත් වීමට සුදුසු වන්නේ කවුද කියා විනිශ්චය කිරීමේදී ක්‍රිස්තුස් ධර්මිෂ්ඨව කටයුතු කරයි කියා අපට නිසැක වෙන්න පුළුවන්. “ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය [කරන්ට]” යෙහෝවා ඔහුට ප්‍රඥාවත් තීක්ෂ්ණ බුද්ධියත් ලබා දී තිබෙනවා. (ක්‍රියා 17:30, 31) එසේනම් අපේ ස්ථිර විශ්වාසය ආබ්‍රහම්ගේ මෙන් වෙත්වා: “එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ [විනිශ්චයකාරයා] යුක්තිය [නොකරන්නේද?]”—උත්පත්ති 18:25.
18. දැනට අප නොදැන සිටින දේ ගැන අප අන්‍යවශ්‍ය අයුරින් නොකැලඹිය යුත්තේ ඇයි?
18 ‘ළදරුවන්ව හා කුඩා ළමයින්ව විනිශ්චය කරන්න යන්නේ කොහොමද? අර්මගෙදොන් එන කාලෙ වෙන කොට වැඩිදෙනෙක් ශුභාරංචිය අහල තියෙන එකක් නැද්ද? එතකොට මානසික ආබාධ තියෙන අය? එතකොට . . . ?’ අපට යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි පූර්ණ විශ්වාසය තිබෙන නිසා, මෙවැනි ප්‍රශ්නවලට උත්තර සෙවීමට අප කරදර විය යුතු නැහැ. යෙහෝවා මේ කාරණා විසඳන්න යන්නේ කොහොමද කියා අප දැනට නොදන්න බව ඇත්තයි. කොහොම වුණත්, ඔහු ඒවා ධර්මිෂ්ඨ සහ දයාන්විත ආකාරයකින් කරන්න යනවා. අප එය කවදාවත් සැක නොකළ යුතුයි. ඇත්තෙන්ම, අප නොසිතූ අන්දමකින් ඔහු මේවා විසඳන ආකාරය දැකීමෙන් අප පුදුමයට පත් වෙන්නත් ඒ ගැන සතුටු වෙන්නත් ඉඩ තිබෙනවා.—සසඳන්න යෝබ් 42:3; ගීතාවලිය 78:11-16; 136:4-9; මතෙව් 15:31; ලූක් 2:47.
19, 20. (අ) සාධාරණ ප්‍රශ්න ඇසීම වැරදි නොවන්නේ ඇයි? (ආ) යෙහෝවා අවශ්‍ය උත්තර සපයන්න යන්නේ කවදාද?
19 සමහරක් විරුද්ධවාදීන් වැරදි ආකාරයට කියන්නා සේ, යෙහෝවාගේ සංවිධානය අවංක, කාලෝචිත ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. (1 පේතෘස් 1:10-12) කොහොම වුණත්, මෝඩ, අනුමාන කරන ප්‍රශ්නවලින් අපට වැළකෙන හැටියට බයිබලය උපදෙස් දෙනවා. (තීතස් 3:9) සාධාරණ ප්‍රශ්න ඇසීමෙන් හා උත්තර ලබාගැනීමේ අටියෙන් දෙවිගේ වචනය හා ක්‍රිස්තියානි ප්‍රකාශන පිරික්සීමෙන් අපට ඒකාන්ත දැනුම වැඩි කරගත හැකි අතර, එමගින් යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසයත් ශක්තිමත් කරගත හැකියි. සංවිධානය යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරයි. උත්තර සැපයීමට නියම කාලය නොපැමිණි ප්‍රශ්න ගැන අදහස් දැක්වීමෙන් ඔහු වැළකුණා. යේසුස් මෙසේ පැහැදිලි කළා: “නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.” (යොහන් 16:12) තවදුරටත්, යම් දේවල් ඒ කාලයේ ඔහු දැන නොසිටි බව පවා ඔහු පිළිගත්තා.—මතෙව් 24:36.
20 යෙහෝවාට තව බොහෝ දෑ හෙළි කිරීමට තිබෙනවා. එසේනම්, දෙවි නියම වේලාවට තම අරමුණු හෙළි කරාවිය යන විශ්වාසය ඇතුව ඔහු දෙස බලා සිටීම කොතරම් නැණවත්ද! යෙහෝවාගේ නියම වේලාව පැමිණුණු විට, ඔහුගේ මාර්ග පිළිබඳව අමතර තීක්ෂ්ණ බුද්ධියක් ලබාගැනීමේ ප්‍රීතිය අපට අත් වෙයි කියා නිසැක වෙන්න අපට පුළුවන්. ඔව්, යෙහෝවා හා ඔහු යොදාගන්නා සංවිධානය කෙරෙහි පූර්ණ විශ්වාසයක් අප විදහාපෑවොත් අප විපාක ලබන්න යනවා. හිතෝපදේශ 14:26 අපට මෙසේ සහතික කරයි: “[යෙහෝවා] කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් [විශ්වාසයක්, NW] තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.”
[පාදසටහන]
a මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1967 ඔක්තෝබර් 15හි 638 පිටුව; 1987 ජූනි 1හි 30 පිටුව බලන්න.
ඔබ හිතන්නේ කුමක්ද?
◻ යෙහෝවා කෙරෙහි ඇති අපේ විශ්වාසය දුර්වල කිරීමට, අප චිත්තවේගයන්ට ඉඩ දීම අනුවණ දෙයක් වන්නේ ඇයි?
◻ යෝනාගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
◻ බයිබල් පාඩම හා රැස්වීම්වලට යෑම එතරම් වැදගත් වන්නේ ඇයි?
[16වන පිටුවේ පින්තූරය]
පෞද්ගලිකව අපට යමෙකු අහිමි වුණත්, යෙහෝවා ධර්මිෂ්ඨ බව නිසැක වෙන්න අපට පුළුවන්
[18වන පිටුවේ පින්තූර]
ඔබේ විශ්වාසය යෙහෝවා කෙරෙහි බව ඔබට සහතිකද?